Sunday, September 6, 2009

නැගෙනහිර ටිමෝරය

Sunday, September 6, 2009
මට ටිකක් හාස්‍යය දනවන සැරිසර කතන්දරයක් මතක් වුණා. මේ දැන් වැඩ කරන ආයතනයෙ මුල්ම පත්වීම තමයි, ඒ. රට නැගෙනහිර ටිමෝරය. ඒ දවස් වල හරිම ප්‍රාථමික ජිවන රටාවක් තමයි තිබුණෙ. සිංහලෙන් කිව්වොත් හැමදේම හරිම 'ප්‍රිමිටිව්'.
මාව වැටුණෙ 'ලොස් පාලොස්' කියල මුහුද අද්දර තියෙන දිස්ත්‍රික්කයක 'පාර්ලෙමෙන්ටො' කියන ගම්මානෙට. එහෙ හරි අපූරු දෙයක් තමයි, මුහුද ළඟම කඳු වැටි අහසට විහිදිලා තියෙන එක. අපේ රටේ එහෙම නැහැ නෙ. මම පස්සෙ වෙන රට වලත් දැක්කා, හැබැයි එතකොට දැකලා තිබුණෙ නැහැ. 
අපි හය දෙනෙක් එක ගෙදරක හිටියෙ. ඉන් දෙන්නෙක් අපේ ආරක්ෂක භටයො. සෙල්ලං නැහැ, ඒ ගොල්ලො අපිව අන්තිමටම යටත් විජිතයක් වගෙ පාලනය කරපු රටේ දෙන්නෙක්. 
අපිට කන්න දෙන්නෙ බත් විතරයි. අපි එන්න ඉස්සර පුහුණු වගයක් කළා, ඕස්ට්‍රේලියාවෙ ඩාර්වින් නුවරදි. එහෙන් පිටත් වෙන කොට අපට දුන්නා අර හමුදා සෙබලුන්ට දෙන කෑම මල්ලක්. අපි අර දෙන නිකම් බත් වලට 'වෙජීමයිට්' දාගෙන චීස් කෑල්ලකුත් අනාගෙන කනවා. 
මම දවසක් දැක්ක ඒ ගෙදර අය කොළ වගයක් තෙල් දමනව. ඇහුවම මොනවද කියලා පැපොල් ගහක් පෙන්නුවා. ඒ පැපොල් කොළ. අපෝ....ඒ 'හරිතප්‍රද' වලින් කමක් නැහැ, අර සාගත මල්ලෙන්ම මොනවා හරි කනවා කියලා හිතා ගත්තා.
කිසිම එලවළුවක් දකින්න නැහැ. මුහුද තිබුණට මාළු අල්ලන්නෙත් නැහැ. පිරිමි හරිම කම්මැලියි, ගෙවල් ඉස්සර බංකු උඩට වෙලා දාම් අදිනවා, නැත්නම් කුකුළන්ව පොරට දමනව. එහෙම තමයි සල්ලි හොයන්නෙ. ගැහැණු තමයි, කඳු උඩට ගිහින් අලයක් ගලවගෙන, පලාවක් හොයාගෙන එන්නෙ. සත්ව පාලනය, දරු පාලනය සේරෝම කරන්නෙ ගැහැණු.
මාසයක් විතර ඉන්න කොට අපි හිටියයින් බාගයයි. ඔන්න පෙර කරපු පිනක් පහළ වෙලාද කොහෙද, අපිට එන්න කීවා දිස්ත්‍රික් කාර්යාලෙට, තවත් පුහුණුවකට. බඩ ජහරි කමට නෙවෙයි, තනිකර බත් විතරක්ම කාල ඇතිවෙලා නිසා මට හිතුණා එහෙ ගියාම මොනව හරි කන්න පුළුවන් වේවි කියල. 
ඔන්න පුහුණුවෙ මුල් සැසි වාරය ඉවර වුණා දවල් දොළහ හමාරට. ඔක්කොමල දුවනව කන්න හොයාගෙන. එහෙ වැඩ කරන අය කිව්ව පුංචි කඩයක් තියෙනවා, ඒකෙ කෑම ටිකක් හොඳයි කියලා. ඔන්න අපි හතර දෙනත් ගියා. 
ඔය තියෙන්නෙ ලස්සනට...ගියාට පස්සෙම සලාද කොළ, කැරට් අල දැක්කමයි. එළවළු වලින් සරසලා මස් දීසි දෙකක් තිබුණා. මගෙ කටට කෙළ උනනවා. සුදු බත් දීසි දෙකකුත් තිබුණා. ඉතින් අපි වාඩිවෙල කන්න පටන් ගත්තා. මම බඩ පිරෙන්න බත් කෑවා.
වෙජිටේරියන් නෙවෙයි මම ඒ දවස් වල. කාල ඉවර වෙලා දත් කූරකින් දතුත් සුද්ද කර ගෙන එන ගමන් මම ඇහුවා, මගෙ භාෂා පරිවර්තකයගෙන් මොනවද ඒ මස් කියල. එහෙ භාෂා පරිවර්තකයන්ට හොඳට ඉංග්‍රීසි බැහැ. වෙන විකල්පයකුත් නැහැ නෙ. මම අහපු එකට එයා දුන්න උත්තරේ, " හොට් ඩෝග්ස්" කියල. මම කිව්ව ඒ හොට් ඩෝග්ස් නෙවේ නෙ. අපි බත් කෑවෙ මොන මස් එක්කද කියල. මට නිකං අමුත්තක් දැනුණා.
එතකොටම අපි ළඟින් කළු, තඩි බල්ලෙක් ගියා. ඔහු එක පාරටම අර බල්ලට අත දික් කරල කිව්ව, "හියර්...ඩෝග් මීට්" කියල. අනේ...! දෙයියනේ...එදායින් පස්සෙ ලුණුයි බතුයි කෑවත් මස් නම් කෑවෙ නැහැ.
ඒ ලමයා මට කියනව බලු මසුයි, බළල් මසුයි දෙකම කනවලු, ඒ ගොල්ලො...
තවත් වැදගත් කාරණයකුත් එදා මම දැන ගත්තා. පැපොල් කොළ කන්නෙ මැලේරියාව හැදෙන්නෙ නැතිවෙන්න කියලා. මාලු මස් වලට වඩා පැපොල් කොළයි, පැපොල් මලුයි හොඳයි කියල මම හිතා ගත්තා. 
ආයෙ නම් එහෙන් එනකල්ම කිසිම මසක් කෑවෙ නැහැ, මම.

9 ක් අදහස් දක්වලා.:

LazyOwl said...

බව්..බව්..බවු...ඌ.....

Supun Sudaraka said...

ඊ‍ඊඊඊඊඊඊඊයයාආආආආආආආ.... ඩෝඕඕඕඕග් මීඊඊඊඊඊඊඊඊට්! :D

chamila_dealwis said...

අහක බලාගෙන ගිහින් ජරා ගොඩක කකුල තිබ්බා වගේ :p

chamila_dealwis said...

ඔන්න අක්කණඩි මම හැම කතාවක්ම කියෙව්වා. සමහර එවා කම්මැලියි. හුඟක් ඒවා හිතට තදට වැදුනා. දිගටම ලියන්න. සුභ පැතුම්.

inlandrevenue said...

හපොයි ලොස් පොලොස් වලට වැටුන නම් ආයෙ අහන්න දෙයක් නෑ පොලොස් ගෙඩියක්වත් නැතුව ඇති කන්න...හැබැයි මම නම් ඔහෙ කවදාවත් ගිහිල්ල නෑ...කතාව බොහොම අගෙයි..අත්දැකීම් හරිම සුන්දරයි...එළ... ඒත් තව ටිකක් විස්තර ඇතිව මේව කිව්වනම් කවදාවත් ගිහින්නැති අපිවත් ඒත් එක්කල ඒ රටවලට යන්න තිබුනනේද කියල හිතෙනව...ඔන්න ඊලග කතාවෙදි අපිත් බලාගෙන ඉන්නෙ ඔයත් එක්ක රටවටේ යන්න..........සුභ ගමන්...

දුකා said...

අනේ පව් අක්කන්ඩිට උනු දේ . . . බලු මස් නරකම දෙයක් වෙන්න බෑ . . මොකෝ පිලිපීන රටේත් විශේෂ කෑමක්ලු ඔය බලු මස් . . . දැනට දශකයකට විතර කලින් අපේ රටේ කුකුළු මස් වගේ . . . !

Supun Budhajeewa said...

මස් කනවනං මොන සතාගෙ කෑවත් එකයි. අප්‍රිය කැමතිකම් ඔක්කොම තියෙන්නෙ අපේ හිත් ඇතුලෙ. ඊට හොඳයි මොන මලකුණක්වත් නොකා ඉන්න එක.

LazyOwl said...

අම්මපා කොලුවො, ඔය කිව්වහමයි මතක් වුනේ. ඒකාලෙ හුදී ජනයාගෙ කෑම ඉතිං ජහ් කොටිය තමා. මට මතක විදිහට, කෙල්ලොන්ට, "නියම කිකිලි" කියලත් කිවුවා. මොකද කුකුල්මස් එච්චරටම ගනන්. හැබැයි , කොල්ලොන්ට , "කුකුලා" කියපු එකනම් එච්චර හොඳ නම්බුනාමයක් උනේ නැහැ.

අක්කණ්ඩි said...

බතුයි, පැපොල්කොලයි, මසුයි විතරක් කන රටක වැඩ කරන කොට ශාකාහාරි වීම අමාරු වුණා ඒ දවස් වල. කොහොම හරි හිස නමා ආචාර කරනව සියලු දෙනාටම, අදහස් දැක්වීම පිළිබඳව.

Post a Comment