Monday, March 7, 2011

සිහින සාප්පුව

Monday, March 7, 2011


               හිත් අහසේ නේක පාට තවරමින් එක එක හැඩ තලවලින් වගෙම ආදරණීය හඟුම් වලින් යුතුව . . . මා වරින් වර පින්තාරු කරපු සිහින, පුංචි, පුංචි පෙට්ටි අස්සෙ දමල එකතු කරපු විසිතුරු සිහින, පොත් පිටු අතරෙ පරෙස්සමට තියල එකතු කරපු සිහින සාප්පුවෙ සිහින සේරම කුඩු වෙලා පොඩි පට්ටම් වෙලා ගියත් මගෙ ජීවිතය පැරදුමට බැර කරන්න හිත් දෙන්නෙ නැහැ, මට.
            සිහින් බලාපොරොත්තු පුළිඟුවක් ලේ නහර පුරාවට සංසරණය වෙනව, දැනෙන්න ගත්තා. අනාගතයක් ගැන අහස උසට සිහින ගොඩ නැගීම නවත්තල යථාර්තයට ඉවසිලිවන්තව මුහුණ දිය යුතුයි. දිවුල් ගැට වල කට කකාරවන ඇබුලට ලුණු කැට එකතුවුණහම දෙන වෙනස දිව විඳගත්ත අපූරුව ජීවිතයටහ් ආදේශ කර ගන්න වටිනව. සම්ප්‍රදායිකා මද සිනහවක් එක්ක සිත පිරිමදිනවා.
                දඩබ්බරී කියන්නෙම අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන්න කියලා. සටන් කරන්න ශක්තිය එකතු කරගන්න තවමත් හිතට කඳවුරු බඳින්න තේරුමක් නැහ.වටපිටාවෙ හිත ඉදිරියට තල්ලු කරන කෙනෙකුත් හොයා ගන්න බැහැ, දඩබ්බරී විතරමයි. හැමෝම සරණ බන්ධන සම්ප්‍රදායික සිර ගෙවල් වලම කූඩු වෙහ්ච, හිර වෙච්ච ලෝක පරකාසයට මුක්කු ගහන අය.
   මට ඕනි වෙල තිබුණෙත් සප්ත භාර්යාවන්ගෙන් අන්තිමට වැටෙන වදක බාරිය නොවී හොඳම
භාර්යාව වීම.
   ප්‍රෙමවතී පොළට ගිහින් වෙරළු, නෙල්ලි, ඇබරැල්ල වගෙම අඹ ගැට වගේ දේවල් ගෙනාවා. ඒත් එකම දවසක වත් නන්දි ඇහුවෙ නැහ මගෙන් මොනවද කන්න කැමති කියලා.
    දවසක් අම්මව මම හීනෙන් දැ
ක්කා, මාළු ඇබුල් තියල් එක්ක කිරි බත් හඩා ගෙන ඇවිත් මට පෙරැත්ත කර කර කවනවා. එදා හීනෙන් අවදි වුණේ ඒ විදිහටම කිරි බත් කන ආසාව හිතේ පුරව ගෙන. නන්දි වෙඩට ගියහම මම ළඟම තිබුණු උප තැපල් කන්තෝරුවට ගිහින් අප්පච්චිට ඇමතුමක් දුන්න.
  අප්පච්චිට කිරිබත් කන ආසාව කියන්නෙ කොහොමද කියල මම වචන එකතු කරල ගලපගන්න උත්සාහ කරද්දි ඇස් වල තෙතමනයක් ඇස් බොඳ කළා.
  " අප්පච්චි, අම්මට කියනවද මට කිරිබතුයි, මාලු ඇඹුල් තියලුයි කන්න ආසයි කියලා."
 හරිම සරල විදිහට ගෙදර අයගෙ සැප දුක් අහන අතරෙ මේ වචන ටිකත් හීන් සීරුවෙ ඇසුරුම් කළා.

  "ඔයා එහෙම කිව්ව එකත් හොඳයි, අපි පොළොන්නරු එන්න හිටියෙ
ඔයා ට සර්ප්‍රයිස් එකක් දෙන්නත් එක්ක කියල. මම කච්චේරියෙ වැඩ වගයකට ඩියුටි එනවා. අම්මවත් එක්ක ගෙනම එන්නම් එහෙම නම්"
  හිතට පිරුණ සතුට ඇස් දෙකින්, දෙතොලින්, දෙකොපුලින් විසරණය වෙන්න ගත්තා. ප්‍රේමවතීටත් මගෙ සිතේ පිරුණු සෝමනස්ස සහගත සිතුවිලි විසරණය වෙලා, වගෙ මුහුණ පුරා මල් වරුසාවක්.
   රිසීවරය තියල, සල්ලිත් ගෙවල ඉවර වෙනකල් ප්‍රේමවතී කිසිම දෙයක් නොඇහුවෙ මොකද කියල මටම හිතා ගන්න බැහැ.
  "සුදු මැණිකෙලගෙ අම්මයි, අප්පච්චියි එනව නම් හොඳයි."
  "ඔව්, ප්‍රේමවතී. . . . මාලු ඇඹුලුයි, කිරි බතුයි කන්න තියෙන ආසාවට වැඩියි, මට අම්මවයි, අප්පච්චිවයි දැක ගන්න තියෙන ආසාව."

  "ලොකු නෝනල එනවට අපි මොනවද හදන්නෙ සුදු මැණිකෙ..?"
   පරාක්‍රම සමුද්‍රයෙ වැව් බැම්ම දිගේ ඇවිදගෙන එද්දි ප්‍රේමවතී ප්‍රශ්න වැලකට මුල පුරනවා.

  "දවස් කීයක් ඉඳීවිද දන්නෙ නැහැ නේද?"
  "ආයෙත් මට ගල් විහාරෙ යන්න පුළුවන් වෙයි නේද?"

   "අපේ ගෙදරින් එනව කිව්වම මට වඩා සතුටු වෙන අයට නෙ"

  වැව් ඉවුරෙ ගලක මම චුට්ටක් ඉඳ ගත්තෙ සමූද්‍රය දිහා කොයි තරම් බලාගෙන හිටියත් ඇති වෙන්නෙ නැති නිසා. ප්‍රේමවතීත් ඒ ලඟම බිමට පාත් වුණා. දිය කාවො පේලි පේලි වැවට උඩින් ආකාසෙ, ගොදුරු හොයනවා. තැනින් තැන කොක්කු තනි කකුලෙන් හිට ගෙන සිල් අර ගෙන වගෙ බිම බලාගෙන භාවනාව. මාලුවෙක් මතු වුණොත් භාවනාව බිඳෙනවා.
  "අපි කොරලි බදිමු, නේද සුදු මැණිකෙ?"
  "හැම දාම කොරලි ද අපෙ අම්මලාට දෙන්නෙ?"
  "සුදු මැණිකෙට විහිළු....දැන් සුදු මැණිකෙටත් වැව් මාලු ගුණයි. . .  "
  "දැන් යමු...මහත්තයත් ගෙදර එයි තව ටිකකින් , උයල ඉවරයි නෙ?"
   ආදරයෙන් හෝ අනාදරයෙන් හෝ කුස තුළ පිළිසිඳගෙන ඇති කළල රුව රැක ගත යුතු වන්නේ මව විසින්ය. පියෙකු ඒ සඳහා දායක වන්නේ කෙළෙසදැයි නන්දිට වටහ දෙන්නේ කා ලවා දැයි මගෙ සිතට නැගෙන්නේ නැහැ.
   නන්දිට කෙසේ වෙතත් මගේ සිරුර තුළ වැඩෙන අපේ දරුවා නිසා නන්දි ගෙන් සිදුවන සිත් රිද වීම් හා වෙනස් කම් ඉවසා දරා සිටිය යුතු යයි සිතන්නට තරම් මලිතිගේ සිත නම්‍යශීලි වනු මට දැනිනි. මවක් වන භාරදූර වගකීම දැරීමට අදින් මතු සැදී පැහැදී සූදානම් වන්නට පේ වන්නට මෙන් වතුර මල යට විසිරෙන දිය පොකුරෙන් සැන හෙන්නට වූවාය.

(මතු සබැඳේ)

   

5 ක් අදහස් දක්වලා.:

Angel said...

http://tharuatharin.blogspot.com/
visit dizzzzz.........

Mark said...

Amazing, as usual.. :-) ithuru tikath ikmanata liyanna akkandi.. budu saranayi

Ravi said...

ලස්සනයි කතාව, සරලයි ඒ වගේම ගැඹුරුයි,

Akkandi said...

@ StArry aNgeL , Mark ,Ravi . . .
බොහොමත්ම ස්තුතියි, කමෙන්ට්ස් වලට. ලියන්නම්....ඉතිරි හරියත්.

Chandi said...

අක්කේ මේකත් හරි ලස්සනයි. සුදු මැණිකෙ ගේ නන්දිට ඉවක් බවක් නෑ වගේ ඈට දරුවෙක් පිළිසිද ගෙන කියල. සමහර ජීවිත එහෙම තමයි නේ. ඉතිරි ටිකත් ලස්සනට ලියන්න අපිට බලන්න.

Post a Comment