Monday, January 21, 2013

ඉනි අවන් මට දැනුණු හැටි

Monday, January 21, 2013

මා 'ඉනි අවන්' බැලූ බව කි විට බොහෝ දෙනෙකු ඇසුවේ "ඉනි අවන් ලස්සනද?" කියාය.
මගේ පිළිතුර වූයේ " මට 'ඉනිඅවන්' ලස්සනද කැත ද කියලා කියන්න බැහැ. ඒත් එහි ගුණාත්මක භාවය ගැන ටිකක් කතා කරන්න පුළුවන්" කියාය.
" දෙමළ චිත්‍රපට්යක් නිසා බලන්න කම්මැලි නැද්ද?"
"මට නම් එහෙම දැනෙන්නෙ නැහැ. අපේ අය හින්දි චිත්‍රපට බලන්නෙ හින්දි තේරිලාද? ඉංග්‍රීසි චිත්‍රපට බලන්නෙ ඉංග්‍රීසි දැනගෙනමද? සිංහල 'සබ් ටයිටල්' තියෙනවනෙ...තේරුම් ගන්න කිසිම අපහසුවක් නැහැ"
අපේම රටේ පවතින තවත් සංස්කෘතියකට ගරු කරන්නට හෝ ඒ මිනිසුන්ව තේරුම් ගන්නට හෝ බොහො දෙනෙකු තුළ පවතින අකැමැත්ත සමහරුන් අහන ප්‍රශ්න වල යටි අරුත යයි මට සිතේ. මේ දුරස්ථ භාවය ළං කොට අවුරුදු 30 කට ආසන්න කාලයක් තිබුණු යුද්ධයෙන් පසු උතුරේ දෙමළ ජනතාව ජීවිතය ජය ගන්න දරන ආයාසයන් දකුනේ සිංහල ජනතාවට දැනෙන්නට සැලැස්වීමට ඇශෝක හඳගමයන් ගත් වෑයමට නම් කෘතඥ විය යුතුය.බොහෝ දෙනෙකු හඳගමගේ සිනමා පට නරඹන්නට යන්නේ විවිධ හැඩතල සිතින් මවාගෙනය. අනිවාර්යයෙන් ලිංගික දර්ශන ඇතුළත් රූප රාමු ඒවායේ අන්තර්ගත විය හැකිය යන පූර්ව නිගමනයයි, ඒ.
                      'විදු' සිනමා පටයෙන් ඒ බලාපොරොත්තු බිඳ ගන්නට බොහෝ අයට සිදු විය. කෙසේ හෝ ඒ අපේක්ෂාවන් හඳගම විසින් 'ඉනි අවන්' මගින් හව දුරටත් බිඳ දමනු ලැබූවද එයින් ඔහුගේ අරමුණු සාක්ෂාත් කර ගන්නට බාධාවක් නොවුණු බව දැකිය හැක.
            හඳගම 'ඉනි අවන්' මගින් කතා කරන්නට උත්සාහ කරන්නේ බිඳ වැටුණු ජන සමාජයක් පිළිසකර වෙද්දී වෙසෙසින් ස්ත්‍රීන් අත් විඳින දුෂ්කරතාවයන් හා අභියෝග මෙන්ම ප්‍රචණ්ඩත්වයන් කොතරම් ව්‍යසනකාරීද කියා අපේ ඇස් වලට ඇඟිල්ලෙන් ඇන පෙන්වා දෙයි. යුද්ධයෙන් පසු බොහෝ දෙනෙකු උතුරට ගොස් එහි සිරි නැරඹුවත්, නාගදීපයට ගොස් වන්දනා මාන කළත්, ප්‍රහාකරන් ඇතුලු සටන් කාමීන්ට සාප කළත් මේ ගැහැණුන් හා මිනිසුන් ගෙවන ජීවිත විනිවිද දකින්නට හෝ සානුකම්පිතව බලන්නට උවමනාවක් නැත. සානුකම්පිතව බැලීම කෙසේ වෙතත් ඔවුන්ගේ දුෂ්කරතාවන් තේරුම් ගන්නට හෝ කිසියම් අයුරකින් පිහිටක් වන්නට හෝ ඇප කැප වන්නේ කී දෙනාද? ජාතිවාදය අවුලාගෙන තවත් පැටලෙන්නට, අළුත් ජාති වාදී කඳවුරු බැඳගෙන හෝ අටවාගෙන තැනින්තැන රටේ ගිනි අවුළුවන්නට නම් කැස කවන අය බොහෝ වෙති. එහෙත් 'ඉනි අවන්' මගින් උලුප්පා පෙන්වන ගැහැණුන් විඳින කර්කශ අත් දැකීම් වෙනුවෙන් කතා කරන්න අද කවුරුවත් නැති ගානය.
එහි එන තරුණියක් හැම දුක් ගැහැටක දීම හඬ නගා සිනහ සෙන්නී හඬා වැළපී ජීවිතය ජය ගත නොහැකි බව පසක් කර දෙමින්ය.  "අපිට තවත් වෙන්න දෙයක් නැහැ. මැරෙන්නෙ නැතුව ජීවත් වෙන්න ඕනි" ඇය බොහෝ විට එබඳු අදහසක් මතු කරන වදන් වැලක් පවසා සිනහ සෙයි. ඒ සිනහවෙන් දෝංකාරය දෙන වේදනාව හා අපට කියන පණිවිඩය අප තේරුම් ගත යුතුව ඇත.
   එල්.ටී.ටී.ඊයට කෙල්ලන් බඳවා ගන්නට එන අයගෙන් තරුණ කෙල්ලන්ව ගල්වා ගන්නට හැකි වූයේ ඔවුන්ව විවාහ කර දීමෙන් පමණි.ප්‍රධාන නිළිය මව් පියන්ගේ කැමැත්තට සිය සිත් ගත් එල්.ටී.ටී.ඊ. පෙම්වතා අත හැර විවාහ වුවද මගුල් දා රෑම මහල්ලෙකු වන මනාලයා මිය යයි. ඔවුන්ගේ මධු සමය පෙන්වන්නට එදින රාත්‍රියේ රමනය දැක්වෙන දර්ශනයක් ප්‍රේක්ෂක ආකර්ශනය සඳහා යොදා ගත හැකිව තිබුණි. එසේ වූයේ නම් හඳගම කියන්නට යන කතාව ගොඩ නැගීමට  එය කිසිසේත් පිටුබලයක් නොවනු ඇති. එනිසාය, මට හැඟෙන්නේ අධ්‍යක්ෂක වරයා කතාවේ ප්‍රස්තුතයට බාධා නොවන අයුරින් කතාව නිර්මාණාත්මකව වර්ධනය කර ඇති ආකාරය ඉතා විශිෂ්ඨ බව.
කෙසේ හෝ ඉතාමත් ස්වභාවික අයුරින් යොදා අති නර්තනය ද අමුතුවෙන් පැළඳූ ආභරණයක් ලෙසින් නොව ඉතාමත් අපූරු ලෙසට ගැලපෙන්නක්  බව සඳහන් කළ යුතුය.
ඔබ චිත්‍රපට ලෝලියෙකු නොවූවත්, මානව හිත වාදියෙකු නම් 'ඉනි අවන්' අනිවාර්යයෙන් නැරඹිය යුතු චිත්‍රපටයක් බව මේ කෙටි සටහනින් මම අවධාරණය කර සිටිමි.


1 ක් අදහස් දක්වලා.:

said...

කාලෙකට පස්සේ සිනමාශාලාවට ගිහින් බලපු ගොඩක් හිතට අල්ලපු ෆිල්ම් එකක් මේක්. ඇත්තටම හිතට වැදුනා. පුවත්පත්වල පලවෙච්ච සිනමා විචාර වල නරක කියලා තිබ්බත් මට නම් ෆිල්ම් එක බලද්දි ඒවා දැනුනේ නැහැ එච්චර

71 සහ 89 සමහර විට දකුණේ අයත් මේ අත්දැකීම් මේ විදිහටම විඳින්න ඇති කියලා මට හිතුනේ.

Post a Comment