Friday, January 27, 2017

අළුත ගෙනා මනමාලි

Friday, January 27, 2017
අළුත ගෙනා මනමාලී

දුරකතන ඇමතුමක් ලංකාවෙන්. එකත් එකටම ලංකේෂ්ගෙ අක්කා විය යුතුයි. මගෙ හෝඩුවාව හරි. රුවිනි අක්කා අපි දෙන්නා ගැන හොයල බලනවා. ඒ ලංකේෂ්ගෙ පවුලෙ වැඩිමහල් අක්කා. අක්කට බාලයි, එයාගෙ අයියා. කැප්ටන් ගජනායක. එයාට කියන්නේ ගෙදර උදවිය ලොකු බේබි හාමු කියලා. යුද්ධෙ කාලෙ හමුදාවෙ හිටියෙ. දැන් විශ්‍රාම අරගෙන  පාර්ලිමේන්තුව පෙනෙන නොපෙනෙන දුර නිසංසල තැනෙක ශානි අක්කත් එක්ක, ( එයාගෙ ආදරණීය බිරින්දෑ) විවේක සුවයෙන් කල් ගත කරනවා. ඒ දෙන්නගෙ දරුවො දෙන්නගෙන් එක්කෙක්නෙක් සිඩ්නි වල ඉගෙනගන්නවා. දුව ඇමෙරිකාවේ, රැකියාවක් කරනවා. දැන් ලංකාවේ බොහෝ පවුල්වල දරුවන් එක්කො පිටරටවල් ඉගෙන ගන්නවා. නැත්නම් හොඳ වැටුප් ලැබෙන රැකියාවල් වල යෙදෙනවා. ඒක පුරාජේරු කතාවක් නෙවෙයි. මම දන්න කියන බොහොම දෙනෙක්ගෙ ළමයින් එහෙම තමයි. සෙනෙහෙලතා නැන්දගෙ දරුවො තුන්දෙනා රටවල් තුනක. ශාලිකා ආන්ටිගෙත් එහෙමයි. එතකොට බුද්ධි මාමාගෙත් දුවයි, පුතයි දෙන්නම ලොස් ඇන්ජලිස් වල. කොහොමින් කොහොම හරි ඔහොම යනකොට කුරුණෑගල මල්කඩුවාවෙ ටිකිරි කුමාරිටත් ඔස්ට්‍රේලියාවට එන්න සිද්ධ වුණා. ටිකිරි කුමාරි කිව්වේ හුරතලේට. උප්පැන්න සහතිකයෙ තියෙන්නේ නම හැටියට ලියලා,
වරුණි තරුෂිකා යටවත්ත කියලා. අප්පච්චිලගෙ ගම නුවර යටවත්තෙ. තව මොනවද වාසගම් ගොඩක් තිබිලා ළමයින්ට ඔය බඩවැල් වගේ නම් තිබුණම ඉස්සරහට කරදරයි කියල, ඔය විදිහට කෙටියෙන් නමක් දමලා. හැබැයි, මෙහෙ එන්න මාසෙකට විතර ඉස්සර මගේ නමේ අග කොටස වෙනස් වුණා. යටවත්ත වෙනුවට වික්‍රමසූරිය.
"වීසා හදාගන්න ඕනි නිසා නම වෙනස් කරන්න ඕනි, බබා. ඔයා කැමති යටවත්ත කියන නමට නෙ. ඒක ඔයාට දිගටම පාවිච්චි කරන්න පුළුවන්. මගෙන් තහනමක් නැහැ"
මගේ හිස දෙපැත්තට සැලුණා.  අනුමැතිය ඒ අයුරින් ප්‍රකාශ වුණා. වචන වලට දෙතොල් වලින් පිටතට ඇවිත් හිරිඔතප් බිඳගන්න බැහැ වගෙ. තවම අලුත ගෙනාපු මනමාලි නෙ.
ගල්කිස්සේ මහ හෝටලේ අපේ මගුල ජයටම කෙරුණා. වෙන විවාහ මගුල්වල නොමැති විශේෂත්වයකුත් තිබුණා. ලංකේෂ්ගෙ ඔස්ට්‍රේලියානු ජාතික මිතුරන් දෙදෙනෙක් සහ මිතුරියක් දෙවැනි මනමාල මනමලියන් ලෙස පෙනී සිටීම. ඔවුන් නුපුරුදු නිළමෙ ඇඳුම හෙවත් තුප්පොට්ටිය ඇඳගෙන බොහොම අගේට රැගක් කෑවා. පව්! දෙයියනේ! මට හිතුණා. කරවටේ බැඳලා තිබුණු මාල හත මටත් මගේ සිහින් ගෙලටත් දැනුණේ කිලෝ ගාණක් එල්ලලා වගේ. මට පව් කියන්න කවුරුවත් නැහැ.
" බබා, ඔයාට ඔය මාල ගොඩ වදයක් නේද?"
ලංකේෂ් මගෙ හිත කියවලා. පුදුමයි. නැහැ. පුදුමෙකුත් නැහැ. අපි හුඟක් වෙලාවට එකම විදිහට හිතන්නෙ. මම හිතන දේ එසැණින්ම ඔහු කියනවා. මට පුදුම හිතෙනවා. පරචිත්තවිජානන ඥාණය වත් තියෙනවද? ඔහු මගෙනුත් එහෙම කිහිප වතාවක් ඇහුවා. කොහොමද ඔයා මම හිතන දේම කියන්නෙ? ගුප්තයි. ඒත් ඇත්තයි. අදහන්න බැහැ නේද?
පෝරුව තිබුණේ මුහුදු වෙරළෙ. සුදු පෙණකැටි විසුරුවාගෙන නිල් දිය රැළි සංගීත ස්වර සමග මුසු වෙලා, ආනන්ද ජනක නර්තනයක යෙදිලා, අපට ආශිර්වාද කරනවා වගේ. ලංකේෂ්ගෙ මුහුණ පුරා දස දහසක් පහන් දල්වලා වගේ එළියයි. ඔහු තළෙළු වලටත් වඩා ටිකක් කළුයි. ඒත් හිනාවෙනකොට හරිම සුන්දරයි. සුදු දත් ටික මුතු අහුරක් වගෙ. කොල්ලන්ගෙ හිනාවට එහෙම උපමාවක් දැම්මම ප්‍රවීණයන් දුහුණන්ට අවඥාවෙන් හිනාවෙයිද දන්නෙත් නැහැ. ඒ කවුරු කොහොම කිව්වත් මා කියන තැනැත්තිය ආදරයෙන් මොකද්දෝ අළා මුළාවක වැටිල නිසා එහෙම පෙනෙනවද මන්දා?
  මගුල් ගෙදර නටන්න ඩී.ජේ. ලගෙ සංගීතයක් තිබුණෙ නැහැ. ශාස්ත්‍රීය, සරල වගෙම පොප් සංගීතය වාදනය හා ගායනය කරන හොඳ සංගීත න්ඩායමක් සිතට පවන් සලන මියුරු, රොමැන්තික සංගීතයකින් අමුත්තන්ට අපූරුවට සංග්‍රහ කළා. ගල්කිස්සේ හෝටලේ ප්‍රධාන සූපවේදී පබිලිස් සිංඤෝ මහතා පිළියෙල කරල තිබුණු ඉඹුල් කිරිබත්, කට්ට සම්බල්, මාළු ඇඹුල් තියල් ලංකේෂ් රස කර කර කෑවෙ, මට විහිළු කරමින්.
"නියම ගමේ රහට කිරිබත්. අපේ අත්තම්ම හදන කිරිබතුයි, කට්ට සම්බලුයි වගෙ. ඔයා දන්නවද, මම පුංචි කාලෙ කිරිබත් කන්නෙ, සීනිත් එක්ක. එතකොට අත්තම්ම මට කෙහෙල් ගෙඩියකුත් ගෙනැල්ල දෙනවා. ඒකත් අනාගත්තම දිව්‍ය ලෝක රහයි" මගේ වැඩේ හැම එකටම බිම බලාගෙන හිනාවෙන එක තමයි.
අපි මදු සමය ගත කරන්න ගියේ නුවර එළියෙ. නුවරත් දවස් දෙක තුනක් හිටියා. නෑ ගෙවල් වල යන්න තිබුණනෙ. නුවරයි, කුරුණාගලයි. ඒ අපේ නෑදෑ ගෙවල්. ගිහිනුත් බැහැ. නොගිහිනුත් බැහැ. දැන් ඉතින් ඔස්ට්‍රේලියාවෙ පදිංචියට යන නිසා කොහොමත් යන්න ඕනිමයි. අනිවර්යයි. හැබැයි, වාසියකුත් වුණා. නුවර ප්‍රියා අක්කා උඳු වැල් (පැණි වළලු) පාර්සලයකුයි, කොණ්ඩ කැවුම් පාර්සලයකුයි දුන්න, රට ගෙනි යන්න කියලා.

ඔය යන අතරෙ ගෙවල් වලින් ෆ්‍රයිඩ් රයිස් කාලා ඇතිවුණා. ඇයි මේ කාටවත් බැරි, රතු කැකුළු බත් එක්ක කරෝල බැදල, කිරි අල හොද්දක් එක්ක, පොල්සම්බල් ටිකක් එක්ක අපිට කන්න දෙන්න. පොළොස් ඇඹුලක් වගෙ දෙයකුත් තිබුණනම් මොන තරම් අගෙයිද? මේව එහෙදි එහෙම කිව්වා නම් නැන්දම්මලාගෙන් හොඳ කතන්දරයක් අහගන්න තිබුණා. බැඳල මාසයක් යන්නත් ඉස්සරින් දොළදුක් හැදිලා කියලා. දොළදුක් හැදුණු අයට විතරද එක එක කෑම කන්න ආස හිතෙන්නෙ. ගෙදර ඇවිත් මම ඇනී ආච්චිට කියල මෙහෙ එන්න කලින් ඔය මම ඉස්සර කියපු වට්ටෝරුව හදාගෙන කෑව. ලංකේෂුත් ආසයි, ඒ කෑම වලට.
ඉතින් ඔහොම ඉඳලා පානදුරේ වළව්වටම කැන්දන් ආවනෙ. ඒ වගෙ පරණ ගෙවල් දැන් ලංකාවේ හරි දුලභයි කියල මට හිතෙනවා. පොඩි බේබි හාමුගෙ කාමරය මහ විශාලයි. කණ්ණාඩි තුනේ කන්නාඩි මේසයක්, කළුවර වියන් ඇඳක්, කළුවර කැටයමින් මල්කම් ලියකම් කළ අල්මාරියක්, දෙන්නගෙ ඇඳුම් එල්ලන්න දොර දෙපැත්තෙ බෝල කූඩු දෙකක් නිදන කාමරේ අඩු වැඩිය වශයෙන් තිබුණා.
රුවිනි අක්කා සුදු මල් දාපු වතුර වීදුරුවක් අරන් ඇවිත් අපිව පිළිගත්තා. අපේ අම්මයි, අප්පච්චියි දෙන්නගෙ මුහුණට මුහුණ බලාගෙන මොනවදෝ ඇස්වලින් කතා කරගන්නවා, මම දැක්කෙ පොඩ්ඩක් පස්ස හැරිල බලන කොටයි.
සාලෙ හරි ලස්සනට, පිළිවෙළට සකස් කරලා තිබුණා. රුවිනි අක්කගෙ මැහුම්, ගෙතුම් වලින් ඒ හැමදෙයක්ම සැරසිලා. තවත් දුර කතන ඇමතුමක්. ඒ ලංකේෂ්.

"බබා, ඔයාට තනියිද? උදේ ඉඳලම ගොඩක් වැඩ තිබුණා. මම නිවාඩු ඉඳලා ආපු නිසා වැඩ ටිකක් වැඩිවෙලා. ඔයා කෑවද? මම පොඩ්ඩක් ඇවිදින්න යනවා, ලන්ච් බ්‍රේක් එකේ. වුල්ස්වර්ත් එකටත් යනව. ඔයාට මොනවද ගෙනෙන්න ඕනි?"

"ම්..ම්..ම්..මොකුත් එපා පොඩි බේබි හාමු" මම කිව්වෙ ඔච්චමට.

"එහෙනම් අඬන්නෙ නැතුව ඉන්න. ඊයේ රෑත් හීනෙන් ඇඬුවා. අම්මයි, අප්පච්චියි දැක්ක කියලා. ටේක් කෙයාර් බබා. ලව් යු. බායි

ලංකේෂ්ගෙ ගතිගුණ හරිම වෙනස්. ලංකාවෙන් පිට හැදුණු නිසාද දන්නෙත් නැහැ. මට නොදැනිම ඔහු කෙරෙහි අමුතු බැඳීමක් මගේ හිත ඇතුලෙ වග දිගා වුණේ මටත් නොදැනිමයි. අපි ඉෂාර අයියගෙ මගුල් ගෙදර ගියෙ පුංචි අම්මගෙ පුතාගෙ මගුල් ගෙදරට අනිවාර්යයෙන්ම යා යුතු නිසා. අනික ඉෂාර අයියා හරිම උත්සාහවන්තයි. එයත් කොහොමහරි භෞතික විද්‍යා අංශයෙන් කැළණිය විශ්ව විද්‍යාලයෙන් ප්‍රථම පෙළ සාමාර්ථයක් ගත්තා. හොඳ රැකියාවකුත් ලැබුණා. කැම්පස් කාලෙම පටන් ගත්තු ප්‍රේම කතාවේ මල් පිපෙන දවසට අපි හැමෝම ගියා. ගමේ නෑදෑයො රොත්ත බුරුත්තම මුණ ගැහෙනවා. එතකොට ඉතින් මගෙන් හැමෝම අහන එක ප්‍රශ්නයක් තියෙනවා.
" දුව, මොකද තම මැරී කරන්නෙ නැත්තෙ? අපිවත් කවුරු හරි බලන්නද?"
නැන්දම්මලා හරියට මාව කර තියාගෙන ඉන්නව වගෙයි, කතාව. අම්මටත් අප්පච්චිටත් මාව බරක් නැත්නම් මටත් මාව බරක් නැත්නම් ඒ ගොල්ලන්ට තියෙන කැක්කුම මොකද්ද කියලා මට නම් තේරුම් ගන්න අපහසුයි. මගුල් ගෙදර පෝරුවෙ චාරිත්‍ර ඉවරවෙන්න ඉස්සර අපට යන්න පුළුවන් වුණා. හෝටලේ තියෙන තැන හොයා ගන්න බැරි වුණා අපේ පොඩි මල්ලිගෙ මල් කැඩිල්ල නිසා.  ගූගල් මැප්ස් දාගෙන ගූගල් අක්ක කියන විදිහට තමයි, අපි ගියේ. ඒත් ගූගල් අක්ක දකුණට හරවන්න කියද්දි, එයා දිගටම ගියා. මං කිව්වා, "මෝඩයෝ, දකුණට හරවන්න"කියලා. කොහෙද පණ්ඩිතයට ඒදණ්ඩේ යන්නත් බැරිලු නෙ.  මල්ලි කෙල්ලත් එක්ක ලක්ෂයක මල් පූජාවකට මල් කඩනවා. කොහොමහරි මනමාලයගෙ පැත්තෙ අය පෙරහැරෙන් ශාලාවට කැඳවාගෙන යන පෙරහැරට අපිට ශාලා දොරටුව ළඟදිම එකතු වෙන්න පුළුවන් වුණා. පෝරුවෙ කටයුතු ඉවරවෙලා හැමෝම තම තමන්ට වෙන් කරල තිබුණු මේස වලට ගිහින් වාඩි වුණා.
කැළනියෙ නැන්දත් නංගිත් එක්ක ඇවිත් ඉන්නවා. ගිහින් කතා කරන්න ඕනි. ඒ නැන්දා අර වගෙ ප්‍රශ්න අහන්නෙ නැති, තමන්ගෙ පාඩුවෙ ඉන්න කෙනෙක්. මම සාමාන්‍යයෙන් මගුල් ගෙවල් වල ගියහම වැඩිමහල් නෑදෑයෝ හැමෝම ළඟට ගිහින් වැඳලා කතා කරනවා. කැළණියෙ නැන්දා ළඟට මම ඉස්සරින්ම ගියෙ ඒ නැන්දට මගෙ හිතේ අමුතු බැඳීමක් තියෙන නිසා. අනෙක මම කැළණියෙ විශ්ව විද්‍යාලෙ ඉඳිද්දි මාමා එනවා මාව එහෙ එක්ක යන්න සති අන්තයට. ඒ ගියාම රසට උයල කන්න දෙනවා, බෝඩිමේ කෑම හොඳ නැති බව නැන්දලා දන්නවා. ආපහු ඇරලන්න එද්දි මගෙ අනික් යෙහෙළියන්ටත් එක්ක, කිරි කජු මාලුවක් එක්කලා තවත් වෑංජන එක්ක ත් පාර්සලයක් ඔතලා දෙනවා.
"තුනුරුවන්ගෙ සරණයි! කොහොමද දුව? කාලෙකින් දැක්කෙ?" වඳින මගේ හිස අතගාමින් නැන්දා පවසනව. නංගිට උණුසුම් සිප වැළඳ ගැනීමක්.
"ඉඳගන්නකො, දුව ටිකක්" නැන්දගෙන් ඉල්ලීමක්.
" අද දුව මෙහෙම හම්බ වුණු එක හොඳයි. අපේ යාළුවෙකුගෙ පුතෙක් ඉන්නවා ඕස්ට්‍රේලියාවෙ. එයාට එහෙ ගිහින් පදිංචි වෙන්න කැමති කෙනෙක්ව හොයනවා. අපි හිතුවා දුව ඒ ළමයට ගැලපෙනවා කියලා. ඒ ළමයට දුවම ස්කයිප් හරි වයිබර් වලින් හරි කතා කරලා දෙන්න හඳුනා න්නකො."
" මම අම්මටයි, අප්පච්චිටයි කියන්නම් නැන්දා."
" මම ඒ ගොල්ලන්ට කියලා තියෙන්නෙ. දුවටම කියන්න කියලා ඒ දෙන්නා කිව්වා. ඔය දෙන්නා කතා කරලා අදහස් ගැලපෙනවා නම් බලමු නේද, දුවේ?"

                                    ලංකේෂ්ගෙයි මගෙයි හඳුනා ගැනීම සිදුවෙන්නෙ ඔන්න ඔය විදිහට. අපි වයිබර් වලින් කතා කළා. ඔහුගෙ වරදක් මට පෙනුණෙ නැහැ. අනවශ්‍ය නීති රීති, රෙගුලාසි නැහැ. හරිම කරුණාවන්තයි. ආගමානුකූලව ජීවත් වන කෙනෙක්. මට පුදුමත් එක්ක ඔහු මගෙන් අහපු පළවෙනි ප්‍රශ්නෙ ගැන.
" ඔයා දන්නවද සම්මා ආජීව කියන්නේ මොකද්ද කියලා?"
මම දුන්නු පිළිතුරට ඔහු ලකුණු සියයට අනූ අටක් දුන්න බව කිව්වා. ඔහුගෙ බොහොම ගතිගුණ මවා පෙන්වන ඒවා නොවන බව ටික දවසක් යන කොට මට වැටහුණා. ඔහුට මා කැමති බව අම්මට කිව්වම අම්මට හරිම සතුටුයි. විවාහය ඔය විදිහට තීන්දු වුණා. ඔහු ලංකාවට එන කොට අපි පණ පිටින් නොදැක වුණත් දැඩි ආදරයකින් වෙළිලා හිටියා.
මට කැම්පස් එක පටන් ගන්න තව සතියක් ගත්වෙන්න ඕනි. මෙහෙදි ආචාර උපාධියක් කරන්නයි, මගේ බලාපොරොත්තුව. ලංකේෂ් මෙහෙ පුරවැසියෙකු නිසා මටත් මෙහෙ පී.ආර්. හදාගන්න පුළුවන් වෙයි. රස්සවක් හොයා ගන්නත් අමාරුවෙන එකක් නැති වෙයි.
ලංකේෂ්ගෙ තියෙන මම ආස කරනම ගුණාංගය තමයි, හැමම උදේ පාන්දර හතරට නැගිටලා, නාලා බුදුන් වැඳලා පිරිත් කියන එක.
සමහරු නම් හිනාවේවි, ඒ මොන පිස්සුක්ද කියලා. ඒ වුණාට පිට රටක හැදිලත් ලංකාවේ ඉන්න ලාංකිකයන්ට වත් නැති හොඳ ගතිගුණ තියෙන කෙනෙක් මගේ සහකරුවා විදිහට ලැබුණු එක ගැන අළුත ගෙනා මනමාලිට නම් තියෙන්නෙ ලොකු සතුටක්.




1 ක් අදහස් දක්වලා.

Thursday, January 26, 2017

ජේයෂ්ඨ පුරවැසියෝ

Thursday, January 26, 2017
වැස්සත් එක්ක එන සීතල සුළං කැරලි ඇඟේ වැදෙන කොට කොළඹ ගෙන්දගම් පොළවෙ ගිනි කාෂ්ටකයෙ ඉඳලා ආපු කෙනෙකුට සීතල වැඩි තමයි. මෙහෙත් ගිම්හානය නිසා සීතලක් නැතිවෙයි කියලා යාන්තමට ඇඟ උණුසුම් වෙන්නවත් ජර්සියක් අරගෙන ආවෙ නැහැ. කොච්චර සීතල වුණත් ඕස්ට්‍රේලියාවට ආපු එකේ ඇවිදින්න නොගිහින් බැහැ නෙ. ඇවිද්ද පය දහස් වටී කියලා මුතුන් මිත්තොත් කිව්වෙ කට කහනවටයැ.
මෙල්බර්න් කියන්නේ වික්ටෝරියා ප්‍රාන්තයේ අගනුවර. මෙහෙ ඉන්න ශ්‍රී ලාංකිකයින්ට නම් මේවා අලුත් කාරණ නෙවෙයි. ඒත් කවදාවත් මෙහෙ නොපැමිණි අය මේවා දැනගන්න කැමති ඇති. අපි ගුවන් යානයෙන් බැස්සෙ රෑ හතයි හතලිස් පහට විතර. ගිම්හානයේ හිරු තවමත් අහසෙ, දවස නිමා කරලා යන්න අකැමති වගෙ. ගුවන් තොටුපොළට අපේ ඥාති දියණිය අපිව පිළිගන්න ඇවිත් හිටියා. පින්තූරවල දැකල තිබුණට හැබැහින් දැක්කෙ අදයි. මා ඇයත් සමග රථයේ ඉදිරි අසුනින් වාඩි කරවගත්තේ මග දෙපස විසිතුරු කියාදෙන්න. පාටපාට නියොන් ලයිට් වලින් සැරසූ අහස සිඹින විසල් මැදුරු, තවමත් ඉවත් නොකළ නත්තල් සැරසිලි මගේ ඇස්වලට නම් මනරම් දසුන්. මම ආවා වගේම ඥාති දියණියත් මෙහෙ ඇවිත් තිබුණෙ කෙටි නිවාඩුවකට, ඇමෙරිකාවෙ ඉඳලා. ආගිය තොරතුරු, නෑදෑ වගතුග, මගුල් අවමගුල් විස්තර කියාගන්න, අහගන්න අපිට කල් මදිවෙන බව අපට වැටහුණා. අපි කතා කලේ ඒ සේරටම වඩා අධ්‍යාපන කටයුතු ගැන, රට රටවල සිදුවන දේවල් ගැන. දේශපාලනයත් නොතිබුණාම නෙවෙයි. අපේ ජීවිතයෙ බොහොම දේවල් දේශපාලනයෙන් ව්‍යුක්ති කරන්න බැහැ නෙ. පක්ෂ දේශපාලනය නම් නෙවෙයි. ජාත්‍යන්තර දේශපාලනය. රෑ කෑමෙන් පස්සෙ පහුවදා දවල් බතට මුණගැහෙන චේතනාවෙන් අපි අපේ හෝටල් කාමර වලට ගුලි වුණා.
මුලු රාත්‍රියම නිදිවර්ජිතව ගුවනේ පාවුණු නිසා උහුලන්න බැරිතරම් නිදිමත. ඕස්ට්‍රලියාවෙ, වික්ටෝරියාව ලංකාවට වඩා පැය පහ හමාරක් ඉදිරියෙන් ඉන්න නිසා 'ජෙට් ලැග්' කියල හඳුන්වන වෙලාවේ වෙනසට ගත සිත හුරුවෙන්න ටික දවසක් යාවි. ( වෙලාවෙන් විතරක් නෙවෙයි, බොහෝ දේවල් වලින් ලංකාවට වඩා ඉදිරියෙන් ඉන්න බව මේ වෙනකොටත් තේරුම් යමින් තිබුණේ
'රූම් සර්විස්' කියල දොරට ගහපු එක මට ඇහුණෙ මහ තඩිබෑමක් වගෙ. ඒ තරමට ගැඹුරු නිද්‍රාවක මම ගිලිලා හිටියෙ. මට නිදිමත වුණාට බැලින්නම් වෙලාව උදෑසන දහයයි. සිනහමුසු මුහුණින් ආවෙ ලංකාවෙ කෙලි පැටික්කියෙක්. මුල්ම ඔස්ට්‍රේලියානු උදෑසන අපේම දුවෙකුගේ සුන්දර හිනාවක් දකින්න මම පින් කරලා තිබුණා. කතාව මුලින් ඉංග්‍රීසියෙන්. පස්සෙ අපටත් නොදැනිම සිංහලට පෙරැලුණා.

ඇය හෙදියක් හැටියට වෘත්තීය පුහුණුව ලබන අතර තුර අර්ධ කාලීන රැකියාවක් හැටියට හෝටලයක සේවය කරනවා. මෙහෙ ඉන්නෙ නැන්දා කෙනෙකුත් එක්ක. ගම නුවර. ඊට වඩා ආගිය තොරතුරු කතා කරන්න වුණේ නැහැ, ඇයට නියමිත රාජකාරි නිමා වුණු නිසා.
ආයෙමත් පොරෝණය යටට ගුලි වුණෙ කෝපි කෝප්පයක රස බැලුවට පස්සෙ. කෝකටත් ගුවන් තොටුපළේදීම වෙලාව වෙනස් කරගත්තු එක හොඳට ගියා. ජංගම දුරකතනයෙ එලාර්ම් එක දොළහට තියන්න අමතක කළේ නැහැ. දොළහ වෙනකොටවත් දවල් කෑමට යායුතුව තිබෙන නිසා.
කිව්වත් වගෙ ඥාති දියණිය දොළහයි කාල වෙනකොට මගෙ දොරට තට්ටු කරනවා. කල් ඇතුව සූදානම් වෙලා හිටි නිසා වීරය වගේ මම දොර ඇරගෙන ඇයව පිළිගත්තා. චරිත්‍රි එදාම හවස නැවත ඇමෙරිකාව බලා පිටත්වෙනව. ඉතින් ඇය මාව කැන්දන් ගිය බොජුන් හලෙහි ඒ වන විටත් සෑහෙන පිරිසක් ආහාර ගනිමින් හිටියා. චරිත්‍රි අපට මේසයක් කලින්ම වෙන් කරවලා තිබුණ නිසා සිනහවීගෙන් ආපු සුදු තරුණියක් අපව ඒ මේසය වෙත කැඳවා ගෙන ගියා.
"නැන්දිට කැමති දෙයක් තෝරන්න"
කෑම වට්ටෝරු සටහන හෙවත් මෙනු කාඩ් පත මා වෙත දිගු කරමින් කිව්වෙ ඈ අත වූ මෙනුවට දෑස් යොමු කරමින්.
මා මෙනුවේ පිටු පෙර්ලුවේ මෙහෙ කෑමවල තිබෙන වෙනස හඳුනා ගන්න අදහසින්. එක පිටුවක, හරිම අඩු මිළට කාම! අප්පා! ජේෂ්ඨ පුරවැසියන්ට". මමත් ජේෂ්ඨ පුරවැසියෙක් තමයි. එත් ඒ ලංකාවේ නෙ. මෙහෙ ජේෂ්ඨ පුරවැසි කාඩ් එක තියෙන්න ඕනිලු එහෙම අඩු මිළට කාම කන්න. වියපත් ජෝඩු බොහොම දෙනෙක් ඉතා සතුටින් රස බොජුන් වළඳමින් අල්ලප සල්ලපයෙහි යෙදෙමින් ඉන්න ආකාරය දුටු මට අපේ රටෙත් එහෙම ක්‍රමයක් ඇතිකරනව නම් කොයි තරම් යහපත් වෙයිද කියල හිතුණා. යහපාලනයටත් මෙව්වා එකතු කරගන්න පුළුවන් නම් හොඳයි. කලින් රස්සවක් කළත් නොකළත් ජේෂ්ඨ පුරවැසියන්ට විශ්‍රාම වැටුපක් රජයෙන් ගෙවනවා. ඒ විතරක් නෙවෙයි, සමහර අවන් හල් වල කෑම, බීම අඩු මිළට සපයනවා. ඒ විදිහට ඔවුන්ට ගෞරවය දැක්වීම මොන තරම් වටිනවද?
සමහර දරුවන් වියපත් දෙමව්පියන්ට නොසලකා වැඩිහිටි නිවාස වල රඳවා තබන ආකාරය මම ලංකාවෙදි අනන්තවත් දැකල තියෙනවා, වැඩිහිටි නිවාස වලට දානය දෙන අවස්ථාවලදි. ඒ වුණාට බොහොම දෙනෙක් අපේ සාරධර්ම, දෙදහස් වසරකට වඩා ඉපැරණි අපේ සංස්කෘතිය ගැන පාරම්බානවා. දෙමව්පියන්ට සලකන්නෙ නැහැ.

"නැන්දි, හරිද?"

" ඔව්, පුතේ, ෆිෂ් ඇන්ඩ් චිප්ස්"

චරිත්‍රි යන්තම් බහ තෝරන වයසෙදි තමඉ ලලිත් අයියා ඔස්ට්‍රේලියාවට ආවෙ. දැන් ඇය තිස්වන වියේ තරුණිය. එනිසා මා දුටු මුල් මොහොතෙම ඇය කිව්වා,

" මයි සිංහල ඉස් නොට් ගුඩ් නැන්දි" කියල.

"ඒකට කමක් නැහැ, පුතේ. අපි ඉන්ග්‍රීසියෙන් කතා කරමු"

මට ලැබුණු කෑම පිඟාන මට නම් වේල් දෙකකට ඇති. ඔක්කොම කෑවොත් උස්මුරුත්තාව හැදෙයි. 'ඩොගී බෑග්' එකක් ඉල්ලන්නත් බැහැ, ලංකාවෙදි වගෙ. මෙහෙ කවුරුත් එහෙම ගෙනියනවද කියලා විපරම් කළා. 'ම්හ්' එහෙම කවුරුත් ගෙනියන්නෙ නැහැ. ගෙනියන්න තරම් කෑම ඒ අයගෙ ඉතුරු වෙලත් නැහැ. ඔවුන් සද්දන්ත උදවිය නෙ. කෑමත් සද්දන්තයි. පොකට් සයිස් මට දෙවේලක් පිරිමහගන්න පුළුවන්. ඔවුන්ට නම් බියර් ටිකක් හෝ වයින් ටිකක් එක්ක එක වේලටම ගිලා බස්සන්න පුළුවන්. ඒකටත් වාසනාවක් තියෙන්න එපායැ.



2 ක් අදහස් දක්වලා.