Monday, October 15, 2012

හේමන්ත උණුසුම

Monday, October 15, 2012
                 ඇෆ්ගනිස්තානය හිතෙන් අහකට දාන්නම බැරි රටක්. එහෙ ජීවත්වෙද්දි රෑට වහළ උඩින් උරුවම් බාන සද්දෙන් යන රොකට් වෙඩි හඬවල්, බෝම්බ වගෙම  වෙඩි හඬවල් මොන තරම් බිහිසුණු වුණත් එහෙ දරුවන්ගෙ, අහිංසක මිනිසුන්ගෙ අසරණ කම මතක් වෙද්දි ආපහු යන්න හිතෙනවා. දැන් එහෙට සීත කාලය පටන් ගෙන ඇති. හිමපතනයන් සිදු වෙන්නෙ නම් උඳුවප් මාසෙට. මේ වෙන කොට සයිප්‍රස් ගස් ඇරෙන්න අනෙක් හැම ගසක්ම කොළ බිමට හළලා සැහැල්ලුවෙන් ඉන්නවා ඇති. හිම වැටෙද්දි ගස් වල අතු පතර පීදෙන්නෙ හිම දලු, පිපෙන්නෙ හිම මල්. ඒවායින් සුවඳ නොදැණුනත්, නොවිහිදුණත් සීතල නම් දැනෙනවා අපූරුවට.
    පරිසරයෙත්, මග තොටත් අඩු ලුහුඬුකම් වසා දමන හේමන්තය මගෙ හිත නළවන්නෙ සුදු පලසක් එලුව වගෙ කඳු මුදුන් වල ඉඳලා පහලටම හිමෙන් වැසී යන නිසා. බොහෝ නැති බැරි උදවියට සීතලට අඳින්න කියල වෙනම ඇඳුම් ඇත්තෙත්නැහැ . මසාර් ඉ ශෙරිෆ් නගරයේ නිල් පල්ලිය ලඟ වටේට
ඉටි රෙදි වලින් සිය සිරුරු ආවරණය කර ගෙන සිඟමන් යදි අකාරය මට කාර්යාලයට යන අතර තුර පෙණුනා. අපි සීතලට අඳින ඇන්දුම් ඇඳ ගෙන අත් මේස් පවා දමාගෙන, ඒ මදිවට වාහනයෙ උණුසුම් ජනක යන්ත්‍රත් කියාත්මක කර ගෙන. එහෙම තියා ගෙනත් සමහරුන් හිම පතනයටයි, සීතලටයි දෙස් දෙවොල් තියමින් ආඩපාලි කියනවා, නොරිස්සුමෙන්.
  ඔය අතරෙ එක්කෙනෙක් දෙසැම්බර් මාසෙ උපන් දින තියෙන අයගෙ නම් ලැයිස්තුවක් හදනව. එතකොටයි, මටත් මතක් වුනෙ මගෙ උපන් දිනයත් එම
මාසෙම බව.
     මගෙ උපන් දිනයට මගෙ අම්මව සිහි කරල දානයක් දෙනව, මම මොන රටක  හිටියත්. මම හොඳින් ඉන්නෙ මගෙ අම්මා නිසා. ඇයටත්, අප්පච්චිටත්  පින් සිදු වන්නට මම අද මගේම දෙපයින් නැගිටලා ස්වාධීනව ඉන්නවා.මේ දන්දීම මා වෙනුවෙන් කළ සියලු කැප කිරීම් හා පරිත්‍යාගයන් වෙනුව්න් කෘත ගුණ දැක්වීමක්.
        නිල් පල්ලිය වටා සී
ලෙන් ගැහෙමින් ඉන්න අයට උණුසුම් ඇඳුම් අරන් දීම සුදුසුම දානයක් කියල මට හිතුණා. ඒ බව මම මුලින්ම කිව්වෙ මගෙ භාෂා පරිවර්තිකාවට. ඊට පස්සෙ රියැදුරාට. ඔවුන් දෙදෙනාම මේ බව ඇසූ සැණින් විමතියට පත් වුණා. ඒ වගෙ සිරිත් එහෙ හරිම දුලබයි. මුදල් හදල් යහමින් තියෙන, අත මිට සරු අයවත් එහෙම කරන පුරුද්දක් එහෙ නැහැ. " එතකොට පාටියක් දමන්නෙ නැද්ද?" භාෂා පරිවර්තිකාව මගෙන් ඇහුවා. " තියෙන අයට කන්න බොන්න දෙනවට වඩා සීතලෙන් ගැහෙන මේ මිනිස්සුන්ට උණුසුමක් දෙන එක වැදගත් නේද?" ඇගේ ප්‍රශ්නයට ප්‍රශ්නයකින්ම ලැබුණු පිළිතුරට ඇගෙන් මද සිනහවක්.
   උපන් දිනයට කලින් දවසෙ අපි වෙළඳ පොළට ගිහින් මේ ඇඳුම් මිළට ගත්තා. උපන් දිනය දවසෙ දවල් ක්ෂේත්‍ර චාරිකවක් යන අතරෙ නිල් පල්ලිය ලඟ වාහනය නවත්තලා උණුසුම් ඇඳුම් බෙදන්න පටන් ගත්තා. එතැන ඉඳගෙන හිටි අය විතරක් නෙවෙයි, අහල පහළ වෙළඳම් කර මින් හිටි තොරොම්බල් කාරයො වාහනයත්, අපිව්ත් වට කර ගත්තා. එත්කොටම රියැදුරා වාහනයෙ දොරක් ඇරල මට නගින්න කිව්වා. මමත්, භාශා පර්‍රිවර්තිකාවත් වාහනයට නැගල දොරවල් වහ ගත්ත. අපි ගියෙ ආයතනික වාහනයෙ නිසා ඔවුන් හිතල තියෙන්නෙ, ජග
ත්  සංවිධානයෙන් මේ ඇඳුම් බෙදා හරින්න ඇවිත් කියලා. අපි ඇඳුම් අර ගෙන ගියෙ තිස් දෙනෙකුට විතර සෑහෙන්නයි. ඒ සියල්ලම අපිට සුදුසුම අයට දීගන්න පුළුවන් වුණු එකත් ලොකු දෙයක්. ඒ ක්‍රියාඑන් යම් කිසි පිනක් සිදු වුණා නම් ඒ පින් සියල්ලම අපෙ අම්මට අනුමොදන් විය යුතු යයි කියල මම සිතින් කිහිප වාරයක්ම පුණ්‍යානුමෝදනාවක් කළා.
    අම්මා ඉන්න කාලෙත් ලෙඩ්ඩුන්ට, නැති බැරි අයට මේ වගෙ උදව් කරන්නෙ හරිම උනන්දුවකින්. අප්පච්චිත් එහෙමයි. ඒ ගතිගුණ දෙමපියන්ගෙ උරුමෙන් මට ලැබුණු එක ගැන හිතට දැනෙන්නෙ අප්‍රමාසතුටක්.

දෙදහස් දොලහෙත් දෙසැමබරය දැන් පේන තෙක් මානයට ඇවිත් එබිකම් කරනවා. දනක් පිනක් කර ගන්න කැමති අයත් එක්ක එකතු වෙලා සසර කෙටි කරගන්න යහපත් යමක් කරන්නට අවස්ථාවක් ලැබෙයි කියල හිතෙන් හිතා ගෙන ගෙවෙන දවස් එක්ක ඉදිරියට යනව.

2 ක් අදහස් දක්වලා.