Thursday, July 1, 2010

එක ගෙයි කෑම

Thursday, July 1, 2010

      අපෙ අප්පච්චිට දැන් අවුරුදු අසූ හතක් වෙනවා. මේ දැන් වෙන දේවල් අමතක වුණත් අතීතය යස අගේට මතකයි. අප්පච්චි ඉන්නෙ මහ ගෙදර...දැන් ඒ ගෙදර ඉන්නෙ අපේ පුංචි මල්ලියි, එයාගෙ බිරිඳයි, දුවලා දෙන්නයි. මේ මල්ලි තමයි මගෙ ජීවිතේට සමීපතම මල්ලි. එයාගෙ බිරින්දෑ අපරාදෙ කියන්න බැහැ, අප්පච්චිව ආදරයෙන් බලා ගන්නවා. රසට කෑම හදලා දෙනවා. මම නොරට සේවය කළ නිසා අපෙන් සිදුවෙන්න අවශ්‍ය සියළුම දේවල් ඉටු වෙන්නෙ අපෙ නෑනන්ඩි අතින්. ඇත්තටම අපි එයාට ණය ගැතියි. කොහෙ හිටියත් ලංකාවට ආව ගමන්ම මම අප්පච්චි බලන්න යන එකයි ඉස්සෙල්ලම කරන්නෙ. ඉතින් ඔන්න ඔහොම ආපු වෙලාවට මම ගමේ ගිහින් අප්පච්චිත් එක්ක සති දෙක තුනක් ගත කරනව.
    එහෙ සීතල නිසා නිතර නාන්න අප්පච්චි ටිකක් අකැමැතියි. උණු වතුරෙන් තමයි නාවන්නෙ. ඔන්න මම ඉතින් නිය පොතු කපල, රැවුළ කපල අර ගමේ විදිහට කුණු උලලා නෑව්වා.
             නාවල ඉවර වුණහම උණට උණු තේ කෝප්පයකුත් හදල දුන්න. අප්පච්චි තේ බිබී ඉන්නව මාත් එක්ක පරණ කතා කිය කියා. ඔන්න එතකොටම අපේ බාලම නංගි එතැනින් යන්න ආව. එයාගෙ ගෙදර තියෙන්නෙ අපේ මහගෙදරට උඩැහින් තියෙන වත්තෙ. අප්පච්චි එයාව දැකල කියනවා," පුතේ, මේ අක්ක කියනව මාව නවන්න ඕනි කියල. ඔයත් ඇවිත් එයාට උදව් වුණානම් හොඳයි නේද" කියලා.
   නංගිට තෙරුණා, පුළුන් කුල්ලක් වගෙ කොණ්ඩෙ සුදුවට දිලිහෙන කොට මේ නාලා ඉවර වෙලා තමයි කියලා.
" ඇයි, දැන් අක්කා අප්පච්චිව නෑව්වෙ. ඔය අලුත් සරමක් එහෙමත් ඇඳන් ඉන්නෙ."
" ආ....ඔව් නෙ. මට අමතක වුණා"
   එහෙම වෙලාවට අපිට අපෙ අප්පච්චි ගැන පුදුම දුකක් දැනෙනවා. මොන තරම් සැර වැර කළත්, නීති දැම්මත් අපි අද මේ විදිහට ඉන්නෙ අම්මත් අප්පච්චිත් කළ කැප කිරීම් නිසා නේද කියලා.

    අප්පච්චිගෙ අප්පච්චි, ඒ කියන්නෙ අපේ කිරි අත්තා අත්තම්මව ගෙනැත් තියෙන්නෙ එයා වැඩිවිය පැමිණෙන්නත් ඉස්සර ලු. අත්තම්ම හරිම හැඩයි, අපිට තේරෙන කාලෙදිත්. පොකුටු කොණ්ඩෙ. හිනාවෙන කොට වළ ගැහෙන කම්මුල්...ලස්සන නාස් පොඩ්ඩ...ඉතින් අත්තම්මගෙ තනියට කිරි අත්තගෙ මල්ලිව තමයි ළඟ තියලා යන්නෙ. වැඩිවිය පැමිණිල නැති නිසා එයාව බලා ගන්න තවත් පරිවාර කාන්තාවකුත් ගෙනැත් තියෙනවා. එතකොට අපෙ කිරි අත්ත හල්දුම්මුල්ලෙ තානායම භාරව හිටි රාළහාමි. වට පිටාවෙ තේ වතුවල සුද්දො සති අන්තෙට එකතු වෙන්නෙ මේ තානයමේදිලු. කිරි අත්තා ගෝලයො දමල ඉස්ටු බිස්ටු කෑම හදලා ආගන්තුක සත්කාර කරනවලු.
අත්තම්ම වැඩිවිය පැමිණිලත සෑහෙන කාලයක් අර පරිවාර කාන්තාව ඉඳල තියෙනවා. ඒ අත්තම්මගෙ නම් බණ්ඩාර මැණිකෙ. අපෙ අත්තම්මගෙ නම සුදු මැණිකෙ. ඉතින් සුදු මැණිකෙව කැන්දන් එන්න යොදා ගෙන තිබුණු දවසෙ  කිරි අත්තට බලාපොරොත්තු නොවිච්චි දෙයක් සිද්ධ වුණාලු. අර දැනුත් අපි කියන්නෙ 'නොවැළක්විය හැකි හේතුවක්' කියලා. 

                           එංගලන්තයෙන් සුද්දො වගයක් තේ වතු බලන්න එන නිසා තානායම දමලා යන්න විදිහක් නැතුව ගියා. ඉතින් කිරි අත්ත මොකද කළේ...පොඩි කිරි අත්තට කිව්වලු, "උඹ ගිහින් එක්ක වරෙන්, අර ඇත්තිව. මාමණ්ඩිට කියහන් අද සුදු මහත්තැන්ල කීප පොළක් එන නිසා මට රාජ කාරි මග ඇරල එන්ට බැහැය කියලා"
                ඉතින් පොඩි කිරි අත්තත් පේරවැල්ලට ගෙහුන් සුදු මැණිකෙව කැටුව ඇවිත් තියෙනවා. පිට කවරුවත් නෙවෙයි නෙ. ඒ කිරි අත්තලගෙ ඇවැස්ස නෑනලු.
  ඉතින් සුදු මැණිකෙ වැඩි විය පැමිණුණහම ගෙයි මුල්ලක තියලා ආව තේව කම් කොළේ බණ්ඩර මැනික නැන්ද කියලයි අප්පච්චි කියන්නෙ.
   මේ දීගෙ අර පුරාණෙ වෙච්ච එක ගෙයි කෑමක් නේද කියල මම ඇහුවම අප්පච්චි ඒක එහෙමමයි කියන්න ටිකක් අදි මදි කරනවා. මම පුංචි කාලෙත් ඇහුව අප්පච්චිගෙන්," ඇයි, එහෙනම් පොඩි කිරි අත්තා අත්තම්ම කෙනෙක් ගෙනාවෙ නැත්තෙ?" කියලා.
  අප්පච්චි මට ඔරවල, " පැහිච්ච ආච්චි වෙන්නෙ නැතුව යනව යන්න මෙතනින් " කියලා මාව එලව ගත්තා. මට ඉතින් කුතුහලය. මේ ළඟදිත් මම ලොකු අප්පච්චිගෙ දුව මුණ ගැහිල ඔය ගැන කතා කළා. එයත් මගෙ කීමට එකඟයි. අප්පච්චිලගෙ පවුලෙ නැන්දි තම
යි වැඩිමලා. ඊටපස්සෙ ලොකු අප්පච්චිල තුන් දෙනයි. අප්පච්චි තමයි බඩ පිස්සා. බඩ පිස්ස කියන්නෙ මොකද කියල දන්නවදු ? බාලම දරුවා ආයෙ ලමයින් පිළිනොසිඳෙන විදිහට බඩ පිහ දාගෙන එන නිසා තමයි 'බඩ පිස්ස' හෝ 'බඩ පිස්සි' කියන්නෙ.
             අප්පච්චිට ආදරේට කියල තියෙන්නෙ 'හින්නි' කියල. පස්සෙ අපෙ නෑදෑයො, අප්පච්චිට 'හින්නි අයියා', හින්නි මල්ලි','හින්නි බාප්ප', 'හින්නි මාමා', 'හින්නි උන්cලෙ' කියල තමයි කතා කලෙ.
   'එක ගෙයි කෑම' කෙරෙන්නෙ දේපොළ අහක යනවටලු. කොහොම වෙතත් ලොකු කිරි අත්තයි, පොඩි කිරි අත්තයි, අත්තමයි විරසක වෙල හිටි එක දවසක් වත් මට මතක නැහැ. තුන් දෙනාම හරිම ආදරෙන්, සාමයෙන්, සමගියෙන් ජීවත් වෙච්ච බව නම් අපිට හොඳට මතකයි.
   කිරි අත්තලගෙ ගෙදර ඉස්සරහම කාමරේ හිටියෙ පොඩි කිරි අත්තා. ඒ පැත්තෙම ඊලඟ කාමරේ හිටියෙ ලොකු කිරි අත්තා. ඒ ගෙදර වම් පැත්තෙ. අත්තම්මගෙ කාමරේ තිබුණෙ දකුණු පැත්තෙ. අත්තම්මගෙ කාමරේට එහායින් ගබඩා කාමරෙත්, ඊටත් එහායින් උයන ගෙයත් තිබුණා. උයන ගෙයි දුම්මැස්සෙ ගිරා අඹ ඉදෙන්න දමල තියෙනවා. දෙල් අටු කොස්, අටු කොස්, ලුණු දෙහි වගෙම පිළිකන්නෙ වැලි අස්සෙ කොස් ඇට තියෙනවා ඕනිම වෙලාවක. අපි එහෙ ගිහින් ඉන්න හරිම ආසයි නිවාඩු කාලෙට. අත්තම්ම උයන කොස් මාලුවෙ සුවඳ දැනුත් දැනෙනවා වගෙ. අත්තම්මලා ශාකාහාරි උදවියද කියල වෙලාවකට මට හිතෙනවා. කොස්, දෙල්, වෙලෙන් නෙලා ගෙන එන පලා, කොස් ඇට, කෙහෙල් මුව, තිබ්බටු, එල බටු, මයියොක්ක දලු වගෙ දේවල් තමයි ඒ අය ආහාරයට ගත්තෙ. ඒ ම වල තිබුණෙ පුදුම රහක්. රසායනික පොහොර නැහැ. රත් වෙච්ච තෙලට මිරිස් කෑලි කඩල දමල, අබ, සුදු ලූණු දමල තෙම්පරාදු කරද්දි මිදුලෙ අඹ ඇට පණින අපෙ කටට කෙළ උනන්නෙ ආහාර රුචිය වඩවමින්. අත්තම්මා උයන අල කොළ ඇඹුලත් කවදාවත් අමතක වෙන්නෙ නැහැ.
   කෑම ගැන කියන්න ගිහ්න් වෙනත් කතා අමතක වුණානෙ.
අර එක ගෙයි දීග කාපු කතාව මම අම්මගෙනුත් ඇහුවා, අම්මත් "ඔයා ඔන්න ඕවා හොයන්නතුව ඉන්න, පණ්ඩිතකමට. අනික ඕව ඉතින් පරණ සිරිත් නෙ" කීවා.
"ඒකම තමයි අම්මෙ මට දැනගන්න ඕනි. මට කවියක් ලියන්න හිතෙනවා ඒ ගැන." අපෙ අම්මට ඒකට හො
ටම හිනා.
" කවියක් නෙවෙයි..ලියන්නකො නව කතාවක්. ඕවා අහුණොත් අප්පච්චිගෙන් හොඳට ගුටි කන්න වෙයි. පන්තියෙ වැඩක් බලා ගත්තනම් ඊට වඩා නරකද, ලොක්කියෙ"
   මම පොඩි ලොකු අප්පච්චිගෙ පුතගෙන්, ලොකු ලොකු අප්පච්චිගෙ
දුවගෙන් මේවා අහන එක නතර කළේ නැහැ. අත්තම්ම දෙන්නටම බත් බෙදල දෙනාටම කතා කරන කන්න එන්ට කියලා. මගෙ දඟකාර, ඒ වගෙම කුතුහලයෙන් පිරුණු හිත මේ කතන්දරය සහසුද්දෙන් දැන ගන්න අටුවා ටීක හොයනවා.
                    නැන්දගෙත්, අපෙ අප්පච්චිගෙත් අප්පච්චි ලොකු කිරි
අත්තගෙ කියල මට හිතුණා. අනික් තුන්දෙනාම පොඩි කිරි අත්තගෙ වෙන්න ඇති. අනේ! මගෙ තේ උඩිච්චි හිතට එන කල්පනා. ඒ කාලෙමයි මට ඕවා හිතුණෙ. මට පුළුවන්ද දත්ත රැස් කර ගෙන හිත කරන සමීක්ෂණ නවත් වන්න. මගෙ හිත කොහොමත් මුරණ්ඩුයි නෙ. සමීක්ෂණයක් අවසන් නිගමනයක් තියෙන්න එපැයි. ඉතින් මගෙ නිගමන මගෙ හිතටම සීමා කර ගෙන ප්‍රසිද්දියට පත නොකර මේ දක්වාම හිටියා. එහෙම සිරිතක් ඉස්සර තිබුණ නම් ඒක එහෙමයි කියල පිළිගන්න, අපි මොකටද ඔච්ච්ර ලැජ්ජ වෙන්නෙ? බොරු මාන්නෙ. කිසිම අවුලක් කාටවත් වුණෙ නැහැ නෙ.
                  දැන්නම් අප්පච්චිගෙන් ඇහුවොත් අප්පච්චි ටක්කෙටම සහසුද්දෙන් ඇත්ත කියල දෙයි. ඊලඟ සැරේට මම ගමේ ගියාම ඔය සිද්ධිය අහ ගෙන එන්න ඕනි. ඒකම විතරක් නෙවෙයි..තව අතීත කතා ගොන්නකුත් අහගන්න පුළුවන් වෙයි.
         

10 ක් අදහස් දක්වලා.

Wednesday, June 30, 2010

නූල කැඩුණු සරුංගලය

Wednesday, June 30, 2010

                           පොතට  එකතු කරන්න හිටි පරිච්ඡේද එකින් එක ලොප් කරන්න වෙද්දි හිතට හීන් දුකක් එනවා. දුක එක වරට සේරම එකතු කරල අහසට හරි මුහුදට හරි විසි කරන්න මට ඕනි. අතීතයෙ දුක් කන්දරාවල් නම් විසි කළා...හිමාලයටත් එහායින් හිම කඳු අතරට. ඒවා දැන් ඝනීභවනය වෙලා, හිම පදාස අතරෙම මිය ගිහින් ඇති.
           මම කොහොමද ඒ සිතුවිලි හරි චෛතසික හරි 'දුක' කියල නිර්වචනය කරන්නෙ?  එහෙම කරන එකත් වැරදියි. පරාජය, දුක, වෙන්වීම්, සිත් තැලීම් ..මේව සේරම දුක ඉපදෙන්න කාරණා...


                                 'පියේහි විප්ප යෝගො දුක්ඛො, අප්පියෙහි සම්ප යෝගො දුක්ඛො, යං කිච්ඡං න ලභති තම්පි දුකඛං...සංකිත්තේන පංච උපාදානක්ඛන්දෝ දුක්කො.........සියල්ලම දුකයි..අනිත්‍යයයි...
     පුහුදුන් සිත් වල පහළ වන කෙළෙස් ඔයාකාර වුණත් අපිට ඒවයින් ගැලවීමක් නැහැ. අපි ආයෙත් තවත් උපාදාන වලින් ඇලීම්,බැඳීම් ඇති කර ගන්නවා. ආදරය, ප්‍රේමය, ලෙන්ගතු කම වගෙ විවිධාකාර නම් වලින් අපේ හැඟීම් අපිම නිර්වචනය කර ගෙන කූඩු, වෘත්ත, චතුරස්‍ර එහෙමත් නැත්නම් ත්‍රිකෝණ හරි සමාන්තරාස්‍ර හරි නිර්මාණය කර ගෙන අලුත් යමක් සොයන්න උත්සාහ කරනව. 

                        හරියට වෙසක් උත්සවය කාලෙට අටපට්ටම් හදාගෙන පාට පාට කොල අලවලා බුද්ධාලම්භන ප්‍රීතිය ඇතිකර ගෙන සිත් පහන් කර ගන්න බැතිමත්තු වගෙ. සමහර අටපට්ටම් එක දවසයි, ගිනි ගන්නව. සමහර ඒව වෙසක් ඉවරවෙන්නත් ඉස්සර අලු වෙල යනව. තවත් සමහර ඒව පොසොන් වෙන කලුත් තියෙනවා. ඒකෙනුත් අනිත්‍යම නේද දිස්වෙන්නෙ කියලා සමහරු කියාවි. කොහොම වුණත් අපි ඒ සත්‍යතාවය දැන දැනත් කූඩු හදන එක නවත් වන්නෙ නැහැනෙ. 
                        අපේ හිත වලට පිවිසෙන ආදරයනුත් ඒ වගෙමයි. පාට පාට කොල වලින් අලවගෙන, ඇතුලෙන් ඉටි පහනක් හෝ විදුලි බුබුලක් හෝ සවි කරලා එලිය කර ගෙන අපි බලාන ඉන්නවා. ස්වභාවික විපත් විතරක්ම නෙවෙයි...සතුරු උපද්‍රව වුණත් අකල් වැහි කුණාටු වගෙ ඇවිත් අපෙ කූඩු කඩල විනාශ කරල යනවා.
   මොන තරම් මුර කාවල්, රැකවරණ යෙදුවත් ඒව රැක ගන්නව බොරු.රැකගන්න උදවියත් ඇති අනන්තවත්. පණ ඇරල ආදරය කළාට බොරුව, වංචාව, රැවටීම වගෙ දේවල් තේරුණහම එතැන ආදරයක් හෝ ලෙංගතුකමක් හොය ගන්න බැරුව හිත අයාලෙ යනවා. නවතින්න තැනක් නැහැ. අනන්තවූ අවකාශය සිසාරා නූල කැඩුණු සරුංගලයක් වගෙම එහෙ මෙහෙ දුවනව. එහෙමත් නැත්නම් වළා රොදක් වගෙ එක එක හැඩ ගනිමින් එක එක රිද්මයට හිස් අවකාශයෙ සැරිසරනවා.
  ඔබෙ හිතත් එහෙමද? මගෙ හිත නම් ඒ වගෙම තමයි.
බොරු පුරසාරම් කියල මම සුවිශේෂී පුද්ගලයෙක් විදිහට ලෝකෙට පෙන්වන්නෙ ඇයි? මම හරිම සාමාන්‍ය, සරල කෙනෙක්. සතර බ්‍රහ්ම විහරණ පුරුදු පුහුණු කරන කෙනෙක් හින්දද මන්දා, වෛරයක්, ඉරිසියාවක් හිතට පිවිසෙන්නෙම නැහැ. ඒක බොහොම දෙනෙකුට තේරුම් ගන්න බැරිවීම මට ගැටළුවක් නොවුණත් අනෙක් අයට ගැටලුවක්. බෙදා වෙන් කර ගන්න, තණ්හාවෙන් බදාගෙනම ඉන්න වගෙ ඇතිවෙන චිත්ත ස්වභාවයන් මට දැනෙන්නෙ මම අතික්‍රමණය කරල කියලා. එහෙම වුණහම මධ්යම ප්‍රතිපදාව පුහුණු කරන්න, උපේක්ෂාවෙන් සියල්ල දෙස බලන්න මනස හැඩ ගැහෙනව. මේව ගෙදර උදවිය එක්ක කියන්න ගියොත් මාව මානසික රෝහලේ කුටියක පදිංචි කාරියක කරවාවිද දන්නෙත් නැහැ.
 ජීවිතය, සත්‍යය හොයා ගෙන යන බොහොම දෙනෙකුට
 ලැබෙන්නෙ ජීවිතය වත් සත්‍ය වත් නෙවෙයි. අවමාන, අපහාස, නින්දා . . .
   කාලෙකට පස්සෙ බ්ලොග් අවකාශයට ආවෙත් හිත සුවපත් කර ගන්න සිතුවිලි විමෝචනය කිරීම එක් ප්‍රතිකාරයක් කියලම වැටහුණු නිසා. කියන්න, බෙදා හදා ගන්න කතාන්දර, අත්දැකීම් ඇසු දුටු දේවල් අනන්තයි. සේරෝම එක්
කාසු කර ගෙන පොදි ගහ ගෙන පෙට්ටගමක අහුරාගත්ත. ටිකෙන් ටික,බිඳෙන් බිඳ රන්තැටියක තියල පිළි ගන්වන්න ආපහු. කිරියි, පැණියි වගෙ. මම එහෙම හිතුවට සමහර විට ඒව තිත්ත කරවිල වේවිද දන්නෙත් නැහැ. කරවිල වලත් ඒ වුණාට රත්තරන් තියෙනව නෙ. අපෙ අම්ම එහෙම කියල තියෙනව මට.
   අම්මා කියපු බොහෝ කතා වල, උපහැරණ වල සත්‍යය ල
මා කාලයෙ මට නොවැටහුණත් ඒවයෙ හරවත් බව තේරුම් ගියෙ මමත් අම්මා කෙනෙක් වුණහම.යමක් පැහැදිලි කරන්න ජන කතාවක් හරි උපහැරණයක් හරි යොදා ගැනීම අම්මගෙ සිරිත. මතකය පහුරු ගාල ගොඩ ගන්න හිතෙනව මට...ඒ කතා අනෙක් අයත් එක්ක බෙදා ගන්න.
    ඒ වගෙම දැන් වයස්ගතව ඉන්න අප්පච්චි, කියන කතා මම මේ සැරේ සටහන් කර ගෙනත් ආවා. අහ ගෙන ඉන්න හරිම ආසාවක් හිතුණ, මට. ප්‍රේම කතා නොවුණට, රොමැන්තික නොවුණට ඒවායෙ අපූර්වත්වයක් තියෙනවා. අප්පච්චි ඉස්සරත් මට එයාගෙ පුංචි කාලෙ කතා බොහොමයක් කියල තියෙනවා. මටම ඒව කිව්වෙ මම ඒව ලියාවි කියල අපෙ අප්පච්චිට හිතෙන්න ඇති. මොකද අපෙ පවුලෙ ලියන පිස්සුව පුංචි කාලෙම තිබුණෙ මට නිසා.
   අවුස්සපු නිසා ඔයාලගෙ හිත්, මම එක කතාවක් අද කියන්නම්. ඒව කතාම නෙවෙයි. සිද්ධි. අප්පච්චිට එතකොට වයස අවුරුදු දහයක් විතර ඇතිලු. ඉරිදා දවසක දහම් පාසැල් ගිහින් එන කොට, ටිකක් දුරින් නෑදෑවෙන මාම කෙනෙක් මුණ ගැහුණලු. ඒ මාමා අප්පච්චිව දැකල, " හා...රාළේ, දහම් පසැල් ගියාද" කියල ඇහුවලු. අප්පච්චිට හොඳටම කේන්ති ගියාලු. ඒ කියන්නෙ දැන් බාසාවෙන් කියනව නම් මල පැන්නලු. "ඔව්" කියා ගෙන මූණත් පුළුටු කර ගෙන ගෙදර ගියාලු.         

ඉතින් අපෙ අත්තම්ම අප්පච්චි ගෙට ගොඩ වෙනකොටම තේරුම් ගත්තලු හින්නි පුතාට මොකක් හරි මගඩියක් වෙල කියල.
" මොකෝ, අද මූණ කෙහෙල් මලක් වගෙ දික් කර ගෙන? මගදි ඇබද්දියක් වත් වුණාද?" කියල අපෙ අත්තම්ම විපරම් කරල තියෙනව. ඒ ඉතින් අපෙ අප්පච්චිගෙ අම්ම නෙව.
" අර හේනෙ ගෙද
මාම මට 'රාලෙ' කිව්ව. රාලෙ කියන්නෙ මම නාකි වෙලා ද?"
" අනෙ, මයෙ පුතේ, රාලෙ..කියන්නෙ, ගරු ගාම්භීර කමට නෙව?  හෑල්ලු කරන්න එහෙම නෙවෙයි. මයෙ පුතා සන්තොස වෙන්න එපාද රාලෙ කිව්වට. උන්දෑ හමොටම එහෙම රාලෙ කියන්නෙ නහැ මයෙ පුතෙ."
ඉතින් අප්පච්චිගෙ හිතෙ නෝක්කඩුව ගිහින් කල එළි වුණෙ එත
කොටලු.

   අපෙ අප්පච්චි දෙවන ලෝක සන්ග්‍රාමය කාලෙ පිටරට ගිහින් තියෙනව, බ්‍රිතාන්‍යය හමුදාවට සේවය කරන්න. ඒ කාලෙ කතා පස්සෙ කියන්නම්. රට ඉන්දන් ආපු අලුත, අපේ ගෙදරට යන පඩි පෙළ නගිද්දි ඉන්ද්‍රයියලගෙ සීයව මුණ ගැහිල තියෙනව. එතකොට ඉන්ද්‍රයියා හරි මම හරි ඉපදිලත් නැහැ.
   සුද්දො එක්ක ඉදල ආපු නිසා, අප්පච්චි ඒ සීයට
කතා කරල තියෙනව මෙහෙම.
" හා..අන්කල්...කොහොමද?"
එක පාරටම ඒ සීයා කියල තියෙනව," මොකක්..බොල, අන්කල්....? බාප්පා කියාපිය. කලිසං ඇඳ ගත්තම මුන්ට නෑකමුත් මතක නැහැ" කියල.
   ඉතින් අදට මෙතෙකින් නිමි. නැවත හමු වෙමු.
 
  

6 ක් අදහස් දක්වලා.

Thursday, April 22, 2010

ප්‍රතිචක්‍රීයකරණය...

Thursday, April 22, 2010
ආයුධ සන්නද්ධ පොලිස් ආරක්ෂක අංශයේ අපේ වාහනවලට ඉදිරියෙනුත්, පසුපසිනුත් ඇදෙයි. ඉහළින් ඉහිලෙන හෙලිකොප්ටර් යානා දෙකක් එහ මෙහ යමින් යාන දෙකක්ද ආරක්ෂා තත්ත්වය පිරික්සයි. මට පුරුද්දට 'සබ්බේ බුද්ධා බලප්පත්තා' ගාථාව කියැවෙයි. ෆරීමා ගමනාරම්භයට පෙර 'බිස්මිල්ලාහ් රහමානි රහීමි' කියනවා විය යුතුය.
    රොකට් වෙඩි හැමදාම පුපුරන, බිම් බෝම්බ මග දෙපස වළලා තිබෙන ලෝගාර් පලාත කාබුල් බල ප්‍රදේශයට අයත්ය. 
     කාබුල් නගර සීමාව පසු වූ පසු මග දෙපස සුන්දර යැයි කාට වුවත් සිතෙනු ඇත. කඳු වැටි වල තවමත් එක තණ කොළයක් වත් හිමෙන් මතු වී නැත.කිලෝ මීටර් විස්සක් පමණ මග ගෙවුණු විට මගෙ දෙපස තැනින් තැන ගහ කොළ හා එලවලු වැවූ ගොවි පොළවලින් ගහණය. අල,ලූණු, වම්බටු,මිරිස් හා සලාද ජනප්‍රිය වගාවන් සේ පෙනෙයි. 
             සේවයට වාර්තා කොට මුල් සතියේදී අප් සහභාගිවූ සමාජානුයෝජන වැඩ සටහනේදී දේශීය සංස්කෘතියට අනුගත වන ආකාරය, සෞඛ්‍යය හා ආරක්ෂක කටයුතු ආදී මෙකී නොකී දැන උගත් බොහෝ දෑ නිරායසයෙන් මතකයට එයි.


        අමුවෙන් එළවළු හෝ ආඅහාරයට නොගන්නා ලෙස අපට තරයේ අවවාද ලැබිණි. හේතුව වශයෙන් ප්‍රකාශ වූයේ ඒ සඳහා යොදන පොහොර පිළිබඳ ප්‍රශ්නයකි.සමහර ගොවීන් ගොම පොහොර යොදන අතර බහුතරයක් ගොවීහු මේ සඳහා යොදන්නේ මින්ස් බහිස්ස්‍රවීය පොහොරය. ඇෆ්ගනිස්තානයේ ගෙවල් වල තාප්පයෙන් මෙපිට කණින ලද් වළකි. වැසිකිලිවල සියලු අපද්‍රව්‍යය මේ වලට එකතු වෙයි. ගිම්හානයට ඒව වේලුණු පසු විශාල ගෝනි මළුවල පුරවා ගෙන බූරුවන් පිටේ පටවාගෙන ගොවි පොළවල්වලට ගෙන යනු ලබයි. (ප්‍රතිචක්‍රීයකරණය...හෙ ..හෙ...)ෆරීමා ද් කීවේ එය සත්‍යයක් බවයි. ඔවුනට එහි අපුලක් නොදැනෙයි. පරම්පරා ගණනක පුරුද්ද විය යුතුය. මා මෙය පසු ගිය වසරේද පැහැදිලිවම දුටු වෙමි.
      එළවළු කොටු අතරින් පතර රතු කොඩි වලින් සලකුණු කළ බිම්කඩවල්ය.ඒ බිම් කොටස් වල තවමත් බිම් බෝම්බ ඉවත් කර නැත. සමහර තැනෙක බිම්බෝම්බ ඉවත් කරන කණ්ඩායම්,බෝම්බ ඉව කරන බල්ලන් සමග බිම්බෝම්බ ඉවත් කිරීමේ කර්යයෙහි නිරත්ව සිටිති. අපි යන එන අතර ඔවුන්ට අත් වනා ආචාර කරමු. ප්‍රධාන පාර වල ඇරෙන්නට අපට වාහන වලින් වත් අතුරු පාර වල යා නොහැක. එහි රජා කරන අතර වාරයෙහි දෙපයින් ගමන් යන්නේ නවාතැන තුළත්, කාර්යාලය තුළත් පමණි.


    යුද්ධ කාලයේ ඔවුන් කාබුල් නුවරින් පල ගිය අයුරුත්, පකිස්තානයේ අනාථ කඳවුරු වල සිටිය ආකාරයත්බොහෝ විට මා සමග පවසා ඇත. ඇයට ඉංග්‍රීසි ඉගෙන ගන්නට අවස්ථාව ලැබුණේද පකිස්තානයේ, පෙශාවර් වල සිටින අතර තුරය.
          ෆරීමාට පෙම්වතෙක් සිටියාද කියා මා දවසකැගෙන් විමසුවේ වක්‍රාකාරයෙන්ය.
   " ඇෆ්ඝන් කෙල්ලන්ට ප්‍රේම කිරීමසපුරා තහනම්කියල දන්නෙ නැද්ද? වැඩිහියො කියන කෙනෙක්ව තමයි, අපි කසාද බඳින්න ඕනි"
   "ඒක හරිම අසාධාරණනීතියක් නෙ?"
   " මිස්ටර් සතිස්, අපේ රටේ ගැහැණුන්ට සාධාරණය ඉටු කෙරෙන එකම එක දෙයක් හරි තියෙනවද? මෙහේ මුල්ලා වරුන්ට,මූල ධර්ම වාදීන්ට ඕනෑම අකැප දෙයක් කැපයි. ඒ වුණාට අපිට හැම දෙයක්ම'හරාම්'. ඒ අය ස්ත්‍රීන් තුන් හතර දෙනෙක් විවාහ කර ගන්නවා. බුර්කාව ඇතුලෙ හංග ගෙන ත්ව ඕනිතරම්ගැහැනුත් අරන් යනවා. මම මේවඔය ගොල්ලොත් එක්කකතා කරනවා කියල දැනගත්තොත්....බිස්මිල්ලාහ් ...මගෙ රස්සාවත් ඉවරයි, මාත් ඉවරයි"


    " වෙන මුස්ලිම් රටවල ඔය වගෙ තද නීති නැහැ නෙ?"
   "ඔව්, ඒක මම දන්නවා. ඒක නිසා නේ අපේ රට තවමත් මේ තරම් නොදියුණු...පාවිච්චි කරන්නෙත් වෙනම කැලැනඩරකුත් නෙ. ඔයාලගෙ රටවල් වලවගෙ මෙහෙ ගෑණු අඳුම් පැළඳුම් කළොත් මෙහේ පිරිමි අපට මොනවා කරාවිද දන්නෙ නැහැ.


   " ඔය කැමති නැද්ද ඉන්දියාව, ලංකාව වගෙ වෙන ආසියාතික රටකට ගිහ්න් නිදහසේ ජීවත් වෙන්න?"


   උදය කඩා ගෙන පැන්නේ මේ අතරය. 
 "වැඩේ නැගලයනව වගේ නේද සතිස්?"
  " මචං, නිකන් හිටපන්, අපි මේ ඔෆීෂියල් දේවල් කතා කළේ"


  "මචං, මට කොළේ වහන්න එපා, හැබැයි, පුතෝ....උඹ් සිරිසඟබෝ වුනොත් මටයි මිනිය ගෙනි යන්න වෙන්නෙ. ඒකත මතක තියා ගනින්. කෙල්ලගෙන් අහපං, අයියලා, මස්සිනාල එහෙම ඉන්නවද කියලා. මෙහෙ මිනී පෙට්ටිත් නැහැ. මතකයි නේද අර ප්‍රංශ එන්.ජී.ඕ. කෙල්ලට වෙච්ච් දේ.ලවක් ඕනිම නම් ඉන්ටනැෂනල් එකක් දා ගනින් ටිකක් මොළේ කලප්නා කරල වැඩ කරපන්. ."


"මොනවද් මිස්ටර් උදය කියන්නෙ?" සිංහල තේරුම් ගත නොහැකිව ෆරීම අන්ද මන්දව ඉංග්‍රීසියෙන් විමසයි.
   " නැ හැ,මේ ..චන්ද වැඩ වලට ප්‍ර\ශෙනුත් නිරීක්ෂණ කන්ඩායමක් එනවලු"
       ප්‍රංශ ජාතික තරුණියක් අප මෙහි පැමිණ දෙවැනි සතියේදී මරා දැමූ පුවත මට අමතක වූවා නොවේ. ඇය ඇෆ්ගන් ජාතික තරුණයෙකු සමග ප්‍රේමයක පැටලී ඇත. ඒ වන විඅත් ඔහු විවාහ ගිවිස ගෙන සිටි අයෙකි. සුරූපී ප්‍රංශ යුවතිය ගේ ප්‍රෙමයද ඔහුට නැතිවම බැරි විය. විවාහ ගිවිස ගත් තරුණියගෙ සහෝදරයාට මේ පුවත ආරංචි වන්නට වැඩි කලක් ගියේ නැත. 
   සුදු තරුණිය ගේ ගමන් බිමන් සෑකිල්ලෙන් බල්ල සිටි ඇෆ්ඝන් යුවතියගේ සොහොයුර, සුහු තරුණිය උදයේ කාර්යලයට යන වේලවක් බලා, අතර මගදී වාහනය නවතා,රියෙහි දොර ඇර ඇයට වෙඩි තබා පැන ගියේය. සුදු තරුණිය එතැනම මිය ගියාය. 
               ' ප්‍රංශ තරුණියක් නාඳුනන තුවක්කු කරුවකු ගේ වෙඩි පහරින් මිය යයි' කිය සැලවිණි. සිද්ධියේ සුළ මුල හෙලි වූයේ පසුවය. නඩුත් හාමුදුරුව්න්ගේය. බඩුත් හාමුදුරුවන්ගේය. 


    ප්‍රේමය පසුපස එක එල්ලේ දිව ගිය සිතුවිලි සහ සිත සියල්ල එක සැණින් නතර වූවාසේය. මුදුන් වන රාම්ලාන් සඳේ සුන්දරත්වය විඳගන්නට අපට වරම් නැතිද?එළඹෙන රාම්ලාන් උපවාසයට ෆරීමා සමග උපවාසයේ යෙදෙන්නට මා සිතූවේ නිරාහාරව සිට එම අත් දැකීම විඳගන්නටය. ඉස්ලාම් ධර්මය වැළඳ ගන්නට නොව ඒ උපවාසයේ අරුත ඉතා ගැඹුරු බව මට වැටහුනු නිසාය.


" මිස්ටර් සතිස්ට ශ්‍රී ලංකාව මතක් වුණාද?"
" ම්...ම්....ඔව්,අපේ රටෙත් ඉන්නවා මුස්ලිම් ජාතිකයො,ඒත් ඒ අය නම් මෙහෙ අය වගෙ පටු විදිහට හිතන්නෙ නැහැ. අපිත් එක්ක හරිම හිතවත්. මගෙ හොඳම යාලුවො දෙන්නෙක් ඉන්නවා. හරිම පුළුල් විදිහට හිතන අය. අපේ රටේ මුස්ලිම්, සිංහල විවාහ පවා අනන්ත වත් සිදු වෙනවා. කිස්ම භේදයක් නැහැ. කොටින්ම මගෙ ඇවැස්ස නෑනෙකුයි, ඒ වගෙම මහප්පගෙ පුතයි දෙන්නම බැඳල ඉන්නෙ මුස්ලිම් පවුල් වලින්. කාගෙ වත් භේදයක් නැහැ."


   " මෙහෙ අයගෙ ඔලු ගෙඩි සුද්ධ කරන්න තව අවුරුදුසියයක් වත් යාවි"
   " ෆරීම,ඇයිඔයා වගෙ හුඟ දෙනෙක් හිතන්නෙ නැත්තෙ?"


   තලේබාන් කාරයො මේ අයව බය කරලා තියෙන්නෙ, මිස්ටර් සතිස්. සම්පූර්ණයෙන්ම බ්‍රේන් වොෂ් කරලා. ශුද්ධ වූ කුරානය ඒ ඒ අයගෙ වාසියට හරියන විදිහට සංස්කරණය කරලා. අපේ රටේ සාක්ෂරතාවය හරිම අඩුයි නෙ. ඒකයි උන් අපට ඉස්කෝලෙ යන්න තහනම් කළේ. රස්සවල් කරන්න තහනම් කළේ.


(තව කොටසක් හෙට)

0 ක් අදහස් දක්වලා.

Wednesday, April 21, 2010

" ගමේ වැල ගමේ කපුටන්ට"

Wednesday, April 21, 2010


                     දිය වී යන හිම තට්ටු මතින් ලා කොළ පැහැයෙන් ලදළු, ලපළු හෙමිහිට තාලයකට හිස ඔසවනු පෙනෙයි. හිරු එළිය විඳගන්නට හෝ හිරු එලියෙන් උණුසුම්වන්නට හෝ කවුරුන් තුළත් ඇත්තේ දැඩි ආසාවකි. එහෙත් ගැහැණුන්ට එබඳු සිඟිති ආසාවක් වත් මුදුන් පමුණුවා ගන්නට ඉඩක් නැති දේශයක් මෙලොව පවතී යයි කිව හොත් ඔබ මා හා එකඟ නොවනු ඇත.
         තවමත් සීතල දැරිය නොහැකි තරමට තදබලව පවතින හේමන්තයේ අවසානය වුවද උණුසුම් කබායක් නොමැතිව ගෙයින් පිටතට යා නොහැක. කෝපි කෝප්පයෙන් ඉහළට විහිදෙන උණුසුම් වාෂ්ප වලින් දෑත් උණුසුම්කරගෙන මම කබායට සිරුරේ සීතල බාර කළෙමි. නොබෝ වේලාවකින් කාර්යාලයීය රථය ඇවිත් අප කැටුව යනු ඇත.
              
                නවාතැන පුරහම උදේ හතත්, හත හමාරත් අතර ඇත්තේ මහත් කලබැගෑනියකි. උණු පැණින් සැනහෙන්නට, ඇඳුම් මදින්නට, හීලෙන් සප්පායම් වෙන්නට එහෙ මෙහෙ දුවන නවාතැන්කරුවන් හත් අට දෙනා අතර මා ද එක් අයෙකි. කොතරම් කලබල කාරී වුවත් එහෙ මෙහෙ දුවන අතර සුබ උදාසනක් කියා සුබ පතන්නට හා එකිනෙකාගේ සුව දුක් විමසන්නටද කිසිවෙකුත් අමතක නොකරති. සාමාන්‍යයෙන් දොඩන ඉංග්‍රීසි බස වෙනුවට බොහෝ දෙනෙක් මෙරටේ කතා කෙරෙන දාරි බස යොදා ගන්නේ විනෝදයක් ද දැනුමක් ද ලබ ගනු රිසියෙනි.


  "ෂොබාහිර්!"  (සුබ උදෑසනක්!)


  "චුතුරාස්ති?" (කොහොමද?)


  " ෂුම්මා කුබ් අස්ත්?" (ඔබ හොඳින්ද?)


        'ෂුම්මා' යනු ඔබයි. එම භාෂාවේ සිත් ගන්නා සුළු බවක් ඇතැයි මට සිතේ. එනිසාම පොත් කිහිපයක් රැගෙන් බස ඉගෙන ගැනීම අගනේ යැයි මට සිතිණි. 
  " අපහසු දේවල් ෆරීමා ගෙන් අසා දැන ගන්නට ද පිළිවන. ෆරීමා මගේ පරිවර්ථිකාව ලෙස සේවය කරන ඇෆ්ගන් යුවතියයි.


  "ගයිස්, වෙහිකල් හෑස් කම්." 


             අප්‍රිකානු ජාතික ඔමාර් බෙරිහන් දෙයි. ඔහු මගේ කාමරයේ සිටින අනෙක් සගයාය. ෆරීමා පිළිබඳ සිතුවිලි මොහොතකට සිත් බඳුනට දමා අගුළු ලා වාහනයේ ඉදිරි අසුනට ගොඩ වූයෙමි. ලොකු කමකට නොව ඔමාර්ගේ ඉතාලි ජාතික කෙලි පොඩ්ඩට ඔහු ළඟින්ම ගෑවි ගෑවී ඉන්නට ඉඩ කඩ සලසන අරමුණින් යුතුවය. පැමිණ මසක් ගත වන්නටත් පෙර ඔමාර්ට සඳ පෑයුවේය. එලීනා ඔහුගේ සඳ පමණක් නොව් හිරු, තරු, මල් සහ මුළු ලොවම එලීනා විය. එහෙත් මගේ සඳ තවමත් අමාවක දා සේය. කෙදිනක කලා සොළොස සපුරා සිනා සෙනු ඇත්දැයි සිතිය නොහැක.
        වාහනය වළ ගොඩැලි සහිත වීදි දිගේ ඉදිරියට ඇදෙයි. මග දෙපස කියන්නට තරම් නගර වර්ණනාවක් නොමැත. වසර විසිතුනකට වැඩි කාලයක් අඛන්ඩව කෙරුණු යුද්ධවල අනිටු ප්‍රතිඵලයන් වූ සුන්බුන් සහ දුහුවිල්ල පමණක් කාබුල් නුවර වීදි අලංකරණයෙක් යෙදෙන්නට වෙර දරයි.වෙනත් රටෙක අග නුවරෙක නම් නේක වර්ණ සළු පිළියෙන් සැරසී හැඩ වැඩ වූ ලඳුන් විඩාපත් අපගේ නෙත් පුරා සිහිල් අඳුන් තවරනු ඇත. එහෙත් කාබුල් නුවර ගෝනි බිල්ලන් සේ බුර්කා තුළට පිවිසී ඇවිදින ලඳුන් මිස නෙත සිත සනහා රුසිරු වතක් නිකමට වීදි දෙබෑකර පායන්නේ නැත.


" සතිස්, මොකද? ෆරීමා ගැන හීන දකිනවද?


ඔමාර් නැවත නිහඬතාවය බිඳියි.


 "ප්ලීස්, ඩෝන්ට්"


          මම ඔහුට අනතුරු ඇඟ වූයේ රියැදුරාට මදක් ඉංග්‍රීසි භාෂාව තෙරුම්ගත හැකි නි ය. මම ඒ බව ඇසකීන් ගි මරා කිවෙමි. විහිළු කටින් කට ගිය හොත් ෆරීමා රැකියාවට පැමිණීමද නතර කරන්නට තරම් සමහර ඇෆ්ගන් පිරිමි අනතුරු දායකය.මට සිහි වන්නේ අපේ ගමේ රටේ පවතින කට වහරකි.
" ගමේ වැල ගමේ කපුටන්ට"
  ඇෆ්ගන් ජාතිකයන් එසේ සිතීමේ වරදක් නැතැයි මට විටෙක සිතේ.
   ෆරීමා කාර්යාලයට පැමිණෙන්නේ ද බුර්කාවේ සිර වීගෙනය. කාර්යාල ගේට්ටුවෙන් ඇතුලට පිවිසෙන ඇය  ආරක්ෂක භටයන්ට වත් සිය මුහුණ නොපෙන්වයි. ඔවුහූ ඇගේ හැඳුනුම් පත බලා ඇයට ගේට්ටුව විවර කරති. බුර්කාවේ දැල් අතරින් පෙනෙන තෙක්මායිමේ දෑස රඳවමින් එන ඇය කාර්යාලයට පිවිසී බුර්කාව ඉවත් කරයි. 
  කාල වර්ණ මේ කුළකින් මිදුණු පූර්ණිමා සඳ ගැන මට කවියක් ලියන්නට සිතෙයි. සුදෝ සුදු හිම සේම මිදී තිබුණු මගේ කවි සිත අසල ෆරීමා සිනහ සලන්නේද වතුසුද්ද මලක් සේය.


" ගයිස්, වෙහිකල්ස් ආ රෙඩී"
   වාහන සපයන මැක්ස් බෙරි හන් දෙයි. ඔහුගේ බෙරිහන් දීම මට අමරදේවයන්ගේ සුගායනයක් තරමටම කර්ණ රසායන බවක් ගෙන දෙයි.ඒ අද අපට මට රාජකාරි නියමිත නව පළාත කාර්යාලයට යන්නට අවස්ථාව සැලසෙන නිසාය. තනිවම නොව ඇය සමගය.
      කාබුල් වලට අයත් ලෝගාර් පළාතට ඇය හැම දාමත් මා සමග යනු ඇත. ඇය පිස හමන සුළං කැරලි මගෙ සිරුරද සිප වැළඳ හමා යනු ඇත.
  මෙය තවත් එක් බොළඳ පෙම්කතාවක් සේ සිත බැහැර නොකරනු මැනවි. මගේ සිත ප්‍රේමයෙන් උන්මාද වී ඇත්ද? එසේත් නැත්නම්.....ඇය වටා ඇති කටු කොහොල් ලොවෙන් ඇයව මුදා ගෙන නිදහස් ලොවක් ඇයට පෙන්වන්නට මා තුළ පවතින අරමුනද? ඇයව බැඳ දමා ඇති සංස්කෘතික රැහැන් පටවල් සිඳ බිඳ දමා බුර්කාවෙන් එ ලොව ඇයට පෙන්වන්නට මට අවකාශ් ලැබෙනු ඇත්ද?
           මම ඉන්දියාවේ රාජේශ් සහ පිලිපීනයේ ලුවී සමග ලෝගාර් පළාත බලා යෑම සඳහා රියේ පසු පස අසුනට ගොඩ වූයෙමි. ෆරීමාට ඉදිරි අසුනට ගොඩ වෙන්නට යයිමා කීවේ ඇෆ්ගන් ගැහැණුන්ට පිටස්තර පිරිමින් සමග එකට වාඩි වීම තහනම් නිසාය. තමාගේ ස්වාමියා හෝ සහෝදරයා සමග වුව එකට, එක පෙළට වාඩිවෙන්නේ එහෙමත් කිහිප දෙනෙක් පමණි. එනිසාම නගරය පුරා දුවන කහ පාට ටැක්සි වල පසුපස 'ඩිකියේ' සිර වී යන ගැහැණුන් මට පෙනෙන්නේ සිර කාරියන් සේ මය.
                 ඇය මා සිටින වාහනයේ සිටීම වුවත් එනිස සිතට අපූරු ආශ්වාදයක් ගෙන දෙයි.  මුහුණ නොපෙණුනද ඇයගේ පිය වදන් අසන්නට ලැබීම කොතරම් සහනයක්ද? ගමනට පැය දෙක තුනක් ගත වුවද ගමන් වෙහෙස නොදැනෙනු ඇත. 


       ' සිත් මල් යායේ සිතුවිලි සමනල් රෑන් සරයි
         වතුසුදු සුවඳේ දැවටෙන පෙම් බස් ඔමරි කරයි' 


       නිතර අසන්නට, දකින්නට  ලබෙන බිම් බෝම්බ, රොකට් ප්‍රහාර සිතින් ඉගිලී ඉවත යද්දී ෆරිමා බුර්කාවේ දැල් අතරින් මා දෙස බලයි.ඇගේ නොපෙනෙන දෑස් කියවා මා පදරුත් පසිඳලන්නේ කෙළෙසද?


  "ෆරීමා ජාන්, කරුණකරල බැහැලා අනික් වාහනයට නගින්න. ඒකෙ ඔක්කොම නැෂනල් ස්ටාෆ් යන්නෙ"
  මැක්ස් 'දුෂ්ටයා' චරිතය රඟ පාන්නට හදන්නේ කාගේ උපදෙස් මතද?
         ෆරීමා කිසිදු වදනක් නොදොඩා මැක්ස්ට කීකරු වී රියෙන් ළියට පිවිසියාය. මගේ සඳ අනෙක් වාහනයට පිටත් කර යැව් මැක්ස් ඇසක් ඉඟි මරමින් මදෙස බැලුවේය. ෆරීමා නැවත හැරී බැලුවේ සිත අකැමත්ත මට කියන්නට විය යුතුය. මගේ සිතින් පටන් ගත් 
අකුණු සැර මුළු ගත පුරාම කොටා ගෙන යන්නට විය.


" මිස්ටර් සතිස්, ෂැල් අයි ටේක් ද ඩොක්‍යුමන්ට්ස් විත් මී?"               


     " නෝ, ප්‍රොබ්ලම්.......ෆරීමා"  


  ඇය යන බව දැන්වීමට සහ මගෙන් සමු ගැනීමට එසේ ඇසුවා දැයි මට සිතිණි. 
   ෆරීමා අනෙක් වාහනයට ගියත් තව පැය එක හමාරකින් මගේම කාර්යලයෙහි, මගේම මේසයෙහි මා අසල හිඳගෙන  මගේම පරිවර්ථිකාව වී  මා සමග දොඩමළු වනු ඇත. මමත්වය හොඳ නැති වුවත් මට ඉන් මිදෙන්නට නොහැකිය.


හෙට තවත් කොටසක්.....

1 ක් අදහස් දක්වලා.

Tuesday, April 20, 2010

තවත් පුතෙක්

Tuesday, April 20, 2010
       නන්දිට අසනීප වී සිටිය කාලය ඇතුළත අතුරු කතන්දර කිහිපයකුත් එකතු වුණා,  විවිධ අවස්ථා වලදි කියල මට මලිති කිව්ව. මුලින්ම කියන්නම්, මලිතිට ඉතාමත් ලෙන්ගතු පුතෙක් හම්බ වෙච්ච් කතන්දරය.
   අංශ බාගය කියල (ගම්වල වහරින් කියනව නම්)කියන ලෙඩෙන් තමයි, නන්දි ඔත්පල වුණෙ. එලොව ගිහින් මෙලොව ආපු නන්දි, දැඩි සත්කාර ඒකකයෙන් වාට්ටුවට ගෙනැත් එක එක වෙනත් ප්‍රතිකාර ක්‍රම වලට යොමු කරන්න වෛද්‍ය උපදෙස් ලැබුණා.
  භෞත චිකිත්සාව තමයි, මුලින්ම කරන්න පටන් ගත්තෙ. එහෙදි කෙරුණු ප්‍රතිකාර නම් එතරම් සාර්ථක වූයේ නැහැ. එහෙන් ටිකට් කැපුවට පස්සෙ පෞද්ගලික හෙද නිවහනක නතර කළා. මිත්‍රයෙකුගෙ මාර්ගයෙන් භෞත චිකිත්සක මහත්මයෙක් නන්දිට ව්‍යායාම කිරීම සඳහා එන්න එකඟ වුණා. මේ අවුරුද්දෙ තමයි ඔහු පුහුනුව නිම කරල තියෙන්නෙ. නන්දිව බලපු මුල්ම දවසෙ  ඔහු ඒ තරම් ධනාත්මක ප්‍රතිචාර නන්දි පිළිබඳව දැක් වූයේ නැහැ. ඒ අනුව මලිතිට හිතුණෙ නන්දිට ජීවිතය තියෙන තුරාවට ආයෙමත් ඇවිදින්න බැරි වේවි කියලයි.
    දවස් දෙක තුනක් ගියහම මලිති ඇහුව, "පුතේ, ලෙඩාට අවිදින්න පුළුවන් "කියල.
" මම ලෙඩාගෙ වෛද්‍ය  ඉතිහාසය කියවල තව දවස් දෙකකින් හරියටම කියන්නම් මිස්" කියල ඔහු කීවෙ ටිකක් අඩමානෙට.
   කොහොම නමුත් මලිති බලාපොරොත්තු අත් හැර ගත්තෙ නැහැ. ඔහු නැති හැම වෙලාවටත් ඇය නියමිත අභ්‍යාස කෙරෙව්වා. ඉතාමත් නුරුස්නා ස්වභාවයෙන්, මලිතිට දොස් කියමින් නන්දි ඒව කලේ ඇගේ කටේ බලෙට.
     ඔහුට කතා කරන්නත් හරියකට පුළුවන් කමක් තිබුණෙ නැහැ. හඬ අභ්‍යාස කළ යුතු බවට වෛද්‍ය උපදෙස් ලබුණා. නාට්‍යකරණය හදාරන කොට වොයිස් ට්‍රේනින්ග් කළා නේද කියල මලිතිට හිතුණා. අනෙක් වාට්ටුවෙ ලෙඩාට හඬ පුහුණු කරනව  මලිති බලාගෙන හිටියා. කිසිම වෙනසක් නැහැ. මූලික අභ්‍යාස ටික ඔක්කොම එතැන. මලිති හිතුවා, තව කෙනෙකුට රුපියල් තුන්දහස් පන්සීයක් ගෙවන්නෙ මොකටද? මම ඒ ටික කරන්නම් කියලා.
  ලෙඩාගෙ ආව තේව කරන්න හිටි තැනැතත් පුදුම වෙල බලාඉන්නවා. මලිති ඔහුගෙ උදව්වෙ නන්දිව වාඩි කරවල හඬ අභ්‍යාස කරන්න පටන් ගත්තා. මුලින්ම ස්වර...ආ...ආ...ඇ...ඇ....ඉ....ඉ.....ඊ....ඊ.....උ.....උ.....
   ලෙඩා බලා ගන්න ඉන්න කෙනා හිනා වෙනවා. ඔහුට මෙය පෙනුනෙ විකාරයක් හැටියට. මලිති ඔහුගෙ හිනාව තඹේකට ගණන් ගත්තෙ නැහැ. උදේ, දහවල්, හවස සෑහෙන වෙලාවක් හඬ අභ්‍යාස කෙරෙව්වා. මේ සඳහා නන්දිගෙ පූර්ණ සහයෝගය නොලැබෙන කොට මලිති සම්‍යක් ප්‍රයෝගයක් උපයෝගී කරගත්තා.
  " හොඳට එක්සසයිස් කළොත් තෑග්ගක් දෙනවා" කියල ඇය කිව්ව.
   පහුවදා පාන්දරත් මලිති හඬ අභ්‍යාස කෙරෙව්වා. නන්දිගෙ ගොත ගතිය සම්පූර්ණයෙන්ම නැතිවෙල ගිහින්. මලිතිට හරිම පුදුමයි. ඒ වගෙම සතුටුයි. නන්දිගෙ හඬ හරිම පැහැදිලියි. හරිම සාමාන්‍ය විදිහට කතා කරන්න ගත්ත.
  මහාචාර්ය තුමා පැමිණියා.
" කොහොමද මිස්ට නුගලියද්ද?"
" මට ගොඩක් හොඳයි, ඩොක්ටර්." නන්දිගෙ පැහැදිලි වචන උච්චාරණයට එතුමාට පුදුමයි. ඔහු මලිති දිහාවෙ බැලුව.
" වොයිස් ට්‍රේනින්ග් කරාද?"
" ඔව්, කළා සර්"
" බොහොම හොඳයි"


            ලෙඩා ලඟ ඉන්න පුද්ගලයගෙ මුහුණෙ බයාදු කමක් ඇඳිල පරාජිත රේඛා  ඒ මත්තෙ සටහන් වෙනව කම්මැලි කමට. මලිති දන්නවා, බොහොම පිරිමි ගැහැණුන් කිසි දෙයකට දක්ෂයි කියල පිළිගන්න කැමති නැති වග. 
   ඒකටත් වෙනම කෙනෙක් ගෙනැල්ල ගෙවල කර ගත්ත කියල දොස්තර මහත්තයා හිතන්න ඇති. කවුරු මොනව හිතුණත් වැඩේ හරියට කෙරුන නම් එච්චර නෙ වැදගත්. මලිති තමන්ටම කියා ගත්තා.
   ඒ කිව්වෙ හඬ අභ්‍යාස ගැන. ඊළඟට කායික අභ්‍යාස. ඉතින් මතක නෙ නවත්තපු තැන. දවස් තුනකින් ආයෙමත් අර භෞත චිකිත්සක මහත්තයා ආවා. මලිති චිකන් එසන්ස් පොව පොවා නන්දිව ශක්තිමත් කරනවා, අභ්‍යාස හරියට කෙරෙන්න ශක්තිය අවශ්‍ය නිසා.
   එදා නම් එයගෙ මුහුණ හොඳයි.
  " මම එන්නෙ නැති දවස් වලත් අභ්‍යාස කළාද?"
  " ඔව්, මම කරවනව" මලිති කිව්ව.
   "ඒක තමයි, දැන් හන්දි වල තද ගතිය අඩු වෙල. මහන්සි වුණොත් තව මාස දෙකකින් අවිදින්න පුලුවන් වේවි"


   නන්දිගෙ මුහුණෙත් හීනියට හිනාවක් ඇඳිලා. ඔය අතරෙ දැන් ගෙදර එක්කර ගෙන යන තැනට කටයුතු සිද්ධ වුණා. ඒ කතාව තවත් සැරයක කියන්නම්.
   දැන් ඉතින් දවසක් ඇර දවසක් භෞත චිකත්සක මහත්තය මලිතිගෙ ගෙදර එනවා. අභ්‍යාසත් කෙරෙනවා. නන්දි දවසින් දවස ගුණ අතට හැරෙනවා.
  එක දවසක් ඒ මහත්තයා එස්.එම්.එස්. එකක් එව්ව, කතා කරන්න නම් බැහැ, උගුරෙ අමාරුවක් හැදිලා. අමාරුවෙන් නමුත් එනවය කියල.
   ඔන්න ව්‍යායාම මහත්තයා ආවා. කටහඬ උගුරෙන් පිට වෙන්නෙම නැහ. හොඳටම හෙම්බිරිස්සාව. ඒ ගොල්ලො ව්‍යායාම කරන අතරෙ මලිති මුළුතැන් ගෙට ගිහින් පස්පංගුව මුට්ටියක් ලිපේ තිබ්බා. අද ඔහු මලිති එක්කත් කතා කරන්නෙ ගොලු බාසාවෙන්. ලෙඩාගෙ වැඩ ඉවර වුණහම මලිති පස් පංගුවකෝප්පයක් පුරවල, සීනිත් දමල ව්‍යායාම මහත්තයට ගෙනැල්ල දුන්නා. පීරිසි කුට්ටම දැකපු ගමන්ම නම් මහත්තයගෙ මුහුණ එච්චර හරි නැහැ.හොන්ඩටම මහන්සිත් වෙලා නෙ. කහට කෝප්පයක් වගෙ පෙනෙන්න ඇති. ඒත් බොන කොට රිදී රේඛා ඇස් වලින් විහිදුණා, මලිති දැක්ක. 
  කතා කරන්නත් බැරි නිසා මලිතිට දෑත් එක් කරලා ඔහු යන්න ගියා.
  ටික වෙලාවකින් ඔන්න මලිතිට එස්.එම්.එස් එකක් ආවා. ඒ අර ව්‍යායාම මහත්තයා ගෙන්. 
" මෙහෙම ලියනවට සමා වෙන්න. මගෙ හිතට යලි යලිත් එන දෙයක් තමඉ ඔබ මට පස් පංගුව හදල දුන්නු එක. මගෙ දෙමව්පියො ඉන්නෙ ගොඩාරියක් ඈත. මම නිවාඩුවකට ගෙදර ගියහම තමයි ඔවුන්ගෙ ආදරය, කරුණාව ලැබෙන්නෙ. මෙහෙ බෝඩිමේදි හැම දේම කර ගන්නෙ මම තනියෙම. මම මෙහෙම කියන එක හරිද මන්දා. ඒත් පස් පංගුව තම්බල  කළ පොඩිම පොඩි ක්‍රියාවෙන් ඔබ මට අම්ම කෙනෙක් වුණා. මට එසේ පුතෙකුට වගෙ සැලකීම ගැන ගොඩක් පින්."
  මලිතිගෙ දරුවො ඉන්නෙත් සැතපුම් දහස් ගණනක් දුර. ඇයගෙ ඇස් අග්ගිහ තෙත් වෙද්දි, බොඳ වී යන දෑසින් ඇය ඔහුට කෙටි පණිවිඩයක් ලිව්ව.
  " පුතා හිතා ගන්න මම පුතාගෙ කොළඹ අම්ම කියලා. මටත් මගෙ දරුවො සිහි පත් වෙනවා, පුතා දකින කොට. පුතාට බුදු සරණයි."
   ඔන්න මලිතිට තවත් පුතෙක් ලැබුණු හැටි.

1 ක් අදහස් දක්වලා.

Sunday, April 18, 2010

කැලේ නීතිය (ii)

Sunday, April 18, 2010
                 
                HASIBA

                ගැහැණු කම නම් මහී කාන්තාව සේ සියලු දුක්ඛ දෝමනස්සයන් ඉවසා දරා සිටීමය.අසීසා සහ උරන්ගා මේ සියලු දේ ඉවසා වදාරමින් නම් තැබීමේ සාදයට ගියේ දිළිසෙන වස්ත්‍රාභරණයෙන් සැරසී සියලු හැඩ වැඩ වලින්ද ඔප මට්ටම් වෙමින්ය.
     එසේ ලබන තෘප්තියක් හැරෙන්නට පොතක් කියවා, චිත්‍රපටියක් බලා රස විඳින්නට මේ දුෂ්කර ගම්මානයෙ අවකාශයක් නැත. අසීසාට බොහෝ විට මතක් වන්නේ තමා වැඩිවිය පැමිණීමට පෙර කෙලි කොල්ලන් හා නිදැල්ලේ දුව පැන දැඟලූ සුන්දර ළමා වියයි. වැඩිහිටිබවත් සමගම හිත මිතුර සමාගම් තහංචි විය. පිරිමි ළමයින් හා ඇසුර තහනම් විය. 
                 කිසියම් අත්‍යාවශ්‍යය කාරණයකට ගෙදරින් පිටව යන්නේ නම් හිස සිට දෙපතුල් දක්වාම බුර්කාවෙන් සිරුර වසාගෙන යා යුතු විය. මේ සියලු කරුණු කාරණා නිසාවෙන් ළමා වියේදී හදවත සසල කළ කාලිද්ගෙ ප්‍රිය සමාගම අහිමි වීම ඇයට දැරිය නොහැකි වේදනාවක් විය. මේ වේදනා, ශෝක පරිදේවයන් ගෙන් මිදෙන්නට ඇයට තිබුණු එකම සහනය උරන්ගාට සියල්ල කැටි කොට ලිහා දැමීම පමණි.
             කාලිද්ගේ සිත් අරණ මතද මෙබඳුම හැඟුම් රාශියක් විකසිත වෙමින්, මුකුළිත වෙමින් ජනනය කළ අපූරු මනෝ භාවයන් යොවුන් ආදරය දැයි නිර්වචනය කර ගන්නට ඔහුද අසමත් විය. 
  නම් තැබීමේ උත්සවය එළඹුනේ මේ අතරතුර කාලයේදීය. සාදය සඳහා වෙන් කළ කාමරයට ඇතුළු විය හැක්කේ ස්ත්‍රීන්ට පමණය. මේ කාමරයට පිවිසුණු සැණින් මේ බවලතුන් කරන්නේ බුර්කාවන් පමණක් නොව හිස බැඳි සිනිඳු සළු වන පර්දාවන් පවා උනා දැමීමයි. ඉන් අනතුරුව ඔවුන් සිත් සේ රඟති. ගයති. පිරිමින් ගෙන් තොර මේ සාදයට සර්පිනාව හා ඩොලැක්කය වාදනය කරමින් සංගීතය සපයන්නට කොලු ගැටයන් දෙදෙනෙකු සහභාගි කරවා ගනිති.
                අසීසාගෙ කුඩම්මාගේ පුතාගෙ නම් තැබීමේ මගුලටද කොලු ගැටයන් දෙදෙනෙක් ඒ වන විටත් පැමිණ සිටියහ. අසීසා වත්, උරන්ගා වත් ඔවුන් දෙස නිකමට හෝ නොබැලුවේ වියපත් ගැහැණුන්ගේ උකුසු ඇස් වලින් බේරී සිටීම ඉතා දුෂ්කර කාර්යයක් වූ බැවිනි.
      යෙහෙළියන් දෙදෙනා වර්ණවත් ඇඳුම් වලින් සැරසී තොල් නිය ආල්ප තවරා සාද ශාලාවට අවේ ලැජ්ජාවෙන් බිමට යොමා ගත් නෙත් වලිනි. ශාලාව කීවාට එය දිග කාමරයකි. එහි බඩු මුට්ටු සියල්ල ඉවත් කර මෙට්ට දමා තිබිණි.කාමරය වටේ බිත්ති වලට හේත්තුවී ස්ත්‍රීහු බිම වාඩි වී වෙති. සමහරෙකුගේ උකුළු තල මත කිරි දරුවන්ය. සාදය සරු වන විට," නොදනිත් දරුවන් ඇකයෙන් වැටුණා" යන්නද සැබැ වනු ඇත. අසීසාද,උරන්ගාද සමග පැමිණ ඉඩ කඩ තිබෙන තැනක් සොයමින් දැස  යැව්වාය.
          සර්පිනාවේ යතුරු පුවරුවට ඉහලින් වූ ජටාවක් බැඳි මුහුණ ඇයට හුරු පුරුදුය. අසිසාගෙ හද ගැස්ම ඩොලැක්කයේ හඬ මෙන් වැයෙද්දී ඇය උරන්ගාගෙ අත කෙනිත්තුවාය.
" මොකද මේ?"
" බලන්නකො කවුද අර සර්පිනාව ගහන්නෙ කියල."
"කවුද? කොතනද?"
" අර ...අර..සන්ගීත කාරයො දෙන්න."
" ආ..ඔව් නේන්නම්...කාලිද් ජාන් නේද?"
" හ්ම්, දැන් හරි හැඩයි නේද?"
" ම්..ම්...හීන කුමාරය නේ!?
''කට,කට...පුන්චම්මට අහුණොත් කෝටු මස් තමයි මගෙ ඉතුරු වෙන්නෙ"
   දැරියන්ගේ ඇස් තමන් වෙතට යොමුව ඇති බව විදුලි සැරයකින් බඳු අමුතු බලවේගයකින් දැණුනා සේ කාලිද් ද සර්පිනාවෙන් ගලවාගත් දෑස යුවතියන් වෙතම අලවා ගෙන සිටින්නට විය. අසිසාගෙ දසුනින් කෙසේ නම් දෑස ගලවා ඉවත් කරගන්නද?
     අසීසාගේ ගත පුරා අකුණු සැර වැදී ගෙන යන්නේ දිගින් දිගටය. ඇය හදවත මත දකුණු අත තබා 'සලාම්' කියමින් ආචාර කලාය. කාලිද් ද පෙරලා සලාම් කීවේය. ආචාර සමාචාර වචන දෙකකට සීමා වුවද දෑස් යුග දිගු කතාවකට මුල පුරනු දෙදෙනාටම දැණිනි. කාලිද්ට සිය දෙනෙත් අදහාගන්නට නොහැකි තරමට සිත් ඇදගන්න අයුරින් යෞව්වනය වැළඳ ගෙන සිටියාය. 
                නීල වර්ණ දෑස් වල ඇරියුමක් සටහන් වෙමින් සසල වන හැටි ඔහුගේ තුන් සිතම කම්පනය කරනු වැනිය. වත්සුණු තැවරූ දෙකොපුල් ගිම්හානයට රත් පැහැ ගන්වුණු ඇපල් ගෙඩියක් සේ රත් පැහැ ගැන් වෙයි. වැඩිහිටි ගැහැණුන්ගේ දැස් වල සවි කළ ඇන්ටෙනා එහෙ මෙහෙ කර කැවෙද්දී කාලිද් සිය ඇස් සර්පිනාවේ කලු,සුදු යතුරු වෙතට යොමු කළේ හිත පුරා පිරෙන සෙනෙහස වටා වැටක් ඉදි කරමින්ය.
   සාදය ඇරඹුනේ ජනප්‍රිය දේශප්‍රේමී ගීයක අනුවාදනයෙනි.සියල්ලෝම වාදනය අනුව යමින් ගයන්නට වූහ.

    " ඇෆ්ගනිස්තාන් සලාම්
      මෙ කාබුල් ජාන් සලාම්"

                   ගීත තුන හතරකට පසුව බොහොමයක් ස්ත්‍රීහු රඟන්නට වූහ. අසිසාගෙ මවද හිස වූ පර්දාව ගලවා දමා නැටුමට එකතු වූවාය. ජීවිතයේ හැම දවසක්ම බුර්කා සිර කූඩුවෙහි සිර වීගෙන සියලු හැඟීම් යටපත් කර ගෙන සිටින මේ ගැහැණුන්ට සීමාවන් සහිතව වුවද සිත් පුරා විනෝද විය හැක්කේ මෙබඳු සාද වලදී පමණි.බොහෝ යුවතියෝ සිය අත් බෑග වලින් කුඩා කණ්ණාඩි ඉවතට ගෙන, අනෙකුන්ගෙන් මුවා වී ටිකෙන් ටිකට තොල් සායම් තවරති. ඇස් වල අඳුන් තවරා ගනිති. හිසකෙස් සකස් කර ගනිති. 
                    අසීසා මේ කිසිවකුත් නොකර අනෙකුන්ගේ උකුසු ඇස් වලින් මිදෙන්නට හැකි හැම මොහොතකම කාලිද් වෙත අනිමිස ලෝචනයකි. 
                  තව අවුරුදු තුන හතරකින් කාලිද් හා විවාහ වී ඔහුගේ සිහින විමානයෙහි අබිසෙස් ලබන්නට ඇත්නම් යයි අසීසාට සිතිණි. අසීසා  සාදය නිමා වූවිට මව සමග උරන්ගාගෙ ගෙදර ගියේ උරන්ගාගෙ මව අසනීපව සිටි නිසාය. ලෙඩා බලා ගෙදරට පැමිනෙද්දී පවා අසීසා සිතුවේ කාලිද්ට ඇවිත් තමා පිළිබඳව කතා කරන්නට පියා සමග දිනයක් යොදා ගන්නට කියන්නටය.
                         සිත තුළ කැටි ගැසුණු නැවුම් අපේක්ෂා සහ සිහිනවලට පොපියන්නට දෙමින් ඇය සිය මැටි ගෙදරට ඇතුල් වන්නට යද්දී දොරක තිබුණු විශාල පිරිමි පාවහන් යුවලක් දුටුවාය. එය සිය පියාගේ පාවහන් යුවලට අමතරව එතැනට එකතු වූවකි.
          බුර්කාවේ දැල තුළින් ඇය සුදු දිගු රවුලකින් යුතු අවුරුදු හැටක පමණ පුද්ගලයකු තත්ත සමග කතවේ යෙදී සිටිනු දුටුවාය. ඇය සිතුවේ ඔහු බැටළුවන් මිළදී ගන්නට පැමිණියෙකු ලෙසටය.
  අමුතතා නිවසින් පිටවී ගිය පසු තාත්තා අම්මාට කී දේවල් කිසිවක් අසීසාට පැහැදිලිව නෑසිණි. එහෙත් රෑ කෑමට හිඳගත් පසු මුල්ලගේ පැමිණීමේ සුලමුල හෙළිදරව් විය.
  "ලතීෆා, අපේ අසීසා හරිම වාසනාවන්ත කෙල්ල. අපේ දුව මුල්ලාගෙ හතරවැනි භාර්යාව වෙන්නයි යන්නෙ."

" මොනවා? අර සීයා වගෙ මිනිහට මාව බන්දලා දෙන්නද යන්නෙ?" ඇයට සිය සිතුවිලි පාලනය කර ගත නොහැකි විය.
   " උඹ ට ප්‍රශ්න අහන්න අයිතියක් නැහැ. මුල්ලා අද මට රුපියල්  ලක්ෂ දෙකක් ගෙනැත් දුන්න. ඉතුරු ලක්ෂෙ බඳින ඩවසට මට ලැබෙයි. උඹලව අපි හදන්නෙ විකුණන්න කියල උඹ දන්නෙ නැද්ද? අපි හදන බැටළුවන්ගෙයි, උඹලගෙයි කිසිම වෙනසක් නැහැ. පුංචි වෙනසකට තියෙන්නෙ විකුණුවාට පස්සෙ බැටළුවන්ව මසට මරණවා. උඹලා අලුත් ජිවිතයක් ලබනව." 
  "අනේ..!අම්මේ, මට නම් බෑ ඒ මිනිහත් එක්ක යන්න"
   "කට,කට..තාත්තට ඉහලින් යන්න මේ ගෙදර කාටවත්ම බැහැ." අම්මගේ වචනද වෙනදාට වඩා සැරය.
  " උඹලා කරන්න ඕනි අපි කියන දේවල්. අනික, හතර වැනි ගෑනි වෙන එකමොන තරම් නම්බුවක්ද? ආයෙම වෙන ගෑනියෙක් ගෙනෙන්නෙ නැහැ නෙ. මිනිහගෙ සේරම වස්තුව උඹට."
  " හේ......හේ.......උඹට තමයි සෙරෝම සම්පත්.හරිම වාසනාවන්ති"
   ගඳ ගහන මුල්ලා කෙනෙකුගේ හතර වැනි බිරිඳ වීමෙහි තිබෙන වාසනාව කුමක්ද? කාලිද්ගේ අත ගෙන සොඳුරු ලොවකට පියමන් කරන්නට දුටු සිහින දෙදරා යන්නට ඉඩ දිය යුතුද? අම්මට සහ තාත්තාටත්, අනෙක් පුන්චි අම්මලාටත් මෙය සුබ දායක ආරංචියක් වූයේ තමන්ව විකිනීමෙන්  ගෙදරට ලැබෙන වස්තු කන්දරාව කෙරෙහි ඇති තණ්හාවය. අසීසා දස අතේ කල්පනා කළේ උරන්ගාට මෙය කියා පිළියමක් සොයන්නට සහය ලබා ගත යුතු බවයි.
  පහුවදා පාන්දරම ඇය උරන්ගා හමු වී සියල්ල පැහැදිලි කළේ වෛද්‍යවරයෙකුට සියලු රෝග ලක්ෂණ පවසන රෝගියෙකු පරිද්දෙනි. බොහෝ වේලා කෙරුණු සතර කන් මන්ත්‍රණයේ අවසාන නිගමනය වූයේ කාලිද්ව කෙසේ හෝ හමුවී තාත්තාව හමුවී විවාහය ගැන කතා කරගන්න ලෙසට ඉල්ලා සිටීමටයි. 

" ඉතින් කොහේදිද අපි මුණ ගැහෙන්නෙ?" 
     අසීසාගෙ නොසන්සුන් සිතට සුදුසු තැනක් කල්පනා වූයේම නැත. උරන්ගා කීවේ බැටලුවන් දක්කා ගෙන යන කඳු බෑවුමෙ සෙල්ලම් කළගල්පොත්ත වඩාත්ම සුදුසු බවයි. ගල් පොත්ත වටේටම මූකලානකි.
" කවුරුවත් දක්කොත්?" අසිසාගේ ප්‍රශ්නය ඒ තරම් බැරෑරුම් එකක් සේ උරන්ගාට නොපෙණිනි. 
" කවුද ඔය පැත්තෙ එන්නෙ? මේ දවස් වල එහා කන්දට නෙ බැටලුවො අරන් යන්නෙ. මම අපේ මල්ලිට කියන්නම් හවසට නමාස් ඉවර වෙලා කාලිද්ට එතැනට එන්න කියන්න කියලා."

    නියමිත වෙලාවට කාලිද් එතැනට අවේය. අසීසාද බුර්කාවට රිංගා ගෙන,  ගැහෙන සර්වාංගයෙන් සහ සිතින් යුතුව ගල් පොත්තට සේන්දු විය.
" මොකද, අසිසා ජාන්, හදිස්සියක්ද?"
" අනේ, ඔව්...කාලිද් ජාන්, මාව අර කරීම්මුල්ලට කස්සද බන්දල ඩෙන්න හදනව අපේ තාත්තා, මම කැමති නැහැ ඒ මිනිහට. ඔයාට බැරිද ඇවිත් අපේ තාත්තගෙන් මේ ගැන අහන්න?"
" ඒ මුල්ලට ගෑණු තුන්දෙනෙක්ම ඉන්නව නේද?"
"ඒක නේන්නං. මාව හතරවෙනි ගෑනි හැටියටයි ගෙනි යන්න හදන්නෙ....අනේ! පින් සිද්ද වෙයි, මේකට මොනව හරි කරන්න."
" මම අපේ තත්තට කියන්නම් ඔයගෙ තාත්තව මුන ගැහිල මේ ගැන කතා කරන්න කියල. හෙටම මම තාත්තව එවන්නම්, ඔයා වගෙ ලස්සන කෙනෙකුව ලේලි කර ගන්න අපේ තාත්තා ගොඩක් කැමති වෙයි."
  අසීසාට ඉදිරියට පැන කාලිද්ව සිප ගන්නට සිතෙයි. ඇය ප්‍රේමය උතුරා යන සිතින් ඔහුව සිය දහස් වරක් මනසින් සිපගත්තාය.
" අසීසා, ඉක්මණට මුහුණ වහ ගන්න. ඔ‍යාගෙ ෆාතිමා නැන්දා."
" මොනවා? කෝ? විනාසයි"
"ඔව්, ඔව්..ඔයාගෙ පිටිපස්සෙන්" කාලිද්ගෙ වචන උගුරේ පැටලුණා මිස එලියට පිට වුණේ නැටහ.
" හා... මේ අපේ කාලිද් පුතා නේ? අනේ බලන්ඩකො පුතෙ, අපේ අර කලු බැටළු පටික්කි කොහේ ගියාද කියල නැහැ නෙ. මම මේ හොයන්න යන ගමන්. කවුද ඔය ඔතැන ඉඳල අර ගස් දෙබලට මුවා වුණේ?"
  බියපත් වූ අසිසා බුර්කාවත් ඔසවාගෙන දුවන්නට වූවාය. එසැවුණු බුර්කාවට යටින් අසීසාගෙ අඳුම දුටු නැන්දා කම්මුලේ අත තබාගෙන අල්ලා දෙවියන්ට පැමිණිලි කරන්නට වූවාය.
" අනේ! අල්ලා දෙවියනේ! දැන් හැදෙන ගෑණු ළමයින්ගෙ තියෙන නොසන්ඩාලකම පෙනෙනවද? තනි පන්ගලමෙ ගල් පොත්තට ඇවිත් කොල්ලෙක් එක්ක කතා කර කර ඉන්න හැටි. 
ගෑණු ළමයින්ට ඔය වැඩ 'හරාම්' කියල උඹ දන්නෙ නැද්ද මෝඩියේ? මෙහෙමත් අසික්කිත වැඩක්?"
  ෆාතිමා නැන්දා දුටුව දෙයට ඇති පදම් ලුණු ඇඹුල් එකතු කර මුලු ගම පුරහම සාර්ථකව සන්නිවේදන සිදු කළාය. නඩු ඇසීමට ගමේ 'ශුරා' සභාවට අසිසාව කැඳ වනු ලැබිණි. සභාවේ සිටින්නේ පිරිමින් පමණකි.ඔවුන් ලෝකයේ වෙනත් රටවල් සිදුවෙන කිසිවක්ම නොදත් පිරිසකි. දැන ගන්නට උවමනාවක් ද නත. 
  ඔවුන් සිතන, පතන, කටයුතු කරන, තීන්දු ගන්න ආකාරය කොතරම් වැරදි වුවද එහි දොසක් ඔවුහූ නොදකිති.විත්තියක්,පැමිණිල්ලක් යනුවෙන් දෙපාර්ශෑවයක්කැඳවා නොතිබිණි.සියල්ලන්ම කළේ අසිසාට දෝෂාරෝපනය කිරීමපමනකි. ශුද්ධවූනීති උල්ලන්ගණය කළ වරදට, එමෙන්ම පවුලේ කුලගර්වය විනාශ කිරීමේ වරදට දඬුවම් නියම විණි. කොල්ලට කස පහර හතළිහකි. කෙල්ලව පන පිටින් වළලා ගල්ගස්සමර දැමීමට ඒකමතිකව තීන්දු කෙරිණි.
  අනුන්ගේ සුබ සිද්ධිය උදෙසා නොව විපත වෙනුවෙන්ම කැස කවන ඊනියා මූලධර්ම වාදීන්ගේ දෑත් වලින් කණිනු ලැබූ වළට අසීසාව තල්ලු කරනු ලැබූවේ මුල්ල විසින්මය. 

              ඇය අසීසාම මිස මරිය මදලේනා නොවූවාය. ඇත්ත, නැත්ත, හරි වැරදි කියා දෙන්නට මොහොම්මද් නබී තුමාද නැත. පටාචාර, කිසා ගෝතමී හෝ රජ්ජුමාලාට පිහිට වූ ආකාරයෙන් පිහිට වන්නට මේ අබුද්ධස්ස කාලයෙ ගෞතම බුදු රජාණන් වහන්සේද නොවඩිනු ඇත. කට පාඩමෙන් මිස අකුරු ගලපා  ශුද්ධවූ කුරානය කියවන්නට නොදත්මේ නොමිනිස් මුල්ලගේ කැලේ නීතිය සියල්ලෝම හිස් මුදුනින් පිළි ගනිති.
  විසි එක්වැනි සියවසේ මෙබඳු ම්ලේච්ඡ මිනිස් ඝාතන සිදුවෙතැයි කිසිවෙකුට අනුමාන වශයෙන් හෝ සිතිය නොහැකි නමුදු මෙය සත්‍ය වශයෙන්ම සිදුවිණි.
   අවසන් මොහොතේත් අසීසා සිතුවේ තමන් කිසිදු වරදක් නොකලබව පමණකි. ලෝකයේ පවතින කිසියම් ආගමකින් විරුද්ධ ලින්ගිකයෙකුට ආදරය කිරීම වරදක්දැයි සිතන්නට තරම් ඇය පොත පත අසුරු කර නැත. පොත පත ඇසුරු කරන්නට සාක්ෂරතාවක්ද ඇයට නැත. අමීනාගෙ හිස මතට ගල් වරුසාවක් ඇද හැලෙන්නට  විය. පැය දෙකක් ගත වන තුරුත් අසීසා ගල්පහර කාගෙන විලාප නැගුවාය. අවසානයේ ඇයගේ හිස කඩා වැටිණි. ම්ලේච්ඡ ඝාතකයෝ ලෝකයෙ උතුම්ම කාර්යයට දායක කාරක වූවා සේ ප්‍රීති වූයේ, මරණින් පසු සැපත් වන මොක් පුරෙහිදී ඒකාන්තයෙන්ම ඔවුන්ට දිව්‍යාංගනාවන් ලැබෙනු ඇත කියාය.
         
   

10 ක් අදහස් දක්වලා.

Saturday, April 17, 2010

කැලේ නීතිය

Saturday, April 17, 2010
      මිනිය ගොඩට ගත්තේ පණ පිටින් වැළලූ වළෙන්ය. පණ පිටින් වැළලූයේ  පවුලේ කුල ගර්වය කෙළෙසූ නිසාය. කරක් පස් යට කළ පසු ගල් ගසන්නට යැයි මුල්ලා කී විට වටේ රැස්වී සිටි හැමෝම ඔහුට අවනත වූහ. ගැහැණු බුර්කා වලින් මුළු සිරුරම වසා ගෙන ඇස් දෙකට ඉදිරියෙන් වූ සිහින් දැලෙන් එල්ලය ගෙන ගල්  එල්ල කළහ. අල්ලා දෙවියන් සිටියා නම් කිසිවෙකුටත් ඇයට ගල් ගසන්නට ඉඩ නොදෙනු ඇත.
  'නුඹලාගෙන් පව් නොකළ කෙනෙක් වෙත් නම් පළමුවන ගල ගසා පල්ල" කියන්නට යේසුස් වහන්සේ ආවේ ද නැත. කැලේ නීතිය රජ වූ රටක, නීති රීති ක්‍රියාත්මක නොවන රටක, සාධාරණයක්,යුක්තියක් පසිඳලන්නට කවරෙක් නම් ඉදිරියට එනු ඇත්ද?
   ගල් ගසා මරණු ලැබූ මිණිය නව යොවුන් යුවතියක ගේය. කළ වරද භද්‍ර යව්වනයේම හුන් තවත් මානවකයෙකුට ප්‍රේම කිරීමය. රට ඇෆ්ගනිස්තානයයි. ගම, එම රටේ උතුරේ පිහිටි නූගතුන් පිරුණු නියම් ගමක්ය.
    මරා දැමුණු යුවතියගේ නම අසීසාය. උරංගා ඇගේ ඥාති සොයුරිය පණ පිටින් මෙසේ ම්ලේච්ඡව මරා දමණු බලා සිටිය නොහැකි නිසාම දෙපා වලට ඉක්මන් ගමන් යන්නට අවසර දුන්නේ නැත. එහෙත් සිය නෑනන්ඩිය යලිත් නො එන ලෙසින් ඉක්මන් ගමනක් ගොස් හමාරය.
   අසීසාගෙ මුහුණ බැලිය නොහැකි තරමට ගල්පහර වලින් විරූප වී ඇත. ලේ නොගලන්නේ කොතනින්ද කියා සිතා ගන්නට බැරිය.ඒ තරමටම මුහුණ තුවාල වී ඇත. තවත් ඒ සිත් පෙලන දර්ශනය බලා සිටිය නොහැකිව උරන්ගා බුර්කාව දෑතින් ඔසවා ගෙන දුර්ජන මුහුණු නොපෙනෙන තෙක් මානයක වූ සිය මැටි ගෙදර දක්වාම එක පිම්මේ දුවන්නට විය. ඒ හිතට ඇති පදම් හඬා වැළ පෙන්නටය. 
     " අපේ ආගමේ විදිහට අවසාන කටයුතු කරන්න අවශ්‍ය නැහැ. මේ කෙල්ල අපට කළ අවමානයට මීට වඩා වෙන දඬුවමක් නැහැ. සර්ව බලධාරී දෙවියන් වහන්සේ දන්න මේ හැතිරි කරපු පාප කර්මය මොකද්ද කියලා. තුහ්! තුහ්!" කියා කෙල ගසමින් උජාරු කම් කියන ගමේ මුල්ලාගේ බහට මුළු ගමම අවනතය. කීකරුය. නලංගුය. උරන්ගාට ඉවසිය නොහැක්කේ එයයි.
  මියගිය අසීසාගේ..නැත...මරා දමනු ලැබූ අසීසාගේ මව බුර්කාව තුළට වී මුල්ලාගේ වදන් අනුමත කළේ අසීසාගෙ පියාගෙ අනෙක් බිරියන් තුන් දෙනාද සමගින්ය. බිරියන් තුන් හතර දෙනෙකුට දරුවන් විසි තිස් දෙනෙකු සිටිනා මෙවන් පවුලකට දරුවෙකුගෙ මරණය සයුරෙන් දිය දෝතක් අහක ගියාක් මෙනි. සිත් වේදනා වන්නට කිසිදු කාරණයක් නැත.
  කුරාණයේ මුල්පිටුව වත් කියවන්නට නොදත් අමන මරි මෝඩ මුල්ලා ආගම කියවන්නේ කට පාඩමෙන්ය. ගැහැනු ළමයින්ට ඉස්කෝල තහනම්, අකුරු කරන්නට තහනම් පෙදෙසක ගැහැනු ළමයින්ට ප්‍රේමකරන්නට ඉඩ හසර දෙනු ඇතිද? උරන්ගා මේ සියල්ල හිතමින් මේවා වෙනස් කරන්නට  අල්ලා දෙවියන් නැවත උපදින්නේ නැත්තේ ඇයිද යැයි සිය දහස් වර සිතා ඇත. මුල්ලා ගිය මාසයේ සිය හතරවෙනි බිරිඳ ලෙස අවුරුදු දොළහක ගැටිස්සියක්ව කැන්දාගෙන ආවේ, ඇයගේ පියාට මුදල් හදල් සමග බැටලුවන් රංචුවක් හිලව් කරමිනි.
      අසීසා, සිය පියාගෙ පළමු බිරියගේ වැඩිමහල් දියනිය වී ඉපිද සිටියාය. කුඩා කල පියාගේ එකම හුරතලිය ඇය වුවද බිරියන් සමගම දරුවන් වැඩි වෙන විට දරු හුරතල් බැලීමක් කොයිම වෙලාවක සිදු වුණේ නැති තරම්ය. අසීසා බැටළු රංචු දක්ක ගෙන කොල්ලන් හා එක තලයට, හරි හරියට  කඳු මුදුන් වලට ඇදෙදී දොසක් කියන්නට කවුරුත් අවේ නැත. එහෙත් ඇය හඬ නගා සිනා සෙන විට, සෙල්ලමෙන් පැරදුණු කොල්ලන්ට හූ කියන විට නම් නැන්දලා සහ පුංචි අම්මලා තරවටු කළා උරන්ගාට මතකය.
   අසීසාට සහ උරන්ගාට පාසැල් යාම තහනම් විය. මල්ලිලා පමණක් කිලෝ මීටරයක් පමණ දුරින් වූ පාසැලට යති. ඔවුන්ගෙ පොත්වල පින්තූර බලන්නට හෝ ඉඩ ලැබෙන්නේ ඔවුන් ගෙදර නැති වෙලාවට පමණක්ය. 
  "උඹලා කෙල්ලො. උඹලට ඔය පොත් අල්ලන්න වත් හොඳ නැහැ. පව්. ගෑණු ජාතිය, ජරා ජාතිය. ගලේ ගහ පිය..මරා දමපිය"
  පොත් බලන්නට ගන්න උත්සාහයන් නතර වෙන්නේ ඒ ආකාරයෙනි. උරන්ගා, අසිසා මෙන් සියලු ගැහැණු දරුවන් මේ කෙණෙහිලි වලට ගොදුරු වුවත් විරෝධතා නගන්නට හෝ පිකට් කරන්නට සංවිධාන එහේ නැත. එසේ කළොත් මරණය නියතය.
         පවුලේ පිරිමි දරුවන් ගැහැණු දරුවන්ව එසේ පාච්චල් කරද්දී වැඩිහිටියන්ද ඔවුන්ට උඩ ගෙඩි දෙමින් පවතින සම්ප්‍රදායන් සහ ආකල්පයන් අනුමත කළහ. 
   අසීසාට මෙන්ම උරන්ගාටද මේ කිසිවක් අභිබවා යා නොහැක. ඒ සඳහා දැනුමක්ද නැත. තාත්තාත්, අම්මලාත් පුතුන්ගේ පැත්තේය. ඔවුන් විදි දුක්, කම් කටොලු, අතවර දැරියන්ද විඳිය යුතු යයි ඔවුහූ අදහති. වැල යන අතට මැස්ස ගහනවා මිසක ඒ තමන්ගේ උපන් කරුමය සහ උරුමය යයි සිතනවා මිසක ඉන් එහාට සිතන්නට ඔවුන්ට ඥාන ශක්තියක් නැත. අම්මලා සිතන්නේ ගැහැණුන් ඉන්නේ ගෙදර දොරෙහි වැඩ කරන්නට, දරුවන් වදන්නට සහ හදන්නට පමණක් බවයි. ඒ වගේම පිරිමින්ගෙ ගුටි බැට වලට ලක් වීම, ඔවුන්ට දාස මෙහෙවර කිරීම තමන් ලබා උපන් දෙයක් බවත් ඔවුහූ පිළිගත්හ. මේවාට විරුද්ධව කතා කිරීම දෙවියන්ට එරෙහි වන තරමේ පාපයක් ලෙසද ඔවුන්ට කියා දී තිබිණි. 
    පිරිමින්ගේ කිසිදු තීන්දුවකට එරෙහි වීමට ගැහැණුන්ට නොහැකිය. අසීසාත්, උරන්ගාත් වයසින් මෝරද්දී මේවා ගැන රහසේ කතා කළද ඉන් එහාට කිසිවක් කරන්නට හැකියාවක් ඔවුන් තුළ වූයේ නැත.
   වැඩිවිය පැමිණීමත් සමගම අසීසා සහ උරන්ගාට බැටුළුවන්ව ගෙනයාම සපුරා තහනම් වූයේ සම්ප්‍රදායන් අනුවය. බැටළුවන් උලා කද්දී කොලු කෙල්ලන් සෙල්ලමේ යෙදෙති. දැන් ඒ සියල්ල යව්වනය විසින් උදුරා ඉවත වීසි කර ඇත. ළමා විය නොඉක්මුණා නම් හොඳ යයි සිතෙන්නේ එවිටය.
    අසීසාට තමන් සමග එක රෑනෙ කෙළි දළෙහි යෙදුණු කොලු කෙල්ලන්ව මතක් වෙයි. එළු, බැටළු, ගවයන් නිදැල්ලේ තන උලා කද්දී වසන්ත කාල සුන්දර කළ කෙලි සෙල්ලම් සිත කොනිත්තද්දී උරන්ගවත් ඇදගෙන  කඳු වළල්ලට දුවන්නට සිතෙන සිත අසීසා රෙදි කැබැල්ලක ඔතා වහළට විසි කරයි. එය නැවත තමන් ළඟට නො එනවා නම් හොඳය.
    අසීසාගෙ පියාගෙ තුන්වෙනි බිරිඳට කුළුඳුල් පුතා ලැබුණ විට අසීසාට මහත් සතුටක් දැනිනි. ඒ දවස් හයකින් එලැඹෙන නම්තැබීමේ උත්සවයට සතුටු විය හැකි නිසාය. ඒ උත්සවයට සහභාගි විය හැක්කේ කාන්තා පක්ෂයට පමණක් වුවද එදාට නටන්නත්, ගයන්නත් ලැබෙන අවස්ථාවෙන් තරුනියන් උපරිම ප්‍රයෝජන ගනිති. ඉනුත් සින්දුවක් කියා, චුට්ටක් නටා අහින්සක සතුටක් ලබනව මිස ඉන් ඔබ්බට යෑමක් කිසි විටෙකත් සැබැ නොවන සිහින පමනකි.  . . . .
(ඉතිරි කොටස මග...)

11 ක් අදහස් දක්වලා.

කව්ගර්ල්ස්

              කිරි සිහින සඳ වතුරක කිමිදෙමින් ඉන්න කාලයක් ආයෙමත් ඇවිත්. ඒත් අපි පුංචි කාලෙ හිතුවට වඩා දන් හැදෙන පුංචි දරුවන්ගෙ සිතුවිලි වෙනස්. මම පුංචි දඟකාරියො දෙන්නෙක් එක්ක රූපවාහිනිය බලමින් හිටියා. 'කාටූන් කව් බෝයි' රූප පටයක් ඒ. 
ටිකක් වේලා බලමින් හිටි එක පැටික්කියෙක් කියනවා,
"ඇයි,මේ කතාවල කව් බෝයිස්ල විතරක් ඉන්නෙ. කව්ගර්ල්ස් ලා ඒ රටවල නැද්ද" කියලා. දීපල්ලකො උත්තර. 
"ඒක නේන්නම්, අපි ලංකාවෙ මාමලා නැන්දලාට කියල ඒ වගෙ එකක් හදවමු" 
කොහොම වෙතත් කෙල්ල ස්ත්‍රීවාදිනියක් වෙයි කියල මට හිතුණා.
  මේ දවස් වල මේ දෙන්නට කතන්දර කියල දීල ඉවරයක් නැහැ. අමල් බිසෝ, නිදිකුමාරි, බෝන්චි වැල සහ යෝධයා, හිම කුමාරි, කොහොල්ලෑ බබා විතරක් නෙවෙයි....අන්දරේගෙ, මහ දැනමුත්තගෙ කතාත් කියල ඉවර කළා.
  " මගෙ කතන්දර ඔක්කොම ඉවරයි නෙ දැන්" කියල මම කිව්වම මොකද දන්නවද ඒ දෙන්න කියන්නෙ?

"ඔයා ලියන්නෙ එහෙනං අර කතා පොත් එහෙම, ලැප් ටොප් එකෙත් ලියන්නෙ. ඒ වගෙ හිතල හිතල හදල කියන්න කො, අත්තම්මෙ."
  ඉතින් ඊයෙ ඉඳල ළමා කතා නිබන්ධනය වෙනවා, දිගට හරහට. ළමා කවි සහ කතා..වැඩේ නරකම නැහැ නේද?

2 ක් අදහස් දක්වලා.

Tuesday, April 13, 2010

අවරෝහණය

Tuesday, April 13, 2010
                                                    ගන්නවද පළවෙනි ප්‍රශ්නෙ කියල අහල ප්‍රශ්නාර්ථයක් තියල ගියා ගියාමයි, එන්න බැරිවුණා....මාස දෙකක් විතරම මේ පැත්තෙ. ඉතින් සමා අවසර! ලබන්නාවූ සිංහල, හින්දු නව වසරත් එක්කම හර්දයංගමව සුභ ප්‍රාර්ථනා කරමින් බුලත් අතකුත් අරන් ආවොත් කවුරුත් මාව පිටමං කරන එකක් නැතිවේවි කියල මට හිතෙනවා.



"සුදු මැණිකේ....සුදු මැණිකෙ.."


ඔන්න නන්දිගෙ හඬ...හතර අතේ දෝංකාර දෙනවා. යක්බෙරයක් වගෙ කියල දඩබ්බරී කියනව, නොරිස්සුමෙන්. නැහැ...ඒ නන්දිගෙ හඬම නෙවේ...හිතේ හොල්මන් කරන හඬක්.


පුලින තලාවෙන් දුර කට වෙලා, පුලින තලාවෙ සැරි සරන සමීපස්ථයන්ගෙන් දූරිභූත වෙලා මලිති හිටියෙ කොහෙද ඇත්තටම?


දැඩි සත්කාර ඒකකයේ වැසුණු දොර පලු දෙකට මැද්දෙන් මලිතිගෙ දෑස රිංගනව, ලෙඩාගෙ සුව තතු පෙන්වන මොනිටරය මතට. රුධිර පීඩනය...40/60 හර්ද ස්පන්දනය 30...සැටුරේෂන්....65...


මලිති ඇවිත් පුටුවකට බර දුන්නා. පුටුවෙ ඇලෙන්නෙ නැහැ මලිතිගෙ හිත, විනාඩි දෙකක් වත්. ආපහු නැගිට නැගිට ගිහින් බලන්නෙ මොනිටරයේ පෙන්වන අංක වැඩි වෙලාද කියලා. මලිතිට අවශ්‍ය දේ වෙනුවට සිද්ධ වෙන්නෙ ඒ අංක අවරෝහණය පැත්තට වැටෙන එකයි. පුතා ඇවිත් ආපහු ගියෙ නන්දිව ගොඩ ගන්න මලිතිට පුළුවන්ය යන විශ්වාසය පුතාගෙ හිතේ තදින්ම සනිටුහන් කර ගෙන. නන්දිට මොකුත් වුනොත් පුතාගෙ හිත කඩන් වැටේවි. දුව පැයෙන් පැයට දුර කථන ඇමතුම් දෙන්නෙ මලිති ලඟ ජීවකයෙකුගෙ බලයක් ඇතියි කියලා.


නන්දිගෙ කොළඹ අවට ඉන්න නංගිල දෙන්න ඇවිත් ඉන්නව, තම තමන්ගෙ සහකාරයොත් එක්ක. කොළපාට කබා දා ගෙන, සුදු සපත්තු දමාගෙන ඔවුන් දැඩි සත්කාර ඒකකයෙ දොර පලු දෙකෙන් ඇතුලට ගියේ විශේෂඥ වෛද්‍යවරුන් වගේ. එලියට ආවෙත් ඒ විදිහටම බැරෑරුම් ඇස් වලින් සහ නළලට ගත්තු රැලි වලින් සෘණ ආවේග දහරා නිකුත් කරමින්. මලිතිට ඒ මුහුණුවල සෘණ සංඥා අසාත්මිකයි වගෙ. ඔවුන්ට ප්‍රතිචාර සංඥා නිකුත් නොකර මලිති, ඥාති වෛද්‍ය පුත්‍රයාට දුර කතන ඇමතුමක් දුන්නා.


"මම එනවා නැන්දෙ"


එහා කොණෙන් ඇහුණා, මලිතිට. දුර කතනය විසන්ධි කළ මලිති දොර පළු දෙක ළඟට ඇදෙන දෙපය වලංගු කරගන්න උත්සාහ කළේ නැහැ.


දොර පළු දෙබෑ වෙලා මහාචාර්ය වරයා ප්‍රාදුර්භූත වුණා. ඔහුගෙ මුහුණෙත් සිඳෙන,බිඳෙන ප්‍රාර්ථනා කොහොඹ කන්කාරියක් නටනවා. මලිතිට ඕනි වුණෙ නැහැ කාගෙ වත් කම්මුල් වල, නළල් තලවල ඇඳෙන, මැකෙන වන්නම්, නාඩගම් හෝ කන්කාරි හෝ බලන්න. සෙත් පිරිත් සජ්ජායනාවක් වගෙ ඇය නන්දිට සුව වේවා! කියල එක හිතින් හිතා ගෙන 'සබ්බේ බුද්ධා බලප්පත්තා..' ගාථාවත්,ගයත්‍රි මන්ත්‍රයත් මාරුවෙන් මාරුවට හිතෙන් තාලයට ගායනා කළා.


විදුලි සෝපානයෙ දොර විවුර්ත වෙද්දි දොස්තර පුතා ඉන් මතු වෙලා මහාචාර්ය වරයට එකතු වුණා. දෙදෙනාම මලිතිට ළං වුණා.


" මිසිස් නුගලියද්ද, අපි කරන්න පුලුවන් හැම දෙයක් ම කළා. දරුවන්ව ඉක්මනට ගෙන්වන්න. අද දවස එලි කර ගන්න වත් පුලුවන් වේවිද දන්නෙ නැහැ. අපට හරියට කණගාටුයි.සමාවෙන්න!" මහාචාර්ය වරයා මෙ ටික මලිතිගෙ කණට කෙඳිරුවෙ ඉංග්‍රීසියෙන්, රහසක් වගෙ. ඒ වුණාට නන්දිගෙ නංගිලාගෙ මහත්තුරුන්ගෙ කණ් ඇන්ටෙනා දමල වගෙ ඒ පැත්තට නැවිල, රහසෙන් ඇහුණු වචන එක එක සම්බන්ධ කරල තේරුමක් හොයන්න උත්සාහ කරනවා.


"නැන්දෙ,මම මල්ලිට කියන්නම් නංගිවත් එක්ක ගෙන අදම එන්න කියල. නැන්දා අනික් වැඩ බලා ගන්න."


" මට තේරුම් ගන්න පුළුවන්. ලයිෆ් ඉස් ලයික් දැට්" මලිති පුරුදු පුහුණු කරපු උපේක්ෂාව අත් හදා බැලුවා.






මලිතිට හිතුණෙම නන්දිට මොකුත්ම වෙන්නෙ නැහැ කියලා. හිත සනසගන්න නෙවෙයි...ටක්කෙටම එහෙම හිතෙන නිසයි මලිති ආයෙමත් දැඩි සත්කාර ඒකකයෙ දොරපලු දෙක අතර දාරයට ඇස් හේත්තු කළා. ඔක්කොම ඉලක්කම් බින්දුවට බැහැලා. නන්දිගෙ වටේටම ඉන්න අය එලෝමෙලෝ නැතුව මහන්සි වෙනව පණ ගන්න. කෘතිම ස්වසනය දෙනව. හර්ද සම්භාහන ක්‍රියාවලියක යෙදෙනවා. යන්ත්‍ර සූත්‍ර ගොඩක් සද්ද දමමින් ක්‍රියාත්මක වෙනවා. ආයෙමත් හර්ද ස්ඵන්දනය ටික ටික වැඩිවෙනවා. රුධිර පීඩනයත් වැඩිවෙනවා. අනේ!..ස්වාමී...මට පිහිට වෙන්න, ස්වාමි! මලිති ට ඉබේටම කියවෙනව. ස්වාමී කීවෙ සත්‍ය සායි බාබාට.


නන්දි ඉන්න කාමරයෙන් පිටත බලා හිටිය සේරමගෙ බලාපොරොත්තු සිඳ බිඳ දමල මහාචාර්ය වරයත්, දොස්තර පුතාත් යන්න ගියා. හෙද සහෝදරියක් එලියට ඇවිත් කිව්ව, "දැන් ඉතින් ඔය ගොල්ලොත් ගියාට කමක් නැහැ, හදිස්සියක් වුනොත් අපි කෝල් කරන්නම්" කියලා.


මලිතිට එතැනින් හෙල්ලෙන්න හිතක් නැහැ.


නන්දිගෙ එක නංගියෙකුගෙ මහත්තයෙක් මලිතිට කිට්ටු වෙනවා.


" මලිතිගෙ ගෙදර සාලෙ පෙට්ටිය තියල පුටු කීයක් විතර දමන්න පුලුවන්ද? " මලිතිට ලැබුණු පළවනි ප්‍රශ්නෙ. මලිති නිශ්ශබ්දව ඇස් කර කවල මස්සිනා දිහාවට ඊතලයක් එල්ල කළා. හැඟීම්, දැනීම් විරහිත ඊතලයක්.


ප්‍රශ්න ඉවර නැහැ වගෙ.ගන්නවද දෙවෙනි ප්‍රශ්නය? ගත්තත් නැතත් ප්‍රශ්න ඇසීම සිදු කෙරෙන වග මලිතිට හොඳටම පැහදිලියි.


" අහල පහල හොඳ ගෙවල් තියෙනවද, මළ ගෙදරට එන නෑදෑයින්ට කෑම දෙන්නයි, නවතින්නයි?" මලිතිගෙ පිළිතුර නිශ්ශබ්දතාවයක් විතරයි.


" ආ... ආ ... , එතකොට ටෙන්ට් ගහන්න ඉඩ කඩ තියෙනවද?"


තුන්වෙනි ප්‍රශ්නෙ?


හිත ඇතුලෙ මේ ප්‍රශ්න සියල්ලටම පිළිතුරු පෙළ ගැසුණත් ඉවසීම මගින් උත්තර දීම ප්‍රමාද කරනු ලැබුවා.


" මොකද කතා නොකර ඉන්නෙ? මළ ගෙඩර ගැන කවුද තීන්දු ගන්නෙ? වියදම් සේරම අපි බෙදා ගනිමු. ආ...මට අමතක වුණා. මලිතිලගෙ ගෙවල් ළඟ විදුලි ආදාහනාගාරයක් තියෙනවද? "


මලිතිට ඊට වඩා කට පියාගෙන සිටිය නොහැකි විය.


වක්කඩ කඩා ගෙන ගලන හැඟීම් අවුරා ලන්නට කවුරුත් ඉදිරිපත් වූයේ නැත.


"ඔයාට ඕනි නම් දැන්ම ගිහින් මගෙ ගෙදර දිග පළල බලා ගෙන එන්න දැන්මම ගිහින්. අනික මට අවසාන කටයුතු වලට නෙවේ, මෙයාව සනීප කරගන්න හොස්පිට්ල් බිල් ගෙවන්න පුළුවන් නම් මට සල්ලි දෙන්න. නන්දි මැරෙන්නෙ නැහැ, මම නන්දිව ජීවත් කරවනව. නන්දි ගැන තීන්දු ගන්නෙ මමයි, මගෙ දරුවො දෙන්නයි. ඔය ගොල්ලො මෙච්චර කල් හිටියා වගෙම දුරින් ඉන්නව නම් හොඳයි. මම ඉස්සර හිටි මලිති නෙවෙයි. දැන් ඉන්නෙ ඉස්සරට වඩා ශක්තිමත් ගැහැනියෙක්. මම දරුවො තනියෙම හදා ගෙන ඒ අයගෙ සේරම කටයුතු තනියෙම කළා වගෙ මේ ටිකත් කරන්නම්."


කළින් සිටි ළඳ බොළඳ, හුරතල් මලිති ගෙන් මෙවැනි වාග් ප්‍රහාරයක් කිසි සේත් අපේක්ෂා නොකළ මස්සිනා පසු බැස සටනින් ඉවත් වන ලකුණු පල කරද්දි අනෙක් මස්සිනා මලිතිගෙ සිත සනසන කොන්ත්‍රාත්තුව බාර ගෙන දෙබස් කියවන්නට විය.


                           ආවේගකාරී සිතුවිලි සමහන් කර ගන්නට මෙන් මලිති පුතාටත්, දියණියටත් දුර කථන ඇමතුම් දෙන්නට සිතුවේ අවස්ථාවාදී නෑදෑයන්ගෙන් මදකට මිදෙන අරමුණත් පෙරදැරි කරගෙන. සමුදුරු හතකින් එහායින් සිටියත් ඔවුන්ගෙ වදන් ඇසෙන විට ඇයට දැණුනු පාලු, හුදෙකලාව මොහොතකට සිතෙන් ඈතට ඈතට ඉගිලී යනවා දැණිනි.

5 ක් අදහස් දක්වලා.
ගන්නවද පළවෙනි ප්‍රශ්නෙ කියල අහල ප්‍රශ්නාර්ථයක් තියල ගියා ගියාමයි, එන්න බැරිවුණා....මාස දෙකක් විතරම මේ පැත්තෙ. ඉතින් සමා අවසර! ලබන්නාවූ සිංහල, හින්දු නව වසරත් එක්කම හර්දයංගමව සුභ ප්‍රාර්ථනා කරමින් බුලත් අතකුත් අරන් ආවොත් කවුරුත් මාව පිටමං කරන එකක් නැතිවේවි කියල මට හිතෙනවා.



"සුදු මැණිකේ....සුදු මැණිකෙ.."


ඔන්න නන්දිගෙ හඬ...හතර අතේ දෝංකාර දෙනවා. යක්බෙරයක් වගෙ කියල දඩබ්බරී කියනව, නොරිස්සුමෙන්. නැහැ...ඒ නන්දිගෙ හඬම නෙවේ...හිතේ හොල්මන් කරන හඬක්.


පුලින තලාවෙන් දුර කට වෙලා, පුලින තලාවෙ සැරි සරන සමීපස්ථයන්ගෙන් දූරිභූත වෙලා මලිති හිටියෙ කොහෙද ඇත්තටම?


දැඩි සත්කාර ඒකකයේ වැසුණු දොර පලු දෙකට මැද්දෙන් මලිතිගෙ දෑස රිංගනව, ලෙඩාගෙ සුව තතු පෙන්වන මොනිටරය මතට. රුධිර පීඩනය...40/60 හර්ද ස්පන්දනය 30...සැටුරේෂන්....65...


මලිති ඇවිත් පුටුවකට බර දුන්නා. පුටුවෙ ඇලෙන්නෙ නැහැ මලිතිගෙ හිත, විනාඩි දෙකක් වත්. ආපහු නැගිට නැගිට ගිහින් බලන්නෙ මොනිටරයේ පෙන්වන අංක වැඩි වෙලාද කියලා. මලිතිට අවශ්‍ය දේ වෙනුවට සිද්ධ වෙන්නෙ ඒ අංක අවරෝහණය පැත්තට වැටෙන එකයි. පුතා ඇවිත් ආපහු ගියෙ නන්දිව ගොඩ ගන්න මලිතිට පුළුවන්ය යන විශ්වාසය පුතාගෙ හිතේ තදින්ම සනිටුහන් කර ගෙන. නන්දිට මොකුත් වුනොත් පුතගෙ හිත කඩන් වැටේවි. දුව පැයෙන් පැයට දුර කථන ඇමතුම් දෙන්නෙ මලිති ලඟ ජීව්කයෙකුගෙ බලයක් ඇතියි කියලා.


නන්දිගෙ කොළඹ අවට ඉන්න නංගිල දෙන්න ඇවිත් ඉන්නව, තම තමන්ගෙ සහකාරයොත් එක්ක. කොළපාට කබා දා ගෙන, සුදු සපත්තු දමාගෙන ඔවුන් දැඩි සත්කාර ඒකකයෙ දොර පලු දෙකෙන් ඇතුලට ගියේ විශේෂඥ වෛද්‍යවරුන් වගේ. එලියට ආවෙත් ඒ විදිහටම බැරෑරුම් ඇස් වලින් සහ නළලට ගත්තු රැලි වලින් සෘණ ආවේග දහරා නිකුත් කරමින්. මලිතිට ඒ මුහුණුවල සෘණ සංඥා අසාත්මිකයි වගෙ. ඔවුන්ට ප්‍රතිචාර සංඥා නිකුත් නොකර මලිති, ඥාති වෛද්‍ය පුත්‍රයාට දුර කතන ඇමතුමක් දුන්නා.


"මම එනවා නැන්දෙ"


එහ කොණෙන් ඇහුණා, මලිතිට. දුර කතනය විසන්ධි කළ මලිති දොර පළු දෙක ළඟට ඇදෙන දෙපය වලංගු කරගන්න උත්සාහ කළේ නැහැ.


දොර පළු දෙබෑ වෙලා මහාචාර්ය වරයා ප්‍රාදුර්භූත වුණා. ඔහුගෙ මුහුණෙත් සිඳෙන,බිඳෙන ප්‍රාර්ථනා කොහොඹ කන්කාරියක් නටනවා. මලිතිට ඕනි වුණෙ නැහැ කාගෙ වත් කම්මුල් වල, නළල් තලවල ඇඳෙන, මැකෙන වන්නම්, නාඩගම් හෝ කන්කාරි හෝ බලන්න. සෙත් පිරිත් සජ්ජායනාවක් වගෙ ඇය නන්දිට සුව වේවා! කියල එක හිතින් හිතා ගෙන 'සබ්බේ බුද්ධා බලප්පත්තා..' ගාථාවත්,ගයත්‍රි මන්ත්‍රයත් මාරුවෙන් මාරුවට හිතෙන් තාලයට ගායනා කළා.


විදුලි සෝපානයෙ දොර විවුර්ත වෙද්දි දොස්තර පුතා ඉන් මතු වෙලා මහාචාර්ය වරයට එකතු වුණා. දෙදෙනාම මලිතිට ළං වුණා.


" මිසිස් නුගලියද්ද, අපි කරන්න පුලුවන් හැම දෙයක් ම කළා. දරුවන්ව ඉක්මනට ගෙන්වන්න. අද දවස එලි කර ගන්න වත් පුලුවන් වේවිද දන්නෙ නැහැ. අපට හරියට කණගාටුයි.සමාවෙන්න!" මහාචාර්ය වරයා මෙ ටික මලිතිගෙ කණට කෙඳිරුවෙ ඉංග්‍රීසියෙන්, රහසක් වගෙ. ඒ වුණාට නන්දිගෙ නංගිලාගෙ මහත්තුරුන්ගෙ කණ් ඇන්ටෙනා දමල වගෙ ඒ පැත්තට නැවිල, රහසෙන් ඇහුණු වචන එක එක සම්බන්ධ කරල තේරුමක් හොයන්න උත්සාහ කරනවා.


"නැන්දෙ,මම මල්ලිට කියන්නම් නංගිවත් එක්ක ගෙන අදම එන්න කියල. නැන්දා අනික් වැඩ බලා ගන්න."


" මට තේරුම් ගන්න පුළුවන්. ලයිෆ් ඉස් ලයික් දැට්" මලිති පුරුදු පුහුණු කරපු උපේක්ෂාව අත් හදා බැලුවා.




                 මලිතිට හිතුණෙම නන්දිට මොකුත්ම වෙන්නෙ නැහැ කියලා. හිත සනසගන්න නෙවෙයි...ටක්කෙටම එහෙම හිතෙන නිසයි මලිති ආයෙමත් දැඩි සත්කාර ඒකකයෙ දොරපලු දෙක අතර දාරයට ඇස් හේත්තු කළා. ඔක්කොම ඉලක්කම් බින්දුවට බැහැලා. නන්දිගෙ වටේටම ඉන්න අය එලෝමෙලෝ නැතුව මහන්සි වෙනව පණ ගන්න. කෘතිම ස්වසනය දෙනව. හර්ද සම්භාහන ක්‍රියාවලියක යෙදෙනවා. යන්ත්‍ර සූත්‍ර ගොඩක් සද්ද දමමින් ක්‍රියාත්මක වෙනවා. ආයෙමත් හර්ද ස්ඵන්දනය ටික ටික වැඩිවෙනවා. රුධිර පීඩනයත් වැඩිවෙනවා. අනේ!..ස්වාමී...මට පිහිට වෙන්න, ස්වාමි! මලිති ට ඉබේටම කියවෙනව. ස්වාමී කීවෙ සත්‍ය සායි බාබාට.


නන්දි ඉන්න කාමරයෙන් පිටත බලා හිටිය සේරමගෙ බලාපොරොත්තු සිඳ බිඳ දමල මහාචාර්ය වරයත්, දොස්තර පුතාත් යන්න ගියා. හෙද සහෝදරියක් එලියට ඇවිත් කිව්ව, "දැන් ඉතින් ඔය ගොල්ලොත් ගියාට කමක් නැහැ, හදිස්සියක් වුනොත් අපි කෝල් කරන්නම්" කියලා.


මලිතිට එතැනින් හෙල්ලෙන්න හිතක් නැහැ.


නන්දිගෙ එක නංගියෙකුගෙ මහත්තයෙක් මලිතිට කිට්ටු වෙනවා.


" මලිතිගෙ ගෙදර සාලෙ පෙට්ටිය තියල පුටු කීයක් විතර දමන්න පුලුවන්ද? " මලිතිට ලැබුණු පළවනි ප්‍රශ්නෙ. මලිති නිශ්ශබ්දව ඇස් කර කවල මස්සිනා දිහාවට ඊතලයක් එල්ල කළා. හැඟීම්, දැනීම් විරහිත ඊතලයක්.


ප්‍රශ්න ඉවර නැහැ වගෙ.ගන්නවද දෙවෙනි ප්‍රශ්නය? ගත්තත් නැතත් ප්‍රශ්න ඇසීම සිදු කෙරෙන වග මලිතිට හොඳටම පැහදිලියි.


" අහල පහල හොඳ ගෙවල් තියෙනවද, මළ ගෙදරට එන නෑදෑයින්ට කෑම දෙන්නයි, නවතින්නයි?" මලිතිගෙ පිළිතුර නිශ්ශබ්දතාවයක් විතරයි.


" ආ... ආ ... , එතකොට ටෙන්ට් ගහන්න ඉඩ කඩ තියෙනවද?"


තුන්වෙනි ප්‍රශ්නෙ?


හිත ඇතුලෙ මේ ප්‍රශ්න සියල්ලටම පිළිතුරු පෙළ ගැසුණත් ඉවසීම මගින් උත්තර දීම ප්‍රමාද කරනු ලැබුවා.


" මොකද කතා නොකර ඉන්නෙ? මළ ගෙඩර ගැන කවුද තීන්දු ගන්නෙ? වියදම් සේරම අපි බෙදා ගනිමු. ආ...මට අමතක වුණා. මලිතිලගෙ ගෙවල් ළඟ විදුලි ආදාහනාගාරයක් තියෙනවද? "


මලිතිට ඊට වඩා කට පියාගෙන සිටිය නොහැකි විය.


වක්කඩ කඩා ගෙන ගලන හැඟීම් අවුරා ලන්නට කවුරුත් ඉදිරිපත් වූයේ නැත.


"ඔයාට ඕනි නම් දැන්ම ගිහින් මගෙ ගෙදර දිග පළල බලා ගෙන එන්න දැන්මම ගිහින්. අනික මට අවසාන කටයුතු වලට නෙවේ, මෙයාව සනීප කරගන්න හොස්පිට්ල් බිල් ගෙවන්න පුළුවන් නම් මට සල්ලි දෙන්න. නන්දි මැරෙන්නෙ නැහැ, මම නන්දිව ජීවත් කරවනව. නන්දි ගැන තීන්දු ගන්නෙ මමයි, මගෙ දරුවො දෙන්නයි. ඔය ගොල්ලො මෙච්චර කල් හිටියා වගෙම දුරින් ඉන්නව නම් හොඳයි. මම ඉස්සර හිටි මලිති නෙවෙයි. දැන් ඉන්නෙ ඉස්සරට වඩා ශක්තිමත් ගැහැනියෙක්. මම දරුවො තනියෙම හදා ගෙන ඒ අයගෙ සේරම කටයුතු තනියෙම කළා වගෙ මේ ටිකත් කරන්නම්."


කළින් සිටි ළඳ බොළඳ, හුරතල් මලිති ගෙන් මෙවැනි වාග් ප්‍රහාරයක් කිසි සේත් අපේක්ෂා නොකළ මස්සිනා පසු බැස සටනින් ඉවත් වන ලකුණු පල


කරද්දි අනෙක් මස්සිනා මලිතිගෙ සිත සනසන කොන්ත්‍රාත්තුව බාර ගෙන දෙබස් කියවන්නට විය.


ආවේගකාරී සිතුවිලි සමහන් කර ගන්නට මෙන් මලිති පුතාටත්, දියණියටත් දුර කථන ඇමතුම් දෙන්නට සිතුවේ අවස්ථාවාදී නෑදෑයන්ගෙන් මදකට මිදෙන අරමුණත් පෙරදැරි කරගෙන. සමුදුරු හතකින් එහායින් සිටියත් ඔවුන්ගෙ වදන් ඇසෙන විට ඇයට දැණුනු පාලු, හුදෙකලාව මොහොතකට සිතෙන් ඈතට ඈතට ඉගිලී යනවා දැණිනි.

1 ක් අදහස් දක්වලා.