Tuesday, November 8, 2016

බ්ලොග්කරණයට යළි පිවිසුම

Tuesday, November 8, 2016
නෝක්කඩු ගොඩයි
එනමුත් සෙනෙහසින් තමයි
නොලිව්වට යමක්
හැමතින් චෝදනා ලැබෙයි

නොරට සිටින කොට
තනිවම කාලෙ ගෙවන විට
ඉඩක් තිබු නමුත්
දැන් නම් විවේකය අඩුයි

ලෙඩින් වැටීමත්
සුරතින් අකුරු කෙටීමත්
අපහසු නිසා තව තවත්
ලිවිල්ල පමා කළා මැයි

යළිත් වතාවක්
නොයෙකුත් කතා වියාගෙන
එන්නයි හිතේ අදිටනත්
ඉඩ දෙමු කාලයට ඉතින්

ජීවිතය ඇඟිලි අතරින් ගිළිහෙන්න ගොස් ආයෙමත් කොහෙදෝ එල්ලිලා, ගැට ගහ ගත්තාද කියල හිතෙන වෙලාවල් අනන්තයි. වාට්ටුව, සේලයින් බෝතල්, ශල්‍යාගාරය, මුව වැසුම් දමා ගත්තු දොස්තරල, හෙදියන් සහ වෙනත් අය පෙනි පෙනීම නිර්වින්දන ඖෂධ සිරුර පුරා ක්‍රියාත්මක වෙද්දි හිතත් හිරිවැටිල නිර්වින්දනය වෙලා ගියා මට හොඳට මතකයි. බයක් නම් දැනුනෙම නැහැ. නවීන විද්‍යාව කෙරෙහි, තාක්ෂණය කෙරෙහි, ඒ වගේම වෛද්‍යවරුන් කෙරෙහි තිබුණු විශ්වාසය නිසා සැත්කමට මුහුණ දෙන ශක්තිය තත්පරෙන් තත්පරය මෝදු වුණා. ඒවිශ්වාසය බොහෝ දුරට අසනීප සුව කරන්න වඩාත් හොඳ ප්‍රතිජීවකයක් කියල මට හිතෙනවා. 
"කොහොමද ඔය ලෙඩේ හොයා ගත්තෙ? මම මේ රෝගය පිළිබඳ විශේෂ්ඥ වෛද්‍යවරයෙක්. මට වත් හොයා ගන්න බැහැ නෙ." විමතිය පළ කරමින් ඔහු මගෙ දිහා බැලුවෙ විශ්මයාර්ථය ලියා ගත් දෑස්වලින්.
එකම පාසැලේ අකුරු කරපෞ අය හැටියටත්, එකම ගමේ අය හැටියටත් පොඩි හැඳුනුම් කමක් වගා දිගා කරගත්තු නිසා නොදන්නා කෙනෙකු කෙරෙහි පවතින දුරස්ඨ භාවය හිතට දැනුණෙ නැති තරම්.
"ලෙඩේ හොයා ගත්තු හැටි කියන්නම්. හැබැයි, හිනාවෙන්න එපා." ඒ තරමට අරුමැසි සොයා ගැන්ම වෛද්‍යවරයාට පවසන්න මා වචන එකතු කළා.
" අපේ අම්මා හීනෙන් ඇවිත් පෙන්නුවා. අම්මා අත් දෙකම එකතු කරල මගෙ පපුවෙ මෙතනට දික් කරල වචනයෙන් නෙවෙයි, ඇස් දෙකෙන් පරෙස්සම් වෙන්න වගෙ දෙයක් කිව්වා. මම හිනාවෙල අම්මට කිව්වා,
" මගෙ හාර්ට් එක තියෙන්නෙ වම් පැත්තෙනෙ. ඒක ඉදිමෙල තිබුණට මේ පැත්තෙ මොකද්ද කියල? මගෙ හදවතත් තියෙන්න ඕනි ප්‍රමාණයට වඩා ටිකක් විශාල වෙලා, ඒ කියන්නෙ එන්ලාර්ජ් වෙලා. ඒක වෛද්‍යවරුන් දැනගත්තෙ පපුවෙ එක්ස් රේ ඡායාරූපයක් ගත්තම. 

ඉන්දියාවෙ අය නම් එහෙම වුනොත් ඉතා සතුටින්, 
" බොහොත් බඩා දිල් හේ මෙරෙ පාස්" කියල කියාවි. අපේ එහෙම යෙදුමක් තියෙනවද කියල මට නම් සිහියට නගා ගන්න බැහැ. කිව්වට තේරෙන්නෙත් නැහැ නෙ. ඒ නිසා මම හිතන්නෙ, ඔලුව ඉදිමෙන්නේ නැතුව හදවත ඉදිමුණු එක ගැන මා සතුටු විය යුතුමයි කියල. ඔන්න කතා ඇතුලෙ කතා කියන්න ගිහින් පීලි පැන්නා නේද? පස්සෙ මම දොස්තර මහත්තයගෙ අත අර ගෙන අම්මා පෙන්නපු තැනට අත තියවලා මගේ කියමන ඔප්පු කරන උත්සාහයක යෙදෙන්නට වුණා. වෛද්‍ය වාර්තා වල තියෙනව, කාර්සිනොජන් සෛල තිබෙන බව. ඔව්! රිපොර්ට්ස් දෙකකම තියෙන ලය ප්‍රදේශයෙ, අම්ම පෙන්නපු තැන 'මැලිග්නන්සි' එකක් තියෙන බව. දන්ත චිකිත්සිකාවක් වෙන්න පුහුණුව ලබන කාලේ, අපිට කායික විද්‍යාව හදාරන්න ලැබුණා. පැතොලො කියන විෂයත් ඉගෙන ගත්තා. එබඳු හැදෑරීම් වලදි කාසිනෝජන් සෛල, මැලිග්නන්සි වගෙ වචන මට මතකයි. වෛද්‍ය වාර්තා කියවලා මම මගේ දුවණිට කිව්වා, 'මෙ අහවල් ලෙඩේ තමයි. අපෙ ගමේ දොස්තර මහතාම චැනල් කරමු කියලා. හොඳ වෙලාවට මගේ දුවනිත් ඒ දවස් වල ලංකාවට ඇවිත් හිටියෙ. දුවත්, එයාගෙ මහත්තයත් කැමති වුණේ නැහැ මම කියන දේ පිළිගන්නත්, මට ඒ රෝගය තියෙනව කියල පිළිගන්නත්. කැමති නැති වුණත් අපිට ලැබෙන දේවල් පිළිගන්න වෙනවනෙ. අපිට ආණ්ඩු මට්ටු කරන්න බැරි දේවල් කොයි තරම්ද? ඒ දෙන්නාට මෙය සත්‍යයක් කියල පෙන්වන්න මට ගූගල් යන්න සිද්ධ වුණා මගෙ දුරකතනයෙන්. එතකොට නම් දෙන්නම පිළිගත්තා අම්මා කියන දේ හරි කියලා. එහෙම තමයි, අපේ ගමේ දොස්තර මහත්තයව චැනල් කරල ඔය සැත්කම දක්වා සිද්ධී දාමය ක්‍රියාත්මක වුණේ. දකුණු පැත්තෙ ශල්‍ය කර්මය සිදුවුණු නිසා දකුණු අතෙන් වැඩ කරන එක අසීරු කාරණයක් වුණා. බ්ලොග් ලිවීම ඇතුලු සියලුම ලිවීම් සෑහෙන කාලයකට අත් හිටුවන්න සිදුවුණා.

අපේ රටේ ජනතාව, එහෙමත් නැත්නම් මගෙ යහළු යෙහෙළියො කෙළවරක් නැතුව මාව බලන්න ආව. කොළ කැඳ හදාගෙන, කෑම හදාගෙන, පලතුරු අරගෙන මාව බලන්න ආව. රෝහලට වගෙම ගෙදරටත් ආව. ඒ අයට අනේක වාරයක් ස්තුතියි. 

තවත් කාරණයක් කියන්න අමතක වුණා. මාව බලපු විශේෂඥ වෛද්‍යවරය සැත්කම කරන්න කියල පැවරුවෙ වෙනත් ශල්‍ය වෛද්‍යවරයෙකුට. ඔහු මුල්වරට මාව බලන්න ඇවිත් කිව්වා, "ඔයාගෙ නංගි කෙනෙක් මගෙ බැච් මේට් කෙනෙක්. එයාගේ හස්බන්ඩ් මගෙ රූම් මේට්. ඔයාව බලා ගන්න කියල මට අණ කළා. බය වෙන්න එපා." කියල මගෙ හිත සැනසුවා. ඒ නංගිගෙ නම ජයාදරී. එයා ඉන්නෙත් මම ඉන්න නිවාස සංකීර්ණයෙම තමයි.

නිවාස සංකීර්ණයක ඉන්න එකත් මොන තරම් වාසනාවක්ද කියල මට හිතුණා. දුවත්, දුවගෙ පවුලෙ උදවියත් ආපහු ඔවුන්ගෙ නිවාඩුව ඉවරවෙලා ගියාට පස්සෙ, මගෙ නැන්දම්ම දෙන්නෙක් මාව බලාගන්න ආවා, වරින් වර. ඒ වගෙම නිවාස සංකීර්ණයෙ අය මට උදේ, දවල්, හවස කෑම හදල එව්වා. හරිම කාරුණික උදවිය. මූණු පොතේ මුණ ගැහිල ගොඩ නගා ගත්තු යාළු මිත්‍ර කම් ප්‍රබල වෙලා දීපානි නංගිත්, අපේ නිවාස සංකීර්ණයට බැඳපු ප්‍රේමය අවසන් වුණේ, නිවාස සංකීර්ණයෙ මගෙ අසල් වැසියෙක් වීමෙන්. මූණු පොත නරකයි කියල පිටු දකින අයට එයින් බොහෝ යහපත් දේවල්ද සිද්ධ වෙන බව මතක් කර දිය යුතුයි. මූණු පොතේ ආනිශංස හා ආදීනව ගැන දවසක් කතා කරමු.

දැන් අසනීප තත්ත්වය අඩු නිසා බ්ලොග්කරණයට එක් වෙන්න හිතුවට කමක් නැහැ නේද? 

මගේ අනෙකුත් වැඩත් බ්ලොග්කරණයට අකුල් හෙළනවා. ඒ මම ආසාවෙන් කරන පුහුණු කිරීම් හා සමීක්ෂණ කටයුතු. සමාජ ක්‍රියාකාරිණියක් හැටියට වැඩ කරන කොට ලබන ආත්ම තෘප්තිය කියල නිම කරන්න බැහැ. ඒවා නිහඬව, සිත තෘප්තිමත් කරන්නම කරන වැඩ. කාන්තාවන් වගෙම තරුණ පරපුර දැනුවත් වෙලා, යහපත් ප්‍රතිඵල දකින කොට සමාජ මෙහෙවරක සැබෑ ස්වරූපය මේ නේද කියල සතුටු සුසුම් හෙළන වාර අනන්තයි.




7 ක් අදහස් දක්වලා.

Thursday, March 31, 2016

හිටු පිම්මේ යන ඔටු රේස්

Thursday, March 31, 2016

පිවිසුම:
ඔටු රේස් ගැන උනන්දුවක් පවතින මේ කාල වකවානුවෙ, ඩුබායිහි වෙසෙන දරුවන් දැක බලාගන්නට පැමිණි මට ඒ ගැන කරුණු හොයන්නට හිතුණා. ඒවා ලියලා ඔබලාත් එක්ක බෙදා හද ගත්තොත් මා මෙහෙ ඉන්න දින කිහිපය වඩාත් අර්ථවත් කර ගන්න හැකිවේය කියලා හිතලයි, ආයෙත් 'පුලිනතලාව' ට ගොඩ වෙන්න හිතුවෙ කලෙකින්.
(ගොඩක් ලියන කොට හැබැයි, සැත්කම කරපු පැත්තෙ අත නම් තවම රිදෙනවා) 

වර්තමානයේ 'ඔටු රේස්' සඳහා විශාල මුදල් ත්‍යාග සහ වටිනා මෝටර් රථ ජයග්‍රාහකයින්ට පිරිනැමුණත් ඉතිහාසයේ ලියැවී ඇති ඔටු රේස් සඳහා තරඟ වැදුණවුන්ගේ කතාවන්හි ඩිරාම් ලක්ෂ ගණන් ඔට්ටු තබා නැත. 'කාන්තාරයේ නෞකාව'යන විරුදාවලියෙන් ඔටුවා පිදුම් ලබන්නේ මැද පෙරදිග වාසීන්ගේ වාණිජ සංස්කෘතිය  මෙන්ම ඈත අතීතයට දිවෙන ප්‍රවාහණ සංස්කෘතියේද ඔටුවා අනිවාර්යය අංගයක් වූ බැවිනි. වාලුකා කාන්තාරයන්හී පැවැති දැඩි කර්කශ බව තෙල් බලෙන් සීඝ්‍ර ලෙස සංවර්ධනයන්ට භාජනය වුණු මැද පෙරදිග රටවල දැන් දක්නට නොලැබෙයි. අහස සිඹින උස් ගොඩනැගිලි, සුඛෝපභෝගී යාන වාහන මෙන්ම නොයෙකුත් සැප සම්පතින් අනූන ඩුබායිහි ඉතිහාසය එතරම් ඈතට විහිද යන්නේ නැත.

 මැද පෙරදිග රටවල විසූ අරාබි ජාතිකයින් අරාබි අර්ධද්වීපයේ ආදිවාසී අහිකුණ්ටික ගෝත්‍රවලින් පැවත එන්නන්ය. අරාබි බස කතා කරන මෙම ගෝත්‍රික වාසීන්ව පාලනය කරනු ලැබුවේ පාලක පවුල්වලින් තෝරාගනු ලැබූ 'ෂේක්' කෙනෙකු විසිනි. පැවත ආවාවූ ප්‍රධාන ගෝත්‍ර දෙක වූයෙ බනියාස් සහ කවාසිම් යන නම් වලින් හැඳින්වෙන ගෝත්‍රය්න්ය. බනියාස් ගෝත්‍රය අබු ඩාබි සහ ඩුබායි වල පදිංචි වූ අතර කවාසිම් ගෝත්‍රය සාජා හා රසල් කයිමා වල පදිංචි වූහ. සංචාරක හෝ අහිකුණ්ටික ගෝත්‍රවල ජනතාව 'බෙඩුවින්' හෝ 'බෙඩූස්' යනුවෙන්ද හඳුන්වනු ලැබිණි. ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය වූයේ ඔටුවන්, එළුවන් හා බැටළුවන් පාලනයයි. දේශගුණ විපර්යාසයන්ට අනුව තමන් සන්තකේ සිටින සතුන් දක්කාගෙන තැනින් තැන ඇවිද ගිය මෙම ජනකොටස් වල ජීවිත යැපුණේ මෙම සතුන්ගෙනි. එදිනෙදා දිවිපෙවෙතට අවශ්‍ය කිරි මෙන්ම ආහාරද, ඇඳුම් හා වාසස්ථානද උපයා සපයා සකසා ගත්තේ ඔවුන් සතු එකම වත්කම වූ සතුන් විකිණීමෙන් හා සත්ව නිෂ්පාදන (කිරි, මස්, සත්ව සම් හා සතුන්) අලෙවියෙනි. වර්තමානයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලෙස හැඳින්වෙන කොටසේ පදිංචි වූ ජන කොටස් මුලින් සඳහන් කළ එඬේර ජනවර්ගයට වඩා වෙනස් ජීවන වෘත්තීන්හි නියැළුණහ. අරාබියානු ගල්ෆ් මුහුදු තීරයේ සිය සත්ව කොටස්ද රැක බලාගනිමින්  ධීවර කර්මාන්තය, මුතු කිමිදීම, වාණිජ්‍යය යන වෘත්තීන් වලද යෙදුණහ. 

කෙසේ වෙතත් මෙම ජන කොටස්වලින් පැවත ගෙන ආ අරාබි ජාතිකයන් රාජ්‍ය බලවතුන්ගේ එකඟතාවන් හා සාකච්ඡාවන්හි ප්‍රථිඵලයක් ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලෙස නම් කොට පිළි ගැණුනේ 1971 වර්ෂයේ දෙසැම්බර් දෙවෙනිදාය. එමරාති සතකින් සමන්විත වූ මෙමෙ අ රාජ්‍යයේ එම ප්‍රදේශ හත; අබු ඩාබි, ඩුබායි, සාජා, ආජ්මාන්, උම් අල් කුවෙයින්, රස් අල් කයිමා සහ ෆුජෙයිරා නම් වෙයි.  
ආසියානු මහද්වීපයෙහි වර්ග කිලෝ මීටර් 80,000ක් පමණ වූ මෙම රට කටාර්, සෞදි අරාබිය මෙන්ම ඕමාන් රාජ්‍යය දේශයන් සීමා කොට පිහිටා ඇත. 

සංක්‍රමණිකයින් ලක්ෂ ගණනකට රැකියා සපයා දී සංවර්ධනය වන රටවල්වලට ආර්ථික හයියක් ලබා දෙන ඩුබායි හි හා අනෙකුත් අරාබි රාජ්‍යයන්හි ඉතිහාසය සමග ඔටුවන්ද අරාබි ජාතිකයින්ද අත අත නෑර යන ගමනකි. තාක්ෂණය කෙතරම් දියුණු වුවත්, නවීන පන්නයේ සුපිරි මෝටර් රථ තිබුණත් ඔවුන් තවමත් තමන්ගේ ඓතිහාසික ගමන් සහකරුවා හෝ වාහනය අමතක කරන්නට සූදානම් නැත. 
ඔටු ධාවන තරඟ පවත්වන්නේ ඔටුවන්ට කෙරෙන සැලකීමක් හා කෘතවේදීත්වය දැක්වීම බව ඔවුන් දරන මතයයි.

සමහර බෙඩුවින් ගෝත්‍රවල මනමාලියට මනාලයාගෙන් දෑවැද්ද ලෙස පිරිනැමුණේද ඔටුවන්ය. එසේම වාර්ෂිකව ඉස්ලාම් භක්තිකයින් විසින් පුණ්‍ය කර්මයක් ලෙසට ආගමික ස්ථානයන්ටද ඔටුවන් පුදනු ලබයි. ඔටු රේස් පවත්වන කාලයන්හිදී බොහෝ ඔටු හිමිකරුවන් විසින් ඔටුවන්ගේ ගෙලෙහි කහ දියර තවරා ගරුත්වයට ලක් කෙරෙයි. මනාලියකට සේ සලකයි.

මෙවර පැවැත්වෙන ඔටු දිවීමේ තරන්නගයට ඔටුවන් 11,000ක් පමණ සහභාගි කරවන්නට නියමිතය. මෙම ඔටුවන්ද ගෝත්‍ර දෙකකට අයත් වෙයි. 'ඩ්‍රොමෙඩරි' නම් වූ අරාබි සම්භායකින් පැවත එන ඔටුවන්ට ඇත්තේ එක මොල්ලියකි. ආසියානු සම්භවයකින් පැවත එන 'බැක්ට්‍රියන්' නම් වූ ඔටු විශ්ෂේශයට මොල්ලි දෙකක් ඇත. 
අරාබි සංස්කෘතියෙහි ඔටුවන්ට හැම වසරකම අළුතින් නමක් තැබීමද එකතර සම්ප්‍රදායකි. එක වසරැති ඔටුවෙක් 'හෙවර්' යනුවෙන් මුලින් නම් කර දෙවෙනි වසරේදී එම ඔටුවාම 'ෆටීම්' ලෙසින් නක් කරයි.වසර තුනක් ගත වෙද්දී 'හජ්' යන නමින් පුදනු ලැබෙයි. වර්තමානයේ ඔටුවන් ප්‍රාවහනය සඳහා යොද නොගැණුනත් වාර්ෂිකව පවත්වන ධාවන තරඟයන්ට නම් ඔවුන්ගේ සහභාගීත්වය අනිවාර්යය.

දැනට 75 වන වියෙහි පසුවන සලිම් ඔබෙයිද් පවසන්නේ ඔහු 1961 සිට ඔටු රේස්වලට සහභාගි වන බවයි.
" මම මුලින්ම ඔටු රේස් වලට සහභාගි වුණේ 1961 දී.ඒ අමතක නොවෙන දවස. මම විවාහ වුණෙත් එදා. එදා මට තෑග්ග හැටියට ලැබුණෙ රුපියල් සීයක් විතරයි. ඒකත් දුන්නෙ රේස්වලට සහභාගි වුණු අනෙක් පස්දෙනාගෙන් රුපියල් විස්ස ගානෙ එකතු කරල. අනෙක ඒ දවස් වල පොඩි උත්සව අවස්ථාවලදි අපි ඔටු රේස් තියනව අහල පහල අය එකතු වෙලා. එතකොට තරඟය දිනුව කෙනාට ලැබුණෙ, රට ඉඳි කූඩයක් හරි පලතුරු කුඩයක්. ඒත් අද තත්ත්වෙ ඊට වඩා බොහොම වෙනස්. ලක්ෂ ගණන් මුදල් හා සුපිර් කාර්. ඒ තරඟ පවත්වන්නේ ශේක් තුමාගේ අනුග්‍රහයෙන්. ඒ වගෙම දැන් රේස් නරඹන්නට තෙන විදේශිකයින්ගේ සහභාගීත්වයද වැඩියි. එය දැන් එමීර් රාජ්‍යයේ ජාතික ක්‍රීඩාවක් බවට පත්වෙලා.
 මට ඒ දවස් වල හිටියෙ ඔටුවො දෙන්නයි. ඒ දෙන්නගෙන් අපේ පවුලට යැපෙන්න පුළුවන් කම තිබුණා. දැන් මට ධාවන ශූරී නිරෝගී ඔටුවන් 40 ක් ඉන්නවා. 1971 එමීර් රාජ්‍යය නම් කෙරුණට පස්සෙ අනෙක් සියල්ලටම වගෙ ඔටු රේස් වලටත් යහපත් කාලයක් උදා වුණා. පාලකයින්ගේ අනුග්‍රහයෙන් රේස් සංවිධානය වුණා. එය එමීර් රාJ‍යයට අයත් රටවල් හතේ සාමය හා සහජීවනය ශක්තිමත් කිරීමේ අරමුණින් තමයි, අද කාලේ බොහෝ රේස් පවත්වන්නෙ."

ඔටු ධාවන තරඟවලට ඕනෑම කෙනෙකුට ඔටුවන් යෙදවිය හැක. සහභාගිවිය හැක. ශේක්වරුන්ට මෙන්ම සාමාන්‍ය ජනතාවටද, විදේශිකයින්ටද සහභාගි වීමට අවස්ථාව ඇත. අරාබි ජාතිකයින්ගේ මතය වන්නේ ඔටුවන් සතු වීමද හොඳ රැකියාවක් බවයි. 
එනිසාම ගල්ෆ් රටවල ව්‍යාපරිකයන් සහ ඔටු හිමියන් මෙම තරඟ සඳහා පෙරට වඩා උනන්දුවක් දක්වන බව පෙනේ. 1980 වර්ෂය වන විට හටගත් තරඟකාරීත්වය නිසා ජොකියන් ලෙසට දකුණු ආසියානු රටවලින් දරුවන්ද නීති විරොදී සංක්‍රමණ ජාවාරමෙන් අරාබිකරයට ගෙන එනු ලැබිණි. එහෙත් මානව හිමිකම් සංවිධානවල මැදිහත් වීම් සහ බලපෑම් නිසා ඒ සඳහ විකල්පයක් සෙවීම කඩිනමින් සිදුවිණි. කෙසේ හෝ ළම ජොකියන් යොදවා ඔටු රේස් පැවැත්වීම 2005 දී තහනම් කෙරිණි. 

 මෑත කාලයේදී, බොහෝ විට එමිරාති ජොකියන් රේස් සඳහා ඉදිරිපත් වන නැඹුරුවක් දක්නට ලැබුණු අතර නවතම ප්‍රවණතාවය වන්නේ ජොකියන් ලෙස රොබෝ වරුන් යෙදවීමයි. මෙම රොබෝවන්ව දුරස්ථ පාලක යන්ත්‍රයකින් ක්‍රියා කෙරෙනු ලබයි.
බොහෝ බෙඩුවින් ජාතිකයින් සිතන්නේ ඔටුවන් ඔවුන්ගේ ජීවිතයට ඉතා සම්බන්ධ ප්‍රාණීන් ලෙසටටයි. වැලි කතර තුළ පවතින කටුක දේශගුණික තත්ත්වයන්ට මුහුණදෙමින්, ඔරොත්තු දෙමින් ඔටුවන් අරාබි ජනතාවගේ ළඟම හා හිතවත්ම මිතුරා ලෙස ශතවර්ෂ ගණනාවක් පැමිණ ඇත.
ඔටුවන් පිළිබඳව සුවිශේෂී පර්යේෂණ කොට ආචාර්ය උපාධියක් ලද ලුලු ස්කිඩ්මෝර් ගේ මතය අනුව ජලය නොමැති පරිසරයක ජලය නොමැතිව බොහෝ දිනක් ජීවත්විය හැකි එකම සතා ඔටුවාය. කාන්තාර වැනි පරිසරයන්හි ඉතාම අඩු ජල පරිභෝජනයකින් ඔටුවන්ට කල් ගෙවිය හැක. නිදසුනක් වශයෙන් හරකුන් මුව ගැටෙන හැම තණකොළයක්ම උලා කෑවද ඔටුවන් තණකොළ ඒ තරමට උලා කන්නේ නැත. ඔටුවාගේ උස නිසා ඒ උසින් ඇති ගස්වල කොළද ඌ ආහාරයට ගනු ලබයි. ඔටුවාට අනෙක් සතුන්ට වඩා වේගයෙන් දිය පානය කළ හැක. පැය විසි හතරකට අඩු කාල සීමාවකදී ඔටුවෙකුට වතුර ලීටර් 180ක් පානය කළ හැකිවීම අනෙක් සතුන්ට නොමැති වරප්‍රසාදයකි.

ඔටුවන්ගේ තවත් විස්මය දනවන ජෛවවිද්‍යාත්මක ගුණයක් වන්නේ ජල හිගයන්ට මුහුණ දීමට ඇති ශක්‍යතාවයි. ඔටුවෙකුට සති දෙකක් වතුර නොමැති ජීවත් විය හැක. එහෙත් සති දෙකක් ජලය නොමැතිව සිටීම මිනිසුන්ට නම් මෙය අනිවාර්යයෙන් මරණය කැඳවන කාරණයකි.

මෙයට විද්‍යාත්මක හේතුව ගැන ඔබට සිතිය හැකිද? ඔටුවන්ගේ රුධිරනාලිකාවන් ඒවායේ පවතින ඝනත්වයට වඩා 240%ක් ප්‍රසාරණය විය හැක. එසේම ඔවුගේ රුධිර සෛල ඉතාමත් කුඩා මෙන්ම සිහින්ය. එනිස ඔවුන් විජලනය වුවත් රුධිර සංසරණය නවතින්නේ නැත. තවත් අතෙකින් ඔවුන් මුත්‍රා බැහැර කරන්නේද ඉතා ස්වල්ප වශයෙනි. දවසකට දෙවරක් පමණකි. සාන්ද්‍රයෙන් අධික ඔටු මුත්‍රා මුහුදු වතුරට වඩ දෙගුණයකින් ලව සංයුතියකින්ද යුක්තය.


1 ක් අදහස් දක්වලා.

Monday, November 2, 2015

Monday, November 2, 2015
උන් වහන්සේ අළුයම අවදිවී සිය දවසේ කටයුතු ආරම්භ කරන්නට සිතූ සැණින් කිසිවෙකු වන්දනා කුටිය තුළ සිටින බව දැනිණි. ඔහු හෙමින් වැඩියේ එහි සිටින්නේ කවරෙකුදැයි සැක හැර දැන ගනු පිණිසය. දුරින් කළු සෙවනැල්ලක් එහා මෙහා යයි. හිස් පළඳනාවක්ද පැළඳ ඇති සැටියෙකි. මෙතරම් පාන්දරින් වෙනත් හිමිවරුන් අවදි වී භාවනා නොකරන බව උන්වහන්සේ හොඳින්ම දන්නා කරුණකි.
කට හඬ අවදි කළ ස්වාමීන් වහන්සේ, " පින්වත, ඔබට අවශ්‍ය මොනවාද?" කිය කාරුණික ස්වරයෙන් විමසූ සේක.
"මට පින් පෙට්ටිය දෙනව ඕයි. නැත්නම් මේ පිහියෙන් තමුසෙව කීතු කීතු කරල දානවා" සොරෙකු සේ සිටි තැනත්තා කීවේ තමා අත වූ දිලිසෙන මුවහතක් ඇති පිහිය පෙන්වමිනි.

ස්වාමීන් වහන්සේ පිහිය දුටුවත්, ඉන් නොබියව "ඇත්තටම?" යයි පවසමින් ඔහුට පසෙක තිබූ පින් පෙට්ටියේ යතුර දුන් සේක. එම පුද්ගලයා පින් පෙට්ටිය විවෘත කොට සල්ලි සියල්ල හළා ගන්නා විට ඔහු කෙසඟ සිරුරකින් හෙබි, ඉරුණු කමිසයක් හැඳ සිටි දුප්පතෙකු බව හොඳාකාරව දුටු සේක.
"දවස් ගාණකින් හරිහමන් කෑමක් කාල නැතුව වගෙ."
"තමුසෙට මොකටද ඒකෙ වගක්" ඔහු පිළිවදන් දුන්නේ දැඩි කෝපයෙනි.
"ඔය පිං පෙට්ටියට එහායින් කබඩ් එකේ කෑම වගයක් ඇති. ඒවයින් මොනවහරි කාලම යන්න." ඉතාම කරුණවෙන් කියා සිටියේය.
" ඔය යන්නේ පොලිසියට කියන්න නේද? මම දන්නේ නැහැ කියල හිතුවද?" යළිත් බල්ලෑකු සේ බුරාගෙන පැන්නේ සොරකමේ ආ තැනැත්තාය.
" අපො! නැහැ, ඔබ සොරකමක් කළේ නැහැ නෙ. යතුර දුන්නෙත් මම. කෑම දුන්නෙත් මම. ඉතින් සොරකම් නොකළ කෙනෙක් පොලිසියට දෙන්නෙ මොකටධ?
සොරා පින් පෙට්ටියේ ඉතුරුව තිබුණු සල්ලි සියල්ලත් පොදි බැඳගෙන කෑමත් ඔතාගෙන එළිඅයට පැන ගියේ 'පොලිසියට කිව්වොත් බලා ගෙනයි" යනුවෙන් තර්ජනාංගුලිය ඔසවමිනි.

පසු දින පන්සලේ වැඩ සිටින අනෙකුත් ස්වාමීන් වහන්සේලාට එම සිද්ධිය නායක හිමියන් මේ බව පවසා සිටියේ ඔවුන්ට එයින් යමක් උගත හැකි හෙයිනි. නායක ස්වාමීන් වහන්සේගේ උතුම් ක්‍රියාවන් පිළිබඳව උන් වහන්සේ බෙහෙවින් පැහැදී උන්වහන්සේට ප්‍රශංසා  කළහ.

සතියකට පමණ පසුව එම හොරා තවත් හොරකමක යෙදී සිටියදී අල්ලා ගෙන පොලිසිය විසින් දස අවුරුදු සිර දඬුවමක් ලබා දී ඇති බවට පුවතක් පුවත් පත් වල පළවිය. කාලය සෙමින් ගෙවී ගියේය.දස අවුරුද්දකුත් ගෙවී ගොසිනි.
එක් උදෑසනක කලින් දින සේම බුදු ගෙයිහි කළු සෙවනැල්ලක් විය. ස්වාමීන් වහන්සේ එහි වැඩියේ පරණ සිද්ධිය සිහිපත් වූ බැවිනි. එදිනද ඔහු උල් පිහියක් අත දරාගෙන සිටියේය. පිහිය උරුක්කර, "මාව මතකද ඔහේට?" කියා ඇසුවේය.
ස්වාමීන් වහන්සේට රළු බැල්මක් හෙළුවේය.
"පින් පෙට්ටියෙ යතුර ඔය තියෙන්නෙ. මේ සල්ලි දුප්පතුන්ට  අපි දෙන්නෙ. ගන්න"

එහෙත් ස්වාමීන් වහන්සේගේ කීමට ඔහු නොසැලී  රකුසු මුහුණ වෙනස් කර මද සිනහවක් පෑවේය. සන්සුන්ව කතා කරන්නට වූයේය.

" මම අද ආවේ ඔබ වහන්සේගෙන් ඊට වඩ යමක් ඉල්ල ගන්න. ඔබ වහන්සේ ළඟ තියෙන තැන්පත කම හා ඉවසීමත්, තරහ නොයන ගතියත් මට ලබා ගන්න අවශ්යයි. පහු ගිය අවුරුදු දහයටම මට ඔබ වහන්සේ තරම් කරුණාවෙන්, ආදරයෙන් කිසිම කෙනෙක් කතා කරල නැහැ. ඔබ වහන්සේ අවසර දෙනව නම් මම ඔබ වහන්සේ ළඟ මහණ වෙන්න කැමතියි" කියමින්  පසඟ පිහිටුවා උන්වහන්සේට වැඳ සිටියේය.

කල් නොගොසින් ඔහුට භික්ෂුභාවය ලැබිණි.එපමණක් නොව ධනවතෙකු බවටද පත්විය. ඒ මිළ මුදලින් නොව කරුණාවෙන්, මෛත්‍රියෙන් සහ මුදිතාවෙනි. අප සැමටද අවශ්‍ය වන්නේ එය නොවේද?

4 ක් අදහස් දක්වලා.

Monday, September 29, 2014

Monday, September 29, 2014






කතන්දර ලියන මම, ලියපු කතන්දර පොතක් 'සුදු හිම පලස' නමින් ළඟදි එළිදැක්වූවා. එය 'සුරස' ප්‍රකාශනයක්. ඇෆ්ගනිස්තානයේ මා ගත කළ අවුරුදු හයකට කිට්ටු කාලය තුළදී මා ඇසු දුටු ඒ වගේම වින්ද දේවල් තමයි, මේ නිර්මාන වලට පාදක වෙලා තියෙන්නෙ. ඔබත් මේ පොත කියවන්න. ඇලුත් කියැවීම් අත්දැකීමක් වේවි කියල මට සහතිකයි.
මරදානේ සුරස පොත් හලෙන් වගෙම නුගේගොඩ සරසවි පොත් හල ඇතුලු වෙනත් පොත් හල් වලින් ලබා ගන්න පුලුවන්. පිටපළාත් වලත් ඇති කියලා, මට විශ්වාසයි.

2 ක් අදහස් දක්වලා.