Wednesday, January 29, 2014

නිළියන් හා දේශපාලනය

Wednesday, January 29, 2014
ළඟදී එන මැතිවරණයට නිළියන් තරඟ කිරීම පිළිබඳව බොහෝ දෙනෙකුගෙන් පළ වෙන්නේ අශුභවාදී එමෙන්ම ලිංගිකත්වය අනවශ්‍ය ලෙස උලුප්පාලන මත වාදයන් හා අදහස්. නිළියන් පළාත් සභා මැතිවරණයට පිවිසීම එක් ආකාරයකින් අපේ පළාත් සභා වල කාන්තා නියෝජනය වැඩි කිරීමක්. රෝසි සේනානායක මහත්මිය මැතිවරණයට එන කාල වකවානුවෙ වුණත් බොහෝ අය ඒ ගැන දැරුවේ, සාවද්‍ය ආකල්ප. එහෙත් ඇය පොත පත කියවීමෙන් හා අත් දැකීම් ඇසුරෙන් කාන්තා ප්‍රශ්න පිළිබඳව ඉතා සංවේදීව කටයුතු කරන බව  මේ පිළිබඳව උනන්දුවෙන් සොයා බලන අය කවුරුත් පිළිගන්නා සත්‍යයක්. උපෙක්ෂා ස්වර්ණමාලී මහත්මියද දැන් පෙරට වඩා දැනුවත් වී කටයුතු කරනා බව හා අධ්‍යනයන් හි යෙදෙනා බව කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් ඇය කළ අදහස් ප්‍රකාශ කිරීමක දී අසන්නට ලැබුණා.
ශ්‍රී ලංකාවේ පළාත් සභා හා ප්‍රාදේශීය සභා වල ස්ත්‍රී නියෝජනය ඉතාමත් අවම තත්ත්වයකයි, පවතින්නේ. නිළියන් වුවත් ඔවුන් මේ රටේ පුරවැසියන්. මෙතැනදී බොහෝ දෙනෙකුට ප්‍රශ්නය වී ඇත්තේ ඔවුන් නිළියන් වීමයි. නළුවන් ගැන කිසිවෙකුගේ විරොධයක් නැත. පාර්ලිමේන්තුවේ, පළාත් හා ප්‍රාදේශිය දේශපාලන ආයතන වල සිටින පිරිමි නියෝජිතයන් මුග්ධයන් සේ ස්තිරේ දූෂණ වල යෙදෙමින්, මිනී මර මින් කරන අපරාධ මේ නිළියන් නම් කිසි දාක නොකරනු ඇත. මෙහිදී බොහෝ දෙනෙකුට ප්‍රශ්නය වී ඇත්තේ කාන්තාවන් මෙසේ මතිවරණයන්ට ඉදිරිපත් වීමයි. ඉන්ඩියාවේ පවා ටෙලි නාට්‍ය නිළියන් හා කලා කරුවන් විටින් විට දේශපාලනයට අවතීර්ණ වී ඇත. ඔවුන් පසුව යහපත් ජනතා සේවකයින් බවට පත් වී ඇත. අපේ මේ නිළියන් ද තේරී පත් වුවහොත් නිළි කම පැත්තකට දමා සිය වගකීම් මැනවින් හඳුනා ගෙන කටයුතු කරාවි යැයි සිතන්නට අපට නොහැකි ඇයි? පාර්ලිමේන්තු කාන්තා කණ්ඩායම මගින් වර්තමානයේ දැනුවත් කිරීම් කරගෙන යනු ලබයි. දොස්තර ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය, රෝසි සේනානයක මහත්මිය ඇතුළුව බොහෝ දෙනෙක් වගකීමෙන් යුතුව සිය යුතුකම් ඉටු කරමින් සිටියදී සාකච්ඡා සංවාද පවත්වමින් කාන්තවන් වැඩි වශයෙන් දේශපාලනයට උනන්දු කරවමින් සිටියදී මෙම නිළියන් වුව ඔවුන්ගේ ආභාෂය ලබමින් නිවැරදි මගක් ගන්නවාට කිසිදු සැකයක් නැත.තරඟ වදින එක් නිළියක් ප්‍රකාශ්යක් නිකුත් කරමින් පවසා සිටියේ තමන්ට ජයග්‍රහණය ලැබුණොත් ඇය නිළි වෘත්තියෙන් අයින් වී දිගින් දිගටම දේශපාලනයේ යෙදෙන බවයි.

               වැන්දඹු දේශපාලනය පවතිනවා යයි කියන දකුණු ආසියානු කලාපයේ ඒ සංකල්පයෙන් මිදෙන්නට නිළියන් හෝ මෙසේ ඉදිරිපත් වීම අගය කොට සැලකිය යුතුය. ඔවුන් නිළියන් වුවත් පූර්ණ මානව හිමිකම් වලට උරුම කම් කියන මේ රටේ පුරවැසියන් බව අප කිසි සේත් අමතක කළ යුතු නොවේ.
නිළියන් පිළිබඳ කතා බහ සෘණාත්මකව සිදුවීම කණගාටුවට කාරණයකි. ඔවුන්ට චරිත සහතික නිකුත් කරන්නට තැත් කරන උදවියට පැවසිය යුත්තේ දේශපාලනයේ යෙදෙන පුරුෂ පක්ෂයටද චරිත සහතික නිකුත් කළ යුතු වගයි. ඒ දුෂණ හා ඝාතන සම්බන්ධයෙන්ය.
කාන්තාවන් වත් මේ නිළියන්ට සිය මනාපයන් ලබා දෙන්නේ නම් ඔවුන්ව ජයග්‍රහණය කළ හැකි වනු ඇත. කුමන පක්ෂයකින් පැමිණියත් කාන්තාවකට මනාපය පළ කිරීමේ අවස්ථාව මග හරින්නේ නැතිව ඇය නිළියක් ද ගායිකාවක් ද කලා ශිල්පිණියක් ද  වර්ග නොකර ඇය මේ රටේ පූර්ණ පුර වැසියෙක්ය යන කාරණය සිත් හි තබා ගෙන ඔවුන්ට සහයෝගය පල කළ යුතු බව මගේ හැඟීමයි.

9 ක් අදහස් දක්වලා.:

Kusumsiri Edirappuli said...

අක්කන්ඩි කාලෙකට පස්සෙ ඇවත්. දේශපාලනයෙදි හෝ වෙන කටයුත්තකදි පිරිම්ද කාන්තාවක් ද කියන එක මට නම් වැදගත් නෑ. කරන කාර්යය හරියට කරනවන්ම්.

SL Tech Express said...

කාලෙකට පස්සෙ ඔබේ ලිපියක් දැකීම සතුටක්! "දොළ පිදේනියක් . . . !" කතාවෙන් පස්සෙ ඉතිරිය කෝ??? :)

Buru Babe said...

අක්කන්ඩිව දැකීම සතුටක්.
ඔබ වගේ අය යමක් ලිවිය යුතුමයි.
වෙලාවකට හිතෙනවා ලාංකීය පිරිමියා ලොකුම අසහනයකින් ඉන්නේ කියලා සමහර සටහන් කියෙව්වම. නිළියන්ගේ හෝ වෙනත් කාන්තා නියෝජන ගැන අවබෝධයක් නොතිබුනාට මටත් හිතෙන්නේ දැනට ලාංකීය දේසපාලනයේ යෙදෙන බොහෝ ස්ත්‍රී දූශකයින්ට, අපරාධකරුවන්ට, කුඩු කාරයින්ට වඩා මේ කාන්තාවන් බොහෝ ඉස්සරහින් බවයි. මගේ නම් මනාපය මේ තියෙන ගල්ගුහා ක්‍රමයෙන් එලියට එන්න නම් මෙයිට වඩාත් කාන්තාවන් ටිකක් ඉස්සරහට එන්න ඕන කියන හැඟීමයි.

කතන්දර Kathandara said...

මට හිරිකිතයි මේ දේශපාලනයට අළුතින් එන කාන්තාවන්ට එරෙහිව නැගෙන පුරුෂොත්තමවාදී වියරු විරෝධය මතක් වෙන කොටත්.

මෙය එක් අතකට ලංකාවට විතරක් අදාල දෙයක් නොවෙයි. නවසීලන්තයේ, ඕස්ට්‍රේලියාවේ සිටි කාන්තා අගමැතිවරියන්ටත් සෑහෙන අවලාද නැගුනා මේ ඌරු මිනිසුන්ගෙන්.

Dinesh said...

අක්කණ්ඬි කාලෙකින් ඇවිත්.. නාමයෝජනා ලැබෙන්නත් කලින් එයාලට ගහන ගැහිලි දැක්කම එපා වෙනවනම් තමයි..

ηiRσ said...

මට තියෙන ප්‍රශ්නේ මේ නිලියෝ ගොඩක් එක පාරටම දාල තියෙන්නේ කාගේ උවමනාවකටද කියන එක. එයාලා කාගේ කාගේ හරි රූකඩ. distraction එකක් විතරයි. කාගේවත් පදේකට නටනවා මිසක් ස්වාධීනව හිතල ආව එකක් නෙමෙයි කියලයි මට හිතෙන්නේ. හැබැයි ඒක එයාලවත් දන්නේ නැතුව ඇති.එයාලා ඡන්දෙට එන එක කාන්තා නියෝජනයක් හැටියට මට පෙනෙන්නේ නැත්තේ ඒකයි.

අක්කණ්ඩි කෝ අර ලියා ගෙන ආ කතාව? ඒක මම හරි ආසාවෙන් කියෙව්වේ :(

ηiRσ said...

@කතන්දර කාරයා
ඒක නම් ඇත්ත.
ජුලියා ඉන්න කාලේ එක (ලංකාවේ) පොරක් දවසක් කියනවා "මේ ගෑනුන්ට රට කරන්න බෑ. ගෑනියෙක් ආව නිසා තමයි මේ (ඕස්ට්‍රේලියාවේ) ආර්ථිකේ ප්‍රශ්න - අරකයි මේකයි"
මට හිතුනා ඉතිං ඒක තමයි බලන්න පිරිමියෙක් රට කරන ලංකාවේ ආර්ථික දියුණුව කියලා.

Chandi said...

කාන්තාවන්ට මේ රටේ අය හිතන්නෙ උයන්න හා ලමයි වදන්න විතරයි දන්නෙ කියලයි අක්කෙ. අපේ රටේ බිහිවෙච්ච විහාර මහා දේවිය වැනි වීර කාන්තාවො තව කොතරම් ඉන්නවාද? නිළියක් වෙච්ච පලියට ගැරහිම නොවේ කල යුත්තෙ. ඒ අයට ධෛර්යය දීමයි කරන්න ඕනෙ. ස්තූතියි ! ලිපියට.

vicharaka said...

මේ අදහස් දැක්වීම ප්‍රස්තුතයට අදාළ නැහැ. නමුත් මෑතකදී මා ඔබ ගැන කියවූවා, ඔබ විසින් ලියන ලද, 'සුදු හිම පලස නමැති' පොත ගැන බ්ලොග් අඩවියක පලවී තිබුණු ලුපියකින්. මා 61 හැවිරිදි විශ්‍රාමික ජ්‍යොෂ්ඨ යුද හමුදා නිලධාරියෙක්. මා ඔබව කවදාවත් දැක නැහැ. හමුවී නැහැ. රූපවාහිනියේ සම්මුඛ සාකච්ඡා වලින් දැක තිබෙනවා. නමුත් මම ඔබව දන්නේ ඔබ 'හල්දුම්මුල්ලේ පුෂ්පා රම්ලනී රත්නායක' නමින් ගුවන් විදුලියේ අසන්නන්ගේ ඉල්ලීම් සහ කාන්තා වැඩසටහන් වලට නිර්මාණ ඉදිරිපත් කළ 1970 දශකයේ සිටයි.

යුද හමුදා රාජකාරි වලට අදාලව මම හල්දුම්මුල්ලට ගොස් එහි සුන්දරත්වය දැක තිබෙනවා. 1988 - 89 කාලයේදී. බොහොම සතුටුයි ඔබව මෙලෙස දකින්නට අහන්නට ලැබීම ගැන. මගේ ඊ මේල් ලිපිනය wmjgslsr@gmail.com

මම අසමි දකිමි සොයමි බ්ලොග් අඩවිය wicharaka.blogspot.com කරන විචාරක.

Post a Comment