Tuesday, September 29, 2009

උඩු මහල එක් ටැම් ගෙයක් වෙයිද?

Tuesday, September 29, 2009
අම්මා එක්කයි, අප්පච්චි එක්කයි හුරතල් වෙමින් හිටිය සුදුමැනිකෙ දවස් දෙක තුනකින් මහ ගැහැණියෙක් වෙලා. මේ ටික දවසකට කලින් දුව පැන දඟලපු සල්ගහගෙදර සුදු මැණිකෙමද මේ තැන්පත්ව කනට ඇහෙන්න කතා නොකර ඉන්නෙ?
මල්ලි හිටියා නම් අහයි,
" මේ අනේ, මොකද ඔය ඔච්චර ඩිපොසිට් වෙලා ඉන්නෙ?" කියල. 
නව දිවියක ඇරඹුම ගැන සාපේක්ෂව හිතන්නද? නිරපේක්ෂව හිතන්නද? මොළේ උළුක් වෙන ප්‍රශ්න නැතුව සැහැල්ලු විදිහට හිතන්න...කියඹු රැලි දෙකක් පළල් නළලට වැටිල. ඔය අස්සෙන් මට ලස්සන ගියක් මතක් වෙනව.
' සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
වළා රොදක සැඟ විලා
අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා....
කියඹු වැල් ලිහී ඔබේ.....'  
මේ කියඹු වැල් මාරුතේ එක්ක මිසක් යෝදයගෙ ඇඟිලි වල ඔන්චිලි පදින්නෙ නැතිවෙයි. මලිති වන මම කණ්ණාඩිය ඉස්සරහ තනියම හුරතල් වෙනව එයත් එක්කම. අර 'බඹා කෙටූ හැටි' පොතෙ වගෙ බෙල්ල කරකවල බැලුවා...මොනව හරි ලකුණු තියෙනවද කියලා...හීනෙන් හරි කවුරු හරි ඇවිත් එහෙම ලකුණක් තියල ඇති කියලා....මොකුත්ම නැහැ. තවම දවස් කීයද? දෙවෙනි ගමන ඇවිත් තවම දවස් දෙකක් වත් ගියෙත් නැහැ.
තවම ආදරේ කලල රුව පිළිසිඳ ගත්ත විතරයි නෙ. කලලය මෝරලා කිරි කැටියෙක් බිහිවෙන්න මාස නවයක් යනව වගෙ එයාගෙ හිතෙත් ආදරයක් පිළිසිඳිලා කළ එළි මංගල්ලෙට තව කල් ගත වෙයි. සම්ප්‍රදායිකා කොමල හිනාවක් දමනව.
"මළ විකාර...මධු සමයෙත් නැති ආදරේ හරියට යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද කියල වගෙ වැඩක් නෙ..." 
එහෙම මැදට පනින්නෙ දඩබ්බරී.
"එහෙම නෙවෙයි...ඉවසන දනා රුපු යුදයට නැති කඩුව කොස් කොටන්නද කියන එකයි, හරි..ඒ නිසා සුදු මැණිකෙ ඉවසපන් පපුව කියල ඉන්න. එයාට ලැජ්ජ ඇති...ආදරේ කරන්න...."
අයියෝ...මේ දෙන්නගෙ වැඩේ වාදෙමයි. මටත් නිවනක් නැහැ. මම එහෙම කිව්වට ඒ දෙන්නගෙ සජීවි සංවාදයන්ට මම හරි ලොල්. 'ඔපෙරා' වැඩ සටහනෙ ටෝක් ෂෝ එකක් වගෙ.
 බැංකු කළමණාකාර මහත්තයා නං ඇබින්දක් වත් දන්නෙ නැහැ, හුරතල් කරන්න. සේරම යුතුකම් සහ රාජකාරි විතරමයි. මමත් හරියට බැංකුවට ආපු ගනු දෙනු කාර භවතෙක් වගෙ. මගෙ තිබිච්ච තොඳොල් කම්, හුරතලේ කොහොමද මෙච්චර ඉකමණට හෝදලා, පිහිදලා, සූරල අහකට විසි කරල දමන්නෙ.... ඒ ගොල්ලො රැව්වට ගෙරෙව්වට...? 
තව ටික දවසකින් කියාවිද දන්නෙ නැහැ මගෙ කෙළි ලොල් කම, හුරතලය ඔක්කොම පොලිය නැතුව බැංකුවෙ තැන්පත් කරන්න කියල. මටත් හිතෙන පුදුම සිතුවිලි.
කැම්පස් ඉඳල ගෙදර එන හැම වෙලාවකම ගෙදරට ගොඩ වෙන කොටම අප්පච්චි මාව වඩා ගෙන තමයි, ගේ ඇතුලට ගෙනිහින් අම්මා ලඟින් තියන්නෙ. අර මට කෙණෙහිලි කම් කරන මල්ලි, "හූ...හූ.." කියල, " නාකි හුරතලේ" කියලත් කියනව ඉරිසියාවට.
" උඹ කොච්චර හූ කිව්වත් මම ඉස්සෙල්ලම දැකපු කෙල්ල නේ"  
අප්පච්චි මල්ලිගෙ හූවෙ සැර බාලකරනවා. අම්මා කෑම හදා ගෙන බලාන ඉන්නවා, මට කවන්න. බණ්ඩා, නෝනක්ක අඹ අහුලල එකතු කරල හංගල තියෙනව, මල්ලිට නොපෙනෙන්න. අම්මා කරන්නෙ මගෙ ඔලුව ඔඩොක්කුවෙ තියා ගෙන හිමින් සැරේ පිරිමදින එක. මම දන්නෙම නැතුව දොයිය බබා එත කොට. පුදුම හුරතලයක්. අම්මා එහෙම ඇවිත් මගෙ ඔලුව අත ගානවා නම් කියල හිතෙනවා, මට දැනුත් සමහර වෙලාවට.
අම්ම අපෙන් සදහටම සමුගත්තට පස්සෙත් මට දැනෙනව, මගෙ පොරෝනය අර ගෙන මට පොරවලා යනවා වගෙ. මගෙ ඔලුව අත ගානව, මගෙ කකුල් අත ගානව. ඒ සාංකාව අම්ම නැති වෙලා මාස ගණනාවක් යන කල් මගෙන් තුරන් වුණේ නැහැ. කණ්නාඩියේ ඉන්න මලිතිගෙ ඇස්වල කඳුළු...  
දෙවෙනි ගමනට පහුවදා උදේම ලොකු අක්ක කාමරේට ආව මොනවද උස්සගෙන.
" ලොකු මල්ලි, මෙන්න ඔයාගෙ සුදු මැණිකෙගෙ යුනිෆෝම්" 
ඒ මොකද්ද ඒ කතාවෙ තේරුම? හිත ඇහුවට මගෙන් මට අහන්න පුළුවන්ද එහෙම එයාගෙ ලොකු අක්කගෙන්? එයා මෙයා කිය කියා හිටියට මගෙ කසාද පුරුෂයගෙ නම කියන්නත් අමතක වුණා. එයාගෙ නම නන්දිමිත්‍ර නුගලියද්ද. දුටුගැමුණු රජ්ජුරුවන්ට ඒ නමින් යෝධයෙකුත් හිටිය කියල මට දැන් මතක් වෙනව. නන්දි පාර්සලේ අතට ගත්තා. ඒ ගමන්ම මගෙ අතට දුන්නා. 
" ලිහල බලන්න, ඔය ස්කර්ට්ස් මෙහෙ අඳින්න බැරි වෙයි...අද ඉඳල ඔසරි අඳින්න ගෙදරට" ඔන්න සැලසුම් සහගත වැඩ, පවුලට සම්ප්‍රාප්ත වූ ආගන්තුක ගැහැණියට පළමු නීතිය පනවන ලද වගයි. ව්‍යවස්ථාව මෙලහටත් සකස් කර හමාර ඇති, ටි.ඕ.ආර්. එකත් එක්කම. දන්නවනේ...ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එකත් එකත් හදල සම්මත කර ගෙන ඇති.
ලොකු අක්ක අහක බලා ගෙන හිනා වෙනව. මම පාර්සලය ලිහල බලුව, අකීකරු වෙන්න බැරි නිසා. ලා පාටවල වොයිල් සාරි තුනක් එක්ක ඒවට ගැලපෙන්න මහපු හැට්ට...ඒවා නම් බෝරිච්චි අත් දමපු හැට්ට නෙවෙයි.
ඉතින් දැන් ගහන ගහන පදයට නටන්න කියන එක නේද මේ නොකියා කියන්නෙ? මම බිංකුන්ඩෙක් වෙල. මට හිතෙනව වල ඇතුලටම ගිහින් හැංගෙන්න. ඒ වුණාට නන්දි මහත්තයා බින්කුඞඩව අර ගෙන වම් අත්ල උඩ තියාගෙන,
" බිං කුණ්ඩෝ බොල බිං කුණ්ඩෝ...තෝත් නටාපන්, මාත් නටන්නම්. බිං කුණ්ඩෝ බොල බිං කුණ්ඩෝ" කියලා දකුණු අතේ දබරඟිල්ලෙන් බිං කුන්ඩගෙ වටේට වෘත්තයන් අඳිනව. බිං කුන්ඩා නටල ටිකක් නැවතුණා. 
" මලිති, ඇඳගෙන උයන ගෙට එන්ට. අද කන්ද උඩ පන්සලේ සලාක දානෙ" 
මම හිස වනල එකඟතාවය පළ කළා. එයාට අඩුම තරමින් මට නංගි කියන්න වත් බැරිද? එයා විදුහල්පතිනියක් නිසා හිතනව ඇති මමත් ඉස්කෝලෙ ළමයෙක් හෝ එයාගෙ යටතෙ ඉන්න ගුරුවරියක් කියලා. මම හිතුවා නන්දි ඇවිත් සාරි තුනෙන් එකක් මට තෝරල දේවි කියල.
මම හිතෙන් තිර රචනය ලියනව. නන්දි ඇවිත් පිට දිගට වැටිල තියෙන මගෙ කොණ්ඩ කරල උස්සල බෙල්ල පිටි පස්සට සිනිදු හාදුවක් හිමින් සැරේ ලකුණු කරනවා. මගෙ බෙල්ල කිති කැවීගෙන යනවා. මම උරිස් අකුලල සියොලඟ කිළිපොළා යාම වාවගෙන, ඔලුව ඇලකරල පිපිච්ච හීන් හිනා පොට්ටු බිමට වැටෙන්න නොදී එයාගෙ පපුවට හේත්තු කරනවා.
ඒත් එයාගෙ තිර නාටක රචකයා ලියල තිබුණෙ වෙන විදිහකට.
" ඔයා ඇඳගෙන එන්න, උයන ගෙට. මම යනවා, පිරිකර ලෑස්ති කරන්න" 
දෙබස් වුණත් හරිම කෘත්‍රිමයි. තාත්ත්වික නැහැ. හරිම යාන්ත්‍රිකයි. වෙළඳ දැන්වීමක් වගේ. අඩු ගණනෙ පිටට තට්ටුවක් වත් දමල යන්න බැරිද? හිත කෙඳිරි ගානව. 
එකම නාට්‍යයකට තිර රචනා දෙකක් තියෙන්න බැහැ නෙ. මේ තිර රචනා දෙකම මර්ජ් කරල එකක් කරන්න වෙයි. නැත්නම් දෙකෙන් වඩාත් ප්‍රබල එක තෝරගන්න වෙයි. මෙහෙම ගියොත් මම ලියපු අත් පිටපත කැපිලම යයි ජවනිකා දෙක තුනක් වත් මගෙ පිටපතෙන් උපුටා ගන්නෙ නැතුව.
මගුල් හැට්ටෙ මිම්මටම හැට්ට මහල. ඉස්කෝලෙට ඔසරි ඇඳලා පුරුදු වෙලා නිසා මට ඉක්මණට ඇඳගන්න පුලුවන් වුණා. මම ඔසරි පොටට කටුව ගහන්නෙ හැම දාම අම්ම ළඟට ගිහිල්ලා. මම කටුවත් අරගෙන ඔසරි පොට අල්ලගෙන පහළට බැස්සා. හිනි පෙළ පාමුල නන්දිමිත්‍ර යෝදයා.
" මේ කටුව ගහනවද, ප්ලීස්" මම පින්සෙණ්ඩු වුණා, හැබැයි ටිකක්. 
" අන්න අක්ක එයාගෙ කාමරේ. ගිහින් එයාට කියන්න"
මහත දෙතොල් වල උපහාස හිනාවක් වගෙ එකක් ඇඳිල මැකිල ගියා, හොරෙන් වගෙ. ඒකටත් මේ මනුස්සය ලැජ්ජද? ලැජ්ජාවද, මහන්තත්ත කමද?
" හා...ඔන්න, අළුත ගෙනා මනමාලිත් එනවා, දානෙට සම්මදම් වෙන්ට"
ඒ මගෙ ආදරණීය නැන්දම්ම. පොඩි අක්ක සෝදමින් හිටිය ගොටු කොළ වට්ටිය දිහවට මාව යොමු කළා.
" අළුත් මනමාලිගෙන් ගොටුකොළ සම්බෝලෙ, මල්ලිගෙ සුදු මැණිකෙට මම ලකුණු දෙන්නෙ පලා ලියන හැටිය බලලා." 
මට බිම ඉඳ ගෙන පලා ලියන්න බැහැ. අනික පලා හීනියට ලියන්නත් බැහැ. නැහැ, බැහැ කියන්න පුළුවන්ද මේ නැපෝලියන් අධිරාජයන් රොත්තට.
" අක්කෙ, මට ලෑල්ලක් දෙනවද, පලා ටික ලියන්න."
"ඔය බංකුව තියෙන්නෙ. ඒකෙ වාඩිවෙලා අර මන්නෙන් ලියන්ට" 
පළවෙනි පරීක්ෂණයෙන් අසමත් වෙන බව දැන් නම් හිත කියනව. කවි ලියන්ට, ගීත ලියන්ට, කතා ලියන්ට පුළුවන් වුනාට මැල්ලුම් ලියන්ට දන්නෙ නැහැ කියල මට කියන්න පුළුවන්ද? අපේ ගෙදරදි මම කිසිම වැඩක් කළේ නැහැ, කුස්සියෙ. අතට පයට වැඩ කාරයො හිටියා කියලා දැන් කියන්නද? මම ඒ ගොල්ලන්ට වැඩ කාරයො නොකීවත් එහෙම නෙ ජන වහරෙ කියන්නෙ.
හිත හොඳ නම් දෙයියො බලනව කියල අපෙ අත්තම්ම කිව්ව එක ඇත්ත බව ඔන්න එතකොටම සනාථ වුණා. දානෙට උදව්වට කියල තේ වත්තෙ දළු කඩන ප්‍රේමවතීව සක්‍ර දෙයියො එවල, මට පිහිට වෙන්න. පඬුපුල් අසුන උණුවෙන්න තරම් මගෙ හිතේ ගින්දර ඇවිලිලා, මටත් නොදැනිම. 
" අප්පේ...මේ සුදු හාමුට කියල වැඩ ගන්න හොඳයිද? ඔය ලස්සන රෝස පාට ඇඟිලි වල ගොටුකොල කහට ගෑවුණාම සුද්ද කරන්න දෙහි මඬු සීයක් ගෑවත් බැරි වෙයි. "
ප්‍රේමවතීට කවුරුත් විරුද්ධ වුණෙ නැහැ. 
"හා...ඔයා එහෙනං ගිහින් පිරිකර ලෑස්ති කරන්ට, මල්ලිත් එක්ක"
මම විසිත්ත කාමරයට ඉගිල්ලුණා හිතෙන්, ඒත් දෙපයින් හෙමිහිට පියවර මැන්නා. කළුවර කවිච්චිය උඩ ඉඳගෙන නන්දි පිරිකර භාණ්ඩ කඩදාසි බෑග් වලට දමනව.
"කුස්සියෙ වැඩ ඉවරද?" ප්‍රශ්නම විතරයි නෙ, මේ ගෙදර මිනිස්සු අහන්නෙ.
" පොඩි අක්ක කිව්ව ඔයාට උදව් වෙන්න කියල" මම නිදහසට කරුණු කියනවා. 
හුරතල් වෙන්න මයි, මගෙ හිත දඟලන්නෙ. මම ඇස් වලින් රස කතාවක් ගොතල කියන්න උත්සාහ කළා. එයා මගෙ ඇස් දෙක දිහා කෙලින් බලන්නෙම නැහැ. ඉතින් කොහොමද මගෙ ඇස් කියවන්නෙ? මගෙ ඇස් කියවන්න බැරි මනුස්සය අර කොහෙදෝ ගුහාවක හැංගිලා, තනිව ගමන් යනවයි කියන හිත නම් කොහොමට වත් කියව ගන්න එකක් නැහැ, කවදාවත්ම.
මහ බඹාටත් වරදිනව ඇති නෙ, සමහර වෙලාවලට. මේකත් එහෙම ලොකු වැරැද්දක් වුණු එකක් වෙයිද? පිස්සු විකාර මටත්. සතියක් වත් යන්න ඉස්සර එහෙම හිතන්න පුළුවන්ද? අප්පච්චි කිව්වෙ නන්දි හැදිච්ච, නිවිච්ච දරුවෙක් කියල. හැම දාම නිවිලා හිටියොත් ඉතින් එයා තනියෙම නිවන් දකියි. මම සසර කතර අතරමං වෙයි.
මල් කම්, ලිය කම් යොදල වර්ණවත්ව අපි දෙන්නගෙ දෑත් එකතු කරල වියන්නට හිතපු ජීවිතය, අධිවේගී යන්ත්‍රයකට ඔබල වියාවිද මේ සේරම එකතු වෙලා කියල මට හිතෙනවා. කළුවර කවිච්චියෙ කොටල තියෙන පලා පෙති, අන්නාසි මල් දිගේ මගෙ ඇඟිලි දුවනව. ඒවට හිතෙන්නෙ නන්දිගෙ ඇඟිලි වල පැටලෙන්න ඇත්නම් හොඳයි කියල. ඇඟිලි වලට කතා කරල කියන්න බැහැ වගෙම මොනවද හිතන්නෙ කියලා, මමත් නිහඬවම ලී කැටයමේ මල් පෙති අතර ආදරය හෙව්වා. 
" තවම ඔය නිය පොතු කැපුවෙ නැද්ද? මම කිව්ව නේද නියපොතු කපල ඔය ක්‍යුටෙක්ස් පිහිදල දමන්න කියල"
මාව එක පාරටම උඩ වීසි කරල පයින් ගැහුව වගෙ වුණා. මල්ලි කියන 'පෙනල්ටි කික්' එකක් වගෙ. මාව ගොලු වෙනව දවසින් දවස. අප්පච්චි පඩි ගත්තම මගෙන් අහනව, මම වැඩි විය පැමිණිල නාවපු දවසෙ ඉඳලම,
" සුදු අම්මි...ඔයාට ක්‍යුටෙක්ස් ඕනිද පුතේ" කියල. 
අප්පච්චියි, අම්මයි මට ආදරේට එකේක වෙලාවට එක එක නම් කියනව. සුදු අම්මි, සුදු මැණික, දෝනි කොටේ, සාදු මැණික...රාන් කිරිල්ලි...ඒ ආදරේ ඉතින් ආයෙ කාගෙන් ලබන්නද මේ ගෙදරදි. අපේ ගෙදරම යන්න ඔනි, එහෙම හුරතල් වෙන්න.
"දැන් පන්සලටත් යන්න තියෙනව. යන්න කාමරේට ගිහින් නියපොතු වල පාට ඇරල කපා ගෙන එන්න" 
නන්දිමිත්‍ර යෝදයා දුටුගැමුණු රජ්ජුරුවන්ටත් වඩා බලවතෙක්ව ඉන්න ඇති.
'ස්වාමිනී, මා ඔබේ පාද පරි චාරිකා" ගීතය ගයන සුවච, කීකරු භාරියාව උඩු මහලට පිය මනිනවා. උඩු මහල එක් ටැම් ගෙයක් වෙයිද කියල දඩබ්බරී මගෙන් අහනවා. මගෙ ලඟ උත්තර නැහැ. ප්‍රශ්නම විතරයි.
මම 'පෙම්බර මධු' චිත්‍රපටියෙ සින්දුවක් ගැන සිහින මැව්වා.....මගෙ ජීවිතෙත් එහෙම වේවි කියලා. ඒක බොළඳ සිතුවිල්ලක් තමයි. අවුරුදු විස්සක කෙල්ලෙකුගෙ සිතක් බොළඳ නැතුව පරිණත වෙනවයැ. 
'වඩාලා දෝත පුරා 
පරෙවි කිරිල්ලිය සේ...' ? ? ? ?
 
(තවත් කෑල්ලක් ලියා ගෙන ආයෙම එන්නම්)

9 ක් අදහස් දක්වලා.

Sunday, September 27, 2009

හිත දැක්කොත් අරන් තියන්න.

Sunday, September 27, 2009
මතක පොතේ පිටු පෙරලෙන්නෙ මගෙ අතින් නෙවෙයි, සුළඟට. අකීකරු සුළඟ මම කියන කිසි දෙයකට එකඟ වෙන්න කැමති නැතුව වගෙ. පෙරලිලා පෙරලිලා කොතැනක හරි නවතින්නෙ නැතුවයැ. සීතල ගතියක් වෙනුවට සුලං පහරට ඇඟේ වදින්නෙ උණුසුම් පවනැලි. හිතට ආස්වාදයක් කොහෙත්ම අර ගෙන එන්නෙ නැහැ. දන්න කියන උදවිය කොයි තරමක් කිව්වත් ධනාත්මකව හිතන්න කියල අෂ්ට ලෝක ධර්මය අනුව සෘණාත්මක සිතුවිලි වලිනුත් හිත පිරෙන වෙලාවල් අනන්තයි. එහෙම වෙනවට මගෙ කිසිම කැමැත්තක් නැති වුණත් යතාර්ථයෙන් ගැලවෙන්න එහෙමත් නැත්නම් සමාජ සත්තාවන්ගෙන් මම ගැලවෙන්නෙ කොහොමද?
ටයිම් මැෂින් එකට නැග්ගත් මිනිත්තු කටුවත් පැය කටුවත් දෙපැත්තට කරකැවෙනව, එක අතකට දුවන්නෙ නැතුව. මගෙ ඔලුව විතරක් නෙවෙයි, චිත්ත චෛතසිකයන් සේරම භ්‍රමණය වෙනව විතරයි මට දැනෙන්නෙ. ඔලුවත් එක්කම හිත එක තැනකට ගන්න මම ඇස් දෙකපියා ගත්ත. අනේ! පින් සිද්ද වෙයි..කවුරුවත් එන්න නම් එපා හිත් අහසට...සඳ..තරු හෝ හිරු වෙලා. තරුත් වල්ගා තරු වෙලා. හඳ ගිනි අරන් ඇවිලෙනවා. ඉර සුදුම සුදු හිම ගුලියක් වෙලා පිනි කඳුලු හෙළන්නෙත් මගෙ ඇස් දෙකටමයි.
මේ දවස් වල ස්වයං වර සමය ඇවිත්....අම්මයි, පුංචියි මගෙ සිරුර වටේට ඔසරියක් ඔතනව. බෝරිච්චි අත් හැට්ටෙ ඇඟට අලිලාම ඉන්නව, අල්මාරියට ගිහින් විවේක ගන්න නොහිතම. කනප්පුවට වෙල අමුත්තන් පිළි ගන්න  බුලත් තට්ටුවත් හැ මතිස්සෙම මගෙ අත් දෙකේ පහසට ආසා හිතිලද කොහෙද?
බණ්ඩ සතියකට දෙවරක් වත් ගඩොල් කුඩු,කාමරංග දමල බුලත් තට්ටුවට වද දෙනව...පිත්තල හිනාව ඔප මට්ටම් කරන්න.
අද එන්නෙ තුන්වැන්නා...දොස්තර පැටියෙක්.. බුලත් තට්ටුවෙ තියෙන බුලත් කොළවලට හරි, මගෙ ඔසරි හැට්ට වලට හරි තෝරගන්න පුළුවන් වෙයිද, මගෙ ජීවිත සහකාරයා හෝ මගෙ නලලෙ කෙටූ එක්කෙනාව.
ඒකත් පාප කරුමයක් කියල මුල් දවස් වලදි හිතුණත් ස්වයංවර සාමාන්‍යකරණය වුණා, ටික කලක් යන කොට. ස්වයං වර කියන්නත් බැහැ මේ කෙහෙල්මල් විකාර වලට...නැත්නම් මේ සම්මුඛ පරීක්ෂණ වලට .මොකද..? මගෙ කැමැත්ත නිකන් බොරුවට විමසන එකක් විතරමයි. මුල්ම ප්‍රමුඛතාවය කේන්දර....කේන්දර බලල ගැලපෙනව නම් විතරයි, බලන්න එන්නෙ. බිම බලාගෙන යන්න කියල පුංචි කියනව. කොහොමද මගෙ අකීකරු ඇස් රතු 
සිමෙන්තිය කියවන්නෙ, ඒකෙ මොකුත්ම ලියවෙලා නැතුව?
 ඉන්ද්‍රයියගෙ, තරිඳුගෙ, සචින් අයියගෙ ඇස් කියවන්න උත්සාහ කරපු මම....තරිඳුගෙ ඇස්වල සොඳුරු කතන්දරත් එක්ක ආදර කවි මුතු අමුණපු මම... රූකඩයක් කරල නටවනව වගෙයි, මට දැනෙන්නෙ. අම්මගෙයි, අප්පච්චිගෙයි අත්වල රූකඩයෙ නූල් ගැට ගහල.
ඉන්ද්‍රයියා වෙන් වෙලා ගිය හැටි තවමත් මතකයෙන් මැකිලා ගිහින් නැහැ. ඉරේසරයක් අරගෙන මකල දමන්න පුළුවන්ද, නැත්නම් ඩිලීට් යතුර ඔබල ඩිලීට්කරල දමන්න පුළුවන්ද, හා හපුරා කියලා හිතේ පිපිච්ච කුළුඳුල් ප්‍රේමය? 
බැද්දගානෙ පුංචිලගෙ ගෙදර ඉඳල ඇවිත් මාව 138 බස් එකට නග්ගල, ඉන්ද්‍රයියා බෝ ගස් හෙවනෙ ඉඳන් මගෙ දිහාවෙ බලාන හිටිය හැටි මට තවමත් මතකයි. අර ඉස්සර නව කතාවල තිබුණා වගෙ...ඉන්ද්‍රයියා පුංචිම පුංචි කළු තිතක් වෙල නොපෙනී යනකල් මම බලාන හිටියා, බස් එක ඉදිරියට ඇද්දෙද්දිත්.
මම එයාට කිව්වෙ නැහැ මගෙ තීරණය. මට කොහොමටත් හිත හදා ගන්න බැරිවුණා....අම්මවයි,අප්පච්චිවයි දමල එයත් එක්ක ජර්මනියට ඉගිල්ලෙන්න නම්. කොහොමද දෙයියනේ..එහෙම කරන්නෙ...? ඉන්ද්‍රයියා මාව මග හරින්න හිතා ගෙනම එහෙම ඉල්ලීමක් කළාද? නැත්නම් මට අවංකවම ආදරේ නිසා මාව මගෙ පවුලෙන් ඈත් කරල එයා සතු කර ගන්න හිතුවද?
මට කිසිම දෙයක් හිතා ගන්න බැහැ. කාගෙ හරි ආදරයක් හෑල්ලු කරල පූර්ව නිගමන වලට එලැඹිලා ඇති පලේ මොකද්ද? මම කිව්වෙ, පස්සෙ එන්න බලන්නම් කියලා. එයා එහෙ ගිහින් ස්ථාවර වුණාට පස්සෙ. එයාගෙ හිත රිද්දන්න මට හිතුණෙ නැහැ, කෙලින්ම බැහැ කියල. කාලය සියලු ප්‍රශ්න වලට පිළියම් යොදල, තුවාල වුණු සිත් වුණත් පිරියම් කරනව නෙ. මගෙ හිතේ සම්ප්‍රදායිකා මාව අස්වැසුවා, ඔලුව අත ගාමින්.
 
ඉන්ද්‍රයියා මට දිග ලියුමක් එවල තිබුණා, ජර්මනියට යන්න ඉස්සරින්. එයා මාව චිත්‍රයට නගල තිබුණා, ඒ ලිපියෙ අන්තිම පිටුවෙ. නාට්‍යය ඉවර වෙලා මම ඒ ගොල්ලො ලඟට ආපු විලාශය තමයි, ඒ වර්ණ සිතුවමේ ජීවමාන කරල තිබුණෙ. මම ඇඳගෙන හිටිය ලා නිල් පාට ඔසරිය....අත් බෝරිච්චි හැට්ටෙ විතරක් නෙවේ, සුදු පාට ගල් පිරුණ පත්තෑයෙකුගෙ හැඩය ගත්තු සාරි කටුවත් එයා ඇඳල තිබුණා. මගෙ පපුව හෝස් ගාල පත්තුවුණා, ඒක දැක්කම. අම්මයි, අප්පච්චියි ඇවිත් බස බස ගාල හෙලපු කඳුලු පණිට්ටු, හෝස් ගාලා ඇවිලුණු හිතේ ගිනි දළු නිවල දැම්ම අපූරුවට.
සරසවි යුගය ඉවර වෙනකල්ම තරිඳුයි,මමයි රන්ඩු නොවී..කුරුල්ලයි, කිරිල්ලියි වගෙ ආදර ලෝකයක හිටියා,සතුරු බල වේග වලට අහු වෙන්නෙ නතුව. මගෙ කවි, කතා ලියන පුරුද්දත් වැඩි වුණා. 
දවසක් තරිඳු මගෙ කවියක් දැකල, කවියක් ලිව්ව...බෝල් පොයින්ට් පෑනකින් මගෙ අත්ල දිගට.
' ඔබේ දඟ කරන දෑසට
මසිත නතු වූයේ
එහි දිලෙන නිල්ලට නොව
දුක් විඳින අය වෙනුවෙන්
හෙලන්නට
එහි කඳුළක්
ඇති නිසාය'  


සරසවි ජීවිතය අවසාන පිටු පෙරලෙන දවස් වල තරිඳුට මම අනන්තවත් පෙරැත්ත කළේ අපේ ගෙදර ඇවිත් අප්පච්චිට මේ ගැන කියන්න කියලා. එහෙත් එහෙම දවසකට හිර උදා කර ගන්නට එයාට පුළුවන් වුණේ නැත්තෙ ඇයි, අද වෙන කල්ම. අප්පච්චිල එයාට අකමැති වෙන්න හේතුවක් නැහැ, කරුණු එකින් එක සසඳල බැලුවොත්. උඩරට, ගොවි කුල, බෞද්ධ, උපාධිධාරි, රජයේ රැකියාව කරන...ඔය පෙල ගස්සල තියෙන ඊනියා සුදුසුකම් කියන සම්මත ලැයිස්තුවට එයාව හොඳටම ගැල පෙනවා. එයා ආව නම් මම මේ බුලත් තට්ටු වඩම්මගෙන පාදපරිචාරිකා පරීක්ෂණ වලට සහභාගි වෙන්නෙ නැහැ නෙ.
මට හිතෙනව, අර සමහර චිත්‍රපටි වල වගෙ..මම බිම බලාගෙන ගිහින් එහෙම නැත්නම් බුලත් තට්ටුවෙ ඇස් අලවගෙන ගිහින් ඒක පිළිගන්වන කොට තරීදු මගෙන් බුලත් තට්ටුව ගනීවි කියල...ඒත් ඒ සිතුවිල හීනයක්ම වුනා, මම ජය මංගල ගීත එක්ක කන් අඩි පැලෙන මඟුල් බෙර හඬ මැද්දෙ පෝරුවෙ ඇඟිලි ගැට ගහන කල්ම.
දෙතොල් වලට කොහෙත්ම එන්න අකැමති සිනහවක් මම කොහොමද උලා ගන්නෙ, බොරුවට. මනමාලයගෙ නම් සතුට ඔය දෝර ගලන්නෙ ඉහින් කණින්. කෘත්‍රිම හිනාවක් බොරුවට පිපෙන්න ඇරිය, බේරෙන්න බැරිම තැන අම්මගෙන්.
සරලා විතරමයි සරසවියෙ කට්ටියෙන් මගුල් ගෙදර ආවෙ. මම ආරාධනා පත්‍ර යැව්ව, කිට්ටුවන්ත ඔක්කොටම.
බොරුවට පිපිච්ච හිනාව කඩා හැලෙන්න ගත්ත, වක්කඩක් වගෙ ගෙදරින් එලියට බහින්න කියල බුලත් දෙන කොට....මුරුගසන් වරුසාව...කඩා හැලෙනව...නන්නාඳුනන කෙනෙක් එක්ක තනියෙම ජීවිතේ පටන් ගන්න තිබුණු බය වැහි වතුරත් එක්කම කම්මුල් දිගේ ගලා හැලෙනව. තරිඳු වගේ ලේන්සුවක් දුන්නෙ නැහැ, දැන් මොහොතකට ඉස්සර වාක්‍යයක් කියවල..අත්සන් කරල සාක්ෂිත් ඇතුවම මාව බාර ගත්තු මගෙ මනමාල මහත්තයා. අඩුම තරමෙන් හිතට පවන් සලන වචනයක්...ආදරය පිරුණ බැල්මක්. මොන ගොබිලෙක්ද? 
මගෙ හිත තැලිල, ඉරි තැලිල, පුපුරල ටිකෙන් ටික කඳුලු එක්කම කඩා වැටෙනව මට දැනුණා, පොළවටම. මට ආදරය කරපු කවුරුවත්ම නැහැ, බිමට වැටුණු මගෙ හිත අහුලගන්න.
 මගෙ හිත මහ ගෙදර සල්ගහ පාමුල, බිම වැටුණු සල් මලකට හේත්තු කරල මම කාර් එකට ගොඩ වුණා. අම්මයි,අප්පච්චියි මගෙ හිත දැක්කොත් අරන් තියාවි කියල දඩබ්බරී කිව්ව. සම්ප්‍රදායිකාටත් අද නම් දුක හිතිලා. සේරම එකට එකතු වෙලා.....කඳුලු මල් පොට්ටු අමදිනව. සිත් මිදුලෙ.

21 ක් අදහස් දක්වලා.

Sunday, September 20, 2009

මගෙ තීරණ ගන්න ඕනි, මම

Sunday, September 20, 2009
ඕගොල්ලො කම්මැලි නැතුව එනවද, මාත් එක්ක අර ඔරලෝසු කටුවට නැගල පොඩි රවුමක් යන්න? අද නිවාඩු නේද?
අර බලන්නකො...බැද්දගානේ නැන්දලාගෙ ගෙදර මිදුලෙ පුංචි පොකුණ ලඟ නංගිල දෙන්නත් එක්ක ඉන්ද්‍රයියා මාළුවන්ට කෑම දමනවා. නැන්දා කිව්ව, එයාට තේ ගිහින් දෙන්න කියලා. නංගිලාටත් එන්න කියන්න කියලත් කිව්වා, පංති යන්න ලැහැස්ති වෙන්න. මට ප්‍රශ්න වලින් පැනල යන්න බැරි බව මම තේරුම් අර ගෙන හිටියා වුණත් ඉන්ද්‍රයියගෙ මෙ ගහෙන් ගෙඩි එන තීරණ ගැනීම් ගැන නම් මගෙ කිසිම පැහැදීමක් නැහැ. මම හුදෙකලා ජීවිතයක් ගත කරන කෙනෙක් නොවෙන බව එයා තේරුම් ගන්න ඕනි.
මගෙ ජීවිතෙත් එක්ක අම්ම, අප්පච්චි, මල්ලි, නංගි සේරෝම බද්ධ වෙලා ඉන්නෙ. පෙකනි වැල කපපු නැති නිවුන් දරුවො වගෙ. අවුරුදු ගණනක් කොහෙදෝ ඉඳලා හාංකවිසියක් වත් දන්නෙ නැතුව, වෙන ග්‍රහලෝකෙක ඉඳලා ඇවිත් වගෙ මගෙන් ජර්මනියට යමු කියල අහන එකේ තියෙන සාධාරණත්වය මොකද්ද කියල මට නම් තේරුම් ගන්න බැහැ. අවංකවම මෙයා මට ආදරේද...?
එහෙමත් නැත්නම් මේ සියල්ල යට සැඟවුණු වෙනත් න්‍යාය පත්‍රයක් තියෙනවද? ඉන්ද්‍රයියයට හිත පතුළෙ ගොඩ ගැහිල තියෙන නිමක් නැති ආදරය එයා හොඳාකාරවම දන්න නිසා එයා කියන ඕනිම දෙකට මම 'සුටුස්' ගාලා කැමති වෙයි කියල හිතනව නම් ඒක ලොකු වැරදීමක්. ඕනිම දේකට, විශේෂයෙන් ජීවිතයෙ කඩඉම් වල, සිංහලෙන් කියනව නම් 'බෙන්ච් මාර්ක්ස්' වැටෙන තැන්වල අපි තීන්දු ගන්න ඕනි..දෙවරක් හිතල බලලා කියලයි මට නම් හිතෙන්නෙ. මට එදා හිතුණු දේ අදටත් වලංගුයි. 
ඉස්කෝලෙ යන කාලෙ ඉන්ද්‍රයියා ළඟම දැවටි දැවටි හිටිය බොළඳ කෙල්ල දැන් ඊට වඩා ගැඹුරු විදිහට හිතන්න අරගෙන වග එයාට හිතිලා නැතුව ඇති. වයසින් මෝරන කොට නුවණ මෝරන්නෙ නැත්නම් ඉතින් මගෙ මොළ ගෙඩියෙන් තියෙන වැඩේ මොකද්ද? අල ගෙඩියකයි, මගෙ මොල ගෙඩියෙයි වෙනසක් නැහැ නෙ, එතකොට.
ඒ වුණාට මට බය හිතෙන දෙයකුත් තියෙනවා. මගෙ තියෙන ලොකුම දුර්වල කමක් තමයි, කාගෙවත් හිත රිද්දන්න බැරි කමට අහක යන කුණු ඇඟේ දාගෙන දුක් විඳින එක. එහෙම ඇබැද්දියක් වෙන්න නොදී සිහි නුවණින් වැඩ කරන්න මට 'සම්ප්‍රදායිකා' එක්ක 'දඩබ්බරී' උදව් කරන්නෙ නැතැයි.
" ඉන්ද්‍රයියෙ, මෙන්න තේ..." 
එයාගෙ මූණේ පොකුණෙ වගෙම මල් පිපිලා. සතුට දෝරෙ ගලනවා. එයාගෙ දිහාවට ආකර්ශනය වෙන්න යන මගෙ හිත් පළුවක් මම මගෙ දිහාවට ඇදල ගන්නවා. දඩබ්බරී ඔය අතරෙ හිත ඇතුලෙන් එලියට පනින්න දඟලනවා.
"මාළුවන්ට කෑම විතරද දාන්නේ...ඇම දැම්මට උන් ගිලින එකක් නැහැ" මම දඩබ්බරීට ටොක්කක් ඇනලා හිත ඇතුළටම රිංගවන්න වෑයම් කළා.
" එන්නකො, සුදු මැනිකෙ...මෙතනින් ඉඳගෙන අපි පොඩ්ඩක් කතා කරමුකො" ඒ ආරාධනයෙන් ගැලවෙන්න නම් බැහැ, කවුරු මොනවා කිව්වත්.
" මොකෝ මලිති නොකියා ඔයත් සුදු මැණිකෙ කියන්න ගත්තෙ?"
" ඉතින් පවුලෙ හැමෝම එහෙම කියන කොට මට පුළුවන්ද පිට කෙනෙක් වගෙ මලිති කියන්න?" 
මට සුදු මැණිකෙ කියන කොට එයා මගෙ ජීවිතයට ගොඩක් සමීපයි වගෙ හැඟීමක් ඇතිවෙනව. ඒ හැඟීමට මට බයකුත් හිතෙනවා. ඉන්ද්‍රයියා මගෙ ප්‍රථම ප්‍රේමයට නැවතීමෙ ලකුණක් තිබ්බය කියල මම හිතුවට ඒක කොමාවක් වගෙ විරාම ලකුණක් විතරක්ද? එහෙම නම් ඇයි එයා ඒ බව මේ තරම් කල් මට නොකියා වහන් වෙලා හිටියෙ. ඒකට සමාව දෙන්න පුළුවන්ද? එයා ඒක වරදක් හැටියට දකින්නෙ නැත්තෙ ඇයි? 
ප්‍රශ්න ...ප්‍රශ්න...මොන විකාර ප්‍රශ්නද? මිනිස්සුන්ට මීට වඩා කොච්චර නම් බැරෑරුම් ප්‍රශ්න තියෙනවද?
සමහර මිනිස්සුන්ට ඉසට හෙවනක් නැහැ...කුසට අහරක් නැහැ...ගතට වස්ත්‍රයක් නැහැ...අඩුම තරමින් කී දෙනෙක් මූලික අවශ්‍යතා නැතුව ලෝකයේ ඉන්නවද? අපි මේ ප්‍රේම පලහිළව් මහ ලොකු ප්‍රශ්න කර ගෙන අහස පොළව ගැටලන්න හදනවා. එහෙම හිතන එකත් හරි නැහැ...අපේම ජීවිතෙන් අපිට පලා යන්න බැහැ, මේ ප්‍රශ්න වලට විසඳුම් හොයන්නෙ නැතුව. හිත ඔහොමමයි මගෙ. පිල් බෙදිලා වාද කරනවා. 
" මම කියපු දේ ගැන හිතුවද ඔයා, බබෝ?"  
පොකුණු ගැට්ටෙ හිටිය මාව වතුරට තල්ලු කරන්න වගෙ ගිහින් දෑතින්ම මගෙ උරහිස් දෙක අල්ලගෙන ඉන්ද්‍රයියා මගෙ ඇස් ඇතුළෙ ප්‍රශ්න වලට උත්තර හොයනව. මගෙ ඇස් වලින් එයාට මගෙ හිත කියව ගන්න පුළුවන් වේවිද?
" අනේ..සොරි...ඉන්ද්‍රයියෙ, මම අම්මගෙන් අහල කියන්නද? මට ඉක්මණටම මොකුත් කියන්න බැහැ. මම උපාධිය ඉවර කරන්නෙ නැතුව කොහොමද? මට ටිකක් කල් දෙනවද මේ ගැන හිතල තීරණයක් ගන්න?"
" ඔයා හිතනවද බබා, ඔයා ඩිග්‍රි ගැහුව කියල ඔයාව මම රස්සාවකට යවයි කියලා. මට ඔයාව බලා ගන්න පුළුවන්, ඔයා රස්සාවක් කරේ නැතුවට."
" එතකොට මම ඔයාගෙ සුවච, කීකරු බිරිය වෙලා...ලමයි වදන...ලමයි හදන...රෙදි සෝදන, උයන පිහින මැෂිමක් කරල ගෙදර තියා ගන්නද කල්පනාව? මගෙ දැනුමෙන් ප්‍රයෝජන ගන්න, ලෝකයට යහපතක් කරන්න මට ඉඩ කඩ අවසර දෙන්නෙ නැද්ද"?
මගෙ හිතේ නැගෙන මේ අදහස් වලට සම්ප්‍රදායිකා වැට කඩුළු බඳිනවා. දඩබ්බරී අත උස්සලා එකඟ තාවය පළ කරනවා. තරිඳුගෙ අදහස් මීට වඩා වෙනස්. පරස්පර විරෝධී අදහස් දරන පුද්ගලයො දෙන්නෙකුට මැදිවෙලා, සුදු මැණිකෙව. සුදු මැනිකෙටම මිසක මේ ප්‍රශ්නෙන් ගැලවෙන්න වෙන කාටවත් උදව්වට එන්න බැහැ.
" ළමයො, එහෙ ගියාම ඔයාටත් තව ඉගෙන ගන්න පුළුවන්."
" ඉගෙන ගන්න එක නෙවෙයි ප්‍රශ්නෙ, අයියේ..අම්මලට නොකියා මම කොහොමද එන්නෙ ඔයත් එක්ක...? ඒ ගොල්ලො කොහොමද ගමට රටට මුහුණ දෙන්නෙ? පැනල ගියා කියල කතාවක් හැදුණම මොන තරම් නින්දාවක්ද?"
"මෙයාට පිස්සු. ඉගෙන ගන්න පිට රටකට ශිෂ්‍යත්වයක් ලැබිලා ගියා කිව්වම ඉවරනෙ...ඔය තරම් ලොකුවට ඕවා හිතන්න එපා. මිනිස්සුන්ට සති හයක් යනකොට සේරම අමතක වෙනවා."
"මිනිස්සුන්ට අමතක වෙන්න පුළුවන්. ඒත් අම්මල අප්පච්චිලට දැනෙන හිත් වේදනාව ගැන ඔයාට හිතන්න බැරිද?"
" ඇයි, අම්මයි, අප්පච්චියි මිනිස්සු නෙවයිද? වෙන සත්ව කොට්ඨාසයක්ද?"  
"ඉන්ද්‍රයියෙ..."  
මට එතැනින් එහාට කිසිම දෙයක් කියන්න ඕනි වුණේ නැහැ... ඒ වගෙ අදහස් දරන හිතක් එක්ක මොකට වාද කරනවද? උසස් පෙල පංතියෙදිත් මට සමහර විට එයා ප්‍රකාශ කළ අදහස් මතක් වුණා. මම අනෙක් පිරිමි ළමයි එක්ක, සර්ලා එක්ක වැඩිය කතා කරනවට, විහිළු තහළු කරනවට එයා කැමති වුණෙ නැහැ.
එයා මට දවසක් වික්ටර් රත්නායකගෙ, 'සඟවා ගනු මැන සොඳුරියෙ ඔබ වත..අන් කිසිවෙකු ඔබෙ මුව මත ගැටෙතැයි මා සිත බිය වී සැලී සැලී යයි' ගීතය ලියල දුන්නෙ එයාගෙ අදහස් නිරාවරණය කරන්නද කියලා මට හිතුණා.
" පිට රටකට යන්න ලැබෙනව කියන එක හැමෝටම ලැබෙන වාසනාවක් නෙවෙයි, මලිති. අම්මලාව පස්සෙ ෂේප් කරගන්න පුළුවන්. ඔයා කැමති නං සේරම වැඩ මට සතියකින් කර ගන්න පුළුවන්."
" මට ටිකක් කල් ඕනි අයියෙ, ප්ලීස්. ඔයා යන්න ඉස්සරින්. පස්සෙ බලමුකො. මට එන්න වාසනාව තියෙනව නම් කාටවත්ම ඒක වළක්වන්න බැහැ නෙ?"
" ඔයා තරහ ඇති මම එක පාරටම කඩා වැටිල මෙහෙම කියනවට. මට වෙන ක්‍රමයක් තිබුණෙ නැහැ. අපෙත් අප්පුච්චා කැමති නැතුවයි මම මේ තීරණය ගන්නෙ. ඒ කියන්නෙ ඔයත් එක්ක එකතු වෙනවට.. එයාල කැමති නැහැ, ඔයා කතික තරඟ වලටයි, නාට්‍යය වලටයි ස්ටේජ් වල නැගල කරන දේ වලට. වේදිකා උඩ නගින එක උඩරට, හොඳ පවුල් වල ගැහැණු ළමයින්ට වටින්නෙ නැති දේවල් හැටියටයි අපේ අම්මිල, අපුච්චල දකින්නෙ"
එහෙම නම් ඉතින් මම කොහොමටත් ඔය පවුලට ගැලපෙන එකක් නැහැ කියල මට කියන්න හිතෙනව. ඒත් මොකටද එයාගෙ හිත රිදවන්නෙ? නැන්දා එතැනට ආවෙ ගැලවුම් කාරයෙක් වගෙ. 
"දෙන්නම උදේට කාලා ඉන්නකො. හැම ප්‍රශ්නෙකටම විසඳුමක් තියෙනවා."
මගෙ විසඳුම මම හිතල ඉවරයි. කියලත් ඉවරයි. ඉන්ද්‍රයියට ජය පතල සමු ගන්න ඕනි කියල කියන මගෙ හිත වැරදිද නිවැරදිද කියල මට නම් තේරුම් ගන්න බැහැ.
මේක මගෙ ජීවිතය. වැරදුණත් හරි වුණත් මගෙ තීරණ මමම ගන්න ඕනි, විඳවන්නෙ හෝ අඬන්නෙ හෝ හිනා වෙන්නෙ මම නේ.

8 ක් අදහස් දක්වලා.

Thursday, September 17, 2009

සිහිවටනය

Thursday, September 17, 2009
අද නම් මිනිත්තු කටුවට නගින්නෙත් නැතුව, පැය කටුවට නගින්නෙත් නැතුව කටු දෙක හරි මැද්දෙ හිට ගෙන ඉන්න ඕනි කියල මට හිතුණා. වර්තමානයෙ සිදුවන සිදුවීමුත් කවුරු හරි සැලසුම් කරල, අදෘශ්‍යමාන බලවේගයකින් ක්‍රියාත්මක කෙරෙනවද කියල හිතෙන තරමටම ඒවා ගුප්ත බවකින් පිරිලා.
මට හිතාගන්න බැහැ, මොකද සුමිත්ත මේ ලේඛකයාගෙම පොතක් අපේ හමුවීමේ සිහිවටනයක් විදිහට මට ගෙනැත් දුන්නෙ කියලා. එයා දන්නෙ කොහොමද ඒ පොත මගෙ ජීවිතයට සම්බන්ධයි කියල. පර චිත්ත විජානනනය තියෙනවයැ එයාට. නිකමට ගෙනෙන්න ඇති. ඒකටත් ඉන්ද්‍රයියා කියනව වගේම 'ගුප්ත' කියල ලේබලයක් අලවන්න තමයි වෙන්නෙ. 
මම ඒ පොත කියවල තිබුණෙ නැහැ. එයාගෙ පොත් ගොඩක් කියවන්න මට ලැබුණෙ නැහැ, මම දැන් අවුරුදු ගණනාවක ඉඳල රටින් පිට වෙලා නිසා. බැලුවම මේ පොත පුරාම මාව එක එක චරිත වලට ආදේශ කරලා. එයාට මොකද මගෙ ජීවිතෙන් අත් මිදෙන්න බැරි. මම ඒ ගොල්ලන්ගෙන් මිදිලා දුරු රටකට වෙලා ඉන්නෙ ඒ ගොල්ලන්ට ඕනි විදිහකට ප්‍රේම පුරාණයන් ගොඩ නගා ගෙන ඒ මත්තෙම මියැදිල යන්න කියලා හිතා ගෙන.
එහෙම ඉඳලත් මේ පොත පුරාම මගෙ සිතුවිලි පරම්පරාවන්, මගෙ ඇවතුම්, පැවතුම්, කොටින්ම මාව දික් අතට හරස් අතට විච්ඡේදනය කරල. මම කිව්ව මට මේව ලියන්න වෙලාවක් නැති නිසා ඔයාම ලියන්න කියල දවසක්. 
ඇමීබාවෙක් කැපුවම වගෙ, කපන කපන කොටස මගෙම කොටස් වෙලා විවිධ චරිත වල වෙස් අර ගෙන මගෙම චරිතය විවිධ නම් වලින් නිරූපනය වෙනව. මම කියපු දෙබස් එහෙමම තියෙන කොට මට බකස් ගාල හිනා යනව. තවත් වෙලාවක දුන්හිඳ ඇල්ල වගෙම ඇස් කඩා හැලෙනවා.
මම පොත කියවන තැනට ඇවිත් ඊ මේල් බලන දෝනිටත් හිනා.එයා දන්නව මම පොත් කියවන කොට කොක් හඬ දීලා හිනා වෙන්නත්, හරකියෙක් වගෙ අඬන්නත් දක්ෂයි කියලා. ඒ ගොල්ලො ඒවා ඒ ගොල්ලන්ගෙ පුංචි කාලෙ ඉඳලම අත් දැකීම් වලට එකතු කර ගත්තු දේවල් නිසා, මගෙන් මොකුත් අහන්නෙ නැහැ.
මගේ හිත පහුරු ගාන නිය පහරවල් සියුම් වේදනා රොත්ත බුරුත්තක් අතීතයෙන් උඩට හාරල ගන්නව. ඕවට නම් මම සැලෙයි කියල මගෙ ආඩම්බර හිත පාරට්ටු කිව්වට, ඔන්න දන්නෙම නැතුව අසනි වර්ෂා ඇද හැලෙනවා. අනුන්ගෙ ආදරයක් නෙවේ නේ, මොන තරම් සීරු මාරුවෙන් ලිස්සල යන්න හැදුවත්. මගෙ හිතටම දැණුනු, මමම විඳපු දේවල් නේ. තුන්වෙනි පාර්ශවයක් විදිහට පෙම් කතන්දර වල අවශේෂ චරිතයක් වෙනවට වඩා මගෙම ජීවිතයේ එක එක යුගවල ළඟට ආපු, දුරට ගියපු...එන්න වගෙ දුරින් හිටපු...ඒ වගෙම දුරු වෙලාම යන්න ගියපු අය මට ලියන්න ඕනි තරම් අනුභූතීන් තිලිණ කරපු එකත් භාග්‍යයක් කියලයි මට හිතෙන්නෙ වෙලාවකට. 
ඉන්ද්‍රයියගෙ සුදු, උස සිහින් සිරුර ඇතුලෙ මේ වගෙ මනුස්සයෙක් හැංගිලා ඉඳීවි කියල මට නම් නිකමට වත් කවදාක වත්ම හිතුණෙ නැහැ. එයාට එහෙම වෙන්න ඕනි වුණේ ඇයි? තවමත් උත්තරයක් නැති ප්‍රශ්නයක් වෙලා ඒක හම දාමත් මගෙ හිත ඇතුළෙ ප්‍රශ්නාර්ථයක්ව තියේවි.
කතන්දර පොතට මෙහෙම කළොත් ඒකමිතිය නැතුව අච්චාරුවක් හෝ සලාදයක් වගෙ වේවි කියල සචින් අයියා කිව්වත් මම එයාට දුර කතනයෙන් දුන්නු උත්තරේට එයා ගොළු වුණා. 
"මගෙ ඇත්ත ජීවිතේ සැලසුමක්, වැඩ සටහනක් නැතුව, යන යන අතේ ගලා ගෙන ගියෙ මහ වැස්සකට කුණු රොඩු ඔක්කොම එකතු කර ගෙන ඉවක් බවක් නැතුව ගලා ගෙන යන මඩ වතුරක් වගෙ නෙවෙයිද, සචින් අයියෙ? අඩු ගණනෙ ඔයා වත් දුරු රටක ඉඳගෙන හරි මගෙත් එක්ක මේව බෙදා ගන්න එක ලොකු දෙයක්."
එයාට තේරුණා වෙන්න ඇති, හිතෙ සුව වෙලා තිබුණු තුවාල වල කලු කබොල්ලට යටින් තවමත් උණු ලේ එක්ක රිදුම් දෙන සැරව සෛල වේලිලා ගිහින් නැති වග.
" අනේ..සොරි, මලිති නංගි"
" ඔයත් මාව රැවැට්ටුව නේ...මතකද? ඉසෙල්ලම ඩොක්ටර් සරච්චන්ද්‍රගෙ පේමතො කවි මට වගෙ ලියල දුන්න. ඒ වෙන කොටත් ඔයා බැඳල බබෙකුත් හිටියා කියල ඔයා මට කිව්වෙම නැහැ නෙ." 
" ඒ මට ඔයාගෙ ආදරේ ලබා ගන්න තිබුණු ඕනි කමට නෙ, බබා." 
නාට්‍ය කණ්ඩායමේ සමහරුන්ට ඕනි වුණා, මාව සචින් අයියට ජෝඩු කරන්න. ඒ පසු කාලීන වැඩ පිළිවෙලවල් හිත් වල සනිටුහන් කර ගෙන. ඒ නිසාම අපි වෙන ප්‍රදේශ වල නාට්‍ය දර්ශන වලට යන කොට හිතා මතාම එක ළඟින් වාඩි වෙන විදිහට සැළසුම් හදනව. සචින් අයියා මගෙ ආරක්ෂකයෙකු විදිහට ඉඳල මගේ හිතේ ප්‍රේමයක ගිනි පුපුරු, අළු යට තියෙන්න හැරියා. 
එයාගෙ අදහස තේරුම් ගන්න මට සෑහෙන්න කල් ගියා. අනුන්ගෙ කවි ලියල මට ගෙනත් දෙන එක අත හැරියට පස්සෙ එයා අනුගමනය කළේ වෙනම ක්‍රමවේදයක්. කියවන පොත්වල සිත් ගන්නා සුළු සියුම් කොටස් වලට යටින් ඉරි ඇඳල මට කියවන්න දෙනවා.
මමත් බූරු වහන්සෙ වගේ ඒව කියවනවා, මේ ගොතපු ප්‍රබන්ධයන් නේද කියල හිතන්නෙ නැතුව. එයා ඉරි ඇඳපු කොටස් මගෙ හිතෙත් සියුම් තැන් වලට ඉදිකටු අනිනවා වගෙ ඇනිල හීන් ලේ බින්දුත් පනින්නට තරම් දරුණු වෙනව.
ඔය අනික් අය හිතන විදිහෙ රාග නිශ්‍රිත ප්‍රේමයක්ම නොවුණත්, මොකද්දෝ කියාගන්නත් බැරි, විග්‍රහ කර ගන්නත් බැරි ලෙංගතු කමක් අපි අතර නොතිබුණාම කියල කියන්නත් බැහැ. අපි රහත් වෙච්ච අය නෙවෙයි නෙ. සමහරු ඒකට, 'සොෆ්ට් කෝනර්' කියනවා. මම ඒ වචනෙ ඇහුවමයි. අපි දෙන්නගෙම හදවත් වල ඒ වගෙ අහුමුළු, කොන් ගොඩක් තියෙන්න ඇති, අපි නොදැන හිටියට ඒවා හරියටම මොනවද කියලා. 
සචින් අයියා නිසාම මම සත්‍ය සායි බාබාව අදහන්නත් පුරුදු වුණා. මට ශාකාහාරි වෙන්න හිතුණෙත් එයා නිසා. මේ අතීතය නෙවෙයි. වර්තමානය. ඉස්සර මස් කෑල්ලක් නැත්නම් බත් නොකන මම උම්බලකඩවත් නොකන තරමට ශාකාහාරි වුණා. 
එයා ඔස්ට්‍රේලියාවෙ ඉඳල නේපාලයට ආවා. මාව බලන්න විතරක් නෙවෙයි. ලුම්බිණියෙ යන්නත් එක්ක.
මම මගෙ රාජකාරී රථය අර ගෙන චන්ද මධ්‍යස්ථානයක් බලන්න යන විදිහට ගුවන් තොටුපොළට ගියා. චන්ද මධ්‍යස්ථානෙත් බලල පින්තූරත් ගත්තා. චන්ද ගණන් කරන තැනට සුදුසු කියල හිතෙන ගුරු විද්‍යාලයටත් ගිහින් එදාම පින්තූර ගත්තෙ මම කරන්නෙ රාජකාරියට පටහැනි දෙයක් නෙවෙයි කියල මගෙ හිතත් හදා ගන්න ඕනි නිසා. රියදුරා මට හරිම විශ්වාස වන්තයි. මම කිව්වෙ ඔය එන්නෙ මගෙ මස්සිනා කෙනෙක් කියලා. එයා චන්ද නිරීක්ෂණ වලට එනව කියලත් කිව්ව. 
බුදුන් ඉපදුණු දේශය බලන්න යන්න බොරු කියන එක පව් නේද කියල සචින් අයියා ඇහුවෙ, මේ ගෑණිගෙ කට්ට කම කියනව වගෙ බැල්මක් ඇස් වල ලියා ගෙනද කියල මම එයාගෙ ඇස් දෙකට රහස් පරීක්ෂක බැල්මක් හෙළුවා. එයින් නොසෑහුණු මගෙ සිත පණ්ඩිතකම් කියවනවා. 
" යහපත් දෙයක් කරන්න සම්‍යක් ප්‍රයෝග යොද ගත්තට කමක් නැහැ කියල බුදු හාමුදුරුවොත් කියල තියෙනව නෙ."
" ඔව්, ඔව්, කිතුල් ගහට වල් කපන්න ගිය මිනිහ ගෙ ගම ඕගොල්ලන්ගෙ ගමට කිට්ටුද?" කියල හිනා වුණා.
එක දිගට දවස් හතරක් යෙදිල තිබුණු සති අන්ත නිවාඩුවක එන්න කියල මම කරපු යෝජනාවට සචින් අයියා කැමතිවුණ එක ලොකු දෙයක්. කත්මන්ඩු වල බලන්න තියෙන තැන්වලට නම් වැඩ කරන දවස්වල වුණත් හතරෙන් පස්සෙ යන්න පුළුවන්. 
කත්මන්ඩුවල ගුවන් තොටුපළෙන් බැහැල එද්දි එහි බිත්තිවල ඇඳල තියෙන සිදුහත් කුමරුන්ගෙ උත්පත්තිය දිහාවෙ සචින් අයියා නැවතිල බලාගෙන හිටියා. මහමායා දේවි එතැන චිත්‍රයට නගල තියෙන්නෙ සාමාන්‍ය ගැමි ගැහැනියක් හැටියට. සූ සැට ආභරණ, හිස් පළඳනා, වළළු, මාල,කණ කර ආයිත්තම් සිත්තම් කරල නැහැ රජ බිසවකගෙ වගෙ. හරිම චාම් කාන්තාවක්. ඒ බිත්තියේ බුද්ධ චරිතයේ විශේෂ අවස්ථා මැනවින් පිළිබිඹු කරල තියෙනවා.
ලංකාවෙ වන්දනා නඩ එක්ක ලුම්බිණිය වඳින්න එන කට්ටියට කත්මණ්ඩුවල ගුවන් තොටු පොළ දකින්න ලැබෙන්නෙ නැහැ නෙ. මම ආපු දවසෙ ඔය එකක් වත් බලා ගන්න බැරි වුණෙ අපේ කාර්යාලයේ කට්ටිය එක්ක එහෙ මෙහෙ දුවන්න වුණු නිසා. අද නිදහස්. කවුරුවත් නැහැ, අණ දෙන නිලධාරීන්.
එහෙ වැඩ කරන ලංකාවෙ මල්ලිලා දෙන්නෙකුත් ලුම්බිණි යන්න ඕනි කිව්වා. එක් කෙනෙක් මුස්ලිම් නමක් තියෙන, ඒ වුණාට අපේ නාමික බෞද්ධයන්ට වඩා බොදු පිළිවෙත් අනුගමනය කරන කෙනෙක්. එයාගෙ කාමරේම සචින් අයියව නතර කර ගන්නත් එයා එකඟ වුණා. ඒත් සචින් අයියා කිව්ව එයා තනියෙම කමරයක ඉන්න ඕනි කියල. එයාගෙ බජන් කියන, පිරිත් කියන ඒවා අනික් අයට දරන්න අමාරු වේවි කියල. අපිත් හිතුවා එයා කියන එක හරිය කියලා.  
ලුම්බිණි ගමනට ඉස්සරින් මම සචින් අයියව 'මොන්කනම්මා' කියන දේවාලෙට එක්ක ගියා. මගෙ රියදුරාත්, භාෂා පරිවර්තිකාවත් මේ ගමනට සහභාගි කරගත්තෙ, නේපාලෙ වැසියො වුණත් ඒ ගොල්ලො එහෙ ගිහින් තිබුණෙ නැති නිසා. ඒ දේවාලෙත් තිබුණෙ මගේ බල ප්‍රදේශයේම වීමත් මට වාසියක් වුණා. 
පෝලිමේ ඉඳල කේබල් කාරයක ගිහින් තවත් පඩි ගණනාවක් නැගලයි, කන්ද මුදුනෙ තිබුණු දේවාලෙට යන්න තිබුණෙ. හොඳට ආවරණය කරපු කේබල් කාර්වල මිනිස්සුනව ගෙනියද්දි, එලුවො අරගෙන ගියා විවෘත රථ වල. ඒ බිලි පූජා කරන්න. අයිති කාරයන්ගෙ නම් ගහලා තිබුණ සත්තුන්ගෙ ඔලු ගෙඩි වල. 
විවිධාකාර ඇදහිලි. සත්තු මරල බිල්ලට දීල උන්ගෙ ගෙලකපද්දි ගලන රුධිරයෙන් තමයි පූජාව පවත් වන්නෙ. ලේ ගලා ගෙන යන තැනට මම නම් යන්න බැහැ කිව්ව. පහළ මළුවෙ ඉඳගෙන මම ටිකක් හයියෙන්, ඉංග්‍රීසියෙන් යාතිකාවක් කළා.
" අනේ..දේව මෑනියෙනි, ඔබගෙ නමින් මේ විදිහට කෙරෙන බිලි පූජා නවත් වනු මැනවි. මොවුන්ටත් ජීවත් වීමට අයිතියක් තියෙනවා නේද? මේ සත්ව ඝාතන නවත් වනු මැනවි" කියල.  
භාෂා පරිවර්තිකාව මගෙ දිහා පුදුම වෙලා බලා ගෙන හිටියා. සචින් අයියත් ඒ විදිහටම හිතන්න ඇති කියල මට හිතුණා. මාත් එක්ක එකම අංශයක වැඩ කරන අනික් සගයො දෙන්න මේ ගමනට ආවෙ නැහැ, ඒ ගොල්ලන්ගෙ දිස්ත්‍රික්කෙ වැඩ කටයුතු අධික නිසා. කන්ද උඩ සිරී පාදෙ වගෙ. කඩ වැහි වැහැල. වෙනසකට තියෙන්නෙ සිරී පාදෙ යන බැතිමතුන්ගෙ තියෙන කරුණ ගුණය මේ බැති මතුන් තුළ නැතී එක.
ටිකක් පහලට බැහැල එන කොට කෑම කන්න තැනුත් තිබුණ. අපි එළවළුත් එක්කයි, පරිප්පු හොදි එක්කයි බත් කද්දි නේපාල් වැසියන් දෙන්න එළු මස් එක්ක පරිප්පු හොදි දාගෙන 'සුරුස්, සුරුස්' කියල සද්දෙ කර කර බත් කෑවා. 
නාට්‍ය කරන කාලෙ හිටි සචින් අයියයි මේ සචින් අයියයි කොච්චර නම් වෙනස්ද? තැන්පත් කම, පරිණත කම....හික්මුණු, නිවුණු ගති..මට අදහගන්නත් බැහැ. ඒත් මගෙ නම් හිටපු ගමන් කෙලි කම මතුවෙල දඟලන ගතිය තවමත් අත් ඇර ගන්න බැරි වෙලා.
අපි කවදාවත්ම හිතුවෙ නැහැ, වැඩිහිටියො වෙලා මෙහෙම ආයෙත් මුණ ගැහේවි කියල. හිතන දේවල්නෙවෙයි නෙ වෙන්නෙ. ඒත් ඉස්සර හමු වීමකයි දැන් හමු වීමකයි පරස්පර විරෝධී වෙනස් කම් රාසියක්. දැන් ඇස් කතා කරන්නෙ නැහැ. ඒ වෙනුවට කල්පනාවක හෝ අවස්ථා විශ්ලේෂණ වල යෙදිලා. පොත් පත්වලට ලියන්න කරුණු එකතු කරනවා.
මම දින පොතේ ලියපු සටහන් ටික කියවගෙන ගිහින් සේව් කරල පරිඝණකය නිවල දැම්ම. හෙට ලුම්බිණි ගමන ගැන කතා කර ගන්න අපි කෑම කමරයෙදි එකතුවෙන්න සැලසුම්කර ගත්තු නිසා, පිය ගැට පෙළ දිගේ පහළට ඇදුණා.

5 ක් අදහස් දක්වලා.

Tuesday, September 15, 2009

නැත ලොවේ අන් රසඳුනා...

Tuesday, September 15, 2009
හැමෝම කලබලයෙන් ඇඳුම් මාරු කරනවා. තරඟයක් වගෙ...කණ්නාඩියක් ඉදිරියෙ වාඩිවෙලා, මම මුහුණ පුරා තවරල තිබුණු පාට මකා දමන්න උත්සාහ කළා. ඇස් වල නිල් පාට, කලු පාට, රෝස පාට...දෙකම්මුලේ රතු පාට...මට ඒ පාට මකල දමන්නත් ලෝබයි වගෙ. මගෙ රූපෙට මගෙ හිතේම තණ්හාවක් ඇතිවෙලා. අර ලස්සන පාට ක්‍රීම් ගාල ඉවත් කරද්දි ටිෂූ එකට එන්නෙ තනිකරම කළු පාටක් වෙල. සුන්දර දෙවල් වල අවසානය කලුම කලු අඳුරක් විතරද?
'විකාර නොහිතා ඉක්මනට ඇඳ ගෙන ගියොත් හොඳ නැද්ද? කී දෙනෙක් අරෙහෙ බලාන ඉන්නවද'
අප්පෝ! මේ දඩබ්බරීගෙන් නම් බේරෙන්න හරිම අමාරුයි. 
මුහුණ සෝදගෙන මම ඉක්මණට ලා නිල් පාට ඔසරිය ඇඳ ගත්තා. මට ඔසරියක් අඳින්න හිතුනෙ තරිඳු එන නිසා. එයාගෙ ගම මාතලේ නෙ. එයා ඔසරි අඳිනවට කැමතියි කියල මට හිතුණා. මදෑ....එක්කෙනෙක් වෙනුවට අද දෙන්නෙක්ම ඉන්නවා හැඩ බලන්න. ඉන්ද්‍රයියත් තවම මම ඔසරි ඇඳල ඉන්නව දැකල නැහැ.
මෙලහටත් මොන මොන මාර්තෘකා සාකච්ඡා මණ්ඩපයට ප්‍රස්තුත කර ගත්තද දන්නෙ නැහැ. ඉන්ද්‍රයියට තරිඳු ගැන කියයිද කවුරු හරි? නැහැ...එහෙම වෙන එකක් නැහැ. හැමෝම මගේ පැමිණීම බලාපොරොත්තුවෙන් හිටියෙ.
" අම්මෝ, මලිති කුමාරිහාමිගෙ හැඩ දැන්නෙ පෙනෙන්නෙ අපූරුවට. කවුද දන්නෙ නැහැ මේ සුරන්ගනාවිව ගෙනියන්න අසු පිටින් එන කුමාරයා?"
සරලා කීවෙ මගේ දිහාවටම දෑස එල්ල කර ගෙන. මගෙ ඇස් මොන කුමාරයා ලඟට වත් යන්න නොදී මම අමාරුවෙන් වහන් කර ගෙන දඟකාර විදිහට අහසෙ තරු දිහාවට යොමු කළා.
" හහ්! දැන් අහස දිහා බලන්නෙ මිනිස් ලොකේ කුමාරයෙක් මදි වෙලා වෙන්නැති, මෙයාට"
ඒ අමිල.
" අනේ, ප්ලීස්..., මාව බයිට් එකට ගන්නෙ නැතුව මොනව හරි කන්න යමුකො"
මම පොදු ප්‍රශ්නයකට සිත් යොමු කළා. හරිම පුදුමයි. කතා බහ අතරෙ මම ඉන්ද්‍රයියගෙයි, තරිඳුගෙයි මැද්දට වැටිල.
" කෝ..දෙන්න ඔයාගෙ බෑග් එක මට" ඉන්ද්‍රයියා මගෙ ඇඳුම් බෑග් එක ගත්තා. මට දැනෙනව, දෙන්නම උගුරට හොරා බෙහෙත් කන්න උත්සාහ කරන බව. දෙන්නම හරිම පරිස්සමෙන් වචන පාවිච්චි කරන්නෙ. එක්කෙනෙකුට වත් අවශ්‍ය නැහැ, තමන්ගේ වගෙම මගෙත් ශ්‍රී නාමය කෙළෙසන්න. නෑදෑ වෙන අයියෙක් කිව්ව නිසා අමිල, රුවිනි, සරලා වුනත් කතා කරන්නෙ පරෙස්සමින්.
ඒකත් ජය සිරි මංගලම්! මගෙ හිත කෙඳිරි ගානවා. දැන් පොඩ්ඩකට ඉස්සෙල්ල ඉන්ද්‍රයියට  ළං වෙන්න හිතපු හිත සන්සුන්වෙලා. තරිඳු ගැන මේ දවස් ටිකේම මවපු හීන කොහෙ විසිරිල ගිහින්ද කියල මටම නිනව්වක් නැහැ. පුදුම උපේක්ෂාවක්. හිතා ගන්න බැරි සන්සුන් කමක්.
" ඉන්ද්‍රයියා අද කොහෙද නවතින්නෙ?" මගේ පළවෙනි ප්‍රශ්නය.
" බැද්දගානෙ නන්දා පුංචිල ගෙ ගෙදර. මලිති නංගිවත් එක්කරගෙන එන්න කිව්වා පුංචි." දියට දමන්න හදන කොට ඇන්නෑවෙ කියන ඉබ්බෙක් නොවී අදි මදි මූණක් දමන්න හිතුණ, අනික් අය ඉදිරියෙ. ඒත් ඉන්ද්‍රයියගෙ ඇස් දෙකට මගෙ හිත තේරුම් ගන්න ඉඩ හැරියා.
" අපි බෝඩිමේ ඇන්ටිට කියන්නම්" රුවිනි මොකද මේ? තරිඳු ගෙ විරුද්ධත්වයක් ඇත්තෙම නැහැ.  
ගත්තු උලුඳු වඩේ, පැටිස්, කට්ලට්ස් කමින් අපි බස් නැවතුමට ආවා. බස් නැවතුමේ මාවයි, ඉන්ද්‍රයියවයි තනි කරල අනෙක් කට්ටිය සමු ගත්තා.
" ඔයාට හොඳ යාලුවො කට්ටියක් ඉන්නව නේද..?"
තරිඳු පස්සෙන් ඇදෙන ඇසුයි, හිතයි ඉන්ද්‍රයියා දොඹකරයකින් අදිනව. අකැමැත්තක් නැතුවම හිතත් ඇදිලා එනව.
අපි බස් එකේ ඉඳ ගත්තෙ එකළඟ, ගෑවි ගෑවි. ඉන්ද්‍රයියා මගෙ වම් කලව උඩ ගිමන් හරින අත අල්ල ගෙන ඊට උඩින් මගෙ බෑග් එක තිබ්බ කාටවත්ම නොපෙනෙන්න. මම අත ඉවතට ගන්න හිතුවෙ නැහැ. එයාගෙ ඇඟිලිත් එක්ක හුරතල් වෙන්න ඇරියා. මගෙ ප්‍රථම ප්‍රේමය ඉදිරියෙ මගෙ අකීකරු කමට නීති දමන්න මට බැහැ.
"ඇත්තටම ඉන්ද්‍රයියෙ, ඔයාට මොකද වුණෙ...මම හිතුවෙ ඔයා හේමි එක්ක ...."
"කට, කට...." ආදර තරවටුවක්.  
"ඔසරියට ඔයා හරිම හැඩයි මගෙ සුදු මැණිකෙ"
"හා...කවද්ද ඔයාට මාව ලියල දුන්නෙ?"
"ලියා ගන්නංකො පස්සෙ. ලිව්වත් නැතත් ඒක එහෙම තමයි"
"ඔයා හේමි ගැන කියන්නෙ නැත්තෙ අයි?"
" මොන හේමිකෙක්ද? එයා කොයි ලෝකෙක ඉන්නවද කියල මම දන්නෙ කොහොමද?" "මම හිතුවෙ ඔයා එයත් එක්ක.."
" මම එයත් එක්ක බින්න බැහැල කියලද? නෑ කෙල්ලෙ, අපෙ අපුච්චා අපේ සම්බන්ධයට පොඩ්ඩක් අකැමැතියි වගෙ. ඒත් පුංචියි, නැන්දයි ඔයාට හරිම අදරෙයි."
"පුංචියි, නැන්දයි විතරද මට ආදරේ"
"ඔව්, ඉතින් මේ කලු කෙල්ලට වෙන කවුද ආදරේ කරන්නෙ?"
ඔහු මගෙ අත මුව අග්ගිහට අරගෙන සිප ගත්තෙ අර විදුලි දහරාවන් මුළු සිරුර පුරහම සන්නයනය කරමින්. පරිපථය දිගටම අඛන්ඩව විද්‍යුතය සංසරනය වෙනව. සිතුවිලිත් ඝනීභවනය වෙලා. රුධිරය..ස්නා‍යු...සෛල...අස්ථි...ඇටමිදුළු...මස්තීෂ්කය, සුසුම්නාව...ඔක්කොම නිර්වින්දනය වෙමින් සීතල වෙනව. මගෙ ලේ ගමන අධික වෙලා නහරයක් පුපුරලා මැරේද කියල හිතෙනව. සතුටද...ආස්වාදයද...ආහ්ලාදයද...රාගයද...මට මොන විදිහකටවත් ඒ හැඟීම් නිර්වචනය කරගන්න බැහැ. බස් එකේ නෙවේ නම් මම එයාගෙ උරිස්සට, මගෙ හිසේ උහුලගන්න බැරි බර දරා ගන්න දෙනවා.
බස් එකෙන් බැහැලා අපි පුංචිලාගෙ ගෙදරට (එයාගෙ පුංචි වුණාට මගෙ නැන්දා) ඇවිදගෙන ගියෙ පැටලුණු දෑත් වලින්. ගමේ වගෙ රොයිටර්ලා මෙහෙ නැති එක කොච්චර හොඳද? ගෙදර සීනුව නාද කළෙත් අත්දෙකම එකට තියලා. දොර අරින සද්දෙට අපි ටිකක් දුරස් වෙල අත් මුදා හැරියා.
" අප්පෝ, ඉන්ද්‍රම එන්න ඕනි මෙයාට අපේ ගෙදර එන්න..නේද පුතේ?" 
නැන්දම්මගෙ නෝක්කඩු, ආදරේට. වස විස නැහැ, ඒවයෙ. ලෙංගතු කම විතරමයි. මාමණ්ඩිට දණගහල වැන්දම සතුට බිම පෙරලෙනවා.
" කොළඹ ආවට සුදු මැණිකෙ වෙනස් වෙලා නැහැ. එහෙම තමා දියුණු වෙන ළමයි"
" මූණ කට සෝද ගෙන කන්න ළමයිනෙ...මෙයත් බලාන හිටියෙ ඔය දෙන්න එන කල්. නංගිල දෙන්න නං ඔන්න කාල බුදුන් වඳින්න ගියා උඩට."
ගේ පිටු පස්සෙ ලිඳට මම යන කොට ඉන්ද්‍රයියත් මගෙ පස්සෙන්. 
" කලු මැණිකෙට ලිඳෙන් වතුර ඇදල පුරුදු නැහැ නෙ. පුංචි කිව්ව ඔයාට වතුර ඇදල දෙන්න කියල".
අපිට හැම දාම මෙහෙම හුරතල් වෙවී ඉන්න පුළුවන් නම් කොයි තරම් හොඳද? අපි දෙන්නගෙ කිට්ටුවන්ත කම කට්ටිය සේරෝම දන්නව. ඉන්ද්‍රයියගෙ අපුච්චට ඇරෙන්න වෙන කාගෙවත් ඇහැකට කුනක් වුණේ නැහැ, අපි දෙන්න.
හඳ නොපිරුණත්, ආඩම්බරේට තරු පිරි වරාගෙන. මැද සාලෙ මල් කවුළුවෙන් රිංගන්න හදනව ගෙට. අපිට එකතු වෙන්න හිතිලද කොහෙද? පුර අටවක වෙන්නැති.  
" බත් බෙදා ගෙන මිදුලට යමුද, මාමණ්ඩී?"
" මොකෝ නොයා? යමු..යමු..අපේ කලා කාරිට හඳ එලිය නාන්න හිතිලද කොහෙද?" "කලා රිට"  
 ඉන්ද්‍රයිය මාව පහු කරල යන ගමන් මගෙ කණට කොඳුර ගෙන යනව. මම එකට එක කියන්න ගියෙ නැහැ. ආදරේට කියන ඒවට කලබල වෙන්නෙ මොකටද?
හඳ වතුර, මිදුලෙ පොකුණු පොඩිත්තෙ වතුරට එකතු වෙලා රිදී පාට ජල තරන්ග මවන රටාව හරිම අපූරුයි. මානෙල් මල් වල දම් පාට හිත පුරා ඇතිල්ලෙනවා. මාමණ්ඩි ළඟින් ඉන්ද්‍රයියා ඉඳ ගත්තා. නැන්දම්මා මගෙ ළඟට ඇවිත් හරි බරි ගැහුණා.
"සුදු මැණිකෙ දන්නවද? ඉන්ද්‍ර පුතාට හිෂ්‍යත්වයක් ලැබිල ජර්මනියට යන්න?"
අලුත් පුවත් කෙටියෙන් විකාශනය වෙනව. 
" ඔය කියන කල් දන්නෙ නැහැ, නැන්දම්මෙ...අයියා මට කිව්වෙ නැහැ."
" ඇත්තද පුතේ..මොකද නංගිට කිව්වෙ නැත්තෙ පුතා රට යන කතාව?"
" තව සති තුනක් තියෙනව නෙ, පුංචි. පොඩ්ඩක් තිබුණොත් දුන්හිඳ ඇල්ල ඇස් දෙකේ නෙ මෙයාගෙ. පස්සෙ වෙලාවක් බලල කියන්න හිතුවෙ."
"ඒ කියන්නෙ ඔයා යනව කියන එකද අයියෙ?"
"ඔය මං කිව්වෙ...බොරුද බාප්පොච්ච මම කිව්වෙ?"
අර තුන් කාලෙ හඳ පලුව කළු වළාවකට මුවා වුණා. පොකුණෙ මල්, රිදී පාට දිය රැළි ...සේරම අඳුරු කුට්ටියක්. ඇස් අග්ගිහට තෙතමනයක්.
" ඔයාව අද මෙහෙ එක්කරන් ආවෙ ඔයාගෙ පාස් පෝට් හදන්න කියල" ටිකිරි නංගි දුවගෙන ඇවිත් අපේ කතාවට එකතු වෙනව. 
"ටිකිරි, ඔයාට පැහිච්ච්කං වැඩක් නැහැ ." 
නැන්දම්ම සැර වෙන්නෙත් තරහින් නෙවෙයි.
"දැන්ම නෙවේ. එයා ගිහින් ඔයාට ටිකට් එකක් එවාවි. එහෙම නේද පුතේ"
මාමණ්ඩි කරුණු පැහැදිලි කරන්න උත්සාහ කරනව.
" නැහැ, බාප්පුච්චෙ, ඔක්කොම ලිය කියවිලි සතියෙන් ලැහැස්ති කරල දෙන්නම් කියල යාලුවෙක් කිව්වා. එයාගෙ තාත්ත වැඩ කරන්නෙ විදේශ කටයුතු අමාත්‍යංශයෙ. මෙයාගෙ කැමැත්ත විතරයි ඕනි."
ගහෙන් ගෙඩි එන්න වගෙ ඉක්මණට ඉක්මණට මෙහෙම දේවල් වෙන්න පුළුවන්ද? මම අප්පච්චිට, අම්මට මොනවද කියන්නෙ? මම පවුලෙ වැඩිමලා. මට පුළුවන්ද හොරෙන් පිට රට යන්න අම්මගෙ, අප්පච්චිගෙ මූණෙ දැලි ගාලා.
කන්න ගත්තු බත් උගුරෙ හිරවෙනව. අපිජිහ්විකාව තදටම වැහිල. සතුටක් එන කොටම ඇයි ඒ පසු පස්සෙ දුකකුත් අත් වැල අල්ලන් එන්නෙ? අනවශ්‍ය කතාවක් අනවශ්‍ය මොහොතක ඇදල ගත්තු එකට නැන්දම්මට හිත තැලිලා.
"ඕවා ගැන පස්සෙ කතා කරමු...කොහොමද අද නාට්‍යය හොඳට කෙරුණද?"
මාමණ්ඩි කැසට් එක මිදුලට ගෙනැත් 'සිංහබාහු' කැසට් එකක් වාදනය කළා.
'ලෝ දහමින් වැදෙනා රළු පහරින් 
ගත සිත රිදෙනා කල නිතියෙන් 
නැත ලොවේ අන් රසඳුනා...ආ...ආ..
ආදරේ සේ සුව දෙනා'  
මාමණ්ඩි කාලෝචිත විදිහට මාර්තෘකාව වෙනස් කළා. නංගිලා දෙන්න නැන්දම්මත් එක්ක සින්දුවෙ අත් වැල ඇල්ලුවා. හඳ ආයෙමත් වළකුළෙන් මිදිලා තරු පොකුරක් එක්ක හුරතලයක. ඉන්ද්‍රයියා කැසට් යන්ත්‍රයෙ හඬ වැඩි කරනවා. මමත් ගීතයටම සම වැදුනා.
'නැත ලොවේ අන් රසඳුනා...
ආදරේ සේ සුව දෙනා..........'  
ආදරයම විතරක් පිරුණු ලෝකයකට හෙට ඉර පායපු දෙන්. විරහවක් කොතැනක වත් ලියවෙන්න එපා. අද රෑටත් ජර්මනිය, විශ්ව විද්‍යාලය, නාට්‍යය, සල් ගහ ගෙදර, ඉන්ද්‍රයියා..තරිඳු...හිතට නිමක් නැති පැවරුම් ගොඩාරියක් එකටම ලැබිලා.  
කොහොම අවසානයක් දකීවිද? එක ප්‍රශ්නයක්, ප්‍රශ්න පත්තරයක් වෙල. එතැනින් නවතින්නෙ නැතුව සම්පූර්ණ පරීක්ෂණයක් වෙලා. මුළු විභාග දෙපාර්තමේන්තුවේම වැඩ, වගකීම මගෙ හිතට පැවරිලා වගේ. 
ප්‍රශ්න කන්දරාවක්. උත්තර කොහෙන් හොයා ගන්නද මම?

10 ක් අදහස් දක්වලා.

මරන තුනක්





 
හිත හතර අතේ දුවනවා. කතන්දර කියන්න බැරි තරමක් එකතු වෙලා හිතේ පෙරහැරක් වගේ ඉදිරියටට එනවා. කස කාරයන්ට ඇඳල එන කතන්දර , චට පට ගාල පුපුරල ටිකකින් සද්දෙ නැතුව ඉක්මණට අමතක වෙලා යාවි කාටත්. ඒත් පෙරමුණේ රාළ වගෙ කෙනෙක් ඉස්සරහින් යනකොට ඒව කාගෙ හිත් වලත් අපූරුවට මතක තියේවි. මහා තෙජස් විලාසෙන් පෙරහැරෙ ඉස්සරහින්ම ගමන් කරන්නෙ, පෙරමුණේ රාළ තමයි. පෙරහැර යන ගමන් මාර්ගය සටහන් වෙලා තියෙන තල් පත අඩංගු මංජුසාව දෝතින් දරා ගෙන පෙරමුණේ රාළ අලියා පිටේ යනවා. නුවර පෙරහැර කොයි තරමක් බැලුවත් ඇති හිතෙන්නෙ නැති කලා නිර්මාණ එකතුවක්. හැබැයි අද මම කියන්න යන්නෙ නුවර පෙරහැර ගැන නම් නෙවේ.
මම හුඟක්ම ඉස්සර කියවපු පොතක තිබුණු අපූරු කතාවක් මතක් වුණා. සමහර උදවිය අහලත් ඇති, නැතුවත්ඇති... සමහර විට එච්.ජී.වේල්ස් මැති තුමා ගැන. එතුමා ලියපු පොතක් තිබුණා කාල යන්ත්‍රයක් ගැන. එහෙමත් නැත්නම් 'ටයිම් මැෂින්' එකක් ගැන. පොතේ නමත් 'ටයිම් මැෂින්' තමයි. ඒකෙන් චිත්‍රපටියකුත් හැදුවද කොහෙද? ඒ කතාවෙ තිබුණා, අමුතුම වර්ගයේ ඔරලෝසුවක්. හැම ඔරලෝසුවක වගේම ඒ ඔරලෝසුවෙත් මිනිත්තු කටුවකුයි, පැය කටුවකුයි තිබුණා. ඉතින් වෙනසකට තිබුණෙ මේ ඔරලෝසුවෙ මිනිත්තු කටුවට නැග්ගම අතීතෙට යන්න පුළුවන්. පැය කටුවට නැග්ගම අනාගතයට යන්න පුලුවන්.
මමත් ඒ වගෙ ඔරලෝසුවක් අරගෙනයි අද ආවෙ, 'පුලිනතලාවට'. ඉතින් මට හිතෙන හිතෙන වෙලාවට ඔය එක කටුවකට නැගල අතීතෙට හරි අනාගතයට හරි ඉගිල්ලෙනවා. ඔන්න මට මතක් වුණා, අපේ නංගි කෙනෙක් කියපු කතාවක්.
'ක්‍රොනොලොජි' පටලවා ගන්න එපා කියලා. ඕගොල්ලො දන්නවද ? මම නම් පැටලෙන තරමට මයි කැමති. නිකම්ම සරල රේඛාවක් වගෙ ජීවිතේ ගලා ගෙන ගියාමත් කිසිම ගතියක් නැහැ නේද? හැල හැප්පීම්, වැටීම්, නැගිටීම් ඔක්කොමගෙම සංකලනයක් වුණාමයි ජීවිතේ ඇඹුල්තියල් වගෙ රසවත් වෙන්නෙ.
අනං මනං කියන්න ගිහින් කතාවත් අමතක වුණා. නවත්තපු තැනටම යමුකො. ඉතින් දැන් අපෙ වේදිකා නාට්‍යයෙ මංගල දර්ශනයත් හෙට. අද ලයිට් රිහර්සල් සහ ඩ්‍රස් රිහර්සල් දෙකම එකට කෙරෙනව ලුම්බිණියෙම. ලුම්බිණියෙ මංගල දර්ශන කළාම නාට්‍යය හොඳට දුවනවා කියලා නාට්‍ය ප්‍රජාව අතරෙ පිළිගැනීමක් තියෙනවා. ඒකම තමයි අපේ අධ්‍යක්ෂක තුමත් ඒ රඟ හලේම නාට්‍යයෙ මංගල දර්ශනය කරන්න හිතන්න ඇත්තෙ.
දවස ගෙවිල ගිය ඉක්මන. සිතුවිලිත් එක්ක හැල හැප්පෙන කොට වෙලාව යනව දැනෙන්නෙ නැහැ. මේ දවස් වල පොතක් සටහනක් ලඟට යන්න ඇස්වලට හිතුනෙම නැහැ. ඒකත් එතරම් හොඳ ලකුණක් නෙවෙයි.
මම නාට්‍යය බලන්න එන්න කියල තරිඳුට ප්‍රවේශ පත්‍රත් යැව්ව. එනවම කියල කෝල් එකකුත් දුන්න ඊයෙ. කට්ටියම එන්නෙ නැතෑ.
 ඇඳුම් අඳින්න ඉස්සරින් මේක් අප් දාගෙන ඉන්න කියල අධ්‍යක්ෂක තුමාගෙ සහකාරිය අපට කීවා. එයා තමයි නාට්‍යයෙ වෙස් නිර්මාණය කරන්නෙ. අංග රචනය කළාට පස්සෙ මගෙ මූණ මට වත් අඳුනගන්න බැහැ වගෙ. නාට්‍යෝචිත විදිහට නහය, ඇස්, දෙකම්මුල් මතු කරල අර ගෙන. නළු නිළියන්ගෙ හැඟීම් දුර ඉන්න අයට වුණත් පැහැදිලිව පෙනෙන ආකාරයට. අධ්‍යක්ෂක තුමාගෙ බිරින්දෑ මට ඇඳුම් අන්දන්න ආවා.
"අපෙ අළුත් නිළියට මම අන්දන්නම් කෝ"
ඇය රත්තරන් පාට රෙද්ද ධෝතියක් වගෙ මට අන්දනව. රැලි එකට එකතු කරල එක රැලි ගොන්නක් ඉනේ කොඳු ඇට පේලිය ළඟින් යට කළා. අනික් රැලි ගොන්න නාභිය ලඟින් යටට ගැහුවා. මට එතකොට කිති කැවිල, උරහිස් ඇකිළිලා 'ඊක්' කියවුණා. ඒකට ප්‍රධන නිළියගෙ මුණ පුරා හිනා ගඟක් පුපුරා හැලුණා.
"නාට්‍යය දෙක තුනක් කරන කොට ඔය කිචි ඇරිල යයි", ඇය කිව්ව. නේපත්‍යගාරයෙ හිටි ඔක්කොමල ඒකට මහ හයියෙන් හිනා වුණා. ඒ මොකද කියල මට එදා නම් තේරුණේ නැහැ. ඒත් ගායක කණ්ඩායමේ හිටපු සන්ධ්‍යා ඒ මොකද්ද කියල මට පස්සෙ කියල දුන්න.
"ශාලාව නරඹන්නගෙන් පිරිලා" කියලා හැමෝම කියන සද්දෙ මට අහෙනව. මුළු නාට්‍ය කණ්ඩායමටම වේදිකාවට එන්න කියල දෙබස් මතක් කරල දෙන අක්ක කියාගෙන ගියා. වේදිකාව මැද්දෙ පොල්තෙල් පහණක්. සේරම රවුමක් හැදිල ඒ පහණ වට කරල. අධ්‍යක්ෂක තුමා, බිරිඳ, සචින් අයියා, අංග රචන ශිල්පී අයියා...පොතේ ගුරු අයිය, ප්‍රධාන නළි නිළි යුවල ඔක්කොටම කතා කළා, පහන් පත්තු කරන්න. ඊට පස්සෙ අධ්‍යක්ෂක තුමා පුංචි කතාවක් කරල අපිට සුභ පැතුවා. අපි ඒ යුවලගෙ පා වැඳල ආශිර්වාද ලබා ගෙන ඉවර වෙනවත් එක්කම පළමුවෙනි සීණුව නාද වුණා.
මගේ මුළු සර්වාංගයේම සීණු දහයක් පහළොවක් විතර නින් නාද දෙන්න ගත්තා. චකිතය, සබකෝලය එක්ක තව මොන මොන වදෝ කියා ගන්න බැරි හැඟීම් සමුදායක් මුළු සිරුර පුරාම රුධිර සංසරණ පද්ධතිය දිගේ ගලා ගෙන යනවා. පපුවෙත් දෙමෝලෙ පිටි කොටනව වගෙ.
ප්‍රධන නළුවා වේදිකාව පිටුපස කලු තිරයකට දෑස් යොමා ගෙන ඉන්නවා. මට හිතුනෙ එයා චරිතයට සම වැදෙනවා කියලා. ඒක හොඳ දෙයක්, ඉගෙන ගන්න කියල මට හිතුණා. මමත් වේදිකාවෙ පැත්තක තියෙන තිරයක් දිහාව බලා ගෙන මගෙ චරිතයට පිවිසෙන්න හිතට අණ කළා. මුලින්ම තියෙන ගීත එක්කලා දෙබස් හිතට ඇදල ගන්න හදන කොට තරිඳුත් එනව හිනා වෙවී, හිත් අහසට. එතකොට ගීත සහ දෙබස් තාරුකා වෙලා සඳේ මුකුළු වලට යට වෙනව. නිශ්ප්‍රභා වෙල යනව වගේ...
දඩබ්බරී තරිඳු දිහාවට උපහාසත්මක බැල්මක් දමලා මොනවදෝ කියන්න හදනවා.
" මේ, ඔය ළමයට නාට්‍යය කර ගන්න දීල ඔයා පැත්තකට වෙනවද" 
ඔලුව ගස්සල මම හිත එකඟ කර ගත්තා. සියලු අවශේෂ දේවල් හිතින් මදකට වත් බැහැර කරන්න කොච්චර අමාරුද? මිනිස්සු කොහොමද මන්දා භාවනා කරනව කියන්නෙ. මගේ හිත නම් එක තැනක රඳවගන්න හරිම මාරුයි.
'දූරං ගමං ඒක චරං' තමයි හැම තිස්සෙම. හීලෑ කමක් ඇත්තෙම නැහැ.
ඔන්න තුන් වෙනි සීනුවත් නාද වුණා. තිරය හෙමි හෙමින් දෙපසට මෑත් වෙනවා. පොතේ ගුරු මුළින්ම වේදිකාවට පිවිසෙනවා....ඒ පසුපසින් ගායක කණ්ඩායම මද්දලේ තාලෙට ගමන් පදයකට පියවර තබනවා, ලතාවකට. මම පොඩ්ඩක් වේදිකාවට පිවිසෙන ගමන් පදය එක තැන කරලා පුරුදු වුණෙ හිතේ සැක දුරු කරගන්න.
නාට්‍යය අවසාන වෙන්න ඉස්සර ඉඳන්ම අපිට හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙන්න පටන් ගත්තා. කර්ට්න් කෝල් එකේදි මහා වැස්සක් වගෙ අත්පොලසන් නාද කඩා හැලෙනව. මම වේදිකාවට එද්දිත් හොඳ ප්‍රතිචාරයක් ලැබුණා.
"කමෝන් මලිති" කියලත් කවුදෝ කෑ ගැහුව. ඒක පේරාදෙනිය පැත්තෙන් ආපු සද්දයක් කියල මට හිතුණා. තරිඳු ඇවිත් ඇති, රුවිනිල සේරමත් පිරිවරාගෙන. මම හිතුවෙ තිරය වැහුවට පස්සෙ ඉක්මනට ඇඳුම් මාරු කර ගෙන තරිඳුල ගාවට ඉගිල්ලෙන්න. ඒ වුණාට කට්ටිය එනව වේදිකාවට, නළු නිළියන්ට සතුට බෙදල දෙන්න හාදු වලින්. සිපාචාර, ආචාර සමාචාර, එක එක විදිහෙන්. මම අලුත් නිළියක් නිසා කවුරුවත් එන එකක් නැහැ, හිත ඇබින්දක් චංචල වෙනවා.  
"මලිති.."
මම පය ඉක්මන් කෙරුවෙ ඇඳුම මාරු කරගන්න දුවන්න කියලා. ඉස්සරහට තියපු පය එක වරටම ඉද්ද ගැහුව වගෙ නැවතිලා.
'ආපසු හැරෙන්' මගෙ හිත මට අණ දෙනව. ආපහු හැරුණ මගෙ ඇස් ඉස්සරහ හීන කොදෙව්වක්.
 "මෙයා කොහෙන්ද ආවෙ?"
හීනයක්ද, හැබෑවක්ද කියල මට නිනව් නැතුව ගියා. මගෙ දෙපා මට නලංගු නැහැ.
අපි දෙන්න එක ළඟට ඇදුනෙ, කාන්දම් දෙකක් වගෙ. ඒත් කාන්දම් දෙක එකට ඇලෙන්න ඉස්සරින් මම සිහි එළවගත්ත. අපේ ඇස්වලින් ගලාගෙන යන ආලෝක දහරාවන් සප්ත වර්ණ, සප්ත ස්වර සේරම කැටි කර ගෙන එහා මෙහා විදුලි රේඛාවන් වගෙ සසල වෙනව. ඔහු ඇවිත් මගෙ අත් දෙක දෑතින්ම ග්‍රහනයට ගත්ත. හිනා මල් පිපෙන්න බලා ගෙන හිටිය ඇස් වලින් වැහි වතුර කඩා හැලෙනව.
"මට සමා වෙන්න රත්තරං"
එයා කිව්වෙ, මගෙ ඇස් වලින් කම්මුලට පනින්න දැඟලුව වැහි බින්දු එයාගෙ ඇඟිලි තුඩු වලට අර ගෙන. මට කිසිම දෙයක් හිතා ගන්න බැහැ. මම එයාගෙ පපුවට ගහ ගෙන ගහ ගෙන ගියා...හිතෙන්. හිත් වක්කඩ කැඩිලා ගලා හැලෙද්දි පරිසරය බැම්මක් බඳිනවා. මෙතැන බැරෑරුම් දර්ශනයක් මවා පන්න පුළුවන් කමක් නැති හින්දම මම මහ හයියෙන් එයාගෙ අත් කෙනිත්තුව.
"ඔයා ඕනි දෙයක් කරන්න මලිති. ඔයාට ඒකට අයිතියක් තියෙනව."
" කොහෙද ඔයා ඔච්චර කල් හැංගිලා හිටියෙ...?"
මට මොනවා වුනාද මන්දා? මට හිතුනා එයාගෙ පපුවට හිස තියා ගෙනා කෑ ගහල අඬන්න. හිතේ දුක නැත්නම් කොහොමද එයාට දැනෙන්න කියන්නෙ. තවමත් අපි දෙන්නගෙ අත් එකට එක හිර වෙලා, මිදෙන්න ඕනි කමක් නැහැ. වචන වලට නිවාඩු දීලා අපි ඇස් වලට කතා කරන්න ඉඩ හැරියද..නැත්නම් නිශ්ශබ්ද තාවයෙ සොඳුරු බව විදින්න හිත් වලට හිතුනද?
"ඇයි ඉන්ද්‍රයියෙ, මට මෙහෙම කරේ?"
"ඔයාගෙ පිංතූරෙ පත්තරේ දැක්ක දාම මම හිතුව මම ඔයාව බලන්න එනව කියල....." එයා දිග කතාවකට මුල පුරන්න හැදුවා. එතකොටම රුවිනි දුවගෙන ඇවිත්, මාව බදා ගත්තා. එයාගෙ පස්සෙන් තරිඳු සහ අනෙකුත් පිරිවර. මම වළාකුළක ඉඳන් බිමට කඩා වැටුණ.  
"ඔයා ලස්සනට රඟ පෑවා. අපි හිතුවට වඩා කෙල්ලට ලස්සනට සින්දු කියන්න පුළුවන් නෙ"   
තරිඳුත් ඇවිත් පුරුදු සන්සුන් කමින් සුභ පැතුවා. මොහොතකට ඉස්සෙල්ල සිදුවුණු ආශ්චර්යය මාව කොහෙදෝ වට වන්දනාවක ගෙනිහින් වංක ගිරියක අතරමං කරලා වගෙ. 
" රුවිනි, මේ ඉන්ද්‍රයියා...මගෙ නෑ කෙනෙක්."
ඉන්ද්‍රයියා අතරමං වෙන්න ඉස්සර මම පරෙවියෙක් වෙන්න හදුවා.
" මේ තරිඳු..." 
" හා.හා..ඔයා දැන් ඇඳුම් මාරු කර ගෙන එන්න. ඔයාගෙ නෑදෑයෙක් නම් අපිට හෙමීට අඳුන ගන්නම් කො"
මට තරිඳුගෙ ඇස් දෙක දිහා එක එල්ලේ බලන්න බැරි ගතියක් දැනුණා. ඉන්ද්‍රයියගෙ ඇස්වල හැංගෙන්න හිතන මගෙ ඇස් වලට සම්ප්‍රදායිකා තරවටු කරනවා. දඩබ්බරී ඉඟි බිඟි කරනව, කල්ල කමට. හිත අවුල් කරන ව්‍යාකුලයාගෙන් මිදෙන්න හොඳම දේ, ටිකකට මේ ගොල්ලන්ගෙන් මිදිලා ඉන්න එක. මට එහෙම හිතුණා.
නේපථ්‍යගාරයට යද්දි සචින් අයියා බලා ගෙන ඉන්නව දොර ළඟ, මට සතුට පළ කරන්න. අනේ..! දෙයියනේ . 
" නංගි, අද හරිම ලස්සණට ඔයා රඟ පෑවා. අධ්‍යක්ෂක තුමා ඔයා ගැන හරියට පැහැදිලා ඉන්නෙ. ඔයා කොහොමද යන්නෙ, මම ගිහින් බස්සන්නද?" 
" බොහොම ස්තුතියි අයියෙ, මගෙ බෝඩිමේ යාලුවො ඇවිත් ඉන්නවා. මම ඒ අය එක්ක යන්නම්" එක මරණෙකින් ගැලවුණා.
' මරන තුනක් ඇති මිනිහෙක් පැනි කෑය' කවියකුත් ඇවිත් මට ඔච්චම් කරනවා.
මූණේ තවරපු සායම් ඉවත් කරද්දිත්, ඇඳුම් මාරු කරද්දිත් තොවිල් නටන සිතුවිලි මගෙ හිතට නිස්කාන්සුවක් දෙන්නෙම නැහැ. මම තරිඳුට ඉන්ද්‍රයියා ගැන කිසිම දෙයක් කියල නැහැ. වෙලාවක් ආවෙත් නැහැ නෙ, කතා සරිත් සාගරයෙ පිටු පෙරලන්න.
එන දේකට මුහුණ දෙනවා. ආයෙත් හිත දෙගිඩියාවක. අනේ..මොකටද මෙහෙම දේවල් මට විතරක්ම වෙන්නෙ. මට හිතෙනව හැමෝගෙන්ම ඈත් වෙල මුහුදු වෙරළට ගිහින් තනියෙම නැගිල බිඳෙන රළ ගෙඩියක් එක්ක ඈත දියඹට ගිහි හැංගෙන්න.

5 ක් අදහස් දක්වලා.