Showing posts with label ඇෆ්ගන් කතා. Show all posts
Showing posts with label ඇෆ්ගන් කතා. Show all posts

Sunday, April 1, 2012

ඇෆ්ගනිස්තානයේදී ඇසූ කතාවක්

Sunday, April 1, 2012



එක් යෝගී යතිවරයෙකු වරක් කාන්තාරයක භාවනානුයෝගීව හිටියා. මේ අතර එවකට එම රටේ සිටි පාලකයා පිරිසක් සමග අසුන් පිටින් එම ස්ථානය පසු කරන්නට වුණා. සිත දැඩිව භාවනාවේම නිමග්නව සිටි නිසා අවට සිදු වන්නේ කුමක් දැයි යතිවරයාට දැණුනේ නැහැ. එනිසා පාලකයා හෝ ඔවුන්ගේ පරිවාර අයවළුන් අපේක්ෂා කරන හිස නැවීම්, නැගිටීම් හෝ ආචාර කිරීම් කිසිවක් ම සිදු වුණේ නැහැ. මේ නිසා පාලකයා බලවත් ලෙස කෝපයට පත් වුණා. 

"මේ යෝගියො නම් කිසිම චාරිත්‍ර වාරිත්‍රයක් දන්න අය නෙවෙයි. තිරිසන්නු වගේ. තමන්ගෙ රටේ රජතුමා යන කොට ආචාර සමාචාර කරන්න තරම් වත් මුං නිහතමානී නැහැ."

රජතුමාගේ කිට්ටුවන්තම ඇමතිතුමාටත් යතිවරයාගේ නොහික්මුණු කම ගැන වස කේන්තියි. ඔහු යතිවරයා ළඟට කිට්ටු කළා.

"මේ යන්නෙ අපේ රටේ මහ රජතුමා. නැගිටල වැඳලා ආචාර කරනව හොඳයි. නැත්නම් හිස ගසා දමාවි.මොකද තමුසෙ ඔය තරම් අහංකාර?"

ඇමතිගෙ මේඝ ගර්ජනාවට යතිවරයා දෙනෙත් ඇරලා බැලුවා.
කලබල නොවී සන්සුන්ව මෙහෙම කිව්ව.

 "රජ මැතිවරුන්ට ගරු සරු කරන්නෙ තාන්න මාන්න හරි වෙන මොනව හරි බලාපොරොත්තුවෙන්. මට එහෙම කිසි දෙයක් අවශ්‍ය නැහැ. රජතුමාට කියන්න, පාලකයන් ඉන්නෙ පාලිතයන් ආරක්ෂා කරන්න බව. ඒ වගෙම පාලිතයො කියන්නෙ හැම දේකටම එහෙයි! කිව යුතු පිරිසක් නොවෙන බව. රජතුමාට මහා ධනස්කන්ධයක් තිබුණත් ඔහු දුප්පත් රට වැසියන්ගේ මුර භටයා බව අමතක කරන්න එපා කියන්න. බැටළුවො ඉන්නෙ බැටළු පල්ලගෙ ආරක්ෂාවට නෙවෙයි. බැටළුවන්ව ආරක්ෂා කළ යුත්තෙ බැටළු පල්ලා විසින්මයි. හොඳට ඇස් ඇර බලනවා. එක්කෙනෙක් සිය පවුලත් එක්ක නිදහසේ, සැහැල්ලුවෙන්, යහතින් වැජඹෙද්දි තව කී ලක්ෂයක් ජීවත් වෙන්න මොන තරම් දුෂ්කර විදිහට අරගල කරනවද කියලා. තව ටික කලක් යනකොට බලනව, ඔය රජතුමා වටේට ඉන්න උගත්, මොළ කාරයො කී දෙනෙක් මොන වගෙ මෝඩ, නිෂ්ඵල යෝජනා ගෙනෙයිද කියලා. අසාධාරණය දිගින් දිගටම රජ කෙරුවොත් පාලකයො කවුද, පාලිතයො කවුද කියල අඳුන ගන්න බැරිවෙයි. ඔය ලඟම තියෙන මිනී වළවල් හාරල බලපල්ලා. උඹලට කියන්න පුළුවන්ද, ඔය ඇට කටු රජ කෙනෙකුගෙද? ඇමතියෙකුගෙද? මන්ත්‍රී කෙනෙකුගෙද?
එහෙමත් නැත්නම් දුප්පත් රට වැසියෙකුගෙද කියල."

  පාලකයා යතිවරයාගෙ වචනවලින් හෙල්ලිලා ගියා. වටේ ඉන්න අය නිසා බොහෝවිට තමන්ට සත්‍යය අමතක වෙන බව ඔහු දැන ගෙන හිටියා. ඒ නිසාම යතිවරයගෙ නිර්භීත ප්‍රකාශය හිස මුදුණින් පිළිගෙන ඇහුව, ඔහුට කිසියම් දෙයක් අවශ්‍ය කරනවද කියල.

ඔහු හිස වනා කිසියම් දෙයක් අවශ්‍ය බව කියා සිටියා. ඇමතිවරුන්ට සංතෝෂයි, යතිවරයාටත් යමක් අවශ්‍ය බව දන ගත්තම.
" ඔව්, මට අවශ්‍ය එකම දෙය.." ඔහු රජතුමා දෙස බලා කියන්නට වුණා.
"මීට පස්සෙ මට මේ වගෙ කරදර කරන්න එපා, මම භාවනා කරන කොට"
 ඇමතිවරුන්ගේ මූණු ඇඹුල් වුණා.
රජතුමා යතිවරයාට බැගෑපත් වුණා.

"අනේ! ස්වාමීනි, මට එක අවවාදයක් දෙන්න"

"ඔව්, මතක තබා ගන්න. දැන් ඔබේ අතේ තියෙන, ඔබට හිමි ධනය සහ බලය තව ටික කලකින් ඔබට අහිමි වෙනවා. තව කෙනෙකුගෙ පරවේණියක් බවට පත් වෙනවා."



10 ක් අදහස් දක්වලා.

Thursday, April 22, 2010

ප්‍රතිචක්‍රීයකරණය...

Thursday, April 22, 2010
ආයුධ සන්නද්ධ පොලිස් ආරක්ෂක අංශයේ අපේ වාහනවලට ඉදිරියෙනුත්, පසුපසිනුත් ඇදෙයි. ඉහළින් ඉහිලෙන හෙලිකොප්ටර් යානා දෙකක් එහ මෙහ යමින් යාන දෙකක්ද ආරක්ෂා තත්ත්වය පිරික්සයි. මට පුරුද්දට 'සබ්බේ බුද්ධා බලප්පත්තා' ගාථාව කියැවෙයි. ෆරීමා ගමනාරම්භයට පෙර 'බිස්මිල්ලාහ් රහමානි රහීමි' කියනවා විය යුතුය.
    රොකට් වෙඩි හැමදාම පුපුරන, බිම් බෝම්බ මග දෙපස වළලා තිබෙන ලෝගාර් පලාත කාබුල් බල ප්‍රදේශයට අයත්ය. 
     කාබුල් නගර සීමාව පසු වූ පසු මග දෙපස සුන්දර යැයි කාට වුවත් සිතෙනු ඇත. කඳු වැටි වල තවමත් එක තණ කොළයක් වත් හිමෙන් මතු වී නැත.කිලෝ මීටර් විස්සක් පමණ මග ගෙවුණු විට මගෙ දෙපස තැනින් තැන ගහ කොළ හා එලවලු වැවූ ගොවි පොළවලින් ගහණය. අල,ලූණු, වම්බටු,මිරිස් හා සලාද ජනප්‍රිය වගාවන් සේ පෙනෙයි. 
             සේවයට වාර්තා කොට මුල් සතියේදී අප් සහභාගිවූ සමාජානුයෝජන වැඩ සටහනේදී දේශීය සංස්කෘතියට අනුගත වන ආකාරය, සෞඛ්‍යය හා ආරක්ෂක කටයුතු ආදී මෙකී නොකී දැන උගත් බොහෝ දෑ නිරායසයෙන් මතකයට එයි.


        අමුවෙන් එළවළු හෝ ආඅහාරයට නොගන්නා ලෙස අපට තරයේ අවවාද ලැබිණි. හේතුව වශයෙන් ප්‍රකාශ වූයේ ඒ සඳහා යොදන පොහොර පිළිබඳ ප්‍රශ්නයකි.සමහර ගොවීන් ගොම පොහොර යොදන අතර බහුතරයක් ගොවීහු මේ සඳහා යොදන්නේ මින්ස් බහිස්ස්‍රවීය පොහොරය. ඇෆ්ගනිස්තානයේ ගෙවල් වල තාප්පයෙන් මෙපිට කණින ලද් වළකි. වැසිකිලිවල සියලු අපද්‍රව්‍යය මේ වලට එකතු වෙයි. ගිම්හානයට ඒව වේලුණු පසු විශාල ගෝනි මළුවල පුරවා ගෙන බූරුවන් පිටේ පටවාගෙන ගොවි පොළවල්වලට ගෙන යනු ලබයි. (ප්‍රතිචක්‍රීයකරණය...හෙ ..හෙ...)ෆරීමා ද් කීවේ එය සත්‍යයක් බවයි. ඔවුනට එහි අපුලක් නොදැනෙයි. පරම්පරා ගණනක පුරුද්ද විය යුතුය. මා මෙය පසු ගිය වසරේද පැහැදිලිවම දුටු වෙමි.
      එළවළු කොටු අතරින් පතර රතු කොඩි වලින් සලකුණු කළ බිම්කඩවල්ය.ඒ බිම් කොටස් වල තවමත් බිම් බෝම්බ ඉවත් කර නැත. සමහර තැනෙක බිම්බෝම්බ ඉවත් කරන කණ්ඩායම්,බෝම්බ ඉව කරන බල්ලන් සමග බිම්බෝම්බ ඉවත් කිරීමේ කර්යයෙහි නිරත්ව සිටිති. අපි යන එන අතර ඔවුන්ට අත් වනා ආචාර කරමු. ප්‍රධාන පාර වල ඇරෙන්නට අපට වාහන වලින් වත් අතුරු පාර වල යා නොහැක. එහි රජා කරන අතර වාරයෙහි දෙපයින් ගමන් යන්නේ නවාතැන තුළත්, කාර්යාලය තුළත් පමණි.


    යුද්ධ කාලයේ ඔවුන් කාබුල් නුවරින් පල ගිය අයුරුත්, පකිස්තානයේ අනාථ කඳවුරු වල සිටිය ආකාරයත්බොහෝ විට මා සමග පවසා ඇත. ඇයට ඉංග්‍රීසි ඉගෙන ගන්නට අවස්ථාව ලැබුණේද පකිස්තානයේ, පෙශාවර් වල සිටින අතර තුරය.
          ෆරීමාට පෙම්වතෙක් සිටියාද කියා මා දවසකැගෙන් විමසුවේ වක්‍රාකාරයෙන්ය.
   " ඇෆ්ඝන් කෙල්ලන්ට ප්‍රේම කිරීමසපුරා තහනම්කියල දන්නෙ නැද්ද? වැඩිහියො කියන කෙනෙක්ව තමයි, අපි කසාද බඳින්න ඕනි"
   "ඒක හරිම අසාධාරණනීතියක් නෙ?"
   " මිස්ටර් සතිස්, අපේ රටේ ගැහැණුන්ට සාධාරණය ඉටු කෙරෙන එකම එක දෙයක් හරි තියෙනවද? මෙහේ මුල්ලා වරුන්ට,මූල ධර්ම වාදීන්ට ඕනෑම අකැප දෙයක් කැපයි. ඒ වුණාට අපිට හැම දෙයක්ම'හරාම්'. ඒ අය ස්ත්‍රීන් තුන් හතර දෙනෙක් විවාහ කර ගන්නවා. බුර්කාව ඇතුලෙ හංග ගෙන ත්ව ඕනිතරම්ගැහැනුත් අරන් යනවා. මම මේවඔය ගොල්ලොත් එක්කකතා කරනවා කියල දැනගත්තොත්....බිස්මිල්ලාහ් ...මගෙ රස්සාවත් ඉවරයි, මාත් ඉවරයි"


    " වෙන මුස්ලිම් රටවල ඔය වගෙ තද නීති නැහැ නෙ?"
   "ඔව්, ඒක මම දන්නවා. ඒක නිසා නේ අපේ රට තවමත් මේ තරම් නොදියුණු...පාවිච්චි කරන්නෙත් වෙනම කැලැනඩරකුත් නෙ. ඔයාලගෙ රටවල් වලවගෙ මෙහෙ ගෑණු අඳුම් පැළඳුම් කළොත් මෙහේ පිරිමි අපට මොනවා කරාවිද දන්නෙ නැහැ.


   " ඔය කැමති නැද්ද ඉන්දියාව, ලංකාව වගෙ වෙන ආසියාතික රටකට ගිහ්න් නිදහසේ ජීවත් වෙන්න?"


   උදය කඩා ගෙන පැන්නේ මේ අතරය. 
 "වැඩේ නැගලයනව වගේ නේද සතිස්?"
  " මචං, නිකන් හිටපන්, අපි මේ ඔෆීෂියල් දේවල් කතා කළේ"


  "මචං, මට කොළේ වහන්න එපා, හැබැයි, පුතෝ....උඹ් සිරිසඟබෝ වුනොත් මටයි මිනිය ගෙනි යන්න වෙන්නෙ. ඒකත මතක තියා ගනින්. කෙල්ලගෙන් අහපං, අයියලා, මස්සිනාල එහෙම ඉන්නවද කියලා. මෙහෙ මිනී පෙට්ටිත් නැහැ. මතකයි නේද අර ප්‍රංශ එන්.ජී.ඕ. කෙල්ලට වෙච්ච් දේ.ලවක් ඕනිම නම් ඉන්ටනැෂනල් එකක් දා ගනින් ටිකක් මොළේ කලප්නා කරල වැඩ කරපන්. ."


"මොනවද් මිස්ටර් උදය කියන්නෙ?" සිංහල තේරුම් ගත නොහැකිව ෆරීම අන්ද මන්දව ඉංග්‍රීසියෙන් විමසයි.
   " නැ හැ,මේ ..චන්ද වැඩ වලට ප්‍ර\ශෙනුත් නිරීක්ෂණ කන්ඩායමක් එනවලු"
       ප්‍රංශ ජාතික තරුණියක් අප මෙහි පැමිණ දෙවැනි සතියේදී මරා දැමූ පුවත මට අමතක වූවා නොවේ. ඇය ඇෆ්ගන් ජාතික තරුණයෙකු සමග ප්‍රේමයක පැටලී ඇත. ඒ වන විඅත් ඔහු විවාහ ගිවිස ගෙන සිටි අයෙකි. සුරූපී ප්‍රංශ යුවතිය ගේ ප්‍රෙමයද ඔහුට නැතිවම බැරි විය. විවාහ ගිවිස ගත් තරුණියගෙ සහෝදරයාට මේ පුවත ආරංචි වන්නට වැඩි කලක් ගියේ නැත. 
   සුදු තරුණිය ගේ ගමන් බිමන් සෑකිල්ලෙන් බල්ල සිටි ඇෆ්ඝන් යුවතියගේ සොහොයුර, සුහු තරුණිය උදයේ කාර්යලයට යන වේලවක් බලා, අතර මගදී වාහනය නවතා,රියෙහි දොර ඇර ඇයට වෙඩි තබා පැන ගියේය. සුදු තරුණිය එතැනම මිය ගියාය. 
               ' ප්‍රංශ තරුණියක් නාඳුනන තුවක්කු කරුවකු ගේ වෙඩි පහරින් මිය යයි' කිය සැලවිණි. සිද්ධියේ සුළ මුල හෙලි වූයේ පසුවය. නඩුත් හාමුදුරුව්න්ගේය. බඩුත් හාමුදුරුවන්ගේය. 


    ප්‍රේමය පසුපස එක එල්ලේ දිව ගිය සිතුවිලි සහ සිත සියල්ල එක සැණින් නතර වූවාසේය. මුදුන් වන රාම්ලාන් සඳේ සුන්දරත්වය විඳගන්නට අපට වරම් නැතිද?එළඹෙන රාම්ලාන් උපවාසයට ෆරීමා සමග උපවාසයේ යෙදෙන්නට මා සිතූවේ නිරාහාරව සිට එම අත් දැකීම විඳගන්නටය. ඉස්ලාම් ධර්මය වැළඳ ගන්නට නොව ඒ උපවාසයේ අරුත ඉතා ගැඹුරු බව මට වැටහුනු නිසාය.


" මිස්ටර් සතිස්ට ශ්‍රී ලංකාව මතක් වුණාද?"
" ම්...ම්....ඔව්,අපේ රටෙත් ඉන්නවා මුස්ලිම් ජාතිකයො,ඒත් ඒ අය නම් මෙහෙ අය වගෙ පටු විදිහට හිතන්නෙ නැහැ. අපිත් එක්ක හරිම හිතවත්. මගෙ හොඳම යාලුවො දෙන්නෙක් ඉන්නවා. හරිම පුළුල් විදිහට හිතන අය. අපේ රටේ මුස්ලිම්, සිංහල විවාහ පවා අනන්ත වත් සිදු වෙනවා. කිස්ම භේදයක් නැහැ. කොටින්ම මගෙ ඇවැස්ස නෑනෙකුයි, ඒ වගෙම මහප්පගෙ පුතයි දෙන්නම බැඳල ඉන්නෙ මුස්ලිම් පවුල් වලින්. කාගෙ වත් භේදයක් නැහැ."


   " මෙහෙ අයගෙ ඔලු ගෙඩි සුද්ධ කරන්න තව අවුරුදුසියයක් වත් යාවි"
   " ෆරීම,ඇයිඔයා වගෙ හුඟ දෙනෙක් හිතන්නෙ නැත්තෙ?"


   තලේබාන් කාරයො මේ අයව බය කරලා තියෙන්නෙ, මිස්ටර් සතිස්. සම්පූර්ණයෙන්ම බ්‍රේන් වොෂ් කරලා. ශුද්ධ වූ කුරානය ඒ ඒ අයගෙ වාසියට හරියන විදිහට සංස්කරණය කරලා. අපේ රටේ සාක්ෂරතාවය හරිම අඩුයි නෙ. ඒකයි උන් අපට ඉස්කෝලෙ යන්න තහනම් කළේ. රස්සවල් කරන්න තහනම් කළේ.


(තව කොටසක් හෙට)

0 ක් අදහස් දක්වලා.

Wednesday, April 21, 2010

" ගමේ වැල ගමේ කපුටන්ට"

Wednesday, April 21, 2010


                     දිය වී යන හිම තට්ටු මතින් ලා කොළ පැහැයෙන් ලදළු, ලපළු හෙමිහිට තාලයකට හිස ඔසවනු පෙනෙයි. හිරු එළිය විඳගන්නට හෝ හිරු එලියෙන් උණුසුම්වන්නට හෝ කවුරුන් තුළත් ඇත්තේ දැඩි ආසාවකි. එහෙත් ගැහැණුන්ට එබඳු සිඟිති ආසාවක් වත් මුදුන් පමුණුවා ගන්නට ඉඩක් නැති දේශයක් මෙලොව පවතී යයි කිව හොත් ඔබ මා හා එකඟ නොවනු ඇත.
         තවමත් සීතල දැරිය නොහැකි තරමට තදබලව පවතින හේමන්තයේ අවසානය වුවද උණුසුම් කබායක් නොමැතිව ගෙයින් පිටතට යා නොහැක. කෝපි කෝප්පයෙන් ඉහළට විහිදෙන උණුසුම් වාෂ්ප වලින් දෑත් උණුසුම්කරගෙන මම කබායට සිරුරේ සීතල බාර කළෙමි. නොබෝ වේලාවකින් කාර්යාලයීය රථය ඇවිත් අප කැටුව යනු ඇත.
              
                නවාතැන පුරහම උදේ හතත්, හත හමාරත් අතර ඇත්තේ මහත් කලබැගෑනියකි. උණු පැණින් සැනහෙන්නට, ඇඳුම් මදින්නට, හීලෙන් සප්පායම් වෙන්නට එහෙ මෙහෙ දුවන නවාතැන්කරුවන් හත් අට දෙනා අතර මා ද එක් අයෙකි. කොතරම් කලබල කාරී වුවත් එහෙ මෙහෙ දුවන අතර සුබ උදාසනක් කියා සුබ පතන්නට හා එකිනෙකාගේ සුව දුක් විමසන්නටද කිසිවෙකුත් අමතක නොකරති. සාමාන්‍යයෙන් දොඩන ඉංග්‍රීසි බස වෙනුවට බොහෝ දෙනෙක් මෙරටේ කතා කෙරෙන දාරි බස යොදා ගන්නේ විනෝදයක් ද දැනුමක් ද ලබ ගනු රිසියෙනි.


  "ෂොබාහිර්!"  (සුබ උදෑසනක්!)


  "චුතුරාස්ති?" (කොහොමද?)


  " ෂුම්මා කුබ් අස්ත්?" (ඔබ හොඳින්ද?)


        'ෂුම්මා' යනු ඔබයි. එම භාෂාවේ සිත් ගන්නා සුළු බවක් ඇතැයි මට සිතේ. එනිසාම පොත් කිහිපයක් රැගෙන් බස ඉගෙන ගැනීම අගනේ යැයි මට සිතිණි. 
  " අපහසු දේවල් ෆරීමා ගෙන් අසා දැන ගන්නට ද පිළිවන. ෆරීමා මගේ පරිවර්ථිකාව ලෙස සේවය කරන ඇෆ්ගන් යුවතියයි.


  "ගයිස්, වෙහිකල් හෑස් කම්." 


             අප්‍රිකානු ජාතික ඔමාර් බෙරිහන් දෙයි. ඔහු මගේ කාමරයේ සිටින අනෙක් සගයාය. ෆරීමා පිළිබඳ සිතුවිලි මොහොතකට සිත් බඳුනට දමා අගුළු ලා වාහනයේ ඉදිරි අසුනට ගොඩ වූයෙමි. ලොකු කමකට නොව ඔමාර්ගේ ඉතාලි ජාතික කෙලි පොඩ්ඩට ඔහු ළඟින්ම ගෑවි ගෑවී ඉන්නට ඉඩ කඩ සලසන අරමුණින් යුතුවය. පැමිණ මසක් ගත වන්නටත් පෙර ඔමාර්ට සඳ පෑයුවේය. එලීනා ඔහුගේ සඳ පමණක් නොව් හිරු, තරු, මල් සහ මුළු ලොවම එලීනා විය. එහෙත් මගේ සඳ තවමත් අමාවක දා සේය. කෙදිනක කලා සොළොස සපුරා සිනා සෙනු ඇත්දැයි සිතිය නොහැක.
        වාහනය වළ ගොඩැලි සහිත වීදි දිගේ ඉදිරියට ඇදෙයි. මග දෙපස කියන්නට තරම් නගර වර්ණනාවක් නොමැත. වසර විසිතුනකට වැඩි කාලයක් අඛන්ඩව කෙරුණු යුද්ධවල අනිටු ප්‍රතිඵලයන් වූ සුන්බුන් සහ දුහුවිල්ල පමණක් කාබුල් නුවර වීදි අලංකරණයෙක් යෙදෙන්නට වෙර දරයි.වෙනත් රටෙක අග නුවරෙක නම් නේක වර්ණ සළු පිළියෙන් සැරසී හැඩ වැඩ වූ ලඳුන් විඩාපත් අපගේ නෙත් පුරා සිහිල් අඳුන් තවරනු ඇත. එහෙත් කාබුල් නුවර ගෝනි බිල්ලන් සේ බුර්කා තුළට පිවිසී ඇවිදින ලඳුන් මිස නෙත සිත සනහා රුසිරු වතක් නිකමට වීදි දෙබෑකර පායන්නේ නැත.


" සතිස්, මොකද? ෆරීමා ගැන හීන දකිනවද?


ඔමාර් නැවත නිහඬතාවය බිඳියි.


 "ප්ලීස්, ඩෝන්ට්"


          මම ඔහුට අනතුරු ඇඟ වූයේ රියැදුරාට මදක් ඉංග්‍රීසි භාෂාව තෙරුම්ගත හැකි නි ය. මම ඒ බව ඇසකීන් ගි මරා කිවෙමි. විහිළු කටින් කට ගිය හොත් ෆරීමා රැකියාවට පැමිණීමද නතර කරන්නට තරම් සමහර ඇෆ්ගන් පිරිමි අනතුරු දායකය.මට සිහි වන්නේ අපේ ගමේ රටේ පවතින කට වහරකි.
" ගමේ වැල ගමේ කපුටන්ට"
  ඇෆ්ගන් ජාතිකයන් එසේ සිතීමේ වරදක් නැතැයි මට විටෙක සිතේ.
   ෆරීමා කාර්යාලයට පැමිණෙන්නේ ද බුර්කාවේ සිර වීගෙනය. කාර්යාල ගේට්ටුවෙන් ඇතුලට පිවිසෙන ඇය  ආරක්ෂක භටයන්ට වත් සිය මුහුණ නොපෙන්වයි. ඔවුහූ ඇගේ හැඳුනුම් පත බලා ඇයට ගේට්ටුව විවර කරති. බුර්කාවේ දැල් අතරින් පෙනෙන තෙක්මායිමේ දෑස රඳවමින් එන ඇය කාර්යාලයට පිවිසී බුර්කාව ඉවත් කරයි. 
  කාල වර්ණ මේ කුළකින් මිදුණු පූර්ණිමා සඳ ගැන මට කවියක් ලියන්නට සිතෙයි. සුදෝ සුදු හිම සේම මිදී තිබුණු මගේ කවි සිත අසල ෆරීමා සිනහ සලන්නේද වතුසුද්ද මලක් සේය.


" ගයිස්, වෙහිකල්ස් ආ රෙඩී"
   වාහන සපයන මැක්ස් බෙරි හන් දෙයි. ඔහුගේ බෙරිහන් දීම මට අමරදේවයන්ගේ සුගායනයක් තරමටම කර්ණ රසායන බවක් ගෙන දෙයි.ඒ අද අපට මට රාජකාරි නියමිත නව පළාත කාර්යාලයට යන්නට අවස්ථාව සැලසෙන නිසාය. තනිවම නොව ඇය සමගය.
      කාබුල් වලට අයත් ලෝගාර් පළාතට ඇය හැම දාමත් මා සමග යනු ඇත. ඇය පිස හමන සුළං කැරලි මගෙ සිරුරද සිප වැළඳ හමා යනු ඇත.
  මෙය තවත් එක් බොළඳ පෙම්කතාවක් සේ සිත බැහැර නොකරනු මැනවි. මගේ සිත ප්‍රේමයෙන් උන්මාද වී ඇත්ද? එසේත් නැත්නම්.....ඇය වටා ඇති කටු කොහොල් ලොවෙන් ඇයව මුදා ගෙන නිදහස් ලොවක් ඇයට පෙන්වන්නට මා තුළ පවතින අරමුනද? ඇයව බැඳ දමා ඇති සංස්කෘතික රැහැන් පටවල් සිඳ බිඳ දමා බුර්කාවෙන් එ ලොව ඇයට පෙන්වන්නට මට අවකාශ් ලැබෙනු ඇත්ද?
           මම ඉන්දියාවේ රාජේශ් සහ පිලිපීනයේ ලුවී සමග ලෝගාර් පළාත බලා යෑම සඳහා රියේ පසු පස අසුනට ගොඩ වූයෙමි. ෆරීමාට ඉදිරි අසුනට ගොඩ වෙන්නට යයිමා කීවේ ඇෆ්ගන් ගැහැණුන්ට පිටස්තර පිරිමින් සමග එකට වාඩි වීම තහනම් නිසාය. තමාගේ ස්වාමියා හෝ සහෝදරයා සමග වුව එකට, එක පෙළට වාඩිවෙන්නේ එහෙමත් කිහිප දෙනෙක් පමණි. එනිසාම නගරය පුරා දුවන කහ පාට ටැක්සි වල පසුපස 'ඩිකියේ' සිර වී යන ගැහැණුන් මට පෙනෙන්නේ සිර කාරියන් සේ මය.
                 ඇය මා සිටින වාහනයේ සිටීම වුවත් එනිස සිතට අපූරු ආශ්වාදයක් ගෙන දෙයි.  මුහුණ නොපෙණුනද ඇයගේ පිය වදන් අසන්නට ලැබීම කොතරම් සහනයක්ද? ගමනට පැය දෙක තුනක් ගත වුවද ගමන් වෙහෙස නොදැනෙනු ඇත. 


       ' සිත් මල් යායේ සිතුවිලි සමනල් රෑන් සරයි
         වතුසුදු සුවඳේ දැවටෙන පෙම් බස් ඔමරි කරයි' 


       නිතර අසන්නට, දකින්නට  ලබෙන බිම් බෝම්බ, රොකට් ප්‍රහාර සිතින් ඉගිලී ඉවත යද්දී ෆරිමා බුර්කාවේ දැල් අතරින් මා දෙස බලයි.ඇගේ නොපෙනෙන දෑස් කියවා මා පදරුත් පසිඳලන්නේ කෙළෙසද?


  "ෆරීමා ජාන්, කරුණකරල බැහැලා අනික් වාහනයට නගින්න. ඒකෙ ඔක්කොම නැෂනල් ස්ටාෆ් යන්නෙ"
  මැක්ස් 'දුෂ්ටයා' චරිතය රඟ පාන්නට හදන්නේ කාගේ උපදෙස් මතද?
         ෆරීමා කිසිදු වදනක් නොදොඩා මැක්ස්ට කීකරු වී රියෙන් ළියට පිවිසියාය. මගේ සඳ අනෙක් වාහනයට පිටත් කර යැව් මැක්ස් ඇසක් ඉඟි මරමින් මදෙස බැලුවේය. ෆරීමා නැවත හැරී බැලුවේ සිත අකැමත්ත මට කියන්නට විය යුතුය. මගේ සිතින් පටන් ගත් 
අකුණු සැර මුළු ගත පුරාම කොටා ගෙන යන්නට විය.


" මිස්ටර් සතිස්, ෂැල් අයි ටේක් ද ඩොක්‍යුමන්ට්ස් විත් මී?"               


     " නෝ, ප්‍රොබ්ලම්.......ෆරීමා"  


  ඇය යන බව දැන්වීමට සහ මගෙන් සමු ගැනීමට එසේ ඇසුවා දැයි මට සිතිණි. 
   ෆරීමා අනෙක් වාහනයට ගියත් තව පැය එක හමාරකින් මගේම කාර්යලයෙහි, මගේම මේසයෙහි මා අසල හිඳගෙන  මගේම පරිවර්ථිකාව වී  මා සමග දොඩමළු වනු ඇත. මමත්වය හොඳ නැති වුවත් මට ඉන් මිදෙන්නට නොහැකිය.


හෙට තවත් කොටසක්.....

1 ක් අදහස් දක්වලා.

Sunday, April 18, 2010

කැලේ නීතිය (ii)

Sunday, April 18, 2010
                 
                HASIBA

                ගැහැණු කම නම් මහී කාන්තාව සේ සියලු දුක්ඛ දෝමනස්සයන් ඉවසා දරා සිටීමය.අසීසා සහ උරන්ගා මේ සියලු දේ ඉවසා වදාරමින් නම් තැබීමේ සාදයට ගියේ දිළිසෙන වස්ත්‍රාභරණයෙන් සැරසී සියලු හැඩ වැඩ වලින්ද ඔප මට්ටම් වෙමින්ය.
     එසේ ලබන තෘප්තියක් හැරෙන්නට පොතක් කියවා, චිත්‍රපටියක් බලා රස විඳින්නට මේ දුෂ්කර ගම්මානයෙ අවකාශයක් නැත. අසීසාට බොහෝ විට මතක් වන්නේ තමා වැඩිවිය පැමිණීමට පෙර කෙලි කොල්ලන් හා නිදැල්ලේ දුව පැන දැඟලූ සුන්දර ළමා වියයි. වැඩිහිටිබවත් සමගම හිත මිතුර සමාගම් තහංචි විය. පිරිමි ළමයින් හා ඇසුර තහනම් විය. 
                 කිසියම් අත්‍යාවශ්‍යය කාරණයකට ගෙදරින් පිටව යන්නේ නම් හිස සිට දෙපතුල් දක්වාම බුර්කාවෙන් සිරුර වසාගෙන යා යුතු විය. මේ සියලු කරුණු කාරණා නිසාවෙන් ළමා වියේදී හදවත සසල කළ කාලිද්ගෙ ප්‍රිය සමාගම අහිමි වීම ඇයට දැරිය නොහැකි වේදනාවක් විය. මේ වේදනා, ශෝක පරිදේවයන් ගෙන් මිදෙන්නට ඇයට තිබුණු එකම සහනය උරන්ගාට සියල්ල කැටි කොට ලිහා දැමීම පමණි.
             කාලිද්ගේ සිත් අරණ මතද මෙබඳුම හැඟුම් රාශියක් විකසිත වෙමින්, මුකුළිත වෙමින් ජනනය කළ අපූරු මනෝ භාවයන් යොවුන් ආදරය දැයි නිර්වචනය කර ගන්නට ඔහුද අසමත් විය. 
  නම් තැබීමේ උත්සවය එළඹුනේ මේ අතරතුර කාලයේදීය. සාදය සඳහා වෙන් කළ කාමරයට ඇතුළු විය හැක්කේ ස්ත්‍රීන්ට පමණය. මේ කාමරයට පිවිසුණු සැණින් මේ බවලතුන් කරන්නේ බුර්කාවන් පමණක් නොව හිස බැඳි සිනිඳු සළු වන පර්දාවන් පවා උනා දැමීමයි. ඉන් අනතුරුව ඔවුන් සිත් සේ රඟති. ගයති. පිරිමින් ගෙන් තොර මේ සාදයට සර්පිනාව හා ඩොලැක්කය වාදනය කරමින් සංගීතය සපයන්නට කොලු ගැටයන් දෙදෙනෙකු සහභාගි කරවා ගනිති.
                අසීසාගෙ කුඩම්මාගේ පුතාගෙ නම් තැබීමේ මගුලටද කොලු ගැටයන් දෙදෙනෙක් ඒ වන විටත් පැමිණ සිටියහ. අසීසා වත්, උරන්ගා වත් ඔවුන් දෙස නිකමට හෝ නොබැලුවේ වියපත් ගැහැණුන්ගේ උකුසු ඇස් වලින් බේරී සිටීම ඉතා දුෂ්කර කාර්යයක් වූ බැවිනි.
      යෙහෙළියන් දෙදෙනා වර්ණවත් ඇඳුම් වලින් සැරසී තොල් නිය ආල්ප තවරා සාද ශාලාවට අවේ ලැජ්ජාවෙන් බිමට යොමා ගත් නෙත් වලිනි. ශාලාව කීවාට එය දිග කාමරයකි. එහි බඩු මුට්ටු සියල්ල ඉවත් කර මෙට්ට දමා තිබිණි.කාමරය වටේ බිත්ති වලට හේත්තුවී ස්ත්‍රීහු බිම වාඩි වී වෙති. සමහරෙකුගේ උකුළු තල මත කිරි දරුවන්ය. සාදය සරු වන විට," නොදනිත් දරුවන් ඇකයෙන් වැටුණා" යන්නද සැබැ වනු ඇත. අසීසාද,උරන්ගාද සමග පැමිණ ඉඩ කඩ තිබෙන තැනක් සොයමින් දැස  යැව්වාය.
          සර්පිනාවේ යතුරු පුවරුවට ඉහලින් වූ ජටාවක් බැඳි මුහුණ ඇයට හුරු පුරුදුය. අසිසාගෙ හද ගැස්ම ඩොලැක්කයේ හඬ මෙන් වැයෙද්දී ඇය උරන්ගාගෙ අත කෙනිත්තුවාය.
" මොකද මේ?"
" බලන්නකො කවුද අර සර්පිනාව ගහන්නෙ කියල."
"කවුද? කොතනද?"
" අර ...අර..සන්ගීත කාරයො දෙන්න."
" ආ..ඔව් නේන්නම්...කාලිද් ජාන් නේද?"
" හ්ම්, දැන් හරි හැඩයි නේද?"
" ම්..ම්...හීන කුමාරය නේ!?
''කට,කට...පුන්චම්මට අහුණොත් කෝටු මස් තමයි මගෙ ඉතුරු වෙන්නෙ"
   දැරියන්ගේ ඇස් තමන් වෙතට යොමුව ඇති බව විදුලි සැරයකින් බඳු අමුතු බලවේගයකින් දැණුනා සේ කාලිද් ද සර්පිනාවෙන් ගලවාගත් දෑස යුවතියන් වෙතම අලවා ගෙන සිටින්නට විය. අසිසාගෙ දසුනින් කෙසේ නම් දෑස ගලවා ඉවත් කරගන්නද?
     අසීසාගේ ගත පුරා අකුණු සැර වැදී ගෙන යන්නේ දිගින් දිගටය. ඇය හදවත මත දකුණු අත තබා 'සලාම්' කියමින් ආචාර කලාය. කාලිද් ද පෙරලා සලාම් කීවේය. ආචාර සමාචාර වචන දෙකකට සීමා වුවද දෑස් යුග දිගු කතාවකට මුල පුරනු දෙදෙනාටම දැණිනි. කාලිද්ට සිය දෙනෙත් අදහාගන්නට නොහැකි තරමට සිත් ඇදගන්න අයුරින් යෞව්වනය වැළඳ ගෙන සිටියාය. 
                නීල වර්ණ දෑස් වල ඇරියුමක් සටහන් වෙමින් සසල වන හැටි ඔහුගේ තුන් සිතම කම්පනය කරනු වැනිය. වත්සුණු තැවරූ දෙකොපුල් ගිම්හානයට රත් පැහැ ගන්වුණු ඇපල් ගෙඩියක් සේ රත් පැහැ ගැන් වෙයි. වැඩිහිටි ගැහැණුන්ගේ දැස් වල සවි කළ ඇන්ටෙනා එහෙ මෙහෙ කර කැවෙද්දී කාලිද් සිය ඇස් සර්පිනාවේ කලු,සුදු යතුරු වෙතට යොමු කළේ හිත පුරා පිරෙන සෙනෙහස වටා වැටක් ඉදි කරමින්ය.
   සාදය ඇරඹුනේ ජනප්‍රිය දේශප්‍රේමී ගීයක අනුවාදනයෙනි.සියල්ලෝම වාදනය අනුව යමින් ගයන්නට වූහ.

    " ඇෆ්ගනිස්තාන් සලාම්
      මෙ කාබුල් ජාන් සලාම්"

                   ගීත තුන හතරකට පසුව බොහොමයක් ස්ත්‍රීහු රඟන්නට වූහ. අසිසාගෙ මවද හිස වූ පර්දාව ගලවා දමා නැටුමට එකතු වූවාය. ජීවිතයේ හැම දවසක්ම බුර්කා සිර කූඩුවෙහි සිර වීගෙන සියලු හැඟීම් යටපත් කර ගෙන සිටින මේ ගැහැණුන්ට සීමාවන් සහිතව වුවද සිත් පුරා විනෝද විය හැක්කේ මෙබඳු සාද වලදී පමණි.බොහෝ යුවතියෝ සිය අත් බෑග වලින් කුඩා කණ්ණාඩි ඉවතට ගෙන, අනෙකුන්ගෙන් මුවා වී ටිකෙන් ටිකට තොල් සායම් තවරති. ඇස් වල අඳුන් තවරා ගනිති. හිසකෙස් සකස් කර ගනිති. 
                    අසීසා මේ කිසිවකුත් නොකර අනෙකුන්ගේ උකුසු ඇස් වලින් මිදෙන්නට හැකි හැම මොහොතකම කාලිද් වෙත අනිමිස ලෝචනයකි. 
                  තව අවුරුදු තුන හතරකින් කාලිද් හා විවාහ වී ඔහුගේ සිහින විමානයෙහි අබිසෙස් ලබන්නට ඇත්නම් යයි අසීසාට සිතිණි. අසීසා  සාදය නිමා වූවිට මව සමග උරන්ගාගෙ ගෙදර ගියේ උරන්ගාගෙ මව අසනීපව සිටි නිසාය. ලෙඩා බලා ගෙදරට පැමිනෙද්දී පවා අසීසා සිතුවේ කාලිද්ට ඇවිත් තමා පිළිබඳව කතා කරන්නට පියා සමග දිනයක් යොදා ගන්නට කියන්නටය.
                         සිත තුළ කැටි ගැසුණු නැවුම් අපේක්ෂා සහ සිහිනවලට පොපියන්නට දෙමින් ඇය සිය මැටි ගෙදරට ඇතුල් වන්නට යද්දී දොරක තිබුණු විශාල පිරිමි පාවහන් යුවලක් දුටුවාය. එය සිය පියාගේ පාවහන් යුවලට අමතරව එතැනට එකතු වූවකි.
          බුර්කාවේ දැල තුළින් ඇය සුදු දිගු රවුලකින් යුතු අවුරුදු හැටක පමණ පුද්ගලයකු තත්ත සමග කතවේ යෙදී සිටිනු දුටුවාය. ඇය සිතුවේ ඔහු බැටළුවන් මිළදී ගන්නට පැමිණියෙකු ලෙසටය.
  අමුතතා නිවසින් පිටවී ගිය පසු තාත්තා අම්මාට කී දේවල් කිසිවක් අසීසාට පැහැදිලිව නෑසිණි. එහෙත් රෑ කෑමට හිඳගත් පසු මුල්ලගේ පැමිණීමේ සුලමුල හෙළිදරව් විය.
  "ලතීෆා, අපේ අසීසා හරිම වාසනාවන්ත කෙල්ල. අපේ දුව මුල්ලාගෙ හතරවැනි භාර්යාව වෙන්නයි යන්නෙ."

" මොනවා? අර සීයා වගෙ මිනිහට මාව බන්දලා දෙන්නද යන්නෙ?" ඇයට සිය සිතුවිලි පාලනය කර ගත නොහැකි විය.
   " උඹ ට ප්‍රශ්න අහන්න අයිතියක් නැහැ. මුල්ලා අද මට රුපියල්  ලක්ෂ දෙකක් ගෙනැත් දුන්න. ඉතුරු ලක්ෂෙ බඳින ඩවසට මට ලැබෙයි. උඹලව අපි හදන්නෙ විකුණන්න කියල උඹ දන්නෙ නැද්ද? අපි හදන බැටළුවන්ගෙයි, උඹලගෙයි කිසිම වෙනසක් නැහැ. පුංචි වෙනසකට තියෙන්නෙ විකුණුවාට පස්සෙ බැටළුවන්ව මසට මරණවා. උඹලා අලුත් ජිවිතයක් ලබනව." 
  "අනේ..!අම්මේ, මට නම් බෑ ඒ මිනිහත් එක්ක යන්න"
   "කට,කට..තාත්තට ඉහලින් යන්න මේ ගෙදර කාටවත්ම බැහැ." අම්මගේ වචනද වෙනදාට වඩා සැරය.
  " උඹලා කරන්න ඕනි අපි කියන දේවල්. අනික, හතර වැනි ගෑනි වෙන එකමොන තරම් නම්බුවක්ද? ආයෙම වෙන ගෑනියෙක් ගෙනෙන්නෙ නැහැ නෙ. මිනිහගෙ සේරම වස්තුව උඹට."
  " හේ......හේ.......උඹට තමයි සෙරෝම සම්පත්.හරිම වාසනාවන්ති"
   ගඳ ගහන මුල්ලා කෙනෙකුගේ හතර වැනි බිරිඳ වීමෙහි තිබෙන වාසනාව කුමක්ද? කාලිද්ගේ අත ගෙන සොඳුරු ලොවකට පියමන් කරන්නට දුටු සිහින දෙදරා යන්නට ඉඩ දිය යුතුද? අම්මට සහ තාත්තාටත්, අනෙක් පුන්චි අම්මලාටත් මෙය සුබ දායක ආරංචියක් වූයේ තමන්ව විකිනීමෙන්  ගෙදරට ලැබෙන වස්තු කන්දරාව කෙරෙහි ඇති තණ්හාවය. අසීසා දස අතේ කල්පනා කළේ උරන්ගාට මෙය කියා පිළියමක් සොයන්නට සහය ලබා ගත යුතු බවයි.
  පහුවදා පාන්දරම ඇය උරන්ගා හමු වී සියල්ල පැහැදිලි කළේ වෛද්‍යවරයෙකුට සියලු රෝග ලක්ෂණ පවසන රෝගියෙකු පරිද්දෙනි. බොහෝ වේලා කෙරුණු සතර කන් මන්ත්‍රණයේ අවසාන නිගමනය වූයේ කාලිද්ව කෙසේ හෝ හමුවී තාත්තාව හමුවී විවාහය ගැන කතා කරගන්න ලෙසට ඉල්ලා සිටීමටයි. 

" ඉතින් කොහේදිද අපි මුණ ගැහෙන්නෙ?" 
     අසීසාගෙ නොසන්සුන් සිතට සුදුසු තැනක් කල්පනා වූයේම නැත. උරන්ගා කීවේ බැටලුවන් දක්කා ගෙන යන කඳු බෑවුමෙ සෙල්ලම් කළගල්පොත්ත වඩාත්ම සුදුසු බවයි. ගල් පොත්ත වටේටම මූකලානකි.
" කවුරුවත් දක්කොත්?" අසිසාගේ ප්‍රශ්නය ඒ තරම් බැරෑරුම් එකක් සේ උරන්ගාට නොපෙණිනි. 
" කවුද ඔය පැත්තෙ එන්නෙ? මේ දවස් වල එහා කන්දට නෙ බැටලුවො අරන් යන්නෙ. මම අපේ මල්ලිට කියන්නම් හවසට නමාස් ඉවර වෙලා කාලිද්ට එතැනට එන්න කියන්න කියලා."

    නියමිත වෙලාවට කාලිද් එතැනට අවේය. අසීසාද බුර්කාවට රිංගා ගෙන,  ගැහෙන සර්වාංගයෙන් සහ සිතින් යුතුව ගල් පොත්තට සේන්දු විය.
" මොකද, අසිසා ජාන්, හදිස්සියක්ද?"
" අනේ, ඔව්...කාලිද් ජාන්, මාව අර කරීම්මුල්ලට කස්සද බන්දල ඩෙන්න හදනව අපේ තාත්තා, මම කැමති නැහැ ඒ මිනිහට. ඔයාට බැරිද ඇවිත් අපේ තාත්තගෙන් මේ ගැන අහන්න?"
" ඒ මුල්ලට ගෑණු තුන්දෙනෙක්ම ඉන්නව නේද?"
"ඒක නේන්නං. මාව හතරවෙනි ගෑනි හැටියටයි ගෙනි යන්න හදන්නෙ....අනේ! පින් සිද්ද වෙයි, මේකට මොනව හරි කරන්න."
" මම අපේ තත්තට කියන්නම් ඔයගෙ තාත්තව මුන ගැහිල මේ ගැන කතා කරන්න කියල. හෙටම මම තාත්තව එවන්නම්, ඔයා වගෙ ලස්සන කෙනෙකුව ලේලි කර ගන්න අපේ තාත්තා ගොඩක් කැමති වෙයි."
  අසීසාට ඉදිරියට පැන කාලිද්ව සිප ගන්නට සිතෙයි. ඇය ප්‍රේමය උතුරා යන සිතින් ඔහුව සිය දහස් වරක් මනසින් සිපගත්තාය.
" අසීසා, ඉක්මණට මුහුණ වහ ගන්න. ඔ‍යාගෙ ෆාතිමා නැන්දා."
" මොනවා? කෝ? විනාසයි"
"ඔව්, ඔව්..ඔයාගෙ පිටිපස්සෙන්" කාලිද්ගෙ වචන උගුරේ පැටලුණා මිස එලියට පිට වුණේ නැටහ.
" හා... මේ අපේ කාලිද් පුතා නේ? අනේ බලන්ඩකො පුතෙ, අපේ අර කලු බැටළු පටික්කි කොහේ ගියාද කියල නැහැ නෙ. මම මේ හොයන්න යන ගමන්. කවුද ඔය ඔතැන ඉඳල අර ගස් දෙබලට මුවා වුණේ?"
  බියපත් වූ අසිසා බුර්කාවත් ඔසවාගෙන දුවන්නට වූවාය. එසැවුණු බුර්කාවට යටින් අසීසාගෙ අඳුම දුටු නැන්දා කම්මුලේ අත තබාගෙන අල්ලා දෙවියන්ට පැමිණිලි කරන්නට වූවාය.
" අනේ! අල්ලා දෙවියනේ! දැන් හැදෙන ගෑණු ළමයින්ගෙ තියෙන නොසන්ඩාලකම පෙනෙනවද? තනි පන්ගලමෙ ගල් පොත්තට ඇවිත් කොල්ලෙක් එක්ක කතා කර කර ඉන්න හැටි. 
ගෑණු ළමයින්ට ඔය වැඩ 'හරාම්' කියල උඹ දන්නෙ නැද්ද මෝඩියේ? මෙහෙමත් අසික්කිත වැඩක්?"
  ෆාතිමා නැන්දා දුටුව දෙයට ඇති පදම් ලුණු ඇඹුල් එකතු කර මුලු ගම පුරහම සාර්ථකව සන්නිවේදන සිදු කළාය. නඩු ඇසීමට ගමේ 'ශුරා' සභාවට අසිසාව කැඳ වනු ලැබිණි. සභාවේ සිටින්නේ පිරිමින් පමණකි.ඔවුන් ලෝකයේ වෙනත් රටවල් සිදුවෙන කිසිවක්ම නොදත් පිරිසකි. දැන ගන්නට උවමනාවක් ද නත. 
  ඔවුන් සිතන, පතන, කටයුතු කරන, තීන්දු ගන්න ආකාරය කොතරම් වැරදි වුවද එහි දොසක් ඔවුහූ නොදකිති.විත්තියක්,පැමිණිල්ලක් යනුවෙන් දෙපාර්ශෑවයක්කැඳවා නොතිබිණි.සියල්ලන්ම කළේ අසිසාට දෝෂාරෝපනය කිරීමපමනකි. ශුද්ධවූනීති උල්ලන්ගණය කළ වරදට, එමෙන්ම පවුලේ කුලගර්වය විනාශ කිරීමේ වරදට දඬුවම් නියම විණි. කොල්ලට කස පහර හතළිහකි. කෙල්ලව පන පිටින් වළලා ගල්ගස්සමර දැමීමට ඒකමතිකව තීන්දු කෙරිණි.
  අනුන්ගේ සුබ සිද්ධිය උදෙසා නොව විපත වෙනුවෙන්ම කැස කවන ඊනියා මූලධර්ම වාදීන්ගේ දෑත් වලින් කණිනු ලැබූ වළට අසීසාව තල්ලු කරනු ලැබූවේ මුල්ල විසින්මය. 

              ඇය අසීසාම මිස මරිය මදලේනා නොවූවාය. ඇත්ත, නැත්ත, හරි වැරදි කියා දෙන්නට මොහොම්මද් නබී තුමාද නැත. පටාචාර, කිසා ගෝතමී හෝ රජ්ජුමාලාට පිහිට වූ ආකාරයෙන් පිහිට වන්නට මේ අබුද්ධස්ස කාලයෙ ගෞතම බුදු රජාණන් වහන්සේද නොවඩිනු ඇත. කට පාඩමෙන් මිස අකුරු ගලපා  ශුද්ධවූ කුරානය කියවන්නට නොදත්මේ නොමිනිස් මුල්ලගේ කැලේ නීතිය සියල්ලෝම හිස් මුදුනින් පිළි ගනිති.
  විසි එක්වැනි සියවසේ මෙබඳු ම්ලේච්ඡ මිනිස් ඝාතන සිදුවෙතැයි කිසිවෙකුට අනුමාන වශයෙන් හෝ සිතිය නොහැකි නමුදු මෙය සත්‍ය වශයෙන්ම සිදුවිණි.
   අවසන් මොහොතේත් අසීසා සිතුවේ තමන් කිසිදු වරදක් නොකලබව පමණකි. ලෝකයේ පවතින කිසියම් ආගමකින් විරුද්ධ ලින්ගිකයෙකුට ආදරය කිරීම වරදක්දැයි සිතන්නට තරම් ඇය පොත පත අසුරු කර නැත. පොත පත ඇසුරු කරන්නට සාක්ෂරතාවක්ද ඇයට නැත. අමීනාගෙ හිස මතට ගල් වරුසාවක් ඇද හැලෙන්නට  විය. පැය දෙකක් ගත වන තුරුත් අසීසා ගල්පහර කාගෙන විලාප නැගුවාය. අවසානයේ ඇයගේ හිස කඩා වැටිණි. ම්ලේච්ඡ ඝාතකයෝ ලෝකයෙ උතුම්ම කාර්යයට දායක කාරක වූවා සේ ප්‍රීති වූයේ, මරණින් පසු සැපත් වන මොක් පුරෙහිදී ඒකාන්තයෙන්ම ඔවුන්ට දිව්‍යාංගනාවන් ලැබෙනු ඇත කියාය.
         
   

10 ක් අදහස් දක්වලා.

Saturday, April 17, 2010

කැලේ නීතිය

Saturday, April 17, 2010
      මිනිය ගොඩට ගත්තේ පණ පිටින් වැළලූ වළෙන්ය. පණ පිටින් වැළලූයේ  පවුලේ කුල ගර්වය කෙළෙසූ නිසාය. කරක් පස් යට කළ පසු ගල් ගසන්නට යැයි මුල්ලා කී විට වටේ රැස්වී සිටි හැමෝම ඔහුට අවනත වූහ. ගැහැණු බුර්කා වලින් මුළු සිරුරම වසා ගෙන ඇස් දෙකට ඉදිරියෙන් වූ සිහින් දැලෙන් එල්ලය ගෙන ගල්  එල්ල කළහ. අල්ලා දෙවියන් සිටියා නම් කිසිවෙකුටත් ඇයට ගල් ගසන්නට ඉඩ නොදෙනු ඇත.
  'නුඹලාගෙන් පව් නොකළ කෙනෙක් වෙත් නම් පළමුවන ගල ගසා පල්ල" කියන්නට යේසුස් වහන්සේ ආවේ ද නැත. කැලේ නීතිය රජ වූ රටක, නීති රීති ක්‍රියාත්මක නොවන රටක, සාධාරණයක්,යුක්තියක් පසිඳලන්නට කවරෙක් නම් ඉදිරියට එනු ඇත්ද?
   ගල් ගසා මරණු ලැබූ මිණිය නව යොවුන් යුවතියක ගේය. කළ වරද භද්‍ර යව්වනයේම හුන් තවත් මානවකයෙකුට ප්‍රේම කිරීමය. රට ඇෆ්ගනිස්තානයයි. ගම, එම රටේ උතුරේ පිහිටි නූගතුන් පිරුණු නියම් ගමක්ය.
    මරා දැමුණු යුවතියගේ නම අසීසාය. උරංගා ඇගේ ඥාති සොයුරිය පණ පිටින් මෙසේ ම්ලේච්ඡව මරා දමණු බලා සිටිය නොහැකි නිසාම දෙපා වලට ඉක්මන් ගමන් යන්නට අවසර දුන්නේ නැත. එහෙත් සිය නෑනන්ඩිය යලිත් නො එන ලෙසින් ඉක්මන් ගමනක් ගොස් හමාරය.
   අසීසාගෙ මුහුණ බැලිය නොහැකි තරමට ගල්පහර වලින් විරූප වී ඇත. ලේ නොගලන්නේ කොතනින්ද කියා සිතා ගන්නට බැරිය.ඒ තරමටම මුහුණ තුවාල වී ඇත. තවත් ඒ සිත් පෙලන දර්ශනය බලා සිටිය නොහැකිව උරන්ගා බුර්කාව දෑතින් ඔසවා ගෙන දුර්ජන මුහුණු නොපෙනෙන තෙක් මානයක වූ සිය මැටි ගෙදර දක්වාම එක පිම්මේ දුවන්නට විය. ඒ හිතට ඇති පදම් හඬා වැළ පෙන්නටය. 
     " අපේ ආගමේ විදිහට අවසාන කටයුතු කරන්න අවශ්‍ය නැහැ. මේ කෙල්ල අපට කළ අවමානයට මීට වඩා වෙන දඬුවමක් නැහැ. සර්ව බලධාරී දෙවියන් වහන්සේ දන්න මේ හැතිරි කරපු පාප කර්මය මොකද්ද කියලා. තුහ්! තුහ්!" කියා කෙල ගසමින් උජාරු කම් කියන ගමේ මුල්ලාගේ බහට මුළු ගමම අවනතය. කීකරුය. නලංගුය. උරන්ගාට ඉවසිය නොහැක්කේ එයයි.
  මියගිය අසීසාගේ..නැත...මරා දමනු ලැබූ අසීසාගේ මව බුර්කාව තුළට වී මුල්ලාගේ වදන් අනුමත කළේ අසීසාගෙ පියාගෙ අනෙක් බිරියන් තුන් දෙනාද සමගින්ය. බිරියන් තුන් හතර දෙනෙකුට දරුවන් විසි තිස් දෙනෙකු සිටිනා මෙවන් පවුලකට දරුවෙකුගෙ මරණය සයුරෙන් දිය දෝතක් අහක ගියාක් මෙනි. සිත් වේදනා වන්නට කිසිදු කාරණයක් නැත.
  කුරාණයේ මුල්පිටුව වත් කියවන්නට නොදත් අමන මරි මෝඩ මුල්ලා ආගම කියවන්නේ කට පාඩමෙන්ය. ගැහැනු ළමයින්ට ඉස්කෝල තහනම්, අකුරු කරන්නට තහනම් පෙදෙසක ගැහැනු ළමයින්ට ප්‍රේමකරන්නට ඉඩ හසර දෙනු ඇතිද? උරන්ගා මේ සියල්ල හිතමින් මේවා වෙනස් කරන්නට  අල්ලා දෙවියන් නැවත උපදින්නේ නැත්තේ ඇයිද යැයි සිය දහස් වර සිතා ඇත. මුල්ලා ගිය මාසයේ සිය හතරවෙනි බිරිඳ ලෙස අවුරුදු දොළහක ගැටිස්සියක්ව කැන්දාගෙන ආවේ, ඇයගේ පියාට මුදල් හදල් සමග බැටලුවන් රංචුවක් හිලව් කරමිනි.
      අසීසා, සිය පියාගෙ පළමු බිරියගේ වැඩිමහල් දියනිය වී ඉපිද සිටියාය. කුඩා කල පියාගේ එකම හුරතලිය ඇය වුවද බිරියන් සමගම දරුවන් වැඩි වෙන විට දරු හුරතල් බැලීමක් කොයිම වෙලාවක සිදු වුණේ නැති තරම්ය. අසීසා බැටළු රංචු දක්ක ගෙන කොල්ලන් හා එක තලයට, හරි හරියට  කඳු මුදුන් වලට ඇදෙදී දොසක් කියන්නට කවුරුත් අවේ නැත. එහෙත් ඇය හඬ නගා සිනා සෙන විට, සෙල්ලමෙන් පැරදුණු කොල්ලන්ට හූ කියන විට නම් නැන්දලා සහ පුංචි අම්මලා තරවටු කළා උරන්ගාට මතකය.
   අසීසාට සහ උරන්ගාට පාසැල් යාම තහනම් විය. මල්ලිලා පමණක් කිලෝ මීටරයක් පමණ දුරින් වූ පාසැලට යති. ඔවුන්ගෙ පොත්වල පින්තූර බලන්නට හෝ ඉඩ ලැබෙන්නේ ඔවුන් ගෙදර නැති වෙලාවට පමණක්ය. 
  "උඹලා කෙල්ලො. උඹලට ඔය පොත් අල්ලන්න වත් හොඳ නැහැ. පව්. ගෑණු ජාතිය, ජරා ජාතිය. ගලේ ගහ පිය..මරා දමපිය"
  පොත් බලන්නට ගන්න උත්සාහයන් නතර වෙන්නේ ඒ ආකාරයෙනි. උරන්ගා, අසිසා මෙන් සියලු ගැහැණු දරුවන් මේ කෙණෙහිලි වලට ගොදුරු වුවත් විරෝධතා නගන්නට හෝ පිකට් කරන්නට සංවිධාන එහේ නැත. එසේ කළොත් මරණය නියතය.
         පවුලේ පිරිමි දරුවන් ගැහැණු දරුවන්ව එසේ පාච්චල් කරද්දී වැඩිහිටියන්ද ඔවුන්ට උඩ ගෙඩි දෙමින් පවතින සම්ප්‍රදායන් සහ ආකල්පයන් අනුමත කළහ. 
   අසීසාට මෙන්ම උරන්ගාටද මේ කිසිවක් අභිබවා යා නොහැක. ඒ සඳහා දැනුමක්ද නැත. තාත්තාත්, අම්මලාත් පුතුන්ගේ පැත්තේය. ඔවුන් විදි දුක්, කම් කටොලු, අතවර දැරියන්ද විඳිය යුතු යයි ඔවුහූ අදහති. වැල යන අතට මැස්ස ගහනවා මිසක ඒ තමන්ගේ උපන් කරුමය සහ උරුමය යයි සිතනවා මිසක ඉන් එහාට සිතන්නට ඔවුන්ට ඥාන ශක්තියක් නැත. අම්මලා සිතන්නේ ගැහැණුන් ඉන්නේ ගෙදර දොරෙහි වැඩ කරන්නට, දරුවන් වදන්නට සහ හදන්නට පමණක් බවයි. ඒ වගේම පිරිමින්ගෙ ගුටි බැට වලට ලක් වීම, ඔවුන්ට දාස මෙහෙවර කිරීම තමන් ලබා උපන් දෙයක් බවත් ඔවුහූ පිළිගත්හ. මේවාට විරුද්ධව කතා කිරීම දෙවියන්ට එරෙහි වන තරමේ පාපයක් ලෙසද ඔවුන්ට කියා දී තිබිණි. 
    පිරිමින්ගේ කිසිදු තීන්දුවකට එරෙහි වීමට ගැහැණුන්ට නොහැකිය. අසීසාත්, උරන්ගාත් වයසින් මෝරද්දී මේවා ගැන රහසේ කතා කළද ඉන් එහාට කිසිවක් කරන්නට හැකියාවක් ඔවුන් තුළ වූයේ නැත.
   වැඩිවිය පැමිණීමත් සමගම අසීසා සහ උරන්ගාට බැටුළුවන්ව ගෙනයාම සපුරා තහනම් වූයේ සම්ප්‍රදායන් අනුවය. බැටළුවන් උලා කද්දී කොලු කෙල්ලන් සෙල්ලමේ යෙදෙති. දැන් ඒ සියල්ල යව්වනය විසින් උදුරා ඉවත වීසි කර ඇත. ළමා විය නොඉක්මුණා නම් හොඳ යයි සිතෙන්නේ එවිටය.
    අසීසාට තමන් සමග එක රෑනෙ කෙළි දළෙහි යෙදුණු කොලු කෙල්ලන්ව මතක් වෙයි. එළු, බැටළු, ගවයන් නිදැල්ලේ තන උලා කද්දී වසන්ත කාල සුන්දර කළ කෙලි සෙල්ලම් සිත කොනිත්තද්දී උරන්ගවත් ඇදගෙන  කඳු වළල්ලට දුවන්නට සිතෙන සිත අසීසා රෙදි කැබැල්ලක ඔතා වහළට විසි කරයි. එය නැවත තමන් ළඟට නො එනවා නම් හොඳය.
    අසීසාගෙ පියාගෙ තුන්වෙනි බිරිඳට කුළුඳුල් පුතා ලැබුණ විට අසීසාට මහත් සතුටක් දැනිනි. ඒ දවස් හයකින් එලැඹෙන නම්තැබීමේ උත්සවයට සතුටු විය හැකි නිසාය. ඒ උත්සවයට සහභාගි විය හැක්කේ කාන්තා පක්ෂයට පමණක් වුවද එදාට නටන්නත්, ගයන්නත් ලැබෙන අවස්ථාවෙන් තරුනියන් උපරිම ප්‍රයෝජන ගනිති. ඉනුත් සින්දුවක් කියා, චුට්ටක් නටා අහින්සක සතුටක් ලබනව මිස ඉන් ඔබ්බට යෑමක් කිසි විටෙකත් සැබැ නොවන සිහින පමනකි.  . . . .
(ඉතිරි කොටස මග...)

11 ක් අදහස් දක්වලා.