Monday, October 15, 2012

හේමන්ත උණුසුම

Monday, October 15, 2012
                 ඇෆ්ගනිස්තානය හිතෙන් අහකට දාන්නම බැරි රටක්. එහෙ ජීවත්වෙද්දි රෑට වහළ උඩින් උරුවම් බාන සද්දෙන් යන රොකට් වෙඩි හඬවල්, බෝම්බ වගෙම  වෙඩි හඬවල් මොන තරම් බිහිසුණු වුණත් එහෙ දරුවන්ගෙ, අහිංසක මිනිසුන්ගෙ අසරණ කම මතක් වෙද්දි ආපහු යන්න හිතෙනවා. දැන් එහෙට සීත කාලය පටන් ගෙන ඇති. හිමපතනයන් සිදු වෙන්නෙ නම් උඳුවප් මාසෙට. මේ වෙන කොට සයිප්‍රස් ගස් ඇරෙන්න අනෙක් හැම ගසක්ම කොළ බිමට හළලා සැහැල්ලුවෙන් ඉන්නවා ඇති. හිම වැටෙද්දි ගස් වල අතු පතර පීදෙන්නෙ හිම දලු, පිපෙන්නෙ හිම මල්. ඒවායින් සුවඳ නොදැණුනත්, නොවිහිදුණත් සීතල නම් දැනෙනවා අපූරුවට.
    පරිසරයෙත්, මග තොටත් අඩු ලුහුඬුකම් වසා දමන හේමන්තය මගෙ හිත නළවන්නෙ සුදු පලසක් එලුව වගෙ කඳු මුදුන් වල ඉඳලා පහලටම හිමෙන් වැසී යන නිසා. බොහෝ නැති බැරි උදවියට සීතලට අඳින්න කියල වෙනම ඇඳුම් ඇත්තෙත්නැහැ . මසාර් ඉ ශෙරිෆ් නගරයේ නිල් පල්ලිය ලඟ වටේට
ඉටි රෙදි වලින් සිය සිරුරු ආවරණය කර ගෙන සිඟමන් යදි අකාරය මට කාර්යාලයට යන අතර තුර පෙණුනා. අපි සීතලට අඳින ඇන්දුම් ඇඳ ගෙන අත් මේස් පවා දමාගෙන, ඒ මදිවට වාහනයෙ උණුසුම් ජනක යන්ත්‍රත් කියාත්මක කර ගෙන. එහෙම තියා ගෙනත් සමහරුන් හිම පතනයටයි, සීතලටයි දෙස් දෙවොල් තියමින් ආඩපාලි කියනවා, නොරිස්සුමෙන්.
  ඔය අතරෙ එක්කෙනෙක් දෙසැම්බර් මාසෙ උපන් දින තියෙන අයගෙ නම් ලැයිස්තුවක් හදනව. එතකොටයි, මටත් මතක් වුනෙ මගෙ උපන් දිනයත් එම
මාසෙම බව.
     මගෙ උපන් දිනයට මගෙ අම්මව සිහි කරල දානයක් දෙනව, මම මොන රටක  හිටියත්. මම හොඳින් ඉන්නෙ මගෙ අම්මා නිසා. ඇයටත්, අප්පච්චිටත්  පින් සිදු වන්නට මම අද මගේම දෙපයින් නැගිටලා ස්වාධීනව ඉන්නවා.මේ දන්දීම මා වෙනුවෙන් කළ සියලු කැප කිරීම් හා පරිත්‍යාගයන් වෙනුව්න් කෘත ගුණ දැක්වීමක්.
        නිල් පල්ලිය වටා සී
ලෙන් ගැහෙමින් ඉන්න අයට උණුසුම් ඇඳුම් අරන් දීම සුදුසුම දානයක් කියල මට හිතුණා. ඒ බව මම මුලින්ම කිව්වෙ මගෙ භාෂා පරිවර්තිකාවට. ඊට පස්සෙ රියැදුරාට. ඔවුන් දෙදෙනාම මේ බව ඇසූ සැණින් විමතියට පත් වුණා. ඒ වගෙ සිරිත් එහෙ හරිම දුලබයි. මුදල් හදල් යහමින් තියෙන, අත මිට සරු අයවත් එහෙම කරන පුරුද්දක් එහෙ නැහැ. " එතකොට පාටියක් දමන්නෙ නැද්ද?" භාෂා පරිවර්තිකාව මගෙන් ඇහුවා. " තියෙන අයට කන්න බොන්න දෙනවට වඩා සීතලෙන් ගැහෙන මේ මිනිස්සුන්ට උණුසුමක් දෙන එක වැදගත් නේද?" ඇගේ ප්‍රශ්නයට ප්‍රශ්නයකින්ම ලැබුණු පිළිතුරට ඇගෙන් මද සිනහවක්.
   උපන් දිනයට කලින් දවසෙ අපි වෙළඳ පොළට ගිහින් මේ ඇඳුම් මිළට ගත්තා. උපන් දිනය දවසෙ දවල් ක්ෂේත්‍ර චාරිකවක් යන අතරෙ නිල් පල්ලිය ලඟ වාහනය නවත්තලා උණුසුම් ඇඳුම් බෙදන්න පටන් ගත්තා. එතැන ඉඳගෙන හිටි අය විතරක් නෙවෙයි, අහල පහළ වෙළඳම් කර මින් හිටි තොරොම්බල් කාරයො වාහනයත්, අපිව්ත් වට කර ගත්තා. එත්කොටම රියැදුරා වාහනයෙ දොරක් ඇරල මට නගින්න කිව්වා. මමත්, භාශා පර්‍රිවර්තිකාවත් වාහනයට නැගල දොරවල් වහ ගත්ත. අපි ගියෙ ආයතනික වාහනයෙ නිසා ඔවුන් හිතල තියෙන්නෙ, ජග
ත්  සංවිධානයෙන් මේ ඇඳුම් බෙදා හරින්න ඇවිත් කියලා. අපි ඇඳුම් අර ගෙන ගියෙ තිස් දෙනෙකුට විතර සෑහෙන්නයි. ඒ සියල්ලම අපිට සුදුසුම අයට දීගන්න පුළුවන් වුණු එකත් ලොකු දෙයක්. ඒ ක්‍රියාඑන් යම් කිසි පිනක් සිදු වුණා නම් ඒ පින් සියල්ලම අපෙ අම්මට අනුමොදන් විය යුතු යයි කියල මම සිතින් කිහිප වාරයක්ම පුණ්‍යානුමෝදනාවක් කළා.
    අම්මා ඉන්න කාලෙත් ලෙඩ්ඩුන්ට, නැති බැරි අයට මේ වගෙ උදව් කරන්නෙ හරිම උනන්දුවකින්. අප්පච්චිත් එහෙමයි. ඒ ගතිගුණ දෙමපියන්ගෙ උරුමෙන් මට ලැබුණු එක ගැන හිතට දැනෙන්නෙ අප්‍රමාසතුටක්.

දෙදහස් දොලහෙත් දෙසැමබරය දැන් පේන තෙක් මානයට ඇවිත් එබිකම් කරනවා. දනක් පිනක් කර ගන්න කැමති අයත් එක්ක එකතු වෙලා සසර කෙටි කරගන්න යහපත් යමක් කරන්නට අවස්ථාවක් ලැබෙයි කියල හිතෙන් හිතා ගෙන ගෙවෙන දවස් එක්ක ඉදිරියට යනව.

2 ක් අදහස් දක්වලා.

Wednesday, June 27, 2012

ගලා හැලෙන වැහි වතුර වගේ නුඹ . . . .

Wednesday, June 27, 2012

                             කිසිම කමකට නැතුව වහින වැස්සට සමහරු දෙස් තිබ්බට අපේම රටේ උදවිය වැස්ස නැතුව අහසට හූල්ලනවා. වැව් පිරෙන්න වැසි වසීවා! කියල මම හැම තිස්සෙම කියනවා. අපට බත් දෙන්න පොළවත් එක්ක හැප්පෙන ගොවියන්ට ඉරි තැලුණු පොළව දිහා බලා ඉන්න බැරුව අහසටම දෑස් යොමා ගෙන. 

  නන්දක්කගෙ ගීතයක් මතක් වෙනවා.

 'වැස්ස වළාහක දෙවියනි, දිවැස් හෙළනු මැන'

                        වැසි වනාන්තර රැක ගන්න ඕනි අපි හැමෝම එකතුවෙලා. ඒ වගෙම වන දහනත් රැක ගන්න එක අපි හැමෝගෙම යුතුකමක්. අපේ රටේ 'සිංහරාජය' ගැන මම කලින් සටහනෙත් සඳහනක් කළා. ඒකෙ ඌණ පූරයක් කරන්න අවශ්‍යයි. මේ වන දහන ලංකාවේ සබරගමුව, දකුණ වගෙම බස්නාහිර පළාත් සේරම මායිම් කරල නිර්මාය කර තිබෙන්නෙ රටේ වැඩි පිරිසකට මේ අපූරු ඔසු උයනින් ප්‍රයෝජන ගත හැකි වන ආකාරයට. මෙහි නිර්මාතෘ වරයා ලෙස පොත පතෙහි දක්වෙන්නේ හෙළයේ මහ වෙදැදුරෙකු ලෙස සලකන රාවණ රජතුමායි.

  මෙයට පිවිසෙන්නට වඩාත්ම පහසු මග, කලවාන-වැද්දාගල මාර්ගය සේ කිව හැකි අතර මෙය කොළඹ සිට නම් කිලෝ මීටර් 154 ක දුරක් ගෙවා යා යුතුයි. මේ ඔසු උයනේ වපසරිය හෙක්ටයාර් 160 පමණ වෙනවා.
   ලංකාවේ ප්‍රධාන ගංගා දෙකක් වන කළු ගඟත්, ගිං ගඟත් පටන් ගන්නේ මේ වන පෙතේ, දිය උල්පත් වලින් කියලත් පිළිගත් මතයක්. අපේ රටේ පහත රට තෙත් කලාපයට අයිති ශාක වර්ග 60% ක් විතර මෙම අඩවියේ තිබෙන අතර ඒවායිනුත් 90%ක් විතරම මේ ඔසු උයනටම ආවේණික ශාක ලෙස ජීව විද්‍යාඥයින් පවසනවා. ඒ විතරක් නෙවෙයි, ලංකාවේ දිවි ගෙවන පක්ෂි වර්ග 384න් 144 කුත් මේ සිංහරාජ අඩවියෙ වෙසෙන බව සොයා ගෙන තිබෙනවා. ඒ බිම් ප්‍රදේශ වලට විතරක්ම ආවෙණික උරග වර්ග 96 කුත්, සමනල වර්ග 40 කුත් මදුරු වර්ග 36 කුත් එහි සිටින බවට වර්තමාන පර්යේෂණ වලින් ඔප්පු වී තිබෙනවා. එපමනක් නෙවෙයි, දුර්ලභ ඝ්හණයේ උඩ්වැඩියා මල් වර්ග 170ක් පමණ තිබීමත් එහි සොඳුරු බව වැඩි කරනවා.

   එක්සත් ජාතීන්ගේ  සංවිධානයේ 'යුනෙස්කෝ' මගින් වැසි වනාන්තරයක් ලෙසට 1976 දී හඳුනා ගත් අතර සම්පත් ආරක්ෂණයක් ලෙසට ද ප්‍රකාශයට පත් කරනු ලැබුවා. 

  මේ අනගි ඔසු උයන රාවණ රජතුමාගේ අප්‍රතිහත ධෛර්යය නිසා නිමැවුණු බව පුස්කොළ පොත් වල සටහන්ව තිබුණත් සමහරෙක් එය ස්වභාවික ඔසු උයනක් ලෙසට සඳහන් කරනවා.
      
   'සිංහරාජය' ගැන එන ජනප්‍රවාද බොහොමයක් තිබෙනවා. 'පුෂ්පික' කියන ගුවන් යානයෙන්  රාවණ රජු සීතාව කැටුව මෙ ඔසු උයන නැරඹීමට පැමිණි බවත්, ඔහුගේ සොහොයුරා වන කුම්භකර් මෙම උයන භාරව සිටි බවත් ඒ ජන ප්‍රවාදයන්. ඒ වගෙම කුම්භකර් භාවනා කළ ස්ථානය, 'කුම්භ ගල' ලෙසත් තවමත් ව්‍යවහාරයේ පවතිනවා.

  වැස්ස ගැන කියන්න ඇවිත් අපේ රටේ සම්පතක් ගැන මතක් කරන්න ලැබුණු එක යහපත් කියල මට නං හිතෙනවා. වැස්ස එන්න ඉස්සර වැස්සක පෙර නිමිති කියන්නෙ වැහි ලේන්නු කියල පුංචි කාලෙ අහල තිබුණා. වැහි ලේන්නු කිව්වට ඒ වැහි ලිහිණියො . . කුරුල්ලො... කෑඳැත්තාත් වැස්සට හොට අල්ලගෙන ඉන්නවලු, වැහි වතුර ටිකක් කටට වැටෙන කල්.

' වැස්ස වසින්නට ඉස්සර අහසේ වළාකුළින් විදුලිය කෙටුවා, තුන් දවසක් අමනාපෙන් සිටි කලු නෝක්කඩු බැල්මෙන් බැලුවා'
'ගලා හැලෙන වැහි වතුර වගේ නුඹ , හිනාවෙයන් කළු හිනා වෙයන්'
  අමරදේව මාස්ටර්ගෙ කවදාවත් රස නොසිඳෙන සින්දු හිතෙන් දුරකට යන්නෙම නැහැ.
  ළඟදි තිබුණු 'පැණි වළලු' හැන්දෑව බලන්න ගියපු වෙලාවෙ, ඒ වැඩසටහනට කොහෙත්ම ගැල පෙන්නෙ නැති සින්දු අතර ඉරාජ් නම් වූ ගායකයගෙත්  සින්දුවක් සජීවීව අහන්න සලස්වල තිබුණා. ගීතමය හෝ කාව්‍යමය ගුණය අහලකින් වත් නොගෑවුණු, පුහ්! පුහ්! කියන ඒ විකාර, ගීත කියල සමහරු හඳුන්වන කොටත්, එවැනි ගීත නොවන අනුකරණ දේවල් දකින කොට හා අහන කොටත් අපේ සංගීත ක්ෂේත්‍රය වැසි නැති මහ ඉඩෝරයකට අහු වෙලා විනාශ වී යාවිය කියන බිය අපි හුඟ දෙනෙකුට දැණුනු බව නම් තැනින් තැන කෙරුණු පසු විපරම් වලදි හෙළිදව් වූ බවත් සටහන් කරන්නෙ, වේදනාවෙන්.

4 ක් අදහස් දක්වලා.

Saturday, June 23, 2012

වස්සාන ප්‍රීතිය

Saturday, June 23, 2012
                   වැස්ස මේ දවස් වල වහින්නෙ මහ පුදුමාකාර විදිහට.මේ වහිනවා, ලවක් දෙවක් නැතුව. තව ටිකකින් ආයෙමත් තදට ඉර අව්ව. පුංචි කාලෙ නම් කියන්නෙ අව්වයි, වැස්සයි නරියගෙ මගුලයි කියලා. කවුරු හරි කසාද බඳින දවසට වැස්සම කියන්නෙ ගම් පළාත්වල මනමාලි පොල් බීන්දින කොට හිල් පොල් කට්ටෙන් පොල් වතුර බීල තියෙන නිසයි එහෙම වහින්නෙ කියලා.
    ඔන්න ඒ පාර විදුලිකොටනව, ගොරවනව, ඒත් ඒතරම් තදේට නෙවෙයි. මෙහෙට වහිනව වුණාට රජරට පැත්තට වැහි පොදක් වැටෙන්නෙ නැති තරමට කාෂ්ඨකේ කියල රූපවාහිණී ප්‍රවෘත්ති වලින් කියැවෙනවා. පහුගිය මාසේ ඉහින් කණින් දහදිය උතුරන්න පෑව්වා. ඇහි පිල්ලම් වලිනුත් දහදිය බිංදු කම්මුලේ ඉස්සෙච්ච කෑල්ලට වැටෙද්දි 'මෙහෙමත් දහදිය දැමිල්ලක්' කියල කාටත් කියැවෙන්න ඇති. ඒ රස්නෙ දැන් ඇබින්දක් අඩුයි, වැස්ස නිසා. 
 
අපි පුංචි කාලෙ, වහිද්දි වැහි වතුර වැටෙන පීල්ලට ඔලුව අල්ලලා නාන්න අපි හරිම ආසයි. එතකොට අපි හැමදාම නාන්නෙ නැහැ. නාන දවස් සෙනසුරාදා සහ ඉරිදා. අපෙ අම්ම කියනව අඟහරුවාදාටයි, සිකුරාදටයි නාන්න හොන්ද නැහැ කියලා. අම්ම කියන්නෙ  දවස් වල නෑවහම පුතලට හොඳ නැහැලු. ඒ ගොල්ලො ලෙඩ වෙනවලෞ. කෙල්ලන්ගෙන් ගෙන් නම් අම්මලාට අඵල නැහැ මොනම දවසක නෑවත් කියල මම අපේ මල්ලිලාට ඇහෙන්න කියනවා. ඒ වුණාට අම්මා අපිට වඩා පුතාලට ආදරේ වැඩියි කියල මට නං වෙලාවකට හිතුණා. එහෙම පුංචි කාලෙ විතරයි. මොකද මගෙ දුකේදිත් සැපෑඉදිත් අම්මා හෙවනැල්ල වගෙ මගෙ ළඟින් හිටියා, අපෙන් සදහටම සමු ගෙන යන කල්. කොහොමින් හරි වහින දාට අම්මගෙන් හරි පුංචි ගෙන් හරි අහන්නෙ නැතුවම අපි ඉස්සරහ ඉස්තෝප්පුවෙ දෙපැත්තෙන් වැටෙන වැහි පීලි දෙකෙන්ම නාගන්නව. ලොකු මල්ලි එකක, මම එකක. ගෙදර ඉන්න අවෂේශ අයත් අපිට එකතු වෙනවා. නන්දක්ක, කුසුම නැන්දා, අනුලක්කා  ... මේ අය අපට නාදෑයන් වන අය. ඒ ගොල්ලො කැමතියි, අපේ ගෙදර ඇවිත් ඉන්න. අපි වස්සාන ප්‍රීතිය විඳින්නෙ එහෙමයි, පුංචි කාලෙ. පොත් වල කොළ ඉවරයි, බෝට්ටු හදල. මිදුලෙ වතුරෙ පිරිච්ච තැන්වලට වැස්සෙම ගිහින් කඩදාසි බෝට්ටු දමනවා. කාණු වලටත් කඩදාසි බෝට්ටු දමල ඈතට ආතට ගිහින් නොපෙනී යන කල් බලා ඉන්නව. පුන්චි කාලේ වස්සන ප්‍රීතියයි, ලොකු වුනහම
වස්සාන ප්‍රීතියයි මොන තරම් වෙනස්ද?

     මගෙ ලේඛිකා යෙහෙළියක් මට දවසක් ඊ මේල් එකක් එව්වා, වස්සාන ප්‍රීතිය ගැන. එතකොට මම හිටියෙ ඇෆ්ඝනිස්තානෙ. එහෙට වහින්නෙම නැහැ. දැන් එහෙට වහිනවද දන්නෙත් නැහැ. මොකද ඉස්සර වහින්නෙ නහැ කියල කියන ඩුබායි වල මම හිටිය එක දවසක පාරවල් පිරිල උතුරන්න වැස්සා. මගෙ මිතුරිය ලිව්වෙ හොඳටම කළු කරල වහින වෙලාවට ප්‍රේම කරන්න අවස්ථාවක් ලැබෙනව නම් ඉස්තරම් කියල. ඇරපු ජනෙල් වලින් එන හිරිකඩ ඇඟේ පතේ තැවරෙන කොට හිරිගඩු පිපිලා සියොලඟම හිරි වැටී යද්දි ආදරවන්තයට තුරුළු වෙලා ඇස් පියාගෙන ඉන්න ඇය හරිම ආසලු. ඒ ලියුමෙ ශෘංගාරය උතුරනවා.
     මට මතක් වුණේ එහෙට එහෙම ඒ වගෙ වැස්සක් ආවොත්  මොන
වස්සාන ප්‍රීතියක්ද කියලා. මැටි ගෙවල් වල ඉන්න මිනිස්සුන්ගෙ ජීවිතවලට මොන කලක් යාවිද? එහෙ මැටි ගෙවල් වල වහලත් මැටියෙන්, උලු හෝ ටකරං හෝ හෙවිලි කරල තියෙන්නෙ ගෙවල් කිහිපයක විතරයි. බහුතරයක් ජීවත් වෙන්නෙ මැටි ගෙවල් වල. හේමන්තයට මැටි වහලවල් වලට හිම වැටෙනව. සුදට සුදේ හිම තට්ටු තට්ටු මැටි වහලේ සනීපෙටසැතපිලා ඉන්නව කිටිකිටියේ එකට ළං වෙල, තද සීතලට තවත් ටිකක් ඇලවිලාම හිටියොත් හොඳයි කියලා. හිම කැටිවලට තේරෙන්නෙ නැහැ, එහෙම පැය ගාණක් හිටියොත් මැටි මොළොක් වෙලා කඩා ගෙන වැටෙයි කියල. හැබැයි මේ කාරණේ පරම්පරා ගණනක අත් දැකීමෙන් දන්න ඇෆ්ඝන් මිනිස්සු ඉක්මණට වහලෙට නැගල සවල් වලින් මේ හිම තට්ටු පොළවට ඇදල දමනව.
   වැස්ස ගැන කියන්න පටන් ගත්තට දැන් හිම දක්වා කතාව විහිදිලා. වැස්සත් හිමෙත් ඒ හැටි වෙනසක් නැහැ නෙ. වතුර වලම ස්වභාවයන් දෙකක්.
සෙන්ටිග්‍රේඩ් අංශක 100 දි වතුර උතුරල වාෂ්ප බවට පත්වෙනව. සෙන්ටිග්‍රේඩ්  සෘණ අංශක  වලදි  වතුර මිදිලා හිම බවට පත් වෙනවා. භෞතික විද්‍යා පාඩමේදී මුලින්ම ඉගෙන ගත්තු හිමාංකය, තාපාංකය මතකයට එනවා.
                 සමහර මිනිස්සුන්ගේ සිත් හැම තිස්සේම හිමාංකයේ පවතින්නෙ. තරහ යන්නෙ නැහැ. ද්වේෂ කරන්නෙ නැහැ. වෛර කරන්නෙ නැහැ. ඒත් තවත් සමහරෙකුගෙ සිත් හැම තිස්සෙම තියෙන්නෙ තාපාංකයෙ. උතුර උතුර, පැසව පැසව, අනුන් කෙරෙහි කෝපයෙන්, ඊර්ෂ්‍යාවෙන්....ඒ අයට කියන්නෙ කිසිම තෙතමනයක්
නැති මිනිස්සු කියලා. අනුන් ගෙ දුකට උණු වෙන්නෙ නැති හිත්. ඒ හිත්වල රුධිරයත් රත් වෙලා කැකෑරෙනව ඇති. ඒ අයගෙ රුධිර පීඩනය වැඩි ඇති හැම තිස්සෙම. සමහරුන්ට රුධිර පීඩනය පාලනය කරන බෙහෙත් වලටවත් 'ප්‍රෙෂර්' අඩු වෙන්නෙ නැහැ. සමහරු ප්‍රෙෂර් පෙත්ත ත්තෙ නැති වුණහම බොහොම කලබල වෙනවා. අපි නම් ඒකට කියන්නෙ 'ප්ලෙෂර්' පෙත්ත කියලා.
 
           වැස්ස යාන්තම් පෑව්වා විතරයි, පුංචි ළමයි කට්ටියක් ඇවිත් පිට්ටනියට සෙල්ලම් කරන්න. ඔන්චිල්ලාවල වතුර පිරිලා, ඉ
ගන්න බැරි  තරමට. 'සී සෝ' වල පහළට වැටිල තියෙන කෑලි වලත් වතුර. දරුවන් බොහොම සීරුවෙන් වතුර අයින් කරනවා. වැස්සක් කරල තියෙන දේවල්?
     වැස්සට සම්බන්ධ වනාන්තරත් තියෙනව. ඒ වැසි වනාන්තර. කිසියම් වන්නතරයක් වැසි වනාන්තරයක් වෙන්නෙ, වසරකට මිලි මීටර් 1750-2000 ක  වර්ෂාපතනයක් තිබුණොත් විතරයි. අඟල් වලින් නම් 68-78 ක්. ඒක තමයි ප්‍රමිතිය. මේ වනාන්තර ලෝකයේ තිබෙන විශාලතම ස්වභාවික ඔසු සැල්. ඒ තරමට ස්වභාවික ඖෂ
වලින් පිරිලා. ඒ විතරක්ද? ජෛව විවිධත්වය  . .. කුරුල්ලන් වර්ග, කෘමීන් වර්ග හා සත්ව වර්ග වගෙම ගස් කොළන්, පැලෑටි වර්ග . . . මේවා රැක ගැනීම අප හැමෝගෙම යුතුකමක්. 



අපේ රටෙත් 'සිංහරාජ' වනය විශාල සම්පතක් අපට. ඒත් 'සිංහරාජ' වගෙ වන දහනවලට ගිහින් ලී ජාවාරම් කරන මිනිසුන් වුණත් මට හිතෙන්නෙ අර කලින් කිව් හිතේ කිසිම තෙතමනයක් නැති මිනිස්සු කියලා. හිත් පිත් නැතුව ගස් බිම පෙරලලා කරන වන විනාශයෙන් අපේ අනාගත දරුවන්ග්ට බොන්ඩ තියෙන වතුර පොද නේද මේ විනාශ කරන්නෙ කියල හිතන්න බරි තරම් රුපියල් සත ඒ මොළ ගෙඩිවලට ලොකු වෙලා. ගහ කොළ වලට, සතා සීපාවට ආදරේ කළා, අපේ මුතුන් මිත්තො. ඉතාම ඈත යුග වල ඔවුන් ගස්, ගල් වලට නමස්කාර කළා. පුද පූජා පැවැත්වුවා. ඒකට සමහරු හිනා වුණත් තමන්ට කන්න අඳින්න දෙන, රැක බලා ගන්න ගස්, ගල්, ඉර, හඳට වැන්ද එකෙන් මට නම් පෙනෙන්නෙ ඔවුන් කළ ගුණ සැලකීම පුරුදු පුහුණු කළා කියලයි. ඒක උතුම් මනුෂ්‍ය ගුනාංගයක්. ඔවුන්ගේ ඒ යහපත් ක්‍රියා නිසා අද අපිට මේ විදියට සතුටින් ඉන්න ලෝකයක් තියෙනව. වතුර තියෙනවා. ඒත් අපෙන් පස්සෙ පරම්පරා ගණනාවකට මොනවගෙ ජීවිතවලට මුහුණ දෙන්න වෙයිද, වතුර නැතුව?

7 ක් අදහස් දක්වලා.

Monday, April 16, 2012

සින්දු හා බණ

Monday, April 16, 2012
අද ලියන කතාව එතරම් වැදගත් නැහැ කියල හිතෙයි, සමහරෙකුට. ඒ වුණත් මට ඒක දැනුණු දෙයක් නිසා සටහන් කරන්න හිතුණා, මගෙ බ්ලොග් අඩ්වියෙ.

ඔහු අපේ කිට්ටුවර ඥාතියෙක්. ඔහුට පාකින්සන් රෝගය වැළඳි ඇවිදින්න කරන්න බැරුවයි හිටියෙ. බොහොම අමාරුවෙන් ඔහු ඇවිද්දෙ. එක කකුලක් තියල අනෙක් කකුල ඉදිරියට ගන්න අමතක වෙනවා. එතකොට ළඟ ඉන්න කෙනෙක් ඔහුගෙ කකුලට තට්ටු කරලා මතක් කරල දෙන්න ඕනි එය ඉස්සරහට තබන්න කියලා. වෙලාවකට අතීතයෙ දේවල් අගේට මතක් වෙනවා. එම වෙලාවෙම සිදුවෙන දේවල් අමතකයි. දරුවො, නෑදෑයන් පමණක් නෙවෙයි, බිරිඳව පවා අමතක වෙනවා. මේ මෑත කාලයෙදි ඔය වගෙයි තත්වය. දැනට අවුරුදු දෙකකට පමණ පෙරදි සිදුවූ දෙයක් තමයි මගෙ කතාවට තේමා වෙන්නෙ.

දවසක් මේ ඥාතියාගෙ ගෙදර කට්ටිය දුර බැහැර තියෙන ආරණ්‍යයකට දානයක් දෙන්න යන්න තිබෙන නිසා මගෙන් අහුවා, ඔහුව බලා ගන්න එන්න පුළුවන්ද කියලා. ඔහුව බලා කියා ගන්න උපස්ථායකයෙකු හිටිය නමුත් වෙලාවට කෑම ටික දෙන්න සහ උපස්ථායකයාටත් විවේක දිය යුතු නිසා. මම මුළු හිතින්ම එයට එකඟ වුණා.

මම ගිහින් පැය භාගයකට පසුව තමයි, ගෙදර කට්ටිය ගමන පිතත් වුණෙ. ඒ වනවිටත් ලෙඩාව ආලින්දයට ගෙනැත් රූපවහිනිය ඉදිරිපිට වාඩිකරවල තිබුණා. ධර්ම දේශනයක් විකාශනය වෙමින් තිබුණා.  ඒත් ඔහුගෙ ඇස් හෝ සිත ඒ දෙසට යොමුව තිබුණෙ නැහැ. ඔහු මා සමග කතා කරන්නට උත්සාහ ගත්තා.

"දුව දැන් කොහෙද ඉන්නෙ? අද මේ අය කොහෙද ඔය ගියෙ?"

මම ඒ ප්‍රශ්න වලට උත්තර දෙමින් අතීතය ගැන කතා කළා.
" මාමා ඉස්සර හින්දි චිත්‍රපට හරියට බලනව නේද? ඒක නේද පුතාල දෙන්නටයි, දුවටයි නළු නිළියන්ගෙ නම් දැම්මෙ? ලොකු අයියා දිලිප්, පොඩි අයියා මනෝජ් ...නංගි නිම්මි ...."
" ඔව්, දුවේ...මං ගාව තවමත් ඒ සින්දු රෙකොර්ඩ්
තියෙනව. දැන් තියෙන සී ඩී වගෙ නෙවෙයි, ඒවා ලොකු තැටි. දුවට ඕනිනම් මම ඒවා දෙන්නම්. මේ කට්ටිය ඒව අහන්නෙ නැහැ නෙ."

" මාමා තවමත් ආසද හින්දි සින්දු අහන්න?"
" නැතුව, නැතුව... ඒත් දැන් ඉතින් කොහොම අහන්නද? මෙඔ ගොල්ලො හැම තිස්සෙම බණ නේ දානෙ. පැය විසිහතරෙම බණ අහන්න පුළුවන්ද දුවෙ?"

මාමා එසේ කියන අතරෙදි මම රිමෝට්ය අරගෙන බණ චැනලය හින්දි චැනලයකට මාරු කළා. ඒ වෙලාවෙ මොකද්දෝ වෙලවකට තිබුණෙ පැරැණි චිත්‍රපට ගී.

නිම්මි හා දිලිප් කුමාර රඟන 'මධුමතී' චිත්‍රපටයෙ ගීයක්. ඔහුගෙ  මුහුණ පුරා මල් පිපෙනව වගෙ සතුට පිපෙනවා මම දැක්කා. හිතේ ගතේ තිබුණු ආලි මෑලි දුබල ගතිය වෙනුවට ප්‍රබෝධ ගතියක් ඇතිවුණා. ගීයෙ තාලයට පුටු ඇන්දට අතින් තට්ටු කරමින් ඔහු ඔලුවද තාලයට සොලවන්න වුණා.

" මාමේ, තේ එකක් ගේන්නද?"
" ඔව් දුවේ, කන්න මොනව හරිත් ගෙනෙන්න. හුඟ කාලෙකින් ලස්සන සින්දුවක් අහනවා. දුවට පිං සිද්ධවෙනවා මේ කළ උදව්වට"

" හොඳයි, මාමෙ ....දානෙට හදපු අළුවා වගයක් තියෙනවා. ඒවත් එක්ක මම තේ හදන් එන්නං"

අළුවා කෑලි දෙකක්ම කා තේ කෝප්පය බීව ඔහු එම වැඩ සටහන් ඉතා හොඳින් රස වින්දා.

" දුවේ, නිවාඩු තියෙන වෙලාවට නිතර මෙහෙ එන්න. මම ලෙඩෙක් වුණාට තවම සසර කල කිරිලා නැහැ. සින්දු අහන්න ආසයි. සතුටෙන් ඉන්න ආසයි. හුඟ දෙනෙකුට ඒක තේරුම් ගන්න බැහැ නෙ"

"එක එක අය හිතන්නෙ එක එක විදිහට නෙ, මාමෙ. මම අනෙක් අයටත් කියන්නන් කො, මාම අද ආසාවෙන්  සින්දු  ඇහුවා කියා"

" අපෝ, අපෝ, කියන්න එපා. වයසට ගියහම සින්දු අහන එක පවක් කියල තමයි, ඒ අය හිතන්නෙ. දුව ආපු දාකට සින්දු අහමු"

දැන් මේ මාමණ්ඩිය අසාධ්‍ය තත්වයකයි ඉන්නෙ. වයසත් අසූව පැනැලා. මා ළඟදිත් ඔහුව බලන්නට ගිය නමුත් ඔහුට දැන් මා කවුදැයි හඳුනා ගත නොහැකි තරමට සිහිය දුර්වල වෙලා.

කෙසේ වෙතත් ඔහුට නිරෝගි සුව හා දීර්ඝායු පතමින් මේ සටහන අවසන් කරන්නම්.


.



8 ක් අදහස් දක්වලා.

Friday, April 13, 2012

'ෆේස් බුක්' මිතුරු දම්

Friday, April 13, 2012
   'ෆේස් බුක්' මිතුරු දම් හොඳ වෙන්නත් පුළුවන්,නරක අතට පෙරලෙන්නත් පුළුවන්. ඒ නිසා යම් යම් සීමාවන් තබාගෙන විචාර බුද්ධියෙන් ඇසුරු කළොත් කාටත් යහපත්. මම මෙහෙම කියන්න් එකතරා කතාවක් ඔබ හමුවේ තබන්නයි. මූණු පොතෙන් වෙච්ච අපරාධ ලෝකය පුරහම එක එක රට වලින් වාර්තා වෙලා තියෙනව. අද 'ගල්ෆ් නිව්ස්' පුවත් පතෙහි පළවී තිබුණු කතාවක් කියෙව්වහම මට හිතුණ, එම පුවත් පත් සටහන ලංකාවේ බොහෝ දෙනෙකුගේ දැන ගැනීම පිණිස මගේ බ්ලොග් අඩවියේ සටහන් කර තබන්න.
  ඇය පිලිපීන් ජාතික 31 හැවිරිදි තරුණියක්. නමකුත් තියමුකො....එලීනා කියල. (නම බොරු වුණාට, කතාව ඇත්ත.) යහළු යෙහෙළියොත් ගොඩක් එහි හිටියා. ඇය වැඩිපුරම හිටියෙ පිලිපීන යහළු යෙහෙළියන්. මොකද සිය රටේ උදවිය තමන්ව කරදරයක දමන්නෙ නැහැ කියන විශ්වාසය ඇය තුළ තිබුණු නිසා. ඇය 'ෆේස් බුක්' යහළු යෙහෙළියන් මගින් රැකියාවක් සොයා ගන්න නිතර උත්සහ කළා. මැද පෙරදිග රටකට ගියොත් වෙළඳ සේවිකාවක් ලෙස සේවය කරන්නට ඇත්නම් සැපවත් ජීවිතයක් ගත් කළ හැකි යයි හිතුවා. ඒ වගෙම ඒක ඇයගේ සිතේ නිතර ඇඳී රඟ ඩ්ගැක්වෙන සිහිනයක් බවට පත් වුණා. අරාබි රටවල් වල සේවය කරන පිලිපීන කාන්තාවන් කිහිප දෙනෙක්ම ඇයගේ මිතුරු ලැයිස්තුවේ හිටියා. දවසක් 'ෆේස් බුක්' ප්‍රොෆයිලය විවෘත කළහම ඇයට සිය දෙනෙත් අදහා ගන්න බැරි තරමට පුදුමයි. ඩුබායි රටේ සේවය කරන පිලිපීන මිතුරියක් ඇයට පණිවිඩයක් එවලා. ඇය මේ මිතුරියව කවදාවත් දැකලා නැහැ. හොඳින් හඳුනන්නෙත් නැහැ. ඒත් එලීනා මේ මිතුරියට ගොඩක්ම සමීප වෙලයි හිටියෙ ඒ වෙන විට. ඉතින් ඇගෙන් ලැබිලා තිබුණු පණිවිඩය ඇගේ සිහිනය සැබෑ කරවන්නක් කියල එලීනට හිතුණා.

     වෙළඳ සේවිකාවක් හැටියට ඩුබායි එන්න කැමති නම් ඇයට වීසා හදලා දෙන්න පුළුවන් වග එම පණිවිඩයේ සටහන් කර තිබුණා.
  හිතේ සතුට උහුලා ගන්න බැරිව ඇය පවුලේ අයටත් මේ බව සැල කර හිටියා. ඇය වහාම ඇයගේ එෆ්.බී. මිතුරිය වන කැතරීන්ට පිළිතුරු පණිවිඩයක් ලිව්ව. වීසා හ්දලා දෙන්න කැතරීන්ට පුළුවන්න් නම් ඇය ගුවන් ටිකට් පතක් කෙසේ හෝ මිළට ගෙන එන්නම් කියා. එලේනා හිතුවේ ගුවන් ටිකට් පත සඳහා මුදල් ණයට ඥාතියෙකුගෙන් ඉල්ල ගන්නයි. රැකියාව ලැබුණහම එම ණය පහසුවෙන් පියවිය හැකිය කියාත් හිතුවා.
  එලීනා ඩුබායි බලා යන ගුවන් යානයට නැග්ගේ දහසක් බලාපොරොතු, ප්‍රාර්ථනා හිත තුළ දළු දමද්දි.
  අතේ තිබුණු වීසා පිටපත අත්බෑගයෙන් පිටතට ගත් එලීනා, පෝලිමට එක් වුණේ සැබෑ වීසා කොළය ලබා ගන්න. ඉන්පසුව ඇස් පරීක්ෂාවට. ඇය එතැන සිටි නිලධාරියාගෙ අන පර්දි උපැස් යුවල ගලවා ඉදිරියෙන් වූ කැමරාවක් වැනි උපකරණයට සිය දෙනෙත් යොමු කළා.
"ඕ.කේ"

ඔවුන් වීසාවේ මුද්‍රාවක තබා ඇයට බාගය ගන්න යන්නැයි අතින් සන් කළා.
ඩුබායි ගුවන් තොටුපළෙන් පිටතට එද්දි තමන්ගෙ නම සඳහන් කළ නාම පුවරුවක් රැගෙන පියකරු යුවතියක් හිටියා. ඇය අතේ ලස්සන මල් කලඹකුත් තිබුණා.
  'මේ තරම් උණුසුම් පිළිගැනීමක්'  එලීනට හිතා ගන්න වත් බහැ.
  " ඔයා කැතරීන් ද? මම එලීනා" එලීනා කලබලයෙන් ඒත් ප්‍රසන්නව කීවා. එලීනගෙ දෙකම්මුලට උණුසුම් හාදු සමග දෑතට මල් කළඹත් එක වරටම පිළිගැන්වුණා.

  අදින් පස්සෙ ජීවිතය සැපම පමණක් වේවි. සුසුම්, කඳුළු ගල්ෆ් මුහුදෙන් එහාට පා කරල හරින්න ඒ මොහොතෙ එලීනා හිතුවා. ගෙදර අයටත් සැපවත් ජීවිත ලබා දෙන්නට ඇයට පුළුවන් වේවි.
  එලීනා කැතරින් ව අනුගමනය කරමින් ටැක්සියකට ගොඩ වුණා. එය නතර වුණේ, විශාල තට්ටු ගොඩනැගිල්ලක් අසල. තට්ටු අටක් ඇය ගොඩනැගිල්ල පාමුල සිට ගණන් කළා. කැතරින් ඉන්පසු එම ගොඩ නැගිල්ලෙ විදුලි සෝපානයේ බොත්තමක් තද කළා. මදක් බලා සිටිද්දි ඔවුන් ඉදිරියෙන් සිටි සෝපානයේ නොව එහායින් වූ සෝපානයක දොර විවෘත වුණා. කැතරින් එලීනාව ඇද ගෙන එම සෝපානයට ඇතුල් වී 4 අංකය එබුවා. ඔවුන් හතරවෙනි තට්ටුවට ළඟා වූ විට විවෘත වූ දොරටුවෙන් කොරිඩෝවකට පිවිසුණා. 425 අංකය සඳහන්ව තිබුණු නිවහනේ දොර තමා ලඟ තිබුණු යතුරකින් ඇර ගෙන කැතරින් එහි පිවිසුණා. එලීනා සුපුරුදු විදිහට ඇයව අනුගමනය කළා. ඇයට පෙන්වූ කමරයට ගිය විගස කැතරීන් ගේ ස්වභාවය වෙනස් වුණා.

" එලීනා, ඔයාගෙ වීසා එකට මට දිරාම් 20,000/ක් විතර ගියා. ඔයාට දෙනව කියපු වෙළඳ සේවික ඇබෑර්තුවට වෙන කෙනෙක් අර ගෙන. හැබැයි..ඔයාට සේවය කරන්න වෙන රැකියාවක් තියෙනවා. වෙන රස්සාවක් ලැබෙන කල් ඔයාට පුළුවන් ලිංගික වෘත්තියේ යෙදෙන්න. ඒක නරක රස්සාවක් නෙවෙයි. හොඳට සල්ලි හොයන්න පුළුවන්. පිලිපීනෙ කට්ටිය ගොඩක් මෙහෙ ඔය රස්සාවත් කරනවා. කාටවත් කියන්න අවශ්‍ය නැහැ."
  " අනේ, මට නම් බැහැ. එහෙම දෙයකට නෙවෙයි නෙ මම ආවෙ."
" බැහැ කියල බැහැ. මට වීසා වලට ගිය සල්ලි කොහොම හරි මට දෙන්න ඕනි. වෙන ක්‍රමයක් නැහැ. බොරු ආඩම්බරකම් නැතුව මේක කරපන්"  කැතරීන් එලීනාගෙ ගුවන් ගමන් බලපත්‍රය සමග වීසා කොළයද රැගෙන සිය අත බෑගයේ දමා ගත්තේ එලීනාට තරවටු කරමින්.
  " මටත් වුණේ ඒ ටිකම තමයි. වෙන මොනව කරන්නද?" කාමරයේම පසෙක වාඩිවී සිටි තවත් පිලිපීන යුවතියක් දුක්මුසුව කීවා.
  යුවතියන් දෙදෙනාම කාමරයේ දමා දොරගුළු ලා කැතරින් එතැනින් ඉවතට ගියෙ ඇයගෙඋ ගරු ගාම්භීර කම පෙන්වමින්.
  " ඔය ගියෙ කට්ටිය එක්ක ගෙන එන්න. එලියට ගිහින් මිනිස්සුන්ට කෝල් කරයි, දැන්"

  එලීනාට මිනිස්සුන් 11 දෙනෙකු සමග යහන් ගත වන්නට සිදුවුණා, කැතරින්ගේ නියමය අනුව. එලීන නිදි නැතුව කල්පනා කළා, මේ උගුලෙන් ගැලවෙන ක්‍රමයක්.
  එක් සවස් භාගයක කැතරීන්ට හොඳටම නින්ද ගිහින් තිබුණු වෙලාවක එලීන එතැනින් පිට වී පිලිපීන කොන්ස්‍යුලේට් කාර්යාලයට ගියේ, මගදී හමුවන පිලිපීන ජාතිකයන්ගෙන් මග තොට අසාගෙන.
ඇය සියල්ල නොවළහා නිලධාරීන්ට හෙළිදරව් කළා. ඔවුන් එලීනට ආපසු සිය රටට එන්නට සියල්ල් සූදානම් කලේ ඇයට දැඩි සේ අවවාද කරමින්.

  මේ පුවත කියැවූ මට මෙය ෆේස් බුක් හි පළකරන්නට  හිතුවෙ, අපේ රටේ වගේම වෙනත් රටවල අයටත් මෙය වැදගත් වෙයි කියල හිතුණු නිසා. පිට රට යන්න දඟලන බොහෝ දෙනෙකු තේරුම් ගත යුතු දෙයක් තමයි, ' දැන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමග' කියන අපේ පුරාණ කියමන් හැමදාටම වලංගු බව.
  

3 ක් අදහස් දක්වලා.

Sunday, April 1, 2012

ඇෆ්ගනිස්තානයේදී ඇසූ කතාවක්

Sunday, April 1, 2012



එක් යෝගී යතිවරයෙකු වරක් කාන්තාරයක භාවනානුයෝගීව හිටියා. මේ අතර එවකට එම රටේ සිටි පාලකයා පිරිසක් සමග අසුන් පිටින් එම ස්ථානය පසු කරන්නට වුණා. සිත දැඩිව භාවනාවේම නිමග්නව සිටි නිසා අවට සිදු වන්නේ කුමක් දැයි යතිවරයාට දැණුනේ නැහැ. එනිසා පාලකයා හෝ ඔවුන්ගේ පරිවාර අයවළුන් අපේක්ෂා කරන හිස නැවීම්, නැගිටීම් හෝ ආචාර කිරීම් කිසිවක් ම සිදු වුණේ නැහැ. මේ නිසා පාලකයා බලවත් ලෙස කෝපයට පත් වුණා. 

"මේ යෝගියො නම් කිසිම චාරිත්‍ර වාරිත්‍රයක් දන්න අය නෙවෙයි. තිරිසන්නු වගේ. තමන්ගෙ රටේ රජතුමා යන කොට ආචාර සමාචාර කරන්න තරම් වත් මුං නිහතමානී නැහැ."

රජතුමාගේ කිට්ටුවන්තම ඇමතිතුමාටත් යතිවරයාගේ නොහික්මුණු කම ගැන වස කේන්තියි. ඔහු යතිවරයා ළඟට කිට්ටු කළා.

"මේ යන්නෙ අපේ රටේ මහ රජතුමා. නැගිටල වැඳලා ආචාර කරනව හොඳයි. නැත්නම් හිස ගසා දමාවි.මොකද තමුසෙ ඔය තරම් අහංකාර?"

ඇමතිගෙ මේඝ ගර්ජනාවට යතිවරයා දෙනෙත් ඇරලා බැලුවා.
කලබල නොවී සන්සුන්ව මෙහෙම කිව්ව.

 "රජ මැතිවරුන්ට ගරු සරු කරන්නෙ තාන්න මාන්න හරි වෙන මොනව හරි බලාපොරොත්තුවෙන්. මට එහෙම කිසි දෙයක් අවශ්‍ය නැහැ. රජතුමාට කියන්න, පාලකයන් ඉන්නෙ පාලිතයන් ආරක්ෂා කරන්න බව. ඒ වගෙම පාලිතයො කියන්නෙ හැම දේකටම එහෙයි! කිව යුතු පිරිසක් නොවෙන බව. රජතුමාට මහා ධනස්කන්ධයක් තිබුණත් ඔහු දුප්පත් රට වැසියන්ගේ මුර භටයා බව අමතක කරන්න එපා කියන්න. බැටළුවො ඉන්නෙ බැටළු පල්ලගෙ ආරක්ෂාවට නෙවෙයි. බැටළුවන්ව ආරක්ෂා කළ යුත්තෙ බැටළු පල්ලා විසින්මයි. හොඳට ඇස් ඇර බලනවා. එක්කෙනෙක් සිය පවුලත් එක්ක නිදහසේ, සැහැල්ලුවෙන්, යහතින් වැජඹෙද්දි තව කී ලක්ෂයක් ජීවත් වෙන්න මොන තරම් දුෂ්කර විදිහට අරගල කරනවද කියලා. තව ටික කලක් යනකොට බලනව, ඔය රජතුමා වටේට ඉන්න උගත්, මොළ කාරයො කී දෙනෙක් මොන වගෙ මෝඩ, නිෂ්ඵල යෝජනා ගෙනෙයිද කියලා. අසාධාරණය දිගින් දිගටම රජ කෙරුවොත් පාලකයො කවුද, පාලිතයො කවුද කියල අඳුන ගන්න බැරිවෙයි. ඔය ලඟම තියෙන මිනී වළවල් හාරල බලපල්ලා. උඹලට කියන්න පුළුවන්ද, ඔය ඇට කටු රජ කෙනෙකුගෙද? ඇමතියෙකුගෙද? මන්ත්‍රී කෙනෙකුගෙද?
එහෙමත් නැත්නම් දුප්පත් රට වැසියෙකුගෙද කියල."

  පාලකයා යතිවරයාගෙ වචනවලින් හෙල්ලිලා ගියා. වටේ ඉන්න අය නිසා බොහෝවිට තමන්ට සත්‍යය අමතක වෙන බව ඔහු දැන ගෙන හිටියා. ඒ නිසාම යතිවරයගෙ නිර්භීත ප්‍රකාශය හිස මුදුණින් පිළිගෙන ඇහුව, ඔහුට කිසියම් දෙයක් අවශ්‍ය කරනවද කියල.

ඔහු හිස වනා කිසියම් දෙයක් අවශ්‍ය බව කියා සිටියා. ඇමතිවරුන්ට සංතෝෂයි, යතිවරයාටත් යමක් අවශ්‍ය බව දන ගත්තම.
" ඔව්, මට අවශ්‍ය එකම දෙය.." ඔහු රජතුමා දෙස බලා කියන්නට වුණා.
"මීට පස්සෙ මට මේ වගෙ කරදර කරන්න එපා, මම භාවනා කරන කොට"
 ඇමතිවරුන්ගේ මූණු ඇඹුල් වුණා.
රජතුමා යතිවරයාට බැගෑපත් වුණා.

"අනේ! ස්වාමීනි, මට එක අවවාදයක් දෙන්න"

"ඔව්, මතක තබා ගන්න. දැන් ඔබේ අතේ තියෙන, ඔබට හිමි ධනය සහ බලය තව ටික කලකින් ඔබට අහිමි වෙනවා. තව කෙනෙකුගෙ පරවේණියක් බවට පත් වෙනවා."



10 ක් අදහස් දක්වලා.

Saturday, March 31, 2012

ඉර තරහා වෙලා!

Saturday, March 31, 2012
                 බොහෝම ඉස්සර කාලෙක එක රටක් තිබුණා, එහෙට හැම වෙලාවෙම වහිනවා . . වහිනවා . . . ඉවරයක් නැතුව වහිනවා . දවස පුරාම අහස හිල් වෙලා වගෙ තොරතෝංචියක් නැතුව වහිනවා එක දිගටම. දවස තිස්සේම වහිනවා.රෑ දවල් කියල වෙනසක් නැතුව වහිනවා. එහෙමත් වැස්සක්! දවස ගානෙම වහිනවා. දවස් ගණන්, මාස ගණන්, අවුරුදු ගණන් එක දිගට වහිනවා. වැස්සට මහන්සි නැද්ද මන්දා? මේ වහින රටේ හිටියා එක පිරිමි ළමයෙක්. එයාගෙ නම් සුරංග. වයස අවුරුදු අටක් විතර ඇති. සුරංග එයාගෙ අම්මයි, තාත්තයි එක්ක පුංචි කැලෑ රොදක් අද්දර තිබුණු ගේ පොඩ්ඩක තමයි ජීවත් වෙලා හිටියෙ. එයාගෙ තාත්තා ගොවියෙක්. අම්මා ගෙවිලියක්. ඒත්  මේ නොකඩවා වහින වැස්ස නිසා ගොව්තැන් කටයුතු වුණත් හරියකට කෙරෙන්නෙ නැහැ. සුරංගට මතක ඇති කාලෙක ඉඳලා වස්සාන සෘතුව මිසක් වෙන කිසිම සෘතුවක් දැකලා නැහැ. එයාගෙ ජීවිතේ අද වෙනකල්ම වැස්ස විතරයි. ඒත් සුරංග වසන්තය ගැන, ගිම්හානය ගැන ගොඩක් කතන්දර තාත්ත ගෙනුත් වෙන අය ගෙනුත් අහලා තිබුණා. 

    දවසක් තාත්තා කතාවක් කියද්දි, " ඉස්සර අහසෙ රත්තරන් පාටට ඉර පායල තිබුණා" කියලා කිව්වා සුරංගට හොඳට මතකයි. ඒ දවස් වල ඒ ප්‍රශ්න කරන්න නොහිතුණත් තාත්තාගෙන් ඉර ගැන අහන්න ඕනි කියල ඔහුට හිතුණා.   තාත්තා හිටියෙ පිහියක් මුවහත් කරමින්.
 " තාත්තා  දවසක් කතාවක් කියද්දි ඉර ගැන කිව්ව මතකද? මොකද්ද තාත්තෙ ඉර කියන්නෙ?"

තාත්තා සුරංගගෙ ප්‍රශ්නයට උත්තර දෙනවා.

 "මගෙ පුතා ඉපදෙන්න බොහොම කාලෙකට ඉස්සර ඉර කියල දෙයක් තිබුණා. හරිම විශාල රවුම් කහ පාට ගිනි බෝලයක්. උදේ පාන්දර අර නැගෙනහිර පැත්තෙ කන්දෙන් මතුවෙලා දවල්  වෙනකොට අහස මුදුනටම ගිහින් අපිට උණුසුම, ගස් වැල් වලට ශක්තිය දීල හවසට අර බස්නාහිර පැත්තෙ කඳු මුදුනින් බැහැල යනවා. ඒ විතරක් නෙවේ, එයාගෙ රත්තරන්  පාට ලස්සන මූණේ හැම තිස්සෙම පැතිරිච්ච ප්‍රියමනාප හිනාවකුත් තිබුණා."
" ඉතින් කොහෙද දැන් ඒ ඉර හැංගිලා තියෙන්නෙ?"
 එතකොට සුරං  ගෙ තාත්තා අතේ තිබුණු පිහිය බිමින් තියලා, අත් දෙක කකුල් දෙක වටේ ඔතාගෙන දණිස් දෙක උඩ එයාගෙ නිකට රඳවලා දිග සුසුමක් හෙළුවා. 
 " කොහේ ගියාද දන්නෙ නැහැ, මයෙ පුතේ. එක දවසක දවාලක කළු වළකුළු ගොඩාක් ඇවිත් ඉර වටේට කැරකිලා කැරකිලා එයාව රෙද්දකින් ඔතා ගන්නව වගෙ ඔතා ගත්තා. අපි බලාගෙන හිටියා මොකද වෙන්නෙ කියලා. ඊට පස්සෙ විදුලි කොටන්න පටන් ගත්තා. ඒ එක්කම මහා හුළඟක් හැමුවා. පොල් ගස් බිමටම නැමුණා, හුළඟට බයෙන් වගෙ. ඊට පස්සෙ ගෙරවිල්ලත් එක්කම පොද වැස්සක්. පොද වැස්ස මහ වැස්සක් වුණා. අපි බලං හිටිය දැන් නවතියි, දැන් නවතියි කියලා. නැවතුණේම නැහැ. ඉතින් අපි හිතුවා, හෙට නවතියි කියලා ඒත් නැවතුණේම නැහැ. ඉතින් එදායින් පස්සෙ අපි ඉර දැක්කෙම නැහැ, පුතේ. මොකක් වුණාද කියල හිතා ගන්න බැහැ."

       සුරංගට කොහොමට වත් හිතා ගන්න බැහැ, ලස්සන කහපාට රවුම් ඉර කොයි වගේද කියලා. එක රාත්‍රියක මෙයාගෙ හිතට කිසිම සහනයක් නැහැ වගෙ. නින්ද යන්නෙත් නැහැ. තාත්ත කිව්වා ඉරට ප්‍රියමනාප හිනාවක් තිබුණා කියලා. 
 ' ඒත් මම දැකලා නැහැ, මේ මිනිස්සු කවදාවත් හිනා වෙනවා. ඒ අය හැම තිස්සෙම ඉන්නෙ දුකෙන් වගෙ. හිනා වෙන්න දන්නෙ නැහැ වගෙ. හරි...හරි...මට දැන් තේරෙනවා. මේ ගොල්ලො දුකෙන් ඉන්නෙ ඉර නැති දුකට වෙන්නැති. අර අහසෙ එහාට මෙහාට යන කහපාට   හිනා වෙලාම ඉන්න එක්කෙනා නැතුව මේ අයට සාංකාව ඇති. පාලු ඇති. මේකට මොකක් හරි කරල එයාව ආපහු එක්කන් එන්න ඕනි. මේ මිනිස්සුන්ගෙ මූණුවල ආයෙමත් හිනා මල් පිපෙන්න ඉඩ දෙන්න ඕනි. මේ අයව සතුටු කරන්න ඕනි.'

ඉතින් පහුවදා පුංචි සුරංග කාටත් හොරෙන් අර තාත්ත කිව්ව ඉර නගින ගලට ගියා, වැස්සෙම. මොරගෙඩි වගෙ වහින වැහි ගෙඩි ඇඟේ වදිද්දි චුට්ටක් රිදුණත් එයා ඒව ගණන් ගත්තෙ නැතුව කන්ද නගින්න ගත්තා. ගමේ මිනිස්සු වගයක් දැක්කා, කන්ද නගින සුරංගව. දැකල එයාගෙ තාත්තට මේ පණිවිඩය දෙන්න මහා හයියෙන් දිව්වා. ඒත් ඔහු කන්ද නගින එක නතර කළේ නැහැ. තාත්තා එයාගෙ යාලුවොත් එක්ක කන්ද පාමුල ඉඳල කෑ ගහනවා. 

" පුතා, කොහෙ   ඔය යන්නේ?"

ඒ   තාත්තා ගෙ කටහඬ. 

" මම යනවා වලාකුළු වලට කතා කරන්න"
 
කන්ද නැගීම නතර නොකරම ඔහු උත්තර දෙනවා.
 " මට ඒ ගොල්ලන්ගෙන් අහන්න ඕනි අර හැම තිස්සෙම හිනාවෙන ලස්සන කහපාට එක්කෙනාව නිදහස් කරන්න පුළුවන්ද" කියලා. 
මේක ඇහුණ ගමන් සුරංගගෙ තාත්තට එයගෙ කකුල් දෙක නවත්ත ගන්න බැරිවුණා. තාත්තත් සුරංගගෙ පස්සෙන්ම දුවන්න ගත්තා. එතැනට රැස් වෙච්ච ගමේ අනෙක් උදවියත් තාත්තවයි, පුතාවයි අනුගමනය කරමින් කන්ද නගින්න ගත්තා. ඔවුන් හිතුවෙ මේ කොලු පැටියා පිස්සු හැදිලා දුවනවා කියලා. ඉතින් ඔවුන්ට ඕනි වුණෙ සුරංග වැටෙන්න යන කරදරෙන් ඔහුව ගලවගන්න. 
     හැමෝටම කලින් කඳු මුදුනට නැග්ග සුරංග වළාකුළුවලට කතා කරන්න ගත්තා.
 " අනේ, වළාකුළු, මං කියන දේ ඇහෙනවද? ඇයි ඔය ගොල්ලො අර ලස්සන කහ පාට එක්කෙනාව වහගෙන ඉන්නෙ? අනේ අපිට අනුකම්පා කරන්න, කරුණාකරලා. බලන්න, අපි කොච්චර දුක් විඳිනවද? ඔය ගොල්ලො කරන ඔය වැඩේ නිසා. අපි ගැන චුට්ටක් කරුණාවෙන් හිතන්නකෝ.අපට ඉර ආපහු දෙන්නකෝ.." 

        වැස්ස තවත් වේගයෙන් වහින්න වුණා, තරහෙන් ගොරවමින්. ගිගිරුම් සද්දෙට බයේ මිනිසුන් එකෙනෙකව බදා ගත්තා. ඒත් සුරංග හෙල වුණේ වත්, බය වුණේ වත්  නැහැ. දිගින් දිගටම වළකුළු වලට නොයෙක් දේවල් කියමින් කන්නලව් කළා. 
 
"එහෙම කළේ ඇයි කියලා හරි අපිට කියන්න බැරිද අඩුම තරමින්"
සුරංග බෙරිහන් දුන්න.

" මොකද හැබෑටම මේ අපිට වද දෙන්නේ?"
එතකොට එක පාරටම කවුදෝ වළාකුළු අස්සෙන් උත්තර දුන්නා. 
 " අපි කවුරුවත් ඉරව හංගගෙන නැහැ. හැංගිලා ඉන්නෙ එයාගෙ ඕනෑ කමටයි."
සුරංගට තේරුණා, සද්දෙ එන්නෙ වළාකුළු වලින් කියලා.
 " ඉර තරහවෙල ඔය ගොල්ලොත් එක්ක?" ආයෙමත්  හඬ.
සුරංගත් අත ඇරියෙ නැහැ.
"මොකද්ද හේතුව තරහ වෙන්න?"
 ඒ ප්‍රශ්නෙට උත්තර ආවෙ වෙනත් දිහාවකින්. ඒ වෙන කවුරුවත් නෙවේ. අර ලස්සන කහපාට එක්කෙනා. 
 " මම තරහ වෙන්න හේතුවද? ඔව්, මම ඒක කියන්නම්. ඔය ගොල්ලො කවදාවත්ම මට ස්තුති ක නැහැ. අඩුම තරමින් මා දිහා බලලා හිනා වුණේ වත් නහැ. මම ලස්සනට හිරු රැස් විහිදුවන කොට ඔය ගොල්ලො වළකුළු වලින් වැස්ස ඉල්ලනවා. ඒත් කවදාවත් කවුරුවත් ' ලස්සනට ඉර පායන දවසක් ඉල්ලන්නෙ නැහ. ඉතින් මට හිතුනා පාඩමක් උගන්වන්න ඔය ගොල්ලන්ට."

  මේ කතාව අහපු සුරංගගෙ ගමේ මිනිස්සු දණින් වැටිලා ඉරෙනුත්, වළකුළු වලිනුත්  ඉල්ල සිටියා. 
" අපි දැන් පාඩමක් ඉගෙන ගත්තා. අනේ! ඉරු කුමරුනි, අපි ආයෙ කවදාවත් ඔය වැරැද්ද ආයෙමත් කරන්නෙ නැහ. අපට සමා වෙලා මේ වැස්ස නවත් වන්න."
 ඉරට මිනිස්සු කියපු දේ ඇහුණා, කන් දෙක පුරාම. ඒත් වැඩියම කලපනා කළේ ඒ වගෙම හිත සසල කළෙ සුරංගගෙ කැපවීම සහ අධිෂ්ඨානය ගැන. ඒ වගෙම අනික් මිනිසුන් කෙරෙහි තිබුණු ආදරය, මානව දයාව ගැන. මඩ ගොහොරුව තිබුණු කඳ මුදුනට අනෙක් ජනතාව ගැන හිතල මහන්සි නොබල නැග්ග ආකාරය ගැන. 

ඉර කටහඬ අවදි කළා.
" හොඳයි, දැන් හැමෝම තම තමන්ගෙ ගෙවල් වලට යන්න. මම ඉක්මනටම පායන්නම්"

  ගමේ උදවිය සුරංගගෙ නිර්භීතකම හා කැපවීම පිළිබඳව ප්‍රසංශා කරමින් ස්තුති කරමින් ගෙවල් වලට ගිහින් බලාපොරොත්තු සහගතව නිදා ගත්තා. පහුවදා පාන්දර අවදි වුණු අය දැක්ක, අහස පැහැදිලි බව. වළාකුළු  අඩු බව. වැස්ස ටිකෙන් ටික අඩු වෙන ගතියකුත් පෙණුනා. හවස් වෙන කොට තිබුණෙ ප්ද වැස්සක් විතරයි. කළු වළාකුළු  පෙනෙන්න නැහැ. ලස්සන කිරි කැටි වළාකුළු  විතරක් අහස පුරා සෙල්ලම් කරමින් හිටිටා. තැනින් තැන අහසෙ නිල් පාටකුත් හිනාවුණා. ටික වෙලාවකින් සුදු වළාකුළු අත වනාගෙන නොපෙනී ගිහින් මුළු අහසම නිල් පාටින් බබලන්නට වුණා. එතකොට කහ පාට ලස්සන වටකුරු යමක් නැගෙනහිර කඳු මුදුනින් හිනා වෙන්න පටන් ගත්තා. 
 
 "අන්න ඉර පායනවා" හැමෝම සතුටින් ඉපිලෙමින් අත් පොලසන් දෙන්න ගත්තා. 

  සුරංග අහස දිහා බලලා උහුලගන්න බැරි සතුටින් උඩ පනින්න ගත්ත.
 " ආ..එහෙනම් මේ  තමයි ලෝකෙටම ලස්සන වස්සන කහපාට, රවුම්ම රවුම් මම අහපු කතන්දර වල ඉන්න ඉර. "   
  ඉර අහසේ හෙමිහිට සක්මන් කරන්න ගත්තා, හැමොටම සතුටත්, උනුසුමත් ලබා දෙමින්. මිනිස්සුත් අහස ද්හා බලමින් කෘතඥ තාවයෙන් යුතුව ඉරට ස්තුති  කරමින් ලස්සනට හිනා වුණා. සුරංගගෙ  සතුට වක්කඩ කැඩුව වගෙ පිටාර ගලනවා. ඉරත් හිනා වෙනවා. මිනිස්සුත් හිනාවෙනවා. ඔක්කොමල ගී ගයමින් නටන්න ගත්තා. එදයින් පස්සෙ ආයෙ කවදාවත්ම ඉර තරහ වුණේ නැහැ.

 

5 ක් අදහස් දක්වලා.

Wednesday, March 28, 2012

ඈ දෙසා...බලනූය දයා ඇසිනා!

Wednesday, March 28, 2012
විවිධ රටවල විවිධ රැකියාවන්හි නියුතුව සිටි මට ඇෆ්ගනිස්තානයේ ගත කළ කාල වකවානු කිසි සේත් සිතින් බැහැර නොවෙයි. ගැහැණුන් හට බොහෝ සමාජ තලයන්හි පිරිමින් සේම අයිතිවාසිකම් භුක්ති විඳීමේ අවස්ථාවන් හිමිව නොතිබුණත් එහි බහුතරයක් පිරිමි ගැහැණුන්ට ආදරය කරන, ගරු කරන අය ද වෙති. මූලධර්ම වාදීන් හා අන්තවාදීන් මේ ගණයට වැටෙන්නේ නැත.

නැගෙනහිර ටිමෝරයේ පිරිමින් ඊට ඉඳුරාම වෙනස්ය. කඩ පිල්වල හෝ බෝක්කු මත වාඩි වී බීඩි, සිගරට් බොමින් දාම් අදිමින්, කුකුළන් පොර කොටවමින්, ඕපාදූප කියවමින් සිටිනවා මිස ගෙදරට තඹ දොයිතුවක් උපයන්නේ නැත. එසේ කරනවා නම් කරන්නේ ඉතා සුළු පිරිසක් පමණි. ගැහැණු කඳු, ලඳු පීරා ගොස් අල වර්ග හාර ගෙන, පලා කඩා ගෙන එති. ඒ පවුලේ දවසේ වේල පිරිමහන්නටය. අත දරුවන් රෙදි කඩක රඳවා බඩ බැඳගෙන, සොයන අල පලා දමන වේවැල් කූඩය හිස මත බැඳගෙන ඇය කඬු නගින ආකාරය සිත සසල කරවයි. ගෙදර දොර සියලු වැඩ කරන ඇයට පිරිමියාගෙන් ලැබෙන්නේ ඇනුම් බැනුම් හෝ ගුටි බැට පමණි.

 මා නෙතින් දුටු දේවල් ලියන්නට සිතුණේ බොහෝ රටවල මේ වෙනස්කම් පැහැදිලිව දැකිය හැකි නිසාත් තවමත් ජාත්‍යන්තර කාන්තා දිනය සැමරූ මාර්තු මාසය අවසන් නොවුණු නිසාත්ය. මක් නිසාද යත් මාර්තු 8 වැනිදාට පමණක් ස්ත්‍රීන් ගැන,
ඔවුන්  ගේඅයිතිවාසිකම් ගැන, ඔවුන්ට එරෙහි ප්‍රචන්ඩත්වය ගැන කතා කිරීම නොසෑහෙන නිසාය. 

මවක්, දියණියක්, බිරිඳක්, සහෝදරියක් පමණක් නොව මිත්තණියක් වූ විට පවා ඇයගෙන් පවුල හා සමාජය, රට වෙනුවෙන් සිදුවන සේවාව අතිමහත්ය. පවුලේ ආර්ථිකය වෙනුවෙන් ඇය කරන සේවාවන් බොහෝ දෙනෙකුගේ ඇගයීමට ලක් නොවෙයි. දරුවන්ගේ අනාගතය සාර්ථකව ගොඩ නැංවීමට ඇයගෙන් සිදුවන දායකත්වය ගිනස් පොතට යන්නේ නැත.

හැම නිවසකම කුකුළා අතින් ගෙන පාන්දර අවදිවන්නී ඇයයි. එවිට ඇය වෙලාවට සීනුව නාද කරන ඔරලෝසුවක් වැන්නීය. සැමියාට උණුසුම් තේ බඳුනක් දී ඔහුව අවදි කරන්නේ ඈ හෙයිනි. ළමයින්ට පාසැල් යෑම සඳ
හා අවදි කරන්නේ ඈ හෙයිනි. ඉන්පසු පාතරාසය එනම් උදේ ආහාරයත්, දවල් ආහරයත් පිළියෙල කරන කෝකිවරිය ඇය වන්නීය. ගෙදර දොර පිරිසිදු කරන ගෘහ සේවිකාවද ඇය වන්නීය. දරුවන්ව පාසැලට කැටුවයන, එමෙන් ආපසු නිවසට කැඳවා ගෙන එන, සමහරවිට මේ දෙකම කරමින් රැකියාවටද යන්නට ඇයට සිදු වෙයි. එසේම තවත් මව් වරු මේ සියල්ල කරන අතර තුර පවුලේ රියැදුරු  ලෙසද කටයුතු කරයි. කඩ පිළට, වෙළඳ පොළට ගොස් ගෙදරට අවශ්‍ය එළවළු, හාල් තුනපහ යනාදී වූ අඩුම කුඩුම ගෙන එන්නේ ද ඇයයි. දරුවන් හෝ සැමියා ලෙඩ වූ විට සාත්තු සේවිකාවද ඇයයි. දොස්තරත් ඇයයි.
දරුවන්ගේ මුල්ම ගුරුවරිය මෙන්ම පාසැල් වැඩ වලට උදව් දෙමින් පාඩම් කියා දෙන ගුරුතුමිය ද ඇයයි. දරුවන්ගේ ආරක්ෂක නිලධාරිණියද ඇයයි. එසේම පවුලේ ප්‍රශ්න වලදීත්, දරුවන්ගේ ආරවුල් වලදීත් විසඳුම් සොයා දෙමින් උපදේශනයන් සපයන උපදේශිකාව හා නීති වේදිනියද ද ඇයයි.
මේ සියලු කාර්යයන් හමාර කොට විඩාපත් වුවත් සැමියාගේ කායික අවශ්‍යතාවන්ද සිනහමුසු මුහුණින් ඇය ඉටු කළ යුතු වෙයි.
මේ සියලු දේ යුතුකම් හා වගකීම් බවත්, ඒවා නොපිරිහෙළා
 ඉටු කළ යුතු බවත් සමහරු පවසති.


කෙසේ හෝ ඇයට ලෙඩ නිවාඩු නැත. පාරිතෝශික දීමනා හෝ බෝනස් ලැබෙන්නේද නැත. අර්ථ සාධක අරමුදල්, එනම් ඊ.ටී.එෆ්., ඊ.පී.එෆ්. නැත. කිසිම දාක උසස් වීම් හෝ ඇගයීමක් පවා කෙරෙන්නේද නැත.
එහෙත් ඇය ඉහත සඳහන් කිසිවක් ඉල්ලා උද්ඝෝෂණය කර මින් වීදි බසින්නේ නැත. පිකට් බෝඩ් අල්ලා ගෙන ගෙවල් ඉදිරිපිට වර්ජනය කරන්නේ නැත. ආහාර පාන පිළියෙල නොකර සටන් පාඨ  කියන්නේද නැත. 


එවන් මවකට, බිරිඳකට, සොහොයුරියකට, මිත්තනියකට, දියණියකට සැහසිකමක්, අතවරයක්, හිංසනයක්, අපචාරයක් ඔබට කළ හැකිද?
මේ සියලු ස්ත්‍රී වර්ගයාගේ කතාවයි. ගමින් ගමට, රටෙන් රටට, ආගමෙන් ආගමට, ජාතියෙන් ජාතියට සුළු සුළු වෙනස් කම් තිබුණත් පොදු සාධකයන් හැම ගැහැණියකටම ඉහත අයුරින් නොවෙනස්ව පවතී.

මට මහචාර්ය සරච්චන්ද්‍රයන්ගේ 'මනමේ' නාඩගමෙහි අවසන් ගී පද මතකයට එයි.


"මා දෙසා.....මා දෙසා...බලනූය දයා ඇසිනා ...."

ගැහැණිය දෙස දයාවෙන් යුතුව, කරුණාවෙන් යුතුව, ආදරයෙන් යුතුව බලන්න. ඇය ලිංගික භාණ්ඩයක් ලෙස පමණක් නොදකින්න. ඇයට ගරු කරන්න. ඇයගේ අමිල සේවාවන්ට වටිනාකමක් දෙන්න.
කුරුල්ලෙකුට තනි තටුවකින් පියාඹන්නට නොහැකිය. සමාජය කුරුල්ලෙකු නම් එක් තටුවක් ගැහැණියයි. අනෙක් තටුව පිරිමියායි. යහපත් මානව සමාජයක් සඳහා අත් තටු දෙක ශක්තිමත්ව, නීරෝගීව තිබිය යුතුය.

8 ක් අදහස් දක්වලා.

අප්පච්චි කිව් කතා


                  ඩුබායි ආවම හැමදාම ටිකක් කල් ගත වෙනවා, සිංහල අකුරු හොයා ගන්න. අද නම් දුකාට කතා කරල ප්‍රශ්නෙ කිව්වම ලංකාවෙදි වගෙම හොයන්න කිව්ව. මමත් හෙව්වා. සොයන්නට හම්බ වෙනව නෙ. ඉතින් ලංකාවෙදි වගෙ නෙවෙයි, මෙහෙදි මට ගෙදර වැඩ මොකුත්ම කරන්න නැහැ. ගමන් බිමන් වුණත් ඇත්තෙම නැති තරම්. සිකුරාදට තමයි, දරුවන්ට නිවාඩු. දරු මුණුබුරන් සේරටම. ඉතින් ආයෙමත් මට හිතුණා, බ්ලොග් අඩවිය පැත්තෙ ගොඩ වෙලා යහළු මිතුරු කම් වගෙම යහළු මිතුරු දම් අළුත් කර ගන්න.
              කවි කතා, කතන්දර සේරෝම කොහේදෝ ඈතකට ගිහින් හැංගිලා වගෙ. ආගන්තුක පිරිසකට කතා කරනවා වගෙ ඒ අයට බුලත් හුරුල්ලක් දීල ආයෙමත් ඥාති සම්බන්ධතාවන් අළුත් වැඩියා කර ගන්න වේවි, මයෙ හිතේ. අවුරුදුත් ළඟ නිසා අකැමති වෙන එකක්   නැති වෙයි.

                 මම අප්පච්චි ගැනත් අප්පච්චි මට කියන අතීත කතා ගැනත් කලින් ලියල තියෙනවා. අන්තිම වතාවට මම අප්පච්චි දකින්න ගියෙ   මම තායිලන්තෙට යන්න ඉස්සරින්...දවස් තුනකට ඉස්සරින් හරියටම. අප්පච්චිට වයස   අවුරුදු  88 ක් . මම එනවා කියන ආරන්චියට ලොකු මල්ලිලාගෙ ගෙදර ආලින්දයේ වේවැල් පුටුවක වාඩි වෙලා මග බලාන හිටියා. මම කොළඹ ඉඳල එනවා කිව්වොත් දවල්ට කෑම නොකා බලා ගෙන ඉන්නවා. එදත් එහෙමයි, බෙල්ල දික් කරමින් පාර දිහා වටම තමයි ඇස් දෙක. මාව දැක්කම මූණේ හිනා මල් වට්ටියක් පිපෙනවා. වෙන අයටත් එහෙම වෙන්නැති, මම දන්නෙ මං ගැන විතරයි නෙ.
                     අප්පච්චි ආස කරන කෑම බීම උස්සගෙන යන කොට  , "මොකට ඒව මේව   ගෙනෙනවද, බලලා යන්න ආවා නම් ඇතිනෙ" කියනව.  ඇඳේ වාඩිවෙල, එහෙම නැත්නම්   මම    පුටු ඇන්දෙ වාඩිවෙලා අපි කතා කරමින් ඉන්නව. ඒත්  මෙදා සැරේ අප්පච්චිට පරණ කතා ඒ තරම්ම මතක නැහැ වගෙ. මතක් කළේම ඉස්සර කරපු පින්කම්. දන් දුන්නු හැටි, අසූ හාරදාහෙ පහන් පින්කමක් මුතියංගනය රජමහවිහාරයේ සංවිධානය කරපු හැටි....තවත් ලස්සන කතාවක් කිව්වා. ඒක හොඳයි හැමෝටම දැන ගන්න, අප්පච්චිගෙ ස්ථානෝචිත ප්‍රඥාව ගැන හිතා ගන්න.
                මේ කතන්දරෙත් අහගෙන දවස් තුනකින් ආපහු කොළඹ එන්න කියල මම අප්පච්චිට දණ ගහලා වඳිද්දි මට අමුතු වෙනසක්     දැණුනා.  මගෙ ඔලුව අත ගාද්දි වෙනද  විදිහටම, "තුණුරුවන්ගෙ සරණයි, සියලු දෙවියන්ගෙ පිහිටයි!" කියල කියද්දි මම නැගිටලා අප්පච්චිගෙ නළලයි, කම්මුල් දෙකයි ඉඹලා පොඩි දරුවෙක්ව වගෙ මගෙ පපුවට තුරුළු කර ගත්තා. එතකොට මට මහ දරා ගන්න බැරි වෙනස් කමක්   දැණුනා. ඒක නිර්වචනය කර ගන්න හෝ පැහැදිලි කර ගන්න මට අවශ්‍ය වුණෙ නැහැ ඒ වෙලාවෙ. ඒ ශෝකී හැඟීම බුදු වදනක් සිහිපත් කරලා තුනී කර ගන්න උත්සාහ කළා.
             ආයෙමත් මම යන කොට අප්පච්චි හිටියෙ සදහටම දෙනෙත් පියාගෙන. මට දරා ගන්න බැරිවුණා ඒ නිහඬතාවය. මුහුණ පුරා පිරුණු හිනාව වෙනුවට  අප්‍රාණික දෙතොල් මත්තෙ හීන් හිනා රේඛාවක් යාන්තමට සටහන් වෙලා. ඒ හිනා රේඛාව අස්සෙන් මට අප්පච්චි කිව් කතා මතක් වෙනවා. අප්පච්චිට ගරු කිරීමක් හැටියට තවත් කතාවක් සටහන් කරන්න අවසරයි, පුලිනතලාවෙ.

                      ඒ කාලෙ අපෙ අප්පච්චි තමයි, බදුල්ලෙ කතරගම දේවාලෙ බස්නායක නිළමෙ හැටියට හිටියෙ. අගෝස්තු මාසෙට නුවර පෙරහැරත් එක්ක සමාන්තරවම බදුල්ලෙත් ඉතාමත් විචිත්‍ර විදිහට ඇසල පෙරහැර කෙරෙනවා. අලි ඇතුන් වගෙම, උඩරට, පහත රට, සබරගමු වගෙ නැටුම් විතරක් නෙවෙයි සමහර කලායතන වලිනුත් නැටුම් කණ්ඩායම් මේ සඳහා යොදා ගැණුනා. මේ පෙරහැරට බදුල්ල මුතියංගන රජ මහා විහාරයේ පෙරහැරත් අතරමගදි එකතුවෙල එකටමයි වීදී සංචාරය කරන්නෙ. බදුල්ල දිස්ත්‍රික්කය අවට ගම් පළාත් වලින් වැල නොකැඩී සෙනග එනවා පෙරහැර බලන්න.

                    මේ වගෙ පෙරහැර කරන එක් අවස්ථාවක පොඩි වරදවා වටහා ගැනීමක් නිසා පෙරහැර වර්ජනය කරන්නට එක් කණ්ඩායමක් සංවිධානය වෙලා පවුල් පිටින් පෙරහැර වීදි  සංචාරය කරන එක තැනක පාර පුරා වාඩි වෙලා ඉඳලා.
                  මල් වෙඩිල්ල පත්තු කරලා දැන් පෙරහැර පිටත් වෙලත් ඉවරයි. අප්පච්චිත් දැන් තුප්පොට්ටියත් ඇඳ ගෙන පරිවාර නිළමෙල දෙන්නෙකුත් එක්ක සධාතුක කරඬුව වඩම්මන ඇතා අසලින්ම වීදි සංචාරය කරනවා, උදාරම් ලීලාවෙන්.
               එතකොටම අපේ පොඩි අයියා අප්පච්චි ළඟට ඇවිත් අර ආරංචිය අප්පච්චිට සැල කර හිටියා. පොඩි අයියගෙ මුහුණ නම් බයෙන් කලු ගැහිලා. අප්පච්චි ඇබින්දක් වත් කලබල වුණේ නැහැ. බොහොම උපේක්ෂාවෙන් මොහොතක් කල්පනා කළා.
"පොඩි පුතා, කාටවත්ම මේ ප්‍රශ්නෙ කියන්න අවශ්‍ය නැහැ. ඔය මිනිස්සුත් වෙනදට පෙරහැර බලනවනෙ. මේක අපේ සංස්කෘතික අංගයක් නෙ. අපි පෙරහැර පිළිවෙල වෙනස් කරමු. පුතා ගිහින් ඉස්සරහින්ම අලියෙක් යවන්න. ඊට පස්සෙ කස   කාරයන්ව යවන්න. අලියෙක් එන කොට කවුරුත් පාරෙන් අයින් නොවී ඉන්නැහැ නෙ. ඒ හරියට යන කොට ඔය වෙනස් කම කර ගන්න අපිට කල්    තියෙනවා. කලු බණ්ඩත් එක්ක කණ්ඩුලව අරන් යන්ඩකො"
පොඩි අයියා මොනතරම් දක්ෂ සංවිඪායකයෙකු වුවත් අප්පච්චිට පහළ වුණු ඒ නුවණ නම් ඔහුට පහළ වූයේ නැත. ඒ බව අදත් පොඩි අයියා පවසන්නේ අප්පච්චි ගැන ඉතා ආඩම්බරයෙනි.

              පෙර්හැරේ ඉදිරියෙන්ම අලියකු එනු දුටු සටන්කාමී පිරිස අර පොත පතේ එන ආකරයටම හිස් ලූ ලූ අත පලා යන්නට ඇති. හැබැයි කාටවත්ම කිසිම කරදරයක් හෝ පුන්චි ලේ සෙලවීමක් වුණේ නැති බවත් අප්පච්චි මට කිව්වේ, "ලොකු කරදරයක් වෙන්න හිටි එකක් නවත්ත ගත්ත . . . ඒ වගෙම ඒ කණ්ඩායම පෙරහැරත් බලලා දේවාලයට ඇවිත් මගෙන් සමාවත් ඉල්ලුවා, වැරදි වටහාගැනීමක් කියල.."  කියමින්.


21 ක් අදහස් දක්වලා.