Thursday, September 17, 2009

සිහිවටනය

Thursday, September 17, 2009
අද නම් මිනිත්තු කටුවට නගින්නෙත් නැතුව, පැය කටුවට නගින්නෙත් නැතුව කටු දෙක හරි මැද්දෙ හිට ගෙන ඉන්න ඕනි කියල මට හිතුණා. වර්තමානයෙ සිදුවන සිදුවීමුත් කවුරු හරි සැලසුම් කරල, අදෘශ්‍යමාන බලවේගයකින් ක්‍රියාත්මක කෙරෙනවද කියල හිතෙන තරමටම ඒවා ගුප්ත බවකින් පිරිලා.
මට හිතාගන්න බැහැ, මොකද සුමිත්ත මේ ලේඛකයාගෙම පොතක් අපේ හමුවීමේ සිහිවටනයක් විදිහට මට ගෙනැත් දුන්නෙ කියලා. එයා දන්නෙ කොහොමද ඒ පොත මගෙ ජීවිතයට සම්බන්ධයි කියල. පර චිත්ත විජානනනය තියෙනවයැ එයාට. නිකමට ගෙනෙන්න ඇති. ඒකටත් ඉන්ද්‍රයියා කියනව වගේම 'ගුප්ත' කියල ලේබලයක් අලවන්න තමයි වෙන්නෙ. 
මම ඒ පොත කියවල තිබුණෙ නැහැ. එයාගෙ පොත් ගොඩක් කියවන්න මට ලැබුණෙ නැහැ, මම දැන් අවුරුදු ගණනාවක ඉඳල රටින් පිට වෙලා නිසා. බැලුවම මේ පොත පුරාම මාව එක එක චරිත වලට ආදේශ කරලා. එයාට මොකද මගෙ ජීවිතෙන් අත් මිදෙන්න බැරි. මම ඒ ගොල්ලන්ගෙන් මිදිලා දුරු රටකට වෙලා ඉන්නෙ ඒ ගොල්ලන්ට ඕනි විදිහකට ප්‍රේම පුරාණයන් ගොඩ නගා ගෙන ඒ මත්තෙම මියැදිල යන්න කියලා හිතා ගෙන.
එහෙම ඉඳලත් මේ පොත පුරාම මගෙ සිතුවිලි පරම්පරාවන්, මගෙ ඇවතුම්, පැවතුම්, කොටින්ම මාව දික් අතට හරස් අතට විච්ඡේදනය කරල. මම කිව්ව මට මේව ලියන්න වෙලාවක් නැති නිසා ඔයාම ලියන්න කියල දවසක්. 
ඇමීබාවෙක් කැපුවම වගෙ, කපන කපන කොටස මගෙම කොටස් වෙලා විවිධ චරිත වල වෙස් අර ගෙන මගෙම චරිතය විවිධ නම් වලින් නිරූපනය වෙනව. මම කියපු දෙබස් එහෙමම තියෙන කොට මට බකස් ගාල හිනා යනව. තවත් වෙලාවක දුන්හිඳ ඇල්ල වගෙම ඇස් කඩා හැලෙනවා.
මම පොත කියවන තැනට ඇවිත් ඊ මේල් බලන දෝනිටත් හිනා.එයා දන්නව මම පොත් කියවන කොට කොක් හඬ දීලා හිනා වෙන්නත්, හරකියෙක් වගෙ අඬන්නත් දක්ෂයි කියලා. ඒ ගොල්ලො ඒවා ඒ ගොල්ලන්ගෙ පුංචි කාලෙ ඉඳලම අත් දැකීම් වලට එකතු කර ගත්තු දේවල් නිසා, මගෙන් මොකුත් අහන්නෙ නැහැ.
මගේ හිත පහුරු ගාන නිය පහරවල් සියුම් වේදනා රොත්ත බුරුත්තක් අතීතයෙන් උඩට හාරල ගන්නව. ඕවට නම් මම සැලෙයි කියල මගෙ ආඩම්බර හිත පාරට්ටු කිව්වට, ඔන්න දන්නෙම නැතුව අසනි වර්ෂා ඇද හැලෙනවා. අනුන්ගෙ ආදරයක් නෙවේ නේ, මොන තරම් සීරු මාරුවෙන් ලිස්සල යන්න හැදුවත්. මගෙ හිතටම දැණුනු, මමම විඳපු දේවල් නේ. තුන්වෙනි පාර්ශවයක් විදිහට පෙම් කතන්දර වල අවශේෂ චරිතයක් වෙනවට වඩා මගෙම ජීවිතයේ එක එක යුගවල ළඟට ආපු, දුරට ගියපු...එන්න වගෙ දුරින් හිටපු...ඒ වගෙම දුරු වෙලාම යන්න ගියපු අය මට ලියන්න ඕනි තරම් අනුභූතීන් තිලිණ කරපු එකත් භාග්‍යයක් කියලයි මට හිතෙන්නෙ වෙලාවකට. 
ඉන්ද්‍රයියගෙ සුදු, උස සිහින් සිරුර ඇතුලෙ මේ වගෙ මනුස්සයෙක් හැංගිලා ඉඳීවි කියල මට නම් නිකමට වත් කවදාක වත්ම හිතුණෙ නැහැ. එයාට එහෙම වෙන්න ඕනි වුණේ ඇයි? තවමත් උත්තරයක් නැති ප්‍රශ්නයක් වෙලා ඒක හම දාමත් මගෙ හිත ඇතුළෙ ප්‍රශ්නාර්ථයක්ව තියේවි.
කතන්දර පොතට මෙහෙම කළොත් ඒකමිතිය නැතුව අච්චාරුවක් හෝ සලාදයක් වගෙ වේවි කියල සචින් අයියා කිව්වත් මම එයාට දුර කතනයෙන් දුන්නු උත්තරේට එයා ගොළු වුණා. 
"මගෙ ඇත්ත ජීවිතේ සැලසුමක්, වැඩ සටහනක් නැතුව, යන යන අතේ ගලා ගෙන ගියෙ මහ වැස්සකට කුණු රොඩු ඔක්කොම එකතු කර ගෙන ඉවක් බවක් නැතුව ගලා ගෙන යන මඩ වතුරක් වගෙ නෙවෙයිද, සචින් අයියෙ? අඩු ගණනෙ ඔයා වත් දුරු රටක ඉඳගෙන හරි මගෙත් එක්ක මේව බෙදා ගන්න එක ලොකු දෙයක්."
එයාට තේරුණා වෙන්න ඇති, හිතෙ සුව වෙලා තිබුණු තුවාල වල කලු කබොල්ලට යටින් තවමත් උණු ලේ එක්ක රිදුම් දෙන සැරව සෛල වේලිලා ගිහින් නැති වග.
" අනේ..සොරි, මලිති නංගි"
" ඔයත් මාව රැවැට්ටුව නේ...මතකද? ඉසෙල්ලම ඩොක්ටර් සරච්චන්ද්‍රගෙ පේමතො කවි මට වගෙ ලියල දුන්න. ඒ වෙන කොටත් ඔයා බැඳල බබෙකුත් හිටියා කියල ඔයා මට කිව්වෙම නැහැ නෙ." 
" ඒ මට ඔයාගෙ ආදරේ ලබා ගන්න තිබුණු ඕනි කමට නෙ, බබා." 
නාට්‍ය කණ්ඩායමේ සමහරුන්ට ඕනි වුණා, මාව සචින් අයියට ජෝඩු කරන්න. ඒ පසු කාලීන වැඩ පිළිවෙලවල් හිත් වල සනිටුහන් කර ගෙන. ඒ නිසාම අපි වෙන ප්‍රදේශ වල නාට්‍ය දර්ශන වලට යන කොට හිතා මතාම එක ළඟින් වාඩි වෙන විදිහට සැළසුම් හදනව. සචින් අයියා මගෙ ආරක්ෂකයෙකු විදිහට ඉඳල මගේ හිතේ ප්‍රේමයක ගිනි පුපුරු, අළු යට තියෙන්න හැරියා. 
එයාගෙ අදහස තේරුම් ගන්න මට සෑහෙන්න කල් ගියා. අනුන්ගෙ කවි ලියල මට ගෙනත් දෙන එක අත හැරියට පස්සෙ එයා අනුගමනය කළේ වෙනම ක්‍රමවේදයක්. කියවන පොත්වල සිත් ගන්නා සුළු සියුම් කොටස් වලට යටින් ඉරි ඇඳල මට කියවන්න දෙනවා.
මමත් බූරු වහන්සෙ වගේ ඒව කියවනවා, මේ ගොතපු ප්‍රබන්ධයන් නේද කියල හිතන්නෙ නැතුව. එයා ඉරි ඇඳපු කොටස් මගෙ හිතෙත් සියුම් තැන් වලට ඉදිකටු අනිනවා වගෙ ඇනිල හීන් ලේ බින්දුත් පනින්නට තරම් දරුණු වෙනව.
ඔය අනික් අය හිතන විදිහෙ රාග නිශ්‍රිත ප්‍රේමයක්ම නොවුණත්, මොකද්දෝ කියාගන්නත් බැරි, විග්‍රහ කර ගන්නත් බැරි ලෙංගතු කමක් අපි අතර නොතිබුණාම කියල කියන්නත් බැහැ. අපි රහත් වෙච්ච අය නෙවෙයි නෙ. සමහරු ඒකට, 'සොෆ්ට් කෝනර්' කියනවා. මම ඒ වචනෙ ඇහුවමයි. අපි දෙන්නගෙම හදවත් වල ඒ වගෙ අහුමුළු, කොන් ගොඩක් තියෙන්න ඇති, අපි නොදැන හිටියට ඒවා හරියටම මොනවද කියලා. 
සචින් අයියා නිසාම මම සත්‍ය සායි බාබාව අදහන්නත් පුරුදු වුණා. මට ශාකාහාරි වෙන්න හිතුණෙත් එයා නිසා. මේ අතීතය නෙවෙයි. වර්තමානය. ඉස්සර මස් කෑල්ලක් නැත්නම් බත් නොකන මම උම්බලකඩවත් නොකන තරමට ශාකාහාරි වුණා. 
එයා ඔස්ට්‍රේලියාවෙ ඉඳල නේපාලයට ආවා. මාව බලන්න විතරක් නෙවෙයි. ලුම්බිණියෙ යන්නත් එක්ක.
මම මගෙ රාජකාරී රථය අර ගෙන චන්ද මධ්‍යස්ථානයක් බලන්න යන විදිහට ගුවන් තොටුපොළට ගියා. චන්ද මධ්‍යස්ථානෙත් බලල පින්තූරත් ගත්තා. චන්ද ගණන් කරන තැනට සුදුසු කියල හිතෙන ගුරු විද්‍යාලයටත් ගිහින් එදාම පින්තූර ගත්තෙ මම කරන්නෙ රාජකාරියට පටහැනි දෙයක් නෙවෙයි කියල මගෙ හිතත් හදා ගන්න ඕනි නිසා. රියදුරා මට හරිම විශ්වාස වන්තයි. මම කිව්වෙ ඔය එන්නෙ මගෙ මස්සිනා කෙනෙක් කියලා. එයා චන්ද නිරීක්ෂණ වලට එනව කියලත් කිව්ව. 
බුදුන් ඉපදුණු දේශය බලන්න යන්න බොරු කියන එක පව් නේද කියල සචින් අයියා ඇහුවෙ, මේ ගෑණිගෙ කට්ට කම කියනව වගෙ බැල්මක් ඇස් වල ලියා ගෙනද කියල මම එයාගෙ ඇස් දෙකට රහස් පරීක්ෂක බැල්මක් හෙළුවා. එයින් නොසෑහුණු මගෙ සිත පණ්ඩිතකම් කියවනවා. 
" යහපත් දෙයක් කරන්න සම්‍යක් ප්‍රයෝග යොද ගත්තට කමක් නැහැ කියල බුදු හාමුදුරුවොත් කියල තියෙනව නෙ."
" ඔව්, ඔව්, කිතුල් ගහට වල් කපන්න ගිය මිනිහ ගෙ ගම ඕගොල්ලන්ගෙ ගමට කිට්ටුද?" කියල හිනා වුණා.
එක දිගට දවස් හතරක් යෙදිල තිබුණු සති අන්ත නිවාඩුවක එන්න කියල මම කරපු යෝජනාවට සචින් අයියා කැමතිවුණ එක ලොකු දෙයක්. කත්මන්ඩු වල බලන්න තියෙන තැන්වලට නම් වැඩ කරන දවස්වල වුණත් හතරෙන් පස්සෙ යන්න පුළුවන්. 
කත්මන්ඩුවල ගුවන් තොටුපළෙන් බැහැල එද්දි එහි බිත්තිවල ඇඳල තියෙන සිදුහත් කුමරුන්ගෙ උත්පත්තිය දිහාවෙ සචින් අයියා නැවතිල බලාගෙන හිටියා. මහමායා දේවි එතැන චිත්‍රයට නගල තියෙන්නෙ සාමාන්‍ය ගැමි ගැහැනියක් හැටියට. සූ සැට ආභරණ, හිස් පළඳනා, වළළු, මාල,කණ කර ආයිත්තම් සිත්තම් කරල නැහැ රජ බිසවකගෙ වගෙ. හරිම චාම් කාන්තාවක්. ඒ බිත්තියේ බුද්ධ චරිතයේ විශේෂ අවස්ථා මැනවින් පිළිබිඹු කරල තියෙනවා.
ලංකාවෙ වන්දනා නඩ එක්ක ලුම්බිණිය වඳින්න එන කට්ටියට කත්මණ්ඩුවල ගුවන් තොටු පොළ දකින්න ලැබෙන්නෙ නැහැ නෙ. මම ආපු දවසෙ ඔය එකක් වත් බලා ගන්න බැරි වුණෙ අපේ කාර්යාලයේ කට්ටිය එක්ක එහෙ මෙහෙ දුවන්න වුණු නිසා. අද නිදහස්. කවුරුවත් නැහැ, අණ දෙන නිලධාරීන්.
එහෙ වැඩ කරන ලංකාවෙ මල්ලිලා දෙන්නෙකුත් ලුම්බිණි යන්න ඕනි කිව්වා. එක් කෙනෙක් මුස්ලිම් නමක් තියෙන, ඒ වුණාට අපේ නාමික බෞද්ධයන්ට වඩා බොදු පිළිවෙත් අනුගමනය කරන කෙනෙක්. එයාගෙ කාමරේම සචින් අයියව නතර කර ගන්නත් එයා එකඟ වුණා. ඒත් සචින් අයියා කිව්ව එයා තනියෙම කමරයක ඉන්න ඕනි කියල. එයාගෙ බජන් කියන, පිරිත් කියන ඒවා අනික් අයට දරන්න අමාරු වේවි කියල. අපිත් හිතුවා එයා කියන එක හරිය කියලා.  
ලුම්බිණි ගමනට ඉස්සරින් මම සචින් අයියව 'මොන්කනම්මා' කියන දේවාලෙට එක්ක ගියා. මගෙ රියදුරාත්, භාෂා පරිවර්තිකාවත් මේ ගමනට සහභාගි කරගත්තෙ, නේපාලෙ වැසියො වුණත් ඒ ගොල්ලො එහෙ ගිහින් තිබුණෙ නැති නිසා. ඒ දේවාලෙත් තිබුණෙ මගේ බල ප්‍රදේශයේම වීමත් මට වාසියක් වුණා. 
පෝලිමේ ඉඳල කේබල් කාරයක ගිහින් තවත් පඩි ගණනාවක් නැගලයි, කන්ද මුදුනෙ තිබුණු දේවාලෙට යන්න තිබුණෙ. හොඳට ආවරණය කරපු කේබල් කාර්වල මිනිස්සුනව ගෙනියද්දි, එලුවො අරගෙන ගියා විවෘත රථ වල. ඒ බිලි පූජා කරන්න. අයිති කාරයන්ගෙ නම් ගහලා තිබුණ සත්තුන්ගෙ ඔලු ගෙඩි වල. 
විවිධාකාර ඇදහිලි. සත්තු මරල බිල්ලට දීල උන්ගෙ ගෙලකපද්දි ගලන රුධිරයෙන් තමයි පූජාව පවත් වන්නෙ. ලේ ගලා ගෙන යන තැනට මම නම් යන්න බැහැ කිව්ව. පහළ මළුවෙ ඉඳගෙන මම ටිකක් හයියෙන්, ඉංග්‍රීසියෙන් යාතිකාවක් කළා.
" අනේ..දේව මෑනියෙනි, ඔබගෙ නමින් මේ විදිහට කෙරෙන බිලි පූජා නවත් වනු මැනවි. මොවුන්ටත් ජීවත් වීමට අයිතියක් තියෙනවා නේද? මේ සත්ව ඝාතන නවත් වනු මැනවි" කියල.  
භාෂා පරිවර්තිකාව මගෙ දිහා පුදුම වෙලා බලා ගෙන හිටියා. සචින් අයියත් ඒ විදිහටම හිතන්න ඇති කියල මට හිතුණා. මාත් එක්ක එකම අංශයක වැඩ කරන අනික් සගයො දෙන්න මේ ගමනට ආවෙ නැහැ, ඒ ගොල්ලන්ගෙ දිස්ත්‍රික්කෙ වැඩ කටයුතු අධික නිසා. කන්ද උඩ සිරී පාදෙ වගෙ. කඩ වැහි වැහැල. වෙනසකට තියෙන්නෙ සිරී පාදෙ යන බැතිමතුන්ගෙ තියෙන කරුණ ගුණය මේ බැති මතුන් තුළ නැතී එක.
ටිකක් පහලට බැහැල එන කොට කෑම කන්න තැනුත් තිබුණ. අපි එළවළුත් එක්කයි, පරිප්පු හොදි එක්කයි බත් කද්දි නේපාල් වැසියන් දෙන්න එළු මස් එක්ක පරිප්පු හොදි දාගෙන 'සුරුස්, සුරුස්' කියල සද්දෙ කර කර බත් කෑවා. 
නාට්‍ය කරන කාලෙ හිටි සචින් අයියයි මේ සචින් අයියයි කොච්චර නම් වෙනස්ද? තැන්පත් කම, පරිණත කම....හික්මුණු, නිවුණු ගති..මට අදහගන්නත් බැහැ. ඒත් මගෙ නම් හිටපු ගමන් කෙලි කම මතුවෙල දඟලන ගතිය තවමත් අත් ඇර ගන්න බැරි වෙලා.
අපි කවදාවත්ම හිතුවෙ නැහැ, වැඩිහිටියො වෙලා මෙහෙම ආයෙත් මුණ ගැහේවි කියල. හිතන දේවල්නෙවෙයි නෙ වෙන්නෙ. ඒත් ඉස්සර හමු වීමකයි දැන් හමු වීමකයි පරස්පර විරෝධී වෙනස් කම් රාසියක්. දැන් ඇස් කතා කරන්නෙ නැහැ. ඒ වෙනුවට කල්පනාවක හෝ අවස්ථා විශ්ලේෂණ වල යෙදිලා. පොත් පත්වලට ලියන්න කරුණු එකතු කරනවා.
මම දින පොතේ ලියපු සටහන් ටික කියවගෙන ගිහින් සේව් කරල පරිඝණකය නිවල දැම්ම. හෙට ලුම්බිණි ගමන ගැන කතා කර ගන්න අපි කෑම කමරයෙදි එකතුවෙන්න සැලසුම්කර ගත්තු නිසා, පිය ගැට පෙළ දිගේ පහළට ඇදුණා.

5 ක් අදහස් දක්වලා.

Tuesday, September 15, 2009

නැත ලොවේ අන් රසඳුනා...

Tuesday, September 15, 2009
හැමෝම කලබලයෙන් ඇඳුම් මාරු කරනවා. තරඟයක් වගෙ...කණ්නාඩියක් ඉදිරියෙ වාඩිවෙලා, මම මුහුණ පුරා තවරල තිබුණු පාට මකා දමන්න උත්සාහ කළා. ඇස් වල නිල් පාට, කලු පාට, රෝස පාට...දෙකම්මුලේ රතු පාට...මට ඒ පාට මකල දමන්නත් ලෝබයි වගෙ. මගෙ රූපෙට මගෙ හිතේම තණ්හාවක් ඇතිවෙලා. අර ලස්සන පාට ක්‍රීම් ගාල ඉවත් කරද්දි ටිෂූ එකට එන්නෙ තනිකරම කළු පාටක් වෙල. සුන්දර දෙවල් වල අවසානය කලුම කලු අඳුරක් විතරද?
'විකාර නොහිතා ඉක්මනට ඇඳ ගෙන ගියොත් හොඳ නැද්ද? කී දෙනෙක් අරෙහෙ බලාන ඉන්නවද'
අප්පෝ! මේ දඩබ්බරීගෙන් නම් බේරෙන්න හරිම අමාරුයි. 
මුහුණ සෝදගෙන මම ඉක්මණට ලා නිල් පාට ඔසරිය ඇඳ ගත්තා. මට ඔසරියක් අඳින්න හිතුනෙ තරිඳු එන නිසා. එයාගෙ ගම මාතලේ නෙ. එයා ඔසරි අඳිනවට කැමතියි කියල මට හිතුණා. මදෑ....එක්කෙනෙක් වෙනුවට අද දෙන්නෙක්ම ඉන්නවා හැඩ බලන්න. ඉන්ද්‍රයියත් තවම මම ඔසරි ඇඳල ඉන්නව දැකල නැහැ.
මෙලහටත් මොන මොන මාර්තෘකා සාකච්ඡා මණ්ඩපයට ප්‍රස්තුත කර ගත්තද දන්නෙ නැහැ. ඉන්ද්‍රයියට තරිඳු ගැන කියයිද කවුරු හරි? නැහැ...එහෙම වෙන එකක් නැහැ. හැමෝම මගේ පැමිණීම බලාපොරොත්තුවෙන් හිටියෙ.
" අම්මෝ, මලිති කුමාරිහාමිගෙ හැඩ දැන්නෙ පෙනෙන්නෙ අපූරුවට. කවුද දන්නෙ නැහැ මේ සුරන්ගනාවිව ගෙනියන්න අසු පිටින් එන කුමාරයා?"
සරලා කීවෙ මගේ දිහාවටම දෑස එල්ල කර ගෙන. මගෙ ඇස් මොන කුමාරයා ලඟට වත් යන්න නොදී මම අමාරුවෙන් වහන් කර ගෙන දඟකාර විදිහට අහසෙ තරු දිහාවට යොමු කළා.
" හහ්! දැන් අහස දිහා බලන්නෙ මිනිස් ලොකේ කුමාරයෙක් මදි වෙලා වෙන්නැති, මෙයාට"
ඒ අමිල.
" අනේ, ප්ලීස්..., මාව බයිට් එකට ගන්නෙ නැතුව මොනව හරි කන්න යමුකො"
මම පොදු ප්‍රශ්නයකට සිත් යොමු කළා. හරිම පුදුමයි. කතා බහ අතරෙ මම ඉන්ද්‍රයියගෙයි, තරිඳුගෙයි මැද්දට වැටිල.
" කෝ..දෙන්න ඔයාගෙ බෑග් එක මට" ඉන්ද්‍රයියා මගෙ ඇඳුම් බෑග් එක ගත්තා. මට දැනෙනව, දෙන්නම උගුරට හොරා බෙහෙත් කන්න උත්සාහ කරන බව. දෙන්නම හරිම පරිස්සමෙන් වචන පාවිච්චි කරන්නෙ. එක්කෙනෙකුට වත් අවශ්‍ය නැහැ, තමන්ගේ වගෙම මගෙත් ශ්‍රී නාමය කෙළෙසන්න. නෑදෑ වෙන අයියෙක් කිව්ව නිසා අමිල, රුවිනි, සරලා වුනත් කතා කරන්නෙ පරෙස්සමින්.
ඒකත් ජය සිරි මංගලම්! මගෙ හිත කෙඳිරි ගානවා. දැන් පොඩ්ඩකට ඉස්සෙල්ල ඉන්ද්‍රයියට  ළං වෙන්න හිතපු හිත සන්සුන්වෙලා. තරිඳු ගැන මේ දවස් ටිකේම මවපු හීන කොහෙ විසිරිල ගිහින්ද කියල මටම නිනව්වක් නැහැ. පුදුම උපේක්ෂාවක්. හිතා ගන්න බැරි සන්සුන් කමක්.
" ඉන්ද්‍රයියා අද කොහෙද නවතින්නෙ?" මගේ පළවෙනි ප්‍රශ්නය.
" බැද්දගානෙ නන්දා පුංචිල ගෙ ගෙදර. මලිති නංගිවත් එක්කරගෙන එන්න කිව්වා පුංචි." දියට දමන්න හදන කොට ඇන්නෑවෙ කියන ඉබ්බෙක් නොවී අදි මදි මූණක් දමන්න හිතුණ, අනික් අය ඉදිරියෙ. ඒත් ඉන්ද්‍රයියගෙ ඇස් දෙකට මගෙ හිත තේරුම් ගන්න ඉඩ හැරියා.
" අපි බෝඩිමේ ඇන්ටිට කියන්නම්" රුවිනි මොකද මේ? තරිඳු ගෙ විරුද්ධත්වයක් ඇත්තෙම නැහැ.  
ගත්තු උලුඳු වඩේ, පැටිස්, කට්ලට්ස් කමින් අපි බස් නැවතුමට ආවා. බස් නැවතුමේ මාවයි, ඉන්ද්‍රයියවයි තනි කරල අනෙක් කට්ටිය සමු ගත්තා.
" ඔයාට හොඳ යාලුවො කට්ටියක් ඉන්නව නේද..?"
තරිඳු පස්සෙන් ඇදෙන ඇසුයි, හිතයි ඉන්ද්‍රයියා දොඹකරයකින් අදිනව. අකැමැත්තක් නැතුවම හිතත් ඇදිලා එනව.
අපි බස් එකේ ඉඳ ගත්තෙ එකළඟ, ගෑවි ගෑවි. ඉන්ද්‍රයියා මගෙ වම් කලව උඩ ගිමන් හරින අත අල්ල ගෙන ඊට උඩින් මගෙ බෑග් එක තිබ්බ කාටවත්ම නොපෙනෙන්න. මම අත ඉවතට ගන්න හිතුවෙ නැහැ. එයාගෙ ඇඟිලිත් එක්ක හුරතල් වෙන්න ඇරියා. මගෙ ප්‍රථම ප්‍රේමය ඉදිරියෙ මගෙ අකීකරු කමට නීති දමන්න මට බැහැ.
"ඇත්තටම ඉන්ද්‍රයියෙ, ඔයාට මොකද වුණෙ...මම හිතුවෙ ඔයා හේමි එක්ක ...."
"කට, කට...." ආදර තරවටුවක්.  
"ඔසරියට ඔයා හරිම හැඩයි මගෙ සුදු මැණිකෙ"
"හා...කවද්ද ඔයාට මාව ලියල දුන්නෙ?"
"ලියා ගන්නංකො පස්සෙ. ලිව්වත් නැතත් ඒක එහෙම තමයි"
"ඔයා හේමි ගැන කියන්නෙ නැත්තෙ අයි?"
" මොන හේමිකෙක්ද? එයා කොයි ලෝකෙක ඉන්නවද කියල මම දන්නෙ කොහොමද?" "මම හිතුවෙ ඔයා එයත් එක්ක.."
" මම එයත් එක්ක බින්න බැහැල කියලද? නෑ කෙල්ලෙ, අපෙ අපුච්චා අපේ සම්බන්ධයට පොඩ්ඩක් අකැමැතියි වගෙ. ඒත් පුංචියි, නැන්දයි ඔයාට හරිම අදරෙයි."
"පුංචියි, නැන්දයි විතරද මට ආදරේ"
"ඔව්, ඉතින් මේ කලු කෙල්ලට වෙන කවුද ආදරේ කරන්නෙ?"
ඔහු මගෙ අත මුව අග්ගිහට අරගෙන සිප ගත්තෙ අර විදුලි දහරාවන් මුළු සිරුර පුරහම සන්නයනය කරමින්. පරිපථය දිගටම අඛන්ඩව විද්‍යුතය සංසරනය වෙනව. සිතුවිලිත් ඝනීභවනය වෙලා. රුධිරය..ස්නා‍යු...සෛල...අස්ථි...ඇටමිදුළු...මස්තීෂ්කය, සුසුම්නාව...ඔක්කොම නිර්වින්දනය වෙමින් සීතල වෙනව. මගෙ ලේ ගමන අධික වෙලා නහරයක් පුපුරලා මැරේද කියල හිතෙනව. සතුටද...ආස්වාදයද...ආහ්ලාදයද...රාගයද...මට මොන විදිහකටවත් ඒ හැඟීම් නිර්වචනය කරගන්න බැහැ. බස් එකේ නෙවේ නම් මම එයාගෙ උරිස්සට, මගෙ හිසේ උහුලගන්න බැරි බර දරා ගන්න දෙනවා.
බස් එකෙන් බැහැලා අපි පුංචිලාගෙ ගෙදරට (එයාගෙ පුංචි වුණාට මගෙ නැන්දා) ඇවිදගෙන ගියෙ පැටලුණු දෑත් වලින්. ගමේ වගෙ රොයිටර්ලා මෙහෙ නැති එක කොච්චර හොඳද? ගෙදර සීනුව නාද කළෙත් අත්දෙකම එකට තියලා. දොර අරින සද්දෙට අපි ටිකක් දුරස් වෙල අත් මුදා හැරියා.
" අප්පෝ, ඉන්ද්‍රම එන්න ඕනි මෙයාට අපේ ගෙදර එන්න..නේද පුතේ?" 
නැන්දම්මගෙ නෝක්කඩු, ආදරේට. වස විස නැහැ, ඒවයෙ. ලෙංගතු කම විතරමයි. මාමණ්ඩිට දණගහල වැන්දම සතුට බිම පෙරලෙනවා.
" කොළඹ ආවට සුදු මැණිකෙ වෙනස් වෙලා නැහැ. එහෙම තමා දියුණු වෙන ළමයි"
" මූණ කට සෝද ගෙන කන්න ළමයිනෙ...මෙයත් බලාන හිටියෙ ඔය දෙන්න එන කල්. නංගිල දෙන්න නං ඔන්න කාල බුදුන් වඳින්න ගියා උඩට."
ගේ පිටු පස්සෙ ලිඳට මම යන කොට ඉන්ද්‍රයියත් මගෙ පස්සෙන්. 
" කලු මැණිකෙට ලිඳෙන් වතුර ඇදල පුරුදු නැහැ නෙ. පුංචි කිව්ව ඔයාට වතුර ඇදල දෙන්න කියල".
අපිට හැම දාම මෙහෙම හුරතල් වෙවී ඉන්න පුළුවන් නම් කොයි තරම් හොඳද? අපි දෙන්නගෙ කිට්ටුවන්ත කම කට්ටිය සේරෝම දන්නව. ඉන්ද්‍රයියගෙ අපුච්චට ඇරෙන්න වෙන කාගෙවත් ඇහැකට කුනක් වුණේ නැහැ, අපි දෙන්න.
හඳ නොපිරුණත්, ආඩම්බරේට තරු පිරි වරාගෙන. මැද සාලෙ මල් කවුළුවෙන් රිංගන්න හදනව ගෙට. අපිට එකතු වෙන්න හිතිලද කොහෙද? පුර අටවක වෙන්නැති.  
" බත් බෙදා ගෙන මිදුලට යමුද, මාමණ්ඩී?"
" මොකෝ නොයා? යමු..යමු..අපේ කලා කාරිට හඳ එලිය නාන්න හිතිලද කොහෙද?" "කලා රිට"  
 ඉන්ද්‍රයිය මාව පහු කරල යන ගමන් මගෙ කණට කොඳුර ගෙන යනව. මම එකට එක කියන්න ගියෙ නැහැ. ආදරේට කියන ඒවට කලබල වෙන්නෙ මොකටද?
හඳ වතුර, මිදුලෙ පොකුණු පොඩිත්තෙ වතුරට එකතු වෙලා රිදී පාට ජල තරන්ග මවන රටාව හරිම අපූරුයි. මානෙල් මල් වල දම් පාට හිත පුරා ඇතිල්ලෙනවා. මාමණ්ඩි ළඟින් ඉන්ද්‍රයියා ඉඳ ගත්තා. නැන්දම්මා මගෙ ළඟට ඇවිත් හරි බරි ගැහුණා.
"සුදු මැණිකෙ දන්නවද? ඉන්ද්‍ර පුතාට හිෂ්‍යත්වයක් ලැබිල ජර්මනියට යන්න?"
අලුත් පුවත් කෙටියෙන් විකාශනය වෙනව. 
" ඔය කියන කල් දන්නෙ නැහැ, නැන්දම්මෙ...අයියා මට කිව්වෙ නැහැ."
" ඇත්තද පුතේ..මොකද නංගිට කිව්වෙ නැත්තෙ පුතා රට යන කතාව?"
" තව සති තුනක් තියෙනව නෙ, පුංචි. පොඩ්ඩක් තිබුණොත් දුන්හිඳ ඇල්ල ඇස් දෙකේ නෙ මෙයාගෙ. පස්සෙ වෙලාවක් බලල කියන්න හිතුවෙ."
"ඒ කියන්නෙ ඔයා යනව කියන එකද අයියෙ?"
"ඔය මං කිව්වෙ...බොරුද බාප්පොච්ච මම කිව්වෙ?"
අර තුන් කාලෙ හඳ පලුව කළු වළාවකට මුවා වුණා. පොකුණෙ මල්, රිදී පාට දිය රැළි ...සේරම අඳුරු කුට්ටියක්. ඇස් අග්ගිහට තෙතමනයක්.
" ඔයාව අද මෙහෙ එක්කරන් ආවෙ ඔයාගෙ පාස් පෝට් හදන්න කියල" ටිකිරි නංගි දුවගෙන ඇවිත් අපේ කතාවට එකතු වෙනව. 
"ටිකිරි, ඔයාට පැහිච්ච්කං වැඩක් නැහැ ." 
නැන්දම්ම සැර වෙන්නෙත් තරහින් නෙවෙයි.
"දැන්ම නෙවේ. එයා ගිහින් ඔයාට ටිකට් එකක් එවාවි. එහෙම නේද පුතේ"
මාමණ්ඩි කරුණු පැහැදිලි කරන්න උත්සාහ කරනව.
" නැහැ, බාප්පුච්චෙ, ඔක්කොම ලිය කියවිලි සතියෙන් ලැහැස්ති කරල දෙන්නම් කියල යාලුවෙක් කිව්වා. එයාගෙ තාත්ත වැඩ කරන්නෙ විදේශ කටයුතු අමාත්‍යංශයෙ. මෙයාගෙ කැමැත්ත විතරයි ඕනි."
ගහෙන් ගෙඩි එන්න වගෙ ඉක්මණට ඉක්මණට මෙහෙම දේවල් වෙන්න පුළුවන්ද? මම අප්පච්චිට, අම්මට මොනවද කියන්නෙ? මම පවුලෙ වැඩිමලා. මට පුළුවන්ද හොරෙන් පිට රට යන්න අම්මගෙ, අප්පච්චිගෙ මූණෙ දැලි ගාලා.
කන්න ගත්තු බත් උගුරෙ හිරවෙනව. අපිජිහ්විකාව තදටම වැහිල. සතුටක් එන කොටම ඇයි ඒ පසු පස්සෙ දුකකුත් අත් වැල අල්ලන් එන්නෙ? අනවශ්‍ය කතාවක් අනවශ්‍ය මොහොතක ඇදල ගත්තු එකට නැන්දම්මට හිත තැලිලා.
"ඕවා ගැන පස්සෙ කතා කරමු...කොහොමද අද නාට්‍යය හොඳට කෙරුණද?"
මාමණ්ඩි කැසට් එක මිදුලට ගෙනැත් 'සිංහබාහු' කැසට් එකක් වාදනය කළා.
'ලෝ දහමින් වැදෙනා රළු පහරින් 
ගත සිත රිදෙනා කල නිතියෙන් 
නැත ලොවේ අන් රසඳුනා...ආ...ආ..
ආදරේ සේ සුව දෙනා'  
මාමණ්ඩි කාලෝචිත විදිහට මාර්තෘකාව වෙනස් කළා. නංගිලා දෙන්න නැන්දම්මත් එක්ක සින්දුවෙ අත් වැල ඇල්ලුවා. හඳ ආයෙමත් වළකුළෙන් මිදිලා තරු පොකුරක් එක්ක හුරතලයක. ඉන්ද්‍රයියා කැසට් යන්ත්‍රයෙ හඬ වැඩි කරනවා. මමත් ගීතයටම සම වැදුනා.
'නැත ලොවේ අන් රසඳුනා...
ආදරේ සේ සුව දෙනා..........'  
ආදරයම විතරක් පිරුණු ලෝකයකට හෙට ඉර පායපු දෙන්. විරහවක් කොතැනක වත් ලියවෙන්න එපා. අද රෑටත් ජර්මනිය, විශ්ව විද්‍යාලය, නාට්‍යය, සල් ගහ ගෙදර, ඉන්ද්‍රයියා..තරිඳු...හිතට නිමක් නැති පැවරුම් ගොඩාරියක් එකටම ලැබිලා.  
කොහොම අවසානයක් දකීවිද? එක ප්‍රශ්නයක්, ප්‍රශ්න පත්තරයක් වෙල. එතැනින් නවතින්නෙ නැතුව සම්පූර්ණ පරීක්ෂණයක් වෙලා. මුළු විභාග දෙපාර්තමේන්තුවේම වැඩ, වගකීම මගෙ හිතට පැවරිලා වගේ. 
ප්‍රශ්න කන්දරාවක්. උත්තර කොහෙන් හොයා ගන්නද මම?

10 ක් අදහස් දක්වලා.

මරන තුනක්





 
හිත හතර අතේ දුවනවා. කතන්දර කියන්න බැරි තරමක් එකතු වෙලා හිතේ පෙරහැරක් වගේ ඉදිරියටට එනවා. කස කාරයන්ට ඇඳල එන කතන්දර , චට පට ගාල පුපුරල ටිකකින් සද්දෙ නැතුව ඉක්මණට අමතක වෙලා යාවි කාටත්. ඒත් පෙරමුණේ රාළ වගෙ කෙනෙක් ඉස්සරහින් යනකොට ඒව කාගෙ හිත් වලත් අපූරුවට මතක තියේවි. මහා තෙජස් විලාසෙන් පෙරහැරෙ ඉස්සරහින්ම ගමන් කරන්නෙ, පෙරමුණේ රාළ තමයි. පෙරහැර යන ගමන් මාර්ගය සටහන් වෙලා තියෙන තල් පත අඩංගු මංජුසාව දෝතින් දරා ගෙන පෙරමුණේ රාළ අලියා පිටේ යනවා. නුවර පෙරහැර කොයි තරමක් බැලුවත් ඇති හිතෙන්නෙ නැති කලා නිර්මාණ එකතුවක්. හැබැයි අද මම කියන්න යන්නෙ නුවර පෙරහැර ගැන නම් නෙවේ.
මම හුඟක්ම ඉස්සර කියවපු පොතක තිබුණු අපූරු කතාවක් මතක් වුණා. සමහර උදවිය අහලත් ඇති, නැතුවත්ඇති... සමහර විට එච්.ජී.වේල්ස් මැති තුමා ගැන. එතුමා ලියපු පොතක් තිබුණා කාල යන්ත්‍රයක් ගැන. එහෙමත් නැත්නම් 'ටයිම් මැෂින්' එකක් ගැන. පොතේ නමත් 'ටයිම් මැෂින්' තමයි. ඒකෙන් චිත්‍රපටියකුත් හැදුවද කොහෙද? ඒ කතාවෙ තිබුණා, අමුතුම වර්ගයේ ඔරලෝසුවක්. හැම ඔරලෝසුවක වගේම ඒ ඔරලෝසුවෙත් මිනිත්තු කටුවකුයි, පැය කටුවකුයි තිබුණා. ඉතින් වෙනසකට තිබුණෙ මේ ඔරලෝසුවෙ මිනිත්තු කටුවට නැග්ගම අතීතෙට යන්න පුළුවන්. පැය කටුවට නැග්ගම අනාගතයට යන්න පුලුවන්.
මමත් ඒ වගෙ ඔරලෝසුවක් අරගෙනයි අද ආවෙ, 'පුලිනතලාවට'. ඉතින් මට හිතෙන හිතෙන වෙලාවට ඔය එක කටුවකට නැගල අතීතෙට හරි අනාගතයට හරි ඉගිල්ලෙනවා. ඔන්න මට මතක් වුණා, අපේ නංගි කෙනෙක් කියපු කතාවක්.
'ක්‍රොනොලොජි' පටලවා ගන්න එපා කියලා. ඕගොල්ලො දන්නවද ? මම නම් පැටලෙන තරමට මයි කැමති. නිකම්ම සරල රේඛාවක් වගෙ ජීවිතේ ගලා ගෙන ගියාමත් කිසිම ගතියක් නැහැ නේද? හැල හැප්පීම්, වැටීම්, නැගිටීම් ඔක්කොමගෙම සංකලනයක් වුණාමයි ජීවිතේ ඇඹුල්තියල් වගෙ රසවත් වෙන්නෙ.
අනං මනං කියන්න ගිහින් කතාවත් අමතක වුණා. නවත්තපු තැනටම යමුකො. ඉතින් දැන් අපෙ වේදිකා නාට්‍යයෙ මංගල දර්ශනයත් හෙට. අද ලයිට් රිහර්සල් සහ ඩ්‍රස් රිහර්සල් දෙකම එකට කෙරෙනව ලුම්බිණියෙම. ලුම්බිණියෙ මංගල දර්ශන කළාම නාට්‍යය හොඳට දුවනවා කියලා නාට්‍ය ප්‍රජාව අතරෙ පිළිගැනීමක් තියෙනවා. ඒකම තමයි අපේ අධ්‍යක්ෂක තුමත් ඒ රඟ හලේම නාට්‍යයෙ මංගල දර්ශනය කරන්න හිතන්න ඇත්තෙ.
දවස ගෙවිල ගිය ඉක්මන. සිතුවිලිත් එක්ක හැල හැප්පෙන කොට වෙලාව යනව දැනෙන්නෙ නැහැ. මේ දවස් වල පොතක් සටහනක් ලඟට යන්න ඇස්වලට හිතුනෙම නැහැ. ඒකත් එතරම් හොඳ ලකුණක් නෙවෙයි.
මම නාට්‍යය බලන්න එන්න කියල තරිඳුට ප්‍රවේශ පත්‍රත් යැව්ව. එනවම කියල කෝල් එකකුත් දුන්න ඊයෙ. කට්ටියම එන්නෙ නැතෑ.
 ඇඳුම් අඳින්න ඉස්සරින් මේක් අප් දාගෙන ඉන්න කියල අධ්‍යක්ෂක තුමාගෙ සහකාරිය අපට කීවා. එයා තමයි නාට්‍යයෙ වෙස් නිර්මාණය කරන්නෙ. අංග රචනය කළාට පස්සෙ මගෙ මූණ මට වත් අඳුනගන්න බැහැ වගෙ. නාට්‍යෝචිත විදිහට නහය, ඇස්, දෙකම්මුල් මතු කරල අර ගෙන. නළු නිළියන්ගෙ හැඟීම් දුර ඉන්න අයට වුණත් පැහැදිලිව පෙනෙන ආකාරයට. අධ්‍යක්ෂක තුමාගෙ බිරින්දෑ මට ඇඳුම් අන්දන්න ආවා.
"අපෙ අළුත් නිළියට මම අන්දන්නම් කෝ"
ඇය රත්තරන් පාට රෙද්ද ධෝතියක් වගෙ මට අන්දනව. රැලි එකට එකතු කරල එක රැලි ගොන්නක් ඉනේ කොඳු ඇට පේලිය ළඟින් යට කළා. අනික් රැලි ගොන්න නාභිය ලඟින් යටට ගැහුවා. මට එතකොට කිති කැවිල, උරහිස් ඇකිළිලා 'ඊක්' කියවුණා. ඒකට ප්‍රධන නිළියගෙ මුණ පුරා හිනා ගඟක් පුපුරා හැලුණා.
"නාට්‍යය දෙක තුනක් කරන කොට ඔය කිචි ඇරිල යයි", ඇය කිව්ව. නේපත්‍යගාරයෙ හිටි ඔක්කොමල ඒකට මහ හයියෙන් හිනා වුණා. ඒ මොකද කියල මට එදා නම් තේරුණේ නැහැ. ඒත් ගායක කණ්ඩායමේ හිටපු සන්ධ්‍යා ඒ මොකද්ද කියල මට පස්සෙ කියල දුන්න.
"ශාලාව නරඹන්නගෙන් පිරිලා" කියලා හැමෝම කියන සද්දෙ මට අහෙනව. මුළු නාට්‍ය කණ්ඩායමටම වේදිකාවට එන්න කියල දෙබස් මතක් කරල දෙන අක්ක කියාගෙන ගියා. වේදිකාව මැද්දෙ පොල්තෙල් පහණක්. සේරම රවුමක් හැදිල ඒ පහණ වට කරල. අධ්‍යක්ෂක තුමා, බිරිඳ, සචින් අයියා, අංග රචන ශිල්පී අයියා...පොතේ ගුරු අයිය, ප්‍රධාන නළි නිළි යුවල ඔක්කොටම කතා කළා, පහන් පත්තු කරන්න. ඊට පස්සෙ අධ්‍යක්ෂක තුමා පුංචි කතාවක් කරල අපිට සුභ පැතුවා. අපි ඒ යුවලගෙ පා වැඳල ආශිර්වාද ලබා ගෙන ඉවර වෙනවත් එක්කම පළමුවෙනි සීණුව නාද වුණා.
මගේ මුළු සර්වාංගයේම සීණු දහයක් පහළොවක් විතර නින් නාද දෙන්න ගත්තා. චකිතය, සබකෝලය එක්ක තව මොන මොන වදෝ කියා ගන්න බැරි හැඟීම් සමුදායක් මුළු සිරුර පුරාම රුධිර සංසරණ පද්ධතිය දිගේ ගලා ගෙන යනවා. පපුවෙත් දෙමෝලෙ පිටි කොටනව වගෙ.
ප්‍රධන නළුවා වේදිකාව පිටුපස කලු තිරයකට දෑස් යොමා ගෙන ඉන්නවා. මට හිතුනෙ එයා චරිතයට සම වැදෙනවා කියලා. ඒක හොඳ දෙයක්, ඉගෙන ගන්න කියල මට හිතුණා. මමත් වේදිකාවෙ පැත්තක තියෙන තිරයක් දිහාව බලා ගෙන මගෙ චරිතයට පිවිසෙන්න හිතට අණ කළා. මුලින්ම තියෙන ගීත එක්කලා දෙබස් හිතට ඇදල ගන්න හදන කොට තරිඳුත් එනව හිනා වෙවී, හිත් අහසට. එතකොට ගීත සහ දෙබස් තාරුකා වෙලා සඳේ මුකුළු වලට යට වෙනව. නිශ්ප්‍රභා වෙල යනව වගේ...
දඩබ්බරී තරිඳු දිහාවට උපහාසත්මක බැල්මක් දමලා මොනවදෝ කියන්න හදනවා.
" මේ, ඔය ළමයට නාට්‍යය කර ගන්න දීල ඔයා පැත්තකට වෙනවද" 
ඔලුව ගස්සල මම හිත එකඟ කර ගත්තා. සියලු අවශේෂ දේවල් හිතින් මදකට වත් බැහැර කරන්න කොච්චර අමාරුද? මිනිස්සු කොහොමද මන්දා භාවනා කරනව කියන්නෙ. මගේ හිත නම් එක තැනක රඳවගන්න හරිම මාරුයි.
'දූරං ගමං ඒක චරං' තමයි හැම තිස්සෙම. හීලෑ කමක් ඇත්තෙම නැහැ.
ඔන්න තුන් වෙනි සීනුවත් නාද වුණා. තිරය හෙමි හෙමින් දෙපසට මෑත් වෙනවා. පොතේ ගුරු මුළින්ම වේදිකාවට පිවිසෙනවා....ඒ පසුපසින් ගායක කණ්ඩායම මද්දලේ තාලෙට ගමන් පදයකට පියවර තබනවා, ලතාවකට. මම පොඩ්ඩක් වේදිකාවට පිවිසෙන ගමන් පදය එක තැන කරලා පුරුදු වුණෙ හිතේ සැක දුරු කරගන්න.
නාට්‍යය අවසාන වෙන්න ඉස්සර ඉඳන්ම අපිට හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙන්න පටන් ගත්තා. කර්ට්න් කෝල් එකේදි මහා වැස්සක් වගෙ අත්පොලසන් නාද කඩා හැලෙනව. මම වේදිකාවට එද්දිත් හොඳ ප්‍රතිචාරයක් ලැබුණා.
"කමෝන් මලිති" කියලත් කවුදෝ කෑ ගැහුව. ඒක පේරාදෙනිය පැත්තෙන් ආපු සද්දයක් කියල මට හිතුණා. තරිඳු ඇවිත් ඇති, රුවිනිල සේරමත් පිරිවරාගෙන. මම හිතුවෙ තිරය වැහුවට පස්සෙ ඉක්මනට ඇඳුම් මාරු කර ගෙන තරිඳුල ගාවට ඉගිල්ලෙන්න. ඒ වුණාට කට්ටිය එනව වේදිකාවට, නළු නිළියන්ට සතුට බෙදල දෙන්න හාදු වලින්. සිපාචාර, ආචාර සමාචාර, එක එක විදිහෙන්. මම අලුත් නිළියක් නිසා කවුරුවත් එන එකක් නැහැ, හිත ඇබින්දක් චංචල වෙනවා.  
"මලිති.."
මම පය ඉක්මන් කෙරුවෙ ඇඳුම මාරු කරගන්න දුවන්න කියලා. ඉස්සරහට තියපු පය එක වරටම ඉද්ද ගැහුව වගෙ නැවතිලා.
'ආපසු හැරෙන්' මගෙ හිත මට අණ දෙනව. ආපහු හැරුණ මගෙ ඇස් ඉස්සරහ හීන කොදෙව්වක්.
 "මෙයා කොහෙන්ද ආවෙ?"
හීනයක්ද, හැබෑවක්ද කියල මට නිනව් නැතුව ගියා. මගෙ දෙපා මට නලංගු නැහැ.
අපි දෙන්න එක ළඟට ඇදුනෙ, කාන්දම් දෙකක් වගෙ. ඒත් කාන්දම් දෙක එකට ඇලෙන්න ඉස්සරින් මම සිහි එළවගත්ත. අපේ ඇස්වලින් ගලාගෙන යන ආලෝක දහරාවන් සප්ත වර්ණ, සප්ත ස්වර සේරම කැටි කර ගෙන එහා මෙහා විදුලි රේඛාවන් වගෙ සසල වෙනව. ඔහු ඇවිත් මගෙ අත් දෙක දෑතින්ම ග්‍රහනයට ගත්ත. හිනා මල් පිපෙන්න බලා ගෙන හිටිය ඇස් වලින් වැහි වතුර කඩා හැලෙනව.
"මට සමා වෙන්න රත්තරං"
එයා කිව්වෙ, මගෙ ඇස් වලින් කම්මුලට පනින්න දැඟලුව වැහි බින්දු එයාගෙ ඇඟිලි තුඩු වලට අර ගෙන. මට කිසිම දෙයක් හිතා ගන්න බැහැ. මම එයාගෙ පපුවට ගහ ගෙන ගහ ගෙන ගියා...හිතෙන්. හිත් වක්කඩ කැඩිලා ගලා හැලෙද්දි පරිසරය බැම්මක් බඳිනවා. මෙතැන බැරෑරුම් දර්ශනයක් මවා පන්න පුළුවන් කමක් නැති හින්දම මම මහ හයියෙන් එයාගෙ අත් කෙනිත්තුව.
"ඔයා ඕනි දෙයක් කරන්න මලිති. ඔයාට ඒකට අයිතියක් තියෙනව."
" කොහෙද ඔයා ඔච්චර කල් හැංගිලා හිටියෙ...?"
මට මොනවා වුනාද මන්දා? මට හිතුනා එයාගෙ පපුවට හිස තියා ගෙනා කෑ ගහල අඬන්න. හිතේ දුක නැත්නම් කොහොමද එයාට දැනෙන්න කියන්නෙ. තවමත් අපි දෙන්නගෙ අත් එකට එක හිර වෙලා, මිදෙන්න ඕනි කමක් නැහැ. වචන වලට නිවාඩු දීලා අපි ඇස් වලට කතා කරන්න ඉඩ හැරියද..නැත්නම් නිශ්ශබ්ද තාවයෙ සොඳුරු බව විදින්න හිත් වලට හිතුනද?
"ඇයි ඉන්ද්‍රයියෙ, මට මෙහෙම කරේ?"
"ඔයාගෙ පිංතූරෙ පත්තරේ දැක්ක දාම මම හිතුව මම ඔයාව බලන්න එනව කියල....." එයා දිග කතාවකට මුල පුරන්න හැදුවා. එතකොටම රුවිනි දුවගෙන ඇවිත්, මාව බදා ගත්තා. එයාගෙ පස්සෙන් තරිඳු සහ අනෙකුත් පිරිවර. මම වළාකුළක ඉඳන් බිමට කඩා වැටුණ.  
"ඔයා ලස්සනට රඟ පෑවා. අපි හිතුවට වඩා කෙල්ලට ලස්සනට සින්දු කියන්න පුළුවන් නෙ"   
තරිඳුත් ඇවිත් පුරුදු සන්සුන් කමින් සුභ පැතුවා. මොහොතකට ඉස්සෙල්ල සිදුවුණු ආශ්චර්යය මාව කොහෙදෝ වට වන්දනාවක ගෙනිහින් වංක ගිරියක අතරමං කරලා වගෙ. 
" රුවිනි, මේ ඉන්ද්‍රයියා...මගෙ නෑ කෙනෙක්."
ඉන්ද්‍රයියා අතරමං වෙන්න ඉස්සර මම පරෙවියෙක් වෙන්න හදුවා.
" මේ තරිඳු..." 
" හා.හා..ඔයා දැන් ඇඳුම් මාරු කර ගෙන එන්න. ඔයාගෙ නෑදෑයෙක් නම් අපිට හෙමීට අඳුන ගන්නම් කො"
මට තරිඳුගෙ ඇස් දෙක දිහා එක එල්ලේ බලන්න බැරි ගතියක් දැනුණා. ඉන්ද්‍රයියගෙ ඇස්වල හැංගෙන්න හිතන මගෙ ඇස් වලට සම්ප්‍රදායිකා තරවටු කරනවා. දඩබ්බරී ඉඟි බිඟි කරනව, කල්ල කමට. හිත අවුල් කරන ව්‍යාකුලයාගෙන් මිදෙන්න හොඳම දේ, ටිකකට මේ ගොල්ලන්ගෙන් මිදිලා ඉන්න එක. මට එහෙම හිතුණා.
නේපථ්‍යගාරයට යද්දි සචින් අයියා බලා ගෙන ඉන්නව දොර ළඟ, මට සතුට පළ කරන්න. අනේ..! දෙයියනේ . 
" නංගි, අද හරිම ලස්සණට ඔයා රඟ පෑවා. අධ්‍යක්ෂක තුමා ඔයා ගැන හරියට පැහැදිලා ඉන්නෙ. ඔයා කොහොමද යන්නෙ, මම ගිහින් බස්සන්නද?" 
" බොහොම ස්තුතියි අයියෙ, මගෙ බෝඩිමේ යාලුවො ඇවිත් ඉන්නවා. මම ඒ අය එක්ක යන්නම්" එක මරණෙකින් ගැලවුණා.
' මරන තුනක් ඇති මිනිහෙක් පැනි කෑය' කවියකුත් ඇවිත් මට ඔච්චම් කරනවා.
මූණේ තවරපු සායම් ඉවත් කරද්දිත්, ඇඳුම් මාරු කරද්දිත් තොවිල් නටන සිතුවිලි මගෙ හිතට නිස්කාන්සුවක් දෙන්නෙම නැහැ. මම තරිඳුට ඉන්ද්‍රයියා ගැන කිසිම දෙයක් කියල නැහැ. වෙලාවක් ආවෙත් නැහැ නෙ, කතා සරිත් සාගරයෙ පිටු පෙරලන්න.
එන දේකට මුහුණ දෙනවා. ආයෙත් හිත දෙගිඩියාවක. අනේ..මොකටද මෙහෙම දේවල් මට විතරක්ම වෙන්නෙ. මට හිතෙනව හැමෝගෙන්ම ඈත් වෙල මුහුදු වෙරළට ගිහින් තනියෙම නැගිල බිඳෙන රළ ගෙඩියක් එක්ක ඈත දියඹට ගිහි හැංගෙන්න.

5 ක් අදහස් දක්වලා.

Wednesday, September 9, 2009

උභතෝකෝටික ප්‍රශ්නය

Wednesday, September 9, 2009
කතන්දරයක් ලියලා පුංචි නිවාඩුවකට යන්න මට අවසර දෙනවද? හැබැයි, නිවාඩුවෙත් ඉඩක් ලැබුණොත් එන්න මම උත්සාහ කරන්නම්.
මේකත් ටිමෝරෙදි මුහුණ දීපු සිද්ධියක්. කතාවට ඉස්සර යමක් කියන්නම්. එහෙ මිනිස්සුන්ගෙ පෙනුම ලංකාවෙ අපි වගේමයි. කොයි තරමකට කිට්ටුද කියනවා නම් දවස් කිහිපයක්ම මගෙන් ඇහුව; ඔබ අහවලාගෙ අක්කද? ඔබ අහවලාගෙ නංගිද? කියල.
එහෙ හිටිය, මමත් එක්කම ලංකාවෙ මල්ලි කෙනෙකුත්. එයා නීති වේදියෙක්. අපි දෙන්නම ටිකක් නාහෙට අහන්නැති උදවිය. නීති වේදියෙක් වුනාට එයත් මම වගෙම කාගෙ වත් වාසියට දාල තියෙන නීති කඩන කෙනෙක්. අර මම කිව්වෙ අපි ගමේ ඉඳල නගරෙට ආපු කතාවක්.
පළමු දවසෙ සුනඛ මාංශ භක්ෂණයක්. දෙවෙනි දවසෙ අපේ අත් දැකීම මිනිස් ඝාතණයක්. අපි කාර්යාලයේ චන්ද බඩු බාර ගනිමින් හිටියෙ. මෙන්න එක පාරටම ගැහැණු කෙනෙක් ලේ වැකුණු රෙදි පෙරෙදි එක්ක කාර්යාලයට කඩා ගෙන වැටුණ. විලාප දෙනව, එයාගෙ මහත්තයව කපනව කියල. අපේ ආරක්ෂක නිලධාරීන් එදෙසට දිව්ව. අපට හෙල්ලෙන්න වත් එපා කිව්ව. අපි එකිනෙකාගෙ මූණු බලා ගෙන තැති ගැනුණු මුහුණු සහ සර්වාංග වලින් තුෂ්නිම්භූත වෙල... පාෂාණිභූත වෙල හිටියා.
ගැහැනු කෙනාව ලොක්කගෙ කාමරෙට දමල වැහුව, ආරක්ෂාවට. ලොක්ක ඇවිත් අපිට නැවතිලා ඉන්න තැන්වලට වහාම රථ වලට නැගල යන්න කිව්වා.
ඉතින් අපි ගියා, ඒ වුණාට අපේ වී.එච්.එෆ්.රේඩියෝ වලට සවන් දීගෙන ඉන්නෙ මොනව වේද කියල ඊලඟ මොහොතෙ. අපට දැන ගන්නට ලැබුණ මිලීෂියා කරුවන් විසින් පෙති ගහල මරල තියෙන්නෙ ප්‍රාදේශීය දේශපාලන බලවතෙක් කියල, එහෙත් ඔහු යහපත් මතවාදයක් තියෙන ප්‍රාදේශීය නයකයෙක් කියලත් දැන ගන්නට ලැබුණා. ඔහුට කියන්නෙ,
' සාම්ප්‍රදායික පෘතුගීසි රජ්ජුරුවො' (Traditional Portugese King) කියල. ඔහුගෙ ක්‍රියාවන්ට අනුකූලව එහෙම නෙවෙයි, ඒ නම දමල තියෙන්නෙ. පෘතුගීසි රජ පරම්පරාවකින් එන නිසා. පෘතුගීසි කාරයො අවුරුදු අවුරුදු තුන්සිය ගණනක් මෙහෙ ඉඳල හියනවා, හැබැයි සූරා කෑම මිස වෙන කරපු කෙහෙල්මල් ඉටි ගෙඩියක් නැහැ. පල්ලි ටිකක්නං හදල තියෙනව. එච්චරයි. යහපත් යමක් කළා නම් මිනිස්සු මෙතරම් 'ප්‍රාථමික' විදිහට ජීවත් වෙන්නෙ නැහැ නෙ.  
මේක 1999 සිදු වුණු කතාවක්. මට අමතක වුණා කියන්න. අපිත් එක්ක හිටියා වර්තමානයෙ ලංකාවෙ මැතිවරණ කටයුතු වල ඉහළම පෙළේ තීන්දු ගන්න, වගකීමෙන් යුතු ප්‍රකාශයන් නිකුත් කරන කොමසාරිස් මහත්තැන් කෙනෙකුත්. හරිම සරල, හිත හොඳ මනුස්සයා. අපි දෙන්න එකටමයි ලංකාවෙන් පිටත් වුණෙත්.
ඔන්න හැම දාම මට වෙන වැඩෙ, අතුරු කතා පටන් ගන්නවා.ඒ ඉතින් හැටි නෙ, අපෙ. මොකද සංස්කෘතීන් තුළ උප සංස්කෘතීන් බිහි වීම සාමාන්‍ය සිදුවීමක් නෙ. ආයෙම වැටෙමු, නියම මගට.
ඊලඟ දවසෙ අපි ආයෙම ගියා, පුහුණුවට. පුහුණුව සහ බඩු භාර ගැනීම් කළවමේ සිදු වුණා. කෑම විවේකයේදි, අපට ආරංචි වුණා අර ඊයේ මරා දමපු රජ්ජුරුවන්ගෙ මිනිය වළලලා කියල. මට හිතුණා, පින්තූර කිහිපයක් ගන්න. මලයගෙන් ඇහුව, එයත් එක පයින්. හැබැයි, කොමසාරිස් තුමාට කතා කළේ නැහැ. එයා සද්ධන්ත කුලේ නිසා හොර වැඩ වලට සුදුසු නැහැ කියල අපි පූර්ව නිගමනයකට එලඹිලා හිටිය. මලයයි මමයි දෙන්නම පොකට් සයිස් නිසා වැඩි අවධානයක් යොමු වෙන්නෙ නැහැ, කාගෙ වත්.
හරියට දේශීය අය වගෙ අපි හැඳුනුම්පත් ගලවලා සාක්කුවල හංග ගෙන බොහෝම සාමාන්‍ය විදිහට ගියා. සොහොන දැන් පෙනෙන තෙක් මානයෙ. කවුරුත් සෙනග නැහැ. කොටින්ම කිව්වොත් මොන මළ යකෙක්වත් නැහැ පෙනෙන්න. නොපෙනෙන්න සමහර විට මළ යක්කු ඉන්න ඇති.
හරි පාරෙන් ගියොත් දුරයි. අපි කම්බි වැටවල් වලින් රිංගල ගියා. ළඟටම ගිහින් පින්තූර ගත්ත. සොහොනෙ තියපු මල් පර වෙලත් නැහැ තවම. ඒ රටේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ජීවිතය පූජා කරපු වීරයෙක් නේද කියල මම, 'අනිච්චා වත සංඛාරා' ගාථාවත් කියල සොහොනට අවසන් ගෞරවයත් දැක්වූවා.
සොහොන තිබුණෙ එයාගෙ ගෙදර මිදුලෙ. අපි ගේ වටෙත් ඇවිදල පින්තූර ගත්තා. මේ කියන කල් මේ කතාව කාටවත්ම කිව්වෙත් නැහැ. අපේ මහ කන්තෝරුව නොහොත් මූලස්ථානය දන්නව නම් මට මේ තරම් කල් මේ ආයතනයෙ සේවය කරන්න ලැබෙන්නෙත් නැහැ. ඒ ගොල්ලො සිංහල බ්ලොග් කියවන්නෙ නැති නිසා හොඳයි. 
මේ....ඒක නෙවෙයි. කාරණයක් අහන්නද? මේ බ්ලොග් වලට කාටවත්ම සිංහල නමක් හදන්න බැරි වුණාද තවම..? අතුරු ප්‍රශ්නයක් වුණත් බිංදුවටම දමන්න පුළුවන් ප්‍රශ්නයකුත් නෙවෙයි නෙ. හිතල බලන්න, සිංහල ගොඩක් දන්න අය, කරුණා කරල. නිකමට ඔලුවට ආපු දෙයක්. හැබැයි, මම ජාති වාදියෙක් නම් නෙවෙයි. 
පස්සෙ තමයි මට වැටහුණෙ අපි දෙන්න කළේ මොන තරම් මෝඩ වැඩක් ද කියලා. ලංකාවට ගිහින් පත්තර වලට ලියන්න කියල අපි පිංතූර ගන්න ගියාට මිලීෂියා කාරයො ආව නම් අපිත් පෙති පෙති ස්වභාවයෙන් ලංකාවට එන්න තිබුණ.
' ගියේ ගුවනින්, ආවෙ පෙට්ටියෙන්' වෙන්නත් තිබුණා. 
ඉතින් ඉන්නකො තව ලස්සණ පුංචි කතාවක් කියන්න. අපේ භාෂා පරිවර්තකයට සම්බන්ධ එකක් මේ. මම නිකන් කතා කර කර ඉන්න ගමන් අහුව ඔයාට සහෝදර සහෝදරියො කී දෙනෙක් ඉන්නවද කියල. දොළහක් කිව්ව. නරක නැහැ නෙ? උත්පත්ති පාලනය එහෙ නැහැ. ඒ වුණාට මට ටිකක් ගැටළු සහ ගතයි වයස ඇහුවම. මාස හයෙන් හයට වගෙ වයස් පරතරය. අඩු තරමෙන් මාස නවයක්වත් නැහැ. මම හිතුව මෙතැන සංනිවේදන ප්‍රශ්නයක් කියල. දන්න සිංහලෙන් කියනව නම් 'කම්යුනිකේෂන් ගැප්' එකක් ද කියල.
'හව් කම්?' 
ඔන්න මට ඉංගිරිසියෙන්ම ලියවුණා අහපු ප්‍රශ්නෙ. මම වාද කළා, අඩු තරමින් මාස නවයක් වත් යන්න ඕනි නේද කියල. අඩු මාසෙන් ළමයි හම්බ වෙලාද? එහෙමත් නැත් නම්මේ යක්ෂයාට වයස් වැරදිලාද කියල. අපි හිතන්නෙ අපේ රටේ මානසිකත්වයෙන් නෙ.
මේ සාකච්ඡාවන් ඇති වුණෙ අපි චන්ද මධ්‍යස්ථාන බලන්න යන අතරෙදි. අපේ මල්ලිටත් මේක තේරුම් ගන්න බැරි වුණා නීති වේදියෙක් වුනත්. හරිම අවුල් සහ ගතයි. පරිවර්තකයා කිව්ව එක ඉංග්‍රීසියෙන්ම ලිව්ව නම්, මෙන්න මෙහෙමයි.
" මයි ෆාදර් ප්‍රඩ්‍යුසස් අ චයිල්ඩ් එව් රි සික්ස් මන්ත්ස්"
මලය සිංහලෙන් මට කිව්වා, 
"අක්කෙ, මූට නම් පිස්සු" කියලා.
මට මේක උභතෝකෝටික ප්‍රශ්නයක්. අපි ඉතින් හාර හාර ප්‍රශ්න අහනවා, ඇත්ත දැන ගන්න. බැරිම තැන මම කිව්වා, 
"ඔයා මහ බොරු කාරයෙක්. එහෙම නං ඔයාගෙ තාත්තවයි අම්මවයි ගිනස් පොතට දමන්න පුළුවන්" කියල. ඔන්න එතකොට බළලා මල්ලෙන් එලියට පැන්නා.
" අම්ම නෙවෙයි, මට අම්මල තුන් දෙනෙක් ඉන්නව. ඒ කියන්නෙ අපෙ තාත්තට නෝනල තුන් දෙනෙක් ඉන්නව" කියල. මදැයි, අපේ දූරාවබෝධයෙ තරම. කවුද එහෙම එකක් දන්නෙ. අපිට අම්බානකට හිනා.
( උදේ තුනේ ඉඳන් මේ ලියන්නෙ. නා කියාගෙන ඇවිත් තව මොනව හරි ලියන්නම්. අදත් අපි, ' නිවාස අඩස්සියෙ'. එහෙම වෙලාවට සයිබරයත් නැත්නම්...අප්පේ! කියලා වැඩක් නැහැ.)

8 ක් අදහස් දක්වලා.