Monday, January 21, 2013

ගස් ගෙම්බාගේ ශාපය !

Monday, January 21, 2013


                               'ඩී' කියල අපි හුරතලයට අමතන මගෙ යෙහෙළිය, අන්දමන් දූපත් වලට ගිහින් එද්දි පොත් ගෙනැත් තිබුණා. ඒවා අතර තිබී මගේ හිත ගත්තු පොත වුණේ, 'මගෙ සැමියා සහ අනෙක් සත්තු' (MY HUSBAND & OTHER ANIMALS) කියන පොත. සැමියා සතෙක් වගේ කියන එක නෙවෙයි, මෙයින් කියැවෙන්නෙ. ඔවුන්  වන ජීවීන්ට මෙන්ම අනෙකුත් ගෘහස්ථ සත්තුන්ට පවා කොයි තරම් ආදරය කරනවාද කියන එක. මම හිතුවා ඒකේ කතා පරිවර්තනය කරලා ඔබලාටත් කියවන්නට සලස්වන්නට. මේ කතා ලියැවිලා තියෙන්නෙ, 'තීරු ලිපි' ලෙසින්. මේ තීරු ලිපි වල නිර්මාතෲ වරිය වන්නේ, ඉන්දියානු ජාතික
ජානකී ලෙනින්. එම පොත හොඳම පොතක් ලෙසට ලොව දස දෙසින්ම සම්මානයට පාත්‍ර වූවක්.
කෙසේ වෙතත් මේ පොත ලඟ තියා ගෙන, කොයි තරම් දුරකට ලියා ගෙන යාවිද දන්නෙ නැහැ, මේ මා කියන වයසක ස්ත්‍රිය.



අලංකාර, දැවැන්ත නුග ගහක සෙවන යට රොම් සමග මා අපේ ගොවි පොළේ තනාගත් නිවසේ උරුමක්කරයන් මිනිසුන් වන අපි කියල අපි හිතා ගත්තු එක ඇත්තෙන්ම අතිශයින් කණගාටු විය යුතු වරදක් බව මට ප්‍රත්‍යක්ෂ වුණා. මුල්ම ග්‍රීෂ්ම සෘතුවේදී ගස් ගෙම්බන් කිහිප දෙනෙක් ඇවිත් අපේ ගෙදර පදිංචි වෙනව,මා දැක්ක. සිරුරට යටව තිබෙන උන්ගේ හුරුබුහුටු දෙපා වලින් දැඩිව ග්‍රහනය කරගෙන විශාල දෑස් වලින් සුපරිහ්ෂාකාරී බැලුම් හෙලම්න් සිටි ඔවුන්ගේ නිවැසි භාවයට මා කිසි සේත් අකුල් හෙළන්නට හියේ නැහැ. ඔන්න ඔය කාලෙදි තමයි, අත්තම්මල, කිරි අත්තම්මල වගෙම මුණුබුරු මිණිබිරියන් වගෙම නෑනලා මස්සිනාලා විතරක් නෙවේ නැන්දම්මලා, මාමලාත් අපේ ගෙදර පවුල් පිටින් පදිංචියට ආවෙ.

ඉතාමත් ඉක්මණින්ම  හැම කොණක්ම, හැම පොතක්ම, ජොග්ගුවක්ම, බිත්තිවල එල්ලලා තියෙන පින්තූරයක් ගානෙම කගෙ කාගෙත් වාසස්ථාන බවට පත් වුණා. සමහරෙක් රෙදි සෝදන යන්ත්‍රයෙ සබන් දමන කොටසෙ පදිංචි වෙලා. සමහරෙක් අත් සෝදන බේසම 
මත. වතුර පයිප්පය මත. සමහරු කොමෝඩ් එකේ සිස්ටනය මත. තවත් සමහරෙක් ඉතාමත් සීරු මාරුවට කබඩයත් බිත්තියත් අතර ඉතාමත් පටු ඉඩෙක නිදහස් කොටසේ බුරුතු පිටින් අපූරුවට ලැගුම් ගෙන. ත්‍යාගවන්ත භාවයෙන් යුතුව ඔවුන් අපට ජීවත් වෙන්නත් පුංචි කොටසක් ඉතුරු කරල තිබුණා.
   අඩ දශකයකට පෙර, නගරයේ ජීවත් වුණු අවුරුද්දක කාලය තුළ මා  බල්ලෙක් වත්, බළලෙක් වත් ගෙදර තියා ගන්නට දැක් වූයේ බලවත් අප්‍රසාදයක්. ඒ වෙනුවට මම ඇති දැඩි කළේ ලස්සන හුරුබුහුටි ගස් ගෙම්බෙක්ව. ඔහු නිවසන පෑන්ට්‍රියේ වතුර බේසමක් මා හිතා ම්තා  තිබ්බේ ඔහුගෙ ස්නානීය කටයුතු සඳහා. ඒ වගෙම රාත්‍රී කාලයේදී කුඩා විදුලි පහනක් ද දල්වා තැබුවේ ඔහුට ගොදුරු පිණිස කෘමීන් හසුකර ගන්න විදිහට. හැබැයි, අප අතර තිබුණු  සම්බන්ධතාවය වගකීමෙන් නිදහස් එකක් බවකිව යුත්තේ මගේ ගෙඹි සුරතලා එයාට කවන පොවන එක හෝ ඔහුව පුහුණු ඉරීමක් හෝ බලාපොරොත්තු වුණේ නහැ. ඒ වගෙම ජලවාෂ්ප හා පිරිසිදුවාතාවරණය සහිත ඒ සිඟිති කාමරය තුළ මා ඇවිදිනවාටත් එයාගෙ කැමැත්තක් තිබුණෙ නැහැ. ඒ වගෙම අපි දෙදෙන වැඩිපුර එකිනෙකාට ආසන්නව ගත කළ උණුසුම් අවස්ථා තිබුණෙත් නැති තරම්. ඒත් මට මගෙ හුරතක් ගස් ගෙම්බා මගෙ අහළ පහළ ගැවසෙනවට හිතේ ලොකු කැමැත්තකුත් තිබුණා. සියල්ලම හොඳින් සිද්ධ වුණා, පොත් රාකේ පොතක් හදිස්සියෙම පෙර්ලිලා, මගෙ ගස් ගෙම්බ ගේ හදිසි අභාවය සිදු වෙන කල්ම. හර්ම අපහසුකාරී තත්ත්වයක්.
 කර්මයේ ප්‍රතික්‍රියාවන් අනුව ගස් ගෙම්බාගේ ශාපය මා වෙතට පතිත වේ යයි මට සිතුණා. ඇත්තටම ගෙම්බන්ට අවශ්‍ය වුනේ අපේ ගෙදරින් පදිංචියට ඉඩ කඩ නම් මට සාමයෙන් ඉන්න තිබුණා. ඒත් තුවා, මේස පුටු හා කබඩ්  විතරක් නෙවෙයි පිඟන් කෝප්ප වල පවා ඔවුන්ගේ පශ්චාත් ප්‍රදේශයන් තබන්නට වුනාම තත්තවය වඩාත් බරපතල වුණා. සමහර කාමරවල් වේලුණි ගෙඹි මූත්‍රා බිතු සිතුවම් ඇඳලා.වැසිකිලියේ කොමඩය මත වාඩිවීම පවා බිය දනාවන කාරනයක් වුනේ, හිඳගන්න කවාකාර කොටසේ යටි පැත්තේ රංචු පිටින් ගස් ගෙම්බන් රැඳී සිටීමයි. ගෙද්‍රට එන අමුත්තන්ගේ ශරීරවල වඩාත්ම පහසුවෙන් හානි විය හැකි රහස් ඉන්ද්‍රියයන් වලට පැන ඇලී සිටීමේ ක්‍රීඩාව ඔවුන මහත් අපහසුතාවයනට හා භීතියට පත් කළ කාරණයක්. නාන කාමරයේ සිටි ගෙඹි ආච්චියෙක්, එහි විදුලි පහන දල්වන්නට සැරසෙන ඕනෑම කෙනෙකුගෙ ඇඟ ගෙඹි මූත්‍රා වලින් තෙමන්නට කිසි විටෙකත් පැකිළුණීඉ නැහැ. අඳුරු නාන කාමරයක් භාවිතා කිරීමෙන් වගේම ගෙඹි ගඳෙන් යුතු තුවා ආදිය පවිච්චි කිරීමෙන්ද්, දවසකට දෙතුන් වතාවක් පිඟන් කෝප්ප සේදීමෙන්ද විඩාවට පත් අප මේ එහෙ මෙහෙ පනින ජීවින්ට එරෙහිව සාධාරන එමෙන් මානුෂික මෙහෙයුමක් ඇරඹිය යුතු බවට තීරණය කළා.
  එක් ඉරිදාවක ශ්‍රමදානයක් ක්‍රියාත්මක කරල අපි ඔවුන් 289 ක් ප්ලස්ටික් බෑග්වලටෑකතු කරල, අහළ පහල තිබුණු ළිං වලට හා දිය කඩිති වලට අත හැරියා. ඒ ඔක්කොම නිෂ්ඵල විය හැකියි. මොකද ගස් ගෙම්බන් ට මග හොයා ගැනීම අපහසු වෙන එකක් නහැ. පැය විසි හතරක් ඇතුලත ඔවුන් සියලු දෙනාම තමන් උන් හිටි තැන් වල නවත පදිංචියාආවෙ කිසිවක් සිදු නොවුණු ගාණට. ඔව්න්ගේ ඒ සුපිරි කුසලතාවයට මා ඔවුන්ට හිස ආචාර කරනවා.
සමහරෙක් මුළුතැන් ගෙයි තිබුණු කබඩයේ හරියකට නොවැහෙන දොර අතරේ තිබුණු හිදැස්සේ ලැගුම් ගත්තා.
සමහරෙක් තාච්චියෙත්, ප්‍රෙෂර් කුකරයෙත්, බ්ලෙන්ඩරයේ ජෝගු වලත් පරවේණිය තහවුරු කර ගත්තා. දවසක් මම සුදු ලූණු වගයක් තෙලෙන් බදිද්දි අමුතු ගඳ
ක් ....නෑ...එහෙම වෙන්න බෑ...ගස් ගෙඹි මූත්‍රා ගඳ. . .!  කල්පයක් ගියත් සුදු ලූණු තෙම්පරාදුවට දමද්දි එදා අපු ගඳ නම් මගේ මතකයෙන් මැකිල ගියේ නැහැ. හැම දාම සුදුලූණු සුද්ධ කරද්දි මට ඒ පිළිකුල් ගඳ දනෙන්නට වුනා. ඒත් මට සහතික වෙන්න බෑ, ඊට පස්සෙත් ගෙඹි රස කාරක මා උයන කෑම වල නොතිබුනාමය කියලා. මගේ සුවිශේෂ සූප වේදී තාක්යන් නිසා සමහරවිට මම යොදන මිරිස් තුනපහ වලින් විශේෂ රසයක් ගෙන දෙනවා ඇති.

7 ක් අදහස් දක්වලා.

ඉනි අවන් මට දැනුණු හැටි


මා 'ඉනි අවන්' බැලූ බව කි විට බොහෝ දෙනෙකු ඇසුවේ "ඉනි අවන් ලස්සනද?" කියාය.
මගේ පිළිතුර වූයේ " මට 'ඉනිඅවන්' ලස්සනද කැත ද කියලා කියන්න බැහැ. ඒත් එහි ගුණාත්මක භාවය ගැන ටිකක් කතා කරන්න පුළුවන්" කියාය.
" දෙමළ චිත්‍රපට්යක් නිසා බලන්න කම්මැලි නැද්ද?"
"මට නම් එහෙම දැනෙන්නෙ නැහැ. අපේ අය හින්දි චිත්‍රපට බලන්නෙ හින්දි තේරිලාද? ඉංග්‍රීසි චිත්‍රපට බලන්නෙ ඉංග්‍රීසි දැනගෙනමද? සිංහල 'සබ් ටයිටල්' තියෙනවනෙ...තේරුම් ගන්න කිසිම අපහසුවක් නැහැ"
අපේම රටේ පවතින තවත් සංස්කෘතියකට ගරු කරන්නට හෝ ඒ මිනිසුන්ව තේරුම් ගන්නට හෝ බොහො දෙනෙකු තුළ පවතින අකැමැත්ත සමහරුන් අහන ප්‍රශ්න වල යටි අරුත යයි මට සිතේ. මේ දුරස්ථ භාවය ළං කොට අවුරුදු 30 කට ආසන්න කාලයක් තිබුණු යුද්ධයෙන් පසු උතුරේ දෙමළ ජනතාව ජීවිතය ජය ගන්න දරන ආයාසයන් දකුනේ සිංහල ජනතාවට දැනෙන්නට සැලැස්වීමට ඇශෝක හඳගමයන් ගත් වෑයමට නම් කෘතඥ විය යුතුය.බොහෝ දෙනෙකු හඳගමගේ සිනමා පට නරඹන්නට යන්නේ විවිධ හැඩතල සිතින් මවාගෙනය. අනිවාර්යයෙන් ලිංගික දර්ශන ඇතුළත් රූප රාමු ඒවායේ අන්තර්ගත විය හැකිය යන පූර්ව නිගමනයයි, ඒ.
                      'විදු' සිනමා පටයෙන් ඒ බලාපොරොත්තු බිඳ ගන්නට බොහෝ අයට සිදු විය. කෙසේ හෝ ඒ අපේක්ෂාවන් හඳගම විසින් 'ඉනි අවන්' මගින් හව දුරටත් බිඳ දමනු ලැබූවද එයින් ඔහුගේ අරමුණු සාක්ෂාත් කර ගන්නට බාධාවක් නොවුණු බව දැකිය හැක.
            හඳගම 'ඉනි අවන්' මගින් කතා කරන්නට උත්සාහ කරන්නේ බිඳ වැටුණු ජන සමාජයක් පිළිසකර වෙද්දී වෙසෙසින් ස්ත්‍රීන් අත් විඳින දුෂ්කරතාවයන් හා අභියෝග මෙන්ම ප්‍රචණ්ඩත්වයන් කොතරම් ව්‍යසනකාරීද කියා අපේ ඇස් වලට ඇඟිල්ලෙන් ඇන පෙන්වා දෙයි. යුද්ධයෙන් පසු බොහෝ දෙනෙකු උතුරට ගොස් එහි සිරි නැරඹුවත්, නාගදීපයට ගොස් වන්දනා මාන කළත්, ප්‍රහාකරන් ඇතුලු සටන් කාමීන්ට සාප කළත් මේ ගැහැණුන් හා මිනිසුන් ගෙවන ජීවිත විනිවිද දකින්නට හෝ සානුකම්පිතව බලන්නට උවමනාවක් නැත. සානුකම්පිතව බැලීම කෙසේ වෙතත් ඔවුන්ගේ දුෂ්කරතාවන් තේරුම් ගන්නට හෝ කිසියම් අයුරකින් පිහිටක් වන්නට හෝ ඇප කැප වන්නේ කී දෙනාද? ජාතිවාදය අවුලාගෙන තවත් පැටලෙන්නට, අළුත් ජාති වාදී කඳවුරු බැඳගෙන හෝ අටවාගෙන තැනින්තැන රටේ ගිනි අවුළුවන්නට නම් කැස කවන අය බොහෝ වෙති. එහෙත් 'ඉනි අවන්' මගින් උලුප්පා පෙන්වන ගැහැණුන් විඳින කර්කශ අත් දැකීම් වෙනුවෙන් කතා කරන්න අද කවුරුවත් නැති ගානය.
එහි එන තරුණියක් හැම දුක් ගැහැටක දීම හඬ නගා සිනහ සෙන්නී හඬා වැළපී ජීවිතය ජය ගත නොහැකි බව පසක් කර දෙමින්ය.  "අපිට තවත් වෙන්න දෙයක් නැහැ. මැරෙන්නෙ නැතුව ජීවත් වෙන්න ඕනි" ඇය බොහෝ විට එබඳු අදහසක් මතු කරන වදන් වැලක් පවසා සිනහ සෙයි. ඒ සිනහවෙන් දෝංකාරය දෙන වේදනාව හා අපට කියන පණිවිඩය අප තේරුම් ගත යුතුව ඇත.
   එල්.ටී.ටී.ඊයට කෙල්ලන් බඳවා ගන්නට එන අයගෙන් තරුණ කෙල්ලන්ව ගල්වා ගන්නට හැකි වූයේ ඔවුන්ව විවාහ කර දීමෙන් පමණි.ප්‍රධාන නිළිය මව් පියන්ගේ කැමැත්තට සිය සිත් ගත් එල්.ටී.ටී.ඊ. පෙම්වතා අත හැර විවාහ වුවද මගුල් දා රෑම මහල්ලෙකු වන මනාලයා මිය යයි. ඔවුන්ගේ මධු සමය පෙන්වන්නට එදින රාත්‍රියේ රමනය දැක්වෙන දර්ශනයක් ප්‍රේක්ෂක ආකර්ශනය සඳහා යොදා ගත හැකිව තිබුණි. එසේ වූයේ නම් හඳගම කියන්නට යන කතාව ගොඩ නැගීමට  එය කිසිසේත් පිටුබලයක් නොවනු ඇති. එනිසාය, මට හැඟෙන්නේ අධ්‍යක්ෂක වරයා කතාවේ ප්‍රස්තුතයට බාධා නොවන අයුරින් කතාව නිර්මාණාත්මකව වර්ධනය කර ඇති ආකාරය ඉතා විශිෂ්ඨ බව.
කෙසේ හෝ ඉතාමත් ස්වභාවික අයුරින් යොදා අති නර්තනය ද අමුතුවෙන් පැළඳූ ආභරණයක් ලෙසින් නොව ඉතාමත් අපූරු ලෙසට ගැලපෙන්නක්  බව සඳහන් කළ යුතුය.
ඔබ චිත්‍රපට ලෝලියෙකු නොවූවත්, මානව හිත වාදියෙකු නම් 'ඉනි අවන්' අනිවාර්යයෙන් නැරඹිය යුතු චිත්‍රපටයක් බව මේ කෙටි සටහනින් මම අවධාරණය කර සිටිමි.


1 ක් අදහස් දක්වලා.

Thursday, January 3, 2013

හෝ චි මිං හෙවත් 'හෝ' මාමා ගෙ කතා

Thursday, January 3, 2013

 වියට්නාමයෙ තරුණ පරම්පරාව හෝ චි මිං වීරයාට කියන්නෙ හෝ මාමා කියලයි. ඒ කියන්නෙ, 'හෝ අන්කල්' කියල. ඒ ඔහුට තමගේම පවුලේ කෙනෙකු ලෙස ගෞරවයෙන් සලකන නිසා. නිකම්ම නිකං හෝ චි මිං කියල කවුරුත්ම කියන්නෙ නැහැ.

කෙසේ හෝ අවුරුදු නවයක් තිස්සේ ප්‍රංශ අධිරාජ්‍යවාදීන් එක්ක තිබුණු යුද්ධය, 1954 ඔක්තෝබර් 14 වෙනිදා ජයග්‍රහණයකින් නිමාවට පත් වුණා. එයට මූලිකත්වය දුන්නෙ හෝ චි මිං විරුවානන් විසිනුයි. 
වියට්නාමයෙ හැනොයි ප්‍රදේශය නිදහස් කර ගනු ලැබුව. දැනටත්  අගනුවර  වන්නේ, හැනොයි නුවරයි. හෝ මාමාත්, මධ්‍යම පක්ෂ කමිටුවත් අගනුවරට ඇවිත් ඉතිරි වැඩකටයුතු සැලසුම් කරන්නට හිතුවා. පක්ෂයේ අත් උදව් කාරයින් හෝ මාමාට සහ ක්‍රියාකාරි කිටුවට නවාතැනක් ගොඩ නගන්න තීරණය කරලා ඒ සඳහා දිවා රෑ නොබලා වෙහෙසුණා.ලොකු මන්දිරයක් නෙවෙයි. සරල විදිහට ඔහුගේ කාර්යාල කටයුතු කරන්නට හ ජීවත් වීමට සුදුසු නවාතැනක් හදන්න. ඔවුන් දැනගෙන හිටියා, හෝ මාමා නම් ප්‍රංශ ආන්ඩුකාරයාගෙ මන්දිරයෙ නම් කොහොමටවත් නවාතැන් ගන්නට අකැමැති බව. ඉතින් මේ සඳහා ඔවුන් තෝර ගත්තා කලින් ආණ්ඩුකාරයාගේ සහායකයින් හිටපු, නමුත් ජනපති මැඳුර තියෙන භූමියේම කෙළවරක තිබුණු ගෙයක්. එහි කාමර හයක් තිබුණා. පක්ෂයේ උදවිය මේ ගෙය පිළිසකර කරල ඉක්මටම නවතම විදේශීය ලී බඩු වලින් කාමර අලංකාර කළා. සාලයේ ලස්සණ සෝෆා කට්ටලක් තියල, ස්ප්‍රිං මෙට්ට දැමූ ඇඳන් වලට පිටරටින් ගෙනාපු ඇඳ තිරිලි දමල, ඇඳුම් අල්මාරි තියල   සියල්ල යහපත් ලෙස මසකින් විතර නිමා කළා. අවසානයේ  හෝ මාමාට ගෙය  බලන්න කියල ආරධනා කළා. ඔහු ගෙය  බලන්න ආවත් ගේ ගැන කිසිම ඇගයීමක් කළේ නැහැ. ගෙට ගිය දවසෙම හවස් වරුවෙ ඔහු කීව ඔහුගෙ සගයන්ට තමන්ව බටහිර වැව රවුමෙ ඇවිදින්නට එක්ක යන්න කියලා.ඒ ප්‍රදේශයේ ඇවිදලා අවිත් නැවතත් අලුතින් හැදූ සියලුම කාමර හා බඩු මූට්ටු  දෙස බලමින් ගියා. ඊට පස්සෙ ඔහු ඒ අසලම ඇති විශාල පොකු දෙසට දුණ.
පොකුණ සිසාරා බලමින් ඔහු කිව්වා," කොච්චර ලස්සණ පොකුණක් ද? මිරිදිය මසුන් ඇති කරන්න නම් කියාපු තැන" කියලා. ඉන් පස්සෙ ඔහු මොකුත්ම නොකියා ගිහින් රථයට නැග්ගා.
දවස් කිහිපයකට පස්සෙ හෝ
මාමා මධ්‍යම පක්ෂ කමිටුව හදිසි රැස්වීමකට කැඳෙව්ව. ඔවුන් කාර්යායට පැමිණිය විට
ටුරොං චින්හ් නමැත් හෝ මාමාට කිට්ටුවෙන්ම ඉන්න සහෝදරයෙක් අනෙකුත් කමිටු සාමාජිකයන්ට මෙහෙම කිව්වා.
" ඊයෙ වැඩකරල ඉවර වුණාට පස්සෙ හෝ මමා මට කිව්ව එය අළුතින් හදපු ගේ බලන්න ගිය බව. ඔහු කිව්ව, ඔහු දැක්කලු අළුත්ම අළුත් කබඩ්, මේස පුටු, ඇඳන්, පිඟන් කෝප්ප,
ඳ ඇතිරිලි  හා නොයෙකුත් මෙවලම්. ඔහුට දැනෙන විදිහට ඒ සියල්ලම අනවශ්‍ය වියදම් බවත් පාලන බලය අතට ගත් විගසම මුදල් යොදවා ජනතාව වෙනුවෙන් කරන්නට කොතෙකුත් වැඩ තිබියදී මේ සා විශාල මුදලක් වැය කිරීම තේරුමක් නැති වැඩක් බවත්. එම නිවස මධ්‍යම ආණ්ඩුවේ විදේශ  අමුත්තන් පිළි ගන්න නිවාසය ලෙසින් භාවිතා කරන්නට කියලා ඉල්ලීමක් කළා. අවසාන වශයෙන් ඔහු කිව්වෙ, "අවුරුදු නවයක් තිස්සේ තිබුණු  සටන් කාල පරිච්ඡේදය තු ගත කරපු සරල ජීවන රටාව මෙතරම් ඉක්මනට වෙනස් කළ යුතු නැහැ කියල ."
 
තුරොං චින්හ්  ඒ කියමන ඇහුවම, තමා හරි හැටියට අධීක්ෂනය නොකළ නිසා මෙය සිදුවූ බවත්, වහාම එතුමාගේ සරල සිතුම් පැතුම් වලට ගැලපෙන අයුරින් සුදුසු නවාතැනක් සමූහිකව සකසන ලෙසට ඉල්ලා සිටියා.
ඔබට හෝ මාමාගේ සිත කියවන්න පුළුවන්ද? ඔහු සැප සම්පත් විඳිනට ඇති අකැමැත්තම නෙවෙයි. ඔහු හොඳාකාරව දන්නවා, 
වියට්නාම දුප්පත් රටක්, ජනතාව තවමත් දුක් විඳිනවා. ජන නායකයෙකු වශයන් සරල, අල්පේච්ඡ ජීවිතයක් ගත කිරීම වඩාත් සුදුසු කියලයි ඔහු සැමවිටම හිතුවෙ.

4 ක් අදහස් දක්වලා.

Monday, October 15, 2012

හේමන්ත උණුසුම

Monday, October 15, 2012
                 ඇෆ්ගනිස්තානය හිතෙන් අහකට දාන්නම බැරි රටක්. එහෙ ජීවත්වෙද්දි රෑට වහළ උඩින් උරුවම් බාන සද්දෙන් යන රොකට් වෙඩි හඬවල්, බෝම්බ වගෙම  වෙඩි හඬවල් මොන තරම් බිහිසුණු වුණත් එහෙ දරුවන්ගෙ, අහිංසක මිනිසුන්ගෙ අසරණ කම මතක් වෙද්දි ආපහු යන්න හිතෙනවා. දැන් එහෙට සීත කාලය පටන් ගෙන ඇති. හිමපතනයන් සිදු වෙන්නෙ නම් උඳුවප් මාසෙට. මේ වෙන කොට සයිප්‍රස් ගස් ඇරෙන්න අනෙක් හැම ගසක්ම කොළ බිමට හළලා සැහැල්ලුවෙන් ඉන්නවා ඇති. හිම වැටෙද්දි ගස් වල අතු පතර පීදෙන්නෙ හිම දලු, පිපෙන්නෙ හිම මල්. ඒවායින් සුවඳ නොදැණුනත්, නොවිහිදුණත් සීතල නම් දැනෙනවා අපූරුවට.
    පරිසරයෙත්, මග තොටත් අඩු ලුහුඬුකම් වසා දමන හේමන්තය මගෙ හිත නළවන්නෙ සුදු පලසක් එලුව වගෙ කඳු මුදුන් වල ඉඳලා පහලටම හිමෙන් වැසී යන නිසා. බොහෝ නැති බැරි උදවියට සීතලට අඳින්න කියල වෙනම ඇඳුම් ඇත්තෙත්නැහැ . මසාර් ඉ ශෙරිෆ් නගරයේ නිල් පල්ලිය ලඟ වටේට
ඉටි රෙදි වලින් සිය සිරුරු ආවරණය කර ගෙන සිඟමන් යදි අකාරය මට කාර්යාලයට යන අතර තුර පෙණුනා. අපි සීතලට අඳින ඇන්දුම් ඇඳ ගෙන අත් මේස් පවා දමාගෙන, ඒ මදිවට වාහනයෙ උණුසුම් ජනක යන්ත්‍රත් කියාත්මක කර ගෙන. එහෙම තියා ගෙනත් සමහරුන් හිම පතනයටයි, සීතලටයි දෙස් දෙවොල් තියමින් ආඩපාලි කියනවා, නොරිස්සුමෙන්.
  ඔය අතරෙ එක්කෙනෙක් දෙසැම්බර් මාසෙ උපන් දින තියෙන අයගෙ නම් ලැයිස්තුවක් හදනව. එතකොටයි, මටත් මතක් වුනෙ මගෙ උපන් දිනයත් එම
මාසෙම බව.
     මගෙ උපන් දිනයට මගෙ අම්මව සිහි කරල දානයක් දෙනව, මම මොන රටක  හිටියත්. මම හොඳින් ඉන්නෙ මගෙ අම්මා නිසා. ඇයටත්, අප්පච්චිටත්  පින් සිදු වන්නට මම අද මගේම දෙපයින් නැගිටලා ස්වාධීනව ඉන්නවා.මේ දන්දීම මා වෙනුවෙන් කළ සියලු කැප කිරීම් හා පරිත්‍යාගයන් වෙනුව්න් කෘත ගුණ දැක්වීමක්.
        නිල් පල්ලිය වටා සී
ලෙන් ගැහෙමින් ඉන්න අයට උණුසුම් ඇඳුම් අරන් දීම සුදුසුම දානයක් කියල මට හිතුණා. ඒ බව මම මුලින්ම කිව්වෙ මගෙ භාෂා පරිවර්තිකාවට. ඊට පස්සෙ රියැදුරාට. ඔවුන් දෙදෙනාම මේ බව ඇසූ සැණින් විමතියට පත් වුණා. ඒ වගෙ සිරිත් එහෙ හරිම දුලබයි. මුදල් හදල් යහමින් තියෙන, අත මිට සරු අයවත් එහෙම කරන පුරුද්දක් එහෙ නැහැ. " එතකොට පාටියක් දමන්නෙ නැද්ද?" භාෂා පරිවර්තිකාව මගෙන් ඇහුවා. " තියෙන අයට කන්න බොන්න දෙනවට වඩා සීතලෙන් ගැහෙන මේ මිනිස්සුන්ට උණුසුමක් දෙන එක වැදගත් නේද?" ඇගේ ප්‍රශ්නයට ප්‍රශ්නයකින්ම ලැබුණු පිළිතුරට ඇගෙන් මද සිනහවක්.
   උපන් දිනයට කලින් දවසෙ අපි වෙළඳ පොළට ගිහින් මේ ඇඳුම් මිළට ගත්තා. උපන් දිනය දවසෙ දවල් ක්ෂේත්‍ර චාරිකවක් යන අතරෙ නිල් පල්ලිය ලඟ වාහනය නවත්තලා උණුසුම් ඇඳුම් බෙදන්න පටන් ගත්තා. එතැන ඉඳගෙන හිටි අය විතරක් නෙවෙයි, අහල පහළ වෙළඳම් කර මින් හිටි තොරොම්බල් කාරයො වාහනයත්, අපිව්ත් වට කර ගත්තා. එත්කොටම රියැදුරා වාහනයෙ දොරක් ඇරල මට නගින්න කිව්වා. මමත්, භාශා පර්‍රිවර්තිකාවත් වාහනයට නැගල දොරවල් වහ ගත්ත. අපි ගියෙ ආයතනික වාහනයෙ නිසා ඔවුන් හිතල තියෙන්නෙ, ජග
ත්  සංවිධානයෙන් මේ ඇඳුම් බෙදා හරින්න ඇවිත් කියලා. අපි ඇඳුම් අර ගෙන ගියෙ තිස් දෙනෙකුට විතර සෑහෙන්නයි. ඒ සියල්ලම අපිට සුදුසුම අයට දීගන්න පුළුවන් වුණු එකත් ලොකු දෙයක්. ඒ ක්‍රියාඑන් යම් කිසි පිනක් සිදු වුණා නම් ඒ පින් සියල්ලම අපෙ අම්මට අනුමොදන් විය යුතු යයි කියල මම සිතින් කිහිප වාරයක්ම පුණ්‍යානුමෝදනාවක් කළා.
    අම්මා ඉන්න කාලෙත් ලෙඩ්ඩුන්ට, නැති බැරි අයට මේ වගෙ උදව් කරන්නෙ හරිම උනන්දුවකින්. අප්පච්චිත් එහෙමයි. ඒ ගතිගුණ දෙමපියන්ගෙ උරුමෙන් මට ලැබුණු එක ගැන හිතට දැනෙන්නෙ අප්‍රමාසතුටක්.

දෙදහස් දොලහෙත් දෙසැමබරය දැන් පේන තෙක් මානයට ඇවිත් එබිකම් කරනවා. දනක් පිනක් කර ගන්න කැමති අයත් එක්ක එකතු වෙලා සසර කෙටි කරගන්න යහපත් යමක් කරන්නට අවස්ථාවක් ලැබෙයි කියල හිතෙන් හිතා ගෙන ගෙවෙන දවස් එක්ක ඉදිරියට යනව.

2 ක් අදහස් දක්වලා.