Sunday, August 23, 2009

විඡ්චේදනය

Sunday, August 23, 2009

උදේට නානකොට වතුර මල යටදි ලස්සන ලස්සන අදහස් පහලවෙනවා. ලියන මේසෙට ඇවිත් ලියන්න යන කොට අනේ!.. සියයට හැත්තෑවක් විතර ගලා ගියපු වතුරත් එක්කම සේදිල ගිහිල්ලා.

හොඳයි....කියන්න එතකොට දුක හිතෙන්නෙ නැද්ද? ආපහු වතුර මල යටට ගිහ්න් ඔලුව පොඟව ගෙන මතකය අලුත් කරගන්න හිතෙනවා...ඒත් ඒවා කර කර හිටියොත් රස්සාවත් නැතිවෙන පොටක් තමයි...රස්සාව තිබුනොත් නෙ සේරම සෙල්ලම්...

අද මට මතක් වුණේ අපෙ විද්‍යාලයේ තිබුණු එක වාර්ෂික ප්‍රදර්ශනයක්. විද්‍යා අංශයෙ බාරව තිබුණෙ අපි දෙන්නට...මොකද හිනාවෙන්නෙ...එයාට ජීව විද්‍යා අංශය, මට රසායන විද්‍යා අංශය..මොකද කොයාද කියල අහන්නෙ? ඔව්..!ඔව්..!ඉන්ද්‍ර තමයි. තවම වෙන කවුරුත් ආවෙ නැහැ මේ රූප රාමුවට...

උදැල්ල දාන්නෙ නැතුව කියන්න දෙන්නකො.

ඉන්ද්‍ර ගෙ ප්‍රදර්ශන භාණ්ඩය මොකද්ද දන්නවද?..ගෙම්බෙක්ව විඡ්චේදනය කරල රුධිර සංසරණ පද්ධතිය පෙන්වන එක...ගෙම්බගෙ හෘදය වස්තුවට වයර් සම්බන්ධ කරල අනික් කෙළවරේ විදුලි බුබුලක් සවි කරල හෘද ස්පන්දනය වෙන වාරයක් ගානෙ විදුලි බුබුල නිවෙනව පත්තුවෙනව...

ඒක හොඳ නිර්මාණයක් නම් තමයි...ඒත් මට නං හරියට දුක හිතුන..මොකද දන්නවද? ගෙම්බන්ව බාගෙට මරල..එහෙමත් සිහි නැති කරලනෙ ගන්නෙ...ටිකක් වෙලා යනකොට එකෙක් මරෙනව...එතකොට තව ගෙම්බෙක්....අනේ... ගෙම්බො කොච්චරක්ද?

ප්‍රදර්ශනේට කලින් මම ඒක ඉන්ද්‍රට කිව්වම, කිව්ව උත්තරේ දන්නවද..?

"මෝඩි, අපි දොස්තරලා වුණාම මිනිස් ජීවිත කීයක් නං බේරගන්නවද...? ඔය පව් වෙනුවට එතකොට පිං බැරවෙනව අපේ ගිණුම් වල."

මම තර්ක කරන්න ගියෙ නැහැ. මගේ නිර්මාණය ගැනත් කිව්වෙ නැත්නම් වැඩක් නැහැ. මම කළේ, මුහුදු වතුර යොදාගෙන සබන් හදන හැටි පෙන්වල දෙන එක...ලුණු දිය කරලා ගත්තා කරදිය වෙනුවට....ඉතින් ඉස්සෙල්ලම දවසෙ නිකන් සබන් ගුලි වගේ පෙන්නුව..එදා රෑ නිදා ගන්න ගියාම මට හිතුන සබන් අච්චුවක දමල කැට හැදුව නං හොඳයි කියල..අපේ ගෙදරිනුයි, අල්ලපු ගෙදරිනුයි හිස් ගිනි පෙට්ටි අරගෙන ගිහිල්ලා, අම්මගෙන් කේක් හදන්න තිබුනු කලරිං ටිකක් දමල වැඩේ තව ලස්සන කළා. රෝස පාට සබන් ගිනි පෙට්ටි කූරු රඳවන අච්චුවෙන් එලියට ඇවිල්ලා සබන් විදිහට...සර්ට මම ඒක පෙන්නුව..සර්ටත් හරිම සතුටුයි....මගෙ ඔලුව අත ගාල සතුට පල කළා....ඔව්..ඔව්..ඒ සර්ම තමයි...ඉන්ද්‍ර මේක දැකල දක්වපු ප්‍රතිචාරය මොකක්ද කියලද කියල ඔයාල හිතන්නෙ...එයා හිනා වුණා..සර් දැන් අපි දෙන්නට ෆුල් සපෝර්ට්...හරිද..? ප්‍රදර්ශන භාණ්ඩ එක ලඟින්ම තියාගන්න කිව්වෙත් සර් මයි..

ඔන්න දැන් රෑ දහය විතර වුනා....මට හොඳටෝම බඩගිනියි..

" ඉන්ද්‍රයියෙ, බඩගිනියි...තවම සෙනග පෝලිමේ නේද?"

"මම ගිහින් මොනව හරි ටක් ෂොප් එකෙන් අරන් එන්නම්...ඔයාට පුලුවන් නෙ මේ ගැනත් විස්තර කරන්න..."

මම හා කියන්නත් ඉස්සරින් එයා ඉගිලුණා...

මෙන්න දෙයියනේ..වක්කඩ කැඩුව වගෙ සෙනග එනවා. දැන් කාලෙ එහෙම නං ස්ට්‍රෙස් හැදුනා කියයි...ඒ කාලෙ අපිට ඔය මොන කෙහෙල්මල් ස්ට්‍රෙස් එකක් වත් නැහැ.එහෙම දේවල් තියෙනවද කියල දන්නෙත් නැහැ, අම්බානක වැඩ තිබුණත්...නැද්ද හොඳයි?

මම හෝ ගාලා විස්තර ප්‍රචාරයේ යෙදෙනවා. අප්පෝ..අර බෝයිස් ස්කූල් එකේ කොල්ලො ටිකකුත් කඩා වැටුණනෙ මේ වෙලාවෙම. බොරු ප්‍රශ්න අහනව මගෙන්. මනමාල කමට .....එහෙමත් නැත්නම් කොලු කමට..

කොහොමින් හරි ඉන්ද්‍රට පණිවිඩේ ගිහින් ආවෙ නැතැයි දුවගෙන....මගෙ ගැලවුම් කාරයා..!

ඉන්ද්‍ර එනවත් එක්කම කොල්ලො ටික මගේ ලඟින් ලිස්සල ගියා...උන් දන්නව ඇති.. ඒ කාලෙ ඔයවගෙ සම්බන්දකම් ලැව්ගින්දර වගෙ පැතිරෙන්නෙ...කට කතා සහ ඕපදූප නම් වූ හොඳම සන්නිවේදන ජාල..විශේෂයෙන් කොල්ලන් අතර...

" මොනවද ගෙනාවෙ..?" ඒ මම.

"කලබලෙන් එන්න වුනානෙ..වඩේ ටිකක් ගත්තා.."

"කෝ"

"ඉන්න දෙන්නම්"ඉන්ද්‍ර මේසය යටින් වඩේ දාපු කඩදාසි බෑග් එක දුන්නා....මම හිතුව මේසය යටින් වඩේ දෙන කොට මගෙ අත චුට්ටක් හරි මිරිකයි කියලා...මොන පිස්සුද? ඉන්ද්‍රත් අර පියදාස සිරිසේන මහත්තයගෙ නවකතාවල ඉන්න කුලංගනාවක් වගෙ මාව මලක් සේ පිරිසිදුවට තියා ගන්න හිතන්න ඇති, ඇඟිල්ලක් වත් නොඅල්ලා....එයාගෙ කුල ගෙට කැන්දා ගෙන යන කල්.

ඒ වුනාට ඇත්තමයි.....මට නං ඒක හිතට හරි නැහැ....මොකද්දෝ හරියටම කියා ගන්න බැරි හැඟීම් සමුදායක් හිතේ හිර වුනා වගෙ...


7 ක් අදහස් දක්වලා.

Friday, August 21, 2009

ආදරය කරන්නෙ විඳින්නද? විඳ වන්නද

Friday, August 21, 2009
මම හරිම ආසයි හුඟක් වෙලාවට තනියෙන් ඉන්න. එතකොට සිතුවිලි සරුංගලයක නැගල කාටවත්ම නොපෙනෙන අනන්තයකට ඉගිලෙන්න පුලුවන්... මම හීන දකිනව කියල ඉන්ද්‍ර මට දොස් කිව්වා. ඒත් ඒ හීන කොච්චර ලස්සනද කියල එයාට හිතා ගන්න බැරි එකට මං මක් කරන්නද? දේදුනු, සමනල්ලු, දිය ඇලි, වැව් තාවුලු විතරක් නෙවේ ඇහෙන් දකින්න බැරි ඒත් හිතෙන් විතරක් විඳින්න පුලුවන්...රුක් මල් සුවඳ, හඳුන් කූරු,කපුරු සුවඳ මම එහෙම තනියෙන් හීන දකින කොට මට දැනෙනව.
ඒ විතරක් නෙවෙයි...කුඹුරෙ සී සානකොට දැනෙන රොං මඩ වල සුවඳ වගෙම කුරුණි පෙට්ටියක දාල අම්ම අරං එන ඇඹුලෙ සුවඳ..! දැනුත් මම ඒ ගමේ සුවඳ විඳින්න ආසයි.
ගමෙන් දුරස් වුනාම හරිම හුදකලාවක් දැනෙනවා...ඒක වෙන කාටවත් තේරුම් කරන්න අමාරුයි. දන්නෙම නැතුව හිතෙන් ගමට යනවා. අපේ ගමේ පංසලේ පොත් ගුල මගෙ ආසම තැනක්...ධර්මාචාර්ය විභාගෙට ලියන කාලෙ හවස පන්ති වලට ගියා අපි පංසලට. ඉන්ද්‍රයි මමයි...... මල්ලි හරි බන්ඩා හරි තනියට එවනව මගෙ....මම අම්මට කිව්ව, ඉන්ද්‍රයියා ඉන්න නිසා වෙන කවුරුත් එවන්නෙ මොකටද කියලා. අම්මා ඒ පණිවිඩය අප්පච්චිට සන්නිවේදනය කළා. අවසර ලැබුන කියලද හිතන්නෙ....? ඔව් නෙ...! අවසර ලැබුණා...
අවසර ලැබුණ කියල මොන ඉටි ගෙඩියක් වත් කරන්නෙ නැහැ අපි...පහළ මළුවෙ ඉඳල අපි දෙන්නම පොත් ගුලට යනවා පුංචි තරප්පු පෙල නැගලා. පොත් හොයන අතරෙ එකේක කතා...
විෂයයන්ට අමතර පොතුත් මම ගන්නව හාමුදුරුවන්ගෙ විශේෂ අවසරය පිට..ථෙරි ගාථා මම කියෙව්වෙ ඒ විදියට..හැබැයි මම විනය පිඨකය ඉල්ලන කොට නම් ලොකු හාමුදුරුවො අවසර දුන්නෙ නැහැ. " ඒක ඔය ළමයින්ට කියවන්න හොඳ නැහැ, ඒකෙ තියෙන්නෙ භික්ෂු සංඝයාට පනවපු නීති සම්බන්ධයෙන්.."

අපි ලොකු හාමුදුරුවො එක්ක වාද කරන්න ගියෙ නැහැ....බුත්සරණ, අමාවතුර, කව් සිළුමිණ, පූජාවලිය,බුදුගුණාලංකාරය වගෙ පොත් කියවනකොට මගෙ යාලුවො මට හිනා වුණා. " මෙයාට නම් පිස්සු...මහණ වෙන්නද දන්නෙ නැහැ මේ තරම් පරණ පොත් කියවන්නෙ කියලා. සංදේශ කවි පොතුත් ගොඩාරියක් හොයාගෙන කියෙව්වා. ඉන්ද්‍ර හිනාවුනෙත් නැහැ. මොකුත් කිව්වෙත් නැහැ...ඒකත් ලොකු දෙයක් නෙ...

ඔන්න ඔය අස්සෙ මතක් වෙනව සමරු පොත් කතාවක්. මතකයි නෙ ඔටොග්‍රාෆ්...පාට පාට පිටු.. මගෙ සමරු පොතේ තිබුණු කවි ගොඩයි..
" සඳෙන් සොමි බර පැහැය අර ගෙන වළාකුළකින් සුමුදු බව ගෙන ඔබේ රුව මැව් බඹා නම දිමි ඔහුගෙ පා යුග හිසට අර ගෙන" ඉන්ද්‍රට හොඳටම කේන්ති ගියා මේ කවියට...දෙයියනේ..! මම මක් කරන්නද?
ඒක දැක්කට පස්සෙ ඔක්කොම කිය වන්න ගත්තා. " හා...මේ තියෙන්නෙ මට හොරෙන් කරන වැඩ....ඉන්නෙ නං දහයට ගනින්න බැහැ වගෙ...කියන්නං ....මම හින්නි මාමට. ඔන්න තව එකෙක් ලියල..."
"නඳුන් උයනෙන් හිමව් අරණෙන් මන්ද මාරුත හමා ඒවා
සඳුන් කස්තුරි අගිල් සුවඳින් ඔබේ ජීවිතෙ සුවඳ වේවා"
"මේ තියෙන්නෙ..මේ තියෙන්නෙ.මොකටද කොල්ලන්ට ඔටොග්‍රාෆ් එක දුන්නෙ? මගෙන් අහන්න තිබුන නේද?" ඉන්ද්‍ර පරල වෙලා.
" මම ගර්ල්ස්ලට දුන්නෙ.ඒ ගොල්ලන්ගෙන් ඉල්ල ගෙන ලියන්න ඇති" මම නිදහසට කරුණු කියනව. අනේ!..ඇයි ප්‍රේමය නිසා මේ තරම් විඳවන්න වෙන්නෙ? ආදරය කරන්නෙ විඳින්නද? විඳ වන්නද? ඇස්වල පිරෙන කඳුලු කැට ලේන්සුවට උරා ගත්තා....මම පුස්තකාලෙට එහායින් තියෙන සික් රූම් එකට ගියා හිතේ හැටියට අඬන්න.

4 ක් අදහස් දක්වලා.

Thursday, August 20, 2009

Thursday, August 20, 2009
හවසට ගේ ඉස්සරහ පඩිය උඩ ඉඳගෙන, කන්ද උඩින් රතු පාට ඉර බැහැ ගෙන යනව බලා ඉන්න මම හරිම ආසයි..වළාකුළු සේරම රත්තරන් පාටයි...සමහර දාට මිදුලෙ කොනේ තියෙන මැයි ගහේ මල් අතරිනුයි ඉර බිමට වැටෙන්නෙ.
ඉර නගින්නෙ නමුනුකුල කඳු මුදුනින් මීදුම කැරැල්ලකුත් කර වටේ ඔතාගෙන...අහල පහල ලතා මඬුලු වල වැතිරිලා සනීපෙට ඇහැ වහ ගෙන ඉන්න පුංචි පිනි කැට, ඉර එලියට මිනි කැට වගෙ දිලිසෙනව.
ඒත් ඉර බහින්නෙ ගල පිට ගල කඳු මුදුනින්...වටේටම නිල්පාට කඳු.
කුරුල්ලො කුඩු වලට පියාඹනව..අපි සේරම කාක්කන්ව ගනන් කරනවා. එක එක රටා හදා ගෙන කාක්කො පියාඹනව. කඳු අග්ගිස්සෙ ... එකේක හැඩේට තුරු පේලි සැදී පැහැදී රාත්‍රියට පිළි ගැනීමේ ගීත ගයනව...
කිරි බැබලෙන හඳ නමුනුකුලට මුවා වෙල මුකුළුව. තාරකා වල හැඩ තල වලින් යෙන් ඒවා හඳුනගන්න බලනව...මම ආසම හත් දින්නත් තරු පොකුර දිහා බලාන ඉන්න...ඒ වගෙම සිකුරු තරුවටත් මගෙ හිතේ තිබුනෙ පුදුම ලෙන්ගතු කමක්.
ඔහොම ඉන්නකොට මට ඉන්ද්‍ර හිනා වෙවී මගෙ හිතට පිවිසෙනව. එය දුන්නු ප්‍රේම පත්‍රයක
අමරදේවයන්ගෙ ගීතයක වචන ලියල...
"පාලු අඳුරු නිල් අහස මමයි..ඈත දිලෙන තනි තරුව.. ඔබයි..යුගයෙන් යුගයට..."
....මම හිමිහිට සින්දුව මුමුනනනවා.
ඉරිද උදේට හැම දාම මම ලොකු අම්මිලගෙ ගෙදර දුවනව..අම්මටයි අප්පච්චිටයි කියන්නෙ නං පත්තර කියවන්න කියල...ඒ වුනාට ඇත්ත මොකක්ද දන්නවද? ඉන්ද්‍ර නැවතිලඉන්නෙ එහෙ..ඒ ගොල්ලන්ගෙ අප්පච්චියි අම්මයි ඉන්නෙ වෙන දිහාවක..එහෙ වැඩිය හොඳ ඉස්කෝල නැහැල්ලු...
ලොකු අම්මිල ගෙදර නාන බුබුලෙ නිල් කැටේට වතුර...හරිම සීතලයි...වතුර උනන තැන කුඹුක් ගහකුත් තියෙනවා. මම ඒ ලිඳෙ නාන්න ආසයි....ලිං කට ලඟටම වතුර...ඒත් මම නාන කොට ලොකු අම්මි කියනව,
" ඉන්ද්‍ර පුතේ, ඔය නංගියට වතුර දෙකක් ඇදල දෙන්නකො' කියලා.
මට මොන සැපද?
ඉන්ද්‍ර වතුර ඇදල මගෙ අතට දෙනව..මාත් ඉතින් ගලක් උඩ වාඩි වෙල නාගන්නව...
"සර් මොනව හරි කිව්වද? මං නිසා ඔය ගුටි කෑව නේ?"
මම මොකුත් නොකියා මූණට වැටුණු කොණ්ඩෙ එහා මෙහා කරනව. මම වතුර බින්දු අස්සෙ එයා දිහාවෙ බලනව...කියන්න කියල කොච්චරක් දෙවල් හිතේ ගොඩ ගැහුණද රැයක් පුරා? ඔක්කොම හිරවෙලා...උගුර අස්සෙ..
"ඔයගෙ කවිය ලස්සනයි...මට ද ඒක ලිව්වෙ?"
ඔහු ලිඳට එබෙන ගමන් අහනව...
"නැතුව වෙන කාටද?" මම එහෙම හිතනව විතරයි...ඉන්ද්‍රගෙ ඇස් දෙක මාව ගොලු කරල වගෙ.
"මොකද කතා නැත්තෙ, ඉබ්බි?"
"මට සීතලයි ඉබ්බො" ඒකනං යාංතම් කියා ගත්තා.මගෙ තොල්පට නිල්පාට වෙල ඇති සීතලට, මට හිතුන...මට දැනුණා දත් ඇඳු දෙක කිටි කිටි ගාල ගැහෙනවා.
"එහෙනම් ඔය සබන් ගා ගන්න...මම යන්නම්"
"ලොකු අම්මිට එන්න කියනවද මගෙ පිටේ සබන් ගාන්න?"
"මම ගාන්නද?"
මම ඔහුට වතුර අහුරක් විසි කරනවා.
" ලොකු නැන්දේ..අන්න අවුරුදු කුමාරි එන්නලෝ"
අපරාදෙ මං සීතලයි කිව්වෙ...
"ඉක්මනට නාගෙන ගෙට එන්න පුතේ..මම තේ එකක් හදල තියන්නං...."
අපි තේ බොද්දි තේ කෝප්ප මාරු කර ගන්නව කාටවත්ම පේන්නැති වෙන්න...
" කියග,තොප තුඩ වැකි තැන්"
එයා විහිළු කරන්නෙ එහෙමයි.
මගෙ තෙත කොණ්ඩෙන් වතුර බේරෙනව..එයා ඒ වතුර බිංදු අත්ලට එකතු කර ගෙන එයාගෙ මූනෙ විසිරුව ගන්නව....ලොකු ලොකු බලාපොරොත්තු, ප්‍රාර්ථනා ඒ දවස් වල අපේ හිත් වල දඟ කළේ නැහැ...
" ඔයා ගොලු හදවත කියෙව්වද?"
"ඔව්..හරි දුකයි..."
" ඔයා මගෙ ජීවිතෙත් එක්ක සෙල්ලම් කරන්නෙ නැහැ නේද දම්මි වගේ.."
" ඔන්න පිස්සු කියෝනවා.."
"මැට්ටි"
"මැට්ටා"
"පිස්සි"
"පිස්සා"
"මෝල් ගහ"
" වංගෙඩිය"
" ලොකු අම්මි, ඉන්ද්‍රයිය මට නම් කියනවා"
"ඔය දෙන්නගෙ වැඩේ රන්ඩුව ඉතින්...ඔය පත්තර බලන හැටිද?"
ඔහු එලියට ගිහින් ලස්සන රෝස මලක් කඩා ගෙන එනවා.
"මටද ඔය මල?"
එහෙ මිදුලෙ පාට පාට රෝස මල් පිපිලා වකාරෙට.
"ඔයාට නෙවේ..."
"එහෙනං?"
"කාට හරි"
"කාටද"
"ඔයාට වැඩක් නැහැ නෙ"...
එයා මාව පහු කරල යනවා...
ඊට පස්සෙ ජනේලෙන් අත දාල රෝස මල මගෙ කෙහෙ රැළි අතර දවටනව..මගෙ ඇඟ පුර ලොකු විදුලියක් කොටා ගෙන යනවා. හිත ඇතුලෙ සුවඳ රෝස ද්ස දහසක් පිපිල සුවඳ හමනව...
'කවි ලිව්වද..."
"ම්ම්ම්ම්ම්"
"කාටද? මටද?"
"නැහැ..."
"එහෙනම්"
"පව් පින් ගැන"
"ඒ මොකද්ද?"
"මට නිකං හිතුනා"
'සිඟමන් යදින
අව් වැසි පිනි අතර
මිනිසුනේ...
මේ අත් භවයෙත්
පිං කරන්නේ කෙළෙසද
අතමිට සරුව නැතිකල
මතු භවය
සැපවත් කරගනුයෙ
කෙලෙසද...
පොහොසතුන්ට මැයි පින්
දුප්පතුන්ට මැයි පව්
වෙනසක් කරනු බැරිදෝ
කාටවත්ම මෙහි"
"අනේ ඔයාගෙ දාර්ශනික කවි. මම නං ඒකට ආස නැහැ...ඒකනෙ ඔයට කොල්ලො ෆිලෝසොෆර් කියන්නෙ.....පංඩිතකම.."
"එහෙනං ඔයාට මම සීනිබෝල කවියක් කියන්නද?"
'නුඹ නෙතග රැඳී ඉන්නට දෙන්න
ඇබින්දක් එකම එක ඇබින්දක්
නුඹ සිතග රැඳී ඉන්නට දෙන්න
ජීවිතය මගෙ තිබෙන තුරාවට'
දන් යාලු වෙලා ඒ පාර තරඟෙට කවි කියනවද...හා..හා..එන්න ඇවිත් බත් කන්න..මලිති දුවට මම ඔන්න ඔයා ආසම පොලොස් මැල්ලුමකුත් හැදුව...
අපි ඉක්මනටම උයන ගෙට දුවගෙන ගිය, බඩගින්නට ආදරේ කන්න බැහැ නෙ...

5 ක් අදහස් දක්වලා.

ඉරිසියාව

ඔන්න අද කියන්න යන්නෙ මට ඉන්ද්‍ර නිසා ඉරිසියා හිතුනු කතන්දරයක්. ඊට ඉස්සෙල්ල හොඳයි කියන්න බලන්න ඉන්ද්‍ර කියන වචනෙ තේරුම....කෝ බලන්න..කාටද කියන්න පුලුවන්.

හා....ඔයා දන්නවද? කියන්නකො එහෙ නං...

"දෙදුන්න...!"
ඔයාට එහෙම හිතෙන්න ඇත්තෙ දේදුන්නට ඉන්ද්‍ර චාපය කියල කියන නිසා වෙන්නැති..අනේ නෑ පැටියො.... ඉන්ද්‍ර කියන්නෙ දෙවියන්ට....කවියන්ගෙ අග තැන් පත් නැත්නම් දෙවියො කවීන්ද්‍ර. ඔන්න ඔය කිව්ව වගෙ චාප වල දෙවියා, නැත්නම් අග තැන්පත්... දේදුන්න නිසා , ඒක ඉන්ද්‍ර චාපය වුණා. හරිද? මගෙ ඉන්ද්‍රත් එයා මගෙම වුනෙ නැහැ හැබැයි....ඒවා වැඩක් නැහැ මෙතෙන්ට....

ඔන්න අපේ පළාතෙ නාට්‍ය තරඟ තිබුණා, මම උසස් පෙළ කරන කාලෙත්. මේ කතන්දරේ එන නාට්‍යය වල තේමාව ඓතිහාසික සිද්ධියක් වෙන්න ඕනි කියල තරඟ කොන්දෙසි තිබුණා.........අපි කළේ විජය කුමාරයා ගෙ කතාව.... හොඳයි ඕගොල්ලන්ට පුලුවන්ද කියන්න කවුද කුවේණිට ඇන්දෙ කියල...

ඔව් නේ..මම තමයි කුවේණි..

එත කොට කවුද විජය කුමාරය...

"ඉන්ද්‍ර....."

අන්න වැරදුන තැන. විජයට ගත්තෙ කලා දහරාවෙ අය්ය කෙනෙක්ව..අම්මට සිරි..එය නටනව නිකන් රූ රැසේ අඳිනා ලෙසේ වගෙ.....මගෙ පරිවාර කාන්තාවන්ට හිටියෙත් වෙන පන්තිවල ළමයි...

මේක ගීත නාටකයක්....මගේ ලඟම ඉන්න කෙනා හැටියට හිටියෙ හේමිකා...එයා හරිම පුංචි,කෙසඟ සිරුරක් තිබුන එක්කෙනෙක්, එයාටත් ලස්සනට සිංදු කියන්න පුලුවන්...

ඉන්ද්‍රත් එනව රිහර්සල් බලන්න...ඒ ආවෙ මම වැඩිපුර විජය කුමාරයත් එක්ක දඟලනවද බලන්න....හෙහ්...වැඩේමයි... ඉතින් මම විජය එක්ක රැඟුම් පුහුණුවෙන කොට ඉන්ද්‍රගෙ මූනෙ පාට වෙනස් වෙනව. එයාගෙ යාලුවො එයාව අවුස්සනව.

" ඔයා ඔය නාට්‍යයෙන් අයින් වෙන්න, මලිති" ඉන්ද්‍ර මගෙ ලඟ යාචක ලීලාවෙන් බැගෑපත් වෙනව...චෙහ් විතරක්...මොන කෙහෙල්මලකටද මෙහෙම බැගෑපත් වෙන්නෙ..
"අප්පච්චිත් මට හා කිව්ව එකේ ඔයා මොකද එපා කියන්නෙ.."

"පැහිච්ච කම නැතුව මම කියන දේ අහන්න ළමයො"

"සර් මට බනියි, ඔයා හැම දාම ඇවිත් හොඳට බලා ගන්නකො මාව.මම විජය කුමාරයා එක්ක යාලුවෙන්නෙ නැහැ, ඉන්ද්‍ර."

මම මොකටද එයා කියන දේවල් අහන්නෙ..එයාට බාගෙට පිස්සු. ඉරිසියාව...ඉරිසියාව..කොල්ලො හරිම ඉරිසියා කාරයො. කොහොම හරි මම අයින් වුනෙත් නැහ, ඉන්ද්‍ර තරහ වුනෙත් නැහ... හැබැයි එයා ඇවිත් හේමිකත් එක්ක කතාව...එයාට වැඩිය රඟ පාන්න නැහැ නෙ...මේ දෙන්න ප්‍රේක්ෂකාගාරෙ ඉඳ ගෙන කතාව...අනේ .... මට නං චුට්ටක් වත් සැක හිතුන්නැහැ. ඔහොම ඔහොම ගිහින් නාට්‍යය පෙන්නන දවසත් ආව කියමුකො.... මම කුවේණිට ඇඳලා මේක් අප් දාල ස්ටාෆ් රූම් එකෙ ඉන්නව....ස්ටාෆ් රූම් එකෙ දොරෙන් තමයි වේදිකාවට යන්න තියෙන්නෙ.

ඔන්න ඉන්ද්‍ර ආව....කැමරාවකුත් උස්ස ගෙන...මතක නැතිවුණානෙ කියන්න...එයාගෙ විනෝදාංශ චිත්‍ර ඇඳීමයි...චායාරූප ශිල්පයයි..

මාව දක්ක ගමන් ඔන්න පින්තූරයක් අර ගෙන අතුරු දහන් වුන. හා....මට ඕල් ද බෙස්ට් කියල විශ් කරල ගියා නං තමයි...ඒ වුනාට අතට අත දුන්නෙ වත් නැහැ අනේ..කමක් නැහැ..ප්‍රින්සිපල් සර් වගෙම අනෙක් ටීචර්ල සර්ල යාලුවො මට අතට අත දීල සුබ පැතුව....විජයට ඉන්න බන්ඩාර අයියා මගෙ අත් දෙකම අල්ලල " "හොන්දට කරන්න නංගී," කියල ස්ටේජ් එකේ අනික් පැත්තට ගිහින් කලු තිරයක් අස්සෙ හැංගුන. ඕගොල්ලන්ට නාට්‍යයෙ ඔක්කොම කියන්න නං මට බැහැ හොඳේ.

වේදිකාවෙ රඟ පානකොට විදිලිකොටන කොට ඉන්ද්‍ර ගෙ කැමරාවෙනුත් විසි වෙන ඒව වෙන්නැති කියල මට සතුටුයි. මම එදා හොඳම නිළියත් වුනා. අපේ නාට්‍යය හොඳම නාට්‍යයත් වුනා...

දැන් වගේ නෙවෙයි නෙ...ෆොටෝ සුද්ද කරල ගෙනාවෙ සතියකට විතර පස්සෙ ඉන්ද්‍ර....මට පෙන්නුවෙත් නැහැ. මම කොටින්ම දන්නෙත් නැහැ....

හේමිකා දුව ගෙන ඇවිත් මගෙන් ඇහුව, "මලිති ෆොටො දක්කද " කියල...
"ම්හ් ...!"

"ඉන්න මම ඉන්ද්‍රගෙන් ඉල්ලන් එන්නම්"

ඒ කවදා ඉඳල වෙච්ච් ළං වීමක්ද බොලෙ...මට හිතුන. මගෙ හිත බිමටම කඩා ගෙන වැටුන, දෙයියනේ...ඇයි මෙහෙම වෙන්නෙ..? බලන බලන පින්තූරෙ ඉන්නෙ හේමිකා...හේමිකා...හේමිකා... හැම එකේම හේමිකා

"ඒ අතට මේ අතට ...කර කවාල හැඩ දමාල..."

හේමිකාම විතරමයි...

කුවේනිය ගැසු විලාපේ
නමුණුකුල වැද සැඟ වුනා
කුවණ්ණා මාලිගාවෙන්
දරුන් හා පිට මං වුනා

"කොහොමද ඉරිසියාව වැඩ කරපු හැටි...!

9 ක් අදහස් දක්වලා.