පරාක්රම සමූද්රය දිහා දෑස රඳවගෙන වරු ගණනක් වුණත් නිසොල්මනේ ඉන්න පුළුවන් කියල මට හිතෙනව. තැඹිලි පාට වේගෙන මුකුළු කරන ඉරට; මුවා වෙන්න බැහැ වගෙ..... අවරෝහණය වෙන්නෙ ඉබි ගමනින්. කම්මැලි නොවී ඉක්මණට ගියොත් හොඳයි, අටවක හඳ පළුව වැව් දියට වැටිල දිය කෙලියේ යෙදෙන හැටි ඇබින්දක් හරි බලන්න පුළුවන් වෙයි එත කොට මටයි, නන්දිටයි එකට ළං වෙලා වැව් ඉවුරෙ ඉඳගෙන.
ප්රේමවතීගෙ විඩාපත් ගත ගෙදර නැවතුණා, වැව් ඉවුර ඉස්මත්තෙ සැරිසරන්න කම්මැලි වෙලා වගෙ. කෝඩුවෙන් ගල් විහාරෙ වඳින්න යන්න උතුරා හැලෙන භක්තිය හිතේ පුරෝගෙන ආවත් ගමන් තෙහෙට්ටුව, පින් පිරිච්ච හිත ගෙදර නතර කර ගෙන. එහෙමත් නැතුව අලුත් ජෝඩුවට විතරක් අලුත් ආදර ලෝකයෙ හුරතල් වෙන්න ඉඩ කඩ අවසර දෙන්න හිතුණද දන්නෙත් නැහැ, ප්රේමවතීගෙ ශ්රද්ධාවන්ත හිතට. හැබෑ ශ්රද්ධාව පිරිච්ච හිත් ඇතුලෙ කුහක, කුඩු කේඩු, කුරිරුකම් කියන කුණු රොඩු වලට ඉඩක් නැහැ. ඔක්කොම 'කු' යන්නෙන් පටන් ගන්න වචන, කුණු වගේම. ඒවා ඔක්කොම සිත් මිදුලෙන් ඇමදලා ඇමදලා ඈතට ඈතට වීසි කරලා.
නන්දිගෙ නිල නිවාසයෙ ඉඳල වැව් බැම්මට එන දුර මගෙ පියවර වලට දුරක් වුණේ නැහැ. චිත්රපටියක නං අත් වැල් අල්ලගෙන, ගහක් වටේ නටල, මලක් සිප ගන්න සමීප රූපයක් දමල පෙම් ගීයක් ගයන දර්ශනයක් වෙන්න තිබුණා, වැව අද්දරට එන ගමන.
තැඹිලි පාට, දම් පාට සේරම සුදු පාට වළාකුළුත් එක්ක මිශ්ර කරලා බටහිර අහසෙ ලස්සණ චිත්රයක් නිර්මාණය කරන්න කවුදෝ උත්සාහ කරන්නෙ අපට උචිත රොමැන්තික පරිසරයක් මවා දෙන්නද? ආකාසෙ හෙවනැල්ල වැව් දිය මතට වැටිලා දේදුනු වර්ණ චිත්රයෙ ප්රතිබිම්බයක් වැව් දියේ සසල වෙනවා. දකුණු පැත්තෙ කොණේ තානායමේ සෙවනැල්ලත් අර චිත්රයේම කොටසක් වෙලා. අහසෙ ඇඳුණු චිත්රයේ ඒ කොටස ඒ කියන්නෙ තානායම දකින්න නැහැ.
වැවට වැටුණු චිත්රයට ආලෝකයක් ගෙනෙන ඒ වගෙම දෑස පුරා අඳුන් තවරන කොළ පාට ආකාසෙත් තිබුණ නම් මොන තරම් චමත්කාර ජනක වේවිද? කොළ පාට සායම් පණිට්ටුවක් අර ගෙන අහස පුරා විසිරුවන්න හිතෙනව, මට. චිත්රය අඳින කෙනා එතකොට ඒ කොළ පාටත් අර ගෙන සමබරව වර්ණ සංයෝජනය කරල, චිත්රය විස්කම් නිමැවුමක් කරාවි එත කොට.
දිය රැළි වල චලනය වෙන්නෙ, කිරළා වන්නම් තාලයට රඟ දෙනවා වගේ. මගෙ හිතත් දිය රැළි ඕවිල්ලක නැගිල පැද්දෙනවා නොදරුවෙක් වගේ. පුළුන් රොදක සැහැල්ලුවක් .....! මම පුළුන් රොද අත්ලට අරගෙන ඇඟිලි තුඩු වලින් අහසට අල්ලලා දෙතොල් උල් කරල 'පුහ්' ගාල පිම්බෙ, මට කොයි තරමක් උඩට සැහැල්ලුවෙන් ඉගිල්ලෙන්න පුළුවන්ද බලන්න.
"භාවනා කරනවද"
නන්දි මගෙ ලඟ ඉන්න එකත් අමතක වෙලා මට. හිසෙන් නළලට වැටිලා, නළලෙන් වැටෙන්න තැනක් නැතුව එහෙ මෙහෙ දඟ කරන කියඹු රැළි, නන්දිගෙ ඇඟිලි තුඩුවල පහසට වශී වෙලා, ටිකක් ලැජ්ජාවෙන් වගේ ඇඹරෙනවා.... අනේ ද කියන්නෙ...මට වත් නැති ලැජ්ජාවක් ඒගොල්ලන්ට.
"පරිසරයෙ සුන්දරත්වයෙන් මත් වෙලාද"
"ඔව්..ටිකක් විතර මත් වෙලා, මුහුද දිහා බලා ඉන්නයි, වැව් දිහා බලා ඉන්නයි මම හරිම ආසයි"
මගෙ වචන පින්න රැඳුණු සුළඟත් එක්ක පැරකුම් සමුදුරු දිය රැළි වලට එකතු වෙනව.
"ඇයි, මගෙ දිහාවෙ බලා ඉන්න ආස නැද්ද?"
"මොකද නැත්තෙ? මම ඔයාගෙ දිහාව බලා ඉන්නවා රෑට ඔයාට නින්ද ගියාම. ඔයාට පෙනෙන්නෙ නැහැ නෙ, එතකොට"
මම කියන්න හදන වචන රෑන ආදරණීය ස්වරයත් එක්කම තොල් අග්ගිස්සෙ හිනාවක් වෙලා නතර වෙන්නෙ ඇයි කියල මට නම් හිතා ගන්න බැහැ.
"මට ඔයාට කියන්න ගොඩක් දේවල් හියෙනවා.කොතනින් පටන් ගන්නද කියල මට හිතා ගන්න බැහැ."
නන්දි මගෙ ඇඟිලි තුඩුවල මුදු මොළොක් බව විඳ ගන්න හදනවා එයාගෙ දෑතට මැදිකර ගෙන. මගෙ හිත ඇතුළෙන් කවුදෝ එබිකම් කරල මාව අවුල් කරන්න හදන්නෙ ඇයි මේ සුන්දර හෝරාවෙ?
'මොනවද එයාට කියන්න තියෙන ගොඩක් දේවල්..පරණ පෙම්වතියන් ගැනද? ඔයාට මොකටද ඒවා?'
එක එක දූවිලි, කොළ රොඩු ඇවිත් හිත් මලුව කෙළසනවට මම කැමති නැහැ. බෝ කොළයක් දෙකක් වැටුණටකමක්නැති වුණත් වත්තක කොළ ඔක්කොම හැලුනොත් අමදින්න දුෂ්කර වෙයි, සිත් මළුව. අතීතය කියන්නෙ අතීතයට. ඒවා නොදැන ගෙන ඉන්න තරමට හොඳයි. නැත්නම් අනවශ්ය සැකය පෘතග්ජන හිතේ මොන මොන තොවිල් නටාවිද දන්නෙ නැහැ. මගෙනුත් ඇහුවොත් මටත් කියන්න වෙයිද, ඉන්ද්රයියා ගැනයි...තරිඳු ගැනයි එතකොට? අනවශ්ය ප්රශ්න ඇතිවෙන එක විතරයි, කියන්න තරම් මහ සුවිශේෂ දේවල් වුණෙත් නැතිකොට මොනව කියන්නද?
කියන්න ඕනි කිව්වට නන්දි විශේෂ කිසිම දෙයක් කීවෙ නැහැ. මාරුවීම හදාගෙන පුලතිසි පුරවරට මාව ගෙන්න ගන්නෙ කොහොමද කියල සැලසුම් කළා මිස.
ඉර ගල වැවට වැටිල හැංගිලාම ගියා, අපෙනුත් සමු අරගෙන. සඳ කොමළි මද හිනා වපුර වපුරා ගොම්මන් අහසටත් වැව් දියටත් රිදී වියමන් එළනව, කිසිම ලෝභ කමක් නැතුව. වැව් කණ්ඩියෙ එහා මෙහා යන අය අපි ගැන හොයන්නෙ බලන්නෙ නැතුවම තම තමන්ගෙ අරමුණු කරා එළැඹෙන්නෙ, ඕප දූප හොයන්න වෙලාවක් නැති නිසා වෙන්න ඇති.
"හෙට මම, ටිකක් කලින් එන්නම්. අපි ගල් විහාරෙ බලන්න යමු, ප්රේමවතිත් ආවෙ ඒකටම නෙ. ප්රේමවතී දැනට මත් ඔයාට ආදරෙ වෙලා නේද?"
එයාගෙන් මට ප්රශ්නයක් අහන්න ඕනි වුණත් ඇහුවෙ නැහැ, හිතටයි කටටයි දෙකටම කම්මැලි හිතිලා. කියන දෙයක් එයාටම කියන්න ඉඩ හරින්න හිතුණා.
නන්දියි, මමයි ටිකෙන් ටික සමීප වෙන ගතියක් මට දැණුනා. නුගලියද්ද වලව්වෙ උෂ්ණෙ වැව් පවනැල්ලට සීතල වෙලා යනවද කොහෙද?
"ඔයා කැම්පස් ගියෙ නැත්තෙ ඇයි?"
මට නොකියම මලිති ප්රශ්න අහන්න පටන් අර ගෙන.
" බයෝ සයන්ස් කරල දොස්තරෙක් වෙන්න තමයි, මමත් හිටියෙ. ඒත් බැංකුව හොඳයි කියල මට හිතුණා. දොස්තරලා, ඉන්ජිනේරුවො වුණත් ලෝන්ස් ගන්න අපි ළඟට එන්න ඕනි නෙ." "ඔයා හිතන්නෙ අමුතු විදිහකට නෙ"
දැන් නම් හුඟක් වචන උගුරෙ, තොල්වල හිර වෙන්න නොදී කටින් එලියට විසි කරන්න මට පුළුවන්. අපි අතර තිබුණු දුර දැන් කෙටි වීගෙන යනව, දවසින් දවස.
නන්දි, නන්දි කියල කතාවෙ ලිව්වට මම එයාට තවම නන්දි කියල කතා කරල නැහැ. මට එහෙම කතා කරන්න බැහැ වගෙ මට හිතෙන්නෙ, එයා මට වඩා අවුරුදු දහයක් විතර වැඩිමහලු නිසා වෙන්න ඇති. ප්රේමවතී නම් කියන්නෙ නන්දි අප්පො කියල. නන්දි අයියා කියල කියන්නත් හිතෙනව මට.
"මලිති, හෙට රෑට පාටි එකකුත් තියෙනව පබ්ලික් සර්විස් ක්ලබ් එකේ...හතට විතර ගියාම
ඇති. අපි දෙන්නටයි, පාටිය."
මම එච්චර පාටි වලට ආසා නැතිවුණත් මේ ඉල්ලීම නම් බැහැර කර ලිය යුතු නැහැ. කොහොමත් දැන් මම මිසිස් නුගලියද්ද හැටියට ජිවත් වෙන්න පටන් ගන්න වෙනවා.
" පාටි එක හෙට නම් අපි අනිද්දට ගල් විහාරෙ යමු නේද? එහෙ ගිහින් ඇවිත් නැත්නම් මහන්සි පිට ආයෙත් යන්නෙ කොහොමද රෑට?"
බිය සැක නැතුව යෝජනා ඉදිරිපත් කරන්නත් සිත සවිමත් වෙලා. දැන් කතා කරන්නෙ විවාහක පතිනියක්, මලිති කියන දැරිවි නෙවෙයි. මිසිස් නුගලියද්ද කියන වැඩිහිටි කාන්තාව.
" ඒකත් ඇත්ත තමයි.....ඔයාටත් යමක් කමක් තෙරෙනව නේ..පුංචි වුණාට."
මම කොහොමද පුංචි වෙන්නෙ? අවුරුදු විසි දෙකක් කියන්නෙ වැඩිහිටි බවට පත් වෙන වයසක්. මෙන්න වැඩක්. පුංචි ලමයෙක් නං මම කසාද බඳිනවද?
"මම ආසයි වැවේ නාන්න...දවසක නාන්න යමුද?"
" බ්රහස්පතින්දා නිවාඩුවක් එනවා, අපි එදාට දුඹුටුලුගල යමු. එහෙ සී.ඕ. මගෙ යාලුවෙක්. එයා පරාක්රම සමූද්රය කොළනියෙ වැඩ කරන්නෙ. හෙට පාටියෙදි අපි කතා කර ගනිමුකො." සාදයට යන්න මම ඔසරියක් අඳින්නම ඕනිනෙ?
'අලුත ගෙනා මනමාලිට හාල්පතක් ගරාලා...උස් කොල්ලෝ පේලියයි..මිටි කොල්ලෝ පේලියයි..උස් දර මිටි පේලියයි..මිටි දර මිටි පේලියයි....'
පුංචි කාලෙ අපි අතුරු මිතුරු දඹදිව තුරු රාජ කපුරු සෙට්ටියා කියන කොට මමත් කවදා හරි අලුත ගෙනා මනමාලියකගෙ ගෙ චරිතයට පිවිසෙයි කියල නිකමට වත් හිතුණෙ නැහැ. ඒ වගෙම උස් මිටි කියල වෙනස් කොට දක්වල තියෙන්නෙ පංති විසමතාවන්ද කියල ඉස්සර නොහිතුණත් දැන් නම් හිතෙන්නෙ, ඒ කාලෙ සමාජ සංස්ථාවෙ තිබුණු ඇති නැති කම්, දුප්පත් පොහොසත් කම්, කුල පරම්පරාවල වෙනස් කම් ඒවයින් අරමුණු කළාද කියලා. අපි එදා සිතූ පැතූ ආකාරයත් අද හිතන පතන ආකාරයෙත් යම් යම් වෙනස් කම් තියෙනව. ඒ වගෙම ජිවිතෙත් අපි හිතන පතන දේවල් ඒ ආකාරයෙන්ම ඉටු වෙනව නම් අපි ඉන්නෙ මනුස්ස ලෝකෙක නෙවෙයි, දිව්ය ලෝකෙක.
ඒ වගෙම කුල පරම්පරා ගැටුමක් නැත්නම් ප්රේමවතීලගෙ ජීවිත මෙදාටත් මුළුතැන් ගෙයි පිඟන් රාක්කෙ යටම තට්ටුවෙ අඩුක් කරන්නෙ නැහැ නෙ, නුගලියද්ද වළව්වෙ කුලවත් උදවිය. "පරම්පරා ගාණෙ ඉතින් උඹලා කඹුරපල්ලා" කියල අපේ අත්තම්ම ඉස්සර කියපු කතා වල සැඟවෙලා තිබුණු ඇත්ත, මට ටිකෙන් ටික දැන් තේරුම් යනවා.
ප්රේමවතීලාට නොදැනෙන, දැනුණත් බඩ ගෝස්තරේ රැක ගත යුතු නිසා නොදැනුණා වගෙ ඉන්න මේ අඩුක්කු, ඇසුරුම් වල සුල මුල අපේ පරම්පරාවලින් ඔබ්බට නොයනවා නම් හොඳයි කියලා මට හිතෙනවා.
"මලිති, පරාක්රම සමූද්රයේ නාන හැටි ගැන සිහින මවනවද?"
"නැහැ, මට ප්රේමවතී ගැන මතක්වුණා"
"නින්ද ගිහින් ඇති...මහන්සියට."
ඒත් අපි ගෙදරට එන කොට ප්රේමවතී රෑ කෑමත් හදල ඉවර වෙලා ගේට්ටුව ලඟ බලා ගෙන ඉන්නවා. ලූල් මාළු මිරිසට හදල නන්දි කන්න ආස නිසා. ඒ වෙනකල් මම නම් ලූල් මාළු කාල තිබුණෙත් නැහැ.
"ප්රේමවතී....අනිද්දට මහත්තයට නිවාඩුලු. අපිට එදාට ගල්විහාරෙ වඳින්න යන්න පුළුවන්, තව ඉස්සර තිබුණු රජ මාළිගාවල්, චෛත්යය, කෝවිල්, කුට්ටම් පොකුණ වගෙ ඒවත් බලන්න යන්න පුළුවන් වෙයි."
" කෝවිල් තිබුණද ඉස්සරත්, සුදු මැණිකෙ?"
" ඉස්සර අපේ රජ්ජුරුවන්ට බිසෝ වරුන් ගෙනාවෙ ඉන්දුයාවෙන්ලු නෙ...ඉතින් බිසවට එයාගෙ හින්දු ආගම අදහගන්න නිදහස දීල තියෙනව, අපේ ධර්මිෂ්ඨ රජ වරු. ඒ නිසා තමයි, බෞද්ධ වෙහෙර විහාර ළඟින්ම හින්දු කෝවිලකුත් හදල තියෙන්නෙ"
" ඒ කියන්නෙ රජ කාලෙ හදපුවා තවමත් තියෙනවා?"
ප්රේමවතී විස්මයට පත් වෙලා, රැලි වැටිච්ච නළලට ඇස් දෙක ගෙනියනවා. සයිමන් මිදුලෙ කර්තකොලොම්බු අඹ ගස් යට බංකුවෙ ඇන තියා ගෙන මොනවදෝ කියන්න කට හදනවා.
"ප්රේමවතී අක්කා එන්ඩකො, මෙහෙ නවතින්ඩ...උදේ හවා යන්ඩ බැරියෑ ඔව්වා බලන්ඩ."
ප්රේමවතීට නෑදෑයෙක් මුණ ගැහිච්ච එකත් හොඳයි කියල මට හිතුණා. ඉස්සර ආත්මවල අක්කා මලෝ වෙලා ඉන්නත් ඇති සමහර විට.
අඹ ගස් අතරෙන් පෙරෙන සඳ වතුර රන්, රිදී සලු පාලියක් නටනවා, වැව පැත්තෙන් එන සීතල සුළඟත් එක්ක එකතු වෙලා.
"මලිති..., එන්න, මට බඩගිනියි."
මගෙ දෙපා මටත් නොදැනි දුවනවා, අර හඬ ආපු දිහාවට. සුවච, කීකරුබිරිඳක් වෙලා නේද මලිති කුමරිහාමි? සම්ප්රදායිකා මගෙ අතක් අල්ලගෙන මාව ඉක්මන් කරවනවා. දඩබ්බරී අඹ ගහක බෙදිලා ගිය ගස් දෙබලක වාඩි වෙලා ඔච්චම් කරමින් ඇහැක් වහල ඉඟි කරනවා..... ආපහු හැරුණු හිස ගේ පැත්තට හැරෙව්වෙ ආයෙමත් සම්ප්රදායිකා.
"යමු, යමු...අදවත් බත් කටක් කවා ගන්න පුළුවන් වෙයි, සුදු මැණිකෙට"
හිනා මල් බිමට වැටෙන්න නොදී මම විදුලි පහන දිහාව බැලුවා.
Monday, October 12, 2009
අලුත ගෙනා මනමාලිට හාල් පතක් ගරාලා..
ලිව්වේ Akkandi හරියටම 7:33 AM Monday, October 12, 2009Labels: කෙටි නව කතාව 15 ක් අදහස් දක්වලා.
Sunday, October 4, 2009
පාරමිතා ඉටු වීම
ලිව්වේ Akkandi හරියටම 4:46 AM Sunday, October 4, 2009
ප්රේමවතී ඇවිත් නන්දිට පොළොන්නරු ගෙනියන්න කියලා දොදොල් හැඳි ගානව. නන්දිගෙ නිවාඩු ඉවර නිසා එය ආපහු යන්න සූදානම් වෙනවා. මට තව සතියක්ම ඉස්කෝලෙ නිවාඩු. මට හිතෙනවා, මාව ගිහින් අපේ ගෙදර නවත් වන්න කියලා කාරුණික ඉල්ලීමක් කරන්න, නන්දිගෙන්. හිත තවමත් කුලෑටියි, සබකෝලයි. නාට්යය වල රඟ පානකොට, කථික තරඟ වල කතා කරන කොට වේදිකාවෙදි නොදැනුණ සබකෝළයක් මගෙ හිතට දැනෙන්නෙ ඇයි?
අනාරක්ෂිත බව, ආගන්තුක බව....කොහොමත් අළුත ගෙනා මනමාලිලාගෙ ලැජ්ජාව වෙන්නැති. නන්දි කාමරේට එන කොට මම හිටියෙ එයාගෙ හෝදපු රෙදි නමමින්. මට නොදැනුවත්ව එයාගෙ කමිසයක් මගෙ නැහැ පුඩු අතරට ගියා. සබන් කුඩු සුවඳ අභිබවා ගෙන එයා ගෙ සුවඳ ඉස්මතු වෙනවා. දැන් මම එයාගෙ සුවඳ අඳුනනවා. ඒත් තවම මගෙ සුවඳ එයා හඳුන ගත්තද මන්දා?
"මලිති, පොළොන්නරු ගිහින් තියෙනවද?" නන්දිගෙ කතාව, වෙනදට වැඩිය දයාබරයි. කැම්පස් ඉන්න කොට බැච් ට්රිප් ගියා, මට මතකයි පොළොන්නරු. උදේ ගිහින් හවස ආව මිසක් වැඩි වෙලාවක් මම ආසා කරන පරාක්රම සමුද්ර වැව් බැම්මෙ ඉන්න බැරිවුණා. මගෙ හිත එතැන නතර වුණා වගෙ. ඒ තරමටම ලස්සණයි.
"කැම්පස් ඉන්දෙද්දි එක දවසක් උදේ ගිහින් හවස ආවා. වැඩිය ඇවිද්දෙ නැහැ"
" මම ඉරිදට යන්න ඉන්නෙ. නිවාඩුත් ඉවරයි නෙ. ඔයාට නිවාඩු නිසා ගිහින් එමු."
" වෙන කවුද යන්නෙ?"
" වෙන කවුද යන්න ඕනි, මම විතරක් මදිද?"
මෙයා විහිළු කරන්නත් දන්නව එහෙනම්. මම නවමින් හිටිය කොට්ට උරයෙන් දසන් පෙන්වන හිනාව වහ ගත්තා, සිනා නොමසෙන් දසන් දක්වා මතක් වෙලත් නෙවේ හැබැයි. ඔහු ඇවිත් මගෙ ළඟින්ම ඉඳ ගත්තෙ මගේ ඇඟේ ගෑවෙමින්. වෙනදට දවාලක කවදාවත් එයා මගෙ ලඟින් මේ තරම් කිට්ටුවෙන් ඉඳ ගෙන නැහැ.
"අම්මල වත් ආවොත්"
මට කියවුණේ ඉබේටම.
"ඉතින් මොකද? අම්මල කැවිලි හදනවා. මෙ පැත්තෙ එන්නෙ නැහැ. මම අම්මටත් කිව්ව ඔයාව එක්ක යනව කියලා. එහෙනම් රෙදි ලැහැස්ති කර ගන්නකො"
ඔහු මට ආදරයෙන් කතා කරපු මුල්ම වතාව. එක ඇහැක් අගට පෙරළුණු කඳුලක් ආපහු ඇහේ කෙවෙනිය ඇතුලට යැව්ව මම, රීවයින් කළා වගෙ. ඒක සතුටු කඳුළක් වුණත් පිරිමි සතුටු කඳුලු අඳුනන්නෙ නැහැ කියල මම අහල තියෙනව. කඳුළු දැක්කොත් නන්දිත් හිතයි, මම හැම එකටම අඬනව කියලා. පස්වනක් ප්රීතිය කියන්නෙ මේකට වෙන්නැති කියල මට හිතුණ, නන්දි මගෙ නළල ඉම්බම.
මට අදහගන්නත් අමාරුයි, එයාගෙ වෙනස් වීම. මගෙ පාරමිතා ඉටු වීගෙන එනවා. ප්රාර්ථනාවන් හිත් පඳුරෙ මල් ඵල දරන්න සූදානම් වෙනව, වසන්තයට ඇස් අරින්න ඉන්න සිඟිති මල් පොහොට්ටු වගෙ. ඒ වුණාට මට තවම කෝලයි දඟ කාර කමට, එයා මාව තුරුළු කර ගන්න ඉස්සරින් එයාගෙ පපුවට තුරුළු වෙලා හුරතල් වෙන්න. හිතට හිතෙන දඟ වැඩ ලැජ්ජාවෙ වේවැලෙන් මට්ටු කරන්නෙ මගෙ හිතද සම්ප්රදායිකාද මන්දා.
දහම් පාසැලේදී කියල දුන්න හිරි ඔතප් ගැන මට මතක් වෙන්නෙ මොකද? මේ වෙලාවට මගෙ සහයට අවශ්ය දඩබ්බරී...මේ ගෙදරට ආවට පස්සෙ දඩබ්බරී මාත් එක්ක අමනාප වෙලා වගෙ. නිකමට වත් එන්නෙ නැහැ, දුක සැප බලල යන්න. මම එයාව අපේ ගෙදර නවත්තලා ආවෙත් නැහැ කියලත් මට හොඳටම මතකයි.
පොළොන්නරු යන්න පිටත් වුණේ අපි උදේ පාන්දර පහට විතර. උදෙන්ම ගියහම ඇඟට මහන්සි නැහැ කියල නන්දි කිව්වා.
"කඩ වලින් එහෙම කඩ චෝරු කන්නෙ නැහැ. සේරම කන බොන දේවල් දමලයි තියෙන්නෙ"
ලොකු ටීචර්ට වඳින කොට එයා තරවටු කරනව.
" ෂහ්! මටත් යන්න තිබුණ්නෙ, කඨින පින්කම තිබුණෙ නැත්නම්."
නැන්දම්මට නං ටිකක් හිතට හරි මදි වගෙ. අපි දෙන්න හා හපුරා කියලා තනියෙම යන ගමන.
" ඔක්කොම ආයෙමත් යමුකො ලබන පොසොන් වලට."
" පොසොන් වලට? කොල්ලයි, බල්ලයි සෙරම යනව එත කොට. වැදගත් විදිහට වන්දනාවක් වත් කර ගන්න පුළුවනෑ එත කොට. සෙනග නැති නිස්කාන්සු දවසක යන්න තමයි මගෙ නං හිත"
එයා කැමති නැහැ වගෙ සාමාන්යය මිනිස්සු එක්ක මුහු වෙන්න. හරිම වැඩක් තමයි වෙන්නෙ, මේ වගෙ අයට නම්. මෛත්රී බුදුහාමුදුරුවන්ගෙන් එකම සද්ධර්ම මන්ඩලයක බණ අහල නිවන් දකින්නෙ කොහොමද, අවශේෂ අය එක්ක? එතැනදිත් කියාවි, මේ කොල්ලොයි, බල්ලොයි එක්කල අපිට එකට නිවන් දකින්න පුළුවන්ද කියලා මහන්තත්ත කමට. මේ ගොල්ලන්ව නිවන් දක්කන්න අට විසි බුදු වරු වැඩියත් බැරිවෙයි, මට නං හිතෙන හැටියට.
මෙන්න බොලේ...අපි කාර් එකට නගින කොටම ප්රේමවතීත් ඇවිත් නගිනව පස්සෙන්. ඔක්කොමල මට 'සප්රයිස්' දෙන්න හිතලද කොහෙද? මටත් හරිම සතුටුයි.
" පුතා බැංකුවට ගියාම මලිතිට දවාලට ඉන්න වෙන්නෙ තනියෙම නෙ. ඒ හින්දා අපි ප්රේමවතිට යන්න කිව්වා."
" කොච්චර හොඳද?" මගෙ හිත එහෙම කියද්දි මම හිනාවෙලා අනුමැතිය ප්රකාශ කළා...සතුටින්. ප්රේමවතීටත් සතුර උහුලගන්න බැරුව කිචි කිචි හිනාවක් කැකිරි පලනව. මම සතුට හංග ගත්තා, වැඩිය ප්රදර්ශනය කිරීම අනිටු ප්රතිඵල ගෙන දිය හැකි බැවින්.
ප්රේමවතී නං සාධුකාරයකුත් දුන්නෙ, වන්දනාවෙ යනව කියල හිතට දැණුන නිසා වෙන්නැති. පව්! මොන තරම් අහිංසක හිතක්ද එයාට තියෙන්නෙ? අනුන්ට යහපතක් කරන්න මයි හැම විටම හිතන්නෙ. මමත් හිතෙන් ගාථාවක් කිව්වා. මම ඒ ගාථාව කියන්න පුරුදුවෙලා. පුරුද්දට කියවෙනවා.
' සබ්බේ බුද්ධා බලප්පත්තා
පච්චේකානන්චයං බලං
අරහන්තානංච තේජෙන
රක්ඛං බන්දාමි සබ්බසෝ'
සියලු බුදු වරයන්ගේ බලයෙනුත්, සියලු පසේ බුදු වරයන්ගේ බලයෙනුත්, සියලු රහතන් වහන්සේලාගෙ බලයෙනුත් ආරක්ෂව ලබේවා කියන එක තමයි ඒ ගාථාවෙ ඡායානුවාදය.
" මොනවද කල්පනා කරන්නේ"
" මුකුත් නැහ..."
මේ බණ කතා එයාට කියන්න පුළුවන්ද?
" ඔයාට කම්මැලිද?"
" ම්ම්ම් නැහැ, ඔයා ඉන්නෙ මගෙ ලඟ " මගෙ තොල් වලින් එලියට පනින්නෙ නැති වචන ගිලා බහිනව හිත පතුලට. කොච්චර නම් ඒ වගෙ වචන ලැජ්ජාව විසින් මෙහෙම ඔබල යට කරල තියෙනවද?
"ඉන්න මම ඔයාට සින්දුවක් දාන්නම්" කබී හෝල් එකෙන් ගත්තු කැසට් එකක් ඔහු යන්ත්රයට එබුවා...
"දන්නව නම් ඒ සින්දුව ඔයත් කියන්න"
' නිම් හිම් සෙව්වා මා සසරෙ
හමු වී යුගයෙන් බැඳි යුගයේ
ළං වී වෙන්වී වරි වරේ
ඔබ හා මා රන් හුයකිනි බැඳුණේ'
මට හිතෙනව මගේ ජීවිත පොතේ අලුත් පරිච්චේදයක් දැන් ලියැවෙන්න යනව කියලා. කර්තෘ වෙන්නෙ නන්දි මිත්ර නුගලියද්ද. මට සෝදු පත් කියවන්න දේවිද දන්නෙ නැහැ. ඊට වඩා හොඳයි, මට සංස්කරණය කරන්න දෙනව නම්. සංස්කරණය කරන ගමන් සෝදුපතුත් කියවන්න පුළුවන්. තවම තීරණය කරන්න බැහැ, ඒ නව කතාව ශෝකාන්තයක් වේවිද, සුඛාන්තයක් වේවිද කියලා. මට අනා වැකි කියන්න පුළුවන් කමක් නැහැ නෙ.
අනික මොකටද මම සෘණාත්මක විදිහට හිතන්නෙ...අලුත් බලාපොරොත්තු හෙමිහිට පීදෙන්න ඉඩ ඇරියා.....ලතාවකට...රිද්මයකට...'නිම් හිම්සෙව්වා ' ගියත් මුමුණන අතරේ. නන්දි එයාගෙ වම් අතින් මගෙ දකුණු අත අර ගෙන එයාගෙ කලව උඩ සැතපෙව්ව. මගෙ ඇඟ කිළිපොළා ගියා. මගෙ ඇස් ඉබෙටම ගියෙ කන්නාඩියට, ප්රේමවතී දිහාවට. එයා අවට පරිසරයෙන් මත් වෙලා රිය කවුළුවෙන් එහා දුවන පින්තූරයෙ ඇස් අලවගෙන ඉන්නවා.

Labels: කෙටි නව කතාව 19 ක් අදහස් දක්වලා.
Thursday, October 1, 2009
සුළඟට ගසා ගෙන ගිය බෝ පත් සහ මනුස්ස කම
ලිව්වේ Akkandi හරියටම 10:48 PM Thursday, October 1, 2009පන්සලට යන්න මම සුදු ඔසරියක් ඇඳ ගත්තා. දැන් ඉස්සර වගෙ කන්නාඩිය ඉස්සරහ හුරතල් වෙන්නයි, මුකුළු කරන්නයි බැහැ. මම ඉන්නෙ වෙන කෙනෙකුගෙ කාමරයක නෙ. ඉක්මණට ඇඳ පැලඳ ගෙන කන්නාඩිය ලඟින් ඉවත් වෙනවා. එයා මම ඇඳුම් අඳින කොට කාමරෙන් එලියට යනවා. ඒ අර අප්පච්චි කිව්ව හැදිච්ච කම වෙන්නැති. එත කොට මට නං හිතෙන්නෙ මම පිට කෙනෙක් වගේ. එයාගෙ බිරිඳ නෙවෙයිද මම? එක අතකට ඒකත් හොඳයි. මමත් ඉතින් ලැජ්ජයි නෙ.
නන්දි ජාතික ඇඳුමට හරිම හැඩයි. මට දුකත් හිතුණා, එයා ගැන. මට එයාව තේරුම් ගන්න ටිකක් කල් යාවි. මම කොහෙදෝ කියවල තියනව ජීවිත කාලයක් එකම වහල යට හිටියත් තව කෙනෙකුව තේරුම් ගන්න බැහැ කියල. මම නන්දිගෙ හිත කියවන්න කොහොමද පටන් ගන්නෙ කියල මම හිතුවෙ අපි මධුසමය ගත කරන්න යනකොට.
ඒත් ඒක නිරර්ථක වෑයමක් කියල මට හිතුණෙ කිසිම නිරීක්ෂණයක් නොකර එහෙම කරන එක අසාධාරණයි කියලා. ඒ හින්දා මම නිරීක්ෂණ කාලය දීර්ඝ කරන්න හිතුවා. ඊට පස්සෙ තමයි නිගමනයකට එන්න ඕනි.
නන්දිලගෙ ගෙදරට කන්ද උඩ පන්සලේ චෛත්යය පෙනෙනව පුංචි කොත් කැරැල්ලත් එක්ක. නන්දිලගෙ ගෙදර කිව්වෙ මට ඒක තවම අපේ ගෙදර කියල කියන්න තරම් කිට්ටුවන්ත නැති නිසා. මම අමුත්තෙක්, ආගන්තුකයෙක් වගෙ ඉන්න නිසයි, ඒගොල්ලොත් ඒ විදිහටම සලකන නිසයි, මට අපේ කියන ගතිය හිතට ආවෙ නැහැ තවම.
අපි සේරම දානෙ කළමනාත් අරගෙන යන්න පිටත් වුණා. ප්රේමවතිත් කුරුණි පෙට්ටියකට බෙදපු දානෙ හිස මත තියාගෙන බුද්ධාලම්බන ප්රීතිය මූණ පුරා විහිදුවාගෙන අපේ පස්සෙන්ම එනවා. කුරුණි පෙට්ටියට හිනා වෙන්න බැහැ, සුදු පිරුවටයකින් වහල නිසා. හිනා වුණත් අපට පෙනෙන්නෙ නැහැ නෙ.
ප්රේමවතීගෙ ලා නිල් මල් විසිරුවපු සුදු චීත්තෙ හුලඟට අකීකරු වෙලා දඟලනව. එක අතකින් වත් සීරු මාරු කරගන්නත් බැහැ, එක අතක් දානෙ පෙට්ටිය පරෙස්සම් කරනවා. අනික් අතේ පපඩම් දමපු මල්ල. මට ඒ පපඩම් මල්ල ඉල්ල ගන්න හිතුණත්, මම හිතන්නෙ නැහැ ඒකට නන්දිලගෙ පවුලෙ අය කැමති වේය කියල. කාලෙක ඉඳල තියෙන සිරිත් විරිත් මට වෙනස් කරන්න අමාරුයි, මුල් ඇදලා තියෙන්නෙ බොහොම ගැඹුරට.
අපේ ගෙදරට වඩා මෙහෙ පන්ති පරතරය වැඩියි. ප්රේමවතී ඇතුළු අනෙක් ගෙදර වැඩ වලට අත් උදව් කරන, එළවලු වතුවල, තේ වත්තෙ වැඩ කරන්න එන අයට කන්න බොන්න දෙන පිඟන් කෝප්ප අහුරල තියෙන්න වෙනම පිඟන් රාක්කයක. මට නම් තේරෙන්නෙ නැහැ, අපි කන බොන පිඟන් කෝප්පවල ඒ ගොල්ලො කෑවම වරදක් වෙන්නෙ කොහොමද කියලා. මැදල, හෝදල තිබ්බම ඉවර නෙ.
ප්රේමවතීලටත් ඒකෙ වෙනසක් පෙනෙන්නෙ නැහැ. දැනෙන්නෙත් නැහැ. පරම්පරාවලින් ඔලුවලට දමලද කොහෙද, 'උඹලා ඒ අප්පොලගෙ සදාකාලික බැල මෙහෙවර කරන අය' කියල. ඉටි ගෙඩිය.
මට ප්රේමවතී ගැන අමුතු ලෙන්ගතුකමක් දැනුණෙ, දෙවෙනි මගුලෙන් පස්සෙ මගෙ දිග කොන්ඩෙ අවුල් කඩා ගන්න බැරුව ඉන්න කොට එයා ඇවිත් මට රිදවන්නෙ නැතුව ඒ වැඩේ කරපු විදිහට. මම පිටිපස්සෙ මිදුලෙ පුංචි පුටුවක ඉන්දවල ගෙදර හින්දපු තෙල් ගාලා කොණ්ඩෙ පීරල ගැට කැඩුව. මට සනීපෙට නින්දත් ගියා. ඒ අතරෙ එයා මගෙන් ප්රශ්නත් ඇහුව. සැවැන්දරයි, උළුහාළුයි, අරූද කොළයි දමලා ගෙදර වත්තෙ මෝරපු රන් තැඹිලි වලින් ප්රේමවතීම තමයි ඒ තෙල් හින්දල තිබුණෙත්.
ඔය වගෙ පුංචි කාරණා හින්දා මට ප්රේමවතී ගැන අමුතු කරුණාවක් හිත පුරාම විසිරිලා ගියා. ඒකයි මට හිතුණෙ එයා ඉන්න තැනට ගිහින් පපඩම් මල්ල වත් අර ගෙන පොඩි පහේ උදව්වක් කරන්න. ඒත් ඒව වැඩි වැඩ කියල අක්කයි අම්මයි දොස් කියන්න ගත්තොත්...පණ්ඩිතකම් කරන්න යන්නෙ මොකටද?
මගෙ අතේ තියෙන මල් වට්ටියෙ සුවඳ අපේ ගමේ පන්සලට මාව කැන්දන් යනවා. ඉද්ද මලුයි, සමන් පිච්ච මලුයි එක්ක දහස් පෙතියා මල් රවුමට රවුමට පේලි විදිහට අහුරපු මල් වට්ටියට මම ඇස් දෙක යැව්වෙ, වීර කම් කරන්න එහෙ මෙහෙ දුවන දෑස ඒකෙන් නවත්තගන්න.
පන්සල ඈතින් පෙනුනට විනාඩි දහයක් විතර පයින් යන්න ඕනි. අඩි පාර දිගේ ගිහින් පඩි පෙළක් නැගල ඊට පස්සෙ ගල්තලාවක් පහු කරල ආයෙත් පුංචි පිය ගැට පෙළක්.
දෙවැට දිගේ දොළත් එක්ක සමාන්තරව තියන අඩි පාරෙ ටික දුරක් යන කොට මගෙ කකුලක ඉදි කටු අනිනව වගෙ දැනුණා. මල් වට්ටිය එක අතකට අර ගෙන ඔසරිය ඉහළට කරලා මම කකුල දිහා බලුවා. මට ඉබේට කෑ ගැහුණා. කූඩැල්ලො ගොඩක් එල්ලිලා වගෙ මං දැක්කෙ. නන්දි පස්ස බැලුවා. එයාගෙ අතේ පිරිකර ටික. අක්කයි, අම්මයි අමුතු බැලුම් , අමුතු හැඟුම් ඇස්වලයි, මුහුණු වලයි සටහන් කර ගෙන අපහාසෙට මගෙ දිහා බලනව
. අනේ! අපේ ගමේ නං කූඩැල්ලො නැහැ....නන්දි පිරිකර ටික අම්ම අතට දීල බිමට නැමිල මගෙ කකුල අල්ලල කූඩැල්ලො අයින් කරන කල් මම මූණ බෙරි කර ගෙන හිටියා.
"ඔය මදුරුතලා කොළයක් කඩල උන්ව අයින් කරන්න"
එයා ගණනක් නැතුව කියනවා. ඔය මාව රැක බලා ගන්න හැටිද? මේ යකා නං ගොබිලෙක්ම තමයි, දෙයියනේ!
ප්රේමවති දුවගෙන එනවා. එයාගෙ පපුව පත්තුවෙල මට තියෙන සෙනෙහෙ කන්දරාවෙන්. අතේ තිබුණ දානෙ පෙට්ටිය අත් දෙක වන වනා යන ළමාතැනිට දුන්නෙ කිසිම බයක් හැකක් නැතුව. පපඩම් මල්ල වැඩියා, අක්කන්ඩිගෙ අතට.
" අනේ..සුදු මැණිකෙට පුරුදු නෑ නේ මේ යක්කුන්ව. ඉන්න, මම අයින් කරන්ට"
ඒක නං ඇත්තම තමයි. මේ නං යක්කුම තමයි. කූඩැල්ලො නෙවෙයි. නන්දි ඇතුළුව ඒ පවුලෙ උදවියයි, යක්කු. මනුස්සකම, ශ්රද්ධාව කියන්නෙ පන්සලට ගිහින් දානේ දෙන එක විතරක්ද? මල්, පහන් පූජා කරල බුදුන් වඳින එක විතරක්ද? නාමික, සෝබන බෞද්ධයො...මට නං හිතෙන්නෙ මේ ගොල්ලො කාඩ්බෝඩ් බෞද්ධයො කියලා.
ප්රතිපත්ති නැති, ආමිස පූජා විතරක් පුරන, කරන ජනප්රිය බුද්ධාගම් කාරයො. මේ ගොල්ලො වගෙ අය තමයි කියන්නෙ, බුදුහාමුදුරුවොත් සිංහල බෞද්ධ කියලා. උන් වහන්සෙගෙ ජාතකෙත් වෙනස් කරන්න හදනවා. එතකොට ඉන්දියානු ව්යාප්තවාදය අමතක වෙනවනෙ කට්ටියකට. මිහිඳු හාමුදුරුවො, සංඝමිත්තා මෙහෙණින් වහන්සෙ ආවෙත් ඉන්දියානු ව්යාප්තවාදය හේතු කොට ගෙනද? හැම දේම තමන්ගෙ වාසියට හරවගන්න දේශපාලුවො වගෙ.
බොරු ව්යාජ, ජාති මාමකත්වය....ජාත්යාලෙ නම් රෙද්ද පල්ලෙන් බේරෙනවා. ඒ වුණාට පවුලට කැන්දන් ආපු අලුත් දෝණියැන්දව කූඩැල්ලො කන කොට හිනා වෙනවා. ඔන්න අපේ අප්පච්චිලගෙ හැදිච්ච, නිවිච්ච දරුවගෙ පැටිකිරිය. තව හෙළි දරව් වෙන්නෙ නැතැයි කාගෙ කාගෙත් පැටිකිරියවල්. මානව භක්තිය උගන්වන්න මුන්ව ටියුෂන් පංති යවන්න වෙනව. නැත්නම් එන්. ජී.ඕ. එකකට කියවල වැඩ මුළුවක් කරවන්න වෙනව.
පංසල් යන්න කියල හිත හීලෑ කරගෙන, සාම්ප්රදායික, සිංහල, බෞද්ධ කුල කුමරියක් වගෙ ගමේ පංසලට ඉස්සෙල්ලම යන්න ආපු දවසෙ මට සමාජ විශ්ලේෂණත් කරන්න වුණා.
අනේ..! මට සමා වෙන්න බුදු පියාණනේ...!
'කායෙන වාචා චිත්තේන..'
මගෙ හිත සමාව අයැදිනවා පසඟ පිහිටුවා වඳිමින්, සුදු වැලි අතුරපු බෝ මළුවෙ.
ලේ ගලන මහපට ඇඟිලි කරුව අස්සට හුලංතලා කොළ අහුරක් හපල තියලා අත් බෙහෙතක් කළා, ප්රේමවතී. ඔන්න මනුස්සකම...! ගැමි කමත් එක්ක තවමත් නොසේදී තියෙන උතුම් මනුස්සකමට මම සිය දහස් වාරයක් හිස නැමුවා. මට ප්රේමවතීව බදාගෙන ඉඹින්න හිතුණා.
හැමෝටම කතා කරන්න අමතක වෙලා, මේ අහඹු සිද්ධිය හින්දා. වෙද හාමිනේගෙ වෙද කම ඉවර වෙලා දොළට බැහැලා අත් දෙකත් ධෝවනය කර ගෙනම ඇවිත් දානෙ පෙට්ටියයි, පපඩම් මල්ලයි අරගෙන මගෙ ලඟින්ම පියවර මනින්න ගත්තා. කකුල් අල්ලපු අත් වලින් පූජනීය දානේ පෙට්ටිය වඩම්මන්න නාකයි නෙ. ප්රේමවති මගෙ ළඟින්ම හිටියෙ හරියට ආරක්ෂාවට බ්රේක් යොදනව වගෙ.
ළමාතැනීවත්, අර කසාද බඳින්න අමතක වෙල ගෙදර ඉන්න අක්කණ්ඩිවත්, නන්දිවිසාල වත්....ඔන්න බලන්න, ඉබේටම....නන්දි මිත්රව මට නන්දිවිසාල වුණ හැටි. කට බොරු කිව්වත් දිව ඉඩ දෙන්නෙ නැහැ, බොරු...මුසාවාද කියන්න. ඒකට මට නම් දොස් කියන්න එපා. දෝෂාරෝපන සපුරා තහනම්.
පංසල පේන තෙක්මානයෙ, චෛත්යය විරාජමානව අහසට නැගිලා සුදෝ සුදට හිනා යායක් අස්වැද්දුවත්....අනේද කියන්නෙ? බෝමළුවෙ බෝධීන්නාන්සෙගෙ එක කොළයක් වත් නැහැ නෙ.....දසත විහිදුණු අතු පතර විතරයි. පිහිල්ලෙගෙදර නුගලියද්ද වලව්වෙ ඇත්තන්ගෙ හිත් වගෙ. කරුණාව, දයාව, සෙනෙහස, මෛත්රිය, උපේක්ෂාව, මුදිතාව වැනි සේරම යහ ගුණ වියැලිල බිමට වැටිලා. ආසාවට ඇහිඳ ගන්න මළුවට වැටිලත් නැහැ, එකම එකබෝ පතක් වත්.
උඩු සුළඟට ගහ ගෙන ගිහින් අනන්තය දක්වාම. මට හිතෙන්නෙ මකර කටට යනකල් ගහ ගෙන යන්න ඇති. ළඟක පාතක තිබුණොත් ආපහු එන්න පුළුවන් නෙ.
ලොකු හාමුදුරුවො හාන්සි පුටුවෙ දිගා වෙලා පෙර මග බලාන ඉන්නව වළව්වෙ හාමුලා, අප්පොල, කුමාරිහාමිලා දානෙ ගේනකල්.
"පොඩි තැන, මේ කට්ටියව දන් ගෙට එක්ක ගියා නං?"
නන්දි පිරිකර ටික ලොකු උන්නාන්සෙ හිටිය බුරුත කවිච්චියෙ පැත්තකින් තියල වැඳ නමස්කාර කරනවා. මම බවලත් උදවිය එක්ක, පොඩි හාමුදුරුවන්ගෙ පස්සෙන් දන් ගෙට ඇදුනා. ප්රේමවතී දඩිබිඩි ගාල වැඩ. ඇබිත්තයො දෙන්නෙකුත් ඇවිත් පොඩි හාමුදුරුවන්ට උදව් කරනවා. පොඩි හාමුදුරුවො තවම උපසම්පදා වෙලා නැතුව ඇති.
මමත් මොනව හරි කරන්න උදව් වෙන්නම් කියල හිතන කොටම, නන්දිලගෙ අම්ම මට කතා කළා.
"ප්රේමවතී ඒව කරන්නෙ නැතෑ...මලිති එන්න හාමුදුරුවන්ට කතා කරන්න."
'එසේය, මහ රැජිනිය' කියල මං හිතෙන් කියා ගෙන ඒ දෙන්නගෙ පස්සෙන් ඇදුණා. ඒ ගොල්ලොත් එක්කම ගිහින් නායක හාමුදුරුවන්ට දණ ගහල වැන්දා.
" නන්දිමිත්ර මහත්තයට හම්බ වෙලා තියෙන්නෙ ශ්රියා කාන්තාව වගෙ පින් පාට මැනිකෙ කෙනෙක්....හොඳා, හොඳා...අපේ ගමට හඳක් පායලා වගේ"
නැන්දම්මගෙයි, නෑනන්ඩි ගෙයි මුහුණු වල නම් හීන් බෝවිටියා මලක් වත් පිපුණෙ නෑ. නන්දිගෙ මූණෙ නම් ලාවට රතු පාට හෙන්දිරික්ක මලක් පිපෙනව මම දැක්ක. ලාවට පිපිලා හෙමිහෙමින් රතු පාට වුණා.
ඔන්න මගෙ කම්මුල් වලටත් ඒ රතු පාට හෙන්දිරික්ක මල් පැන ගෙන එනවා. දැන් මම තවරපු සුදු පියරුත් රෝස පාට වේවි. ලැජ්ජාවෙත් බැහැ. නන්දිගෙ මුහුණෙ එක මලයි..මගෙ කම්මුල් වලට රතු පාට හෙන්දිරික්කා මල් යායක්ම. කම්මුල් වල නවතින්නෙ නැතුව කන් පෙති වලටත් දුවනව.
" මේ නෝනා රස්සාවක් කරනවලු නේද? විද්යා ගුරුවරියක්ලු නේ?"
" එහෙමයි, ස්වාමීන් වහන්ස"
මගෙන් අහපු ප්රශ්නෙට උත්තර බඳින්නෙ නන්දි.
" මම ඉන්න තැනටම මාරුවක් හදා ගන්න ඉන්නෙ. මන්ත්රී තුමා කිව්ව කරල දෙන්නම් කියලා. දෙන්න දෙපොලෙ ඉඳල බැහැ නෙ."
නන්දි මහත්තයා එහෙම නම් මාව ළඟට ගන්නයි හදන්නෙ. එතකොට ළමා තැනීල දෙන්න නැහැ නේ...එතකොට බැරියෑ මුර කාවල් නැති....අපේම අපේම අපේ ලොවක තනි වෙන්න....
හිත ඇතුලෙ අරවින්ද කුසුම් යායක සුවඳ පිරෙනවා. මගෙ හිතේ තවමත් හීන ඉතුරු වෙලා තියෙනවා, නන්දිගෙන් උදුරගන්න පුළුවන්ය කියල හිතෙන සෙනෙහසක් වෙනුවෙන්.
දානෙ පිළි ගන්වන්න ගියහම තව හාමුදුරුවරුන් හතර නමක්ම වැඩල හිටියා, නායක හාමුදුරුවන්ටයි, පොඩි හාමුදුරුවන්ටයි අමතරව. පින් අනුමෝදනාවෙදි වළව්වෙ කට්ටියගෙ පුරාජේරුව තමයි, හාමුදුරුවො දේශනා කළේ බණ වලටත් වැඩියෙන්. නන්දිලාගෙ අප්පච්චිට පින් දෙන ගමන් එයා ගැනත් වර්ණනාවක් කළා.
අනේ! මට දකින්න බැරි වුණා නෙ ඒ ගොල්ලන්ගෙ අප්පච්චිව. එයා හිටියා නම් මට ආදරේ වෙයි. කමක් නැහැ, මට ප්රේමවතී ඉන්නෙ. ඒ මදෑ.
පන්සලේ පිය ගැට බැහැල එන ගමන් මට නැන්දම්ම කිව්වෙ, " මලිති මේ ගමේ හිටිය නම් දහම් පාසැලේ උගන්වන්න තිබුණ, ලොකු අක්ක තමයි ලොකු ටීචර්." කියල.
ලොකු ටීචරුත් එතකොටම ගොළු මන්තරේ බින්දා.
" පන්සලට එනව නම් මීට පස්සෙ කකුල් වල සබන් ගාගෙන එන්ට. එතකොට කූඩැල්ලො එල්ලෙන්නෙ නැහැ."
"මේ සබන් කතන්දරේ මට කියන්න තිබුණ නේ කලින්. මම දන්නෙ කොහොමද, ඔය ක්රම සහ විධි."
හිත කඩා ගෙන පැන්නට හඬ කඩා ගෙන පැන්නෙ නැහැ, පිටතට. මොකද්ද හැබෑටම මගෙ ස්වායත්ත භාවයට හැංගෙන්න හිතුණෙ....?
Labels: කෙටි නව කතාව 10 ක් අදහස් දක්වලා.
Tuesday, September 29, 2009
උඩු මහල එක් ටැම් ගෙයක් වෙයිද?
ලිව්වේ Akkandi හරියටම 5:59 PM Tuesday, September 29, 2009
අම්මා එක්කයි, අප්පච්චි එක්කයි හුරතල් වෙමින් හිටිය සුදුමැනිකෙ දවස් දෙක තුනකින් මහ ගැහැණියෙක් වෙලා. මේ ටික දවසකට කලින් දුව පැන දඟලපු සල්ගහගෙදර සුදු මැණිකෙමද මේ තැන්පත්ව කනට ඇහෙන්න කතා නොකර ඉන්නෙ?
මල්ලි හිටියා නම් අහයි,
" මේ අනේ, මොකද ඔය ඔච්චර ඩිපොසිට් වෙලා ඉන්නෙ?" කියල.
නව දිවියක ඇරඹුම ගැන සාපේක්ෂව හිතන්නද? නිරපේක්ෂව හිතන්නද? මොළේ උළුක් වෙන ප්රශ්න නැතුව සැහැල්ලු විදිහට හිතන්න...කියඹු රැලි දෙකක් පළල් නළලට වැටිල. ඔය අස්සෙන් මට ලස්සන ගියක් මතක් වෙනව.
' සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
වළා රොදක සැඟ විලා
අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා....
කියඹු වැල් ලිහී ඔබේ.....'
මේ කියඹු වැල් මාරුතේ එක්ක මිසක් යෝදයගෙ ඇඟිලි වල ඔන්චිලි පදින්නෙ නැතිවෙයි. මලිති වන මම කණ්ණාඩිය ඉස්සරහ තනියම හුරතල් වෙනව එයත් එක්කම. අර 'බඹා කෙටූ හැටි' පොතෙ වගෙ බෙල්ල කරකවල බැලුවා...මොනව හරි ලකුණු තියෙනවද කියලා...හීනෙන් හරි කවුරු හරි ඇවිත් එහෙම ලකුණක් තියල ඇති කියලා....මොකුත්ම නැහැ. තවම දවස් කීයද? දෙවෙනි ගමන ඇවිත් තවම දවස් දෙකක් වත් ගියෙත් නැහැ.
තවම ආදරේ කලල රුව පිළිසිඳ ගත්ත විතරයි නෙ. කලලය මෝරලා කිරි කැටියෙක් බිහිවෙන්න මාස නවයක් යනව වගෙ එයාගෙ හිතෙත් ආදරයක් පිළිසිඳිලා කළ එළි මංගල්ලෙට තව කල් ගත වෙයි. සම්ප්රදායිකා කොමල හිනාවක් දමනව.
"මළ විකාර...මධු සමයෙත් නැති ආදරේ හරියට යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද කියල වගෙ වැඩක් නෙ..."
එහෙම මැදට පනින්නෙ දඩබ්බරී.
"එහෙම නෙවෙයි...ඉවසන දනා රුපු යුදයට නැති කඩුව කොස් කොටන්නද කියන එකයි, හරි..ඒ නිසා සුදු මැණිකෙ ඉවසපන් පපුව කියල ඉන්න. එයාට ලැජ්ජ ඇති...ආදරේ කරන්න...."
අයියෝ...මේ දෙන්නගෙ වැඩේ වාදෙමයි. මටත් නිවනක් නැහැ. මම එහෙම කිව්වට ඒ දෙන්නගෙ සජීවි සංවාදයන්ට මම හරි ලොල්. 'ඔපෙරා' වැඩ සටහනෙ ටෝක් ෂෝ එකක් වගෙ.
බැංකු කළමණාකාර මහත්තයා නං ඇබින්දක් වත් දන්නෙ නැහැ, හුරතල් කරන්න. සේරම යුතුකම් සහ රාජකාරි විතරමයි. මමත් හරියට බැංකුවට ආපු ගනු දෙනු කාර භවතෙක් වගෙ. මගෙ තිබිච්ච තොඳොල් කම්, හුරතලේ කොහොමද මෙච්චර ඉකමණට හෝදලා, පිහිදලා, සූරල අහකට විසි කරල දමන්නෙ.... ඒ ගොල්ලො රැව්වට ගෙරෙව්වට...?
තව ටික දවසකින් කියාවිද දන්නෙ නැහැ මගෙ කෙළි ලොල් කම, හුරතලය ඔක්කොම පොලිය නැතුව බැංකුවෙ තැන්පත් කරන්න කියල. මටත් හිතෙන පුදුම සිතුවිලි.
කැම්පස් ඉඳල ගෙදර එන හැම වෙලාවකම ගෙදරට ගොඩ වෙන කොටම අප්පච්චි මාව වඩා ගෙන තමයි, ගේ ඇතුලට ගෙනිහින් අම්මා ලඟින් තියන්නෙ. අර මට කෙණෙහිලි කම් කරන මල්ලි, "හූ...හූ.." කියල, " නාකි හුරතලේ" කියලත් කියනව ඉරිසියාවට.
" උඹ කොච්චර හූ කිව්වත් මම ඉස්සෙල්ලම දැකපු කෙල්ල නේ"
අප්පච්චි මල්ලිගෙ හූවෙ සැර බාලකරනවා. අම්මා කෑම හදා ගෙන බලාන ඉන්නවා, මට කවන්න. බණ්ඩා, නෝනක්ක අඹ අහුලල එකතු කරල හංගල තියෙනව, මල්ලිට නොපෙනෙන්න. අම්මා කරන්නෙ මගෙ ඔලුව ඔඩොක්කුවෙ තියා ගෙන හිමින් සැරේ පිරිමදින එක. මම දන්නෙම නැතුව දොයිය බබා එත කොට. පුදුම හුරතලයක්. අම්මා එහෙම ඇවිත් මගෙ ඔලුව අත ගානවා නම් කියල හිතෙනවා, මට දැනුත් සමහර වෙලාවට.
අම්ම අපෙන් සදහටම සමුගත්තට පස්සෙත් මට දැනෙනව, මගෙ පොරෝනය අර ගෙන මට පොරවලා යනවා වගෙ. මගෙ ඔලුව අත ගානව, මගෙ කකුල් අත ගානව. ඒ සාංකාව අම්ම නැති වෙලා මාස ගණනාවක් යන කල් මගෙන් තුරන් වුණේ නැහැ. කණ්නාඩියේ ඉන්න මලිතිගෙ ඇස්වල කඳුළු...
දෙවෙනි ගමනට පහුවදා උදේම ලොකු අක්ක කාමරේට ආව මොනවද උස්සගෙන.
" ලොකු මල්ලි, මෙන්න ඔයාගෙ සුදු මැණිකෙගෙ යුනිෆෝම්"
ඒ මොකද්ද ඒ කතාවෙ තේරුම? හිත ඇහුවට මගෙන් මට අහන්න පුළුවන්ද එහෙම එයාගෙ ලොකු අක්කගෙන්? එයා මෙයා කිය කියා හිටියට මගෙ කසාද පුරුෂයගෙ නම කියන්නත් අමතක වුණා. එයාගෙ නම නන්දිමිත්ර නුගලියද්ද. දුටුගැමුණු රජ්ජුරුවන්ට ඒ නමින් යෝධයෙකුත් හිටිය කියල මට දැන් මතක් වෙනව. නන්දි පාර්සලේ අතට ගත්තා. ඒ ගමන්ම මගෙ අතට දුන්නා.
" ලිහල බලන්න, ඔය ස්කර්ට්ස් මෙහෙ අඳින්න බැරි වෙයි...අද ඉඳල ඔසරි අඳින්න ගෙදරට" ඔන්න සැලසුම් සහගත වැඩ, පවුලට සම්ප්රාප්ත වූ ආගන්තුක ගැහැණියට පළමු නීතිය පනවන ලද වගයි. ව්යවස්ථාව මෙලහටත් සකස් කර හමාර ඇති, ටි.ඕ.ආර්. එකත් එක්කම. දන්නවනේ...ජොබ් ඩිස්ක්රිප්ෂන් එකත් එකත් හදල සම්මත කර ගෙන ඇති.
ලොකු අක්ක අහක බලා ගෙන හිනා වෙනව. මම පාර්සලය ලිහල බලුව, අකීකරු වෙන්න බැරි නිසා. ලා පාටවල වොයිල් සාරි තුනක් එක්ක ඒවට ගැලපෙන්න මහපු හැට්ට...ඒවා නම් බෝරිච්චි අත් දමපු හැට්ට නෙවෙයි.
ඉතින් දැන් ගහන ගහන පදයට නටන්න කියන එක නේද මේ නොකියා කියන්නෙ? මම බිංකුන්ඩෙක් වෙල. මට හිතෙනව වල ඇතුලටම ගිහින් හැංගෙන්න. ඒ වුණාට නන්දි මහත්තයා බින්කුඞඩව අර ගෙන වම් අත්ල උඩ තියාගෙන,
" බිං කුණ්ඩෝ බොල බිං කුණ්ඩෝ...තෝත් නටාපන්, මාත් නටන්නම්. බිං කුණ්ඩෝ බොල බිං කුණ්ඩෝ" කියලා දකුණු අතේ දබරඟිල්ලෙන් බිං කුන්ඩගෙ වටේට වෘත්තයන් අඳිනව. බිං කුන්ඩා නටල ටිකක් නැවතුණා.
" මලිති, ඇඳගෙන උයන ගෙට එන්ට. අද කන්ද උඩ පන්සලේ සලාක දානෙ"
මම හිස වනල එකඟතාවය පළ කළා. එයාට අඩුම තරමින් මට නංගි කියන්න වත් බැරිද? එයා විදුහල්පතිනියක් නිසා හිතනව ඇති මමත් ඉස්කෝලෙ ළමයෙක් හෝ එයාගෙ යටතෙ ඉන්න ගුරුවරියක් කියලා. මම හිතුවා නන්දි ඇවිත් සාරි තුනෙන් එකක් මට තෝරල දේවි කියල.
මම හිතෙන් තිර රචනය ලියනව. නන්දි ඇවිත් පිට දිගට වැටිල තියෙන මගෙ කොණ්ඩ කරල උස්සල බෙල්ල පිටි පස්සට සිනිදු හාදුවක් හිමින් සැරේ ලකුණු කරනවා. මගෙ බෙල්ල කිති කැවීගෙන යනවා. මම උරිස් අකුලල සියොලඟ කිළිපොළා යාම වාවගෙන, ඔලුව ඇලකරල පිපිච්ච හීන් හිනා පොට්ටු බිමට වැටෙන්න නොදී එයාගෙ පපුවට හේත්තු කරනවා.
ඒත් එයාගෙ තිර නාටක රචකයා ලියල තිබුණෙ වෙන විදිහකට.
" ඔයා ඇඳගෙන එන්න, උයන ගෙට. මම යනවා, පිරිකර ලෑස්ති කරන්න"
දෙබස් වුණත් හරිම කෘත්රිමයි. තාත්ත්වික නැහැ. හරිම යාන්ත්රිකයි. වෙළඳ දැන්වීමක් වගේ. අඩු ගණනෙ පිටට තට්ටුවක් වත් දමල යන්න බැරිද? හිත කෙඳිරි ගානව.
එකම නාට්යයකට තිර රචනා දෙකක් තියෙන්න බැහැ නෙ. මේ තිර රචනා දෙකම මර්ජ් කරල එකක් කරන්න වෙයි. නැත්නම් දෙකෙන් වඩාත් ප්රබල එක තෝරගන්න වෙයි. මෙහෙම ගියොත් මම ලියපු අත් පිටපත කැපිලම යයි ජවනිකා දෙක තුනක් වත් මගෙ පිටපතෙන් උපුටා ගන්නෙ නැතුව.
මගුල් හැට්ටෙ මිම්මටම හැට්ට මහල. ඉස්කෝලෙට ඔසරි ඇඳලා පුරුදු වෙලා නිසා මට ඉක්මණට ඇඳගන්න පුලුවන් වුණා. මම ඔසරි පොටට කටුව ගහන්නෙ හැම දාම අම්ම ළඟට ගිහිල්ලා. මම කටුවත් අරගෙන ඔසරි පොට අල්ලගෙන පහළට බැස්සා. හිනි පෙළ පාමුල නන්දිමිත්ර යෝදයා.
" මේ කටුව ගහනවද, ප්ලීස්" මම පින්සෙණ්ඩු වුණා, හැබැයි ටිකක්.
" අන්න අක්ක එයාගෙ කාමරේ. ගිහින් එයාට කියන්න"
මහත දෙතොල් වල උපහාස හිනාවක් වගෙ එකක් ඇඳිල මැකිල ගියා, හොරෙන් වගෙ. ඒකටත් මේ මනුස්සය ලැජ්ජද? ලැජ්ජාවද, මහන්තත්ත කමද?
" හා...ඔන්න, අළුත ගෙනා මනමාලිත් එනවා, දානෙට සම්මදම් වෙන්ට"
ඒ මගෙ ආදරණීය නැන්දම්ම. පොඩි අක්ක සෝදමින් හිටිය ගොටු කොළ වට්ටිය දිහවට මාව යොමු කළා.
" අළුත් මනමාලිගෙන් ගොටුකොළ සම්බෝලෙ, මල්ලිගෙ සුදු මැණිකෙට මම ලකුණු දෙන්නෙ පලා ලියන හැටිය බලලා."
මට බිම ඉඳ ගෙන පලා ලියන්න බැහැ. අනික පලා හීනියට ලියන්නත් බැහැ. නැහැ, බැහැ කියන්න පුළුවන්ද මේ නැපෝලියන් අධිරාජයන් රොත්තට.
" අක්කෙ, මට ලෑල්ලක් දෙනවද, පලා ටික ලියන්න."
"ඔය බංකුව තියෙන්නෙ. ඒකෙ වාඩිවෙලා අර මන්නෙන් ලියන්ට"
පළවෙනි පරීක්ෂණයෙන් අසමත් වෙන බව දැන් නම් හිත කියනව. කවි ලියන්ට, ගීත ලියන්ට, කතා ලියන්ට පුළුවන් වුනාට මැල්ලුම් ලියන්ට දන්නෙ නැහැ කියල මට කියන්න පුළුවන්ද? අපේ ගෙදරදි මම කිසිම වැඩක් කළේ නැහැ, කුස්සියෙ. අතට පයට වැඩ කාරයො හිටියා කියලා දැන් කියන්නද? මම ඒ ගොල්ලන්ට වැඩ කාරයො නොකීවත් එහෙම නෙ ජන වහරෙ කියන්නෙ.
හිත හොඳ නම් දෙයියො බලනව කියල අපෙ අත්තම්ම කිව්ව එක ඇත්ත බව ඔන්න එතකොටම සනාථ වුණා. දානෙට උදව්වට කියල තේ වත්තෙ දළු කඩන ප්රේමවතීව සක්ර දෙයියො එවල, මට පිහිට වෙන්න. පඬුපුල් අසුන උණුවෙන්න තරම් මගෙ හිතේ ගින්දර ඇවිලිලා, මටත් නොදැනිම.
" අප්පේ...මේ සුදු හාමුට කියල වැඩ ගන්න හොඳයිද? ඔය ලස්සන රෝස පාට ඇඟිලි වල ගොටුකොල කහට ගෑවුණාම සුද්ද කරන්න දෙහි මඬු සීයක් ගෑවත් බැරි වෙයි. "
ප්රේමවතීට කවුරුත් විරුද්ධ වුණෙ නැහැ.
"හා...ඔයා එහෙනං ගිහින් පිරිකර ලෑස්ති කරන්ට, මල්ලිත් එක්ක"
මම විසිත්ත කාමරයට ඉගිල්ලුණා හිතෙන්, ඒත් දෙපයින් හෙමිහිට පියවර මැන්නා. කළුවර කවිච්චිය උඩ ඉඳගෙන නන්දි පිරිකර භාණ්ඩ කඩදාසි බෑග් වලට දමනව.
"කුස්සියෙ වැඩ ඉවරද?" ප්රශ්නම විතරයි නෙ, මේ ගෙදර මිනිස්සු අහන්නෙ.
" පොඩි අක්ක කිව්ව ඔයාට උදව් වෙන්න කියල" මම නිදහසට කරුණු කියනවා.
හුරතල් වෙන්න මයි, මගෙ හිත දඟලන්නෙ. මම ඇස් වලින් රස කතාවක් ගොතල කියන්න උත්සාහ කළා. එයා මගෙ ඇස් දෙක දිහා කෙලින් බලන්නෙම නැහැ. ඉතින් කොහොමද මගෙ ඇස් කියවන්නෙ? මගෙ ඇස් කියවන්න බැරි මනුස්සය අර කොහෙදෝ ගුහාවක හැංගිලා, තනිව ගමන් යනවයි කියන හිත නම් කොහොමට වත් කියව ගන්න එකක් නැහැ, කවදාවත්ම.
මහ බඹාටත් වරදිනව ඇති නෙ, සමහර වෙලාවලට. මේකත් එහෙම ලොකු වැරැද්දක් වුණු එකක් වෙයිද? පිස්සු විකාර මටත්. සතියක් වත් යන්න ඉස්සර එහෙම හිතන්න පුළුවන්ද? අප්පච්චි කිව්වෙ නන්දි හැදිච්ච, නිවිච්ච දරුවෙක් කියල. හැම දාම නිවිලා හිටියොත් ඉතින් එයා තනියෙම නිවන් දකියි. මම සසර කතර අතරමං වෙයි.
මල් කම්, ලිය කම් යොදල වර්ණවත්ව අපි දෙන්නගෙ දෑත් එකතු කරල වියන්නට හිතපු ජීවිතය, අධිවේගී යන්ත්රයකට ඔබල වියාවිද මේ සේරම එකතු වෙලා කියල මට හිතෙනවා. කළුවර කවිච්චියෙ කොටල තියෙන පලා පෙති, අන්නාසි මල් දිගේ මගෙ ඇඟිලි දුවනව. ඒවට හිතෙන්නෙ නන්දිගෙ ඇඟිලි වල පැටලෙන්න ඇත්නම් හොඳයි කියල. ඇඟිලි වලට කතා කරල කියන්න බැහැ වගෙම මොනවද හිතන්නෙ කියලා, මමත් නිහඬවම ලී කැටයමේ මල් පෙති අතර ආදරය හෙව්වා.
" තවම ඔය නිය පොතු කැපුවෙ නැද්ද? මම කිව්ව නේද නියපොතු කපල ඔය ක්යුටෙක්ස් පිහිදල දමන්න කියල"
මාව එක පාරටම උඩ වීසි කරල පයින් ගැහුව වගෙ වුණා. මල්ලි කියන 'පෙනල්ටි කික්' එකක් වගෙ. මාව ගොලු වෙනව දවසින් දවස. අප්පච්චි පඩි ගත්තම මගෙන් අහනව, මම වැඩි විය පැමිණිල නාවපු දවසෙ ඉඳලම,
" සුදු අම්මි...ඔයාට ක්යුටෙක්ස් ඕනිද පුතේ" කියල.
අප්පච්චියි, අම්මයි මට ආදරේට එකේක වෙලාවට එක එක නම් කියනව. සුදු අම්මි, සුදු මැණික, දෝනි කොටේ, සාදු මැණික...රාන් කිරිල්ලි...ඒ ආදරේ ඉතින් ආයෙ කාගෙන් ලබන්නද මේ ගෙදරදි. අපේ ගෙදරම යන්න ඔනි, එහෙම හුරතල් වෙන්න.
"දැන් පන්සලටත් යන්න තියෙනව. යන්න කාමරේට ගිහින් නියපොතු වල පාට ඇරල කපා ගෙන එන්න"
නන්දිමිත්ර යෝදයා දුටුගැමුණු රජ්ජුරුවන්ටත් වඩා බලවතෙක්ව ඉන්න ඇති.
'ස්වාමිනී, මා ඔබේ පාද පරි චාරිකා" ගීතය ගයන සුවච, කීකරු භාරියාව උඩු මහලට පිය මනිනවා. උඩු මහල එක් ටැම් ගෙයක් වෙයිද කියල දඩබ්බරී මගෙන් අහනවා. මගෙ ලඟ උත්තර නැහැ. ප්රශ්නම විතරයි.
මම 'පෙම්බර මධු' චිත්රපටියෙ සින්දුවක් ගැන සිහින මැව්වා.....මගෙ ජීවිතෙත් එහෙම වේවි කියලා. ඒක බොළඳ සිතුවිල්ලක් තමයි. අවුරුදු විස්සක කෙල්ලෙකුගෙ සිතක් බොළඳ නැතුව පරිණත වෙනවයැ.
'වඩාලා දෝත පුරා
පරෙවි කිරිල්ලිය සේ...' ? ? ? ?
(තවත් කෑල්ලක් ලියා ගෙන ආයෙම එන්නම්)

Labels: පෙම් කතන්දර 9 ක් අදහස් දක්වලා.
Subscribe to:
Posts (Atom)