Thursday, July 1, 2010

එක ගෙයි කෑම

Thursday, July 1, 2010

      අපෙ අප්පච්චිට දැන් අවුරුදු අසූ හතක් වෙනවා. මේ දැන් වෙන දේවල් අමතක වුණත් අතීතය යස අගේට මතකයි. අප්පච්චි ඉන්නෙ මහ ගෙදර...දැන් ඒ ගෙදර ඉන්නෙ අපේ පුංචි මල්ලියි, එයාගෙ බිරිඳයි, දුවලා දෙන්නයි. මේ මල්ලි තමයි මගෙ ජීවිතේට සමීපතම මල්ලි. එයාගෙ බිරින්දෑ අපරාදෙ කියන්න බැහැ, අප්පච්චිව ආදරයෙන් බලා ගන්නවා. රසට කෑම හදලා දෙනවා. මම නොරට සේවය කළ නිසා අපෙන් සිදුවෙන්න අවශ්‍ය සියළුම දේවල් ඉටු වෙන්නෙ අපෙ නෑනන්ඩි අතින්. ඇත්තටම අපි එයාට ණය ගැතියි. කොහෙ හිටියත් ලංකාවට ආව ගමන්ම මම අප්පච්චි බලන්න යන එකයි ඉස්සෙල්ලම කරන්නෙ. ඉතින් ඔන්න ඔහොම ආපු වෙලාවට මම ගමේ ගිහින් අප්පච්චිත් එක්ක සති දෙක තුනක් ගත කරනව.
    එහෙ සීතල නිසා නිතර නාන්න අප්පච්චි ටිකක් අකැමැතියි. උණු වතුරෙන් තමයි නාවන්නෙ. ඔන්න මම ඉතින් නිය පොතු කපල, රැවුළ කපල අර ගමේ විදිහට කුණු උලලා නෑව්වා.
             නාවල ඉවර වුණහම උණට උණු තේ කෝප්පයකුත් හදල දුන්න. අප්පච්චි තේ බිබී ඉන්නව මාත් එක්ක පරණ කතා කිය කියා. ඔන්න එතකොටම අපේ බාලම නංගි එතැනින් යන්න ආව. එයාගෙ ගෙදර තියෙන්නෙ අපේ මහගෙදරට උඩැහින් තියෙන වත්තෙ. අප්පච්චි එයාව දැකල කියනවා," පුතේ, මේ අක්ක කියනව මාව නවන්න ඕනි කියල. ඔයත් ඇවිත් එයාට උදව් වුණානම් හොඳයි නේද" කියලා.
   නංගිට තෙරුණා, පුළුන් කුල්ලක් වගෙ කොණ්ඩෙ සුදුවට දිලිහෙන කොට මේ නාලා ඉවර වෙලා තමයි කියලා.
" ඇයි, දැන් අක්කා අප්පච්චිව නෑව්වෙ. ඔය අලුත් සරමක් එහෙමත් ඇඳන් ඉන්නෙ."
" ආ....ඔව් නෙ. මට අමතක වුණා"
   එහෙම වෙලාවට අපිට අපෙ අප්පච්චි ගැන පුදුම දුකක් දැනෙනවා. මොන තරම් සැර වැර කළත්, නීති දැම්මත් අපි අද මේ විදිහට ඉන්නෙ අම්මත් අප්පච්චිත් කළ කැප කිරීම් නිසා නේද කියලා.

    අප්පච්චිගෙ අප්පච්චි, ඒ කියන්නෙ අපේ කිරි අත්තා අත්තම්මව ගෙනැත් තියෙන්නෙ එයා වැඩිවිය පැමිණෙන්නත් ඉස්සර ලු. අත්තම්ම හරිම හැඩයි, අපිට තේරෙන කාලෙදිත්. පොකුටු කොණ්ඩෙ. හිනාවෙන කොට වළ ගැහෙන කම්මුල්...ලස්සන නාස් පොඩ්ඩ...ඉතින් අත්තම්මගෙ තනියට කිරි අත්තගෙ මල්ලිව තමයි ළඟ තියලා යන්නෙ. වැඩිවිය පැමිණිල නැති නිසා එයාව බලා ගන්න තවත් පරිවාර කාන්තාවකුත් ගෙනැත් තියෙනවා. එතකොට අපෙ කිරි අත්ත හල්දුම්මුල්ලෙ තානායම භාරව හිටි රාළහාමි. වට පිටාවෙ තේ වතුවල සුද්දො සති අන්තෙට එකතු වෙන්නෙ මේ තානයමේදිලු. කිරි අත්තා ගෝලයො දමල ඉස්ටු බිස්ටු කෑම හදලා ආගන්තුක සත්කාර කරනවලු.
අත්තම්ම වැඩිවිය පැමිණිලත සෑහෙන කාලයක් අර පරිවාර කාන්තාව ඉඳල තියෙනවා. ඒ අත්තම්මගෙ නම් බණ්ඩාර මැණිකෙ. අපෙ අත්තම්මගෙ නම සුදු මැණිකෙ. ඉතින් සුදු මැණිකෙව කැන්දන් එන්න යොදා ගෙන තිබුණු දවසෙ  කිරි අත්තට බලාපොරොත්තු නොවිච්චි දෙයක් සිද්ධ වුණාලු. අර දැනුත් අපි කියන්නෙ 'නොවැළක්විය හැකි හේතුවක්' කියලා. 

                           එංගලන්තයෙන් සුද්දො වගයක් තේ වතු බලන්න එන නිසා තානායම දමලා යන්න විදිහක් නැතුව ගියා. ඉතින් කිරි අත්ත මොකද කළේ...පොඩි කිරි අත්තට කිව්වලු, "උඹ ගිහින් එක්ක වරෙන්, අර ඇත්තිව. මාමණ්ඩිට කියහන් අද සුදු මහත්තැන්ල කීප පොළක් එන නිසා මට රාජ කාරි මග ඇරල එන්ට බැහැය කියලා"
                ඉතින් පොඩි කිරි අත්තත් පේරවැල්ලට ගෙහුන් සුදු මැණිකෙව කැටුව ඇවිත් තියෙනවා. පිට කවරුවත් නෙවෙයි නෙ. ඒ කිරි අත්තලගෙ ඇවැස්ස නෑනලු.
  ඉතින් සුදු මැණිකෙ වැඩි විය පැමිණුණහම ගෙයි මුල්ලක තියලා ආව තේව කම් කොළේ බණ්ඩර මැනික නැන්ද කියලයි අප්පච්චි කියන්නෙ.
   මේ දීගෙ අර පුරාණෙ වෙච්ච එක ගෙයි කෑමක් නේද කියල මම ඇහුවම අප්පච්චි ඒක එහෙමමයි කියන්න ටිකක් අදි මදි කරනවා. මම පුංචි කාලෙත් ඇහුව අප්පච්චිගෙන්," ඇයි, එහෙනම් පොඩි කිරි අත්තා අත්තම්ම කෙනෙක් ගෙනාවෙ නැත්තෙ?" කියලා.
  අප්පච්චි මට ඔරවල, " පැහිච්ච ආච්චි වෙන්නෙ නැතුව යනව යන්න මෙතනින් " කියලා මාව එලව ගත්තා. මට ඉතින් කුතුහලය. මේ ළඟදිත් මම ලොකු අප්පච්චිගෙ දුව මුණ ගැහිල ඔය ගැන කතා කළා. එයත් මගෙ කීමට එකඟයි. අප්පච්චිලගෙ පවුලෙ නැන්දි තම
යි වැඩිමලා. ඊටපස්සෙ ලොකු අප්පච්චිල තුන් දෙනයි. අප්පච්චි තමයි බඩ පිස්සා. බඩ පිස්ස කියන්නෙ මොකද කියල දන්නවදු ? බාලම දරුවා ආයෙ ලමයින් පිළිනොසිඳෙන විදිහට බඩ පිහ දාගෙන එන නිසා තමයි 'බඩ පිස්ස' හෝ 'බඩ පිස්සි' කියන්නෙ.
             අප්පච්චිට ආදරේට කියල තියෙන්නෙ 'හින්නි' කියල. පස්සෙ අපෙ නෑදෑයො, අප්පච්චිට 'හින්නි අයියා', හින්නි මල්ලි','හින්නි බාප්ප', 'හින්නි මාමා', 'හින්නි උන්cලෙ' කියල තමයි කතා කලෙ.
   'එක ගෙයි කෑම' කෙරෙන්නෙ දේපොළ අහක යනවටලු. කොහොම වෙතත් ලොකු කිරි අත්තයි, පොඩි කිරි අත්තයි, අත්තමයි විරසක වෙල හිටි එක දවසක් වත් මට මතක නැහැ. තුන් දෙනාම හරිම ආදරෙන්, සාමයෙන්, සමගියෙන් ජීවත් වෙච්ච බව නම් අපිට හොඳට මතකයි.
   කිරි අත්තලගෙ ගෙදර ඉස්සරහම කාමරේ හිටියෙ පොඩි කිරි අත්තා. ඒ පැත්තෙම ඊලඟ කාමරේ හිටියෙ ලොකු කිරි අත්තා. ඒ ගෙදර වම් පැත්තෙ. අත්තම්මගෙ කාමරේ තිබුණෙ දකුණු පැත්තෙ. අත්තම්මගෙ කාමරේට එහායින් ගබඩා කාමරෙත්, ඊටත් එහායින් උයන ගෙයත් තිබුණා. උයන ගෙයි දුම්මැස්සෙ ගිරා අඹ ඉදෙන්න දමල තියෙනවා. දෙල් අටු කොස්, අටු කොස්, ලුණු දෙහි වගෙම පිළිකන්නෙ වැලි අස්සෙ කොස් ඇට තියෙනවා ඕනිම වෙලාවක. අපි එහෙ ගිහින් ඉන්න හරිම ආසයි නිවාඩු කාලෙට. අත්තම්ම උයන කොස් මාලුවෙ සුවඳ දැනුත් දැනෙනවා වගෙ. අත්තම්මලා ශාකාහාරි උදවියද කියල වෙලාවකට මට හිතෙනවා. කොස්, දෙල්, වෙලෙන් නෙලා ගෙන එන පලා, කොස් ඇට, කෙහෙල් මුව, තිබ්බටු, එල බටු, මයියොක්ක දලු වගෙ දේවල් තමයි ඒ අය ආහාරයට ගත්තෙ. ඒ ම වල තිබුණෙ පුදුම රහක්. රසායනික පොහොර නැහැ. රත් වෙච්ච තෙලට මිරිස් කෑලි කඩල දමල, අබ, සුදු ලූණු දමල තෙම්පරාදු කරද්දි මිදුලෙ අඹ ඇට පණින අපෙ කටට කෙළ උනන්නෙ ආහාර රුචිය වඩවමින්. අත්තම්මා උයන අල කොළ ඇඹුලත් කවදාවත් අමතක වෙන්නෙ නැහැ.
   කෑම ගැන කියන්න ගිහ්න් වෙනත් කතා අමතක වුණානෙ.
අර එක ගෙයි දීග කාපු කතාව මම අම්මගෙනුත් ඇහුවා, අම්මත් "ඔයා ඔන්න ඕවා හොයන්නතුව ඉන්න, පණ්ඩිතකමට. අනික ඕව ඉතින් පරණ සිරිත් නෙ" කීවා.
"ඒකම තමයි අම්මෙ මට දැනගන්න ඕනි. මට කවියක් ලියන්න හිතෙනවා ඒ ගැන." අපෙ අම්මට ඒකට හො
ඳටම හිනා.
" කවියක් නෙවෙයි..ලියන්නකො නව කතාවක්. ඕවා අහුණොත් අප්පච්චිගෙන් හොඳට ගුටි කන්න වෙයි. පන්තියෙ වැඩක් බලා ගත්තනම් ඊට වඩා නරකද, ලොක්කියෙ"
   මම පොඩි ලොකු අප්පච්චිගෙ පුතගෙන්, ලොකු ලොකු අප්පච්චිගෙ
දුවගෙන් මේවා අහන එක නතර කළේ නැහැ. අත්තම්ම දෙන්නටම බත් බෙදල දෙනාටම කතා කරන කන්න එන්ට කියලා. මගෙ දඟකාර, ඒ වගෙම කුතුහලයෙන් පිරුණු හිත මේ කතන්දරය සහසුද්දෙන් දැන ගන්න අටුවා ටීක හොයනවා.
                    නැන්දගෙත්, අපෙ අප්පච්චිගෙත් අප්පච්චි ලොකු කිරි
අත්තගෙ කියල මට හිතුණා. අනික් තුන්දෙනාම පොඩි කිරි අත්තගෙ වෙන්න ඇති. අනේ! මගෙ තේ උඩිච්චි හිතට එන කල්පනා. ඒ කාලෙමයි මට ඕවා හිතුණෙ. මට පුළුවන්ද දත්ත රැස් කර ගෙන හිත කරන සමීක්ෂණ නවත් වන්න. මගෙ හිත කොහොමත් මුරණ්ඩුයි නෙ. සමීක්ෂණයක් අවසන් නිගමනයක් තියෙන්න එපැයි. ඉතින් මගෙ නිගමන මගෙ හිතටම සීමා කර ගෙන ප්‍රසිද්දියට පත නොකර මේ දක්වාම හිටියා. එහෙම සිරිතක් ඉස්සර තිබුණ නම් ඒක එහෙමයි කියල පිළිගන්න, අපි මොකටද ඔච්ච්ර ලැජ්ජ වෙන්නෙ? බොරු මාන්නෙ. කිසිම අවුලක් කාටවත් වුණෙ නැහැ නෙ.
                  දැන්නම් අප්පච්චිගෙන් ඇහුවොත් අප්පච්චි ටක්කෙටම සහසුද්දෙන් ඇත්ත කියල දෙයි. ඊලඟ සැරේට මම ගමේ ගියාම ඔය සිද්ධිය අහ ගෙන එන්න ඕනි. ඒකම විතරක් නෙවෙයි..තව අතීත කතා ගොන්නකුත් අහගන්න පුළුවන් වෙයි.
         

10 ක් අදහස් දක්වලා.

Wednesday, June 30, 2010

නූල කැඩුණු සරුංගලය

Wednesday, June 30, 2010

                           පොතට  එකතු කරන්න හිටි පරිච්ඡේද එකින් එක ලොප් කරන්න වෙද්දි හිතට හීන් දුකක් එනවා. දුක එක වරට සේරම එකතු කරල අහසට හරි මුහුදට හරි විසි කරන්න මට ඕනි. අතීතයෙ දුක් කන්දරාවල් නම් විසි කළා...හිමාලයටත් එහායින් හිම කඳු අතරට. ඒවා දැන් ඝනීභවනය වෙලා, හිම පදාස අතරෙම මිය ගිහින් ඇති.
           මම කොහොමද ඒ සිතුවිලි හරි චෛතසික හරි 'දුක' කියල නිර්වචනය කරන්නෙ?  එහෙම කරන එකත් වැරදියි. පරාජය, දුක, වෙන්වීම්, සිත් තැලීම් ..මේව සේරම දුක ඉපදෙන්න කාරණා...


                                 'පියේහි විප්ප යෝගො දුක්ඛො, අප්පියෙහි සම්ප යෝගො දුක්ඛො, යං කිච්ඡං න ලභති තම්පි දුකඛං...සංකිත්තේන පංච උපාදානක්ඛන්දෝ දුක්කො.........සියල්ලම දුකයි..අනිත්‍යයයි...
     පුහුදුන් සිත් වල පහළ වන කෙළෙස් ඔයාකාර වුණත් අපිට ඒවයින් ගැලවීමක් නැහැ. අපි ආයෙත් තවත් උපාදාන වලින් ඇලීම්,බැඳීම් ඇති කර ගන්නවා. ආදරය, ප්‍රේමය, ලෙන්ගතු කම වගෙ විවිධාකාර නම් වලින් අපේ හැඟීම් අපිම නිර්වචනය කර ගෙන කූඩු, වෘත්ත, චතුරස්‍ර එහෙමත් නැත්නම් ත්‍රිකෝණ හරි සමාන්තරාස්‍ර හරි නිර්මාණය කර ගෙන අලුත් යමක් සොයන්න උත්සාහ කරනව. 

                        හරියට වෙසක් උත්සවය කාලෙට අටපට්ටම් හදාගෙන පාට පාට කොල අලවලා බුද්ධාලම්භන ප්‍රීතිය ඇතිකර ගෙන සිත් පහන් කර ගන්න බැතිමත්තු වගෙ. සමහර අටපට්ටම් එක දවසයි, ගිනි ගන්නව. සමහර ඒව වෙසක් ඉවරවෙන්නත් ඉස්සර අලු වෙල යනව. තවත් සමහර ඒව පොසොන් වෙන කලුත් තියෙනවා. ඒකෙනුත් අනිත්‍යම නේද දිස්වෙන්නෙ කියලා සමහරු කියාවි. කොහොම වුණත් අපි ඒ සත්‍යතාවය දැන දැනත් කූඩු හදන එක නවත් වන්නෙ නැහැනෙ. 
                        අපේ හිත වලට පිවිසෙන ආදරයනුත් ඒ වගෙමයි. පාට පාට කොල වලින් අලවගෙන, ඇතුලෙන් ඉටි පහනක් හෝ විදුලි බුබුලක් හෝ සවි කරලා එලිය කර ගෙන අපි බලාන ඉන්නවා. ස්වභාවික විපත් විතරක්ම නෙවෙයි...සතුරු උපද්‍රව වුණත් අකල් වැහි කුණාටු වගෙ ඇවිත් අපෙ කූඩු කඩල විනාශ කරල යනවා.
   මොන තරම් මුර කාවල්, රැකවරණ යෙදුවත් ඒව රැක ගන්නව බොරු.රැකගන්න උදවියත් ඇති අනන්තවත්. පණ ඇරල ආදරය කළාට බොරුව, වංචාව, රැවටීම වගෙ දේවල් තේරුණහම එතැන ආදරයක් හෝ ලෙංගතුකමක් හොය ගන්න බැරුව හිත අයාලෙ යනවා. නවතින්න තැනක් නැහැ. අනන්තවූ අවකාශය සිසාරා නූල කැඩුණු සරුංගලයක් වගෙම එහෙ මෙහෙ දුවනව. එහෙමත් නැත්නම් වළා රොදක් වගෙ එක එක හැඩ ගනිමින් එක එක රිද්මයට හිස් අවකාශයෙ සැරිසරනවා.
  ඔබෙ හිතත් එහෙමද? මගෙ හිත නම් ඒ වගෙම තමයි.
බොරු පුරසාරම් කියල මම සුවිශේෂී පුද්ගලයෙක් විදිහට ලෝකෙට පෙන්වන්නෙ ඇයි? මම හරිම සාමාන්‍ය, සරල කෙනෙක්. සතර බ්‍රහ්ම විහරණ පුරුදු පුහුණු කරන කෙනෙක් හින්දද මන්දා, වෛරයක්, ඉරිසියාවක් හිතට පිවිසෙන්නෙම නැහැ. ඒක බොහොම දෙනෙකුට තේරුම් ගන්න බැරිවීම මට ගැටළුවක් නොවුණත් අනෙක් අයට ගැටලුවක්. බෙදා වෙන් කර ගන්න, තණ්හාවෙන් බදාගෙනම ඉන්න වගෙ ඇතිවෙන චිත්ත ස්වභාවයන් මට දැනෙන්නෙ මම අතික්‍රමණය කරල කියලා. එහෙම වුණහම මධ්යම ප්‍රතිපදාව පුහුණු කරන්න, උපේක්ෂාවෙන් සියල්ල දෙස බලන්න මනස හැඩ ගැහෙනව. මේව ගෙදර උදවිය එක්ක කියන්න ගියොත් මාව මානසික රෝහලේ කුටියක පදිංචි කාරියක කරවාවිද දන්නෙත් නැහැ.
 ජීවිතය, සත්‍යය හොයා ගෙන යන බොහොම දෙනෙකුට
 ලැබෙන්නෙ ජීවිතය වත් සත්‍ය වත් නෙවෙයි. අවමාන, අපහාස, නින්දා . . .
   කාලෙකට පස්සෙ බ්ලොග් අවකාශයට ආවෙත් හිත සුවපත් කර ගන්න සිතුවිලි විමෝචනය කිරීම එක් ප්‍රතිකාරයක් කියලම වැටහුණු නිසා. කියන්න, බෙදා හදා ගන්න කතාන්දර, අත්දැකීම් ඇසු දුටු දේවල් අනන්තයි. සේරෝම එක්
කාසු කර ගෙන පොදි ගහ ගෙන පෙට්ටගමක අහුරාගත්ත. ටිකෙන් ටික,බිඳෙන් බිඳ රන්තැටියක තියල පිළි ගන්වන්න ආපහු. කිරියි, පැණියි වගෙ. මම එහෙම හිතුවට සමහර විට ඒව තිත්ත කරවිල වේවිද දන්නෙත් නැහැ. කරවිල වලත් ඒ වුණාට රත්තරන් තියෙනව නෙ. අපෙ අම්ම එහෙම කියල තියෙනව මට.
   අම්මා කියපු බොහෝ කතා වල, උපහැරණ වල සත්‍යය ල
මා කාලයෙ මට නොවැටහුණත් ඒවයෙ හරවත් බව තේරුම් ගියෙ මමත් අම්මා කෙනෙක් වුණහම.යමක් පැහැදිලි කරන්න ජන කතාවක් හරි උපහැරණයක් හරි යොදා ගැනීම අම්මගෙ සිරිත. මතකය පහුරු ගාල ගොඩ ගන්න හිතෙනව මට...ඒ කතා අනෙක් අයත් එක්ක බෙදා ගන්න.
    ඒ වගෙම දැන් වයස්ගතව ඉන්න අප්පච්චි, කියන කතා මම මේ සැරේ සටහන් කර ගෙනත් ආවා. අහ ගෙන ඉන්න හරිම ආසාවක් හිතුණ, මට. ප්‍රේම කතා නොවුණට, රොමැන්තික නොවුණට ඒවායෙ අපූර්වත්වයක් තියෙනවා. අප්පච්චි ඉස්සරත් මට එයාගෙ පුංචි කාලෙ කතා බොහොමයක් කියල තියෙනවා. මටම ඒව කිව්වෙ මම ඒව ලියාවි කියල අපෙ අප්පච්චිට හිතෙන්න ඇති. මොකද අපෙ පවුලෙ ලියන පිස්සුව පුංචි කාලෙම තිබුණෙ මට නිසා.
   අවුස්සපු නිසා ඔයාලගෙ හිත්, මම එක කතාවක් අද කියන්නම්. ඒව කතාම නෙවෙයි. සිද්ධි. අප්පච්චිට එතකොට වයස අවුරුදු දහයක් විතර ඇතිලු. ඉරිදා දවසක දහම් පාසැල් ගිහින් එන කොට, ටිකක් දුරින් නෑදෑවෙන මාම කෙනෙක් මුණ ගැහුණලු. ඒ මාමා අප්පච්චිව දැකල, " හා...රාළේ, දහම් පසැල් ගියාද" කියල ඇහුවලු. අප්පච්චිට හොඳටම කේන්ති ගියාලු. ඒ කියන්නෙ දැන් බාසාවෙන් කියනව නම් මල පැන්නලු. "ඔව්" කියා ගෙන මූණත් පුළුටු කර ගෙන ගෙදර ගියාලු.         

ඉතින් අපෙ අත්තම්ම අප්පච්චි ගෙට ගොඩ වෙනකොටම තේරුම් ගත්තලු හින්නි පුතාට මොකක් හරි මගඩියක් වෙල කියල.
" මොකෝ, අද මූණ කෙහෙල් මලක් වගෙ දික් කර ගෙන? මගදි ඇබද්දියක් වත් වුණාද?" කියල අපෙ අත්තම්ම විපරම් කරල තියෙනව. ඒ ඉතින් අපෙ අප්පච්චිගෙ අම්ම නෙව.
" අර හේනෙ ගෙද
ර මාම මට 'රාලෙ' කිව්ව. රාලෙ කියන්නෙ මම නාකි වෙලා ද?"
" අනෙ, මයෙ පුතේ, රාලෙ..කියන්නෙ, ගරු ගාම්භීර කමට නෙව?  හෑල්ලු කරන්න එහෙම නෙවෙයි. මයෙ පුතා සන්තොස වෙන්න එපාද රාලෙ කිව්වට. උන්දෑ හමොටම එහෙම රාලෙ කියන්නෙ නහැ මයෙ පුතෙ."
ඉතින් අප්පච්චිගෙ හිතෙ නෝක්කඩුව ගිහින් කල එළි වුණෙ එත
කොටලු.

   අපෙ අප්පච්චි දෙවන ලෝක සන්ග්‍රාමය කාලෙ පිටරට ගිහින් තියෙනව, බ්‍රිතාන්‍යය හමුදාවට සේවය කරන්න. ඒ කාලෙ කතා පස්සෙ කියන්නම්. රට ඉන්දන් ආපු අලුත, අපේ ගෙදරට යන පඩි පෙළ නගිද්දි ඉන්ද්‍රයියලගෙ සීයව මුණ ගැහිල තියෙනව. එතකොට ඉන්ද්‍රයියා හරි මම හරි ඉපදිලත් නැහැ.
   සුද්දො එක්ක ඉදල ආපු නිසා, අප්පච්චි ඒ සීයට
කතා කරල තියෙනව මෙහෙම.
" හා..අන්කල්...කොහොමද?"
එක පාරටම ඒ සීයා කියල තියෙනව," මොකක්..බොල, අන්කල්....? බාප්පා කියාපිය. කලිසං ඇඳ ගත්තම මුන්ට නෑකමුත් මතක නැහැ" කියල.
   ඉතින් අදට මෙතෙකින් නිමි. නැවත හමු වෙමු.
 
  

6 ක් අදහස් දක්වලා.

Thursday, April 22, 2010

ප්‍රතිචක්‍රීයකරණය...

Thursday, April 22, 2010
ආයුධ සන්නද්ධ පොලිස් ආරක්ෂක අංශයේ අපේ වාහනවලට ඉදිරියෙනුත්, පසුපසිනුත් ඇදෙයි. ඉහළින් ඉහිලෙන හෙලිකොප්ටර් යානා දෙකක් එහ මෙහ යමින් යාන දෙකක්ද ආරක්ෂා තත්ත්වය පිරික්සයි. මට පුරුද්දට 'සබ්බේ බුද්ධා බලප්පත්තා' ගාථාව කියැවෙයි. ෆරීමා ගමනාරම්භයට පෙර 'බිස්මිල්ලාහ් රහමානි රහීමි' කියනවා විය යුතුය.
    රොකට් වෙඩි හැමදාම පුපුරන, බිම් බෝම්බ මග දෙපස වළලා තිබෙන ලෝගාර් පලාත කාබුල් බල ප්‍රදේශයට අයත්ය. 
     කාබුල් නගර සීමාව පසු වූ පසු මග දෙපස සුන්දර යැයි කාට වුවත් සිතෙනු ඇත. කඳු වැටි වල තවමත් එක තණ කොළයක් වත් හිමෙන් මතු වී නැත.කිලෝ මීටර් විස්සක් පමණ මග ගෙවුණු විට මගෙ දෙපස තැනින් තැන ගහ කොළ හා එලවලු වැවූ ගොවි පොළවලින් ගහණය. අල,ලූණු, වම්බටු,මිරිස් හා සලාද ජනප්‍රිය වගාවන් සේ පෙනෙයි. 
             සේවයට වාර්තා කොට මුල් සතියේදී අප් සහභාගිවූ සමාජානුයෝජන වැඩ සටහනේදී දේශීය සංස්කෘතියට අනුගත වන ආකාරය, සෞඛ්‍යය හා ආරක්ෂක කටයුතු ආදී මෙකී නොකී දැන උගත් බොහෝ දෑ නිරායසයෙන් මතකයට එයි.


        අමුවෙන් එළවළු හෝ ආඅහාරයට නොගන්නා ලෙස අපට තරයේ අවවාද ලැබිණි. හේතුව වශයෙන් ප්‍රකාශ වූයේ ඒ සඳහා යොදන පොහොර පිළිබඳ ප්‍රශ්නයකි.සමහර ගොවීන් ගොම පොහොර යොදන අතර බහුතරයක් ගොවීහු මේ සඳහා යොදන්නේ මින්ස් බහිස්ස්‍රවීය පොහොරය. ඇෆ්ගනිස්තානයේ ගෙවල් වල තාප්පයෙන් මෙපිට කණින ලද් වළකි. වැසිකිලිවල සියලු අපද්‍රව්‍යය මේ වලට එකතු වෙයි. ගිම්හානයට ඒව වේලුණු පසු විශාල ගෝනි මළුවල පුරවා ගෙන බූරුවන් පිටේ පටවාගෙන ගොවි පොළවල්වලට ගෙන යනු ලබයි. (ප්‍රතිචක්‍රීයකරණය...හෙ ..හෙ...)ෆරීමා ද් කීවේ එය සත්‍යයක් බවයි. ඔවුනට එහි අපුලක් නොදැනෙයි. පරම්පරා ගණනක පුරුද්ද විය යුතුය. මා මෙය පසු ගිය වසරේද පැහැදිලිවම දුටු වෙමි.
      එළවළු කොටු අතරින් පතර රතු කොඩි වලින් සලකුණු කළ බිම්කඩවල්ය.ඒ බිම් කොටස් වල තවමත් බිම් බෝම්බ ඉවත් කර නැත. සමහර තැනෙක බිම්බෝම්බ ඉවත් කරන කණ්ඩායම්,බෝම්බ ඉව කරන බල්ලන් සමග බිම්බෝම්බ ඉවත් කිරීමේ කර්යයෙහි නිරත්ව සිටිති. අපි යන එන අතර ඔවුන්ට අත් වනා ආචාර කරමු. ප්‍රධාන පාර වල ඇරෙන්නට අපට වාහන වලින් වත් අතුරු පාර වල යා නොහැක. එහි රජා කරන අතර වාරයෙහි දෙපයින් ගමන් යන්නේ නවාතැන තුළත්, කාර්යාලය තුළත් පමණි.


    යුද්ධ කාලයේ ඔවුන් කාබුල් නුවරින් පල ගිය අයුරුත්, පකිස්තානයේ අනාථ කඳවුරු වල සිටිය ආකාරයත්බොහෝ විට මා සමග පවසා ඇත. ඇයට ඉංග්‍රීසි ඉගෙන ගන්නට අවස්ථාව ලැබුණේද පකිස්තානයේ, පෙශාවර් වල සිටින අතර තුරය.
          ෆරීමාට පෙම්වතෙක් සිටියාද කියා මා දවසකැගෙන් විමසුවේ වක්‍රාකාරයෙන්ය.
   " ඇෆ්ඝන් කෙල්ලන්ට ප්‍රේම කිරීමසපුරා තහනම්කියල දන්නෙ නැද්ද? වැඩිහියො කියන කෙනෙක්ව තමයි, අපි කසාද බඳින්න ඕනි"
   "ඒක හරිම අසාධාරණනීතියක් නෙ?"
   " මිස්ටර් සතිස්, අපේ රටේ ගැහැණුන්ට සාධාරණය ඉටු කෙරෙන එකම එක දෙයක් හරි තියෙනවද? මෙහේ මුල්ලා වරුන්ට,මූල ධර්ම වාදීන්ට ඕනෑම අකැප දෙයක් කැපයි. ඒ වුණාට අපිට හැම දෙයක්ම'හරාම්'. ඒ අය ස්ත්‍රීන් තුන් හතර දෙනෙක් විවාහ කර ගන්නවා. බුර්කාව ඇතුලෙ හංග ගෙන ත්ව ඕනිතරම්ගැහැනුත් අරන් යනවා. මම මේවඔය ගොල්ලොත් එක්කකතා කරනවා කියල දැනගත්තොත්....බිස්මිල්ලාහ් ...මගෙ රස්සාවත් ඉවරයි, මාත් ඉවරයි"


    " වෙන මුස්ලිම් රටවල ඔය වගෙ තද නීති නැහැ නෙ?"
   "ඔව්, ඒක මම දන්නවා. ඒක නිසා නේ අපේ රට තවමත් මේ තරම් නොදියුණු...පාවිච්චි කරන්නෙත් වෙනම කැලැනඩරකුත් නෙ. ඔයාලගෙ රටවල් වලවගෙ මෙහෙ ගෑණු අඳුම් පැළඳුම් කළොත් මෙහේ පිරිමි අපට මොනවා කරාවිද දන්නෙ නැහැ.


   " ඔය කැමති නැද්ද ඉන්දියාව, ලංකාව වගෙ වෙන ආසියාතික රටකට ගිහ්න් නිදහසේ ජීවත් වෙන්න?"


   උදය කඩා ගෙන පැන්නේ මේ අතරය. 
 "වැඩේ නැගලයනව වගේ නේද සතිස්?"
  " මචං, නිකන් හිටපන්, අපි මේ ඔෆීෂියල් දේවල් කතා කළේ"


  "මචං, මට කොළේ වහන්න එපා, හැබැයි, පුතෝ....උඹ් සිරිසඟබෝ වුනොත් මටයි මිනිය ගෙනි යන්න වෙන්නෙ. ඒකත මතක තියා ගනින්. කෙල්ලගෙන් අහපං, අයියලා, මස්සිනාල එහෙම ඉන්නවද කියලා. මෙහෙ මිනී පෙට්ටිත් නැහැ. මතකයි නේද අර ප්‍රංශ එන්.ජී.ඕ. කෙල්ලට වෙච්ච් දේ.ලවක් ඕනිම නම් ඉන්ටනැෂනල් එකක් දා ගනින් ටිකක් මොළේ කලප්නා කරල වැඩ කරපන්. ."


"මොනවද් මිස්ටර් උදය කියන්නෙ?" සිංහල තේරුම් ගත නොහැකිව ෆරීම අන්ද මන්දව ඉංග්‍රීසියෙන් විමසයි.
   " නැ හැ,මේ ..චන්ද වැඩ වලට ප්‍ර\ශෙනුත් නිරීක්ෂණ කන්ඩායමක් එනවලු"
       ප්‍රංශ ජාතික තරුණියක් අප මෙහි පැමිණ දෙවැනි සතියේදී මරා දැමූ පුවත මට අමතක වූවා නොවේ. ඇය ඇෆ්ගන් ජාතික තරුණයෙකු සමග ප්‍රේමයක පැටලී ඇත. ඒ වන විඅත් ඔහු විවාහ ගිවිස ගෙන සිටි අයෙකි. සුරූපී ප්‍රංශ යුවතිය ගේ ප්‍රෙමයද ඔහුට නැතිවම බැරි විය. විවාහ ගිවිස ගත් තරුණියගෙ සහෝදරයාට මේ පුවත ආරංචි වන්නට වැඩි කලක් ගියේ නැත. 
   සුදු තරුණිය ගේ ගමන් බිමන් සෑකිල්ලෙන් බල්ල සිටි ඇෆ්ඝන් යුවතියගේ සොහොයුර, සුහු තරුණිය උදයේ කාර්යලයට යන වේලවක් බලා, අතර මගදී වාහනය නවතා,රියෙහි දොර ඇර ඇයට වෙඩි තබා පැන ගියේය. සුදු තරුණිය එතැනම මිය ගියාය. 
               ' ප්‍රංශ තරුණියක් නාඳුනන තුවක්කු කරුවකු ගේ වෙඩි පහරින් මිය යයි' කිය සැලවිණි. සිද්ධියේ සුළ මුල හෙලි වූයේ පසුවය. නඩුත් හාමුදුරුව්න්ගේය. බඩුත් හාමුදුරුවන්ගේය. 


    ප්‍රේමය පසුපස එක එල්ලේ දිව ගිය සිතුවිලි සහ සිත සියල්ල එක සැණින් නතර වූවාසේය. මුදුන් වන රාම්ලාන් සඳේ සුන්දරත්වය විඳගන්නට අපට වරම් නැතිද?එළඹෙන රාම්ලාන් උපවාසයට ෆරීමා සමග උපවාසයේ යෙදෙන්නට මා සිතූවේ නිරාහාරව සිට එම අත් දැකීම විඳගන්නටය. ඉස්ලාම් ධර්මය වැළඳ ගන්නට නොව ඒ උපවාසයේ අරුත ඉතා ගැඹුරු බව මට වැටහුනු නිසාය.


" මිස්ටර් සතිස්ට ශ්‍රී ලංකාව මතක් වුණාද?"
" ම්...ම්....ඔව්,අපේ රටෙත් ඉන්නවා මුස්ලිම් ජාතිකයො,ඒත් ඒ අය නම් මෙහෙ අය වගෙ පටු විදිහට හිතන්නෙ නැහැ. අපිත් එක්ක හරිම හිතවත්. මගෙ හොඳම යාලුවො දෙන්නෙක් ඉන්නවා. හරිම පුළුල් විදිහට හිතන අය. අපේ රටේ මුස්ලිම්, සිංහල විවාහ පවා අනන්ත වත් සිදු වෙනවා. කිස්ම භේදයක් නැහැ. කොටින්ම මගෙ ඇවැස්ස නෑනෙකුයි, ඒ වගෙම මහප්පගෙ පුතයි දෙන්නම බැඳල ඉන්නෙ මුස්ලිම් පවුල් වලින්. කාගෙ වත් භේදයක් නැහැ."


   " මෙහෙ අයගෙ ඔලු ගෙඩි සුද්ධ කරන්න තව අවුරුදුසියයක් වත් යාවි"
   " ෆරීම,ඇයිඔයා වගෙ හුඟ දෙනෙක් හිතන්නෙ නැත්තෙ?"


   තලේබාන් කාරයො මේ අයව බය කරලා තියෙන්නෙ, මිස්ටර් සතිස්. සම්පූර්ණයෙන්ම බ්‍රේන් වොෂ් කරලා. ශුද්ධ වූ කුරානය ඒ ඒ අයගෙ වාසියට හරියන විදිහට සංස්කරණය කරලා. අපේ රටේ සාක්ෂරතාවය හරිම අඩුයි නෙ. ඒකයි උන් අපට ඉස්කෝලෙ යන්න තහනම් කළේ. රස්සවල් කරන්න තහනම් කළේ.


(තව කොටසක් හෙට)

0 ක් අදහස් දක්වලා.

Wednesday, April 21, 2010

" ගමේ වැල ගමේ කපුටන්ට"

Wednesday, April 21, 2010


                     දිය වී යන හිම තට්ටු මතින් ලා කොළ පැහැයෙන් ලදළු, ලපළු හෙමිහිට තාලයකට හිස ඔසවනු පෙනෙයි. හිරු එළිය විඳගන්නට හෝ හිරු එලියෙන් උණුසුම්වන්නට හෝ කවුරුන් තුළත් ඇත්තේ දැඩි ආසාවකි. එහෙත් ගැහැණුන්ට එබඳු සිඟිති ආසාවක් වත් මුදුන් පමුණුවා ගන්නට ඉඩක් නැති දේශයක් මෙලොව පවතී යයි කිව හොත් ඔබ මා හා එකඟ නොවනු ඇත.
         තවමත් සීතල දැරිය නොහැකි තරමට තදබලව පවතින හේමන්තයේ අවසානය වුවද උණුසුම් කබායක් නොමැතිව ගෙයින් පිටතට යා නොහැක. කෝපි කෝප්පයෙන් ඉහළට විහිදෙන උණුසුම් වාෂ්ප වලින් දෑත් උණුසුම්කරගෙන මම කබායට සිරුරේ සීතල බාර කළෙමි. නොබෝ වේලාවකින් කාර්යාලයීය රථය ඇවිත් අප කැටුව යනු ඇත.
              
                නවාතැන පුරහම උදේ හතත්, හත හමාරත් අතර ඇත්තේ මහත් කලබැගෑනියකි. උණු පැණින් සැනහෙන්නට, ඇඳුම් මදින්නට, හීලෙන් සප්පායම් වෙන්නට එහෙ මෙහෙ දුවන නවාතැන්කරුවන් හත් අට දෙනා අතර මා ද එක් අයෙකි. කොතරම් කලබල කාරී වුවත් එහෙ මෙහෙ දුවන අතර සුබ උදාසනක් කියා සුබ පතන්නට හා එකිනෙකාගේ සුව දුක් විමසන්නටද කිසිවෙකුත් අමතක නොකරති. සාමාන්‍යයෙන් දොඩන ඉංග්‍රීසි බස වෙනුවට බොහෝ දෙනෙක් මෙරටේ කතා කෙරෙන දාරි බස යොදා ගන්නේ විනෝදයක් ද දැනුමක් ද ලබ ගනු රිසියෙනි.


  "ෂොබාහිර්!"  (සුබ උදෑසනක්!)


  "චුතුරාස්ති?" (කොහොමද?)


  " ෂුම්මා කුබ් අස්ත්?" (ඔබ හොඳින්ද?)


        'ෂුම්මා' යනු ඔබයි. එම භාෂාවේ සිත් ගන්නා සුළු බවක් ඇතැයි මට සිතේ. එනිසාම පොත් කිහිපයක් රැගෙන් බස ඉගෙන ගැනීම අගනේ යැයි මට සිතිණි. 
  " අපහසු දේවල් ෆරීමා ගෙන් අසා දැන ගන්නට ද පිළිවන. ෆරීමා මගේ පරිවර්ථිකාව ලෙස සේවය කරන ඇෆ්ගන් යුවතියයි.


  "ගයිස්, වෙහිකල් හෑස් කම්." 


             අප්‍රිකානු ජාතික ඔමාර් බෙරිහන් දෙයි. ඔහු මගේ කාමරයේ සිටින අනෙක් සගයාය. ෆරීමා පිළිබඳ සිතුවිලි මොහොතකට සිත් බඳුනට දමා අගුළු ලා වාහනයේ ඉදිරි අසුනට ගොඩ වූයෙමි. ලොකු කමකට නොව ඔමාර්ගේ ඉතාලි ජාතික කෙලි පොඩ්ඩට ඔහු ළඟින්ම ගෑවි ගෑවී ඉන්නට ඉඩ කඩ සලසන අරමුණින් යුතුවය. පැමිණ මසක් ගත වන්නටත් පෙර ඔමාර්ට සඳ පෑයුවේය. එලීනා ඔහුගේ සඳ පමණක් නොව් හිරු, තරු, මල් සහ මුළු ලොවම එලීනා විය. එහෙත් මගේ සඳ තවමත් අමාවක දා සේය. කෙදිනක කලා සොළොස සපුරා සිනා සෙනු ඇත්දැයි සිතිය නොහැක.
        වාහනය වළ ගොඩැලි සහිත වීදි දිගේ ඉදිරියට ඇදෙයි. මග දෙපස කියන්නට තරම් නගර වර්ණනාවක් නොමැත. වසර විසිතුනකට වැඩි කාලයක් අඛන්ඩව කෙරුණු යුද්ධවල අනිටු ප්‍රතිඵලයන් වූ සුන්බුන් සහ දුහුවිල්ල පමණක් කාබුල් නුවර වීදි අලංකරණයෙක් යෙදෙන්නට වෙර දරයි.වෙනත් රටෙක අග නුවරෙක නම් නේක වර්ණ සළු පිළියෙන් සැරසී හැඩ වැඩ වූ ලඳුන් විඩාපත් අපගේ නෙත් පුරා සිහිල් අඳුන් තවරනු ඇත. එහෙත් කාබුල් නුවර ගෝනි බිල්ලන් සේ බුර්කා තුළට පිවිසී ඇවිදින ලඳුන් මිස නෙත සිත සනහා රුසිරු වතක් නිකමට වීදි දෙබෑකර පායන්නේ නැත.


" සතිස්, මොකද? ෆරීමා ගැන හීන දකිනවද?


ඔමාර් නැවත නිහඬතාවය බිඳියි.


 "ප්ලීස්, ඩෝන්ට්"


          මම ඔහුට අනතුරු ඇඟ වූයේ රියැදුරාට මදක් ඉංග්‍රීසි භාෂාව තෙරුම්ගත හැකි නි ය. මම ඒ බව ඇසකීන් ගි මරා කිවෙමි. විහිළු කටින් කට ගිය හොත් ෆරීමා රැකියාවට පැමිණීමද නතර කරන්නට තරම් සමහර ඇෆ්ගන් පිරිමි අනතුරු දායකය.මට සිහි වන්නේ අපේ ගමේ රටේ පවතින කට වහරකි.
" ගමේ වැල ගමේ කපුටන්ට"
  ඇෆ්ගන් ජාතිකයන් එසේ සිතීමේ වරදක් නැතැයි මට විටෙක සිතේ.
   ෆරීමා කාර්යාලයට පැමිණෙන්නේ ද බුර්කාවේ සිර වීගෙනය. කාර්යාල ගේට්ටුවෙන් ඇතුලට පිවිසෙන ඇය  ආරක්ෂක භටයන්ට වත් සිය මුහුණ නොපෙන්වයි. ඔවුහූ ඇගේ හැඳුනුම් පත බලා ඇයට ගේට්ටුව විවර කරති. බුර්කාවේ දැල් අතරින් පෙනෙන තෙක්මායිමේ දෑස රඳවමින් එන ඇය කාර්යාලයට පිවිසී බුර්කාව ඉවත් කරයි. 
  කාල වර්ණ මේ කුළකින් මිදුණු පූර්ණිමා සඳ ගැන මට කවියක් ලියන්නට සිතෙයි. සුදෝ සුදු හිම සේම මිදී තිබුණු මගේ කවි සිත අසල ෆරීමා සිනහ සලන්නේද වතුසුද්ද මලක් සේය.


" ගයිස්, වෙහිකල්ස් ආ රෙඩී"
   වාහන සපයන මැක්ස් බෙරි හන් දෙයි. ඔහුගේ බෙරිහන් දීම මට අමරදේවයන්ගේ සුගායනයක් තරමටම කර්ණ රසායන බවක් ගෙන දෙයි.ඒ අද අපට මට රාජකාරි නියමිත නව පළාත කාර්යාලයට යන්නට අවස්ථාව සැලසෙන නිසාය. තනිවම නොව ඇය සමගය.
      කාබුල් වලට අයත් ලෝගාර් පළාතට ඇය හැම දාමත් මා සමග යනු ඇත. ඇය පිස හමන සුළං කැරලි මගෙ සිරුරද සිප වැළඳ හමා යනු ඇත.
  මෙය තවත් එක් බොළඳ පෙම්කතාවක් සේ සිත බැහැර නොකරනු මැනවි. මගේ සිත ප්‍රේමයෙන් උන්මාද වී ඇත්ද? එසේත් නැත්නම්.....ඇය වටා ඇති කටු කොහොල් ලොවෙන් ඇයව මුදා ගෙන නිදහස් ලොවක් ඇයට පෙන්වන්නට මා තුළ පවතින අරමුනද? ඇයව බැඳ දමා ඇති සංස්කෘතික රැහැන් පටවල් සිඳ බිඳ දමා බුර්කාවෙන් එ ලොව ඇයට පෙන්වන්නට මට අවකාශ් ලැබෙනු ඇත්ද?
           මම ඉන්දියාවේ රාජේශ් සහ පිලිපීනයේ ලුවී සමග ලෝගාර් පළාත බලා යෑම සඳහා රියේ පසු පස අසුනට ගොඩ වූයෙමි. ෆරීමාට ඉදිරි අසුනට ගොඩ වෙන්නට යයිමා කීවේ ඇෆ්ගන් ගැහැණුන්ට පිටස්තර පිරිමින් සමග එකට වාඩි වීම තහනම් නිසාය. තමාගේ ස්වාමියා හෝ සහෝදරයා සමග වුව එකට, එක පෙළට වාඩිවෙන්නේ එහෙමත් කිහිප දෙනෙක් පමණි. එනිසාම නගරය පුරා දුවන කහ පාට ටැක්සි වල පසුපස 'ඩිකියේ' සිර වී යන ගැහැණුන් මට පෙනෙන්නේ සිර කාරියන් සේ මය.
                 ඇය මා සිටින වාහනයේ සිටීම වුවත් එනිස සිතට අපූරු ආශ්වාදයක් ගෙන දෙයි.  මුහුණ නොපෙණුනද ඇයගේ පිය වදන් අසන්නට ලැබීම කොතරම් සහනයක්ද? ගමනට පැය දෙක තුනක් ගත වුවද ගමන් වෙහෙස නොදැනෙනු ඇත. 


       ' සිත් මල් යායේ සිතුවිලි සමනල් රෑන් සරයි
         වතුසුදු සුවඳේ දැවටෙන පෙම් බස් ඔමරි කරයි' 


       නිතර අසන්නට, දකින්නට  ලබෙන බිම් බෝම්බ, රොකට් ප්‍රහාර සිතින් ඉගිලී ඉවත යද්දී ෆරිමා බුර්කාවේ දැල් අතරින් මා දෙස බලයි.ඇගේ නොපෙනෙන දෑස් කියවා මා පදරුත් පසිඳලන්නේ කෙළෙසද?


  "ෆරීමා ජාන්, කරුණකරල බැහැලා අනික් වාහනයට නගින්න. ඒකෙ ඔක්කොම නැෂනල් ස්ටාෆ් යන්නෙ"
  මැක්ස් 'දුෂ්ටයා' චරිතය රඟ පාන්නට හදන්නේ කාගේ උපදෙස් මතද?
         ෆරීමා කිසිදු වදනක් නොදොඩා මැක්ස්ට කීකරු වී රියෙන් ළියට පිවිසියාය. මගේ සඳ අනෙක් වාහනයට පිටත් කර යැව් මැක්ස් ඇසක් ඉඟි මරමින් මදෙස බැලුවේය. ෆරීමා නැවත හැරී බැලුවේ සිත අකැමත්ත මට කියන්නට විය යුතුය. මගේ සිතින් පටන් ගත් 
අකුණු සැර මුළු ගත පුරාම කොටා ගෙන යන්නට විය.


" මිස්ටර් සතිස්, ෂැල් අයි ටේක් ද ඩොක්‍යුමන්ට්ස් විත් මී?"               


     " නෝ, ප්‍රොබ්ලම්.......ෆරීමා"  


  ඇය යන බව දැන්වීමට සහ මගෙන් සමු ගැනීමට එසේ ඇසුවා දැයි මට සිතිණි. 
   ෆරීමා අනෙක් වාහනයට ගියත් තව පැය එක හමාරකින් මගේම කාර්යලයෙහි, මගේම මේසයෙහි මා අසල හිඳගෙන  මගේම පරිවර්ථිකාව වී  මා සමග දොඩමළු වනු ඇත. මමත්වය හොඳ නැති වුවත් මට ඉන් මිදෙන්නට නොහැකිය.


හෙට තවත් කොටසක්.....

1 ක් අදහස් දක්වලා.