Saturday, July 23, 2011

දොළ පිදේනියක් . . . !

Saturday, July 23, 2011
     අම්මලත් එක්ක නටබුන් බලන්න යද්දිත්, ගෙදරදි කාලය ගත කරද්දිත් නන්දි වෙන කවදාවත් නොපෙන්වන සෙනෙහසක් මට පෙන්නුවා. අම්මලටත් හිතට සතුටු ඇති, දෝණියැන්දට ආදරණීය ස්වාමි පුරුෂයෙක් ලැබිලා කියලා. කිසිම දවසක මත්පැන් කටේ නොතියපු කෙනෙකු වගෙ ඔහු අප්පච්චිට සැර බීම බෝතලයක් එයාලගෙ ක්ලබ් එකෙන් ගෙනැත් කන්තෝරු කාමරේ මේසෙ උඩින් තියලා, ඒ ලඟින්ම ප්‍රේමවතීට කියවල බැදපු වැව් මාලුයි, මයියොක්කා තම්බපුවයි පූජා භාණ්ඩ අඩුක් කරන තාලෙට ඇසුරුම් කළා. අප්පච්චිට දොළ පිදේනියක් . . . ! මට කරන වෙනස් කම් වලින් ගැලවෙන්ට. පව් සෝදා හරින්ට.
   කවදා හරි ඇත්ත ඉස්මතු වෙයි, රබර් බෝලෙ වගෙ ඇත්
යටට ඔබන්න පුළුවන් වේවිද සදාකාලිකවම. හැබැයි එතකොට මට මොනව වෙල තියේවි ද දන්නෙ නැහැ. මේ දවස් දෙක තුනේම නන්දි ක්ලබ් ගියෙත් නැහැ. මධු විත තොල ගෑවෙත් නැහැ. නියම බොදුණුවෙක්. මේ සිල් හැම දාම ගන්න පුළුවන් නම් මමත් වාසනාවන්ත බිරියක්. දඩබ්බරී සැර කරන්නෙ මට විතරයි, අම්මයි, අප්පච්චියි  ළඟ එයත් මුකවාඩම් බැඳ ගන්නවා.
  අප්පච්චිල යන්න හදන කොට නන්දි මෙතෙක් කල් වසන් කළ දෙයක් සියල්ලන් ඉදිරියේ නිරාවරණය කළා.
" නිවඩු පටන් ගනිද්දි මෙ
යාගෙ මාරුවත් මේ ළඟට හදල තියෙන්නෙ, අප්පච්චි. පොළොන්නරුවටම හදා ගන්න බැරි වුණා. හිඟුරක්ගොඩට තමයි හදා ගන්න පුලුවන් වුණෙ."
  " ඉතින් එතකොට දෙන්න දෙපොළෙ නේ" අම්මා අදහස් ප්‍රකාශ කළේ මුලින්ම.

" අපෝ! පැය භාගයක් වත් නැහැ නෙ මෙහෙ ඉඳල එහෙට. මෙයාට එහෙ නවතින්න පුළුවන් ප්‍රේමවතිත් එක්ක. මගෙ යාළුවෙක් ගෙයකුත් හොයල දෙන්නම් කිව්වා, ඉස්කෝලෙ ළඟින්ම."
" එතකොට පුතා මෙහෙ ඉන්නවද?"
ඒ අප්පච්චි.
" ඔව්, මගෙ නිල නිවාසෙ තියෙනව නෙ. අනික දැන් ඉන්න තත්ත්වෙ අනුව බස් වල යන්නත් බැහැ නෙ. ටික කලක් යන කොට මාරුවීමක් හදාගන්න පුළුවන් වේවි,මෙහාට"
" ඔය දෙන්නගෙ කැමැත්තක්"
අප්පච්චි වාද කළෙත් නැහැ. මා වෙනුවෙන් නීතිඥයෙකු වුණෙත් නැහැ. දෙන්නගෙ කැමැත්තක් දැන් කොහෙද? සේරම සිද්ධ වෙන්නෙ තනි කැමැත්තට. ස්වාමි  පුරුෂයාගෙ මනාපෙට. ඔය මාරුවීම ගැන මට නිකමට වත් කීවයැ, මේ වෙන කල්ම.
" ලබන සති අන්තයෙ අපි ගෙදර ගිහින් මෙයාගෙ බඩු මුට්ටු අරන් එන්නයි හිතන් ඉන්නෙ. එහෙත් ඇවිත් යන්න එන්නම් කො. මෙයාට අවශ්‍ය දේවල් එහෙත් තව ඇතිනේ.."

         සුවච කීකරු පතිනියකගෙ භූමිකාව තුළ සිරවෙමින් මම අප්පච්චිටත් අම්මටත් වැන්දෙ ඇස් වල තෙරපෙන කඳුළු හිර කර ගන්න බැරුව. ඇයි මෙහෙම ගැහැන
ණු යටහත් පත්ව පිරිමින්ගෙ අණසකට, ආධිපත්‍යයට යටත් වෙල ජීවත් වෙන්න ඕනි? ඒකද සාමකාමී පවුල් ජීවිතය විදිහට සම්මානයට පාත්‍ර වෙන්නෙ? ඒවාට එරෙහිව කතා කරන ගැහැණු අසංවර, අශීලාචාර උදවියද?
  විශ්ව විද්‍යාලයේ උන් සටන් කාමී මලිති සිල්ගත් උවැසියක සේ ඉන්නේ දෙගුරුන්ගේ ගෞරවය, කුල ගර්වය රකිනු පිණිසද? ඇය ජීවත් විය යුත්තේ තව කෙනෙකුගේ සහ ඔහුගේ පවුලේ අනෙකුත් අයගේ අභිමතයන්ට අනුකූලවද?
  ප්‍රශ්න මෙපමණකින් කෙළවර වන්නේ නැහැ. සියල්ල ලියන්නට ගිය හොත් ප්‍රශ්න වලින්ම පිරුණු ලියවිල්ලක් ඉතුරු වේවි. එනිසාම සිතට එන ප්‍රශ්න කන්දරාව හමුවේ බැම්මක් ඉදි කරන්නට සම්ප්‍රදායිකා තැත් කරනවා.
  දරුවා වෙනුවෙන් සියල්ල ඉවසා සිටියයුතු වගත් සම්ප්‍රදායිකා මට මතක් කර දුන්නා. දැන් මලිති නැහැ, මිසිස් නුගලියද්ද. යුවතියක් විදිහට නෙවේ මැතිනියක් විදිහට කටයුතු කරන්න වෙයි. මළ විකාර! තවම මගෙ වයස කීයද? මැතිනියක් නෙවෙයි, මහත්මියක් වත් වෙන්න මට ඕනි නැහැ. මම මලිතිම,
මලිතිම විරයි.
 'ඒ වුණාට ඔයා අම්ම කෙනෙක් වෙන්නයි, යන්නෙ.' ඒ පාර දඩබ්බරිත් මට ඔලොක්කු කරනවා.
  දුර ඈත තිතක් වෙලා නොපෙනී යන අප්පච්චිලා රැගත් වාහනයෙන් ඇස් ඉවතට ගත්තට පස්සෙ බලන බලන හැම තැනකම කලු තිත් පෙනෙනවා. ඔලුව කැරකෙන ගතියට මම ළඟින්ම උන්නු ප්‍රේමතීගෙ ගතට හේත්තු වුණෙ, මට මගෙ ශරීරය වාරු නැතුව යනව වගෙ දණුනු නිසා.
    

3 ක් අදහස් දක්වලා.

Sunday, May 15, 2011

ලෙඩ වෙල ඉන්නෙ ගෞතම බුදුහාමුදුරුවොද?

Sunday, May 15, 2011
කතන්දරේගෙ කතාව කියෙව්වම කමෙන්ටුවක් නොදාම බැහැ. එකක් ජය ශ්‍රී සිංහයට රඟන කොට, සිංහසීවලී හැටියට මම රඟ පෑ නිසාත්, ජය ශ්‍රී දැන් ආපහු ලංකාවට පැමිණි බව මට සරච්චන්ද්‍ර මැතිනිය ඊයෙ පෙරේදා දවසක දුර කතනයෙන් කියපු නිසාත්. මගේ බ්ලොග් එකේ  අතුරු කතාවක් ලියන්න හිතුණා.
මහාචාර්ය සරච්චන්ද්‍ර තුමා අවසාන දවස් කිහිපය කොළඹ මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ගත කරන කාලෙදි වෙච්ච දෙයක් හැටියටයි, කියැවෙන්නෙ. අපිට කතාව කිව්වෙ නම් බුද්ධදාස ගලප්පත්ති කියන කවියා.
ලලිතා මැතිනිය එතුමා ලඟ ඉන්නව. දුවල දෙන්නයි පුතයි වරින් වර එනවා, රෝහලට. ඉතින් ලොකු දුව ඇවිත්, මුර කරන නිලධාරියාගෙන් අහල තියෙනව, " මාමෙ, අපෙ තාත්තට ගොඩක් අන්තිමයි. මම ඉක්මනට ගිහින් බලල එන්නද?" කියල.
" මොකද්ද, ඔය ලමයගෙ නම?"
" කිසා ගෝතමී, මාමෙ"
" හා, හා....ඉක්මනට ගිහින් එන්න, එහෙනම්"
ටිකකට පස්සෙ දෙවෙනි දුව ආව.
ඇයත් අර විදිහටම අහුව. පෙරැත්ත කරන කොට එයා ගෙනුත් ඇහුවා, " ඔය දරුවගෙ නම මොකද්ද කියල"
" යශෝදරා" කියල ඇය කිව්වා.
තව ටිකකින් ආවෙ බාලම පුතා. දැන් සේරම ඇතුළෙ ඉඳල ඇමතුම් දෙනව මල්ලිටත් එන්න කියලා.
මල්ලිත් මුර මාම ළඟට කිට්ටු කළා.
" මාමෙ, තාත්තට හොඳටම අන්තිමයි. අක්කල දෙන්න ගියා. මමත් යන්නද" කියල අහුවා.
"ඔය ළමයගෙ නම මොකද්ද?" මුර මාමා අහපි.
" දීපංකර?
" එත කොට ඔය ලෙඩ වෙල ඉන්නෙ ගෞතම බුදුහාමුදුරුවොද? "
මුර මාමගෙ ප්‍රශ්නෙ දීපංකර මල්ලිට නම් වැටහුණේ නැහැ.

5 ක් අදහස් දක්වලා.

Sunday, April 10, 2011

පිට ගෙදරකට ආපු අමුත්තෙක්

Sunday, April 10, 2011
                  නින්දත් නොනින්දත් අතර සිහින නැති, සිතුවිලි සහිත ලෝකයක සිත ගත දෙකම පාවෙද්දි ගේට්ටුව අරින හඬ මාව හිටෙව්වා, ජනෙල් කවුළුව ළඟ. දෙබෑවෙන ගේට්ටු පලු දෙක මැද්දෙන් කොළපාට ජීප් රථය හෙමිහිට සම්ප්‍රාප්ත වෙනවා, මිදුලට.
   තිරිංග තද වෙනවා. දොරවල් ඇරෙනවා. අප්පච්චි ඉස්සරහ දොරෙනුත්, අම්මා පිටි පස්සෙ දොරකිනුත් පොළොන්නරු භූමියට පාද තබනවා. මට තවම නිදිකලං ගාතෙද? දුවන්න හිතුණට දුවන්න බයයි, පය ලිස්සලා වැටෙයි කියලා. විශාකාවක් වෙන්න නෙවෙයි, දරුවට තියෙන සෙනෙහසට.
  ජනෙල්ලෙ එල්ලිල උන්නු මලිතිගෙ සිරුර පාවෙනවා, පුළුන් රොදක් වගෙ සැහැල්ලුවෙන් අම්මා, අප්පච්චි බලන්න. ඉස්සර නම් දුවල ගිහින් වැඳල කරේ එල්ලිලා හුරතල් වෙනවා. හුරතල් නොදන්න කට්ටිය ගෘහ මූලික වෙල ඉන්නකොට හුරතල් හිත පර වෙලා හැංගිලා කොහෙදෝ නොපෙනෙන ඉසව්ව්වක. උණු උණු කියන්න බැරි තරම්, ඒත් ඇල්, ඇල් කියන තරම් ඈතක. ඔහෙ තිබුණාවෙ ඕනි තැනක.
  "සුදු මැණිකෙ, අන්න අම්මල ඇවිදින්" ප්‍රේමවතී තව පොඩ්ඩෙ
න් මගෙ ඇඟේ හැප්පෙනවා. පුදුම කලබලයක්, ගෙනාපු බඩු වාහනයෙන් ගෙට ගන්නවා.
  අම්මගෙ කකුල් දෙක ලඟ මාත් එක්කම හිතත් වැඳ වැටෙනවා.
"කෙට්ටුත් වෙලා පුතේ, ඔයා. කන්නෙ නැද්ද?" අම්මට හැම දාම මම කෙට්ටුයි.
"හා, ඇති, ඇති ඔය වැන්දා." මාව නැගිටුවන අප්පච්චි ඉස්සර වගෙම පපුවට හේත්තු කර ගෙන, නළල ඉඹිනවා.
  නන්දිට වඳින්න මතක් වුණෙ දැන්.
"ගෙට යමු, ගෙට යමු....අව්වත් සැරයි නෙ." නන්දි ඉස්සර වෙනවා.
" අම්මල උදේට කාලද?" මගේ හිතත් ප්‍රශ්නයක් අහන්න ඇවිත්.
"නෑ පුතේ, ඔයාලත් එක්කෙම තේ බොන්න හිතුවා අපි. මගදි තේ එකක් විතරක් නම් බිව්වා."
" අනේ, ප්‍රේමවතී ඉක්මණට තේ ලෑස්ති කරන්න?" මගෙ හිතට වාවන්න බැරුව කියවනවා.
"කිරි බත් එක්ක මාළු ඇඹුල් තියල් ඇති, කට්ට සම්බලයකුත් ඇති. එහෙමම මේසෙට තියන්න." අම්මා ප්‍රේමවතීට කියන්නෙ හරිම කරුණාවෙන්.
   අපි සේරම මේසෙට වාඩිවෙද්
දි මම අප්පච්චිගෙයි අම්මාගෙයි මැදින් වාඩි වෙන්න වග බලා ගත්තා. දෙන්නගෙම අතින් කිරි බත් කවාගන්න මගෙ හිතේ තවත් දොළදුකක්.
අප්පච්චිට, අම්මට කියවන්න පුළුවන් මගෙ හිත නන්දි නම් කවදාවත්ම කියවන්න ඉගෙන ගන්න එකක් නැති වෙයි. ඕනි කමකුත් නැතිවෙයි කියවන්න. ඩේලි නිව්ස් පත්තරෙන් එහාට එයාට වෙන කියවීම් අපුලයි. අමිහිරියි. අජූවයි.
   මගේ කවි සිත අවදි නොවෙන්නම නින්දට වැටිලා. මොන ඝෝෂකයෙකුට වත් බැරි වේවි, ඒ කවි සිත අවදි කරලන්න.
"සුදු මැණිකෙ, තව බෙදා ගන්න. ලොකු නෝනා කොච්චර දුර ඉඳලද හදා ගෙන ආවෙ?"
  ප්‍රේමවතීගෙ පෙරැත්තයත් එක්කම අම්මා මට බෙදනවා. අප්පච්චි මාළුත් එක්ක අනල මට කවනවා.
"මට බැංකුවට යන්න තියෙනව, හදිස්සි වැඩකට. අප්පච්චිල ඉන්නකො. මම ඉක්මණට එන්නම්"

  නන්දි නැගිට්ටෙ අපේ සමාගම රුස්සන්නෙ නැතුවද කියල දෙයියො තමයි දන්නෙ.
  " හරි පුතා, රාජ කාරිය දේව කාරිය කියල තියෙනව් නේ. මමත් තව ටිකකින් කච්චේරිය පෙත්තට යනව. පුළුවන් වුණොත් මම බැංකුවටත් ගොඩ වෙන්නම්"
අප්පච්චි තවත් කිරි බත් කුරුල්ලෙක් මගෙ කටට එබුවා.

  'එයා ගිය එක හොඳයි' දඩබ්බරීත් මැදට පනිනවා. ඒක ඇත්ත. අපට නිදහසේ ඉන්න පුළුවන්, ටික වෙලවකට හරි අපේ ගෙදර වගෙ. නන්දි ඉන්න කොට මට හිතෙන්නෙම මම පිට ගෙදරකට ආපු අමුත්තෙක් වගෙ.

4 ක් අදහස් දක්වලා.

Tuesday, March 15, 2011

අදහගන්න අමාරු වෙනස

Tuesday, March 15, 2011
        
      පොත කියවල ඉවරවුණු තැනට පරණ රීලෝඩ් කාර්ඩ් එකක් තිබ්බ, බුක් මාර්ක් එකක් විදිහට. දිගටම කියවගෙන යන්න කියලා මගෙ හිත මට බල කරන නමුත්, මට හිතුණා මගෙ අදහස් ටිකක් මේකට සම්මාදම් කළොත් අවුලක් වෙන එකක් නැහැ කියලා. 
 මොකද ? පොත මුද්‍රණය කරන කාර්ය භාරයත් මටම පැවරිල තිබෙන නිසා. එනිසා සුජී වන මම, නොහොත් මලිතිගෙ කිට්ටුම යෙහෙළියක් වන මටත්  තියෙනවා අයිතියක් ඔබලාට වගෙම; මේ පොත පොත් සාප්පු වල පිළුණු නොවී උණු උණුවෙම අලෙවි වෙන, අලෙවි කරන ක්‍රම වේදයන් ගැන හිතන්න කියල මගෙ හිට මට බල කරනවා. පසු විපරමකට වඩා පෙර විපරමක් වඩාත් කාලෝචිතයි කියල මගේ නොමේරූ සිත මට කියනවා. එනිසයි මම හිතුවෙ මගෙ අදහස් ඔබලා සමග බෙදා හදා ගෙන මලිතිගෙ නිර්මාණය වඩාත් අර්තවත් නිර්මාණයක් කරන්න. ඔබලාත් මේ සද් කටයුත්තට දායක කාරක වෙනවා නම් මම කැමතියි. මලිතිත් කැමති වෙයි.
        මලිතිගෙ පොතේ නමට නම් මගෙ එච්චර ප්‍රිය තාවයක් නැහැ. ඔබ මොනවද හිතන්නෙ? මලිතිගෙ කතාවෙ අතර මැද්දට පැන්නට කමක් නැහැ, මයෙ හිතේ. ඔබත්, මමත් අපි සේරම මලිතිගෙ පාඨකයො නිසා අඩු පාඩු පිළිබඳව මෙහෙම පොඩි පහේ සංවාදයක් ඇති වීම හොඳයි.
    පොතට නමක් හිතලා කමෙන්ට්ස් වලට දමන්න පුළුවන් නම් අගෙයි. පැවිදි වුණාට කමක් නැහැ, තව තව ලියන්න කියල මම මලිතිට කිව්වට එයා ඒක පිළි ගන්නෙ පවක් හැටියට. අතීතයේ භික්ෂූන් වහන්සේල මොන තරම් සාහිත්‍ය නිර්මාණ කළාද?
  "'කව් සිළුමි
', 'කාව්‍ය ශේකරය' වගෙ නිර්මාණ කළෙත් පැවිදි ස්වාමීන්වහන්සේලා නේ?"
  මම එහෙම කියන කොට මලිති හෙවත් අපේ තෙරණිය කිව්වෙ වෙනත් කතාවක්.
" මම තවම මේ ජීවිතයට අළුත් කෙනෙක්, සුජී. ටිකක් පහු වුණහම ගිහි වගෙම පැවිදි ජීවිතයෙත් අත් දැකීම් එකට ගොනු කරල ලියන්න පුළුවන් වේවි සමහර විට. මට ධර්මය ඉගෙන ගන්න ඕනි, සුජී. පස්සෙ ඒ ඉගෙන ගත්තු ධරම කරුණුත් අළලලා හරවත් නිර්මාණ කරන්න බැරියැ"

   "ඔයා මහණ වුණේ හිත කල කිරිලද? එහෙම නැති නම් ජීවිතය එපා වෙලාද? මට අදහගන්න බැරි වුණා, කැළණි පංසලේදි ඔයාව දැක්කම?"

   "ඔය ප්‍රශ්නෙම තමයි, සුජී හැමෝටම තියෙන්නෙ. කලකිරීමක් නැහැ, ජීවිතය ගැන මට. බුදු දහමට අනුව සසරින් මිදෙන්න නම් තවත් ගිහි ගෙයි ඉඳල වැඩක් නැහැ කියල මට හිතුණා. මට දාල යන්න බැරි කිසිවක් නැහැ, දැන්. හැම දෙයක්ම තාවකාලිකයි. ආපෝ, තේජෝ, වායො, පඨවී වලින් හැදිල තියෙන මේ හැම දෙයක්ම නිසරු, අනිත්‍යය දේවල්. ජරාවට පත් වෙනවා. ලෙඩ වෙනවා. වැහැරෙනව. ඒ සත්‍යය තේරුම් ගන්න බැහැ හුඟ දෙනෙකුට."

"සත්‍ය තේරුම් ගන්න හැම දෙනෙක්ම මහණ වෙන්න ඕනිද? සියලු දෙනාම එහෙම හිතුවොත් ලෝකය දියුණු වෙන එකක් නැහැ. ඉස්සරහට යන එකක් නැහැ."

  "භෞතිකව දියුණු වීමම විතරක් ලෝක විනාශයටත් හේතු වෙයි කියල මට හිතෙනවා, සුජී. බලන්න, ඊයෙ පෙරෙදා ජපානයට සිදුවෙච්ච දැවැන්ත භූමි කම්පාව සහ සුනාමිය. හැම අතින්ම දියුණු රටක් නේද, ඒ? වළක්වන්න පුළුවන් වුණාද මහා විද්‍යඥයන්ට ඒ විනාශය. අවම කරන්න පුළුවන් වුණත් නවත්තන්න පුළුවන්ද කාටවත්?"
"ඒක ඇත්ත . . . ඒක ඒ මිනිස්සුන්ගෙ කර්මය වෙන්නැති.."
"එහෙමත් වෙන්න පුළුවන්. උතු නියාම, කම්ම නියාම, ධම්ම නියාම කියල ධර්මයෙ ඉගැන්වෙන්නෙ ඒකම තමයි. සෘතු නියාම කියන්නෙ එක ක සෘතු වලට අනුව වෙන දේවල් . . . .මිනිස්සු ස්වභාව ධර්මයට එරෙහි වෙල කටයුතු කරන කොට එහෙම වෙනවා, සුජී. අපි පරිසරයට, ස්වභාව ධර්මයට එරෙහි වෙන කොට සොබා දහමත් අපිට එරෙහි වෙනවා. එරෙහි වෙන්නෙ ටික දෙනයි. ඒත් විනාශය එන්නෙ මහා පරිමාණිකව."
"ඒ තර්කය නම් මට පිළිගන්න බැහැ. ජපානය කොයිතරම් ඉස්සරහට ගිය රටක්ද? ධනවත්ම රටක්."
" ඔයා ධනවත්කම මනින්නෙ කොහොමද? යස ඉසුරු, මිළ මුදලින්. මම එහෙම නෙවෙයි."
" සමා වෙන්න මට. මම ඔයත් එක්ක තර්ක කරන්න හිතුවෙ නැහැ"
" කමක් නැහැ, සුජී. ඒකෙ වරදක් නැහැ. ඔයා නිතර මෙහෙ එන්න. අපිට පුළුවන් මේවා කතා කරන්න."

                   යුගයෙන් යුගය, වයසෙන් වයසට මිනිසුන්ගෙ අදහස් මති මතාන්තර වෙනස් වෙන්නෙ පුදුම විදිහට. මගේ සිත තුළ නම් එබඳු මහ වෙනසක් නොවුණට මලිති තුළ සිදුවී තිබෙන වෙනස නම් අදහගන්නත් අමාරුයි.


6 ක් අදහස් දක්වලා.