Monday, October 15, 2012

හේමන්ත උණුසුම

Monday, October 15, 2012
                 ඇෆ්ගනිස්තානය හිතෙන් අහකට දාන්නම බැරි රටක්. එහෙ ජීවත්වෙද්දි රෑට වහළ උඩින් උරුවම් බාන සද්දෙන් යන රොකට් වෙඩි හඬවල්, බෝම්බ වගෙම  වෙඩි හඬවල් මොන තරම් බිහිසුණු වුණත් එහෙ දරුවන්ගෙ, අහිංසක මිනිසුන්ගෙ අසරණ කම මතක් වෙද්දි ආපහු යන්න හිතෙනවා. දැන් එහෙට සීත කාලය පටන් ගෙන ඇති. හිමපතනයන් සිදු වෙන්නෙ නම් උඳුවප් මාසෙට. මේ වෙන කොට සයිප්‍රස් ගස් ඇරෙන්න අනෙක් හැම ගසක්ම කොළ බිමට හළලා සැහැල්ලුවෙන් ඉන්නවා ඇති. හිම වැටෙද්දි ගස් වල අතු පතර පීදෙන්නෙ හිම දලු, පිපෙන්නෙ හිම මල්. ඒවායින් සුවඳ නොදැණුනත්, නොවිහිදුණත් සීතල නම් දැනෙනවා අපූරුවට.
    පරිසරයෙත්, මග තොටත් අඩු ලුහුඬුකම් වසා දමන හේමන්තය මගෙ හිත නළවන්නෙ සුදු පලසක් එලුව වගෙ කඳු මුදුන් වල ඉඳලා පහලටම හිමෙන් වැසී යන නිසා. බොහෝ නැති බැරි උදවියට සීතලට අඳින්න කියල වෙනම ඇඳුම් ඇත්තෙත්නැහැ . මසාර් ඉ ශෙරිෆ් නගරයේ නිල් පල්ලිය ලඟ වටේට
ඉටි රෙදි වලින් සිය සිරුරු ආවරණය කර ගෙන සිඟමන් යදි අකාරය මට කාර්යාලයට යන අතර තුර පෙණුනා. අපි සීතලට අඳින ඇන්දුම් ඇඳ ගෙන අත් මේස් පවා දමාගෙන, ඒ මදිවට වාහනයෙ උණුසුම් ජනක යන්ත්‍රත් කියාත්මක කර ගෙන. එහෙම තියා ගෙනත් සමහරුන් හිම පතනයටයි, සීතලටයි දෙස් දෙවොල් තියමින් ආඩපාලි කියනවා, නොරිස්සුමෙන්.
  ඔය අතරෙ එක්කෙනෙක් දෙසැම්බර් මාසෙ උපන් දින තියෙන අයගෙ නම් ලැයිස්තුවක් හදනව. එතකොටයි, මටත් මතක් වුනෙ මගෙ උපන් දිනයත් එම
මාසෙම බව.
     මගෙ උපන් දිනයට මගෙ අම්මව සිහි කරල දානයක් දෙනව, මම මොන රටක  හිටියත්. මම හොඳින් ඉන්නෙ මගෙ අම්මා නිසා. ඇයටත්, අප්පච්චිටත්  පින් සිදු වන්නට මම අද මගේම දෙපයින් නැගිටලා ස්වාධීනව ඉන්නවා.මේ දන්දීම මා වෙනුවෙන් කළ සියලු කැප කිරීම් හා පරිත්‍යාගයන් වෙනුව්න් කෘත ගුණ දැක්වීමක්.
        නිල් පල්ලිය වටා සී
ලෙන් ගැහෙමින් ඉන්න අයට උණුසුම් ඇඳුම් අරන් දීම සුදුසුම දානයක් කියල මට හිතුණා. ඒ බව මම මුලින්ම කිව්වෙ මගෙ භාෂා පරිවර්තිකාවට. ඊට පස්සෙ රියැදුරාට. ඔවුන් දෙදෙනාම මේ බව ඇසූ සැණින් විමතියට පත් වුණා. ඒ වගෙ සිරිත් එහෙ හරිම දුලබයි. මුදල් හදල් යහමින් තියෙන, අත මිට සරු අයවත් එහෙම කරන පුරුද්දක් එහෙ නැහැ. " එතකොට පාටියක් දමන්නෙ නැද්ද?" භාෂා පරිවර්තිකාව මගෙන් ඇහුවා. " තියෙන අයට කන්න බොන්න දෙනවට වඩා සීතලෙන් ගැහෙන මේ මිනිස්සුන්ට උණුසුමක් දෙන එක වැදගත් නේද?" ඇගේ ප්‍රශ්නයට ප්‍රශ්නයකින්ම ලැබුණු පිළිතුරට ඇගෙන් මද සිනහවක්.
   උපන් දිනයට කලින් දවසෙ අපි වෙළඳ පොළට ගිහින් මේ ඇඳුම් මිළට ගත්තා. උපන් දිනය දවසෙ දවල් ක්ෂේත්‍ර චාරිකවක් යන අතරෙ නිල් පල්ලිය ලඟ වාහනය නවත්තලා උණුසුම් ඇඳුම් බෙදන්න පටන් ගත්තා. එතැන ඉඳගෙන හිටි අය විතරක් නෙවෙයි, අහල පහළ වෙළඳම් කර මින් හිටි තොරොම්බල් කාරයො වාහනයත්, අපිව්ත් වට කර ගත්තා. එත්කොටම රියැදුරා වාහනයෙ දොරක් ඇරල මට නගින්න කිව්වා. මමත්, භාශා පර්‍රිවර්තිකාවත් වාහනයට නැගල දොරවල් වහ ගත්ත. අපි ගියෙ ආයතනික වාහනයෙ නිසා ඔවුන් හිතල තියෙන්නෙ, ජග
ත්  සංවිධානයෙන් මේ ඇඳුම් බෙදා හරින්න ඇවිත් කියලා. අපි ඇඳුම් අර ගෙන ගියෙ තිස් දෙනෙකුට විතර සෑහෙන්නයි. ඒ සියල්ලම අපිට සුදුසුම අයට දීගන්න පුළුවන් වුණු එකත් ලොකු දෙයක්. ඒ ක්‍රියාඑන් යම් කිසි පිනක් සිදු වුණා නම් ඒ පින් සියල්ලම අපෙ අම්මට අනුමොදන් විය යුතු යයි කියල මම සිතින් කිහිප වාරයක්ම පුණ්‍යානුමෝදනාවක් කළා.
    අම්මා ඉන්න කාලෙත් ලෙඩ්ඩුන්ට, නැති බැරි අයට මේ වගෙ උදව් කරන්නෙ හරිම උනන්දුවකින්. අප්පච්චිත් එහෙමයි. ඒ ගතිගුණ දෙමපියන්ගෙ උරුමෙන් මට ලැබුණු එක ගැන හිතට දැනෙන්නෙ අප්‍රමාසතුටක්.

දෙදහස් දොලහෙත් දෙසැමබරය දැන් පේන තෙක් මානයට ඇවිත් එබිකම් කරනවා. දනක් පිනක් කර ගන්න කැමති අයත් එක්ක එකතු වෙලා සසර කෙටි කරගන්න යහපත් යමක් කරන්නට අවස්ථාවක් ලැබෙයි කියල හිතෙන් හිතා ගෙන ගෙවෙන දවස් එක්ක ඉදිරියට යනව.

2 ක් අදහස් දක්වලා.

Wednesday, June 27, 2012

ගලා හැලෙන වැහි වතුර වගේ නුඹ . . . .

Wednesday, June 27, 2012

                             කිසිම කමකට නැතුව වහින වැස්සට සමහරු දෙස් තිබ්බට අපේම රටේ උදවිය වැස්ස නැතුව අහසට හූල්ලනවා. වැව් පිරෙන්න වැසි වසීවා! කියල මම හැම තිස්සෙම කියනවා. අපට බත් දෙන්න පොළවත් එක්ක හැප්පෙන ගොවියන්ට ඉරි තැලුණු පොළව දිහා බලා ඉන්න බැරුව අහසටම දෑස් යොමා ගෙන. 

  නන්දක්කගෙ ගීතයක් මතක් වෙනවා.

 'වැස්ස වළාහක දෙවියනි, දිවැස් හෙළනු මැන'

                        වැසි වනාන්තර රැක ගන්න ඕනි අපි හැමෝම එකතුවෙලා. ඒ වගෙම වන දහනත් රැක ගන්න එක අපි හැමෝගෙම යුතුකමක්. අපේ රටේ 'සිංහරාජය' ගැන මම කලින් සටහනෙත් සඳහනක් කළා. ඒකෙ ඌණ පූරයක් කරන්න අවශ්‍යයි. මේ වන දහන ලංකාවේ සබරගමුව, දකුණ වගෙම බස්නාහිර පළාත් සේරම මායිම් කරල නිර්මාය කර තිබෙන්නෙ රටේ වැඩි පිරිසකට මේ අපූරු ඔසු උයනින් ප්‍රයෝජන ගත හැකි වන ආකාරයට. මෙහි නිර්මාතෘ වරයා ලෙස පොත පතෙහි දක්වෙන්නේ හෙළයේ මහ වෙදැදුරෙකු ලෙස සලකන රාවණ රජතුමායි.

  මෙයට පිවිසෙන්නට වඩාත්ම පහසු මග, කලවාන-වැද්දාගල මාර්ගය සේ කිව හැකි අතර මෙය කොළඹ සිට නම් කිලෝ මීටර් 154 ක දුරක් ගෙවා යා යුතුයි. මේ ඔසු උයනේ වපසරිය හෙක්ටයාර් 160 පමණ වෙනවා.
   ලංකාවේ ප්‍රධාන ගංගා දෙකක් වන කළු ගඟත්, ගිං ගඟත් පටන් ගන්නේ මේ වන පෙතේ, දිය උල්පත් වලින් කියලත් පිළිගත් මතයක්. අපේ රටේ පහත රට තෙත් කලාපයට අයිති ශාක වර්ග 60% ක් විතර මෙම අඩවියේ තිබෙන අතර ඒවායිනුත් 90%ක් විතරම මේ ඔසු උයනටම ආවේණික ශාක ලෙස ජීව විද්‍යාඥයින් පවසනවා. ඒ විතරක් නෙවෙයි, ලංකාවේ දිවි ගෙවන පක්ෂි වර්ග 384න් 144 කුත් මේ සිංහරාජ අඩවියෙ වෙසෙන බව සොයා ගෙන තිබෙනවා. ඒ බිම් ප්‍රදේශ වලට විතරක්ම ආවෙණික උරග වර්ග 96 කුත්, සමනල වර්ග 40 කුත් මදුරු වර්ග 36 කුත් එහි සිටින බවට වර්තමාන පර්යේෂණ වලින් ඔප්පු වී තිබෙනවා. එපමනක් නෙවෙයි, දුර්ලභ ඝ්හණයේ උඩ්වැඩියා මල් වර්ග 170ක් පමණ තිබීමත් එහි සොඳුරු බව වැඩි කරනවා.

   එක්සත් ජාතීන්ගේ  සංවිධානයේ 'යුනෙස්කෝ' මගින් වැසි වනාන්තරයක් ලෙසට 1976 දී හඳුනා ගත් අතර සම්පත් ආරක්ෂණයක් ලෙසට ද ප්‍රකාශයට පත් කරනු ලැබුවා. 

  මේ අනගි ඔසු උයන රාවණ රජතුමාගේ අප්‍රතිහත ධෛර්යය නිසා නිමැවුණු බව පුස්කොළ පොත් වල සටහන්ව තිබුණත් සමහරෙක් එය ස්වභාවික ඔසු උයනක් ලෙසට සඳහන් කරනවා.
      
   'සිංහරාජය' ගැන එන ජනප්‍රවාද බොහොමයක් තිබෙනවා. 'පුෂ්පික' කියන ගුවන් යානයෙන්  රාවණ රජු සීතාව කැටුව මෙ ඔසු උයන නැරඹීමට පැමිණි බවත්, ඔහුගේ සොහොයුරා වන කුම්භකර් මෙම උයන භාරව සිටි බවත් ඒ ජන ප්‍රවාදයන්. ඒ වගෙම කුම්භකර් භාවනා කළ ස්ථානය, 'කුම්භ ගල' ලෙසත් තවමත් ව්‍යවහාරයේ පවතිනවා.

  වැස්ස ගැන කියන්න ඇවිත් අපේ රටේ සම්පතක් ගැන මතක් කරන්න ලැබුණු එක යහපත් කියල මට නං හිතෙනවා. වැස්ස එන්න ඉස්සර වැස්සක පෙර නිමිති කියන්නෙ වැහි ලේන්නු කියල පුංචි කාලෙ අහල තිබුණා. වැහි ලේන්නු කිව්වට ඒ වැහි ලිහිණියො . . කුරුල්ලො... කෑඳැත්තාත් වැස්සට හොට අල්ලගෙන ඉන්නවලු, වැහි වතුර ටිකක් කටට වැටෙන කල්.

' වැස්ස වසින්නට ඉස්සර අහසේ වළාකුළින් විදුලිය කෙටුවා, තුන් දවසක් අමනාපෙන් සිටි කලු නෝක්කඩු බැල්මෙන් බැලුවා'
'ගලා හැලෙන වැහි වතුර වගේ නුඹ , හිනාවෙයන් කළු හිනා වෙයන්'
  අමරදේව මාස්ටර්ගෙ කවදාවත් රස නොසිඳෙන සින්දු හිතෙන් දුරකට යන්නෙම නැහැ.
  ළඟදි තිබුණු 'පැණි වළලු' හැන්දෑව බලන්න ගියපු වෙලාවෙ, ඒ වැඩසටහනට කොහෙත්ම ගැල පෙන්නෙ නැති සින්දු අතර ඉරාජ් නම් වූ ගායකයගෙත්  සින්දුවක් සජීවීව අහන්න සලස්වල තිබුණා. ගීතමය හෝ කාව්‍යමය ගුණය අහලකින් වත් නොගෑවුණු, පුහ්! පුහ්! කියන ඒ විකාර, ගීත කියල සමහරු හඳුන්වන කොටත්, එවැනි ගීත නොවන අනුකරණ දේවල් දකින කොට හා අහන කොටත් අපේ සංගීත ක්ෂේත්‍රය වැසි නැති මහ ඉඩෝරයකට අහු වෙලා විනාශ වී යාවිය කියන බිය අපි හුඟ දෙනෙකුට දැණුනු බව නම් තැනින් තැන කෙරුණු පසු විපරම් වලදි හෙළිදව් වූ බවත් සටහන් කරන්නෙ, වේදනාවෙන්.

4 ක් අදහස් දක්වලා.

Saturday, June 23, 2012

වස්සාන ප්‍රීතිය

Saturday, June 23, 2012
                   වැස්ස මේ දවස් වල වහින්නෙ මහ පුදුමාකාර විදිහට.මේ වහිනවා, ලවක් දෙවක් නැතුව. තව ටිකකින් ආයෙමත් තදට ඉර අව්ව. පුංචි කාලෙ නම් කියන්නෙ අව්වයි, වැස්සයි නරියගෙ මගුලයි කියලා. කවුරු හරි කසාද බඳින දවසට වැස්සම කියන්නෙ ගම් පළාත්වල මනමාලි පොල් බීන්දින කොට හිල් පොල් කට්ටෙන් පොල් වතුර බීල තියෙන නිසයි එහෙම වහින්නෙ කියලා.
    ඔන්න ඒ පාර විදුලිකොටනව, ගොරවනව, ඒත් ඒතරම් තදේට නෙවෙයි. මෙහෙට වහිනව වුණාට රජරට පැත්තට වැහි පොදක් වැටෙන්නෙ නැති තරමට කාෂ්ඨකේ කියල රූපවාහිණී ප්‍රවෘත්ති වලින් කියැවෙනවා. පහුගිය මාසේ ඉහින් කණින් දහදිය උතුරන්න පෑව්වා. ඇහි පිල්ලම් වලිනුත් දහදිය බිංදු කම්මුලේ ඉස්සෙච්ච කෑල්ලට වැටෙද්දි 'මෙහෙමත් දහදිය දැමිල්ලක්' කියල කාටත් කියැවෙන්න ඇති. ඒ රස්නෙ දැන් ඇබින්දක් අඩුයි, වැස්ස නිසා. 
 
අපි පුංචි කාලෙ, වහිද්දි වැහි වතුර වැටෙන පීල්ලට ඔලුව අල්ලලා නාන්න අපි හරිම ආසයි. එතකොට අපි හැමදාම නාන්නෙ නැහැ. නාන දවස් සෙනසුරාදා සහ ඉරිදා. අපෙ අම්ම කියනව අඟහරුවාදාටයි, සිකුරාදටයි නාන්න හොන්ද නැහැ කියලා. අම්ම කියන්නෙ  දවස් වල නෑවහම පුතලට හොඳ නැහැලු. ඒ ගොල්ලො ලෙඩ වෙනවලෞ. කෙල්ලන්ගෙන් ගෙන් නම් අම්මලාට අඵල නැහැ මොනම දවසක නෑවත් කියල මම අපේ මල්ලිලාට ඇහෙන්න කියනවා. ඒ වුණාට අම්මා අපිට වඩා පුතාලට ආදරේ වැඩියි කියල මට නං වෙලාවකට හිතුණා. එහෙම පුංචි කාලෙ විතරයි. මොකද මගෙ දුකේදිත් සැපෑඉදිත් අම්මා හෙවනැල්ල වගෙ මගෙ ළඟින් හිටියා, අපෙන් සදහටම සමු ගෙන යන කල්. කොහොමින් හරි වහින දාට අම්මගෙන් හරි පුංචි ගෙන් හරි අහන්නෙ නැතුවම අපි ඉස්සරහ ඉස්තෝප්පුවෙ දෙපැත්තෙන් වැටෙන වැහි පීලි දෙකෙන්ම නාගන්නව. ලොකු මල්ලි එකක, මම එකක. ගෙදර ඉන්න අවෂේශ අයත් අපිට එකතු වෙනවා. නන්දක්ක, කුසුම නැන්දා, අනුලක්කා  ... මේ අය අපට නාදෑයන් වන අය. ඒ ගොල්ලො කැමතියි, අපේ ගෙදර ඇවිත් ඉන්න. අපි වස්සාන ප්‍රීතිය විඳින්නෙ එහෙමයි, පුංචි කාලෙ. පොත් වල කොළ ඉවරයි, බෝට්ටු හදල. මිදුලෙ වතුරෙ පිරිච්ච තැන්වලට වැස්සෙම ගිහින් කඩදාසි බෝට්ටු දමනවා. කාණු වලටත් කඩදාසි බෝට්ටු දමල ඈතට ආතට ගිහින් නොපෙනී යන කල් බලා ඉන්නව. පුන්චි කාලේ වස්සන ප්‍රීතියයි, ලොකු වුනහම
වස්සාන ප්‍රීතියයි මොන තරම් වෙනස්ද?

     මගෙ ලේඛිකා යෙහෙළියක් මට දවසක් ඊ මේල් එකක් එව්වා, වස්සාන ප්‍රීතිය ගැන. එතකොට මම හිටියෙ ඇෆ්ඝනිස්තානෙ. එහෙට වහින්නෙම නැහැ. දැන් එහෙට වහිනවද දන්නෙත් නැහැ. මොකද ඉස්සර වහින්නෙ නහැ කියල කියන ඩුබායි වල මම හිටිය එක දවසක පාරවල් පිරිල උතුරන්න වැස්සා. මගෙ මිතුරිය ලිව්වෙ හොඳටම කළු කරල වහින වෙලාවට ප්‍රේම කරන්න අවස්ථාවක් ලැබෙනව නම් ඉස්තරම් කියල. ඇරපු ජනෙල් වලින් එන හිරිකඩ ඇඟේ පතේ තැවරෙන කොට හිරිගඩු පිපිලා සියොලඟම හිරි වැටී යද්දි ආදරවන්තයට තුරුළු වෙලා ඇස් පියාගෙන ඉන්න ඇය හරිම ආසලු. ඒ ලියුමෙ ශෘංගාරය උතුරනවා.
     මට මතක් වුණේ එහෙට එහෙම ඒ වගෙ වැස්සක් ආවොත්  මොන
වස්සාන ප්‍රීතියක්ද කියලා. මැටි ගෙවල් වල ඉන්න මිනිස්සුන්ගෙ ජීවිතවලට මොන කලක් යාවිද? එහෙ මැටි ගෙවල් වල වහලත් මැටියෙන්, උලු හෝ ටකරං හෝ හෙවිලි කරල තියෙන්නෙ ගෙවල් කිහිපයක විතරයි. බහුතරයක් ජීවත් වෙන්නෙ මැටි ගෙවල් වල. හේමන්තයට මැටි වහලවල් වලට හිම වැටෙනව. සුදට සුදේ හිම තට්ටු තට්ටු මැටි වහලේ සනීපෙටසැතපිලා ඉන්නව කිටිකිටියේ එකට ළං වෙල, තද සීතලට තවත් ටිකක් ඇලවිලාම හිටියොත් හොඳයි කියලා. හිම කැටිවලට තේරෙන්නෙ නැහැ, එහෙම පැය ගාණක් හිටියොත් මැටි මොළොක් වෙලා කඩා ගෙන වැටෙයි කියල. හැබැයි මේ කාරණේ පරම්පරා ගණනක අත් දැකීමෙන් දන්න ඇෆ්ඝන් මිනිස්සු ඉක්මණට වහලෙට නැගල සවල් වලින් මේ හිම තට්ටු පොළවට ඇදල දමනව.
   වැස්ස ගැන කියන්න පටන් ගත්තට දැන් හිම දක්වා කතාව විහිදිලා. වැස්සත් හිමෙත් ඒ හැටි වෙනසක් නැහැ නෙ. වතුර වලම ස්වභාවයන් දෙකක්.
සෙන්ටිග්‍රේඩ් අංශක 100 දි වතුර උතුරල වාෂ්ප බවට පත්වෙනව. සෙන්ටිග්‍රේඩ්  සෘණ අංශක  වලදි  වතුර මිදිලා හිම බවට පත් වෙනවා. භෞතික විද්‍යා පාඩමේදී මුලින්ම ඉගෙන ගත්තු හිමාංකය, තාපාංකය මතකයට එනවා.
                 සමහර මිනිස්සුන්ගේ සිත් හැම තිස්සේම හිමාංකයේ පවතින්නෙ. තරහ යන්නෙ නැහැ. ද්වේෂ කරන්නෙ නැහැ. වෛර කරන්නෙ නැහැ. ඒත් තවත් සමහරෙකුගෙ සිත් හැම තිස්සෙම තියෙන්නෙ තාපාංකයෙ. උතුර උතුර, පැසව පැසව, අනුන් කෙරෙහි කෝපයෙන්, ඊර්ෂ්‍යාවෙන්....ඒ අයට කියන්නෙ කිසිම තෙතමනයක්
නැති මිනිස්සු කියලා. අනුන් ගෙ දුකට උණු වෙන්නෙ නැති හිත්. ඒ හිත්වල රුධිරයත් රත් වෙලා කැකෑරෙනව ඇති. ඒ අයගෙ රුධිර පීඩනය වැඩි ඇති හැම තිස්සෙම. සමහරුන්ට රුධිර පීඩනය පාලනය කරන බෙහෙත් වලටවත් 'ප්‍රෙෂර්' අඩු වෙන්නෙ නැහැ. සමහරු ප්‍රෙෂර් පෙත්ත ත්තෙ නැති වුණහම බොහොම කලබල වෙනවා. අපි නම් ඒකට කියන්නෙ 'ප්ලෙෂර්' පෙත්ත කියලා.
 
           වැස්ස යාන්තම් පෑව්වා විතරයි, පුංචි ළමයි කට්ටියක් ඇවිත් පිට්ටනියට සෙල්ලම් කරන්න. ඔන්චිල්ලාවල වතුර පිරිලා, ඉ
ගන්න බැරි  තරමට. 'සී සෝ' වල පහළට වැටිල තියෙන කෑලි වලත් වතුර. දරුවන් බොහොම සීරුවෙන් වතුර අයින් කරනවා. වැස්සක් කරල තියෙන දේවල්?
     වැස්සට සම්බන්ධ වනාන්තරත් තියෙනව. ඒ වැසි වනාන්තර. කිසියම් වන්නතරයක් වැසි වනාන්තරයක් වෙන්නෙ, වසරකට මිලි මීටර් 1750-2000 ක  වර්ෂාපතනයක් තිබුණොත් විතරයි. අඟල් වලින් නම් 68-78 ක්. ඒක තමයි ප්‍රමිතිය. මේ වනාන්තර ලෝකයේ තිබෙන විශාලතම ස්වභාවික ඔසු සැල්. ඒ තරමට ස්වභාවික ඖෂ
වලින් පිරිලා. ඒ විතරක්ද? ජෛව විවිධත්වය  . .. කුරුල්ලන් වර්ග, කෘමීන් වර්ග හා සත්ව වර්ග වගෙම ගස් කොළන්, පැලෑටි වර්ග . . . මේවා රැක ගැනීම අප හැමෝගෙම යුතුකමක්. 



අපේ රටෙත් 'සිංහරාජ' වනය විශාල සම්පතක් අපට. ඒත් 'සිංහරාජ' වගෙ වන දහනවලට ගිහින් ලී ජාවාරම් කරන මිනිසුන් වුණත් මට හිතෙන්නෙ අර කලින් කිව් හිතේ කිසිම තෙතමනයක් නැති මිනිස්සු කියලා. හිත් පිත් නැතුව ගස් බිම පෙරලලා කරන වන විනාශයෙන් අපේ අනාගත දරුවන්ග්ට බොන්ඩ තියෙන වතුර පොද නේද මේ විනාශ කරන්නෙ කියල හිතන්න බරි තරම් රුපියල් සත ඒ මොළ ගෙඩිවලට ලොකු වෙලා. ගහ කොළ වලට, සතා සීපාවට ආදරේ කළා, අපේ මුතුන් මිත්තො. ඉතාම ඈත යුග වල ඔවුන් ගස්, ගල් වලට නමස්කාර කළා. පුද පූජා පැවැත්වුවා. ඒකට සමහරු හිනා වුණත් තමන්ට කන්න අඳින්න දෙන, රැක බලා ගන්න ගස්, ගල්, ඉර, හඳට වැන්ද එකෙන් මට නම් පෙනෙන්නෙ ඔවුන් කළ ගුණ සැලකීම පුරුදු පුහුණු කළා කියලයි. ඒක උතුම් මනුෂ්‍ය ගුනාංගයක්. ඔවුන්ගේ ඒ යහපත් ක්‍රියා නිසා අද අපිට මේ විදියට සතුටින් ඉන්න ලෝකයක් තියෙනව. වතුර තියෙනවා. ඒත් අපෙන් පස්සෙ පරම්පරා ගණනාවකට මොනවගෙ ජීවිතවලට මුහුණ දෙන්න වෙයිද, වතුර නැතුව?

7 ක් අදහස් දක්වලා.

Monday, April 16, 2012

සින්දු හා බණ

Monday, April 16, 2012
අද ලියන කතාව එතරම් වැදගත් නැහැ කියල හිතෙයි, සමහරෙකුට. ඒ වුණත් මට ඒක දැනුණු දෙයක් නිසා සටහන් කරන්න හිතුණා, මගෙ බ්ලොග් අඩ්වියෙ.

ඔහු අපේ කිට්ටුවර ඥාතියෙක්. ඔහුට පාකින්සන් රෝගය වැළඳි ඇවිදින්න කරන්න බැරුවයි හිටියෙ. බොහොම අමාරුවෙන් ඔහු ඇවිද්දෙ. එක කකුලක් තියල අනෙක් කකුල ඉදිරියට ගන්න අමතක වෙනවා. එතකොට ළඟ ඉන්න කෙනෙක් ඔහුගෙ කකුලට තට්ටු කරලා මතක් කරල දෙන්න ඕනි එය ඉස්සරහට තබන්න කියලා. වෙලාවකට අතීතයෙ දේවල් අගේට මතක් වෙනවා. එම වෙලාවෙම සිදුවෙන දේවල් අමතකයි. දරුවො, නෑදෑයන් පමණක් නෙවෙයි, බිරිඳව පවා අමතක වෙනවා. මේ මෑත කාලයෙදි ඔය වගෙයි තත්වය. දැනට අවුරුදු දෙකකට පමණ පෙරදි සිදුවූ දෙයක් තමයි මගෙ කතාවට තේමා වෙන්නෙ.

දවසක් මේ ඥාතියාගෙ ගෙදර කට්ටිය දුර බැහැර තියෙන ආරණ්‍යයකට දානයක් දෙන්න යන්න තිබෙන නිසා මගෙන් අහුවා, ඔහුව බලා ගන්න එන්න පුළුවන්ද කියලා. ඔහුව බලා කියා ගන්න උපස්ථායකයෙකු හිටිය නමුත් වෙලාවට කෑම ටික දෙන්න සහ උපස්ථායකයාටත් විවේක දිය යුතු නිසා. මම මුළු හිතින්ම එයට එකඟ වුණා.

මම ගිහින් පැය භාගයකට පසුව තමයි, ගෙදර කට්ටිය ගමන පිතත් වුණෙ. ඒ වනවිටත් ලෙඩාව ආලින්දයට ගෙනැත් රූපවහිනිය ඉදිරිපිට වාඩිකරවල තිබුණා. ධර්ම දේශනයක් විකාශනය වෙමින් තිබුණා.  ඒත් ඔහුගෙ ඇස් හෝ සිත ඒ දෙසට යොමුව තිබුණෙ නැහැ. ඔහු මා සමග කතා කරන්නට උත්සාහ ගත්තා.

"දුව දැන් කොහෙද ඉන්නෙ? අද මේ අය කොහෙද ඔය ගියෙ?"

මම ඒ ප්‍රශ්න වලට උත්තර දෙමින් අතීතය ගැන කතා කළා.
" මාමා ඉස්සර හින්දි චිත්‍රපට හරියට බලනව නේද? ඒක නේද පුතාල දෙන්නටයි, දුවටයි නළු නිළියන්ගෙ නම් දැම්මෙ? ලොකු අයියා දිලිප්, පොඩි අයියා මනෝජ් ...නංගි නිම්මි ...."
" ඔව්, දුවේ...මං ගාව තවමත් ඒ සින්දු රෙකොර්ඩ්
තියෙනව. දැන් තියෙන සී ඩී වගෙ නෙවෙයි, ඒවා ලොකු තැටි. දුවට ඕනිනම් මම ඒවා දෙන්නම්. මේ කට්ටිය ඒව අහන්නෙ නැහැ නෙ."

" මාමා තවමත් ආසද හින්දි සින්දු අහන්න?"
" නැතුව, නැතුව... ඒත් දැන් ඉතින් කොහොම අහන්නද? මෙඔ ගොල්ලො හැම තිස්සෙම බණ නේ දානෙ. පැය විසිහතරෙම බණ අහන්න පුළුවන්ද දුවෙ?"

මාමා එසේ කියන අතරෙදි මම රිමෝට්ය අරගෙන බණ චැනලය හින්දි චැනලයකට මාරු කළා. ඒ වෙලාවෙ මොකද්දෝ වෙලවකට තිබුණෙ පැරැණි චිත්‍රපට ගී.

නිම්මි හා දිලිප් කුමාර රඟන 'මධුමතී' චිත්‍රපටයෙ ගීයක්. ඔහුගෙ  මුහුණ පුරා මල් පිපෙනව වගෙ සතුට පිපෙනවා මම දැක්කා. හිතේ ගතේ තිබුණු ආලි මෑලි දුබල ගතිය වෙනුවට ප්‍රබෝධ ගතියක් ඇතිවුණා. ගීයෙ තාලයට පුටු ඇන්දට අතින් තට්ටු කරමින් ඔහු ඔලුවද තාලයට සොලවන්න වුණා.

" මාමේ, තේ එකක් ගේන්නද?"
" ඔව් දුවේ, කන්න මොනව හරිත් ගෙනෙන්න. හුඟ කාලෙකින් ලස්සන සින්දුවක් අහනවා. දුවට පිං සිද්ධවෙනවා මේ කළ උදව්වට"

" හොඳයි, මාමෙ ....දානෙට හදපු අළුවා වගයක් තියෙනවා. ඒවත් එක්ක මම තේ හදන් එන්නං"

අළුවා කෑලි දෙකක්ම කා තේ කෝප්පය බීව ඔහු එම වැඩ සටහන් ඉතා හොඳින් රස වින්දා.

" දුවේ, නිවාඩු තියෙන වෙලාවට නිතර මෙහෙ එන්න. මම ලෙඩෙක් වුණාට තවම සසර කල කිරිලා නැහැ. සින්දු අහන්න ආසයි. සතුටෙන් ඉන්න ආසයි. හුඟ දෙනෙකුට ඒක තේරුම් ගන්න බැහැ නෙ"

"එක එක අය හිතන්නෙ එක එක විදිහට නෙ, මාමෙ. මම අනෙක් අයටත් කියන්නන් කො, මාම අද ආසාවෙන්  සින්දු  ඇහුවා කියා"

" අපෝ, අපෝ, කියන්න එපා. වයසට ගියහම සින්දු අහන එක පවක් කියල තමයි, ඒ අය හිතන්නෙ. දුව ආපු දාකට සින්දු අහමු"

දැන් මේ මාමණ්ඩිය අසාධ්‍ය තත්වයකයි ඉන්නෙ. වයසත් අසූව පැනැලා. මා ළඟදිත් ඔහුව බලන්නට ගිය නමුත් ඔහුට දැන් මා කවුදැයි හඳුනා ගත නොහැකි තරමට සිහිය දුර්වල වෙලා.

කෙසේ වෙතත් ඔහුට නිරෝගි සුව හා දීර්ඝායු පතමින් මේ සටහන අවසන් කරන්නම්.


.



8 ක් අදහස් දක්වලා.