Thursday, September 3, 2009

ගන්ධබ්බ අවදිය

Thursday, September 3, 2009
ලොකු අප්පච්චිලගෙ ගෙදර එද්දි ලොකු අම්ම අපිට කන්න ඉදිආප්ප හදල තිබුණා. මම කැමති තිබ්බටු පොල් මැල්ලුමත් තිබුණා. මට බඩ ගින්නක් තිබුණෙත් නෑ, දවල් බත් ගොඩක් කාපු නිසා...ඒකද..? එහෙමත් නැත්නම් වෙන හේතුවක්ද? නිදාගන්න ඉස්සර ඇඟ හෝදන්න ගියහම තමයි මම දැක්කෙ, තරිඳුගෙ ලේන්සුව. මගෙ ලැමතුරේ තිබිල බිමට වැටුණ.
එයා ඒක මට දුන්න වෙලාවෙ මම දැක්කෙ නැහැ, ඒක මොන පාටද කියලවත්. ලානිල් පාට සුදු කොටු වැටිච්ච ලේන්සුවක්. අප්පච්චිගෙ ලේන්සු සෝදල මැදල දෙන සිරිතක් මගෙ තිබුණා. මට එක පාරටම මතක් වුණෙ අප්පච්චිගෙ ලේන්සු. මට නොදැනුවත්වම මගෙ අතේ තිබුණු ලේන්සුව මගෙ නැහැ පුඩු අතරට ළං වුණා.
සැවැන්දරා සුවඳමත් නෙවේ...ඊට හුරු විලවුන් වර්ගයක සුවඳක්...හිත බැඳෙන සුවඳක් වුණත් හිතේ අටවල තියෙන වැට කඩුළු සීමා බිඳගෙන යන්න එපා කියලා හදවතේ එක කෝෂිකාවක් අනතුරු අඟවනවා. කර්ණිකා දරන්නෙ ඊට වෙනස් මතයක් වගේ.  
කොළඹට වඩා සීතල නිසා හොඳට පොරෝණයක් ඇතුළට වෙලා ගුලි වෙලා නිදා ගත්ත...පුරුද්දට උදේ පහට ඇහැරුණා. උයන ගෙය පැත්තෙන් එන සුවඳ ඒ පැත්තට මගෙ දෙපා යොමු කළා.
"දූලට කිරි අහර ටිකක් හැදුවා මාළිගාවට පූජා කරන්න. උදෙන්ම යනව නේ. ඔන්න ලොකු අප්පච්චි ගිහින් බස්සන්නම් කීවා."
කිරි අහර වල සුවඳ මාලිගාවෙ ශාන්ත පරිසරය මතක් කර දෙනවා. ළඟ පන්සලේ උදේ තේවාව ඇහෙනවා. ගමක තියෙන සුන්දරත්වය හිත නිවන්නෙ පුදුමාකාර විදිහට. ඔක්කොම දඟලන සිතුවිලි එක තැනකට ගෙනැල්ලා සන්සුන් කරනවා.
අපි යන්න කියලා එළියට බහින කොටම අමිලයි, තරිඳුයි හිනා වෙවී එනව. මේ ගොල්ලො මට නොකියා ඊයෙ රෑ කතා කර ගෙනද කොහෙද? මම කිරි අහර බඳුන දෑතින්ම දරාගෙන ඉස්සර වුණා. තරිඳු මල් අර ගෙන ඇවිත්. ලොකු අප්පච්චි අපිව මාළිගාව ලඟ බස්සගෙන ගියා. රුවිනිගෙ අක්කා ආවෙ නැහැ, පාඩම් කරන්න තියෙනව කියලා. අපි පස්දෙනාම එක පේලියට ඉදිරියට ඇදුණ. හැමෝම තම තමන්ගෙ ලෝකවල තනිවෙලා වගෙ. මම නිහඬතාවය බින්දා. "ඉක්මන් කරල යමු කිරි අහර පූජා කරන්න" මම කිව්ව. අපි කවුරුත් ඉක්මන් ගමණින් ගිහින් පුද පූජා කට යුතු කළා. තරිඳු මම මල් පූජා කරපු තැනින්ම එයාගෙ මලුත් මල් ආසනයෙ තැන්පත් කළා.
අපි ටිකක් පස්සට ගිහින් බිම දණ ගහ ගෙන වඳිද්දිත් තරිඳු මගෙ ළඟින්ම ඉඳ ගත්තා. අර ලේන්සුවෙ සුවඳ දැන් මට එයාගෙන් දැනෙනවා.ලේන්සුව දෙන්නත් ඕනි. මාළිගාවෙන් එලියට ගියහම දෙනවා. මම දෑස පියා ගෙන භාවනා කරන්න උත්සාහයක යෙදුණා. කොහෙදෝ ඉඳල ඉන්ද්‍රයියා ඇවිත් භාවනාව බිඳිනවා. හේමිකාත් ඇස් එක එල්ලේ තියාගෙන අනිමිස ලෝචනයක. ඉන්ද්‍රයියගෙ ඇස් හේමිකා දෙසට යොමු වෙලා. තරිඳු තව පැත්තකින් හිනාවෙනවා. මගෙ හිත දෙගිඩියාවක. ඉන්ද්‍රයියගෙ ප්‍රේම පරිච්චේදය මුළුමණින්ම වහල දමල මගේ ජීවිතයෙ අලුත් පිටුවක් පෙරලනවද? එහෙමත් නැත්නම් ඉන්ද්‍රයියාගෙ පුනරාගමනයක් වෙනුවෙන් තව කාලයක් ඉන්නවද?
මම වෙන බොහෝ අය වගෙ බුදුන් වැඳල දෙවියන්ට පින් දීල කවදාවත්ම මොනවත් ප්‍රාර්ථනා කරන්නෙ නැහැ...ඉල්ලන්නෙත් නැහැ....බැගෑපත්ව ඉල්ලන්න මම කැමති නැහැ. ඒකද දන්නෙ නැහැ, ඉන්ද්‍රයියා මගෙන් වෙන්විලා ගියෙත්. ඒත් මට ලැබෙන්න තියෙනව නම් යමක් එය මට ලැබේය කියලයි මම විශ්වාස කරන්නෙ. 
වෙන දෙයක් වුණාදෙන්. මම ජීවිතයට ඔහෙ ගලා ගෙන යන්න දෙනවා. මේකත් එක භාවනාවක් නේද කියල හිතුනා. තමන්ගෙ ජීවිත අභ්‍යන්තරයට එබිල බලන එක. බුදුහාමුදුරුවො දේශනා කළෙත් අනුන් සෙවීමට වඩා තමන් සෙවීම උතුම් කියල.
" මලිති, ඔයාට නින්ද ගිහිල්ලද..නැත්නං ඇත්තටම භාවනාවද?"
සරලගෙ කතාවෙන් මම හිටපු ලෝකෙන් මිදුණා. ඇස් ඇරල බලද්දි සේරම මගෙ වටේ. "මම නිසාද හිටියෙ සේරම"
තරිඳු මොකුත්ම කිව්වෙ නැහැ. 
" අපි වැව රවුමෙ ටිකක් ඇවිදිමු" අමිල යෝජනා කළා. මාළිගාවෙ පිය ගැට පෙළ බැහැ ගෙන එන කොට මාව පය පැකිළිලා වැටෙන්න ගියා. බිම වැටෙන්නැතුව බේරුණෙ තරිඳු මාව අල්ල ගත්ත නිසා. සරලා පුපුරන්න ගිය හිනාව අත් දෙකෙන්ම හිර කර ගත්ත. රුවිනිට නම් ඒක කරන්න බැරි වුණා. තරිඳුගෙ ගති ගුණ හරිම පුදුමයි. එයා එතැන වීර චරිතයක් රඟ පාන්න හිතුවෙත් නැහැ. මට අපහාසෙට හිනාවුණෙත් නැහැ.
හරිම උපෙක්ෂාවෙන් මාව වත්තම් කරල, " දැන් හරි නේද?" කියල ඇහුවා.
" තෑන්ක් යූ, තරිඳු"
" පරෙස්සමෙන් අඩිය තියන්න, සමහර තැන්වල වතුර වැටිල ලෙස්සනව"
අපි පාවහන් තියල තිබුණු තැනට ආවම තරිඳු මගෙ පාවහන් යුවල අර ගෙන මගෙ කකුල් දෙක ළඟින් තිබ්බා.
" අනේ, ඔය තරම් හොඳ වෙන්න එපා තරිඳු...මගෙ හිතේ වැට මායිම් බිඳෙන්න පුළුවන්" මම කියපුවා එයාට ඇහුණෙ නැහැ. කාටවත්ම ඇහුණෙ නැහැ. මගෙ හිතට විතරමයි ඇහුණෙ. ඒකෙ එතරම් වෙනසක් දැණුනෙ නැත්තෙ, අමිල සරලගෙයි, රුවිනිගෙයි පාවහනුත් ඒ ගොල්ලො ලඟට දුන්න නිසා.
අපි වැව රවුමට ඇවිත් දකුණු පැත්තට ගියා. ඒ පැත්ත නිස්කලංකයි. කලබලකාරි අගනුවරට වඩා නුවරට මගෙ හිත ආසක්ත වෙනවා. ටික දුරක් ඇවිදගෙන යද්දි රුවිනිත්, සරලටයි, අමිලටයි එකතු වෙල අපිට පහු වෙන්න ඇරියා. මේක මෙගොල්ලන්ගෙ සැලසුමක්ද කියලත් මට හිතුණා. ඒත් ඒකට මගෙ හිතෙත් අකැමැත්තක් හටගත්තෙ නහැ.
" තරිඳු, මේ ඔයාගෙ ලේන්සුව....මම ඒක සේදුව."
" මොකටද සේදුවෙ, මට ඒක හෝද ගන්න තිබුණා."  
මට තරිඳු ගැන තව තොරතුරු දැන ගන්න ඕනි වුණ.
" ඕගොල්ලන්ගෙ පවුලෙ කී දෙනෙක් ඉන්නවද තරිඳු, මට ඊයෙ අහන්නත් බැරි වුණා."
" අපි තුන්දෙනයි. මමයි, අප්පච්චියි, අය්යයි"
" එතකොට අම්ම?"
" මම පුංචි කාලෙම අම්ම නැති වුණ, මලිති"
" අනේ! සොරි...මම මෝඩියෙක් වගෙ ඒ ප්‍රශ්නෙ අහපු එක හොඳ නෑ"
" දැන් මගේ ඒ දුක තුනී වෙල, ඒත් හැම පෙබරවාරි දාහතරවෙනිදාවකම මට අම්මව විශේෂයෙන් මතක් වෙනව. එයා අපිව දමල ගියෙ ඒ වගෙ දවසක."
එයා ඇහුවෙ නැහැ, අපේ පවුලෙ කී දෙනෙක් ඉන්නවද කියල.
" අපි මෙතන චුට්ටක් වාඩි වෙමුද?"
" අර ගොල්ලො..?" 
" ඒ ගොල්ලන්ට අපිව පේනවා නේ?"
" මමත් ආසයි ඉඳගෙන වැව දිහාව බලන් ඉන්න"
කොළඹ ගෙන්දගම් පොළවෙ කාෂ්ඨකය පිස ගෙන හමන සුළං රැළි වලට වඩා වැවේ සීත ජල තරඟ පිස ගෙන එන මද පවන තවත් හිත නිවනව වගෙ. අපි දෙන්න ගොඩක් වෙලා කතා නොකරම වැවේ දිය දහරා අතර සිත්, නෙත් දෙකම රඳවගෙන නිසොල්මනේ හිටියා. මට අමරදේවයන්ගෙ පරණ ඒත් කවදාවත් රසය නොසිඳෙන ගීතයක් මතක් වුණා.
" තරිඳු, මට අමරදේව මාස්ටර් ගෙ සිංදුවක් මතක් වෙනව"
" 'ප්‍රේම තටාකේ මේකයි මැණිකේ' කියන එකද..මමත් ඒක ගැනම තමයි දැන් හිතුවෙ"
" පුදුමයි."
" ඒත් ඇත්තයි" ඔහු මුල් වරට මට විහිළුවක් කළා.
" ඔය ඒ සින්දුවෙ ආස විශේෂ කොටසක් තියෙනවද?"
" ඔව්, ඔයා කියන්න බලන්න ඔය ආසම කොටස මොකද්ද කියල, ඒකමද කියලා බලමු."
" අනාගතේ මෙහි පෙම් රස විඳිනා.."
" හරි, මම කැමතිත් ඒකටම තමා. මුළු සින්දුවෙම හරය එතැන කියල මට හිතෙනවා"
" හරිම අමුතු හැඟීමක්...අනාගතයේ පෙම්වතුනුත් ඒ තටාක ඉවුරෙ පෙම් රස විඳිනව දකින එක නිසා ඔවුන්ගෙ සිත් සතුටට පත් වෙනව කියල නෙ ඒ කියන්නෙ?"
" අපි ටිකක් එක විදිහට හිතන අය වගෙ...අපරාදේ..ඔයත් මෙහෙ හිටියා නම් අපිට මේ වගෙ ගොඩක් දේවල් කතා කරන්න තිබුණා"
" ඔයා එන්න අපේ නාට්‍යය බලන්න, මංගල දර්ශනය තියෙන්නෙ ලුම්බිණියෙ. මම ඕගොල්ලන්ට ටිකට් දෙන්නම්."
" ළඟදිම පෙන්නනවද?"
" නැහැ, තව මාසයක් වත් යාවි."
" ඒ කියන්නෙ එතකල් අපි ආයෙ හම්බ වෙන්නෙ නෑ කියන එකද?"
මම ඒ ප්‍රශ්නෙට නිරුත්තර වුණා. එහෙම දෙයක් ඔහුගෙන් කියවේවි කියල මම නිකමට වත් හිතුණෙ නහැ. තරිඳුටත් දැණුනද කොහෙද, එයා ඉක්මන් වුණා කියල.
" ඔයා කරන චරිතෙ මොකද්ද? " 
ඔහු කතාව වෙන අතකට යොමු කරන්න උත්සාහ ගන්නව. ඒත් මට ඕනි වුණා ඒ කතාවම ආයෙමත් ඇදල ගන්න. ඒත් ඒ තරම් ධෛර්යයක් හිතට ගොණු වෙන්නෙ නැහැ. ඉන්ද්‍රයියා මොකට එනවද මන්දා, මම යන හැම තැනකටම. කොහේ හරි ඉඳල මගෙ හිතේ ඩෙඟා නටනව. මට ඉන්ද්‍රයියා ගැන කියන්නත් හිතෙනවා. ඒත් මොකටද හදිස්සි වෙන්නෙ? වැවේ පීනන හංසයො දෙන්නෙක් එක ළඟම පීනගෙන ඇවිල්ලා, තුඩු දෙක ළං කරල රහසක් කීවද කොහෙද?. ඒත් කවුද පොඩි එකෙක් උන් දිහාවට එල්ල කරපු ගල් පහරකින් දෙන්නම ඉවතට ඉගිලිලා ගිහින් ආයෙත් එක ළඟට එකතු වුණා.
" අර ගොල්ලො බලා ගෙන ඇති, අපි යමු නේද?" මගෙ මුනිවත බිඳිමින් තරිඳු ඇහුවෙ නැගිටින ගමන්. මම ඔහුට එකතු වුණා.
" අද තියෙන නාට්‍යය මොකද්ද?"
" අන්න වැඩේ.....ඕගොල්ලොනෙ දැනගන්න ඕනි"
" මට ඔක්කොම නාට්‍යය පැටලිලා තියෙන්නෙ"
" අද තියෙන්නෙ කුවේණි"
" මම ආසයි කුවේණි නාට්‍යය 'සත් සියක් රත් මල් රැගෙන මම' කියන සිංදුවට"
" ඔක්කොම සිංදු වලට මම ආසයි" මමත් ඒ සිංදුවට වැඩි කැමැත්තක් තිබුණත් ඒ තරමටම අපි සමානව හිතන බව මට පෙන්නන්න ඕනි වුණෙ නැහැ.
මගෙ හිතේ තියෙන අවුල ලිහා ගන්න මට ශක්තියක් නැහැ වගෙ. මම අවුලෙන් අවුලට වැටුණ වගෙ දැනෙනවා. නොපෙනෙන කෙනෙක් වෙනුවෙන් තවත් වැළපෙමින් ගන්ධබ්බ අවදියෙ ඉන්නවද..එහෙමත් නැත්නම් මේ නැවුම් සුවඳ ආශ්වාස කරල පෙනහළු කුහර එක්කම හැම රුධිර බිංදුවකටම, හැම සෛලයකටම මේ අපූරු නැවුම් බව විඳින්න දෙනවද?
මම ලෝක දෙකක අතරමං වෙලා. මට හැම සිදුවීමකටම මතක් වෙන්නෙ සිංදු.
" ඔබ ගෙන්දෝ...ඔහුගෙන් දෝ මා හෙට දින සමු ගන්නේ"

5 ක් අදහස් දක්වලා.:

රජිත් විදානආරච්චි(Rajith Vidanaarachchi) said...

ආයිත් අහන්න වෙන්නෙ ඉතිං ඊට පස්සෙ කියල තමයි..... හැම සිදුවීමකට ම සින්දුවත් තියෙන එකත් හොඳයි :P එතකොට රසය තවත්, තව තවත් වැඩි යි.

Chrishi said...

මේ ඔයා දුකාගේ නංගිද ?? අක්කණ්ඩිගේ කතාත් ඒ වගේමයි. හැමදාම වගේ ඊළඟ කොටස එනකන් බලාගෙන ඉන්නවා.

Supun Sudaraka said...

මේ... මේ ලියවිල්ලත් මරු. අද දවසට එක හුස්මට මම මේ ලිපි සේරම පැයක් එකහමාරක් පුරාවට කියවාගෙන ගියා. මරු අප්පා..
මේ... මෙන්න ඇහේ කදුළු! තාමත් මට හිතාගන්න බැරි ඇයි ඇහේ කඳුළු කියලා :)

Anonymous said...

හැමදේකම පළවෙනි දේ තදින් හතට කාවදිනවලු. first impression කිය කිය මිනිස්සු දඟලන්නේ ඒක නෙ. මම ටිකක් ඒ කාවැදිචච්ච දේ පරාද කලා.

neon said...

Superb Akkandiyoooooooo ! Kiyala wadak na !

Post a Comment