Friday, January 27, 2017

අළුත ගෙනා මනමාලි

Friday, January 27, 2017
අළුත ගෙනා මනමාලී

දුරකතන ඇමතුමක් ලංකාවෙන්. එකත් එකටම ලංකේෂ්ගෙ අක්කා විය යුතුයි. මගෙ හෝඩුවාව හරි. රුවිනි අක්කා අපි දෙන්නා ගැන හොයල බලනවා. ඒ ලංකේෂ්ගෙ පවුලෙ වැඩිමහල් අක්කා. අක්කට බාලයි, එයාගෙ අයියා. කැප්ටන් ගජනායක. එයාට කියන්නේ ගෙදර උදවිය ලොකු බේබි හාමු කියලා. යුද්ධෙ කාලෙ හමුදාවෙ හිටියෙ. දැන් විශ්‍රාම අරගෙන  පාර්ලිමේන්තුව පෙනෙන නොපෙනෙන දුර නිසංසල තැනෙක ශානි අක්කත් එක්ක, ( එයාගෙ ආදරණීය බිරින්දෑ) විවේක සුවයෙන් කල් ගත කරනවා. ඒ දෙන්නගෙ දරුවො දෙන්නගෙන් එක්කෙක්නෙක් සිඩ්නි වල ඉගෙනගන්නවා. දුව ඇමෙරිකාවේ, රැකියාවක් කරනවා. දැන් ලංකාවේ බොහෝ පවුල්වල දරුවන් එක්කො පිටරටවල් ඉගෙන ගන්නවා. නැත්නම් හොඳ වැටුප් ලැබෙන රැකියාවල් වල යෙදෙනවා. ඒක පුරාජේරු කතාවක් නෙවෙයි. මම දන්න කියන බොහොම දෙනෙක්ගෙ ළමයින් එහෙම තමයි. සෙනෙහෙලතා නැන්දගෙ දරුවො තුන්දෙනා රටවල් තුනක. ශාලිකා ආන්ටිගෙත් එහෙමයි. එතකොට බුද්ධි මාමාගෙත් දුවයි, පුතයි දෙන්නම ලොස් ඇන්ජලිස් වල. කොහොමින් කොහොම හරි ඔහොම යනකොට කුරුණෑගල මල්කඩුවාවෙ ටිකිරි කුමාරිටත් ඔස්ට්‍රේලියාවට එන්න සිද්ධ වුණා. ටිකිරි කුමාරි කිව්වේ හුරතලේට. උප්පැන්න සහතිකයෙ තියෙන්නේ නම හැටියට ලියලා,
වරුණි තරුෂිකා යටවත්ත කියලා. අප්පච්චිලගෙ ගම නුවර යටවත්තෙ. තව මොනවද වාසගම් ගොඩක් තිබිලා ළමයින්ට ඔය බඩවැල් වගේ නම් තිබුණම ඉස්සරහට කරදරයි කියල, ඔය විදිහට කෙටියෙන් නමක් දමලා. හැබැයි, මෙහෙ එන්න මාසෙකට විතර ඉස්සර මගේ නමේ අග කොටස වෙනස් වුණා. යටවත්ත වෙනුවට වික්‍රමසූරිය.
"වීසා හදාගන්න ඕනි නිසා නම වෙනස් කරන්න ඕනි, බබා. ඔයා කැමති යටවත්ත කියන නමට නෙ. ඒක ඔයාට දිගටම පාවිච්චි කරන්න පුළුවන්. මගෙන් තහනමක් නැහැ"
මගේ හිස දෙපැත්තට සැලුණා.  අනුමැතිය ඒ අයුරින් ප්‍රකාශ වුණා. වචන වලට දෙතොල් වලින් පිටතට ඇවිත් හිරිඔතප් බිඳගන්න බැහැ වගෙ. තවම අලුත ගෙනාපු මනමාලි නෙ.
ගල්කිස්සේ මහ හෝටලේ අපේ මගුල ජයටම කෙරුණා. වෙන විවාහ මගුල්වල නොමැති විශේෂත්වයකුත් තිබුණා. ලංකේෂ්ගෙ ඔස්ට්‍රේලියානු ජාතික මිතුරන් දෙදෙනෙක් සහ මිතුරියක් දෙවැනි මනමාල මනමලියන් ලෙස පෙනී සිටීම. ඔවුන් නුපුරුදු නිළමෙ ඇඳුම හෙවත් තුප්පොට්ටිය ඇඳගෙන බොහොම අගේට රැගක් කෑවා. පව්! දෙයියනේ! මට හිතුණා. කරවටේ බැඳලා තිබුණු මාල හත මටත් මගේ සිහින් ගෙලටත් දැනුණේ කිලෝ ගාණක් එල්ලලා වගේ. මට පව් කියන්න කවුරුවත් නැහැ.
" බබා, ඔයාට ඔය මාල ගොඩ වදයක් නේද?"
ලංකේෂ් මගෙ හිත කියවලා. පුදුමයි. නැහැ. පුදුමෙකුත් නැහැ. අපි හුඟක් වෙලාවට එකම විදිහට හිතන්නෙ. මම හිතන දේ එසැණින්ම ඔහු කියනවා. මට පුදුම හිතෙනවා. පරචිත්තවිජානන ඥාණය වත් තියෙනවද? ඔහු මගෙනුත් එහෙම කිහිප වතාවක් ඇහුවා. කොහොමද ඔයා මම හිතන දේම කියන්නෙ? ගුප්තයි. ඒත් ඇත්තයි. අදහන්න බැහැ නේද?
පෝරුව තිබුණේ මුහුදු වෙරළෙ. සුදු පෙණකැටි විසුරුවාගෙන නිල් දිය රැළි සංගීත ස්වර සමග මුසු වෙලා, ආනන්ද ජනක නර්තනයක යෙදිලා, අපට ආශිර්වාද කරනවා වගේ. ලංකේෂ්ගෙ මුහුණ පුරා දස දහසක් පහන් දල්වලා වගේ එළියයි. ඔහු තළෙළු වලටත් වඩා ටිකක් කළුයි. ඒත් හිනාවෙනකොට හරිම සුන්දරයි. සුදු දත් ටික මුතු අහුරක් වගෙ. කොල්ලන්ගෙ හිනාවට එහෙම උපමාවක් දැම්මම ප්‍රවීණයන් දුහුණන්ට අවඥාවෙන් හිනාවෙයිද දන්නෙත් නැහැ. ඒ කවුරු කොහොම කිව්වත් මා කියන තැනැත්තිය ආදරයෙන් මොකද්දෝ අළා මුළාවක වැටිල නිසා එහෙම පෙනෙනවද මන්දා?
  මගුල් ගෙදර නටන්න ඩී.ජේ. ලගෙ සංගීතයක් තිබුණෙ නැහැ. ශාස්ත්‍රීය, සරල වගෙම පොප් සංගීතය වාදනය හා ගායනය කරන හොඳ සංගීත කන්ඩායමක් සිතට පවන් සලන මියුරු, රොමැන්තික සංගීතයකින් අමුත්තන්ට අපූරුවට සංග්‍රහ කළා. ගල්කිස්සේ හෝටලේ ප්‍රධාන සූපවේදී පබිලිස් සිංඤෝ මහතා පිළියෙල කරල තිබුණු ඉඹුල් කිරිබත්, කට්ට සම්බල්, මාළු ඇඹුල් තියල් ලංකේෂ් රස කර කර කෑවෙ, මට විහිළු කරමින්.
"නියම ගමේ රහට කිරිබත්. අපේ අත්තම්ම හදන කිරිබතුයි, කට්ට සම්බලුයි වගෙ. ඔයා දන්නවද, මම පුංචි කාලෙ කිරිබත් කන්නෙ, සීනිත් එක්ක. එතකොට අත්තම්ම මට කෙහෙල් ගෙඩියකුත් ගෙනැල්ල දෙනවා. ඒකත් අනාගත්තම දිව්‍ය ලෝක රහයි" මගේ වැඩේ හැම එකටම බිම බලාගෙන හිනාවෙන එක තමයි.
අපි මදු සමය ගත කරන්න ගියේ නුවර එළියෙ. නුවරත් දවස් දෙක තුනක් හිටියා. නෑ ගෙවල් වල යන්න තිබුණනෙ. නුවරයි, කුරුණාගලයි. ඒ අපේ නෑදෑ ගෙවල්. ගිහිනුත් බැහැ. නොගිහිනුත් බැහැ. දැන් ඉතින් ඔස්ට්‍රේලියාවෙ පදිංචියට යන නිසා කොහොමත් යන්න ඕනිමයි. අනිවර්යයි. හැබැයි, වාසියකුත් වුණා. නුවර ප්‍රියා අක්කා උඳු වැල් (පැණි වළලු) පාර්සලයකුයි, කොණ්ඩ කැවුම් පාර්සලයකුයි දුන්න, රට ගෙනි යන්න කියලා.

ඔය යන අතරෙ ගෙවල් වලින් ෆ්‍රයිඩ් රයිස් කාලා ඇතිවුණා. ඇයි මේ කාටවත් බැරි, රතු කැකුළු බත් එක්ක කරෝල බැදල, කිරි අල හොද්දක් එක්ක, පොල්සම්බල් ටිකක් එක්ක අපිට කන්න දෙන්න. පොළොස් ඇඹුලක් වගෙ දෙයකුත් තිබුණනම් මොන තරම් අගෙයිද? මේව එහෙදි එහෙම කිව්වා නම් නැන්දම්මලාගෙන් හොඳ කතන්දරයක් අහගන්න තිබුණා. බැඳල මාසයක් යන්නත් ඉස්සරින් දොළදුක් හැදිලා කියලා. දොළදුක් හැදුණු අයට විතරද එක එක කෑම කන්න ආස හිතෙන්නෙ. ගෙදර ඇවිත් මම ඇනී ආච්චිට කියල මෙහෙ එන්න කලින් ඔය මම ඉස්සර කියපු වට්ටෝරුව හදාගෙන කෑව. ලංකේෂුත් ආසයි, ඒ කෑම වලට.
ඉතින් ඔහොම ඉඳලා පානදුරේ වළව්වටම කැන්දන් ආවනෙ. ඒ වගෙ පරණ ගෙවල් දැන් ලංකාවේ හරි දුලභයි කියල මට හිතෙනවා. පොඩි බේබි හාමුගෙ කාමරය මහ විශාලයි. කණ්ණාඩි තුනේ කන්නාඩි මේසයක්, කළුවර වියන් ඇඳක්, කළුවර කැටයමින් මල්කම් ලියකම් කළ අල්මාරියක්, දෙන්නගෙ ඇඳුම් එල්ලන්න දොර දෙපැත්තෙ බෝල කූඩු දෙකක් නිදන කාමරේ අඩු වැඩිය වශයෙන් තිබුණා.
රුවිනි අක්කා සුදු මල් දාපු වතුර වීදුරුවක් අරන් ඇවිත් අපිව පිළිගත්තා. අපේ අම්මයි, අප්පච්චියි දෙන්නගෙ මුහුණට මුහුණ බලාගෙන මොනවදෝ ඇස්වලින් කතා කරගන්නවා, මම දැක්කෙ පොඩ්ඩක් පස්ස හැරිල බලන කොටයි.
සාලෙ හරි ලස්සනට, පිළිවෙළට සකස් කරලා තිබුණා. රුවිනි අක්කගෙ මැහුම්, ගෙතුම් වලින් ඒ හැමදෙයක්ම සැරසිලා. තවත් දුර කතන ඇමතුමක්. ඒ ලංකේෂ්.

"බබා, ඔයාට තනියිද? උදේ ඉඳලම ගොඩක් වැඩ තිබුණා. මම නිවාඩු ඉඳලා ආපු නිසා වැඩ ටිකක් වැඩිවෙලා. ඔයා කෑවද? මම පොඩ්ඩක් ඇවිදින්න යනවා, ලන්ච් බ්‍රේක් එකේ. වුල්ස්වර්ත් එකටත් යනව. ඔයාට මොනවද ගෙනෙන්න ඕනිද?"

"ම්..ම්..ම්..මොකුත් එපා පොඩි බේබි හාමු" මම කිව්වෙ ඔච්චමට.

"එහෙනම් අඬන්නෙ නැතුව ඉන්න. ඊයේ රෑත් හීනෙන් ඇඬුවා. අම්මයි, අප්පච්චියි දැක්ක කියලා. ටේක් කෙයාර් බබා. ලව් යු. බායි”

ලංකේෂ්ගෙ ගතිගුණ හරිම වෙනස්. ලංකාවෙන් පිට හැදුණු නිසාද දන්නෙත් නැහැ. මට නොදැනිම ඔහු කෙරෙහි අමුතු බැඳීමක් මගේ හිත ඇතුලෙ වග දිගා වුණේ මටත් නොදැනිමයි. අපි ඉෂාර අයියගෙ මගුල් ගෙදර ගියෙ පුංචි අම්මගෙ පුතාගෙ මගුල් ගෙදරට අනිවාර්යයෙන්ම යා යුතු නිසා. අනික ඉෂාර අයියා හරිම උත්සාහවන්තයි. එයත් කොහොමහරි භෞතික විද්‍යා අංශයෙන් කැළණිය විශ්ව විද්‍යාලයෙන් ප්‍රථම පෙළ සාමාර්ථයක් ගත්තා. හොඳ රැකියාවකුත් ලැබුණා. කැම්පස් කාලෙම පටන් ගත්තු ප්‍රේම කතාවේ මල් පිපෙන දවසට අපි හැමෝම ගියා. ගමේ නෑදෑයො රොත්ත බුරුත්තම මුණ ගැහෙනවා. එතකොට ඉතින් මගෙන් හැමෝම අහන එක ප්‍රශ්නයක් තියෙනවා.
" දුව, මොකද තම මැරී කරන්නෙ නැත්තෙ? අපිවත් කවුරු හරි බලන්නද?"
නැන්දම්මලා හරියට මාව කර තියාගෙන ඉන්නව වගෙයි, කතාව. අම්මටත් අප්පච්චිටත් මාව බරක් නැත්නම් මටත් මාව බරක් නැත්නම් ඒ ගොල්ලන්ට තියෙන කැක්කුම මොකද්ද කියලා මට නම් තේරුම් ගන්න අපහසුයි. මගුල් ගෙදර පෝරුවෙ චාරිත්‍ර ඉවරවෙන්න ඉස්සර අපට යන්න පුළුවන් වුණා. හෝටලේ තියෙන තැන හොයා ගන්න බැරි වුණා අපේ පොඩි මල්ලිගෙ මල් කැඩිල්ල නිසා.  ගූගල් මැප්ස් දාගෙන ගූගල් අක්ක කියන විදිහට තමයි, අපි ගියේ. ඒත් ගූගල් අක්ක දකුණට හරවන්න කියද්දි, එයා දිගටම ගියා. මං කිව්වා, "මෝඩයෝ, දකුණට හරවන්න"කියලා. කොහෙද පණ්ඩිතයට ඒදණ්ඩේ යන්නත් බැරිලු නෙ.  මල්ලි කෙල්ලත් එක්ක ලක්ෂයක මල් පූජාවකට මල් කඩනවා. කොහොමහරි මනමාලයගෙ පැත්තෙ අය පෙරහැරෙන් ශාලාවට කැඳවාගෙන යන පෙරහැරට අපිට ශාලා දොරටුව ළඟදිම එකතු වෙන්න පුළුවන් වුණා. පෝරුවෙ කටයුතු ඉවරවෙලා හැමෝම තම තමන්ට වෙන් කරල තිබුණු මේස වලට ගිහින් වාඩි වුණා.
කැළනියෙ නැන්දත් නංගිත් එක්ක ඇවිත් ඉන්නවා. ගිහින් කතා කරන්න ඕනි. ඒ නැන්දා අර වගෙ ප්‍රශ්න අහන්නෙ නැති, තමන්ගෙ පාඩුවෙ ඉන්න කෙනෙක්. මම සාමාන්‍යයෙන් මගුල් ගෙවල් වල ගියහම වැඩිමහල් නෑදෑයෝ හැමෝම ළඟට ගිහින් වැඳලා කතා කරනවා. කැළණියෙ නැන්දා ළඟට මම ඉස්සරින්ම ගියෙ ඒ නැන්දට මගෙ හිතේ අමුතු බැඳීමක් තියෙන නිසා. අනෙක මම කැළණියෙ විශ්ව විද්‍යාලෙ ඉඳිද්දි මාමා එනවා මාව එහෙ එක්ක යන්න සති අන්තයට. ඒ ගියාම රසට උයල කන්න දෙනවා, බෝඩිමේ කෑම හොඳ නැති බව නැන්දලා දන්නවා. ආපහු ඇරලන්න එද්දි මගෙ අනික් යෙහෙළියන්ටත් එක්ක, කිරි කජු මාලුවක් එක්කලා තවත් වෑංජන එක්ක බත් පාර්සලයක් ඔතලා දෙනවා.
"තුනුරුවන්ගෙ සරණයි! කොහොමද දුව? කාලෙකින් දැක්කෙ?" වඳින මගේ හිස අතගාමින් නැන්දා පවසනව. නංගිට උණුසුම් සිප වැළඳ ගැනීමක්.
"ඉඳගන්නකො, දුව ටිකක්" නැන්දගෙන් ඉල්ලීමක්.
" අද දුව මෙහෙම හම්බ වුණු එක හොඳයි. අපේ යාළුවෙකුගෙ පුතෙක් ඉන්නවා ඕස්ට්‍රේලියාවෙ. එයාට එහෙ ගිහින් පදිංචි වෙන්න කැමති කෙනෙක්ව හොයනවා. අපි හිතුවා දුව ඒ ළමයට ගැලපෙනවා කියලා. ඒ ළමයට දුවම ස්කයිප් හරි වයිබර් වලින් හරි කතා කරලා දෙන්න හඳුනා ගන්නකො."
" මම අම්මටයි, අප්පච්චිටයි කියන්නම් නැන්දා."
" මම ඒ ගොල්ලන්ට කියලා තියෙන්නෙ. දුවටම කියන්න කියලා ඒ දෙන්නා කිව්වා. ඔය දෙන්නා කතා කරලා අදහස් ගැලපෙනවා නම් බලමු නේද, දුවේ?"

                                    ලංකේෂ්ගෙයි මගෙයි හඳුනා ගැනීම සිදුවෙන්නෙ ඔන්න ඔය විදිහට. අපි වයිබර් වලින් කතා කළා. ඔහුගෙ වරදක් මට පෙනුණෙ නැහැ. අනවශ්‍ය නීති රීති, රෙගුලාසි නැහැ. හරිම කරුණාවන්තයි. ආගමානුකූලව ජීවත් වන කෙනෙක්. මට පුදුමත් එක්ක ඔහු මගෙන් අහපු පළවෙනි ප්‍රශ්නෙ ගැන.
" ඔයා දන්නවද සම්මා ආජීව කියන්නේ මොකද්ද කියලා?"
මම දුන්නු පිළිතුරට ඔහු ලකුණු සියයට අනූ අටක් දුන්න බව කිව්වා. ඔහුගෙ බොහොම ගතිගුණ මවා පෙන්වන ඒවා නොවන බව ටික දවසක් යන කොට මට වැටහුණා. ඔහුට මා කැමති බව අම්මට කිව්වම අම්මට හරිම සතුටුයි. විවාහය ඔය විදිහට තීන්දු වුණා. ඔහු ලංකාවට එන කොට අපි පණ පිටින් නොදැක වුණත් දැඩි ආදරයකින් වෙළිලා හිටියා.
මට කැම්පස් එක පටන් ගන්න තව සතියක් ගත්වෙන්න ඕනි. මෙහෙදි ආචාර උපාධියක් කරන්නයි, මගේ බලාපොරොත්තුව. ලංකේෂ් මෙහෙ පුරවැසියෙකු නිසා මටත් මෙහෙ පී.ආර්. හදාගන්න පුළුවන් වෙයි. රස්සවක් හොයා ගන්නත් අමාරුවෙන එකක් නැති වෙයි.
ලංකේෂ්ගෙ තියෙන මම ආස කරනම ගුණාංගය තමයි, හැමම උදේ පාන්දර හතරට නැගිටලා, නාලා බුදුන් වැඳලා පිරිත් කියන එක.
සමහරු නම් හිනාවේවි, ඒ මොන පිස්සුවක්ද කියලා. ඒ වුණාට පිට රටක හැදිලත් ලංකාවේ ඉන්න ලාංකිකයන්ට වත් නැති හොඳ ගතිගුණ තියෙන කෙනෙක් මගේ සහකරුවා විදිහට ලැබුණු එක ගැන අළුත ගෙනා මනමාලිට නම් තියෙන්නෙ ලොකු සතුටක්.




1 ක් අදහස් දක්වලා.

Thursday, January 26, 2017

ජේයෂ්ඨ පුරවැසියෝ

Thursday, January 26, 2017
වැස්සත් එක්ක එන සීතල සුළං කැරලි ඇඟේ වැදෙන කොට කොළඹ ගෙන්දගම් පොළවෙ ගිනි කාෂ්ටකයෙ ඉඳලා ආපු කෙනෙකුට සීතල වැඩි තමයි. මෙහෙත් ගිම්හානය නිසා සීතලක් නැතිවෙයි කියලා යාන්තමට ඇඟ උණුසුම් වෙන්නවත් ජර්සියක් අරගෙන ආවෙ නැහැ. කොච්චර සීතල වුණත් ඕස්ට්‍රේලියාවට ආපු එකේ ඇවිදින්න නොගිහින් බැහැ නෙ. ඇවිද්ද පය දහස් වටී කියලා මුතුන් මිත්තොත් කිව්වෙ කට කහනවටයැ.
මෙල්බර්න් කියන්නේ වික්ටෝරියා ප්‍රාන්තයේ අගනුවර. මෙහෙ ඉන්න ශ්‍රී ලාංකිකයින්ට නම් මේවා අලුත් කාරණ නෙවෙයි. ඒත් කවදාවත් මෙහෙ නොපැමිණි අය මේවා දැනගන්න කැමති ඇති. අපි ගුවන් යානයෙන් බැස්සෙ රෑ හතයි හතලිස් පහට විතර. ගිම්හානයේ හිරු තවමත් අහසෙ, දවස නිමා කරලා යන්න අකැමති වගෙ. ගුවන් තොටුපොළට අපේ ඥාති දියණිය අපිව පිළිගන්න ඇවිත් හිටියා. පින්තූරවල දැකල තිබුණට හැබැහින් දැක්කෙ අදයි. මා ඇයත් සමග රථයේ ඉදිරි අසුනින් වාඩි කරවගත්තේ මග දෙපස විසිතුරු කියාදෙන්න. පාටපාට නියොන් ලයිට් වලින් සැරසූ අහස සිඹින විසල් මැදුරු, තවමත් ඉවත් නොකළ නත්තල් සැරසිලි මගේ ඇස්වලට නම් මනරම් දසුන්. මම ආවා වගේම ඥාති දියණියත් මෙහෙ ඇවිත් තිබුණෙ කෙටි නිවාඩුවකට, ඇමෙරිකාවෙ ඉඳලා. ආගිය තොරතුරු, නෑදෑ වගතුග, මගුල් අවමගුල් විස්තර කියාගන්න, අහගන්න අපිට කල් මදිවෙන බව අපට වැටහුණා. අපි කතා කලේ ඒ සේරටම වඩා අධ්‍යාපන කටයුතු ගැන, රට රටවල සිදුවන දේවල් ගැන. දේශපාලනයත් නොතිබුණාම නෙවෙයි. අපේ ජීවිතයෙ බොහොම දේවල් දේශපාලනයෙන් ව්‍යුක්ති කරන්න බැහැ නෙ. පක්ෂ දේශපාලනය නම් නෙවෙයි. ජාත්‍යන්තර දේශපාලනය. රෑ කෑමෙන් පස්සෙ පහුවදා දවල් බතට මුණගැහෙන චේතනාවෙන් අපි අපේ හෝටල් කාමර වලට ගුලි වුණා.
මුලු රාත්‍රියම නිදිවර්ජිතව ගුවනේ පාවුණු නිසා උහුලන්න බැරිතරම් නිදිමත. ඕස්ට්‍රලියාවෙ, වික්ටෝරියාව ලංකාවට වඩා පැය පහ හමාරක් ඉදිරියෙන් ඉන්න නිසා 'ජෙට් ලැග්' කියල හඳුන්වන වෙලාවේ වෙනසට ගත සිත හුරුවෙන්න ටික දවසක් යාවි. ( වෙලාවෙන් විතරක් නෙවෙයි, බොහෝ දේවල් වලින් ලංකාවට වඩා ඉදිරියෙන් ඉන්න බව මේ වෙනකොටත් තේරුම් යමින් තිබුණේ
'රූම් සර්විස්' කියල දොරට ගහපු එක මට ඇහුණෙ මහ තඩිබෑමක් වගෙ. ඒ තරමට ගැඹුරු නිද්‍රාවක මම ගිලිලා හිටියෙ. මට නිදිමත වුණාට බැලින්නම් වෙලාව උදෑසන දහයයි. සිනහමුසු මුහුණින් ආවෙ ලංකාවෙ කෙලි පැටික්කියෙක්. මුල්ම ඔස්ට්‍රේලියානු උදෑසන අපේම දුවෙකුගේ සුන්දර හිනාවක් දකින්න මම පින් කරලා තිබුණා. කතාව මුලින් ඉංග්‍රීසියෙන්. පස්සෙ අපටත් නොදැනිම සිංහලට පෙරැලුණා.

ඇය හෙදියක් හැටියට වෘත්තීය පුහුණුව ලබන අතර තුර අර්ධ කාලීන රැකියාවක් හැටියට හෝටලයක සේවය කරනවා. මෙහෙ ඉන්නෙ නැන්දා කෙනෙකුත් එක්ක. ගම නුවර. ඊට වඩා ආගිය තොරතුරු කතා කරන්න වුණේ නැහැ, ඇයට නියමිත රාජකාරි නිමා වුණු නිසා.
ආයෙමත් පොරෝණය යටට ගුලි වුණෙ කෝපි කෝප්පයක රස බැලුවට පස්සෙ. කෝකටත් ගුවන් තොටුපළේදීම වෙලාව වෙනස් කරගත්තු එක හොඳට ගියා. ජංගම දුරකතනයෙ එලාර්ම් එක දොළහට තියන්න අමතක කළේ නැහැ. දොළහ වෙනකොටවත් දවල් කෑමට යායුතුව තිබෙන නිසා.
කිව්වත් වගෙ ඥාති දියණිය දොළහයි කාල වෙනකොට මගෙ දොරට තට්ටු කරනවා. කල් ඇතුව සූදානම් වෙලා හිටි නිසා වීරය වගේ මම දොර ඇරගෙන ඇයව පිළිගත්තා. චරිත්‍රි එදාම හවස නැවත ඇමෙරිකාව බලා පිටත්වෙනව. ඉතින් ඇය මාව කැන්දන් ගිය බොජුන් හලෙහි ඒ වන විටත් සෑහෙන පිරිසක් ආහාර ගනිමින් හිටියා. චරිත්‍රි අපට මේසයක් කලින්ම වෙන් කරවලා තිබුණ නිසා සිනහවීගෙන් ආපු සුදු තරුණියක් අපව ඒ මේසය වෙත කැඳවා ගෙන ගියා.
"නැන්දිට කැමති දෙයක් තෝරන්න"
කෑම වට්ටෝරු සටහන හෙවත් මෙනු කාඩ් පත මා වෙත දිගු කරමින් කිව්වෙ ඈ අත වූ මෙනුවට දෑස් යොමු කරමින්.
මා මෙනුවේ පිටු පෙර්ලුවේ මෙහෙ කෑමවල තිබෙන වෙනස හඳුනා ගන්න අදහසින්. එක පිටුවක, හරිම අඩු මිළට කාම! අප්පා! ජේෂ්ඨ පුරවැසියන්ට". මමත් ජේෂ්ඨ පුරවැසියෙක් තමයි. එත් ඒ ලංකාවේ නෙ. මෙහෙ ජේෂ්ඨ පුරවැසි කාඩ් එක තියෙන්න ඕනිලු එහෙම අඩු මිළට කාම කන්න. වියපත් ජෝඩු බොහොම දෙනෙක් ඉතා සතුටින් රස බොජුන් වළඳමින් අල්ලප සල්ලපයෙහි යෙදෙමින් ඉන්න ආකාරය දුටු මට අපේ රටෙත් එහෙම ක්‍රමයක් ඇතිකරනව නම් කොයි තරම් යහපත් වෙයිද කියල හිතුණා. යහපාලනයටත් මෙව්වා එකතු කරගන්න පුළුවන් නම් හොඳයි. කලින් රස්සවක් කළත් නොකළත් ජේෂ්ඨ පුරවැසියන්ට විශ්‍රාම වැටුපක් රජයෙන් ගෙවනවා. ඒ විතරක් නෙවෙයි, සමහර අවන් හල් වල කෑම, බීම අඩු මිළට සපයනවා. ඒ විදිහට ඔවුන්ට ගෞරවය දැක්වීම මොන තරම් වටිනවද?
සමහර දරුවන් වියපත් දෙමව්පියන්ට නොසලකා වැඩිහිටි නිවාස වල රඳවා තබන ආකාරය මම ලංකාවෙදි අනන්තවත් දැකල තියෙනවා, වැඩිහිටි නිවාස වලට දානය දෙන අවස්ථාවලදි. ඒ වුණාට බොහොම දෙනෙක් අපේ සාරධර්ම, දෙදහස් වසරකට වඩා ඉපැරණි අපේ සංස්කෘතිය ගැන පාරම්බානවා. දෙමව්පියන්ට සලකන්නෙ නැහැ.

"නැන්දි, හරිද?"

" ඔව්, පුතේ, ෆිෂ් ඇන්ඩ් චිප්ස්"

චරිත්‍රි යන්තම් බහ තෝරන වයසෙදි තමඉ ලලිත් අයියා ඔස්ට්‍රේලියාවට ආවෙ. දැන් ඇය තිස්වන වියේ තරුණිය. එනිසා මා දුටු මුල් මොහොතෙම ඇය කිව්වා,

" මයි සිංහල ඉස් නොට් ගුඩ් නැන්දි" කියල.

"ඒකට කමක් නැහැ, පුතේ. අපි ඉන්ග්‍රීසියෙන් කතා කරමු"

මට ලැබුණු කෑම පිඟාන මට නම් වේල් දෙකකට ඇති. ඔක්කොම කෑවොත් උස්මුරුත්තාව හැදෙයි. 'ඩොගී බෑග්' එකක් ඉල්ලන්නත් බැහැ, ලංකාවෙදි වගෙ. මෙහෙ කවුරුත් එහෙම ගෙනියනවද කියලා විපරම් කළා. 'ම්හ්' එහෙම කවුරුත් ගෙනියන්නෙ නැහැ. ගෙනියන්න තරම් කෑම ඒ අයගෙ ඉතුරු වෙලත් නැහැ. ඔවුන් සද්දන්ත උදවිය නෙ. කෑමත් සද්දන්තයි. පොකට් සයිස් මට දෙවේලක් පිරිමහගන්න පුළුවන්. ඔවුන්ට නම් බියර් ටිකක් හෝ වයින් ටිකක් එක්ක එක වේලටම ගිලා බස්සන්න පුළුවන්. ඒකටත් වාසනාවක් තියෙන්න එපායැ.



3 ක් අදහස් දක්වලා.

Tuesday, November 8, 2016

බ්ලොග්කරණයට යළි පිවිසුම

Tuesday, November 8, 2016
නෝක්කඩු ගොඩයි
එනමුත් සෙනෙහසින් තමයි
නොලිව්වට යමක්
හැමතින් චෝදනා ලැබෙයි

නොරට සිටින කොට
තනිවම කාලෙ ගෙවන විට
ඉඩක් තිබු නමුත්
දැන් නම් විවේකය අඩුයි

ලෙඩින් වැටීමත්
සුරතින් අකුරු කෙටීමත්
අපහසු නිසා තව තවත්
ලිවිල්ල පමා කළා මැයි

යළිත් වතාවක්
නොයෙකුත් කතා වියාගෙන
එන්නයි හිතේ අදිටනත්
ඉඩ දෙමු කාලයට ඉතින්

ජීවිතය ඇඟිලි අතරින් ගිළිහෙන්න ගොස් ආයෙමත් කොහෙදෝ එල්ලිලා, ගැට ගහ ගත්තාද කියල හිතෙන වෙලාවල් අනන්තයි. වාට්ටුව, සේලයින් බෝතල්, ශල්‍යාගාරය, මුව වැසුම් දමා ගත්තු දොස්තරල, හෙදියන් සහ වෙනත් අය පෙනි පෙනීම නිර්වින්දන ඖෂධ සිරුර පුරා ක්‍රියාත්මක වෙද්දි හිතත් හිරිවැටිල නිර්වින්දනය වෙලා ගියා මට හොඳට මතකයි. බයක් නම් දැනුනෙම නැහැ. නවීන විද්‍යාව කෙරෙහි, තාක්ෂණය කෙරෙහි, ඒ වගේම වෛද්‍යවරුන් කෙරෙහි තිබුණු විශ්වාසය නිසා සැත්කමට මුහුණ දෙන ශක්තිය තත්පරෙන් තත්පරය මෝදු වුණා. ඒවිශ්වාසය බොහෝ දුරට අසනීප සුව කරන්න වඩාත් හොඳ ප්‍රතිජීවකයක් කියල මට හිතෙනවා. 
"කොහොමද ඔය ලෙඩේ හොයා ගත්තෙ? මම මේ රෝගය පිළිබඳ විශේෂ්ඥ වෛද්‍යවරයෙක්. මට වත් හොයා ගන්න බැහැ නෙ." විමතිය පළ කරමින් ඔහු මගෙ දිහා බැලුවෙ විශ්මයාර්ථය ලියා ගත් දෑස්වලින්.
එකම පාසැලේ අකුරු කරපෞ අය හැටියටත්, එකම ගමේ අය හැටියටත් පොඩි හැඳුනුම් කමක් වගා දිගා කරගත්තු නිසා නොදන්නා කෙනෙකු කෙරෙහි පවතින දුරස්ඨ භාවය හිතට දැනුණෙ නැති තරම්.
"ලෙඩේ හොයා ගත්තු හැටි කියන්නම්. හැබැයි, හිනාවෙන්න එපා." ඒ තරමට අරුමැසි සොයා ගැන්ම වෛද්‍යවරයාට පවසන්න මා වචන එකතු කළා.
" අපේ අම්මා හීනෙන් ඇවිත් පෙන්නුවා. අම්මා අත් දෙකම එකතු කරල මගෙ පපුවෙ මෙතනට දික් කරල වචනයෙන් නෙවෙයි, ඇස් දෙකෙන් පරෙස්සම් වෙන්න වගෙ දෙයක් කිව්වා. මම හිනාවෙල අම්මට කිව්වා,
" මගෙ හාර්ට් එක තියෙන්නෙ වම් පැත්තෙනෙ. ඒක ඉදිමෙල තිබුණට මේ පැත්තෙ මොකද්ද කියල? මගෙ හදවතත් තියෙන්න ඕනි ප්‍රමාණයට වඩා ටිකක් විශාල වෙලා, ඒ කියන්නෙ එන්ලාර්ජ් වෙලා. ඒක වෛද්‍යවරුන් දැනගත්තෙ පපුවෙ එක්ස් රේ ඡායාරූපයක් ගත්තම. 

ඉන්දියාවෙ අය නම් එහෙම වුනොත් ඉතා සතුටින්, 
" බොහොත් බඩා දිල් හේ මෙරෙ පාස්" කියල කියාවි. අපේ එහෙම යෙදුමක් තියෙනවද කියල මට නම් සිහියට නගා ගන්න බැහැ. කිව්වට තේරෙන්නෙත් නැහැ නෙ. ඒ නිසා මම හිතන්නෙ, ඔලුව ඉදිමෙන්නේ නැතුව හදවත ඉදිමුණු එක ගැන මා සතුටු විය යුතුමයි කියල. ඔන්න කතා ඇතුලෙ කතා කියන්න ගිහින් පීලි පැන්නා නේද? පස්සෙ මම දොස්තර මහත්තයගෙ අත අර ගෙන අම්මා පෙන්නපු තැනට අත තියවලා මගේ කියමන ඔප්පු කරන උත්සාහයක යෙදෙන්නට වුණා. වෛද්‍ය වාර්තා වල තියෙනව, කාර්සිනොජන් සෛල තිබෙන බව. ඔව්! රිපොර්ට්ස් දෙකකම තියෙන ලය ප්‍රදේශයෙ, අම්ම පෙන්නපු තැන 'මැලිග්නන්සි' එකක් තියෙන බව. දන්ත චිකිත්සිකාවක් වෙන්න පුහුණුව ලබන කාලේ, අපිට කායික විද්‍යාව හදාරන්න ලැබුණා. පැතොලො කියන විෂයත් ඉගෙන ගත්තා. එබඳු හැදෑරීම් වලදි කාසිනෝජන් සෛල, මැලිග්නන්සි වගෙ වචන මට මතකයි. වෛද්‍ය වාර්තා කියවලා මම මගේ දුවණිට කිව්වා, 'මෙ අහවල් ලෙඩේ තමයි. අපෙ ගමේ දොස්තර මහතාම චැනල් කරමු කියලා. හොඳ වෙලාවට මගේ දුවනිත් ඒ දවස් වල ලංකාවට ඇවිත් හිටියෙ. දුවත්, එයාගෙ මහත්තයත් කැමති වුණේ නැහැ මම කියන දේ පිළිගන්නත්, මට ඒ රෝගය තියෙනව කියල පිළිගන්නත්. කැමති නැති වුණත් අපිට ලැබෙන දේවල් පිළිගන්න වෙනවනෙ. අපිට ආණ්ඩු මට්ටු කරන්න බැරි දේවල් කොයි තරම්ද? ඒ දෙන්නාට මෙය සත්‍යයක් කියල පෙන්වන්න මට ගූගල් යන්න සිද්ධ වුණා මගෙ දුරකතනයෙන්. එතකොට නම් දෙන්නම පිළිගත්තා අම්මා කියන දේ හරි කියලා. එහෙම තමයි, අපේ ගමේ දොස්තර මහත්තයව චැනල් කරල ඔය සැත්කම දක්වා සිද්ධී දාමය ක්‍රියාත්මක වුණේ. දකුණු පැත්තෙ ශල්‍ය කර්මය සිදුවුණු නිසා දකුණු අතෙන් වැඩ කරන එක අසීරු කාරණයක් වුණා. බ්ලොග් ලිවීම ඇතුලු සියලුම ලිවීම් සෑහෙන කාලයකට අත් හිටුවන්න සිදුවුණා.

අපේ රටේ ජනතාව, එහෙමත් නැත්නම් මගෙ යහළු යෙහෙළියො කෙළවරක් නැතුව මාව බලන්න ආව. කොළ කැඳ හදාගෙන, කෑම හදාගෙන, පලතුරු අරගෙන මාව බලන්න ආව. රෝහලට වගෙම ගෙදරටත් ආව. ඒ අයට අනේක වාරයක් ස්තුතියි. 

තවත් කාරණයක් කියන්න අමතක වුණා. මාව බලපු විශේෂඥ වෛද්‍යවරය සැත්කම කරන්න කියල පැවරුවෙ වෙනත් ශල්‍ය වෛද්‍යවරයෙකුට. ඔහු මුල්වරට මාව බලන්න ඇවිත් කිව්වා, "ඔයාගෙ නංගි කෙනෙක් මගෙ බැච් මේට් කෙනෙක්. එයාගේ හස්බන්ඩ් මගෙ රූම් මේට්. ඔයාව බලා ගන්න කියල මට අණ කළා. බය වෙන්න එපා." කියල මගෙ හිත සැනසුවා. ඒ නංගිගෙ නම ජයාදරී. එයා ඉන්නෙත් මම ඉන්න නිවාස සංකීර්ණයෙම තමයි.

නිවාස සංකීර්ණයක ඉන්න එකත් මොන තරම් වාසනාවක්ද කියල මට හිතුණා. දුවත්, දුවගෙ පවුලෙ උදවියත් ආපහු ඔවුන්ගෙ නිවාඩුව ඉවරවෙලා ගියාට පස්සෙ, මගෙ නැන්දම්මල දෙන්නෙක් මාව බලාගන්න ආවා, වරින් වර. ඒ වගෙම නිවාස සංකීර්ණයෙ අය මට උදේ, දවල්, හවස කෑම හදල එව්වා. හරිම කාරුණික උදවිය. මූණු පොතේ මුණ ගැහිල ගොඩ නගා ගත්තු යාළු මිත්‍ර කම් ප්‍රබල වෙලා දීපානි නංගිත්, අපේ නිවාස සංකීර්ණයට බැඳපු ප්‍රේමය අවසන් වුණේ, නිවාස සංකීර්ණයෙ මගෙ අසල් වැසියෙක් වීමෙන්. මූණු පොත නරකයි කියල පිටු දකින අයට එයින් බොහෝ යහපත් දේවල්ද සිද්ධ වෙන බව මතක් කර දිය යුතුයි. මූණු පොතේ ආනිශංස හා ආදීනව ගැන දවසක් කතා කරමු.

දැන් අසනීප තත්ත්වය අඩු නිසා බ්ලොග්කරණයට එක් වෙන්න හිතුවට කමක් නැහැ නේද? 

මගේ අනෙකුත් වැඩත් බ්ලොග්කරණයට අකුල් හෙළනවා. ඒ මම ආසාවෙන් කරන පුහුණු කිරීම් හා සමීක්ෂණ කටයුතු. සමාජ ක්‍රියාකාරිණියක් හැටියට වැඩ කරන කොට ලබන ආත්ම තෘප්තිය කියල නිම කරන්න බැහැ. ඒවා නිහඬව, සිත තෘප්තිමත් කරන්නම කරන වැඩ. කාන්තාවන් වගෙම තරුණ පරපුර දැනුවත් වෙලා, යහපත් ප්‍රතිඵල දකින කොට සමාජ මෙහෙවරක සැබෑ ස්වරූපය මේ නේද කියල සතුටු සුසුම් හෙළන වාර අනන්තයි.




7 ක් අදහස් දක්වලා.

Thursday, March 31, 2016

හිටු පිම්මේ යන ඔටු රේස්

Thursday, March 31, 2016

පිවිසුම:
ඔටු රේස් ගැන උනන්දුවක් පවතින මේ කාල වකවානුවෙ, ඩුබායිහි වෙසෙන දරුවන් දැක බලාගන්නට පැමිණි මට ඒ ගැන කරුණු හොයන්නට හිතුණා. ඒවා ලියලා ඔබලාත් එක්ක බෙදා හද ගත්තොත් මා මෙහෙ ඉන්න දින කිහිපය වඩාත් අර්ථවත් කර ගන්න හැකිවේය කියලා හිතලයි, ආයෙත් 'පුලිනතලාව' ට ගොඩ වෙන්න හිතුවෙ කලෙකින්.
(ගොඩක් ලියන කොට හැබැයි, සැත්කම කරපු පැත්තෙ අත නම් තවම රිදෙනවා) 

වර්තමානයේ 'ඔටු රේස්' සඳහා විශාල මුදල් ත්‍යාග සහ වටිනා මෝටර් රථ ජයග්‍රාහකයින්ට පිරිනැමුණත් ඉතිහාසයේ ලියැවී ඇති ඔටු රේස් සඳහා තරඟ වැදුණවුන්ගේ කතාවන්හි ඩිරාම් ලක්ෂ ගණන් ඔට්ටු තබා නැත. 'කාන්තාරයේ නෞකාව'යන විරුදාවලියෙන් ඔටුවා පිදුම් ලබන්නේ මැද පෙරදිග වාසීන්ගේ වාණිජ සංස්කෘතිය  මෙන්ම ඈත අතීතයට දිවෙන ප්‍රවාහණ සංස්කෘතියේද ඔටුවා අනිවාර්යය අංගයක් වූ බැවිනි. වාලුකා කාන්තාරයන්හී පැවැති දැඩි කර්කශ බව තෙල් බලෙන් සීඝ්‍ර ලෙස සංවර්ධනයන්ට භාජනය වුණු මැද පෙරදිග රටවල දැන් දක්නට නොලැබෙයි. අහස සිඹින උස් ගොඩනැගිලි, සුඛෝපභෝගී යාන වාහන මෙන්ම නොයෙකුත් සැප සම්පතින් අනූන ඩුබායිහි ඉතිහාසය එතරම් ඈතට විහිද යන්නේ නැත.

 මැද පෙරදිග රටවල විසූ අරාබි ජාතිකයින් අරාබි අර්ධද්වීපයේ ආදිවාසී අහිකුණ්ටික ගෝත්‍රවලින් පැවත එන්නන්ය. අරාබි බස කතා කරන මෙම ගෝත්‍රික වාසීන්ව පාලනය කරනු ලැබුවේ පාලක පවුල්වලින් තෝරාගනු ලැබූ 'ෂේක්' කෙනෙකු විසිනි. පැවත ආවාවූ ප්‍රධාන ගෝත්‍ර දෙක වූයෙ බනියාස් සහ කවාසිම් යන නම් වලින් හැඳින්වෙන ගෝත්‍රය්න්ය. බනියාස් ගෝත්‍රය අබු ඩාබි සහ ඩුබායි වල පදිංචි වූ අතර කවාසිම් ගෝත්‍රය සාජා හා රසල් කයිමා වල පදිංචි වූහ. සංචාරක හෝ අහිකුණ්ටික ගෝත්‍රවල ජනතාව 'බෙඩුවින්' හෝ 'බෙඩූස්' යනුවෙන්ද හඳුන්වනු ලැබිණි. ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය වූයේ ඔටුවන්, එළුවන් හා බැටළුවන් පාලනයයි. දේශගුණ විපර්යාසයන්ට අනුව තමන් සන්තකේ සිටින සතුන් දක්කාගෙන තැනින් තැන ඇවිද ගිය මෙම ජනකොටස් වල ජීවිත යැපුණේ මෙම සතුන්ගෙනි. එදිනෙදා දිවිපෙවෙතට අවශ්‍ය කිරි මෙන්ම ආහාරද, ඇඳුම් හා වාසස්ථානද උපයා සපයා සකසා ගත්තේ ඔවුන් සතු එකම වත්කම වූ සතුන් විකිණීමෙන් හා සත්ව නිෂ්පාදන (කිරි, මස්, සත්ව සම් හා සතුන්) අලෙවියෙනි. වර්තමානයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලෙස හැඳින්වෙන කොටසේ පදිංචි වූ ජන කොටස් මුලින් සඳහන් කළ එඬේර ජනවර්ගයට වඩා වෙනස් ජීවන වෘත්තීන්හි නියැළුණහ. අරාබියානු ගල්ෆ් මුහුදු තීරයේ සිය සත්ව කොටස්ද රැක බලාගනිමින්  ධීවර කර්මාන්තය, මුතු කිමිදීම, වාණිජ්‍යය යන වෘත්තීන් වලද යෙදුණහ. 

කෙසේ වෙතත් මෙම ජන කොටස්වලින් පැවත ගෙන ආ අරාබි ජාතිකයන් රාජ්‍ය බලවතුන්ගේ එකඟතාවන් හා සාකච්ඡාවන්හි ප්‍රථිඵලයක් ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලෙස නම් කොට පිළි ගැණුනේ 1971 වර්ෂයේ දෙසැම්බර් දෙවෙනිදාය. එමරාති සතකින් සමන්විත වූ මෙමෙ අ රාජ්‍යයේ එම ප්‍රදේශ හත; අබු ඩාබි, ඩුබායි, සාජා, ආජ්මාන්, උම් අල් කුවෙයින්, රස් අල් කයිමා සහ ෆුජෙයිරා නම් වෙයි.  
ආසියානු මහද්වීපයෙහි වර්ග කිලෝ මීටර් 80,000ක් පමණ වූ මෙම රට කටාර්, සෞදි අරාබිය මෙන්ම ඕමාන් රාජ්‍යය දේශයන් සීමා කොට පිහිටා ඇත. 

සංක්‍රමණිකයින් ලක්ෂ ගණනකට රැකියා සපයා දී සංවර්ධනය වන රටවල්වලට ආර්ථික හයියක් ලබා දෙන ඩුබායි හි හා අනෙකුත් අරාබි රාජ්‍යයන්හි ඉතිහාසය සමග ඔටුවන්ද අරාබි ජාතිකයින්ද අත අත නෑර යන ගමනකි. තාක්ෂණය කෙතරම් දියුණු වුවත්, නවීන පන්නයේ සුපිරි මෝටර් රථ තිබුණත් ඔවුන් තවමත් තමන්ගේ ඓතිහාසික ගමන් සහකරුවා හෝ වාහනය අමතක කරන්නට සූදානම් නැත. 
ඔටු ධාවන තරඟ පවත්වන්නේ ඔටුවන්ට කෙරෙන සැලකීමක් හා කෘතවේදීත්වය දැක්වීම බව ඔවුන් දරන මතයයි.

සමහර බෙඩුවින් ගෝත්‍රවල මනමාලියට මනාලයාගෙන් දෑවැද්ද ලෙස පිරිනැමුණේද ඔටුවන්ය. එසේම වාර්ෂිකව ඉස්ලාම් භක්තිකයින් විසින් පුණ්‍ය කර්මයක් ලෙසට ආගමික ස්ථානයන්ටද ඔටුවන් පුදනු ලබයි. ඔටු රේස් පවත්වන කාලයන්හිදී බොහෝ ඔටු හිමිකරුවන් විසින් ඔටුවන්ගේ ගෙලෙහි කහ දියර තවරා ගරුත්වයට ලක් කෙරෙයි. මනාලියකට සේ සලකයි.

මෙවර පැවැත්වෙන ඔටු දිවීමේ තරන්නගයට ඔටුවන් 11,000ක් පමණ සහභාගි කරවන්නට නියමිතය. මෙම ඔටුවන්ද ගෝත්‍ර දෙකකට අයත් වෙයි. 'ඩ්‍රොමෙඩරි' නම් වූ අරාබි සම්භායකින් පැවත එන ඔටුවන්ට ඇත්තේ එක මොල්ලියකි. ආසියානු සම්භවයකින් පැවත එන 'බැක්ට්‍රියන්' නම් වූ ඔටු විශ්ෂේශයට මොල්ලි දෙකක් ඇත. 
අරාබි සංස්කෘතියෙහි ඔටුවන්ට හැම වසරකම අළුතින් නමක් තැබීමද එකතර සම්ප්‍රදායකි. එක වසරැති ඔටුවෙක් 'හෙවර්' යනුවෙන් මුලින් නම් කර දෙවෙනි වසරේදී එම ඔටුවාම 'ෆටීම්' ලෙසින් නක් කරයි.වසර තුනක් ගත වෙද්දී 'හජ්' යන නමින් පුදනු ලැබෙයි. වර්තමානයේ ඔටුවන් ප්‍රාවහනය සඳහා යොද නොගැණුනත් වාර්ෂිකව පවත්වන ධාවන තරඟයන්ට නම් ඔවුන්ගේ සහභාගීත්වය අනිවාර්යය.

දැනට 75 වන වියෙහි පසුවන සලිම් ඔබෙයිද් පවසන්නේ ඔහු 1961 සිට ඔටු රේස්වලට සහභාගි වන බවයි.
" මම මුලින්ම ඔටු රේස් වලට සහභාගි වුණේ 1961 දී.ඒ අමතක නොවෙන දවස. මම විවාහ වුණෙත් එදා. එදා මට තෑග්ග හැටියට ලැබුණෙ රුපියල් සීයක් විතරයි. ඒකත් දුන්නෙ රේස්වලට සහභාගි වුණු අනෙක් පස්දෙනාගෙන් රුපියල් විස්ස ගානෙ එකතු කරල. අනෙක ඒ දවස් වල පොඩි උත්සව අවස්ථාවලදි අපි ඔටු රේස් තියනව අහල පහල අය එකතු වෙලා. එතකොට තරඟය දිනුව කෙනාට ලැබුණෙ, රට ඉඳි කූඩයක් හරි පලතුරු කුඩයක්. ඒත් අද තත්ත්වෙ ඊට වඩා බොහොම වෙනස්. ලක්ෂ ගණන් මුදල් හා සුපිර් කාර්. ඒ තරඟ පවත්වන්නේ ශේක් තුමාගේ අනුග්‍රහයෙන්. ඒ වගෙම දැන් රේස් නරඹන්නට තෙන විදේශිකයින්ගේ සහභාගීත්වයද වැඩියි. එය දැන් එමීර් රාජ්‍යයේ ජාතික ක්‍රීඩාවක් බවට පත්වෙලා.
 මට ඒ දවස් වල හිටියෙ ඔටුවො දෙන්නයි. ඒ දෙන්නගෙන් අපේ පවුලට යැපෙන්න පුළුවන් කම තිබුණා. දැන් මට ධාවන ශූරී නිරෝගී ඔටුවන් 40 ක් ඉන්නවා. 1971 එමීර් රාජ්‍යය නම් කෙරුණට පස්සෙ අනෙක් සියල්ලටම වගෙ ඔටු රේස් වලටත් යහපත් කාලයක් උදා වුණා. පාලකයින්ගේ අනුග්‍රහයෙන් රේස් සංවිධානය වුණා. එය එමීර් රාJ‍යයට අයත් රටවල් හතේ සාමය හා සහජීවනය ශක්තිමත් කිරීමේ අරමුණින් තමයි, අද කාලේ බොහෝ රේස් පවත්වන්නෙ."

ඔටු ධාවන තරඟවලට ඕනෑම කෙනෙකුට ඔටුවන් යෙදවිය හැක. සහභාගිවිය හැක. ශේක්වරුන්ට මෙන්ම සාමාන්‍ය ජනතාවටද, විදේශිකයින්ටද සහභාගි වීමට අවස්ථාව ඇත. අරාබි ජාතිකයින්ගේ මතය වන්නේ ඔටුවන් සතු වීමද හොඳ රැකියාවක් බවයි. 
එනිසාම ගල්ෆ් රටවල ව්‍යාපරිකයන් සහ ඔටු හිමියන් මෙම තරඟ සඳහා පෙරට වඩා උනන්දුවක් දක්වන බව පෙනේ. 1980 වර්ෂය වන විට හටගත් තරඟකාරීත්වය නිසා ජොකියන් ලෙසට දකුණු ආසියානු රටවලින් දරුවන්ද නීති විරොදී සංක්‍රමණ ජාවාරමෙන් අරාබිකරයට ගෙන එනු ලැබිණි. එහෙත් මානව හිමිකම් සංවිධානවල මැදිහත් වීම් සහ බලපෑම් නිසා ඒ සඳහ විකල්පයක් සෙවීම කඩිනමින් සිදුවිණි. කෙසේ හෝ ළම ජොකියන් යොදවා ඔටු රේස් පැවැත්වීම 2005 දී තහනම් කෙරිණි. 

 මෑත කාලයේදී, බොහෝ විට එමිරාති ජොකියන් රේස් සඳහා ඉදිරිපත් වන නැඹුරුවක් දක්නට ලැබුණු අතර නවතම ප්‍රවණතාවය වන්නේ ජොකියන් ලෙස රොබෝ වරුන් යෙදවීමයි. මෙම රොබෝවන්ව දුරස්ථ පාලක යන්ත්‍රයකින් ක්‍රියා කෙරෙනු ලබයි.
බොහෝ බෙඩුවින් ජාතිකයින් සිතන්නේ ඔටුවන් ඔවුන්ගේ ජීවිතයට ඉතා සම්බන්ධ ප්‍රාණීන් ලෙසටටයි. වැලි කතර තුළ පවතින කටුක දේශගුණික තත්ත්වයන්ට මුහුණදෙමින්, ඔරොත්තු දෙමින් ඔටුවන් අරාබි ජනතාවගේ ළඟම හා හිතවත්ම මිතුරා ලෙස ශතවර්ෂ ගණනාවක් පැමිණ ඇත.
ඔටුවන් පිළිබඳව සුවිශේෂී පර්යේෂණ කොට ආචාර්ය උපාධියක් ලද ලුලු ස්කිඩ්මෝර් ගේ මතය අනුව ජලය නොමැති පරිසරයක ජලය නොමැතිව බොහෝ දිනක් ජීවත්විය හැකි එකම සතා ඔටුවාය. කාන්තාර වැනි පරිසරයන්හි ඉතාම අඩු ජල පරිභෝජනයකින් ඔටුවන්ට කල් ගෙවිය හැක. නිදසුනක් වශයෙන් හරකුන් මුව ගැටෙන හැම තණකොළයක්ම උලා කෑවද ඔටුවන් තණකොළ ඒ තරමට උලා කන්නේ නැත. ඔටුවාගේ උස නිසා ඒ උසින් ඇති ගස්වල කොළද ඌ ආහාරයට ගනු ලබයි. ඔටුවාට අනෙක් සතුන්ට වඩා වේගයෙන් දිය පානය කළ හැක. පැය විසි හතරකට අඩු කාල සීමාවකදී ඔටුවෙකුට වතුර ලීටර් 180ක් පානය කළ හැකිවීම අනෙක් සතුන්ට නොමැති වරප්‍රසාදයකි.

ඔටුවන්ගේ තවත් විස්මය දනවන ජෛවවිද්‍යාත්මක ගුණයක් වන්නේ ජල හිගයන්ට මුහුණ දීමට ඇති ශක්‍යතාවයි. ඔටුවෙකුට සති දෙකක් වතුර නොමැතිව ජීවත් විය හැක. එහෙත් සති දෙකක් ජලය නොමැතිව සිටීම මිනිසුන්ට නම් මෙය අනිවාර්යයෙන් මරණය කැඳවන කාරණයකි.

මෙයට විද්‍යාත්මක හේතුව ගැන ඔබට සිතිය හැකිද? ඔටුවන්ගේ රුධිරනාලිකාවන්ට ඒවායේ පවතින ඝනත්වයට වඩා 240%ක් ප්‍රසාරණය විය හැක. එසේම ඔවුගේ රුධිර සෛල ඉතාමත් කුඩා මෙන්ම සිහින්ය. එනිස ඔවුන් විජලනය වුවත් රුධිර සංසරණය නවතින්නේ නැත. තවත් අතෙකින් ඔවුන් මුත්‍රා බැහැර කරන්නේද ඉතා ස්වල්ප වශයෙනි. දවසකට දෙවරක් පමණකි. සාන්ද්‍රණයෙන් අධික ඔටු මුත්‍රා මුහුදු වතුරට වඩ දෙගුණයකින් ලවණ සංයුතියකින්ද යුක්තය.


1 ක් අදහස් දක්වලා.

Monday, November 2, 2015

Monday, November 2, 2015
උන් වහන්සේ අළුයම අවදිවී සිය දවසේ කටයුතු ආරම්භ කරන්නට සිතූ සැණින් කිසිවෙකු වන්දනා කුටිය තුළ සිටින බව දැනිණි. ඔහු හෙමින් වැඩියේ එහි සිටින්නේ කවරෙකුදැයි සැක හැර දැන ගනු පිණිසය. දුරින් කළු සෙවනැල්ලක් එහා මෙහා යයි. හිස් පළඳනාවක්ද පැළඳ ඇති සැටියෙකි. මෙතරම් පාන්දරින් වෙනත් හිමිවරුන් අවදි වී භාවනා නොකරන බව උන්වහන්සේ හොඳින්ම දන්නා කරුණකි.
කට හඬ අවදි කළ ස්වාමීන් වහන්සේ, " පින්වත, ඔබට අවශ්‍ය මොනවාද?" කිය කාරුණික ස්වරයෙන් විමසූ සේක.
"මට පින් පෙට්ටිය දෙනව ඕයි. නැත්නම් මේ පිහියෙන් තමුසෙව කීතු කීතු කරල දානවා" සොරෙකු සේ සිටි තැනත්තා කීවේ තමා අත වූ දිලිසෙන මුවහතක් ඇති පිහිය පෙන්වමිනි.

ස්වාමීන් වහන්සේ පිහිය දුටුවත්, ඉන් නොබියව "ඇත්තටම?" යයි පවසමින් ඔහුට පසෙක තිබූ පින් පෙට්ටියේ යතුර දුන් සේක. එම පුද්ගලයා පින් පෙට්ටිය විවෘත කොට සල්ලි සියල්ල හළා ගන්නා විට ඔහු කෙසඟ සිරුරකින් හෙබි, ඉරුණු කමිසයක් හැඳ සිටි දුප්පතෙකු බව හොඳාකාරව දුටු සේක.
"දවස් ගාණකින් හරිහමන් කෑමක් කාල නැතුව වගෙ."
"තමුසෙට මොකටද ඒකෙ වගක්" ඔහු පිළිවදන් දුන්නේ දැඩි කෝපයෙනි.
"ඔය පිං පෙට්ටියට එහායින් කබඩ් එකේ කෑම වගයක් ඇති. ඒවයින් මොනවහරි කාලම යන්න." ඉතාම කරුණවෙන් කියා සිටියේය.
" ඔය යන්නේ පොලිසියට කියන්න නේද? මම දන්නේ නැහැ කියල හිතුවද?" යළිත් බල්ලෑකු සේ බුරාගෙන පැන්නේ සොරකමේ ආ තැනැත්තාය.
" අපො! නැහැ, ඔබ සොරකමක් කළේ නැහැ නෙ. යතුර දුන්නෙත් මම. කෑම දුන්නෙත් මම. ඉතින් සොරකම් නොකළ කෙනෙක් පොලිසියට දෙන්නෙ මොකටධ?
සොරා පින් පෙට්ටියේ ඉතුරුව තිබුණු සල්ලි සියල්ලත් පොදි බැඳගෙන කෑමත් ඔතාගෙන එළිඅයට පැන ගියේ 'පොලිසියට කිව්වොත් බලා ගෙනයි" යනුවෙන් තර්ජනාංගුලිය ඔසවමිනි.

පසු දින පන්සලේ වැඩ සිටින අනෙකුත් ස්වාමීන් වහන්සේලාට එම සිද්ධිය නායක හිමියන් මේ බව පවසා සිටියේ ඔවුන්ට එයින් යමක් උගත හැකි හෙයිනි. නායක ස්වාමීන් වහන්සේගේ උතුම් ක්‍රියාවන් පිළිබඳව උන් වහන්සේ බෙහෙවින් පැහැදී උන්වහන්සේට ප්‍රශංසා  කළහ.

සතියකට පමණ පසුව එම හොරා තවත් හොරකමක යෙදී සිටියදී අල්ලා ගෙන පොලිසිය විසින් දස අවුරුදු සිර දඬුවමක් ලබා දී ඇති බවට පුවතක් පුවත් පත් වල පළවිය. කාලය සෙමින් ගෙවී ගියේය.දස අවුරුද්දකුත් ගෙවී ගොසිනි.
එක් උදෑසනක කලින් දින සේම බුදු ගෙයිහි කළු සෙවනැල්ලක් විය. ස්වාමීන් වහන්සේ එහි වැඩියේ පරණ සිද්ධිය සිහිපත් වූ බැවිනි. එදිනද ඔහු උල් පිහියක් අත දරාගෙන සිටියේය. පිහිය උරුක්කර, "මාව මතකද ඔහේට?" කියා ඇසුවේය.
ස්වාමීන් වහන්සේට රළු බැල්මක් හෙළුවේය.
"පින් පෙට්ටියෙ යතුර ඔය තියෙන්නෙ. මේ සල්ලි දුප්පතුන්ට  අපි දෙන්නෙ. ගන්න"

එහෙත් ස්වාමීන් වහන්සේගේ කීමට ඔහු නොසැලී  රකුසු මුහුණ වෙනස් කර මද සිනහවක් පෑවේය. සන්සුන්ව කතා කරන්නට වූයේය.

" මම අද ආවේ ඔබ වහන්සේගෙන් ඊට වඩ යමක් ඉල්ල ගන්න. ඔබ වහන්සේ ළඟ තියෙන තැන්පත කම හා ඉවසීමත්, තරහ නොයන ගතියත් මට ලබා ගන්න අවශ්යයි. පහු ගිය අවුරුදු දහයටම මට ඔබ වහන්සේ තරම් කරුණාවෙන්, ආදරයෙන් කිසිම කෙනෙක් කතා කරල නැහැ. ඔබ වහන්සේ අවසර දෙනව නම් මම ඔබ වහන්සේ ළඟ මහණ වෙන්න කැමතියි" කියමින්  පසඟ පිහිටුවා උන්වහන්සේට වැඳ සිටියේය.

කල් නොගොසින් ඔහුට භික්ෂුභාවය ලැබිණි.එපමණක් නොව ධනවතෙකු බවටද පත්විය. ඒ මිළ මුදලින් නොව කරුණාවෙන්, මෛත්‍රියෙන් සහ මුදිතාවෙනි. අප සැමටද අවශ්‍ය වන්නේ එය නොවේද?

4 ක් අදහස් දක්වලා.

Monday, September 29, 2014

Monday, September 29, 2014






කතන්දර ලියන මම, ලියපු කතන්දර පොතක් 'සුදු හිම පලස' නමින් ළඟදි එළිදැක්වූවා. එය 'සුරස' ප්‍රකාශනයක්. ඇෆ්ගනිස්තානයේ මා ගත කළ අවුරුදු හයකට කිට්ටු කාලය තුළදී මා ඇසු දුටු ඒ වගේම වින්ද දේවල් තමයි, මේ නිර්මාන වලට පාදක වෙලා තියෙන්නෙ. ඔබත් මේ පොත කියවන්න. ඇලුත් කියැවීම් අත්දැකීමක් වේවි කියල මට සහතිකයි.
මරදානේ සුරස පොත් හලෙන් වගෙම නුගේගොඩ සරසවි පොත් හල ඇතුලු වෙනත් පොත් හල් වලින් ලබා ගන්න පුලුවන්. පිටපළාත් වලත් ඇති කියලා, මට විශ්වාසයි.

2 ක් අදහස් දක්වලා.

Wednesday, January 29, 2014

නිළියන් හා දේශපාලනය

Wednesday, January 29, 2014
ළඟදී එන මැතිවරණයට නිළියන් තරඟ කිරීම පිළිබඳව බොහෝ දෙනෙකුගෙන් පළ වෙන්නේ අශුභවාදී එමෙන්ම ලිංගිකත්වය අනවශ්‍ය ලෙස උලුප්පාලන මත වාදයන් හා අදහස්. නිළියන් පළාත් සභා මැතිවරණයට පිවිසීම එක් ආකාරයකින් අපේ පළාත් සභා වල කාන්තා නියෝජනය වැඩි කිරීමක්. රෝසි සේනානායක මහත්මිය මැතිවරණයට එන කාල වකවානුවෙ වුණත් බොහෝ අය ඒ ගැන දැරුවේ, සාවද්‍ය ආකල්ප. එහෙත් ඇය පොත පත කියවීමෙන් හා අත් දැකීම් ඇසුරෙන් කාන්තා ප්‍රශ්න පිළිබඳව ඉතා සංවේදීව කටයුතු කරන බව  මේ පිළිබඳව උනන්දුවෙන් සොයා බලන අය කවුරුත් පිළිගන්නා සත්‍යයක්. උපෙක්ෂා ස්වර්ණමාලී මහත්මියද දැන් පෙරට වඩා දැනුවත් වී කටයුතු කරනා බව හා අධ්‍යනයන් හි යෙදෙනා බව කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් ඇය කළ අදහස් ප්‍රකාශ කිරීමක දී අසන්නට ලැබුණා.
ශ්‍රී ලංකාවේ පළාත් සභා හා ප්‍රාදේශීය සභා වල ස්ත්‍රී නියෝජනය ඉතාමත් අවම තත්ත්වයකයි, පවතින්නේ. නිළියන් වුවත් ඔවුන් මේ රටේ පුරවැසියන්. මෙතැනදී බොහෝ දෙනෙකුට ප්‍රශ්නය වී ඇත්තේ ඔවුන් නිළියන් වීමයි. නළුවන් ගැන කිසිවෙකුගේ විරොධයක් නැත. පාර්ලිමේන්තුවේ, පළාත් හා ප්‍රාදේශිය දේශපාලන ආයතන වල සිටින පිරිමි නියෝජිතයන් මුග්ධයන් සේ ස්තිරේ දූෂණ වල යෙදෙමින්, මිනී මර මින් කරන අපරාධ මේ නිළියන් නම් කිසි දාක නොකරනු ඇත. මෙහිදී බොහෝ දෙනෙකුට ප්‍රශ්නය වී ඇත්තේ කාන්තාවන් මෙසේ මතිවරණයන්ට ඉදිරිපත් වීමයි. ඉන්ඩියාවේ පවා ටෙලි නාට්‍ය නිළියන් හා කලා කරුවන් විටින් විට දේශපාලනයට අවතීර්ණ වී ඇත. ඔවුන් පසුව යහපත් ජනතා සේවකයින් බවට පත් වී ඇත. අපේ මේ නිළියන් ද තේරී පත් වුවහොත් නිළි කම පැත්තකට දමා සිය වගකීම් මැනවින් හඳුනා ගෙන කටයුතු කරාවි යැයි සිතන්නට අපට නොහැකි ඇයි? පාර්ලිමේන්තු කාන්තා කණ්ඩායම මගින් වර්තමානයේ දැනුවත් කිරීම් කරගෙන යනු ලබයි. දොස්තර ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය, රෝසි සේනානයක මහත්මිය ඇතුළුව බොහෝ දෙනෙක් වගකීමෙන් යුතුව සිය යුතුකම් ඉටු කරමින් සිටියදී සාකච්ඡා සංවාද පවත්වමින් කාන්තවන් වැඩි වශයෙන් දේශපාලනයට උනන්දු කරවමින් සිටියදී මෙම නිළියන් වුව ඔවුන්ගේ ආභාෂය ලබමින් නිවැරදි මගක් ගන්නවාට කිසිදු සැකයක් නැත.තරඟ වදින එක් නිළියක් ප්‍රකාශ්යක් නිකුත් කරමින් පවසා සිටියේ තමන්ට ජයග්‍රහණය ලැබුණොත් ඇය නිළි වෘත්තියෙන් අයින් වී දිගින් දිගටම දේශපාලනයේ යෙදෙන බවයි.

               වැන්දඹු දේශපාලනය පවතිනවා යයි කියන දකුණු ආසියානු කලාපයේ ඒ සංකල්පයෙන් මිදෙන්නට නිළියන් හෝ මෙසේ ඉදිරිපත් වීම අගය කොට සැලකිය යුතුය. ඔවුන් නිළියන් වුවත් පූර්ණ මානව හිමිකම් වලට උරුම කම් කියන මේ රටේ පුරවැසියන් බව අප කිසි සේත් අමතක කළ යුතු නොවේ.
නිළියන් පිළිබඳ කතා බහ සෘණාත්මකව සිදුවීම කණගාටුවට කාරණයකි. ඔවුන්ට චරිත සහතික නිකුත් කරන්නට තැත් කරන උදවියට පැවසිය යුත්තේ දේශපාලනයේ යෙදෙන පුරුෂ පක්ෂයටද චරිත සහතික නිකුත් කළ යුතු වගයි. ඒ දුෂණ හා ඝාතන සම්බන්ධයෙන්ය.
කාන්තාවන් වත් මේ නිළියන්ට සිය මනාපයන් ලබා දෙන්නේ නම් ඔවුන්ව ජයග්‍රහණය කළ හැකි වනු ඇත. කුමන පක්ෂයකින් පැමිණියත් කාන්තාවකට මනාපය පළ කිරීමේ අවස්ථාව මග හරින්නේ නැතිව ඇය නිළියක් ද ගායිකාවක් ද කලා ශිල්පිණියක් ද  වර්ග නොකර ඇය මේ රටේ පූර්ණ පුර වැසියෙක්ය යන කාරණය සිත් හි තබා ගෙන ඔවුන්ට සහයෝගය පල කළ යුතු බව මගේ හැඟීමයි.

9 ක් අදහස් දක්වලා.

Tuesday, January 22, 2013

අළුත් නම් දීම

Tuesday, January 22, 2013
  

 
                 උණ පඳුරේ ඉඳල කුරුල්ලෙක් ඉගිලුණෙ, මා අමුත්තෙකුට අපේ කුරුලු පාරාදීසය පෙන්වමින් ඉඳිද්දි. මා එයාට කියන්නෙ, මුදු පරෙවියා කියලා. අමුත්තා මාව නිවැරදි කළා.
"නැහැ, එයා 'යුරේසියානු කර පටි' පරෙවියා'"
පසු ගිය මාස කිහිපය තුල මේ සම්බන්ධයෙන් මාව නිවැරදි කරපු තුන් වැනි අවස්ථාව. මා ඉතා ආයාසයකින් උපයා ගත් කුරුලු වර්ග හඳුනා ගැනීම පිළිබඳව වූ දැනුම නොවටිනා දෙයක් බවට පත් වුණ බවක් මට දැනුණා. තව දුරටත් මෙයාකාරයෙන් කටට ආ පලියට නම් වමාරන්න නරකයි. පොඩ්ඩක් හිතල බලන්න, එක දවසක, ඔබ දන්න හැම කෙනෙකුම ඉඳුරාම වෙනස් නම් වලින් ඔබට මෙහෙම ප්‍රතිචාර දක්වූවොත්?
   කෙසේ වෙතත් 'රොම්' නම් දන්නවා, එයගෙ කුරුල්ලන්ව ඉතා හොඳින්. ඔහු 'කුරුලු උයන' නරඹන්නට එන විදේශීය කුරුලු රසිකයින් ඉදිරියෙ ඔහුගෙ නිව්යෝක් නාසික උච්චාරණ ක්‍රමය අනුකරණයෙන් කුරු
ලු නම් කියන පුරුද්දක් ඇති කර ගෙන එයට හුරු වුණා. ඒත් මේ ප්‍රදේශයේ අයට නම් ඒක සාර්ථක පිළියමක් වුනේ නහැ.
'ඉන්දියානු කුරුල්ලෝ' නම් සලීම් අලි ලියූ පොතෙහි සියලුම පැරණි කුරුල්ලන්ගෙ නාමාවලියක් සටහන්ව තිබෙන නිසා රොම් ගේ පුරුද්ද මට අදේශ කර ගැනීම තව දුරටත් අවශ්‍ය වූයේ නැහැ. ඒ වෙනුවට මා කළේ, ක්‍රිස් කැස්මීර්සක් (Krys Kazmierczak) ගෙ 'ඉන්දියානු කුරුල්ලන්ට ක්ෂේත්‍ර අත් පොතක්' (A Field Guide to the Birds of India) නම් වූ පොත තෝරා ගැනීමයි. මට
අවශ්‍ය වුණා, තව මා අළුතින්  අම් කීයක් උගත යුතුද කියා දැන ගන්න. නම් වැලේ දිග දැක්කම මව අන්දු කුන්දුන්. ඒ වගෙම අධෛර්යයට පත් වුණා. 'හුබාරා බස්ටර්ඩ්', 'මැක් ක්වීන් බස්ටර්ඩ්' බවට පත් ව්ලා. පුංචි හුරුබුහුටි 'ලොරි කීට්' ගිරවා, 'පන්ඩ්ඩිත මානී වසන්ත ගිරවා' බවට පත් වෙලා. සුදු ලයැති කිං ෆිෂර්ව සුදු ගෙලැති කිං ෆිෂර් විදිහට වෙනස් කරන්න පුලුවන් වෙන්නෙ ඉතින් නොකැළල් වික්ටෝරියානුවෙකුටම විතරයි, මා හිතන අන්දමට. අපි 'කැලෑ කපුට කියලා අපි සාමාන්‍යයෙන් හඳුන් වන විශාල්, දැකුම් කළු , දිළිහෙන කාල වර්ණයකින් යුතු කපුටා හොට ලොකු කපුටා වෙලා. ඌ තවමත් කපුටෙක්, අඩුම තරමින්. ඒක නරකම නැහැ. සමහරුන්ව උන්ගෙ පෙලපත් නාම වලින් පවා බැහැර කරලා අමුතු අළුත් නම් දීලා. 'බ්‍රාහ්මිය මය්න' ව බ්‍රාහ්මීය ස්ටාලිං' කෙනෙක් කරලා.
 මේ අය කොහෙන් මේ නම් අහුලා ගත්තද දන්නෙ නැහැ. නිදසුනක් හැටියට කිව්වොත් 'රතු මුනියා' කියන කුරුල්ලට උසාවි නියෝගයක් වගෙ ඇහෙන හින්දද කොහෙද 'රතු අවදවත්' කියල නම් කරලා. 'පන් රැවියා' කියන රුසිරැව් කුලයේ කුඩා කුරුල්ලවත් 'සිස්ටිකෝ
ලා ' යන නමින් හඳුන්වලා. ඒ නම් හරියට සුලබ සිසිල් බීමක නමක් වගෙ. හොඳයි, මම මෙහෙම අහුව්වොත්? අපේ පරණ රන් පැහැති පිටක් සහිත කොට්ටෝරුවව දැන් හඳුන් වන්නෙ කොහොමද කියලා? එයා දැන් 'පොදු ගිනි දලු පිටැත්තා. '
   මගෙ හිත ගොඩක්ම නොසන්සුන් කළ වෙනස් වූ නම තමයි, අළු කොබෙයියාට දමල තියෙන 'අළු ෆ්‍රැන්කොලින්' කියන ප්‍රංශ සම්භවයක්
එක්ක එන නම්. කොබෙයියෙක් කොහොමද, ෆ්‍රැන්කොලින්' කෙනෙක් බවට වෙනස් කරන්නෙ? අපේ කොබෙයියො අපෙන් අවහිරයක් නැහැ කියන විශ්වාසයේ ඉඳගෙන අපේ මිදුල් වල අහුලං කනව. ඔවුන් බොහෝ විට  ගස් වල හෝ අතු ඉති වල වහන්නෙ නැහැ. අනතුර දැණුනු වහාම ඉගිලෙනවා. ඔවුන් රෑනක් අනතුරක් දැනුණු සැණින් තටු ගසමින් එකටම ඉගිලෙද්දි සමහරවිට ඇති වෙන කම්පනයෙන් ඔබගේ හෘද ස්ඵන්දනයත් වැඩි වෙලා ඇති. ඔවුන් අඕඉ කුරුලු උයනෙ නම් නිවසන්නෙ පුංචි පඳුරු වල. සමහර විට උණ පඳුරු වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් කටු සහිත පොඩි ගස් වලින් හෙබි පඳුරු වල්. මේ කුරුලු රංචු වල බොහෝ විටඉන්නෙ කුරුල්ලන් අට දෙනෙක් විතර.ඒ ගොල්ලො රංcඋ පිටින් කා ගහන කොට මා කන්කරච්චලයක් කියලත් සමහරු කියනවා. එහෙම් නම් කියන්න මට, මගේ බුද්ධිමත් මිතුරනි, ඒ අය අතරේ, ෆ්‍රැන්ක්ලින්ලා හරි පර්ට්‍රිජ් ලා ඉන්නවද කියල ?

එහෙත් මේ නැවත නම් කිරීමේ  ලෝකය පුරා සරන කුරුල්ලන් නරඹන වෘත්තිකයින්ගේ ක්‍රියාව නම් බියකරු සිහිනයක් වගෙ. එක කුරුලු වර්ගයකට ඉංග්‍රීසි නම් කිහිපයක්ම තියෙන බව ඇත්ත. ඒත් මේ කුරුල්ලන් නැවත නම් කිරීමට ඉංග්‍රීසිත් නොවන පොදු භාවිතයේත් නැති නම් වර්ග යොදා ගැනීම මොන තරම් අර්ථ ශූන්‍යය දෙයක්ද?
බොහොමය
ක් සාකච්ඡා උපදේශකත්ව මධ්‍යයේ 2004 දී රංජිත් මනකන් හා ආදීශ් පිට්ටී මැද මාවතේ කුරුලු නම් ලැයිස්තුවක් ඉදිරිපත් කළා. මේ අනභිබවනීය වෑයම බොහො විදේශීය විශේෂඥයන් තුට්ටුවකට වත් මායිම් කළේ නැහැ. වෙනත් අයත් මේ පිළිබඳව මති මතාන්තර ඉදිරිපත් කළා. පොදු නම් වලට මැදින් 'විරාම ලකුණු' තියෙන්න පුළුවන්ද? 
අළුත් නම් ඉගෙන ගන්නා අ
දිටනින් මා අවදිවන හැම උදයකම, ඒ නම් දෙතුන් වතාවක් නැවත වෙනස් වෙලා. ඒ නිසාම මම හිතා ගත්තා ඒ නම්  ලතින් බසින් හෝ ග්‍රීක් බසින් මා ඉගෙන ගත යුතු බව.
කොහොම නමුත් තවමත් ජීවිතයක් තිබීම අති විශිෂ්ටයි, කියල මට හිතෙනවා.

6 ක් අදහස් දක්වලා.

Monday, January 21, 2013

ගස් ගෙම්බාගේ ශාපය !

Monday, January 21, 2013


                               'ඩී' කියල අපි හුරතලයට අමතන මගෙ යෙහෙළිය, අන්දමන් දූපත් වලට ගිහින් එද්දි පොත් ගෙනැත් තිබුණා. ඒවා අතර තිබී මගේ හිත ගත්තු පොත වුණේ, 'මගෙ සැමියා සහ අනෙක් සත්තු' (MY HUSBAND & OTHER ANIMALS) කියන පොත. සැමියා සතෙක් වගේ කියන එක නෙවෙයි, මෙයින් කියැවෙන්නෙ. ඔවුන්  වන ජීවීන්ට මෙන්ම අනෙකුත් ගෘහස්ථ සත්තුන්ට පවා කොයි තරම් ආදරය කරනවාද කියන එක. මම හිතුවා ඒකේ කතා පරිවර්තනය කරලා ඔබලාටත් කියවන්නට සලස්වන්නට. මේ කතා ලියැවිලා තියෙන්නෙ, 'තීරු ලිපි' ලෙසින්. මේ තීරු ලිපි වල නිර්මාතෲ වරිය වන්නේ, ඉන්දියානු ජාතික
ජානකී ලෙනින්. එම පොත හොඳම පොතක් ලෙසට ලොව දස දෙසින්ම සම්මානයට පාත්‍ර වූවක්.
කෙසේ වෙතත් මේ පොත ලඟ තියා ගෙන, කොයි තරම් දුරකට ලියා ගෙන යාවිද දන්නෙ නැහැ, මේ මා කියන වයසක ස්ත්‍රිය.



අලංකාර, දැවැන්ත නුග ගහක සෙවන යට රොම් සමග මා අපේ ගොවි පොළේ තනාගත් නිවසේ උරුමක්කරයන් මිනිසුන් වන අපි කියල අපි හිතා ගත්තු එක ඇත්තෙන්ම අතිශයින් කණගාටු විය යුතු වරදක් බව මට ප්‍රත්‍යක්ෂ වුණා. මුල්ම ග්‍රීෂ්ම සෘතුවේදී ගස් ගෙම්බන් කිහිප දෙනෙක් ඇවිත් අපේ ගෙදර පදිංචි වෙනව,මා දැක්ක. සිරුරට යටව තිබෙන උන්ගේ හුරුබුහුටු දෙපා වලින් දැඩිව ග්‍රහනය කරගෙන විශාල දෑස් වලින් සුපරිහ්ෂාකාරී බැලුම් හෙලම්න් සිටි ඔවුන්ගේ නිවැසි භාවයට මා කිසි සේත් අකුල් හෙළන්නට හියේ නැහැ. ඔන්න ඔය කාලෙදි තමයි, අත්තම්මල, කිරි අත්තම්මල වගෙම මුණුබුරු මිණිබිරියන් වගෙම නෑනලා මස්සිනාලා විතරක් නෙවේ නැන්දම්මලා, මාමලාත් අපේ ගෙදර පවුල් පිටින් පදිංචියට ආවෙ.

ඉතාමත් ඉක්මණින්ම  හැම කොණක්ම, හැම පොතක්ම, ජොග්ගුවක්ම, බිත්තිවල එල්ලලා තියෙන පින්තූරයක් ගානෙම කගෙ කාගෙත් වාසස්ථාන බවට පත් වුණා. සමහරෙක් රෙදි සෝදන යන්ත්‍රයෙ සබන් දමන කොටසෙ පදිංචි වෙලා. සමහරෙක් අත් සෝදන බේසම 
මත. වතුර පයිප්පය මත. සමහරු කොමෝඩ් එකේ සිස්ටනය මත. තවත් සමහරෙක් ඉතාමත් සීරු මාරුවට කබඩයත් බිත්තියත් අතර ඉතාමත් පටු ඉඩෙක නිදහස් කොටසේ බුරුතු පිටින් අපූරුවට ලැගුම් ගෙන. ත්‍යාගවන්ත භාවයෙන් යුතුව ඔවුන් අපට ජීවත් වෙන්නත් පුංචි කොටසක් ඉතුරු කරල තිබුණා.
   අඩ දශකයකට පෙර, නගරයේ ජීවත් වුණු අවුරුද්දක කාලය තුළ මා  බල්ලෙක් වත්, බළලෙක් වත් ගෙදර තියා ගන්නට දැක් වූයේ බලවත් අප්‍රසාදයක්. ඒ වෙනුවට මම ඇති දැඩි කළේ ලස්සන හුරුබුහුටි ගස් ගෙම්බෙක්ව. ඔහු නිවසන පෑන්ට්‍රියේ වතුර බේසමක් මා හිතා ම්තා  තිබ්බේ ඔහුගෙ ස්නානීය කටයුතු සඳහා. ඒ වගෙම රාත්‍රී කාලයේදී කුඩා විදුලි පහනක් ද දල්වා තැබුවේ ඔහුට ගොදුරු පිණිස කෘමීන් හසුකර ගන්න විදිහට. හැබැයි, අප අතර තිබුණු  සම්බන්ධතාවය වගකීමෙන් නිදහස් එකක් බවකිව යුත්තේ මගේ ගෙඹි සුරතලා එයාට කවන පොවන එක හෝ ඔහුව පුහුණු ඉරීමක් හෝ බලාපොරොත්තු වුණේ නහැ. ඒ වගෙම ජලවාෂ්ප හා පිරිසිදුවාතාවරණය සහිත ඒ සිඟිති කාමරය තුළ මා ඇවිදිනවාටත් එයාගෙ කැමැත්තක් තිබුණෙ නැහැ. ඒ වගෙම අපි දෙදෙන වැඩිපුර එකිනෙකාට ආසන්නව ගත කළ උණුසුම් අවස්ථා තිබුණෙත් නැති තරම්. ඒත් මට මගෙ හුරතක් ගස් ගෙම්බා මගෙ අහළ පහළ ගැවසෙනවට හිතේ ලොකු කැමැත්තකුත් තිබුණා. සියල්ලම හොඳින් සිද්ධ වුණා, පොත් රාකේ පොතක් හදිස්සියෙම පෙර්ලිලා, මගෙ ගස් ගෙම්බ ගේ හදිසි අභාවය සිදු වෙන කල්ම. හර්ම අපහසුකාරී තත්ත්වයක්.
 කර්මයේ ප්‍රතික්‍රියාවන් අනුව ගස් ගෙම්බාගේ ශාපය මා වෙතට පතිත වේ යයි මට සිතුණා. ඇත්තටම ගෙම්බන්ට අවශ්‍ය වුනේ අපේ ගෙදරින් පදිංචියට ඉඩ කඩ නම් මට සාමයෙන් ඉන්න තිබුණා. ඒත් තුවා, මේස පුටු හා කබඩ්  විතරක් නෙවෙයි පිඟන් කෝප්ප වල පවා ඔවුන්ගේ පශ්චාත් ප්‍රදේශයන් තබන්නට වුනාම තත්තවය වඩාත් බරපතල වුණා. සමහර කාමරවල් වේලුණි ගෙඹි මූත්‍රා බිතු සිතුවම් ඇඳලා.වැසිකිලියේ කොමඩය මත වාඩිවීම පවා බිය දනාවන කාරනයක් වුනේ, හිඳගන්න කවාකාර කොටසේ යටි පැත්තේ රංචු පිටින් ගස් ගෙම්බන් රැඳී සිටීමයි. ගෙද්‍රට එන අමුත්තන්ගේ ශරීරවල වඩාත්ම පහසුවෙන් හානි විය හැකි රහස් ඉන්ද්‍රියයන් වලට පැන ඇලී සිටීමේ ක්‍රීඩාව ඔවුන මහත් අපහසුතාවයනට හා භීතියට පත් කළ කාරණයක්. නාන කාමරයේ සිටි ගෙඹි ආච්චියෙක්, එහි විදුලි පහන දල්වන්නට සැරසෙන ඕනෑම කෙනෙකුගෙ ඇඟ ගෙඹි මූත්‍රා වලින් තෙමන්නට කිසි විටෙකත් පැකිළුණීඉ නැහැ. අඳුරු නාන කාමරයක් භාවිතා කිරීමෙන් වගේම ගෙඹි ගඳෙන් යුතු තුවා ආදිය පවිච්චි කිරීමෙන්ද්, දවසකට දෙතුන් වතාවක් පිඟන් කෝප්ප සේදීමෙන්ද විඩාවට පත් අප මේ එහෙ මෙහෙ පනින ජීවින්ට එරෙහිව සාධාරන එමෙන් මානුෂික මෙහෙයුමක් ඇරඹිය යුතු බවට තීරණය කළා.
  එක් ඉරිදාවක ශ්‍රමදානයක් ක්‍රියාත්මක කරල අපි ඔවුන් 289 ක් ප්ලස්ටික් බෑග්වලටෑකතු කරල, අහළ පහල තිබුණු ළිං වලට හා දිය කඩිති වලට අත හැරියා. ඒ ඔක්කොම නිෂ්ඵල විය හැකියි. මොකද ගස් ගෙම්බන් ට මග හොයා ගැනීම අපහසු වෙන එකක් නහැ. පැය විසි හතරක් ඇතුලත ඔවුන් සියලු දෙනාම තමන් උන් හිටි තැන් වල නවත පදිංචියාආවෙ කිසිවක් සිදු නොවුණු ගාණට. ඔව්න්ගේ ඒ සුපිරි කුසලතාවයට මා ඔවුන්ට හිස ආචාර කරනවා.
සමහරෙක් මුළුතැන් ගෙයි තිබුණු කබඩයේ හරියකට නොවැහෙන දොර අතරේ තිබුණු හිදැස්සේ ලැගුම් ගත්තා.
සමහරෙක් තාච්චියෙත්, ප්‍රෙෂර් කුකරයෙත්, බ්ලෙන්ඩරයේ ජෝගු වලත් පරවේණිය තහවුරු කර ගත්තා. දවසක් මම සුදු ලූණු වගයක් තෙලෙන් බදිද්දි අමුතු ගඳ
ක් ....නෑ...එහෙම වෙන්න බෑ...ගස් ගෙඹි මූත්‍රා ගඳ. . .!  කල්පයක් ගියත් සුදු ලූණු තෙම්පරාදුවට දමද්දි එදා අපු ගඳ නම් මගේ මතකයෙන් මැකිල ගියේ නැහැ. හැම දාම සුදුලූණු සුද්ධ කරද්දි මට ඒ පිළිකුල් ගඳ දනෙන්නට වුනා. ඒත් මට සහතික වෙන්න බෑ, ඊට පස්සෙත් ගෙඹි රස කාරක මා උයන කෑම වල නොතිබුනාමය කියලා. මගේ සුවිශේෂ සූප වේදී තාක්ෂණයන් නිසා සමහරවිට මම යොදන මිරිස් තුනපහ වලින් විශේෂ රසයක් ගෙන දෙනවා ඇති.

7 ක් අදහස් දක්වලා.