Sunday, September 6, 2009

හොරු අරන් ගිහින්

Sunday, September 6, 2009
අද තමයි නුවර ගිහිල්ලා ආවට පස්සෙ මුලින්ම නාට්‍ය පුහුණුවට යන දවස. අධ්‍යක්ෂක තුමා එයාගෙ අනික් නාට්‍යය දර්ශන වගයකට රට වටා ලොකු සංචාරයක යෙදුණු නිසා පුහුණු වීම්, ටික දවසකට අත් හිටෙව්වා. අර සරච්චන්ද්‍ර තුමාගෙ කවි මට ලියලා දුන්නු සචින් අය්යවත් අද මුණ ගැහේවි බොහෝ විට. මතකයි නෙ, 'ළඳකගේ ඇස් මිණි පහන් ලෙස' ගීතය..?  
නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයෙ තමයි අපේ පුහුණු වීම් තියෙන්නෙ. මම එනකොටත් සචින් අයියගෙ මෙටලික් නිල් පාට රිය විදුහල් මිදුලෙ හැන්දෑ අව්ව තපිනවා.
මොන ගිනි විජ්ජුම්බරයක් අද වෙයිද මන්දා? හිත රිදෙන්න මොකවත් කියන්නත් මට හිත දෙන්නෙ නැහැ. ඒ වුණත් මම දන්න වග නම් පෙන්වන්න වෙනවා.
ඔක්කොම කට්ටිය තවම ඇවිල්ලත් නැති එකේ කතාවට වැටෙන එක නම් සියයට සියයක් විශ්වාසයි. මම යනකොටම සචින් අයියා මගෙ ළඟට ආවා.
" මලිති ගෙ මූණෙ අද අමුතු සිරියාවක් පිරිලා. මොකද ඒ?" එයාම මට කියන්න ඕනි දේ කියනවා. තරිඳු ගෙ රැස්කිරණ තමයි ඒ .... මගෙ හිත කියනව. එයා අද උදෙත් බෝඩිමට කතා කළා. මොකුත් නොකියම ඉන්න එක වඩාත් හොඳ ක්‍රමවේදයක් කියලා මත හිතුණා. මම ස්ක්‍රිප්ට් එක පෙරලමින් හිනා වුණා.
" ඔයා අර කවි කියෙව්වද"
ඔන්න ඉල්ලන් කන්නයි හදන්නෙ. මම මේ ප්‍රශ්නෙට ගැලපෙන උත්තරයක් හදා ගන්න බොහෝ විට උත්සාහ කළත් හිත පුරාම හැම මොහොතකම තරිඳුම තරිඳුම තරිඳුම විතරක්ම නිසා අවශේෂ දේවලට කාලය මිඩංගු කරන්න හිතට උවමනාවක් තිබුණෙ නැහැ. 'එන එන හැටියට ගහ උළු වස්සා' කියලා හිත ඇතුලෙ ඉන්න දස අවතාර කෑ ගහනවා.
" අයියා ඒ කවි පොතකින් බලාගෙනද ලිව්වෙ?"
" ඇයි එහෙම අහන්නෙ....ඔය ගොඩක් පොත් කියවනවද"
" ඔව්, ඒ කවි ඔයාගෙම වෙන්න බැහැ"
" කවුද කිව්වෙ ඒ කවි මගෙ කියල. මම කිව්වෙ නැහැ නෙ. කවි වලට යටින් මගෙ නම ලියලත් නැහැනෙ."
කොහොමද උපාය ශීලි බව...? හරිම අපූරුයි නේද?
" මම ඒ කවි වලට ආස නිසා ඔයාට දුන්නෙ...ඔයත් ආස ඇති නෙ කියවන්න කියල." එයා පන්දුව මටම එල්ල කළා. මම පන්දුව මග හැරලා එයාටම හයේ පහරක් ගන්න ඉඩ හැරියා. 
" මම පුස්තකාලෙන් නාට්‍ය පොත් අර ගෙන කියෙව්වා. 'පේමතෝ' පොතේ කවි මම දැක්කා. හරිම ලස්සන කවි...අයියා ඒ වුණාට මුලින්ම ඒක කිව්වෙ නැත්තෙ ඇයි?
" මම කියන්නම තමයි හිටියෙ, එහෙමම අමතක වුණා. ඔයා සිංදු පාඩම් කළාද?"
මට අමුතුවෙන් සිංදු පාඩම් කරන්න ඕනි නැහැ කියල එයාට මොකටද මම කියන්නෙ. මට දෙසැරෙ කියන කොට සිංදු සේරම පාඩම්.
" අපි නුවර ගියා...පේරාදෙනියෙ නාට්‍ය උළෙල බලන්න. නාට්‍ය තුනක්ම බැලුවා. ආවට පස්සෙ ගත කරපු හොඳම වීක් එන්ඩ් එක"
එතකොටම සර් ආපු නිසා අපිට කතාව නතර කරන්න සිදු වුණා. අනික් කට්ටියට තැන් තැන් වල ඉඳලා වේදිකාව අසලට කිට්ටු වුණා. සචින් අයියා හිතන්න ඇති මම කවි වලට වශී වෙලා අද එයාගෙ කාර් එකේ යන්නත් ඒවි කියල. ඒකනෙ අද කාර් එකෙන් ඇවිත් තියෙන්නෙ.
තව දිගට කතාව ගෙනියලා තරිඳු ගැන කියන්න මට උවමනාව තිබුණත් ඒ අරමුණ ඉටු වුණේ නැහැ.
අද තනියෙන් සින්දු කියවල චරිත වලට දමනව කීව. එක චරිතෙට දෙන්නෙක්ව පුරුදු කරනවත් කීවා. පළපුරුදු නිළියක් වැඩිය පුහුණුවට ආවෙත් නැතුව එයාට ප්‍රධාන චරිතය දුන්නා. මට උප ප්‍රධාන චරිතය ලැබුණා. මට හිතට ලොකු සතුටක් දැණුනා. ඒක මංගල දර්ශනය දක්වාම කාටවත්ම කියන්නෙ නැහැ කියල හිතුවෙ නාට්‍ය ලෝකෙ කැපිලි ගැන මම අහල තිබුණු නිසා.
ප්‍රධාන නිළිය මගෙන් ඇහුවා මම මීට කලින් නාට්‍ය වල රඟ පාල තියෙනවද කියල. මම නැහැ කිව්වම එයා කියනවා මාව කෝරස් එකටලු දමන්න තිබුණෙ. එයා ගිහින් අධ්‍යක්ෂ තුමාටත් මොනවද කුටු කුටු ගානවා
. " මලිති, මෙහෙ එන්න. ස්ටේජ් එකට ගිහින් නාට්‍ය ගීතයක් රංගනයක් එක්ක ඉදිරිපත් කරන්න."
අධ්‍යක්ෂක තුමාට ඕනි වෙලා මගෙ හැකියාවන් මත පමණක් මාව දෙවෙනි ප්‍රධාන චරිතයට තෝර ගත්තු බව පෙන්වන්න. එහෙම මොකට එයාට යට වෙනවද? දැන්මම එයාගෙ ආධිපත්‍යය පතුරුවන්න ප්‍රධාන නිළියට අවශ්‍ය වෙලා. 
මමත් කිසිම පැකිලීමක් නැතුව වේදිකාවට නැග්ගා, බිමට නැමිල දැතින්ම වේදිකාවට ආචාර කරලා වේදිකාවෙ මැදට ගියා. මට පොඩ්ඩක් වත් බයක් දැනුණෙ නැහැ. වේදිකාවට යන්න ඉස්සර මම සචින් අයියට කියා ගෙන ගියා මම රඟන්න යන ගීතය. එනිසා මම ඔවුන් දිහා බැලුවා. ඔහු මද්දලය වයන්න පටන් ගත්තා. හාර්මෝනියම් එකත් වාදනය වෙද්දී මම ගමන් තාලයට අනුව පා තබමින් ගීතය පටන් ගත්තා.

' ලප නොමවන් සඳ සේ සොමි ගුණෙනා...
සේ සොමි ගුණෙනා....
ආදර දිනනා සිසු සැවොමා....
රාජ ගුරුන්ගේ යුත් නැණ බෙලෙනා...
වෙමි මම සුවචා දූ කුමරී...ඊ..ඊ..'  

මම මුළු ගීයම ඉදිරිපත් කළා. ගීය අවසානයේ හැමෝම අත් පොලසන් දුන්නා. අර නිළියට මොනව හිතුණද මන්දා? ඇය මා ළඟට ඇවිත් අතට අත දුන්නා.
" ඔයා මනමෙ කරල තියෙනවද? ඔක්කොම වචන කට පාඩම් නේද?"
" මනමෙ කරලා නෑ අක්කෙ...මට ඉබේටම පාඩම් වෙලා.."
" හරිම ලස්සනයි. ඔයා ඔයාගෙ ඇස් වලින් ගොඩක් රඟ පානවා"
" තෑන්ක්ස් අක්කෙ, අක්ක ඉතින් ගොඩාක් දක්ෂ කෙනෙක් නෙ..මට අක්කගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන්"
මම කියපු එකට එයාට ගොඩක් සතුටුයි. එයාව ශේප් කර ගෙන ඉන්න එක හොඳයි කියල මට හිතුණ. දැන් වත්සලා අක්කගෙ අමනාපයක් නැහැ වගෙ. විරුද්ධත්වයකුත් නැහැ වගෙ. සචින් අයියත් මට සුබ පැතුවා. මට නාට්‍යය කරන්න පුළුවන් කියලා ආත්ම විශ්වාසයක් හිතේ පිරුණා.
(මේ.... මට වෙච්ච වැඩක් දන්නවද? මම එක කතාවක් ලිය ලියා ඉන්දෙද්දි මගෙ ලොක්ක ඇවිත් රිපෝට්ස් වගයක් ඉල්ලුවා. ඒවා හොයන්න ගිහින් මහ අවුල් ජාලයක් වුණා. මම ලියපු ලස්සන කතාවක් හොරු අරන් ගිහින් වගෙ නැති වුණා. ඒක මම ආයෙම ලියන්නම් කො. මේ කථාව ඊයෙ අඩක් නිම කළ එකක්. අද ඉතිරි ටික ලිව්වා, අනික් කතාව අතුරුදහන් වුනාට පස්සෙ. ඔක්කොම ටැපලිලා!)

4 ක් අදහස් දක්වලා.

Friday, September 4, 2009

වැට කඩුළු බිඳ

Friday, September 4, 2009
වළේ නාට්‍යය තුනක්ම බලන්න ලැබුණු එකෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ප්‍රේක්ෂකයන් ඉන්නෙ පහළ ඉඳලා උඩට විහිදුණු පරාසයක නිසා අනෙක් රඟහලකට වඩා වෙනස්. සාමාන්‍ය රඟහලක ප්‍රේකෂකයන් ඉන්නෙ ඇස් මට්ටමට පහළින්. ඒ රඟහල් වල කටහඬ අපේ මුහුණට සමාන්තරව මුදා හැරියත්, වළේ කටහඬ ප්‍රක්ෂේපණය විය යුත්තෙ පහළ ඉඳලා අහස දෙසට. නැත්නම් ඉහළ ඉන්න නරඹන්නන්ට මොකුත්ම ඇහෙන්නෙ නැහැ. රංගනයෙ යෙදෙන විටත් ඇස් බිමට නෙවේ, ඉහළට බෙල්ල සමගම මදක් ඉස්සෙන්න ඕනි කියලත් මට හිතුණා.
 නාට්‍ය හා රංග කලාව විතරක් නෙවෙයි තවත් කලාවක් ප්‍රායෝගිකව හදාරන්න අවස්ථාව ලැබීමත් පේරාදෙණියට ආව ගමනෙන් මා ලබාපු තවත් වාසියක්. සිංහලෙන් කියනවනම් ඇඩ්වාන්ටේජ් එකක්.
අපි ආපහු යනකොට කෝච්චියෙ යන්න හිතුවා, එදා අපට වැඩිය වැදගත් ලෙක්චර්ස් තිබුණෙත් නැහැ. දුම් රිය නැවතුමට අමිලයි, තරිඳුයි ආව එකත් හොඳයි කියල මට හිතුණා. දවස් තුනකට අපි කොයි තරමක් කිට්ටු වුණාද..? ඒත් ඒක ආදරයමද කියල නිර්වචනය කරන්න බැහැ. අපි මොන තරමක් කතා කළත් එහෙම දෙයක් සෘජුවම කතා කළේ නැහැ, කිසිම විටක. එහෙම වුණේ කොහොමද ඇත්තටම? ඒ කාරණාව ඔස්සෙ මොකට සිතුවිලි මෙහෙයවනවද?
සමුගැනීමේ ශෝකය දෑස් වල ආලේප කර ගෙන මම තරිඳු දිහා බැලුවා. වැඩිය නැතුව ගාණකට ඇස් වලට දොඩමළු වෙන්න ඉඩ හැරියා. තරිඳුගෙ ඇස් මට කියවන්න පුළුවන්. ඒත් ඒ දෑස් වල විරහවක, සමුගැනීමක වගක් වත් සටහන් වෙලා නැහැ. ඒ වෙනුවට කියා ගන්න බැරි දේවල් ගොඩක් දෑස් පතුලෙ ඉඳන් ටික ටික මතුවෙලා විදුලි රේඛා වගෙ මාව නිර්වින්දනය කරනවා. ඔහුගෙ දෑස් අතරෙ මගෙ ඇස් දෙක අතරමං වෙලා වල්මත් වෙන්න ඉස්සරින් මම සරලා දිහා බැලුවා. 
එයාගෙ ඇස් දෙකත් අඬන්න ඔන්න මෙන්න. ප්‍රේම විරහව උහුලන්න අමාරුයි ඇත්තටම ආදරය කරන කොට. යසට හිටිය මට මේ මොකද වෙන්න යන්නෙ? කෝ මගෙ හිතේ මුර සෙබළු? සීමා මායිම් වැට කඩුළු බිඳ ගෙන, තහංචි කඩා ගෙන යන්න නේද සූදානම් වෙන්නෙ?
දඩබ්බරීත් එක්ක සම්ප්‍රදායිකා කඹ ඇදිල්ලක. අනේ...! ඒ දෙන්න ඕනි කඹයක් ඇදපුදෙන්. මට අනිමිස ලෝචනයක යෙදෙන්න ඕනි වෙලා.
දුම් රිය පිටත් වෙන්න නලාව පිම්බා. කොළ කොඩියත් වැණුවා. මගෙ පපුව ඇතුළෙ තම්මැට්ටම්, දික්බෙර, දවුල් බෙර විතරක් නෙවෙයි... උඩැක්කිත් වාදනය වෙනව. මොකද්දෝ ගුලියක් වගෙ දෙයක් උගුරෙ හිරවෙන්න අරගෙන ගල නාලයයි, ස්වාස නාලයයි අතරෙන් පහළට ගිහින් උර කුහරයයි, උදර කුහරයයි අතර ඊයම් බරුවක් වගෙ බරට තැන්පත් වුණා.
මම දුම් රිය කවුළුවෙ එල්ලිලා බලාන ඉන්නව. දැන්නම් මගෙ ඇස් එක එල්ලේම පිළිසඳරක. කෝච්චිය හෙමිහිට හෙමිහිට ඉදිරියට ඇදෙනව. අර දෙන්නා කෝච්චිය පස්සෙන් ඇදෙනවා. හරියට චිත්‍රපටයක වගෙ. ඔක්කොටම ගොළු මන්තර දමලා.
කෝච්චිය වේගය වැඩි කරන්න හදන කොටම මෙන්න දෙන්නම දඩි බිඩි ගාල නැග ගත්තා කෝච්චියට. 
අපිට කිසිම දෙයක් අදහ ගන්න බැරුව ටිකක් වෙලා අන්දුන් කුන්දුන් වෙලා හිටියා... අනේ..! ඇත්තටම කොලුකමක තරම. බලන්න එක පාරටම රූප රාමුව වෙනස් කරපු හැටි. හරිම අතාත්ත්විකයි නේද? ඒ වුණාට මම නං කැමතියි ඒ කොලු ගතියට. එහෙම අමුතු දෙයක් වත් කරන්න ප්ලෑන් කර ගන්න බැරි නං ඔය මළ ඉලව් යෞවනය පොල් ගාන්නද?
ඔය මගෙ හිත ඇතුළෙ ඉන්න දඩබ්බරීගෙ කතා, ඕගොල්ලො ගණන් ගන්න එපා....එයා සමහර වෙලාවට කට කම සිරියාවක් නැතුව දොඩවනවා. ඉතින් හරියට කතා කර ගත්තා වගෙ තරිඳු ඇවිත් මගෙ ළඟින් වාඩි වුණා. සරලා ළඟ හිටිය රුවිනිව තල්ලු කරල අමිල වාඩිවුණා. තවමත් අපි හිනා වෙනව...හිනාවට තිරිංග දමන්න කාටවත්ම බැහැ. ආයෙමත් සිංහලෙන් කියන්නද.? බ්‍රේක් නැතුව ගියා අපේ කාගෙත් හිනා වලට.
රුවිනි සරලලාට නිදහස දීල අනික් අසුනට ගිහින් පොතක් පෙරල ගත්තා, හිනා වෙවීම. " මලිති, ඔයා පොත් ගෙනාවෙ නැද්ද, කියවන්න?"  
මට හිතුණා කියන්න, මම අලුත් පොතක් හොයා ගත්ත කියවන්න කියලත්. ඒත් ඒ සිතුවිල්ල හඬක් බවට පරිවර්තනය වෙන්නෙ දුන්නෙ නැහැ.
" මට වාහන වල යන කොට කියවන්න බැහැ, තරිඳු. මට හිතෙන්නෙ මට ඉක්මණටම කණ්නාඩි ගන්න වෙයි කියල"
" කණ්ණාඩි දැම්මම ඔයාගෙ ඇස් වල ලස්සණ වැහිල යාවි"
ඉතින් වෙන් වෙන්නම ගිහින් ආයෙමත් ළං වෙල ඉන්න පුළුවන් වුණු එක ගැන වක්කඩ කැඩිල ගලාගෙන යන සතුට අර ඊයම් බරුව අරගෙන දුම් රිය කවුළුවෙන් ඉවතට වීසි කළා. ලොකු සැහැල්ලුවක් හිතට රිංගලා කිරි දරුවෙක් වගෙ එහෙ මෙහෙ දණ ගානවා. දුම් රිය මැදිරි වල එතරම්ම සෙනගක් නැහැ.
අමිල රුවිනිට විහිළු කළා.
" ඔය පොත විසි කරල මෙහාට එන්න ළමයො. අපි ටිකක් ජොලියෙන් යමු"
" අන්න වැඩේ, අපි ගීතයෙන් ගීතය කරමු" සරලා කීවා.
ඒත් මට ඕනි වුනේ තරිඳුගෙ සුවඳ දැවටිල ඇවිත් මගෙ මුහුණෙ වදින සුළඟ අතරෙ ඇස් දෙක පියාන දැහැන් ගත වෙන්න.
'සුවඳ දැනී දනී දැනෙනවා....ජීවිතේ සුන්දරද මෙතරම්..' මම මුළු සින්දුවටම රූප රචනා කරනවා හිතෙන්. 
ඊයේ නුදුටුව ලස්සන ලෝකය හෙමිහිට ඇවිදින් මට තුරුළු වෙනවා...!  
සරලගෙ එක අතක අමිලගෙ ඇඟිලි හිර වෙලා. ටික වෙලාවකින් තරිඳු මගෙ වම් අත උඩින් එයාගෙ අත තිබ්බා. ඇඟිලි දිගේ සම්ප්‍රේෂණය වුණු විද්‍යුතයද, ස්ථිතික ද මම දන්නෙ නැහැ මුළු සර්වාංගය පුරාම ක්ෂණයකින් විහිදිලා ගියා. කම්මුල් දෙකත් එක්කම මගෙ කන් දෙකත් රත් වුණා. මොහොතකට හුස්ම ගන්න අමතක වුණ වගෙ. ජීවිතය නතර වුණා ඇබින්දකට. මේක නම් පුදුම හෝමෝන ක්‍රියා කාරිත්වයක්. 
පිරිමි ළමයෙකුගෙ අතේ උණුසුම මේ තරමටම හිත සසල කරවන්නෙ කොහොමද? මම මගෙ අත එහෙමම තියෙන්න ඇරලා තරිඳු දිහාව බැලුව. වචනයෙන් ප්‍රකාශ නොකළ ආදරය හරි අපූරුවට ඇස්වල ලියැවිල...
මගෙ දඟ කරන ඇස් වලට මම කිසිම තරවටුවක් කළෙ නැහැ. තරිඳුගෙ ඇස් එක්ක හුරතල් වෙන්න ඉඩ හැරියා. 
දුම් රිය කවුළුවට එහායින් පෙනෙන හැම දෙයක්ම වේගයෙන් ආපස්සට දුවනවා. කිසිම දෙයක් පැහැදිලිව දකින්න බැහැ. ඒත් කවුළුවෙන් මෙහා අපි ඉන්න ලෝකය හරිම පැහැදිලියි. සරලයි. ඒ වගෙම සුන්දරයි. මේ සිත් වලට කවදාවත්ම දුක, වේදනාව කූඩු වෙන්නෙ නැතුව සරල රේඛාවක් වගෙ ඉදිරියටම යන්න පුළුවන් නම් ලෝකය මොන තරම් යහපත් තැනක් වේවිද කියල මට හිතෙනවා.
අනේ..! ඉන්ද්‍රයියෙ, මට සමාවෙන්න...මගෙ හිත මට ඉස්සරවෙලා. වෙන විකල්පයක් නැහැ, ඉන්ද්‍රයියෙ. සීතාවක් හෝ ජුලියට් කෙනෙක් හෝ ප්‍රමිලාවක් වෙන්නේ කොහොමද මම? ඒවා බොහෝ දෙනෙකුගෙ මනසේ මැවිල සාහිත්‍යය ඉතිහාසයට එකතු වුණ චරිත විතරයි. මම පණ තියෙන මනුස්ස දුවක්. මම කරන්නෙ වරදක් ද කියල විශ්ලේෂණයක යෙදෙන්න මගෙ හිතට දැන් විවේකයක් නැහැ.
නූල කැඩුණු සරුංගලයක් හැම දාම එහෙ මෙහෙ පාවෙවී තියේවිද?

12 ක් අදහස් දක්වලා.

Thursday, September 3, 2009

ගන්ධබ්බ අවදිය

Thursday, September 3, 2009
ලොකු අප්පච්චිලගෙ ගෙදර එද්දි ලොකු අම්ම අපිට කන්න ඉදිආප්ප හදල තිබුණා. මම කැමති තිබ්බටු පොල් මැල්ලුමත් තිබුණා. මට බඩ ගින්නක් තිබුණෙත් නෑ, දවල් බත් ගොඩක් කාපු නිසා...ඒකද..? එහෙමත් නැත්නම් වෙන හේතුවක්ද? නිදාගන්න ඉස්සර ඇඟ හෝදන්න ගියහම තමයි මම දැක්කෙ, තරිඳුගෙ ලේන්සුව. මගෙ ලැමතුරේ තිබිල බිමට වැටුණ.
එයා ඒක මට දුන්න වෙලාවෙ මම දැක්කෙ නැහැ, ඒක මොන පාටද කියලවත්. ලානිල් පාට සුදු කොටු වැටිච්ච ලේන්සුවක්. අප්පච්චිගෙ ලේන්සු සෝදල මැදල දෙන සිරිතක් මගෙ තිබුණා. මට එක පාරටම මතක් වුණෙ අප්පච්චිගෙ ලේන්සු. මට නොදැනුවත්වම මගෙ අතේ තිබුණු ලේන්සුව මගෙ නැහැ පුඩු අතරට ළං වුණා.
සැවැන්දරා සුවඳමත් නෙවේ...ඊට හුරු විලවුන් වර්ගයක සුවඳක්...හිත බැඳෙන සුවඳක් වුණත් හිතේ අටවල තියෙන වැට කඩුළු සීමා බිඳගෙන යන්න එපා කියලා හදවතේ එක කෝෂිකාවක් අනතුරු අඟවනවා. කර්ණිකා දරන්නෙ ඊට වෙනස් මතයක් වගේ.  
කොළඹට වඩා සීතල නිසා හොඳට පොරෝණයක් ඇතුළට වෙලා ගුලි වෙලා නිදා ගත්ත...පුරුද්දට උදේ පහට ඇහැරුණා. උයන ගෙය පැත්තෙන් එන සුවඳ ඒ පැත්තට මගෙ දෙපා යොමු කළා.
"දූලට කිරි අහර ටිකක් හැදුවා මාළිගාවට පූජා කරන්න. උදෙන්ම යනව නේ. ඔන්න ලොකු අප්පච්චි ගිහින් බස්සන්නම් කීවා."
කිරි අහර වල සුවඳ මාලිගාවෙ ශාන්ත පරිසරය මතක් කර දෙනවා. ළඟ පන්සලේ උදේ තේවාව ඇහෙනවා. ගමක තියෙන සුන්දරත්වය හිත නිවන්නෙ පුදුමාකාර විදිහට. ඔක්කොම දඟලන සිතුවිලි එක තැනකට ගෙනැල්ලා සන්සුන් කරනවා.
අපි යන්න කියලා එළියට බහින කොටම අමිලයි, තරිඳුයි හිනා වෙවී එනව. මේ ගොල්ලො මට නොකියා ඊයෙ රෑ කතා කර ගෙනද කොහෙද? මම කිරි අහර බඳුන දෑතින්ම දරාගෙන ඉස්සර වුණා. තරිඳු මල් අර ගෙන ඇවිත්. ලොකු අප්පච්චි අපිව මාළිගාව ලඟ බස්සගෙන ගියා. රුවිනිගෙ අක්කා ආවෙ නැහැ, පාඩම් කරන්න තියෙනව කියලා. අපි පස්දෙනාම එක පේලියට ඉදිරියට ඇදුණ. හැමෝම තම තමන්ගෙ ලෝකවල තනිවෙලා වගෙ. මම නිහඬතාවය බින්දා. "ඉක්මන් කරල යමු කිරි අහර පූජා කරන්න" මම කිව්ව. අපි කවුරුත් ඉක්මන් ගමණින් ගිහින් පුද පූජා කට යුතු කළා. තරිඳු මම මල් පූජා කරපු තැනින්ම එයාගෙ මලුත් මල් ආසනයෙ තැන්පත් කළා.
අපි ටිකක් පස්සට ගිහින් බිම දණ ගහ ගෙන වඳිද්දිත් තරිඳු මගෙ ළඟින්ම ඉඳ ගත්තා. අර ලේන්සුවෙ සුවඳ දැන් මට එයාගෙන් දැනෙනවා.ලේන්සුව දෙන්නත් ඕනි. මාළිගාවෙන් එලියට ගියහම දෙනවා. මම දෑස පියා ගෙන භාවනා කරන්න උත්සාහයක යෙදුණා. කොහෙදෝ ඉඳල ඉන්ද්‍රයියා ඇවිත් භාවනාව බිඳිනවා. හේමිකාත් ඇස් එක එල්ලේ තියාගෙන අනිමිස ලෝචනයක. ඉන්ද්‍රයියගෙ ඇස් හේමිකා දෙසට යොමු වෙලා. තරිඳු තව පැත්තකින් හිනාවෙනවා. මගෙ හිත දෙගිඩියාවක. ඉන්ද්‍රයියගෙ ප්‍රේම පරිච්චේදය මුළුමණින්ම වහල දමල මගේ ජීවිතයෙ අලුත් පිටුවක් පෙරලනවද? එහෙමත් නැත්නම් ඉන්ද්‍රයියාගෙ පුනරාගමනයක් වෙනුවෙන් තව කාලයක් ඉන්නවද?
මම වෙන බොහෝ අය වගෙ බුදුන් වැඳල දෙවියන්ට පින් දීල කවදාවත්ම මොනවත් ප්‍රාර්ථනා කරන්නෙ නැහැ...ඉල්ලන්නෙත් නැහැ....බැගෑපත්ව ඉල්ලන්න මම කැමති නැහැ. ඒකද දන්නෙ නැහැ, ඉන්ද්‍රයියා මගෙන් වෙන්විලා ගියෙත්. ඒත් මට ලැබෙන්න තියෙනව නම් යමක් එය මට ලැබේය කියලයි මම විශ්වාස කරන්නෙ. 
වෙන දෙයක් වුණාදෙන්. මම ජීවිතයට ඔහෙ ගලා ගෙන යන්න දෙනවා. මේකත් එක භාවනාවක් නේද කියල හිතුනා. තමන්ගෙ ජීවිත අභ්‍යන්තරයට එබිල බලන එක. බුදුහාමුදුරුවො දේශනා කළෙත් අනුන් සෙවීමට වඩා තමන් සෙවීම උතුම් කියල.
" මලිති, ඔයාට නින්ද ගිහිල්ලද..නැත්නං ඇත්තටම භාවනාවද?"
සරලගෙ කතාවෙන් මම හිටපු ලෝකෙන් මිදුණා. ඇස් ඇරල බලද්දි සේරම මගෙ වටේ. "මම නිසාද හිටියෙ සේරම"
තරිඳු මොකුත්ම කිව්වෙ නැහැ. 
" අපි වැව රවුමෙ ටිකක් ඇවිදිමු" අමිල යෝජනා කළා. මාළිගාවෙ පිය ගැට පෙළ බැහැ ගෙන එන කොට මාව පය පැකිළිලා වැටෙන්න ගියා. බිම වැටෙන්නැතුව බේරුණෙ තරිඳු මාව අල්ල ගත්ත නිසා. සරලා පුපුරන්න ගිය හිනාව අත් දෙකෙන්ම හිර කර ගත්ත. රුවිනිට නම් ඒක කරන්න බැරි වුණා. තරිඳුගෙ ගති ගුණ හරිම පුදුමයි. එයා එතැන වීර චරිතයක් රඟ පාන්න හිතුවෙත් නැහැ. මට අපහාසෙට හිනාවුණෙත් නැහැ.
හරිම උපෙක්ෂාවෙන් මාව වත්තම් කරල, " දැන් හරි නේද?" කියල ඇහුවා.
" තෑන්ක් යූ, තරිඳු"
" පරෙස්සමෙන් අඩිය තියන්න, සමහර තැන්වල වතුර වැටිල ලෙස්සනව"
අපි පාවහන් තියල තිබුණු තැනට ආවම තරිඳු මගෙ පාවහන් යුවල අර ගෙන මගෙ කකුල් දෙක ළඟින් තිබ්බා.
" අනේ, ඔය තරම් හොඳ වෙන්න එපා තරිඳු...මගෙ හිතේ වැට මායිම් බිඳෙන්න පුළුවන්" මම කියපුවා එයාට ඇහුණෙ නැහැ. කාටවත්ම ඇහුණෙ නැහැ. මගෙ හිතට විතරමයි ඇහුණෙ. ඒකෙ එතරම් වෙනසක් දැණුනෙ නැත්තෙ, අමිල සරලගෙයි, රුවිනිගෙයි පාවහනුත් ඒ ගොල්ලො ලඟට දුන්න නිසා.
අපි වැව රවුමට ඇවිත් දකුණු පැත්තට ගියා. ඒ පැත්ත නිස්කලංකයි. කලබලකාරි අගනුවරට වඩා නුවරට මගෙ හිත ආසක්ත වෙනවා. ටික දුරක් ඇවිදගෙන යද්දි රුවිනිත්, සරලටයි, අමිලටයි එකතු වෙල අපිට පහු වෙන්න ඇරියා. මේක මෙගොල්ලන්ගෙ සැලසුමක්ද කියලත් මට හිතුණා. ඒත් ඒකට මගෙ හිතෙත් අකැමැත්තක් හටගත්තෙ නහැ.
" තරිඳු, මේ ඔයාගෙ ලේන්සුව....මම ඒක සේදුව."
" මොකටද සේදුවෙ, මට ඒක හෝද ගන්න තිබුණා."  
මට තරිඳු ගැන තව තොරතුරු දැන ගන්න ඕනි වුණ.
" ඕගොල්ලන්ගෙ පවුලෙ කී දෙනෙක් ඉන්නවද තරිඳු, මට ඊයෙ අහන්නත් බැරි වුණා."
" අපි තුන්දෙනයි. මමයි, අප්පච්චියි, අය්යයි"
" එතකොට අම්ම?"
" මම පුංචි කාලෙම අම්ම නැති වුණ, මලිති"
" අනේ! සොරි...මම මෝඩියෙක් වගෙ ඒ ප්‍රශ්නෙ අහපු එක හොඳ නෑ"
" දැන් මගේ ඒ දුක තුනී වෙල, ඒත් හැම පෙබරවාරි දාහතරවෙනිදාවකම මට අම්මව විශේෂයෙන් මතක් වෙනව. එයා අපිව දමල ගියෙ ඒ වගෙ දවසක."
එයා ඇහුවෙ නැහැ, අපේ පවුලෙ කී දෙනෙක් ඉන්නවද කියල.
" අපි මෙතන චුට්ටක් වාඩි වෙමුද?"
" අර ගොල්ලො..?" 
" ඒ ගොල්ලන්ට අපිව පේනවා නේ?"
" මමත් ආසයි ඉඳගෙන වැව දිහාව බලන් ඉන්න"
කොළඹ ගෙන්දගම් පොළවෙ කාෂ්ඨකය පිස ගෙන හමන සුළං රැළි වලට වඩා වැවේ සීත ජල තරඟ පිස ගෙන එන මද පවන තවත් හිත නිවනව වගෙ. අපි දෙන්න ගොඩක් වෙලා කතා නොකරම වැවේ දිය දහරා අතර සිත්, නෙත් දෙකම රඳවගෙන නිසොල්මනේ හිටියා. මට අමරදේවයන්ගෙ පරණ ඒත් කවදාවත් රසය නොසිඳෙන ගීතයක් මතක් වුණා.
" තරිඳු, මට අමරදේව මාස්ටර් ගෙ සිංදුවක් මතක් වෙනව"
" 'ප්‍රේම තටාකේ මේකයි මැණිකේ' කියන එකද..මමත් ඒක ගැනම තමයි දැන් හිතුවෙ"
" පුදුමයි."
" ඒත් ඇත්තයි" ඔහු මුල් වරට මට විහිළුවක් කළා.
" ඔය ඒ සින්දුවෙ ආස විශේෂ කොටසක් තියෙනවද?"
" ඔව්, ඔයා කියන්න බලන්න ඔය ආසම කොටස මොකද්ද කියල, ඒකමද කියලා බලමු."
" අනාගතේ මෙහි පෙම් රස විඳිනා.."
" හරි, මම කැමතිත් ඒකටම තමා. මුළු සින්දුවෙම හරය එතැන කියල මට හිතෙනවා"
" හරිම අමුතු හැඟීමක්...අනාගතයේ පෙම්වතුනුත් ඒ තටාක ඉවුරෙ පෙම් රස විඳිනව දකින එක නිසා ඔවුන්ගෙ සිත් සතුටට පත් වෙනව කියල නෙ ඒ කියන්නෙ?"
" අපි ටිකක් එක විදිහට හිතන අය වගෙ...අපරාදේ..ඔයත් මෙහෙ හිටියා නම් අපිට මේ වගෙ ගොඩක් දේවල් කතා කරන්න තිබුණා"
" ඔයා එන්න අපේ නාට්‍යය බලන්න, මංගල දර්ශනය තියෙන්නෙ ලුම්බිණියෙ. මම ඕගොල්ලන්ට ටිකට් දෙන්නම්."
" ළඟදිම පෙන්නනවද?"
" නැහැ, තව මාසයක් වත් යාවි."
" ඒ කියන්නෙ එතකල් අපි ආයෙ හම්බ වෙන්නෙ නෑ කියන එකද?"
මම ඒ ප්‍රශ්නෙට නිරුත්තර වුණා. එහෙම දෙයක් ඔහුගෙන් කියවේවි කියල මම නිකමට වත් හිතුණෙ නහැ. තරිඳුටත් දැණුනද කොහෙද, එයා ඉක්මන් වුණා කියල.
" ඔයා කරන චරිතෙ මොකද්ද? " 
ඔහු කතාව වෙන අතකට යොමු කරන්න උත්සාහ ගන්නව. ඒත් මට ඕනි වුණා ඒ කතාවම ආයෙමත් ඇදල ගන්න. ඒත් ඒ තරම් ධෛර්යයක් හිතට ගොණු වෙන්නෙ නැහැ. ඉන්ද්‍රයියා මොකට එනවද මන්දා, මම යන හැම තැනකටම. කොහේ හරි ඉඳල මගෙ හිතේ ඩෙඟා නටනව. මට ඉන්ද්‍රයියා ගැන කියන්නත් හිතෙනවා. ඒත් මොකටද හදිස්සි වෙන්නෙ? වැවේ පීනන හංසයො දෙන්නෙක් එක ළඟම පීනගෙන ඇවිල්ලා, තුඩු දෙක ළං කරල රහසක් කීවද කොහෙද?. ඒත් කවුද පොඩි එකෙක් උන් දිහාවට එල්ල කරපු ගල් පහරකින් දෙන්නම ඉවතට ඉගිලිලා ගිහින් ආයෙත් එක ළඟට එකතු වුණා.
" අර ගොල්ලො බලා ගෙන ඇති, අපි යමු නේද?" මගෙ මුනිවත බිඳිමින් තරිඳු ඇහුවෙ නැගිටින ගමන්. මම ඔහුට එකතු වුණා.
" අද තියෙන නාට්‍යය මොකද්ද?"
" අන්න වැඩේ.....ඕගොල්ලොනෙ දැනගන්න ඕනි"
" මට ඔක්කොම නාට්‍යය පැටලිලා තියෙන්නෙ"
" අද තියෙන්නෙ කුවේණි"
" මම ආසයි කුවේණි නාට්‍යය 'සත් සියක් රත් මල් රැගෙන මම' කියන සිංදුවට"
" ඔක්කොම සිංදු වලට මම ආසයි" මමත් ඒ සිංදුවට වැඩි කැමැත්තක් තිබුණත් ඒ තරමටම අපි සමානව හිතන බව මට පෙන්නන්න ඕනි වුණෙ නැහැ.
මගෙ හිතේ තියෙන අවුල ලිහා ගන්න මට ශක්තියක් නැහැ වගෙ. මම අවුලෙන් අවුලට වැටුණ වගෙ දැනෙනවා. නොපෙනෙන කෙනෙක් වෙනුවෙන් තවත් වැළපෙමින් ගන්ධබ්බ අවදියෙ ඉන්නවද..එහෙමත් නැත්නම් මේ නැවුම් සුවඳ ආශ්වාස කරල පෙනහළු කුහර එක්කම හැම රුධිර බිංදුවකටම, හැම සෛලයකටම මේ අපූරු නැවුම් බව විඳින්න දෙනවද?
මම ලෝක දෙකක අතරමං වෙලා. මට හැම සිදුවීමකටම මතක් වෙන්නෙ සිංදු.
" ඔබ ගෙන්දෝ...ඔහුගෙන් දෝ මා හෙට දින සමු ගන්නේ"

5 ක් අදහස් දක්වලා.

Wednesday, September 2, 2009

නාට්‍ය සින්ඩ්‍රෝම්

Wednesday, September 2, 2009

නාට්‍ය ලෝකයට අවතීර්ණ වෙන්න තියෙන උනන්දුවත් එක්කම, මට නාට්‍යය බලන්නත් ලොකු උණක් හැදුණ. ඒක නිකන් මේ හෙම්බිරිස්සා උණක් වගෙ. ඩෙංගු හරි වෙන උණ වර්ග වගෙ හරි බරපතල එකකුත් නෙවෙයි. ඉතින් මගෙ ජීවිතේ මම හිතන පතන දේවල් තියෙනව නේද? ඒවා කොහොමින් හරි මට ලැබෙනවා...පුදුම ආශීර්වාදයක්! මට ඔය අතිවිශාල අපේක්ෂාවනුත් නැහැ නෙ. හරිම සරල, ඒ වගෙම බොහෝ විට සුන්දර දේවල් තමයි මට හිතෙන්නෙ. මේ දවස් වල මට නාට්‍ය සින්ඩ්‍රෝම් හැදිල ඉන්නෙ. ඉතින් පත්තර බල බලා හොයනවා කොහෙද නාට්‍ය තියෙන්නෙ කියලා.
මම කිව්ව නේද මම හිතන පතන දෙවල් මට ලබෙනව කියල..? (ඉන්ද්‍රයියා ඇරෙන්න සේරම දෙවල් ලැබුණ...)
මෙන්න එයට කදිම උදාහරණයක්! පේරාදෙනියෙ වළේ නාට්‍ය උළෙල සරසවිය පත්තරේ ලොකු අකුරින් දමලා. මගෙ හිත පස්වනක් ප්‍රීතියෙනුත් ඊටත් ටිකක් වැඩියෙනුත් පිනා ගියා. මම දුවගෙන ගියා කැන්ටිමට. කාව හරි එකතු කර ගන්න ඕනිනේ දැන් යන්නත්. සරලට පුංචි අදහසක් දම්මා. මොකද එයාගෙ ප්‍රේමය ඉන්නෙ එහෙ.
"රුවිනිටත් කියමු" සරලා යෝජනා කළා. රුවිනිගෙ අක්ක පේරාදෙනියෙ අවසන් වසරෙ.  
"කොහෙද නවතින්නෙ?" සරලගෙ ඊලඟ ප්‍රශ්නෙ.
" අපේ ලොකු අප්පච්චිල ඉන්නෙ උඩ පේරාදෙනියෙ. එහෙ ඕනි තරම් ඉඩ තියෙනව. මල්ලිල දෙන්නම කැනඩාවෙ..ලොකු අප්පච්චියි, ලොකු අම්මයි ඉන්නෙත් පාලුවෙ. ගොඩක් කැමති වෙයි." ප්‍රශ්නයට විස්ඳුම කොතරම් සරලද කියල මම සරලට පැහැදිලි කළා.
"එහෙනම් නියමයි නෙ'  
" සිකුරාදා හවස ලෙක්ර්ස් කට් කරල ප්‍රයිවට් බස් එකක යමු"
මේ දවස් වල මගේ හිතේ තිබුණ පාලුව, හිදැස පුරව ගන්නම තමයි ඇත්තටම මාව නාට්‍ය වලට නැඹුරු වුණේ කියල මට හිතෙනවා. දවසක් රුවිනි මට ලියුමක් ගෙනැත් දුන්න පිරිමි ළමයෙකුගෙ. මම ඒක බලන්නෙ වත් නැතුව ඉරල දැම්ම. ඉන්ද්‍රයියගෙන් හිස් වුණු සිත් කුටියෙ ඇතිවුණු හිදැස පුරවන්න මට හිතක් නැහැ, එයා කොහෙන් හරි මතු වෙයි කියල මයි මට හිතෙන්නෙ. හේමිකා එක්ක එකම කැම්පස් එකකද දන්නෙත් නැහැ...මට ඇත්තටම හිතා ගන්න බැහැ මොකද කරන්නෙ කියලා. ප්‍රේමයක් තියෙන්නම ඕනිද ජීවත් වෙන්න? එහෙම නැතුව අපිට හුස්ම ගන්න බැරිද? හරියට ගන්ධබ්බ කාලයක් වගෙ. හිත එහෙ මෙහෙ සරනව.කොතැනක වත් ඇලී ගැලී ඉන්න පිරියක් නැහැ. නිදහසේ අනන්ත වූ ආකාශයේ සැරි සරන වළකුළක් වගෙ.
රුවිනි හිනා වෙනව, " හැම තිස්සෙම ඉතින් නූල කැඩුණු සරුංගලේ වගෙ හිස හැරුණු අතේ යන්නෙ නැතුව මොකක් හරි සෙට් කර ගනිං" කියලා. නූල කැඩුණු සරුංගලේ ගිහින් ඔය කොහේ හරි ගහක පැටලෙන්නෙ නැතැයි කියල මට හිතුණා. ඒක මගෙ හිතටම කියාගෙන තොල් පටේ යාන්තම් හිනාවක් ඇඳල මකල දැම්මා. මොකද කට කනට යනකල් හිනා වෙන්න තරම් ආනන්දයක් මගේ හිතෙ ඇති වුනේම නැහැ, ඉන්ද්‍රයිය වෙන් වුණාට පස්සෙ.
මම මට ගොඩාරියක් වැඩ නියම කරගන්නව. ලියන, කියන ඒ වගෙම පරිවර්තන වගෙ දෙවල් ගොඩ ගහ ගෙන කරන්න පටන් ගත්ත. රාජ්‍ය නොවන සංවිධානයක අර්ධ කාලීනව වැඩ කරන්නත් හොයා ගත්ත. ඒ ගොල්ලන්ට කරන පරිවර්තන වලට හොඳට ගෙවනව. ඒ සල්ලි වලින් තමයි මම පොත් මිළට ගන්නෙ.
ඉතින් කොටුවට ආව නුවර යන්න.
" නුවර, නුවර, නුවර ...අ...අ.." කියන කට්ටිය තරඟෙට අපිව බස් වල නග්ගගන්න පොර කනව. බස් එකේ නුවර යන එකත් හොඳයි. ඒත් පෙන්නන්නම බැරි වැඩේ තමයි අර ජරා සින්දු අපට බලෙන් අස්සවන එක. එතකොට ඔය ගොඩක් එෆ්.එම්.චැනල් තිබුනෙත් නැහැ නෙ. කැසට් ම තමයි වෑන් එකෙ ප්ලෙයර් එකෙ කටට ඔබන්නෙ. කණේ පුලුන් ගහ ගන්න හිතෙනව...
අපි ලොකු අප්පච්චිල ගෙදර ආවම ඒ දෙන්නට  සතුට ඉහ වහ ගිහින්...
" මලිති දුවේ, මූණ කට හෝදගෙන මුකුත් කාල ඉන්ට. මම කිරි කජු මාලුවකුත් හැදුව. ඔය ළමය ආසයි නේ."
බෝඩිමේ කෑම එපා වෙලා හිටිය අපට කටට රහට කන්නත් පුළුවන් මේ දවස් දෙක තුනේ. ලොකු අම්මට රසට උයන්න පුළුවන්. හැම වේලකටම පොල් සම්බෝලයක් මේසෙ වරදින්නෙ නැහැ. ලොකු අප්පච්චිට පොල් සම්බෝල නැතුවම බැහැ.
අපි ගෙදරින් පිටත් වුණ, හයට විතර. මම පේරදෙනියට ආපු මුල්ම වතාව. විශ්ව විද්‍යල පරිසරය නම් වර්ණනා කරන්න බැරි තරම අලංකාරයි. චමත්කාර ජනකයි. සරලගෙ ප්‍රේමය අපි බස් එකෙන් බහින කොටම එතන. දෙන්නගෙම මූණු වල කිරි මුහුද හලල වගෙ....හිනා උතුරනව...හිනා වෙන්න එක කටක් මදි වගෙ. එයා ඇවිත් හිටියෙ තවත් යහළුවෙක් එක්ක.
" අමිල, මේ මලිති, මේ රුවනි." සරල අපිව අඳුන්නල දෙනවා.
" නම් වලින් අහල තිබුණට අදනෙ දැක්කෙ. අඳුනගන්නට ලබුණට සතුටුයි. මේ මගෙ හොම යාලුව, තරිඳු..."
සරල මට වැළමිටෙන් ඇන්න, කාටවත්ම නොපෙනෙන්න. මට පුලුවං වුනත් ඒ ඉඟිය තේරුම ගන්න, මම මගෙ හිත වටට වැට බැඳල තියෙන්නෙ. අපි ගිහ්න් රුවිනිව, අක්ක හිටිය හිල්ඩා ඔබේසෙකර ශාලවට ඇරලුව, හතට වළ ළඟට එන්න පොරොන්දු කර ගෙන.
" අපි ලවර්ස් ලේන් එක දිගේ උඩට ඇවිද ගෙන යමු.. නාට්‍ය පටන් ගන්න කිට්ටු වෙන කොට එමු"
මම ඔලුව වැනුව, දැන් ඉතින් ඕනම කට්ටක් කන්න එපැයි...නාට්‍ය බලන්න ආව එකෙ. අපි හතර දෙනා පේලියට ගියෙ.
තරීඳු මගෙ ලඟට ඇවිත් මට කතාව.
" මලිති, ඩ්‍රාමා කරනවලු නේද"
" ඔව්. මේ පටන් ගත්ත විතරයි."
" ඔයාට ඕනි කමටමලු මේ ගමන ආවෙත් නේද?"
" ඔව්, මට ආස හිතුණා වලේ නාට්‍ය කරන එක බලන්න. අනික් වේදිකා වලට වඩා වෙනස් නේ. ඒ වෙනස අඳුනගන්න මට හිතුණා."
" ම්..ම්...පර්යේෂණ චාරිකාවක්?"
" ඔව්, එහෙමත් කියන්න පුළුවන්" ඔහු හොඳ කෙනෙක් කියලා මුල් කතා බහෙන් හැඟුනත් මම චරිත සහතික ලියන්න ඉක්මන් වුනේ නැහැ.
" ඔයාගෙ ගම කොහෙද"?
" පස්සර, ඔයා?"
" මම මාතලේ, ටවුන් එකේ මයි.දන්නවද ඒ පැත්ත?"
" අනේ, නැහැ.."
සරලයි, අමිලයි දැන් අපෙන් පියවර කිහිපයක් ඉස්සරහින් යන්නෙ. අපෙ ගමේ කවුරු හරි දැක්කොත් කියල මට හිතුණා. කැම්පස් සංස්කෘතියෙ මේව එච්චර ගණන් ගන්න දේවලුත් නෙවෙයි කියල හිත හදා ගත්ත.
අපි සිංදු ගැන, පොත් ගැන තව මොන මොනවදෝ කතා කළා..හරිම නිවිච්ච කෙනෙක්. කලබලයක් නැහැ. අනවශ්‍ය ප්‍රශ්න ඇහුවෙත් නැහැ. ආදරවන්තයන්ගෙ වීදියෙ ඇවිද ගෙන යන ආදර වන්තයන් නොවන එකම යුවල අපිද කියල මට හිතුණා. අනික් අය අත් වැල් බැඳගෙන, මූණුවල ප්‍රෙමාලේපන තවර ගෙන, දෙතොල් වල සිනහ මී පැණි පුරව ගෙන පාවෙනවා. අපි විතරයි පියවි සිහියෙන් ඇවිදගෙන යන්නෙ.
කවියකට හොඳ නිමිත්තක් කියලත් මට හිතුණ. අපි ඔහොම ටික දුරක් ඇවිදගෙන යනකොට සරලයි, අමිලයි ආපහු හැරිල අපි දිහාවට එනව. අපි ඒ දෙන්න එනකල් නැවතුණ. සරලා මා ගැන හොඳට දන්න නිස අපිට අන්වශ්‍ය විහිලු කළෙත් නැහැ.
වළ පහළට බහින තැනදි රුවුනිවයි, අක්කවයි මුණ ගැහුණා. අපි සේරම එක පේලියට වාඩි වුණා. තරීඳු වාඩි වුණෙ මගෙ ලඟ. එදා පෙන්නුවෙ 'සිංහබාහු', මම සිංහබාහු වලට හරිම කැමතියි.
' මෙන් කමලේ දෙන රැව් මිහි ලොල්
මුදු තෙපලින් දොඩනා හැම කල්.... '
මට නොදැනිම ගී පද මිමිනෙනවා. මම ඒකෙ චරිතයක් වෙලා, වේදිකාවට පිවිසෙනව හිතෙන්. කවුරුත් හූ කියන්නතුව බලන එක ලොකු දෙයක්. සුප්ප දේවිගෙ ගයන විලාශය අපූරු කළ එලියක් දෙනව නාට්‍යයට.
'පිතු සෙනේ පිතු හද තුළම මිස ....' ගීතය ඇහෙද්දි මට කඳුලු නවත්ත ගන්න බැරි වුණ. ඔන්න මගෙ සංවේදී සිත වාවගන්න බැරුව කඳුළු වරුසාවක්..තරීඳු මගෙ වම් අත අල්ලල ඒ මත එයාගෙ ලේන්සුව තිබ්බ. මම ස්තුතියි කියල එයගෙ ලේන්සුවෙන් කඳුළු පිහිද ගත්ත. ඔහු හිමින් මගෙ අතට තට්ටු කළ.
"මලිති, මේ නාට්‍යයක්...හිත දැඩි කරගන්න...ඔයා හරිම සියුමැලියි." මට හෙමිහිට කිව්ව.
" ඒ මගෙ හැටි. සොරි. "
" සොරි, කියන්න එපා. මේ ලෝකෙ ඔයා හිතන තරම් සොඳුරු නැහැ. රළුයි...වංකයි." 'හ්ම්.." 
ඇත්තටම තරිඳු ගැන මට පැහැදීමක් ඇති වුණා. එයාට පුළුවන් මට හොඳ යාළුවෙක් වෙන්න.
" හෙටත් එනවද නාට්‍ය බලන්න?" 
"ඔව්, සඳුදා උදේ තමයි අපි යන්නෙ"
" හෙට උදේට මොනවද කරන්නෙ?"
"මාළිගාවට යන්න කියල හිතුව, ඔයත් එන්න ... අමිලත් එක්ක"
මම කොණ්ඩ කරල කරකවමින් කිව්ව. මම ඇස් වලට දඟලන්න දුන්නෙ නැහැ. ආයෙත් හෙට හමුවෙන බලාපොරොත්තුවෙන් අපි වෙන් වුණා.
" ගුඩ් නයිට්! බුදු සරණයි.!


8 ක් අදහස් දක්වලා.