Wednesday, March 28, 2012

ඈ දෙසා...බලනූය දයා ඇසිනා!

Wednesday, March 28, 2012
විවිධ රටවල විවිධ රැකියාවන්හි නියුතුව සිටි මට ඇෆ්ගනිස්තානයේ ගත කළ කාල වකවානු කිසි සේත් සිතින් බැහැර නොවෙයි. ගැහැණුන් හට බොහෝ සමාජ තලයන්හි පිරිමින් සේම අයිතිවාසිකම් භුක්ති විඳීමේ අවස්ථාවන් හිමිව නොතිබුණත් එහි බහුතරයක් පිරිමි ගැහැණුන්ට ආදරය කරන, ගරු කරන අය ද වෙති. මූලධර්ම වාදීන් හා අන්තවාදීන් මේ ගණයට වැටෙන්නේ නැත.

නැගෙනහිර ටිමෝරයේ පිරිමින් ඊට ඉඳුරාම වෙනස්ය. කඩ පිල්වල හෝ බෝක්කු මත වාඩි වී බීඩි, සිගරට් බොමින් දාම් අදිමින්, කුකුළන් පොර කොටවමින්, ඕපාදූප කියවමින් සිටිනවා මිස ගෙදරට තඹ දොයිතුවක් උපයන්නේ නැත. එසේ කරනවා නම් කරන්නේ ඉතා සුළු පිරිසක් පමණි. ගැහැණු කඳු, ලඳු පීරා ගොස් අල වර්ග හාර ගෙන, පලා කඩා ගෙන එති. ඒ පවුලේ දවසේ වේල පිරිමහන්නටය. අත දරුවන් රෙදි කඩක රඳවා බඩ බැඳගෙන, සොයන අල පලා දමන වේවැල් කූඩය හිස මත බැඳගෙන ඇය කඬු නගින ආකාරය සිත සසල කරවයි. ගෙදර දොර සියලු වැඩ කරන ඇයට පිරිමියාගෙන් ලැබෙන්නේ ඇනුම් බැනුම් හෝ ගුටි බැට පමණි.

 මා නෙතින් දුටු දේවල් ලියන්නට සිතුණේ බොහෝ රටවල මේ වෙනස්කම් පැහැදිලිව දැකිය හැකි නිසාත් තවමත් ජාත්‍යන්තර කාන්තා දිනය සැමරූ මාර්තු මාසය අවසන් නොවුණු නිසාත්ය. මක් නිසාද යත් මාර්තු 8 වැනිදාට පමණක් ස්ත්‍රීන් ගැන,
ඔවුන්  ගේඅයිතිවාසිකම් ගැන, ඔවුන්ට එරෙහි ප්‍රචන්ඩත්වය ගැන කතා කිරීම නොසෑහෙන නිසාය. 

මවක්, දියණියක්, බිරිඳක්, සහෝදරියක් පමණක් නොව මිත්තණියක් වූ විට පවා ඇයගෙන් පවුල හා සමාජය, රට වෙනුවෙන් සිදුවන සේවාව අතිමහත්ය. පවුලේ ආර්ථිකය වෙනුවෙන් ඇය කරන සේවාවන් බොහෝ දෙනෙකුගේ ඇගයීමට ලක් නොවෙයි. දරුවන්ගේ අනාගතය සාර්ථකව ගොඩ නැංවීමට ඇයගෙන් සිදුවන දායකත්වය ගිනස් පොතට යන්නේ නැත.

හැම නිවසකම කුකුළා අතින් ගෙන පාන්දර අවදිවන්නී ඇයයි. එවිට ඇය වෙලාවට සීනුව නාද කරන ඔරලෝසුවක් වැන්නීය. සැමියාට උණුසුම් තේ බඳුනක් දී ඔහුව අවදි කරන්නේ ඈ හෙයිනි. ළමයින්ට පාසැල් යෑම සඳ
හා අවදි කරන්නේ ඈ හෙයිනි. ඉන්පසු පාතරාසය එනම් උදේ ආහාරයත්, දවල් ආහරයත් පිළියෙල කරන කෝකිවරිය ඇය වන්නීය. ගෙදර දොර පිරිසිදු කරන ගෘහ සේවිකාවද ඇය වන්නීය. දරුවන්ව පාසැලට කැටුවයන, එමෙන් ආපසු නිවසට කැඳවා ගෙන එන, සමහරවිට මේ දෙකම කරමින් රැකියාවටද යන්නට ඇයට සිදු වෙයි. එසේම තවත් මව් වරු මේ සියල්ල කරන අතර තුර පවුලේ රියැදුරු  ලෙසද කටයුතු කරයි. කඩ පිළට, වෙළඳ පොළට ගොස් ගෙදරට අවශ්‍ය එළවළු, හාල් තුනපහ යනාදී වූ අඩුම කුඩුම ගෙන එන්නේ ද ඇයයි. දරුවන් හෝ සැමියා ලෙඩ වූ විට සාත්තු සේවිකාවද ඇයයි. දොස්තරත් ඇයයි.
දරුවන්ගේ මුල්ම ගුරුවරිය මෙන්ම පාසැල් වැඩ වලට උදව් දෙමින් පාඩම් කියා දෙන ගුරුතුමිය ද ඇයයි. දරුවන්ගේ ආරක්ෂක නිලධාරිණියද ඇයයි. එසේම පවුලේ ප්‍රශ්න වලදීත්, දරුවන්ගේ ආරවුල් වලදීත් විසඳුම් සොයා දෙමින් උපදේශනයන් සපයන උපදේශිකාව හා නීති වේදිනියද ද ඇයයි.
මේ සියලු කාර්යයන් හමාර කොට විඩාපත් වුවත් සැමියාගේ කායික අවශ්‍යතාවන්ද සිනහමුසු මුහුණින් ඇය ඉටු කළ යුතු වෙයි.
මේ සියලු දේ යුතුකම් හා වගකීම් බවත්, ඒවා නොපිරිහෙළා
 ඉටු කළ යුතු බවත් සමහරු පවසති.


කෙසේ හෝ ඇයට ලෙඩ නිවාඩු නැත. පාරිතෝශික දීමනා හෝ බෝනස් ලැබෙන්නේද නැත. අර්ථ සාධක අරමුදල්, එනම් ඊ.ටී.එෆ්., ඊ.පී.එෆ්. නැත. කිසිම දාක උසස් වීම් හෝ ඇගයීමක් පවා කෙරෙන්නේද නැත.
එහෙත් ඇය ඉහත සඳහන් කිසිවක් ඉල්ලා උද්ඝෝෂණය කර මින් වීදි බසින්නේ නැත. පිකට් බෝඩ් අල්ලා ගෙන ගෙවල් ඉදිරිපිට වර්ජනය කරන්නේ නැත. ආහාර පාන පිළියෙල නොකර සටන් පාඨ  කියන්නේද නැත. 


එවන් මවකට, බිරිඳකට, සොහොයුරියකට, මිත්තනියකට, දියණියකට සැහසිකමක්, අතවරයක්, හිංසනයක්, අපචාරයක් ඔබට කළ හැකිද?
මේ සියලු ස්ත්‍රී වර්ගයාගේ කතාවයි. ගමින් ගමට, රටෙන් රටට, ආගමෙන් ආගමට, ජාතියෙන් ජාතියට සුළු සුළු වෙනස් කම් තිබුණත් පොදු සාධකයන් හැම ගැහැණියකටම ඉහත අයුරින් නොවෙනස්ව පවතී.

මට මහචාර්ය සරච්චන්ද්‍රයන්ගේ 'මනමේ' නාඩගමෙහි අවසන් ගී පද මතකයට එයි.


"මා දෙසා.....මා දෙසා...බලනූය දයා ඇසිනා ...."

ගැහැණිය දෙස දයාවෙන් යුතුව, කරුණාවෙන් යුතුව, ආදරයෙන් යුතුව බලන්න. ඇය ලිංගික භාණ්ඩයක් ලෙස පමණක් නොදකින්න. ඇයට ගරු කරන්න. ඇයගේ අමිල සේවාවන්ට වටිනාකමක් දෙන්න.
කුරුල්ලෙකුට තනි තටුවකින් පියාඹන්නට නොහැකිය. සමාජය කුරුල්ලෙකු නම් එක් තටුවක් ගැහැණියයි. අනෙක් තටුව පිරිමියායි. යහපත් මානව සමාජයක් සඳහා අත් තටු දෙක ශක්තිමත්ව, නීරෝගීව තිබිය යුතුය.

8 ක් අදහස් දක්වලා.

අප්පච්චි කිව් කතා


                  ඩුබායි ආවම හැමදාම ටිකක් කල් ගත වෙනවා, සිංහල අකුරු හොයා ගන්න. අද නම් දුකාට කතා කරල ප්‍රශ්නෙ කිව්වම ලංකාවෙදි වගෙම හොයන්න කිව්ව. මමත් හෙව්වා. සොයන්නට හම්බ වෙනව නෙ. ඉතින් ලංකාවෙදි වගෙ නෙවෙයි, මෙහෙදි මට ගෙදර වැඩ මොකුත්ම කරන්න නැහැ. ගමන් බිමන් වුණත් ඇත්තෙම නැති තරම්. සිකුරාදට තමයි, දරුවන්ට නිවාඩු. දරු මුණුබුරන් සේරටම. ඉතින් ආයෙමත් මට හිතුණා, බ්ලොග් අඩවිය පැත්තෙ ගොඩ වෙලා යහළු මිතුරු කම් වගෙම යහළු මිතුරු දම් අළුත් කර ගන්න.
              කවි කතා, කතන්දර සේරෝම කොහේදෝ ඈතකට ගිහින් හැංගිලා වගෙ. ආගන්තුක පිරිසකට කතා කරනවා වගෙ ඒ අයට බුලත් හුරුල්ලක් දීල ආයෙමත් ඥාති සම්බන්ධතාවන් අළුත් වැඩියා කර ගන්න වේවි, මයෙ හිතේ. අවුරුදුත් ළඟ නිසා අකැමති වෙන එකක්   නැති වෙයි.

                 මම අප්පච්චි ගැනත් අප්පච්චි මට කියන අතීත කතා ගැනත් කලින් ලියල තියෙනවා. අන්තිම වතාවට මම අප්පච්චි දකින්න ගියෙ   මම තායිලන්තෙට යන්න ඉස්සරින්...දවස් තුනකට ඉස්සරින් හරියටම. අප්පච්චිට වයස   අවුරුදු  88 ක් . මම එනවා කියන ආරන්චියට ලොකු මල්ලිලාගෙ ගෙදර ආලින්දයේ වේවැල් පුටුවක වාඩි වෙලා මග බලාන හිටියා. මම කොළඹ ඉඳල එනවා කිව්වොත් දවල්ට කෑම නොකා බලා ගෙන ඉන්නවා. එදත් එහෙමයි, බෙල්ල දික් කරමින් පාර දිහා වටම තමයි ඇස් දෙක. මාව දැක්කම මූණේ හිනා මල් වට්ටියක් පිපෙනවා. වෙන අයටත් එහෙම වෙන්නැති, මම දන්නෙ මං ගැන විතරයි නෙ.
                     අප්පච්චි ආස කරන කෑම බීම උස්සගෙන යන කොට  , "මොකට ඒව මේව   ගෙනෙනවද, බලලා යන්න ආවා නම් ඇතිනෙ" කියනව.  ඇඳේ වාඩිවෙල, එහෙම නැත්නම්   මම    පුටු ඇන්දෙ වාඩිවෙලා අපි කතා කරමින් ඉන්නව. ඒත්  මෙදා සැරේ අප්පච්චිට පරණ කතා ඒ තරම්ම මතක නැහැ වගෙ. මතක් කළේම ඉස්සර කරපු පින්කම්. දන් දුන්නු හැටි, අසූ හාරදාහෙ පහන් පින්කමක් මුතියංගනය රජමහවිහාරයේ සංවිධානය කරපු හැටි....තවත් ලස්සන කතාවක් කිව්වා. ඒක හොඳයි හැමෝටම දැන ගන්න, අප්පච්චිගෙ ස්ථානෝචිත ප්‍රඥාව ගැන හිතා ගන්න.
                මේ කතන්දරෙත් අහගෙන දවස් තුනකින් ආපහු කොළඹ එන්න කියල මම අප්පච්චිට දණ ගහලා වඳිද්දි මට අමුතු වෙනසක්     දැණුනා.  මගෙ ඔලුව අත ගාද්දි වෙනද  විදිහටම, "තුණුරුවන්ගෙ සරණයි, සියලු දෙවියන්ගෙ පිහිටයි!" කියල කියද්දි මම නැගිටලා අප්පච්චිගෙ නළලයි, කම්මුල් දෙකයි ඉඹලා පොඩි දරුවෙක්ව වගෙ මගෙ පපුවට තුරුළු කර ගත්තා. එතකොට මට මහ දරා ගන්න බැරි වෙනස් කමක්   දැණුනා. ඒක නිර්වචනය කර ගන්න හෝ පැහැදිලි කර ගන්න මට අවශ්‍ය වුණෙ නැහැ ඒ වෙලාවෙ. ඒ ශෝකී හැඟීම බුදු වදනක් සිහිපත් කරලා තුනී කර ගන්න උත්සාහ කළා.
             ආයෙමත් මම යන කොට අප්පච්චි හිටියෙ සදහටම දෙනෙත් පියාගෙන. මට දරා ගන්න බැරිවුණා ඒ නිහඬතාවය. මුහුණ පුරා පිරුණු හිනාව වෙනුවට  අප්‍රාණික දෙතොල් මත්තෙ හීන් හිනා රේඛාවක් යාන්තමට සටහන් වෙලා. ඒ හිනා රේඛාව අස්සෙන් මට අප්පච්චි කිව් කතා මතක් වෙනවා. අප්පච්චිට ගරු කිරීමක් හැටියට තවත් කතාවක් සටහන් කරන්න අවසරයි, පුලිනතලාවෙ.

                      ඒ කාලෙ අපෙ අප්පච්චි තමයි, බදුල්ලෙ කතරගම දේවාලෙ බස්නායක නිළමෙ හැටියට හිටියෙ. අගෝස්තු මාසෙට නුවර පෙරහැරත් එක්ක සමාන්තරවම බදුල්ලෙත් ඉතාමත් විචිත්‍ර විදිහට ඇසල පෙරහැර කෙරෙනවා. අලි ඇතුන් වගෙම, උඩරට, පහත රට, සබරගමු වගෙ නැටුම් විතරක් නෙවෙයි සමහර කලායතන වලිනුත් නැටුම් කණ්ඩායම් මේ සඳහා යොදා ගැණුනා. මේ පෙරහැරට බදුල්ල මුතියංගන රජ මහා විහාරයේ පෙරහැරත් අතරමගදි එකතුවෙල එකටමයි වීදී සංචාරය කරන්නෙ. බදුල්ල දිස්ත්‍රික්කය අවට ගම් පළාත් වලින් වැල නොකැඩී සෙනග එනවා පෙරහැර බලන්න.

                    මේ වගෙ පෙරහැර කරන එක් අවස්ථාවක පොඩි වරදවා වටහා ගැනීමක් නිසා පෙරහැර වර්ජනය කරන්නට එක් කණ්ඩායමක් සංවිධානය වෙලා පවුල් පිටින් පෙරහැර වීදි  සංචාරය කරන එක තැනක පාර පුරා වාඩි වෙලා ඉඳලා.
                  මල් වෙඩිල්ල පත්තු කරලා දැන් පෙරහැර පිටත් වෙලත් ඉවරයි. අප්පච්චිත් දැන් තුප්පොට්ටියත් ඇඳ ගෙන පරිවාර නිළමෙල දෙන්නෙකුත් එක්ක සධාතුක කරඬුව වඩම්මන ඇතා අසලින්ම වීදි සංචාරය කරනවා, උදාරම් ලීලාවෙන්.
               එතකොටම අපේ පොඩි අයියා අප්පච්චි ළඟට ඇවිත් අර ආරංචිය අප්පච්චිට සැල කර හිටියා. පොඩි අයියගෙ මුහුණ නම් බයෙන් කලු ගැහිලා. අප්පච්චි ඇබින්දක් වත් කලබල වුණේ නැහැ. බොහොම උපේක්ෂාවෙන් මොහොතක් කල්පනා කළා.
"පොඩි පුතා, කාටවත්ම මේ ප්‍රශ්නෙ කියන්න අවශ්‍ය නැහැ. ඔය මිනිස්සුත් වෙනදට පෙරහැර බලනවනෙ. මේක අපේ සංස්කෘතික අංගයක් නෙ. අපි පෙරහැර පිළිවෙල වෙනස් කරමු. පුතා ගිහින් ඉස්සරහින්ම අලියෙක් යවන්න. ඊට පස්සෙ කස   කාරයන්ව යවන්න. අලියෙක් එන කොට කවුරුත් පාරෙන් අයින් නොවී ඉන්නැහැ නෙ. ඒ හරියට යන කොට ඔය වෙනස් කම කර ගන්න අපිට කල්    තියෙනවා. කලු බණ්ඩත් එක්ක කණ්ඩුලව අරන් යන්ඩකො"
පොඩි අයියා මොනතරම් දක්ෂ සංවිඪායකයෙකු වුවත් අප්පච්චිට පහළ වුණු ඒ නුවණ නම් ඔහුට පහළ වූයේ නැත. ඒ බව අදත් පොඩි අයියා පවසන්නේ අප්පච්චි ගැන ඉතා ආඩම්බරයෙනි.

              පෙර්හැරේ ඉදිරියෙන්ම අලියකු එනු දුටු සටන්කාමී පිරිස අර පොත පතේ එන ආකරයටම හිස් ලූ ලූ අත පලා යන්නට ඇති. හැබැයි කාටවත්ම කිසිම කරදරයක් හෝ පුන්චි ලේ සෙලවීමක් වුණේ නැති බවත් අප්පච්චි මට කිව්වේ, "ලොකු කරදරයක් වෙන්න හිටි එකක් නවත්ත ගත්ත . . . ඒ වගෙම ඒ කණ්ඩායම පෙරහැරත් බලලා දේවාලයට ඇවිත් මගෙන් සමාවත් ඉල්ලුවා, වැරදි වටහාගැනීමක් කියල.."  කියමින්.


21 ක් අදහස් දක්වලා.

Thursday, December 29, 2011

තරුණකම මනින නිර්ණායකය කුමක්ද?

Thursday, December 29, 2011
             2011 ඉවර වෙන්න තියෙන්නෙ තව එකම එක දවසයි. ආපහු හැරිල බලන විට හිතට සියුම් සතුටක් දැනෙනව. මම පිම්බෙන්නෙ නැතුව අනික් අයව නගා සිටුවන්න කරන ලද කැපවීම් හිත පුරා මල් කැකුළු පුබුදුවනවා. ඒ සුවඳ ජීව්තය සුවඳවත් කරාවි කියල මගෙ හිත කියනවා.


               ළඟදි දවසක මට හිතවත්ම නගාලා, මලයණ්ඩිලා සමග එක් වුණු දවසක එක මලයණ්ඩියෙකුගෙ විස්තරක් පත්තරේක තිබුණා. ඔහු ඒ ගැන පුරාජේරු කිව්වෙ නැහැ, හරිම නිහතමානී විදිහකට සිනහ වුණා. ඔහුගෙ පිරිපුන්කම මා එහිදී දැක්කා...පැහැදිලිවම. අවට සිටි අය කිව්වා 'අක්කණ්ඩි' ගැනත් මේ පිටුවෙ දැම්මොත් කොහොම හිටීද කියලා. මා ඔවුන්ට දශක දෙකක් විතර වැඩිමහලු නිසාවෙනුයි, එහෙම කියවුණෙ. මට එහිදී හිතට නැගුණු දෙයක් තමයි, අපේ රටේ තරුණ කම මනින්නෙ වයසෙන් හෝ අවුරුදු ගණන් වලින් කියලා. ඒක නිවැරදි නිර්ණායකයක්ද කියල හිත මගෙන් ප්‍රශ්න කරනවා. 


                          අර්ධ ශතකයක් ගැහුවත් තවමත් තාරුණ්‍යය නොඉක්මවූ අයුරින් යහපත් සේවාවන්හි සහ සත් කාර්යයන්හි   කාර්යක්ෂම ව නියැලෙන අය අප වටා ඕනෑ තරම් ඉන්නවා. අපි දකිනවා ඔවුන්ව. අපට දැනෙනවා ඔවුන් කරනා ඵලදායී කටයුතු. තරුණ වයසේ ඉන්න සමහර දුවල, පුත්තු තුළ එවන් කාර්යක්ෂමතවක් දකින්න නැහැ. රැකියාවක් නැත්නම් දවසෙන් වැඩි හරියක් නිදියන්වා. පුංචි දෙයක් කළත් ඔවුන්ට මහන්සියි. ඒ වගෙම රැකියාවට ගියගමන්ම විහාල වැටුපක් බලාපොරොත්තු වෙනවා.
ළඟකදි එක් තරණ පුතෙක්,( වයස අවුරුදු විසිපහයි, ඔහුට )මට කිව්ව ඔහු සම්මුඛ පරීක්ෂණයකට ගිය බව රැකියාවකට. ඒ සමගින්ම කියා හිටියෙ "ඒක මට හරි යන එකක් නැහැ. අනික් අයට කියල තියනවා, පස්සෙ දන්වන්නම් කියල. ඒත් මට එහෙම කිව්වෙ නැහැ" කියලා. එවිට මම ඔහුගෙන් ඇහුවා "ඔය සම්මුක පරීක්ෂණයට ගිය ගමන්ම එම මණ්ඩලයට 'සුබ උදෑසනක්' කියල කිව්වද. වාඩිවෙන්නකීවම 'ස්තුතියි' කියල වාඩිවුණාද? කියලා.
ඔහු ගත් කටටම මගෙන් ඇහුවෙ "එහෙම කියන්නෙ මොකටද?
" මම හිටියනම් එම මණ්ඩලයෙ මමත් ඔයාව ගන්නෙ නැහැ "
මා ඔහුට මගෙ අදහස කිව්ව.
මේ සිරිත් විරිත් ඉතා සුළුවට පෙණුනත් ඒවා වැදගත් බව මම ඔහුට පෙන්වා දුන්නා.
සම්මුඛ පරීක්ෂණයකදි ආචාර ශීලි බව බොහොම වැදගත් බව ඔහු දැන සිටියෙ නැහැ. අඳින ඇඳුම, කතා බහ, ප්‍රිය මනාප බව වගෙ දේවලුත්  වැදගත්  බව මා ඔහුට පෙන්වා දුන්නා. කොතෙක් දුරට වියපත් අපගෙ අදහස් ඔහු පිළිගනීවිද මන්දා?
                   මෙහිදී මට තවත් සත්‍යය කතාවක සිහිපත් වෙනවා. එක තරුණයෙක් ඉතා දක්ෂ ලෙස   සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දීල ඔහුව එ සඳහා තෝරාගත් බව මණ්ඩලය ඔහුට පවසල අතට අත දීල සුබ පතල යන්න අවසර දුන්න. ඔහු මණ්ඩලයට ස්තුති කරල එම කාමරයෙන් පිටවී යන අවස්ථාවෙ මණ්ඩලය නැවත ඔහුව කැඳෙව්ව.
" කණගාටුයි. ඔබ මේ තනතුරට සුදුසු නැහැ කියල අපට තේරුම් ගියා"
" ඒ මොකද සර්"
" ඔයා බෙල්ට් එක ඔක්කොම ලූප්ස් වලට හරියට දමල නැහැ. එකක් මග හැරිලා. අපේ ආයතනයට එහෙම අපිළිවෙලට
වැඩ කරන නිලධාරීන් ගත්තම අපේ නිෂ්පාදන ඵලදායකත්වය ගැන විශ්වාසය තියන්න අමාරුයි. බොහොම කණගාටුයි"



            වසර අවසන් වෙන්න දවසක් තියෙද්දි මා මේ සටහන තියන්නෙ අපේ තරුණ පරපුර කෙරෙහි අපරිමිත සෙනෙහසින් සහ දයාවෙන්. ඒ ඔවුන් අපේ අනාගතය නිසා.

             උදාවන 2012 වසර ඔබ සැමට සාමය, සතුට, සෞභාග්‍යය ගෙනෙන වසරක්ම වේවා!

6 ක් අදහස් දක්වලා.

Saturday, July 23, 2011

දොළ පිදේනියක් . . . !

Saturday, July 23, 2011
     අම්මලත් එක්ක නටබුන් බලන්න යද්දිත්, ගෙදරදි කාලය ගත කරද්දිත් නන්දි වෙන කවදාවත් නොපෙන්වන සෙනෙහසක් මට පෙන්නුවා. අම්මලටත් හිතට සතුටු ඇති, දෝණියැන්දට ආදරණීය ස්වාමි පුරුෂයෙක් ලැබිලා කියලා. කිසිම දවසක මත්පැන් කටේ නොතියපු කෙනෙකු වගෙ ඔහු අප්පච්චිට සැර බීම බෝතලයක් එයාලගෙ ක්ලබ් එකෙන් ගෙනැත් කන්තෝරු කාමරේ මේසෙ උඩින් තියලා, ඒ ලඟින්ම ප්‍රේමවතීට කියවල බැදපු වැව් මාලුයි, මයියොක්කා තම්බපුවයි පූජා භාණ්ඩ අඩුක් කරන තාලෙට ඇසුරුම් කළා. අප්පච්චිට දොළ පිදේනියක් . . . ! මට කරන වෙනස් කම් වලින් ගැලවෙන්ට. පව් සෝදා හරින්ට.
   කවදා හරි ඇත්ත ඉස්මතු වෙයි, රබර් බෝලෙ වගෙ ඇත්
ත යටට ඔබන්න පුළුවන් වේවිද සදාකාලිකවම. හැබැයි එතකොට මට මොනව වෙල තියේවි ද දන්නෙ නැහැ. මේ දවස් දෙක තුනේම නන්දි ක්ලබ් ගියෙත් නැහැ. මධු විත තොල ගෑවෙත් නැහැ. නියම බොදුණුවෙක්. මේ සිල් හැම දාම ගන්න පුළුවන් නම් මමත් වාසනාවන්ත බිරියක්. දඩබ්බරී සැර කරන්නෙ මට විතරයි, අම්මයි, අප්පච්චියි  ළඟ එයත් මුකවාඩම් බැඳ ගන්නවා.
  අප්පච්චිල යන්න හදන කොට නන්දි මෙතෙක් කල් වසන් කළ දෙයක් සියල්ලන් ඉදිරියේ නිරාවරණය කළා.
" නිවඩු පටන් ගනිද්දි මෙ
යාගෙ මාරුවත් මේ ළඟට හදල තියෙන්නෙ, අප්පච්චි. පොළොන්නරුවටම හදා ගන්න බැරි වුණා. හිඟුරක්ගොඩට තමයි හදා ගන්න පුලුවන් වුණෙ."
  " ඉතින් එතකොට දෙන්න දෙපොළෙ නේ" අම්මා අදහස් ප්‍රකාශ කළේ මුලින්ම.

" අපෝ! පැය භාගයක් වත් නැහැ නෙ මෙහෙ ඉඳල එහෙට. මෙයාට එහෙ නවතින්න පුළුවන් ප්‍රේමවතිත් එක්ක. මගෙ යාළුවෙක් ගෙයකුත් හොයල දෙන්නම් කිව්වා, ඉස්කෝලෙ ළඟින්ම."
" එතකොට පුතා මෙහෙ ඉන්නවද?"
ඒ අප්පච්චි.
" ඔව්, මගෙ නිල නිවාසෙ තියෙනව නෙ. අනික දැන් ඉන්න තත්ත්වෙ අනුව බස් වල යන්නත් බැහැ නෙ. ටික කලක් යන කොට මාරුවීමක් හදාගන්න පුළුවන් වේවි,මෙහාට"
" ඔය දෙන්නගෙ කැමැත්තක්"
අප්පච්චි වාද කළෙත් නැහැ. මා වෙනුවෙන් නීතිඥයෙකු වුණෙත් නැහැ. දෙන්නගෙ කැමැත්තක් දැන් කොහෙද? සේරම සිද්ධ වෙන්නෙ තනි කැමැත්තට. ස්වාමි  පුරුෂයාගෙ මනාපෙට. ඔය මාරුවීම ගැන මට නිකමට වත් කීවයැ, මේ වෙන කල්ම.
" ලබන සති අන්තයෙ අපි ගෙදර ගිහින් මෙයාගෙ බඩු මුට්ටු අරන් එන්නයි හිතන් ඉන්නෙ. එහෙත් ඇවිත් යන්න එන්නම් කො. මෙයාට අවශ්‍ය දේවල් එහෙත් තව ඇතිනේ.."

         සුවච කීකරු පතිනියකගෙ භූමිකාව තුළ සිරවෙමින් මම අප්පච්චිටත් අම්මටත් වැන්දෙ ඇස් වල තෙරපෙන කඳුළු හිර කර ගන්න බැරුව. ඇයි මෙහෙම ගැහැන
ණු යටහත් පහත්ව පිරිමින්ගෙ අණසකට, ආධිපත්‍යයට යටත් වෙල ජීවත් වෙන්න ඕනි? ඒකද සාමකාමී පවුල් ජීවිතය විදිහට සම්මානයට පාත්‍ර වෙන්නෙ? ඒවාට එරෙහිව කතා කරන ගැහැණු අසංවර, අශීලාචාර උදවියද?
  විශ්ව විද්‍යාලයේ උන් සටන් කාමී මලිති සිල්ගත් උවැසියක සේ ඉන්නේ දෙගුරුන්ගේ ගෞරවය, කුල ගර්වය රකිනු පිණිසද? ඇය ජීවත් විය යුත්තේ තව කෙනෙකුගේ සහ ඔහුගේ පවුලේ අනෙකුත් අයගේ අභිමතයන්ට අනුකූලවද?
  ප්‍රශ්න මෙපමණකින් කෙළවර වන්නේ නැහැ. සියල්ල ලියන්නට ගිය හොත් ප්‍රශ්න වලින්ම පිරුණු ලියවිල්ලක් ඉතුරු වේවි. එනිසාම සිතට එන ප්‍රශ්න කන්දරාව හමුවේ බැම්මක් ඉදි කරන්නට සම්ප්‍රදායිකා තැත් කරනවා.
  දරුවා වෙනුවෙන් සියල්ල ඉවසා සිටියයුතු වගත් සම්ප්‍රදායිකා මට මතක් කර දුන්නා. දැන් මලිති නැහැ, මිසිස් නුගලියද්ද. යුවතියක් විදිහට නෙවේ මැතිනියක් විදිහට කටයුතු කරන්න වෙයි. මළ විකාර! තවම මගෙ වයස කීයද? මැතිනියක් නෙවෙයි, මහත්මියක් වත් වෙන්න මට ඕනි නැහැ. මම මලිතිම,
මලිතිම විතරයි.
 'ඒ වුණාට ඔයා අම්ම කෙනෙක් වෙන්නයි, යන්නෙ.' ඒ පාර දඩබ්බරිත් මට ඔලොක්කු කරනවා.
  දුර ඈත තිතක් වෙලා නොපෙනී යන අප්පච්චිලා රැගත් වාහනයෙන් ඇස් ඉවතට ගත්තට පස්සෙ බලන බලන හැම තැනකම කලු තිත් පෙනෙනවා. ඔලුව කැරකෙන ගතියට මම ළඟින්ම උන්නු ප්‍රේමතීගෙ ගතට හේත්තු වුණෙ, මට මගෙ ශරීරය වාරු නැතුව යනව වගෙ දණුනු නිසා.
    

3 ක් අදහස් දක්වලා.