Monday, April 16, 2012

සින්දු හා බණ

Monday, April 16, 2012
අද ලියන කතාව එතරම් වැදගත් නැහැ කියල හිතෙයි, සමහරෙකුට. ඒ වුණත් මට ඒක දැනුණු දෙයක් නිසා සටහන් කරන්න හිතුණා, මගෙ බ්ලොග් අඩ්වියෙ.

ඔහු අපේ කිට්ටුවර ඥාතියෙක්. ඔහුට පාකින්සන් රෝගය වැළඳි ඇවිදින්න කරන්න බැරුවයි හිටියෙ. බොහොම අමාරුවෙන් ඔහු ඇවිද්දෙ. එක කකුලක් තියල අනෙක් කකුල ඉදිරියට ගන්න අමතක වෙනවා. එතකොට ළඟ ඉන්න කෙනෙක් ඔහුගෙ කකුලට තට්ටු කරලා මතක් කරල දෙන්න ඕනි එය ඉස්සරහට තබන්න කියලා. වෙලාවකට අතීතයෙ දේවල් අගේට මතක් වෙනවා. එම වෙලාවෙම සිදුවෙන දේවල් අමතකයි. දරුවො, නෑදෑයන් පමණක් නෙවෙයි, බිරිඳව පවා අමතක වෙනවා. මේ මෑත කාලයෙදි ඔය වගෙයි තත්වය. දැනට අවුරුදු දෙකකට පමණ පෙරදි සිදුවූ දෙයක් තමයි මගෙ කතාවට තේමා වෙන්නෙ.

දවසක් මේ ඥාතියාගෙ ගෙදර කට්ටිය දුර බැහැර තියෙන ආරණ්‍යයකට දානයක් දෙන්න යන්න තිබෙන නිසා මගෙන් අහුවා, ඔහුව බලා ගන්න එන්න පුළුවන්ද කියලා. ඔහුව බලා කියා ගන්න උපස්ථායකයෙකු හිටිය නමුත් වෙලාවට කෑම ටික දෙන්න සහ උපස්ථායකයාටත් විවේක දිය යුතු නිසා. මම මුළු හිතින්ම එයට එකඟ වුණා.

මම ගිහින් පැය භාගයකට පසුව තමයි, ගෙදර කට්ටිය ගමන පිතත් වුණෙ. ඒ වනවිටත් ලෙඩාව ආලින්දයට ගෙනැත් රූපවහිනිය ඉදිරිපිට වාඩිකරවල තිබුණා. ධර්ම දේශනයක් විකාශනය වෙමින් තිබුණා.  ඒත් ඔහුගෙ ඇස් හෝ සිත ඒ දෙසට යොමුව තිබුණෙ නැහැ. ඔහු මා සමග කතා කරන්නට උත්සාහ ගත්තා.

"දුව දැන් කොහෙද ඉන්නෙ? අද මේ අය කොහෙද ඔය ගියෙ?"

මම ඒ ප්‍රශ්න වලට උත්තර දෙමින් අතීතය ගැන කතා කළා.
" මාමා ඉස්සර හින්දි චිත්‍රපට හරියට බලනව නේද? ඒක නේද පුතාල දෙන්නටයි, දුවටයි නළු නිළියන්ගෙ නම් දැම්මෙ? ලොකු අයියා දිලිප්, පොඩි අයියා මනෝජ් ...නංගි නිම්මි ...."
" ඔව්, දුවේ...මං ගාව තවමත් ඒ සින්දු රෙකොර්ඩ්
තියෙනව. දැන් තියෙන සී ඩී වගෙ නෙවෙයි, ඒවා ලොකු තැටි. දුවට ඕනිනම් මම ඒවා දෙන්නම්. මේ කට්ටිය ඒව අහන්නෙ නැහැ නෙ."

" මාමා තවමත් ආසද හින්දි සින්දු අහන්න?"
" නැතුව, නැතුව... ඒත් දැන් ඉතින් කොහොම අහන්නද? මෙඔ ගොල්ලො හැම තිස්සෙම බණ නේ දානෙ. පැය විසිහතරෙම බණ අහන්න පුළුවන්ද දුවෙ?"

මාමා එසේ කියන අතරෙදි මම රිමෝට්ය අරගෙන බණ චැනලය හින්දි චැනලයකට මාරු කළා. ඒ වෙලාවෙ මොකද්දෝ වෙලවකට තිබුණෙ පැරැණි චිත්‍රපට ගී.

නිම්මි හා දිලිප් කුමාර රඟන 'මධුමතී' චිත්‍රපටයෙ ගීයක්. ඔහුගෙ  මුහුණ පුරා මල් පිපෙනව වගෙ සතුට පිපෙනවා මම දැක්කා. හිතේ ගතේ තිබුණු ආලි මෑලි දුබල ගතිය වෙනුවට ප්‍රබෝධ ගතියක් ඇතිවුණා. ගීයෙ තාලයට පුටු ඇන්දට අතින් තට්ටු කරමින් ඔහු ඔලුවද තාලයට සොලවන්න වුණා.

" මාමේ, තේ එකක් ගේන්නද?"
" ඔව් දුවේ, කන්න මොනව හරිත් ගෙනෙන්න. හුඟ කාලෙකින් ලස්සන සින්දුවක් අහනවා. දුවට පිං සිද්ධවෙනවා මේ කළ උදව්වට"

" හොඳයි, මාමෙ ....දානෙට හදපු අළුවා වගයක් තියෙනවා. ඒවත් එක්ක මම තේ හදන් එන්නං"

අළුවා කෑලි දෙකක්ම කා තේ කෝප්පය බීව ඔහු එම වැඩ සටහන් ඉතා හොඳින් රස වින්දා.

" දුවේ, නිවාඩු තියෙන වෙලාවට නිතර මෙහෙ එන්න. මම ලෙඩෙක් වුණාට තවම සසර කල කිරිලා නැහැ. සින්දු අහන්න ආසයි. සතුටෙන් ඉන්න ආසයි. හුඟ දෙනෙකුට ඒක තේරුම් ගන්න බැහැ නෙ"

"එක එක අය හිතන්නෙ එක එක විදිහට නෙ, මාමෙ. මම අනෙක් අයටත් කියන්නන් කො, මාම අද ආසාවෙන්  සින්දු  ඇහුවා කියා"

" අපෝ, අපෝ, කියන්න එපා. වයසට ගියහම සින්දු අහන එක පවක් කියල තමයි, ඒ අය හිතන්නෙ. දුව ආපු දාකට සින්දු අහමු"

දැන් මේ මාමණ්ඩිය අසාධ්‍ය තත්වයකයි ඉන්නෙ. වයසත් අසූව පැනැලා. මා ළඟදිත් ඔහුව බලන්නට ගිය නමුත් ඔහුට දැන් මා කවුදැයි හඳුනා ගත නොහැකි තරමට සිහිය දුර්වල වෙලා.

කෙසේ වෙතත් ඔහුට නිරෝගි සුව හා දීර්ඝායු පතමින් මේ සටහන අවසන් කරන්නම්.


.



8 ක් අදහස් දක්වලා.

Friday, April 13, 2012

'ෆේස් බුක්' මිතුරු දම්

Friday, April 13, 2012
   'ෆේස් බුක්' මිතුරු දම් හොඳ වෙන්නත් පුළුවන්,නරක අතට පෙරලෙන්නත් පුළුවන්. ඒ නිසා යම් යම් සීමාවන් තබාගෙන විචාර බුද්ධියෙන් ඇසුරු කළොත් කාටත් යහපත්. මම මෙහෙම කියන්න් එකතරා කතාවක් ඔබ හමුවේ තබන්නයි. මූණු පොතෙන් වෙච්ච අපරාධ ලෝකය පුරහම එක එක රට වලින් වාර්තා වෙලා තියෙනව. අද 'ගල්ෆ් නිව්ස්' පුවත් පතෙහි පළවී තිබුණු කතාවක් කියෙව්වහම මට හිතුණ, එම පුවත් පත් සටහන ලංකාවේ බොහෝ දෙනෙකුගේ දැන ගැනීම පිණිස මගේ බ්ලොග් අඩවියේ සටහන් කර තබන්න.
  ඇය පිලිපීන් ජාතික 31 හැවිරිදි තරුණියක්. නමකුත් තියමුකො....එලීනා කියල. (නම බොරු වුණාට, කතාව ඇත්ත.) යහළු යෙහෙළියොත් ගොඩක් එහි හිටියා. ඇය වැඩිපුරම හිටියෙ පිලිපීන යහළු යෙහෙළියන්. මොකද සිය රටේ උදවිය තමන්ව කරදරයක දමන්නෙ නැහැ කියන විශ්වාසය ඇය තුළ තිබුණු නිසා. ඇය 'ෆේස් බුක්' යහළු යෙහෙළියන් මගින් රැකියාවක් සොයා ගන්න නිතර උත්සහ කළා. මැද පෙරදිග රටකට ගියොත් වෙළඳ සේවිකාවක් ලෙස සේවය කරන්නට ඇත්නම් සැපවත් ජීවිතයක් ගත් කළ හැකි යයි හිතුවා. ඒ වගෙම ඒක ඇයගේ සිතේ නිතර ඇඳී රඟ ඩ්ගැක්වෙන සිහිනයක් බවට පත් වුණා. අරාබි රටවල් වල සේවය කරන පිලිපීන කාන්තාවන් කිහිප දෙනෙක්ම ඇයගේ මිතුරු ලැයිස්තුවේ හිටියා. දවසක් 'ෆේස් බුක්' ප්‍රොෆයිලය විවෘත කළහම ඇයට සිය දෙනෙත් අදහා ගන්න බැරි තරමට පුදුමයි. ඩුබායි රටේ සේවය කරන පිලිපීන මිතුරියක් ඇයට පණිවිඩයක් එවලා. ඇය මේ මිතුරියව කවදාවත් දැකලා නැහැ. හොඳින් හඳුනන්නෙත් නැහැ. ඒත් එලීනා මේ මිතුරියට ගොඩක්ම සමීප වෙලයි හිටියෙ ඒ වෙන විට. ඉතින් ඇගෙන් ලැබිලා තිබුණු පණිවිඩය ඇගේ සිහිනය සැබෑ කරවන්නක් කියල එලීනට හිතුණා.

     වෙළඳ සේවිකාවක් හැටියට ඩුබායි එන්න කැමති නම් ඇයට වීසා හදලා දෙන්න පුළුවන් වග එම පණිවිඩයේ සටහන් කර තිබුණා.
  හිතේ සතුට උහුලා ගන්න බැරිව ඇය පවුලේ අයටත් මේ බව සැල කර හිටියා. ඇය වහාම ඇයගේ එෆ්.බී. මිතුරිය වන කැතරීන්ට පිළිතුරු පණිවිඩයක් ලිව්ව. වීසා හ්දලා දෙන්න කැතරීන්ට පුළුවන්න් නම් ඇය ගුවන් ටිකට් පතක් කෙසේ හෝ මිළට ගෙන එන්නම් කියා. එලේනා හිතුවේ ගුවන් ටිකට් පත සඳහා මුදල් ණයට ඥාතියෙකුගෙන් ඉල්ල ගන්නයි. රැකියාව ලැබුණහම එම ණය පහසුවෙන් පියවිය හැකිය කියාත් හිතුවා.
  එලීනා ඩුබායි බලා යන ගුවන් යානයට නැග්ගේ දහසක් බලාපොරොතු, ප්‍රාර්ථනා හිත තුළ දළු දමද්දි.
  අතේ තිබුණු වීසා පිටපත අත්බෑගයෙන් පිටතට ගත් එලීනා, පෝලිමට එක් වුණේ සැබෑ වීසා කොළය ලබා ගන්න. ඉන්පසුව ඇස් පරීක්ෂාවට. ඇය එතැන සිටි නිලධාරියාගෙ අන පර්දි උපැස් යුවල ගලවා ඉදිරියෙන් වූ කැමරාවක් වැනි උපකරණයට සිය දෙනෙත් යොමු කළා.
"ඕ.කේ"

ඔවුන් වීසාවේ මුද්‍රාවක තබා ඇයට බාගය ගන්න යන්නැයි අතින් සන් කළා.
ඩුබායි ගුවන් තොටුපළෙන් පිටතට එද්දි තමන්ගෙ නම සඳහන් කළ නාම පුවරුවක් රැගෙන පියකරු යුවතියක් හිටියා. ඇය අතේ ලස්සන මල් කලඹකුත් තිබුණා.
  'මේ තරම් උණුසුම් පිළිගැනීමක්'  එලීනට හිතා ගන්න වත් බහැ.
  " ඔයා කැතරීන් ද? මම එලීනා" එලීනා කලබලයෙන් ඒත් ප්‍රසන්නව කීවා. එලීනගෙ දෙකම්මුලට උණුසුම් හාදු සමග දෑතට මල් කළඹත් එක වරටම පිළිගැන්වුණා.

  අදින් පස්සෙ ජීවිතය සැපම පමණක් වේවි. සුසුම්, කඳුළු ගල්ෆ් මුහුදෙන් එහාට පා කරල හරින්න ඒ මොහොතෙ එලීනා හිතුවා. ගෙදර අයටත් සැපවත් ජීවිත ලබා දෙන්නට ඇයට පුළුවන් වේවි.
  එලීනා කැතරින් ව අනුගමනය කරමින් ටැක්සියකට ගොඩ වුණා. එය නතර වුණේ, විශාල තට්ටු ගොඩනැගිල්ලක් අසල. තට්ටු අටක් ඇය ගොඩනැගිල්ල පාමුල සිට ගණන් කළා. කැතරින් ඉන්පසු එම ගොඩ නැගිල්ලෙ විදුලි සෝපානයේ බොත්තමක් තද කළා. මදක් බලා සිටිද්දි ඔවුන් ඉදිරියෙන් සිටි සෝපානයේ නොව එහායින් වූ සෝපානයක දොර විවෘත වුණා. කැතරින් එලීනාව ඇද ගෙන එම සෝපානයට ඇතුල් වී 4 අංකය එබුවා. ඔවුන් හතරවෙනි තට්ටුවට ළඟා වූ විට විවෘත වූ දොරටුවෙන් කොරිඩෝවකට පිවිසුණා. 425 අංකය සඳහන්ව තිබුණු නිවහනේ දොර තමා ලඟ තිබුණු යතුරකින් ඇර ගෙන කැතරින් එහි පිවිසුණා. එලීනා සුපුරුදු විදිහට ඇයව අනුගමනය කළා. ඇයට පෙන්වූ කමරයට ගිය විගස කැතරීන් ගේ ස්වභාවය වෙනස් වුණා.

" එලීනා, ඔයාගෙ වීසා එකට මට දිරාම් 20,000/ක් විතර ගියා. ඔයාට දෙනව කියපු වෙළඳ සේවික ඇබෑර්තුවට වෙන කෙනෙක් අර ගෙන. හැබැයි..ඔයාට සේවය කරන්න වෙන රැකියාවක් තියෙනවා. වෙන රස්සාවක් ලැබෙන කල් ඔයාට පුළුවන් ලිංගික වෘත්තියේ යෙදෙන්න. ඒක නරක රස්සාවක් නෙවෙයි. හොඳට සල්ලි හොයන්න පුළුවන්. පිලිපීනෙ කට්ටිය ගොඩක් මෙහෙ ඔය රස්සාවත් කරනවා. කාටවත් කියන්න අවශ්‍ය නැහැ."
  " අනේ, මට නම් බැහැ. එහෙම දෙයකට නෙවෙයි නෙ මම ආවෙ."
" බැහැ කියල බැහැ. මට වීසා වලට ගිය සල්ලි කොහොම හරි මට දෙන්න ඕනි. වෙන ක්‍රමයක් නැහැ. බොරු ආඩම්බරකම් නැතුව මේක කරපන්"  කැතරීන් එලීනාගෙ ගුවන් ගමන් බලපත්‍රය සමග වීසා කොළයද රැගෙන සිය අත බෑගයේ දමා ගත්තේ එලීනාට තරවටු කරමින්.
  " මටත් වුණේ ඒ ටිකම තමයි. වෙන මොනව කරන්නද?" කාමරයේම පසෙක වාඩිවී සිටි තවත් පිලිපීන යුවතියක් දුක්මුසුව කීවා.
  යුවතියන් දෙදෙනාම කාමරයේ දමා දොරගුළු ලා කැතරින් එතැනින් ඉවතට ගියෙ ඇයගෙඋ ගරු ගාම්භීර කම පෙන්වමින්.
  " ඔය ගියෙ කට්ටිය එක්ක ගෙන එන්න. එලියට ගිහින් මිනිස්සුන්ට කෝල් කරයි, දැන්"

  එලීනාට මිනිස්සුන් 11 දෙනෙකු සමග යහන් ගත වන්නට සිදුවුණා, කැතරින්ගේ නියමය අනුව. එලීන නිදි නැතුව කල්පනා කළා, මේ උගුලෙන් ගැලවෙන ක්‍රමයක්.
  එක් සවස් භාගයක කැතරීන්ට හොඳටම නින්ද ගිහින් තිබුණු වෙලාවක එලීන එතැනින් පිට වී පිලිපීන කොන්ස්‍යුලේට් කාර්යාලයට ගියේ, මගදී හමුවන පිලිපීන ජාතිකයන්ගෙන් මග තොට අසාගෙන.
ඇය සියල්ල නොවළහා නිලධාරීන්ට හෙළිදරව් කළා. ඔවුන් එලීනට ආපසු සිය රටට එන්නට සියල්ල් සූදානම් කලේ ඇයට දැඩි සේ අවවාද කරමින්.

  මේ පුවත කියැවූ මට මෙය ෆේස් බුක් හි පළකරන්නට  හිතුවෙ, අපේ රටේ වගේම වෙනත් රටවල අයටත් මෙය වැදගත් වෙයි කියල හිතුණු නිසා. පිට රට යන්න දඟලන බොහෝ දෙනෙකු තේරුම් ගත යුතු දෙයක් තමයි, ' දැන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමග' කියන අපේ පුරාණ කියමන් හැමදාටම වලංගු බව.
  

3 ක් අදහස් දක්වලා.

Sunday, April 1, 2012

ඇෆ්ගනිස්තානයේදී ඇසූ කතාවක්

Sunday, April 1, 2012



එක් යෝගී යතිවරයෙකු වරක් කාන්තාරයක භාවනානුයෝගීව හිටියා. මේ අතර එවකට එම රටේ සිටි පාලකයා පිරිසක් සමග අසුන් පිටින් එම ස්ථානය පසු කරන්නට වුණා. සිත දැඩිව භාවනාවේම නිමග්නව සිටි නිසා අවට සිදු වන්නේ කුමක් දැයි යතිවරයාට දැණුනේ නැහැ. එනිසා පාලකයා හෝ ඔවුන්ගේ පරිවාර අයවළුන් අපේක්ෂා කරන හිස නැවීම්, නැගිටීම් හෝ ආචාර කිරීම් කිසිවක් ම සිදු වුණේ නැහැ. මේ නිසා පාලකයා බලවත් ලෙස කෝපයට පත් වුණා. 

"මේ යෝගියො නම් කිසිම චාරිත්‍ර වාරිත්‍රයක් දන්න අය නෙවෙයි. තිරිසන්නු වගේ. තමන්ගෙ රටේ රජතුමා යන කොට ආචාර සමාචාර කරන්න තරම් වත් මුං නිහතමානී නැහැ."

රජතුමාගේ කිට්ටුවන්තම ඇමතිතුමාටත් යතිවරයාගේ නොහික්මුණු කම ගැන වස කේන්තියි. ඔහු යතිවරයා ළඟට කිට්ටු කළා.

"මේ යන්නෙ අපේ රටේ මහ රජතුමා. නැගිටල වැඳලා ආචාර කරනව හොඳයි. නැත්නම් හිස ගසා දමාවි.මොකද තමුසෙ ඔය තරම් අහංකාර?"

ඇමතිගෙ මේඝ ගර්ජනාවට යතිවරයා දෙනෙත් ඇරලා බැලුවා.
කලබල නොවී සන්සුන්ව මෙහෙම කිව්ව.

 "රජ මැතිවරුන්ට ගරු සරු කරන්නෙ තාන්න මාන්න හරි වෙන මොනව හරි බලාපොරොත්තුවෙන්. මට එහෙම කිසි දෙයක් අවශ්‍ය නැහැ. රජතුමාට කියන්න, පාලකයන් ඉන්නෙ පාලිතයන් ආරක්ෂා කරන්න බව. ඒ වගෙම පාලිතයො කියන්නෙ හැම දේකටම එහෙයි! කිව යුතු පිරිසක් නොවෙන බව. රජතුමාට මහා ධනස්කන්ධයක් තිබුණත් ඔහු දුප්පත් රට වැසියන්ගේ මුර භටයා බව අමතක කරන්න එපා කියන්න. බැටළුවො ඉන්නෙ බැටළු පල්ලගෙ ආරක්ෂාවට නෙවෙයි. බැටළුවන්ව ආරක්ෂා කළ යුත්තෙ බැටළු පල්ලා විසින්මයි. හොඳට ඇස් ඇර බලනවා. එක්කෙනෙක් සිය පවුලත් එක්ක නිදහසේ, සැහැල්ලුවෙන්, යහතින් වැජඹෙද්දි තව කී ලක්ෂයක් ජීවත් වෙන්න මොන තරම් දුෂ්කර විදිහට අරගල කරනවද කියලා. තව ටික කලක් යනකොට බලනව, ඔය රජතුමා වටේට ඉන්න උගත්, මොළ කාරයො කී දෙනෙක් මොන වගෙ මෝඩ, නිෂ්ඵල යෝජනා ගෙනෙයිද කියලා. අසාධාරණය දිගින් දිගටම රජ කෙරුවොත් පාලකයො කවුද, පාලිතයො කවුද කියල අඳුන ගන්න බැරිවෙයි. ඔය ලඟම තියෙන මිනී වළවල් හාරල බලපල්ලා. උඹලට කියන්න පුළුවන්ද, ඔය ඇට කටු රජ කෙනෙකුගෙද? ඇමතියෙකුගෙද? මන්ත්‍රී කෙනෙකුගෙද?
එහෙමත් නැත්නම් දුප්පත් රට වැසියෙකුගෙද කියල."

  පාලකයා යතිවරයාගෙ වචනවලින් හෙල්ලිලා ගියා. වටේ ඉන්න අය නිසා බොහෝවිට තමන්ට සත්‍යය අමතක වෙන බව ඔහු දැන ගෙන හිටියා. ඒ නිසාම යතිවරයගෙ නිර්භීත ප්‍රකාශය හිස මුදුණින් පිළිගෙන ඇහුව, ඔහුට කිසියම් දෙයක් අවශ්‍ය කරනවද කියල.

ඔහු හිස වනා කිසියම් දෙයක් අවශ්‍ය බව කියා සිටියා. ඇමතිවරුන්ට සංතෝෂයි, යතිවරයාටත් යමක් අවශ්‍ය බව දන ගත්තම.
" ඔව්, මට අවශ්‍ය එකම දෙය.." ඔහු රජතුමා දෙස බලා කියන්නට වුණා.
"මීට පස්සෙ මට මේ වගෙ කරදර කරන්න එපා, මම භාවනා කරන කොට"
 ඇමතිවරුන්ගේ මූණු ඇඹුල් වුණා.
රජතුමා යතිවරයාට බැගෑපත් වුණා.

"අනේ! ස්වාමීනි, මට එක අවවාදයක් දෙන්න"

"ඔව්, මතක තබා ගන්න. දැන් ඔබේ අතේ තියෙන, ඔබට හිමි ධනය සහ බලය තව ටික කලකින් ඔබට අහිමි වෙනවා. තව කෙනෙකුගෙ පරවේණියක් බවට පත් වෙනවා."



10 ක් අදහස් දක්වලා.

Saturday, March 31, 2012

ඉර තරහා වෙලා!

Saturday, March 31, 2012
                 බොහෝම ඉස්සර කාලෙක එක රටක් තිබුණා, එහෙට හැම වෙලාවෙම වහිනවා . . වහිනවා . . . ඉවරයක් නැතුව වහිනවා . දවස පුරාම අහස හිල් වෙලා වගෙ තොරතෝංචියක් නැතුව වහිනවා එක දිගටම. දවස තිස්සේම වහිනවා.රෑ දවල් කියල වෙනසක් නැතුව වහිනවා. එහෙමත් වැස්සක්! දවස ගානෙම වහිනවා. දවස් ගණන්, මාස ගණන්, අවුරුදු ගණන් එක දිගට වහිනවා. වැස්සට මහන්සි නැද්ද මන්දා? මේ වහින රටේ හිටියා එක පිරිමි ළමයෙක්. එයාගෙ නම් සුරංග. වයස අවුරුදු අටක් විතර ඇති. සුරංග එයාගෙ අම්මයි, තාත්තයි එක්ක පුංචි කැලෑ රොදක් අද්දර තිබුණු ගේ පොඩ්ඩක තමයි ජීවත් වෙලා හිටියෙ. එයාගෙ තාත්තා ගොවියෙක්. අම්මා ගෙවිලියක්. ඒත්  මේ නොකඩවා වහින වැස්ස නිසා ගොව්තැන් කටයුතු වුණත් හරියකට කෙරෙන්නෙ නැහැ. සුරංගට මතක ඇති කාලෙක ඉඳලා වස්සාන සෘතුව මිසක් වෙන කිසිම සෘතුවක් දැකලා නැහැ. එයාගෙ ජීවිතේ අද වෙනකල්ම වැස්ස විතරයි. ඒත් සුරංග වසන්තය ගැන, ගිම්හානය ගැන ගොඩක් කතන්දර තාත්ත ගෙනුත් වෙන අය ගෙනුත් අහලා තිබුණා. 

    දවසක් තාත්තා කතාවක් කියද්දි, " ඉස්සර අහසෙ රත්තරන් පාටට ඉර පායල තිබුණා" කියලා කිව්වා සුරංගට හොඳට මතකයි. ඒ දවස් වල ඒ ප්‍රශ්න කරන්න නොහිතුණත් තාත්තාගෙන් ඉර ගැන අහන්න ඕනි කියල ඔහුට හිතුණා.   තාත්තා හිටියෙ පිහියක් මුවහත් කරමින්.
 " තාත්තා  දවසක් කතාවක් කියද්දි ඉර ගැන කිව්ව මතකද? මොකද්ද තාත්තෙ ඉර කියන්නෙ?"

තාත්තා සුරංගගෙ ප්‍රශ්නයට උත්තර දෙනවා.

 "මගෙ පුතා ඉපදෙන්න බොහොම කාලෙකට ඉස්සර ඉර කියල දෙයක් තිබුණා. හරිම විශාල රවුම් කහ පාට ගිනි බෝලයක්. උදේ පාන්දර අර නැගෙනහිර පැත්තෙ කන්දෙන් මතුවෙලා දවල්  වෙනකොට අහස මුදුනටම ගිහින් අපිට උණුසුම, ගස් වැල් වලට ශක්තිය දීල හවසට අර බස්නාහිර පැත්තෙ කඳු මුදුනින් බැහැල යනවා. ඒ විතරක් නෙවේ, එයාගෙ රත්තරන්  පාට ලස්සන මූණේ හැම තිස්සෙම පැතිරිච්ච ප්‍රියමනාප හිනාවකුත් තිබුණා."
" ඉතින් කොහෙද දැන් ඒ ඉර හැංගිලා තියෙන්නෙ?"
 එතකොට සුරං  ගෙ තාත්තා අතේ තිබුණු පිහිය බිමින් තියලා, අත් දෙක කකුල් දෙක වටේ ඔතාගෙන දණිස් දෙක උඩ එයාගෙ නිකට රඳවලා දිග සුසුමක් හෙළුවා. 
 " කොහේ ගියාද දන්නෙ නැහැ, මයෙ පුතේ. එක දවසක දවාලක කළු වළකුළු ගොඩාක් ඇවිත් ඉර වටේට කැරකිලා කැරකිලා එයාව රෙද්දකින් ඔතා ගන්නව වගෙ ඔතා ගත්තා. අපි බලාගෙන හිටියා මොකද වෙන්නෙ කියලා. ඊට පස්සෙ විදුලි කොටන්න පටන් ගත්තා. ඒ එක්කම මහා හුළඟක් හැමුවා. පොල් ගස් බිමටම නැමුණා, හුළඟට බයෙන් වගෙ. ඊට පස්සෙ ගෙරවිල්ලත් එක්කම පොද වැස්සක්. පොද වැස්ස මහ වැස්සක් වුණා. අපි බලං හිටිය දැන් නවතියි, දැන් නවතියි කියලා. නැවතුණේම නැහැ. ඉතින් අපි හිතුවා, හෙට නවතියි කියලා ඒත් නැවතුණේම නැහැ. ඉතින් එදායින් පස්සෙ අපි ඉර දැක්කෙම නැහැ, පුතේ. මොකක් වුණාද කියල හිතා ගන්න බැහැ."

       සුරංගට කොහොමට වත් හිතා ගන්න බැහැ, ලස්සන කහපාට රවුම් ඉර කොයි වගේද කියලා. එක රාත්‍රියක මෙයාගෙ හිතට කිසිම සහනයක් නැහැ වගෙ. නින්ද යන්නෙත් නැහැ. තාත්ත කිව්වා ඉරට ප්‍රියමනාප හිනාවක් තිබුණා කියලා. 
 ' ඒත් මම දැකලා නැහැ, මේ මිනිස්සු කවදාවත් හිනා වෙනවා. ඒ අය හැම තිස්සෙම ඉන්නෙ දුකෙන් වගෙ. හිනා වෙන්න දන්නෙ නැහැ වගෙ. හරි...හරි...මට දැන් තේරෙනවා. මේ ගොල්ලො දුකෙන් ඉන්නෙ ඉර නැති දුකට වෙන්නැති. අර අහසෙ එහාට මෙහාට යන කහපාට   හිනා වෙලාම ඉන්න එක්කෙනා නැතුව මේ අයට සාංකාව ඇති. පාලු ඇති. මේකට මොකක් හරි කරල එයාව ආපහු එක්කන් එන්න ඕනි. මේ මිනිස්සුන්ගෙ මූණුවල ආයෙමත් හිනා මල් පිපෙන්න ඉඩ දෙන්න ඕනි. මේ අයව සතුටු කරන්න ඕනි.'

ඉතින් පහුවදා පුංචි සුරංග කාටත් හොරෙන් අර තාත්ත කිව්ව ඉර නගින ගලට ගියා, වැස්සෙම. මොරගෙඩි වගෙ වහින වැහි ගෙඩි ඇඟේ වදිද්දි චුට්ටක් රිදුණත් එයා ඒව ගණන් ගත්තෙ නැතුව කන්ද නගින්න ගත්තා. ගමේ මිනිස්සු වගයක් දැක්කා, කන්ද නගින සුරංගව. දැකල එයාගෙ තාත්තට මේ පණිවිඩය දෙන්න මහා හයියෙන් දිව්වා. ඒත් ඔහු කන්ද නගින එක නතර කළේ නැහැ. තාත්තා එයාගෙ යාලුවොත් එක්ක කන්ද පාමුල ඉඳල කෑ ගහනවා. 

" පුතා, කොහෙ   ඔය යන්නේ?"

ඒ   තාත්තා ගෙ කටහඬ. 

" මම යනවා වලාකුළු වලට කතා කරන්න"
 
කන්ද නැගීම නතර නොකරම ඔහු උත්තර දෙනවා.
 " මට ඒ ගොල්ලන්ගෙන් අහන්න ඕනි අර හැම තිස්සෙම හිනාවෙන ලස්සන කහපාට එක්කෙනාව නිදහස් කරන්න පුළුවන්ද" කියලා. 
මේක ඇහුණ ගමන් සුරංගගෙ තාත්තට එයගෙ කකුල් දෙක නවත්ත ගන්න බැරිවුණා. තාත්තත් සුරංගගෙ පස්සෙන්ම දුවන්න ගත්තා. එතැනට රැස් වෙච්ච ගමේ අනෙක් උදවියත් තාත්තවයි, පුතාවයි අනුගමනය කරමින් කන්ද නගින්න ගත්තා. ඔවුන් හිතුවෙ මේ කොලු පැටියා පිස්සු හැදිලා දුවනවා කියලා. ඉතින් ඔවුන්ට ඕනි වුණෙ සුරංග වැටෙන්න යන කරදරෙන් ඔහුව ගලවගන්න. 
     හැමෝටම කලින් කඳු මුදුනට නැග්ග සුරංග වළාකුළුවලට කතා කරන්න ගත්තා.
 " අනේ, වළාකුළු, මං කියන දේ ඇහෙනවද? ඇයි ඔය ගොල්ලො අර ලස්සන කහ පාට එක්කෙනාව වහගෙන ඉන්නෙ? අනේ අපිට අනුකම්පා කරන්න, කරුණාකරලා. බලන්න, අපි කොච්චර දුක් විඳිනවද? ඔය ගොල්ලො කරන ඔය වැඩේ නිසා. අපි ගැන චුට්ටක් කරුණාවෙන් හිතන්නකෝ.අපට ඉර ආපහු දෙන්නකෝ.." 

        වැස්ස තවත් වේගයෙන් වහින්න වුණා, තරහෙන් ගොරවමින්. ගිගිරුම් සද්දෙට බයේ මිනිසුන් එකෙනෙකව බදා ගත්තා. ඒත් සුරංග හෙල වුණේ වත්, බය වුණේ වත්  නැහැ. දිගින් දිගටම වළකුළු වලට නොයෙක් දේවල් කියමින් කන්නලව් කළා. 
 
"එහෙම කළේ ඇයි කියලා හරි අපිට කියන්න බැරිද අඩුම තරමින්"
සුරංග බෙරිහන් දුන්න.

" මොකද හැබෑටම මේ අපිට වද දෙන්නේ?"
එතකොට එක පාරටම කවුදෝ වළාකුළු අස්සෙන් උත්තර දුන්නා. 
 " අපි කවුරුවත් ඉරව හංගගෙන නැහැ. හැංගිලා ඉන්නෙ එයාගෙ ඕනෑ කමටයි."
සුරංගට තේරුණා, සද්දෙ එන්නෙ වළාකුළු වලින් කියලා.
 " ඉර තරහවෙල ඔය ගොල්ලොත් එක්ක?" ආයෙමත්  හඬ.
සුරංගත් අත ඇරියෙ නැහැ.
"මොකද්ද හේතුව තරහ වෙන්න?"
 ඒ ප්‍රශ්නෙට උත්තර ආවෙ වෙනත් දිහාවකින්. ඒ වෙන කවුරුවත් නෙවේ. අර ලස්සන කහපාට එක්කෙනා. 
 " මම තරහ වෙන්න හේතුවද? ඔව්, මම ඒක කියන්නම්. ඔය ගොල්ලො කවදාවත්ම මට ස්තුති ක නැහැ. අඩුම තරමින් මා දිහා බලලා හිනා වුණේ වත් නහැ. මම ලස්සනට හිරු රැස් විහිදුවන කොට ඔය ගොල්ලො වළකුළු වලින් වැස්ස ඉල්ලනවා. ඒත් කවදාවත් කවුරුවත් ' ලස්සනට ඉර පායන දවසක් ඉල්ලන්නෙ නැහ. ඉතින් මට හිතුනා පාඩමක් උගන්වන්න ඔය ගොල්ලන්ට."

  මේ කතාව අහපු සුරංගගෙ ගමේ මිනිස්සු දණින් වැටිලා ඉරෙනුත්, වළකුළු වලිනුත්  ඉල්ල සිටියා. 
" අපි දැන් පාඩමක් ඉගෙන ගත්තා. අනේ! ඉරු කුමරුනි, අපි ආයෙ කවදාවත් ඔය වැරැද්ද ආයෙමත් කරන්නෙ නැහ. අපට සමා වෙලා මේ වැස්ස නවත් වන්න."
 ඉරට මිනිස්සු කියපු දේ ඇහුණා, කන් දෙක පුරාම. ඒත් වැඩියම කලපනා කළේ ඒ වගෙම හිත සසල කළෙ සුරංගගෙ කැපවීම සහ අධිෂ්ඨානය ගැන. ඒ වගෙම අනික් මිනිසුන් කෙරෙහි තිබුණු ආදරය, මානව දයාව ගැන. මඩ ගොහොරුව තිබුණු කඳ මුදුනට අනෙක් ජනතාව ගැන හිතල මහන්සි නොබල නැග්ග ආකාරය ගැන. 

ඉර කටහඬ අවදි කළා.
" හොඳයි, දැන් හැමෝම තම තමන්ගෙ ගෙවල් වලට යන්න. මම ඉක්මනටම පායන්නම්"

  ගමේ උදවිය සුරංගගෙ නිර්භීතකම හා කැපවීම පිළිබඳව ප්‍රසංශා කරමින් ස්තුති කරමින් ගෙවල් වලට ගිහින් බලාපොරොත්තු සහගතව නිදා ගත්තා. පහුවදා පාන්දර අවදි වුණු අය දැක්ක, අහස පැහැදිලි බව. වළාකුළු  අඩු බව. වැස්ස ටිකෙන් ටික අඩු වෙන ගතියකුත් පෙණුනා. හවස් වෙන කොට තිබුණෙ ප්ද වැස්සක් විතරයි. කළු වළාකුළු  පෙනෙන්න නැහැ. ලස්සන කිරි කැටි වළාකුළු  විතරක් අහස පුරා සෙල්ලම් කරමින් හිටිටා. තැනින් තැන අහසෙ නිල් පාටකුත් හිනාවුණා. ටික වෙලාවකින් සුදු වළාකුළු අත වනාගෙන නොපෙනී ගිහින් මුළු අහසම නිල් පාටින් බබලන්නට වුණා. එතකොට කහ පාට ලස්සන වටකුරු යමක් නැගෙනහිර කඳු මුදුනින් හිනා වෙන්න පටන් ගත්තා. 
 
 "අන්න ඉර පායනවා" හැමෝම සතුටින් ඉපිලෙමින් අත් පොලසන් දෙන්න ගත්තා. 

  සුරංග අහස දිහා බලලා උහුලගන්න බැරි සතුටින් උඩ පනින්න ගත්ත.
 " ආ..එහෙනම් මේ  තමයි ලෝකෙටම ලස්සන වස්සන කහපාට, රවුම්ම රවුම් මම අහපු කතන්දර වල ඉන්න ඉර. "   
  ඉර අහසේ හෙමිහිට සක්මන් කරන්න ගත්තා, හැමොටම සතුටත්, උනුසුමත් ලබා දෙමින්. මිනිස්සුත් අහස ද්හා බලමින් කෘතඥ තාවයෙන් යුතුව ඉරට ස්තුති  කරමින් ලස්සනට හිනා වුණා. සුරංගගෙ  සතුට වක්කඩ කැඩුව වගෙ පිටාර ගලනවා. ඉරත් හිනා වෙනවා. මිනිස්සුත් හිනාවෙනවා. ඔක්කොමල ගී ගයමින් නටන්න ගත්තා. එදයින් පස්සෙ ආයෙ කවදාවත්ම ඉර තරහ වුණේ නැහැ.

 

5 ක් අදහස් දක්වලා.