Showing posts with label හොල්මන් කතන්දර. Show all posts
Showing posts with label හොල්මන් කතන්දර. Show all posts

Friday, August 28, 2009

'දේව ගණ'

Friday, August 28, 2009
ඔන්න අද මම කියන්න යන්නෙ හොල්මන් කතාවක්...මොකද මල්ලිල හිනාවෙන්නෙ? මම හොල්මන් කතා කියන්න දන්නැහැ කියලද...හැබැයි එකක් කියන්නං. ඇත්තටම අර 'වැම්පයර් මූවි' වලට නං මම කැමති නැහැ...ඒව බැලුවම හීනෙන් බය වෙනව.  
හොල්මන් කතාව මෙහෙමයි....අපේ අත්තම්ම කිව්වා,"ලොක්කි, ඔයා දේව ගණ නෙ, ඔයාට හොල්මන් පෙනෙන්නෙ නැහැ" කියල. මටත් හෙන ත්‍රිල්. එකක් මට හොල්මන් පෙනෙන්නෙ නැහැ, කියපු එකට. අනික මම දේව ගණ කියපු එකට.මොකද දන්නවද ඒ? අපේ පංසලේ ලොකු හාමුදුරුවො දවසක් කිව්ව; දේව ගණ වෙල මනුස්ස ලෝකෙ උපදින්නෙ, ගිය ආත්මෙ දිව්‍යලෝකෙ හිටපු අය කියල.....ඒ කියන්නෙ........ මම් නමැති පින්වත් කුමාරිකාව දිව්‍ය ලෝකයේ සිට මනුස්ස ලෝකයට ප්‍රාදූර්භූත වූ වග නොවේද පින්වතුනි?  
ඔන්න එක කතරගම වන්දනා සමයක අපි කතරගම යන්න පිටත් වුණා. මම හිතන්නෙ මට අවුරුදු දෙකක් විතර ඇති....මට ඒ වුනාට හොඳට මතකයි සේරෝම. මේ..ඕගොල්ලො ඇස් ගහ ගහ ඔච්චං කරන්න එපා...එතකොට අපෙ අප්පච්චි වැඩ කළේ බුත්තල ආදායම් පාලක නිලධාරි කාර්යාලයෙ. වන්දනා සමයට අප්පච්චිට ඩියුටි තියනව එහෙ බලන්න...වන්දනා කාරයන්ට ජල පහසුකම්, වැසිකිළි පහසු කම්, නවාතැන් පහසුකම් තියෙනවද කියල හොයල බලන්න..  
ඔන්න බුත්තල ඉඳල ජීප් එකෙ ගිහින් මගදි කරත්තයකට කට්ටිය ගොඩ වුණ අ...මමයි,අම්මයි, අප්පච්චියි, මගෙ අර වාත මල්ලියි...තව කන්තොරුවෙ අප්පච්චිගෙ සහපිරිවර...ආහ්...!අපිත් එක්ක සෙලම් කරන බන්ඩා ....අම්මගෙ අත් උදව්වට ඉන්නෙ එයානෙ. අර පස්සෙ කාලයක නාට්‍යයක් බලන කොටත් මට බණ්ඩව මතක් වුණ... 
"කඩේට පලයන් චාන් චූන් අරක ගෙනෙන් චාන් චූන් මේක ගෙනෙන් චාන් චූන්" බණ්ඩගෙ රෝල් එක ඒක තමයි...ඔය මම කිව්වෙ...දැන් ඉතින් යනව බණ්ඩත් එක්කල නාට්‍ය පස්සෙ....ගියර් එක මාරු කරගෙන එන්න වදේ...අයියෝ...! හොල්මන් චැනල් එකට දාන්න....රයිට්..! 
කතරගම කැලේ ගස්වල කොළ හුලඟ උදුර ගෙන ගිහිල්ල වගෙ. කොහෙට ගෙනිච්ච්ද දන්නෙත් නැහැ..බිම වැටිලත් නැහැ. මම හිටියෙ අප්පච්චිගෙ කර උඩ...මල්ලි අම්මගෙ ඔඩොක්කුවෙ, අම්ම කරත්තෙ ඉඳගෙන..ඇත්තටම මට මතක නැහැ ජීප් එක කැඩුනද? ඇයි අපි ජීප් එකෙන් බැහැල කරත්තෙකට නැග්ගෙ..?
ඕගොල්ලො දන්නවද ඉස්සර අප්පච්චි මාව කරේ තියා ගත්තම මම කියන දේ... ඔට්ටුයි කියන්න බැහැ... "රජ්ජුරුවෝ උඩයි..උඩයි.. කළු කොල්ලෝ බිමයි බිමයි" අපේ මල්ලිට තදවෙනවා අම්බානට. ඔන්න ආයෙත් පැන්න නේද පීලි... ඉරත් නෝක්කඩුවට වගෙ හැංගෙන්නයි හදන්නෙ. අහසෙ එක පැත්තක් රත් කෙහෙල් ගෙඩියක් වගෙ රතුම රතුපාටට සළු පිළි ඇඳ ගෙන. තැනින් තැන වළකුළුත් අවුරුදු කුමාරි තරඟෙකට ඇවිල්ල වගෙ එහෙට මෙහෙට ගමන් ලතා. ඔන්න කලුවර තීරු තීරු හිමීට හිමීට ආකාසෙන් බැහැල එනව, අර රතු පාට..දම් පාට වලාකුළු අස්සෙන්... 
කරත්තෙ දක්කන මාමා ලන්තෑරුම පත්තු කළා. අප්පච්චි කෑලි පහේ විදුලි පන්දම දල්ව ගත්ත...මට මෙලෝ කෙහෙල්මලක් තේරෙන්නෙ නැහැ...නිකන් දෝලාවෙන් යන රාජ කුමාරි වගෙ අප්පච්චිගෙ කර පිට යනවා...
කාරත්ත මාමා හරකුන්ට කතා කරන සද්දෙ අරුනම අපිට ඇහෙන්නෙ රෑහියන්ගෙ පළඟැටියන්ගෙ රැප් සින්දු විතරයි...මොකද දන්නවද එහෙම කිව්වෙ ඒවත් අර රැප් සින්දු වගෙම අප්‍රමාන විදිහට කර්ණ රසායණ නිසා...ඔහොම ඉතින් අපි ඉදිරියට ඇදෙනවා... 
එක පාරටම කැලේ කොළ අතු බිඳෙන සද්දයක් ඇහුනා. ඔක්කොමල උඩට ගත්තු හුස්ම පහලට හෙළන්නෙ නැතුව පාෂාණිභූත වෙල... තනියෙක්ද දන්නෙත් නැහැ..තුන් පත් රැනක්ද දන්නෙත් නැහැ....මොකෙක් හරි වල් අලියෙක්ම තමා. අම්මගෙයි, අප්පච්චිගෙයි අනික් උදවියගෙ මුහුණු වල,ඇස් වල භීතිය, ත්‍රාසය, සන්ත්‍රාසය..සේරම කලවමට කාල වර්ණයේම එක එක ෂේඩ්ස් වලින් පින්තාරු වෙනව.
අප්පච්චි ඉතිපිසො ගාථාව කියනව ඇහිල එයාගෙ සපොර්ට් එකට මමත් ඉතිපිසො භගවා අරහං කියල කියන්න පටන් ගත්තා. කොල අතු බිඳින සද්දෙ ළඟින් ඇහිල දුරින් ඇහිල නෑසී ගියා. අප්පච්චි අම්ම ලඟට ඇවිත් මාව උකුලට අරගෙන අම්මගෙ ළඟින්ම කරත්තෙ වාඩි වුණා.
"හාමිනේ,බය වෙන්න එපා..අපට කතරගම දෙවි හාමුදුරුවන්ගෙ පිහිටයි" කියල අම්මගෙ දාඩිය පිපුණු නළල අත ගෑවා..එතකොටම සුදු ධෝතියක් ඇඳගත්තු, සුදු සළුවක් පොරව ගත්තු ස්වාමි කෙනෙක් වගෙ කෙනෙක් කැළේ අස්සෙන් අපි දිහාවට ආවා. හැමෝම බයෙන් වෙව්ල වෙව්ල හිටිය නිස ඒ තැනැත්තා කොහෙන් ආවද කියල කාටවත් නිච්චියක් නැහැ.
" ආයෙ තනියා එන එකක් නැහැ...මහත්තයල මේ පැත්තෙන් යන්නකො....තව පොඩ්ඩ දුරයි, දෙවි පිහිටයි" කියල පහළට එල්ලා වැටුණු අත්තකින් කොළ අත්තකුත් කඩා ගෙන අර අලියා කොළ අතු කඩපු පැත්තටම යන්න ගියා. ඒ පැත්තෙ මම දැක්ක මොකද්දෝ සහන් එලියක් වගෙ අමුත් ආලෝකයකුත්...
මේ ඇත්තමයි, අප්පච්චි ඊට පස්සෙ එයාට බත් මුලක් දෙමු නේද කියල තව මාමා කෙනෙක් එක්ක ටික දුරක් ගියා...කිව්වට විශ්වාස කරන එකක් නැහැ ඕගොල්ලො...එයා අන්තරස්ධාන වෙලා.
අප්පච්චි ඇවිත් අපෙ අම්මට එත කොට කිව්ව," ඒ කතරගම දෙයියන්නාන්සෙ...අපිට සලකුණක් කරා අනතුරක් නැහැ කියල. දැන් ඉතින් බය නැතුව අපට යන්න පුලුවන්"කියල. අම්ම ඔසරි පොටෙන් කඳුළු පිහද ගත්හා... අම්මට අඬන්න තරම් දෙයක් අප්පච්චි කිව්වෙත් නැහැ..ඒත් එයා අඬනවා....
ඒ සුදු ඇඳ ගත්තු ස්වාමිගෙ රුව මට තවම මතකයි..එයාගෙ එක අතක පිත්තල පැණ් කෙන්ඩියක් තිබුණා. අනෙක් අතේ කෝටුවක් තිබුණ...


මටත් පස්සෙ හිතුණ, අත්තම්ම කිව්ව වගෙ, ' දේව ගණ අයට හොල්මන් පෙනෙන්නෙ නැහැ නෙ..දෙවියන් විතරයි පෙනෙන්නෙ' කියලා....

18 ක් අදහස් දක්වලා.