Tuesday, December 15, 2009

'රාහුලං ජාතං'

Tuesday, December 15, 2009





                               ගල් විහාරයෙ තියෙන දැවැන්ත බුදු පිළිම දෙක ඇහැ ගැටෙද්දි මට බොඳ වෙන ඇස් තෙත මාත්තු කර ගන්න හිතුණෙ නැහැ. ඒ කඳුලු බුද්ධාලම්භන ප්‍රීතිය නිසාද, කලා කෘතියෙ පවතින අසීමිත විස්කම් නිමාව නිසාද කියල මටම නිර්වචනය කර ගන්න බැරුව ගියා. කවුදෝ මගෙ දෙසවනට සමීප වෙලා ගීයක් මුමුණනවා මට ඇහුණා.


'ඇසේ මතුවන කඳුලු බිඳු ගෙන

ඔබේ සිරිපා දොවන්නම්

හදේ නැලැවෙන කැලෑ මල් ගෙන

ඔබේ සිරිපා පුදන්නම්'



                                  ප්‍රේමවතීගෙ මුහුණ පුරාවට මල් යායක්ම පිපිලා. කඩාගෙන ආපු ඇහැලමල් වල එලිය ප්‍රේමවතීගෙ මුහුණෙ භක්තිය මතු කරල පෙන්වනවා. මට හිතුණෙ ප්‍රේමවතීව එක්ක එන්න බැරි වුණොත් ඒක මහා පාපයක් කියලා. ප්‍රේමවතීත් මමත් දෙන්නම පෙර කරපු කුසල කර්මයන් ඉතුරුවෙල තිබිල ඒවයෙ ආනිශංස ලැබුණ කියලා. ඒ කුසල කර්මයන්ට අද කරන කුසල කර්මයනුත් එකතු වේවි. අද ගල් විහාරය වඳින්න අපව එක්ක ගෙන ආව පින පියල්ටත් අනුමෝදන් වේවි. මට හිතෙනව පියල් මට හොඳ මිතුරෙක් වේවි කියල. නන්දිගෙ ගති ලක්ෂණ, ඇවතුම් පැවතුම් ව්ලට වඩා පියල්ගෙ හැසිරීම් රටාවන් හරිම ප්‍රසන්නයි. ඒත් එයාට තවම ගැලපෙන සහකාරියක් මුණ ගැහිල නැහැ.


                    මල් පහන් පූජා කරල බුදුන් වැඳල මම පිළිම අභිමුව තියෙන ගල්තලාවෙ වාඩි වුණෙ හිත පුරාවට විහිදිලා යන නිරාමිස සුව නිසොලමන්ව, නිස්කලංකව හිතට ඇති වෙනකල්ම විඳ ගන්න අදිටනින් යුතුව.

බමර ගුමු ගුමුවක් වගෙ ආයෙමත් ගී ස්වර මගෙ කන් පෙති වල ඇතිල්ලෙනවා.


'කෙළෙස් මල පිරි නුවර අත හැර

බවුන් වඩනට වනේ වැඩි ඔබ

සොයා ආවෙමි මෙලෝ තලයේ
අනෙක් පිහිටක් නොමැති වූ කල'



                හිතේ හයිය බිඳී විසිරිලා 'දඩස්' ගාල බිමට ඇද වැටෙන කොට බුද්ධ දර්ශනය, බුදු දහම මොන තරම් වටිනා මහෞෂධයක්ව අපේ සිත් පිරි මදිනවද? මේ ගී පද මුමුණන්නෙ මගෙ හිතෙන්ම මතු වුණ කෙනෙක් කියල මට හිතෙනවා. දඩබ්බරීට එකතු වෙච්ච සම්ප්‍රදායිකා දෑස පියාගෙන ගීයට සවන් දෙනවා.


'ඉහළ නිල්වන් අහස විනිවිද

නැගෙන ඔබගේ යෝධ බුදු බඳ

මගෙ ගත සිත මෝහනය කර

මගේ කුදු බව පසක් කොට ඇත'

            මේ යෝධ ශෛලමය පිළිම වහන්සේලා අභිමුව මා කොතරම් ක්ෂුද්‍ර ජීවියෙක්ද? එය පසක් වීමට මට මෙතැනටම එන්න සිදුවීමත් වාසනාවක්. මට නොදැනුවත්වම ගීයේ අනුවාදනයට අනුව 'ම්ම්ම්ම්' ආකාරයෙන් පාලු අහසට එකතු වෙන්ව.


"මලිති, මටත් ඔය සිංදුව මතක් වුණා දැන්. ඔය ගීතය ලියල තියෙන්නෙ අවුකන බුදු පිළිමය නිමිත්තක් කරගෙනලු."


"ඔව්, මම ඒක අහලා තිබුණා, පියල්. ඔයා මට පොත් ගෙනාවද?"


"ආ...ඔව්, අමතක වුණෙ නැහැ. බහින කොට දෙන්නම්. ඔය කැමතිද මන්දා මම කියවන පොත් වලට?"


"මට කියන්න බලන්න ඒවයෙ නම්"


"හර්මන් හෙස ගෙ සිද්ධාර්ථ, මහාචාර්ය සරච්චන්ද්‍රගෙ මළ ගිය ඇත්තොයි, මළවුන්ගේ අවුරුදු දායි"


"මම සිද්ධාර්ථ ගැන අහල තිබුණ ...ඒත් කියවලා තිබුණෙ නැහැ. ඩොක්ටර් සරච්චන්ද්‍රගෙ පොත් වලට මම කොහොමත් ආසයි.."


" නන්දිත් කියවයි නෙ..නේද? ඔයා කියවලා එයාටත් දෙන්න."


" මම ඇසුරු කළ මේ ටිකට නම් එයා ඩේලි නිව්ස් පත්තරේ ඇරෙන්න මොකුත්ම කියවනව මම දැකල නැහැ."



                මම අනවශ්‍ය යමක් කිව්වද කියල මට හිතුණා. නන්දිගෙ අඩු පාඩුවක් මම පිට කෙනෙක් එක්ක කිව්ව එක වරදක්ද? ගෙයි ගිනි පිටතට දෙන්න එපා කියල විශාකාවට දුන්නු අවවාද අපිත් පිළිපදින්න ඕනිද අද දවසෙ...? පියල්ගෙ කුකුසට උත්තරේ නෙ මම දුන්නෙ. ඒක ගිනි පිටතට දීමක් වෙන්නෙ නැහැ කියල දඩබ්බරී කියනවා.


කතාව වෙනස් පැත්තකට යොමු කරන්න හිත උත්සුක වෙනවා.


" මේ පිළිම දිහා දවසක් වුණත් බලා ඉන්න පුළුවනි නේද, පියල්?..ගොඩක් දෙවල් ලියැවිලා තියෙනවා වගෙ මේ මුහුණු වල."


" ඔව්, අනුරාධපුරේ සමාධි පිළිමෙ දිහාවෙත් මෙහෙම අනිමිස ලෝචනයෙන් බලා ඉන්න පුළුවන්. මට හිතෙන්නෙ..මේ ගල් වඩුවො මොන තරම් දක්ෂද කියලා. රාජ්‍ය සම්මාන, උපහාර වලින් පිදුම් ලැබුවෙ නැතත් දැන් වගෙ මූර්ති කලාව ඉගෙන ගන්න සෞන්දර්ය විශ්ව විද්‍යාල තිබිලයැ"


" ම්...ප්‍රේමවතීත් ඔය එන්නෙ...බලන්නකො මූණෙ තියෙන සිරියාව? "


පියල් මේදවස් ටිකට අපට හුඟක්ම සමීප වුණු එක ගැන මටත් පුදුම හිතෙනවා. ඉහත ආත්මයක මගෙම සහෝදරයෙක් වෙලා ඉන්න ඇති සමහර විට. හුඟක් අය වැඩිය ඇසුරු කළේ නැතත් බොහොම කල් ඉඳල දන්න අඳුනන අය වගෙ සමහර විට දැක්කම. පියල් ගැන මට දැනෙන්නෙත් ඒ වගෙ.මගෙම සහෝදරයෙක් වගෙ. නැහැ...ඊටත් වඩා කිට්ටු, ලෙන්ගතු කමක්. නන්දිත් අපිව එවන්න ඇත්තෙ පියල් එක්ක එයා හොඳ කෙනෙක් නිසා වෙන්න ඇති.


"හිතේ හැටියට වැඳ ගත්තා සුදු මැණිකෙ...ඊයේ රෑ වගෙ ආයෙ කරදර නොවේවා කියල මම සුදු මැනිකෙ ගැන හිතල බුදු හාමුදුරුවන්ගෙන් ඉල්ලුවා.මහත්තයත් වැඳ පුදා ගත්තද?"


" හපෝ..ඔව්..ප්‍රේමවතී, මම සති දෙකකට වරක් වත් මෙහෙ එනව, හිතට ලොකු සහනයක් දැනෙනවා මේ බුද්ධ රූප දිහාවෙ බලා ගෙන ඉන්න කොට. මම මලිතිට නොකිව්වට ගොඩක් කවි ලියන්න පුළුවන් මට මේ පරිසරයෙ හිටියම. මේ බුදු පිළිම කවි වලට උල්පත් වගෙ"


"මම දන්නෙ නැහැ නෙ ඔයා කවි ලියන විත්තිය. මටත් දෙනවද බලන්න?"


"ඒව කවිද කියල මට හිතා ගන්න බැහැ..ඒ වුණාට මම ඔහෙ ලියනව...සමහර විට හොඳම කවිය හෙට වත් ලියවෙන්නෙ නැතෑ."


"ඔන්න සුදු මැණිකෙගෙම ජාතියෙ මහත්තයෙක්. සුදු මැණිකෙත් හරියට කවි ලියනව මහත්තයෝ"


ප්‍රේමවතී පොරොන්දම් බලන්න හදනව වගෙ. දීග තල ගිය ගැහැණුන්ගෙ පොරොන්දම් බලලා වැඩක් තියෙනවයැ? සමාන අසමාන කම්, ගැලපුම් නොගැලපුම් බලන්න අප්පච්චිලාට ඒ තරම් ඕනෑ කමක් තිබුණයැ? 'නොගැලපෙන රෝද' පොත මට මතක් වෙන්නෙ ඇයි දැන්? මමත් නන්දිත් නොගැලපෙන රෝද වේවිද මතු කලෙකදි?


බුදුන් වැඳල නිවුණු සිත ආයෙමත් කලබල වෙන්න දෙන්න නරකයි. පියල්ට මගෙ හිත කියවගන්න පුළුවන් වෙලාද?


" අපි තුන් දෙනාම පිරිත් කියමුද?"


                       මම අප්පච්චිත් එක්ක හුඟ දවසට බුදුන් වැඳල ඉවර වෙල තුන් සූත්‍රය කියනවා මතක් වෙනවා. අපෙ අප්පච්චිට හාමුදුරුවන්ට වගෙම ලස්සණට පිරිත් කියන්න පුළුවන්. මම ඒ හඬ අනුව පිරිත් සජ්ජායනා කරන්න ඉගෙන ගත්තෙ පුංචි කාලෙ ඉඳලමයි. පියල්ටත් ඒ වගෙ කියන්න පුළුවන්ද?


                 පිය කිසි කතාවක් නැතිව දොහොත් මුදුන් තියාගෙන නමස්කාරය කියන ඉරියව්ව මගෙ හිත තවත් නිවනවා. මමත් ප්‍රේමවතීත් දොහොත් මුදුන් තියාගෙන ඔහුව අනුගමනය කළේ වෙනත් වචන තොල් වලට එන්න නොදී. මම දෑස පියා ගත්තා.


මුළු ලෝකෙන්ම වෙන් වෙලා ආරණ්‍ය සේනාසනයක තනි වුණා වගෙ හැඟීමක් දැනෙනවා, මට. ඔහු පාලි වචන අපූරුවට උච්චාරණය කරනවා. ඔහු වාඩි වෙල හිටියෙ මට වඩා සෑහෙන දුරකින්. ප්‍රේමවතී හිටියෙ අපි දෙන්නටම පහළින්. එය එක පේලියට ඉඳගන්න එන්නෙ නැහැ, කවදාවත්.


පිරිත් කියන අතරෙ මගෙ හිත එහෙ මෙහෙ දුව ඇවිදිනවා. ඒත් පිරිත් වරදින්නෙ නැහැ, ඇබින්දක්වත්. ටික වෙලාවකින් මගෙ ලඟ කවුදෝ ඉඳගත්ත වගෙ මට දැණුනා. කවුරු එන්නද මගෙ ලඟ ඉඳ ගන්න? මට ඉබේටම ඇහැ ඇරුණා.


නන්දි තොල් පටට දබරැඟිල්ල තියල නිශ්ශබ්ද වෙන්න කියල මට සන් කළා. මමත් කතා නොකරම පිරිත් කිව්වා, නොනවත්වාම. ඔහු වැඳ ගත්තෙත් නැහැ. පිරිත් කියන්න එකතු වුණෙත් නැහැ. පිරිත් ඉවර කරල ඇස් ඇරිය පියලුත්, ප්‍රෙමවතීත් නන්දිව දැකල ඇරපු ඇස් නළලටම යැව්වෙ තුෂ්නිම්භූත භාවයෙ හිනිපෙත්තටම ගිය නිසා වෙන්නැති.


නන්දිව තේරුම් ගන්නෙ කොහොමද කියල මට තව තවත් හිතන්න ඕනි වුණා. මේ ගමන එවීමත් පරීක්ෂාවක්ද?


" මම හිතුවා ඇවිත් ඕගොල්ලො එක්ක දවල්ට කෑම කෑවොත් හොඳයි කියල. තවම කෑවෙ නැහැ නේ?"



" අපිට කෑම ගැන මතක් වුණෙත් නැහැ. නන්දි ආපු එක හොඳයි. "පියල් නන්දි ලඟට කිට්ටු වුණා.


ගස් හෙවනක් යට වන්දනාවෙ ආපු නඩයක් වගෙ බත් මුල් ලිහා ගෙන කන කොට ගෙදර ඉඳන් කන කෑම වේලකට වඩා අමුතු රසයක් දැනෙනවා.


මුල, මැද, අග ගලපගන්න බැරි කතාවක් වගෙ මට නන්දි ගැන හිතෙන්නෙ. ජිවිතය හිතන තරමටම නරක් වෙන එකකුත් නැහැ. මේ වගෙ මිනිස්සු තේරුම් ගන්න පර චිත්ත විජානන ඥාණය අවශ්‍යයයි කියල හිත කියනවා. ප්‍රේමවතී හිතනව ඇති, එයා බුදුන් වැඳල කරපු ප්‍රාර්ථනාව දිට්ඨ ධම්ම වේදනීය කර්මයක් වෙලා ආනිශංස ලබා දුන්නා කියලා.


මට නං හිතුණෙ 'රාහුලං ජාතං' වගෙ හැඟීමක්. මොක්ද හිතේ තිබුණු සැහල්ලුව එසැණින්ම අතුරුදහන් වුණු නිසා.




























6 ක් අදහස් දක්වලා.

Wednesday, November 25, 2009

ගැහැණිය මනින මිණුම් දඬු

Wednesday, November 25, 2009
නින්දත් නොනින්දත් අතර සිත එහාට මෙහාට පෙරලුණා, ඇඳ පුරහම. නන්දිට වගක් තිබුණෙ නැහැ, ඒ ඇඳේ වෙන කෙනෙකුත් ඉන්නවා නේද කියල. නින්ද නොයන හිත ඇඳේ ඉහ ඉද්දරින් හාන්සි වෙනවා, කිසිම හඬක් නොනැගෙන විදිහට. එක සිද්දියක් මුළු ජීවිතයම තීන්දු කරන පෙර මග ලකුණු විදියට අරගෙන අනාගත වංශ දේශනාවක් ලියන්න තරම් කලබල විය යුතු නැහැ කියල සම්ප්‍රදායිකා ඇවිත් තැලිලා නිල් වුණු සිතේ වේදනා නාශක ආලේපනයක් තවරනවා. 
"ෂික්..." ඔලුව ගස්සමින් නන්දිව තල්ලු කරලා කකුල් දෙකම ඇඳ උඩට අර ගෙන බද්ධ පර්යංකයෙන් වාඩිවෙන දඩබ්බරි මගෙ දිහාවට දබරැඟිල්ල උලුක් කර ගෙන.
"ඔය පටන් ගත්ත විතරයි...හොඳ හොඳ සෙල්ලම් එලි වෙන ජාමෙට කියල අහල ඇති නෙ...දැන් ඉතින් බැඳ ගත්තු බෙරේ ගහනවද...එහෙමත් නැත්නම් නටපු තොවිලෙකුත් නැහැ, බෙරේ පලුවකුත් නැහැ කියන්න කලින් නන්දිවිසාල ගෙන් සමුගන්නවද කියල හිතුවොත් හොඳයි...සුදු මැණිකෙ"
එයා දේශනාව ඉවර කරන්න ඉස්සර මම ප්‍රේමවතී නිදා ගෙන උන්නු කාමරයට ගියා. ප්‍රේමවතී එතකොටත් මුළුතැන් ගෙයි වැඩ.
"සුදු මැණිකෙට කිරි කෝපි එකක් හදන්නද? මම කලින්ම උයන්න හිතුව." 
ප්‍රේමවතී දන්නව මම තේ බොන්න අකැමැති වග. ඒකයි කෝපි හදන්න අහන්නෙ. නැගිට්ට ගමන් සීතල වතුර වීදුරුවක් බිව්වම මගෙ මුළු සිරුරෙම නාඩි, ශිරා විතරක් නෙවෙයි, ඌර්ණ නාලිකා කේශ නාලිකා දිගේත් ඒ වතුරෙ සීතල ගලා ගෙන ගිහින් පුදුම නිවීමක් ඇති කරනවා. ඒත් ඊයේ රෑ ගිනියම් වුණු සිතේ ගිනියම නිවන්න එක වතුර වීදුරුවක් ඇති වේද කියන එක මටම ප්‍රශ්නයක්. මැටි ගුරුලේත්තුවෙන් උස වීදුරුවකට මම වතුර හලා ගත්තෙ අද දවස ගිනියම් නොවේවා කියල හිතා ගනිමින්. ගුරුලේත්තුවෙ වතුරෙන් එන සිහිල්, නැවුම් රසය හරිම පිරියයි. ඊයෙ රෑ සිදුවීම් ගැන මට ප්‍රේමවතීගෙන් හාරා අවුස්සන්න හිතෙන්නෙ නැහැ. නිකමට හෝ ඇහුවොත් ප්‍රේමවතීගෙ හිත් වක්කඩ කැඩෙන බව මට හොඳටම විශ්වාසයි.
තුවාල සනීප කරගන්න ඖෂධයක් ගල්වන්න කියනව මිසක දොඩම්කටු ඇන ගෙන පාරවා ගන්නෙ මොකටද? දොඩම් කටුවකින් හරි දෙහි කටුවකින් හරි ඇනල විෂ, සැරව එලියට විදල හරින්න තරම්ම තුවාලෙ පැසවල නැහැ තවම. එහෙම සැරව පිරුනහම වේදනාව වැඩියි නෙ. දැනට තියෙන වේදනාව ඉවසා දරාගන්න පුලුවන් තරම් චිත්ත ශක්තියක් මට තවමත් තියෙනව. නැගෙනහිර අහසෙ ලා හිරු ටිකෙන් ටික පිපෙන්න පෙර හුරුවක යෙදෙනව වගෙ. වළාකුළු රංචුවක් හිරු පිළිගන්න වගෙ, සිත් ගන්නා සුළු වර්ණ වලින් සළු පිළි පළඳින්නෙ තරඟෙට වගෙ. 
කොට බිත්තියට මම ගොඩ වුණෙ මටත් නොදැනිම. මිදුලෙ සියඹලා අතු අතරින් යාන්තමට උදාගිරට වඩින හිරු භාවනා කරනව වගෙ. මටත් හිරුත් එක්කම දැහැන් ගත වෙන්න හිතෙනවා. ඒත් හිතට සන්සුන් වෙන්න බැහැ වගෙ. හැමතැනම දුවනව, කිසිම එකලාසයක් නැතුව. නන්දි ඉන්න කාමරේට දුවන හිත ආයෙම අපේ ගෙදර දුවනවා. අප්පච්චිගෙ කන්තෝරුවට වත් මම කෝල් එකක් දුන්නෙ නැහැ. එහෙම අවස්ථාවක් ලැබුණෙත් නැහැ නෙ. හෙට තැපැල් කන්තොරුවට ගිහින් වත් කතා කරන්න ඕනි. ගෙදරට දුවන හිත ආපස්සට ඇදල ගන්න අමාරුයි. එහෙටම වෙලා නතර වෙන්න හදනවා. ඒ වුණත් අතීතාවලෝකන වල යෙදෙන්න හිතට පිරියක් ඇත්තෙම නැහැ, අනාගතය ගැන පවතින අවිනිශ්චිත කළුවක් හතර වටේ කැරකෙනවා.ඒ කළුව ඈතකට පා කරල යවන්න මහා සුළි සුළඟක් හරි සැඩ කුණාඅටුවක් හරි එනව නම් හොඳයි කියල හිත කියනවා.
" ආපු සැඩ කුණාටුව මදිද, ඊයේ රෑ?" දඩබ්බරිට නං හොඳටම කේන්ති ඇවිත්.  
"කඳුළු වලට ප්‍රශ්න විසඳන්න බැහැ, ඉවසිල්ලෙන් වැඩ කරන්න, ළමයො"
සම්ප්‍රදායිකා මගෙ හිස පිරිමදිනව .... දයාබර ඇඟිලිතුඩු වලින්. ව්‍යසනයක් එන්න කලින් මොකට දුක්වෙනවද? ව්‍යසනය වුණහම දුක් වෙන එක වෙනම කාරණයක්. මොකුත් වෙන්න ඉස්සර ඒ ගැන හිත හිතා දුක් කඳුලු එක්ක අත් වැල් බැඳ ගත්තම, ව්‍යසනය වුණහම දුක දරාගන්න වෙනවා දෙවරක්ම. දෙවරක්ම ඒ උදෙසා දුක් වෙන එක නම් මෝඩ කමක්. ඊට වඩා හොඳයි, සිද්ධිය වුණහම විතරක් දුක් වෙන එක. අනේ මන්දා? නොමිලේ උපදෙස් දෙන්න නම් හැට හුට හමාරක් කට්ටිය එනවා. ඒ වුණත් විඳවන්න ගියහම තනිකර මම විතරක් නේද සියලු දේවල් දරා ගන්න වෙන්නෙ. කොහොම වුණත් ජීවිතේ අඬා ගත්තු ගමන් ඉන්නෙ මොකටද?
දහම් පාසැලේ ඉගෙන ගත්තු දේවල් ජීවිතයට ආදේශ කර ගන්නට 'කාලො අයං ථෙ' කියල හිත කියනව. අෂ්ඨ ලෝක ධර්මය ජිවිතයට හැම දාකටම පොදු වශයෙන් බලපානවා. අපි මවන, මවපු හීන වල තියෙන්නෙ සුන්දර පැත්තක් විතරයි. හිනාවෙන් පිරුණු, සුන්දර ප්‍රාර්ථනා! ඉන්ද්‍රචාපයන් වගෙම වර්ණවත්, චන්ද්‍ර රශ්මිය වගෙම මුදු සිසිලසක් වෑස්සෙන ඒ සිහින වල අඳුරු වළා පටල නැහැ, පුලුන් රොදක් තරම් වත්.
මොකුත්ම සිදු නොවුණු විදිහට මම තේ එක ගිහින් දුන්නා, නන්දිට. 
"අද වැඩ ගොඩක් තියනව, මලිති. දවල්ට කන්න වත් මට එන්න පුළුවන් වෙයිද මන්දා"
" ප්‍රේමවතී උදෙන්ම ඉව්වා. මම ඔයාට බත් එකක් බැඳලා දෙන්නම්" 
"ඒක හොඳයි...හා...එහෙනම් ඕගොල්ලො උදේට ගල් විහාරෙ යන්න."  
අපි කොහොමද ගල් විහාරෙ යන්නෙ, එයාට වැඩ ගොඩක් තියෙනව නම්...? දැන් කිව්ව දවල්ට කන්න වත් එන්න බැරි තරමට වැඩ ගොඩ වෙලා කියලා. මේව ඔක්කොම මම මගෙ හිතෙන් විතරක් අහන ප්‍රශ්න. ඒවා හිතට එන එන පලියට එලියට දැම්මොත් අකරතැබ්බ මිසක සුගතියක් නැති වේවි. 
"අද පියල්ට ඒ පැත්තෙ වැඩ වගයක් තියෙනව කිව්ව. එයා හරිම හොඳ මල්ලියෙක්. පියල් ඔයලව එක්ක යාවි. දහයට විතර ලෑස්ති වෙලා ඉන්නකො" 
නන්දිත් කතා කළේ මොකුත්ම සිදු නොවුණු ආකාරයෙන්. ඒ ක්‍රමයත් නරකම නැහැ. දුක හෝ වේදනාව ඇතුළටම වෙලා එහිම යලි යලිත් ගිලි ගිලී විඳවනවට වඩා හොඳයි, මෙහෙම වෙන එක. නන්දිට වුණත් වැටහෙන්න ඇති ඒ සිද්ධිය මට නරකට බල පාන්න ඇති කියලා. ආදරයක් කෙසේ වෙතත් කරුණාව, දයාව වත් මා කෙරේ එයාගෙ හිත තුළ පහළ වෙනව නම් ඒකත් ප්‍රාතිහාර්යයක් කියල මට හිතෙනව. නන්දි කාර්යාලයට යන්න පිටත් වෙන කල්ම එයට අවශ්‍ය දේවල් මම සපයා දුන්නෙ, සාම්ප්‍රදායික බිරිඳකගෙ භූමිකාවට අවතීර්ණ වෙමින්. ඒක මම අපහාසයෙන් කියනවා නෙවෙයි. මිනිස්සුන්ව වෙනස් කරන්න ආදරයට පුලුවන් කියලා මම අදහන නිසා. සම්ප්‍රදායිකා කියන්නෙ,කොහොම හරි උත්සාහ කරලා, එයාට ආදරේ උගන්වන්න කියල. විද්‍යා විෂයයන් උගන්වනව වගෙ ඒක මට පහසු කාරණයක් වේවිද කියල මට හිතා ගන්න බැරි වුණත් උත්සාහ කරලා බලනවා. විද්‍යා විෂයන් වල ප්‍රායෝගික වැඩ කොටසින් තමයි, න්‍යායන් ඔප්පු කරල පෙන්වන්නෙ. ඉතින් මේ ආදර විෂය හා අනුබද්ධිත ප්‍රායෝගික වැඩ කරන්නෙ කොහොමද මම කිසිම පෙරහුරුවක් නැතුව? අනේ! ඒකට මට කියවන්න පොත් ටිකක් වත් තියෙනව නම් මොන තරම් අගෙයිද? කාගෙන් හරි අහගන්න වත් පුලුවන් නම්?
" ගිහින් එන්නම්, මලිති. කැමරාව මගෙ මගෙ බ්‍රීෆ් කේස් එකේ ඇති.ඒක ඔයා අරන් යන්න..මම දන්නව ඔය පින්තූර ගන්න ආස නේ?"
ඔහු කාරයට ගොඩ වුණෙ එහෙම කියා ගෙන. " තුන් සරණයි" මගෙ තොල් අතරින් ඒ වචන එලියට පැන්නෙ ආදරය කරන්න ඉගෙන ගන්න ශිෂ්‍යාවක ගෙන් වගෙ. මම හිතුව අද වත් මගෙ නළල ඉඹල වැඩට යාවි කියල. ඒවා ඉතින් සිහිනම විතරක් වන සාක්ෂාත් නොවෙන අපේක්ෂාවන්. 
ප්‍රේමවතීට ගල් විහාරෙ යන ආරංචිය කිව්වම, ඉහේ මල් එකක් දෙකක් නෙවෙයි, උයනක්ම පිපුණා වගෙ රූප සොබාව.  ප්‍රේමවතීගෙ හිනාව ඉවුරු තලා ගෙන ඉහින් කණින් වෑහෙනවා. අපෙ මල්ලි හිටියා නං කියයි,"ප්‍රේමවතීගෙ කට කනේ" කියල.  
"සුදු අප්පො එනව කිව්වද සුදු මැණිකෙ?" 
"එයාට වැඩ කියන්නෙ හෙල්ලෙන්න බැරි තරමට. අර ඊයෙ ආපු මහත්තයා එනවලු අපිව එක්ක යන්න."  
" එහෙම පිට මිනිස්සුත් එක්ක යන එක හොඳ යැ සුදු මැණිකෙ?" 
"මහත්තයා නරක දෙයක් මට කරන්න කියන එකක් නැහැ ප්‍රේමවතී, අපිටත් බත් මුල් තුනක් බැඳ ගන්නකො. වතුරත් උණු කරල නිවපුවා තියෙනව නේද?අර අපි එද්දි ගෙනාපු බෝතල් වලට දා ගන්න. ඔයා ඒ ටික කරන කල් මම ගෙවල් අස් කරන්නම්."  
ප්‍රේමවතීට කියල සේරම වැඩ කර ගන්නෙ මොකටද? ඉඳල හිටල කවියක් දෙකක් ලියන එක ඇරුණම මේ දවස් වල නියමිත වූ වෙන වැඩක් ඇත්තෙම නැහැ මට.
කාමරයට ගිය මම ඇඳ පාමුල වළල්ලක් වගෙ දමල තිබුණු නන්දිගෙ සරමත් එක්ක අනික් කිළුටු රෙදි කිළුටු කූඩයට දමල ඇඳට අලුත් රෙදි දැම්මෙ ඊයෙ රෑ සිදුවීම් වල කිලුට්ට.....මත්පැන් ගඳ...යනාදී වූ සේරම දේවල් හිතේ රිදුණු, පළුදු වුණු තැන් වලින් පුපුරු ගහපු ලේ පැල්ලම් එක්කම සෝදා පවිත්‍ර කළ යුතුයි කියල හිතුණ නිසා.
'පිරුවටයක්ව තිබුණු සිත
පැල්ලම් ගැහෙයි,
රළු පරලු දුක් වේදනා තැවුල් සමගින්
අපුල්ලන්නට දිය හැකිද
පිටස්තර කෙනෙකුට .....?  
මවිසින්ම වෙල්ලාවට දමනු මිස'  
පියල්ගෙ කාරයෙ නළා හඬ මාව පියවි ලෝකයට ඇදල දැම්මා. කලින්ම ඇවිදින් වගෙ. මම ප්‍රේමවතීට කිව්ව ගිහින් බලන්න කියල.මම හිටියෙ රාත්‍රී ඇඳුම පිටින්. හවුස් කෝට් එකක් ඇඳන් හිටියත් මට හිතුණෙ නැහැ, පිට පිරිමියෙක් ඉස්සරහට එහෙම යන්න.
" සුදු මැණිකෙ, අර මහත්තය අහනව තව පැය භාගයකින් ලෑස්ති වෙන්න පුලුවන්ද කියල.....ගිහින් පැට්‍රෝල් ගහගෙන එන්නම්ලු" 
" පුළුවනි කියන්න....උදෙන්ම ගියාම අව්ව සැරත් නැහැ නෙ."
විනාඩියට දෙකට පුරුදු විදිහට නා ගත්තු මම ලා පාට ඔසරියක්ම ඇඳ ගත්තෙ නන්දි මම වෙන සැහැල්ලු ඇඳුම් අඳිනවටත්....කොට ගවුමක් හරි ස්කර්ට් එකක් හරි ඇඳන් යන්න තියෙන්ව නම් පහසු වුනත් දැන් මම භාර්යාවකගෙ භූමිකාවම රඟ දැක්විය යුතු නිසා මා තුළ වෙසෙන මගෙන් මට සමු ගත යුතු වෙනව. යුග ජීවිතය කියන්නෙ පරිත්‍යාග වලින් විතරක්ම සැදුම් ලද්දක්ද, බිරියන්ට? කාගෙන් මේ ප්‍රශ්නෙ ඇහුවත් ලැබෙන පිළිතුර 'ඔව්' වේවි. පවතින ක්‍රමයට විරුද්ධව උත්තර දෙන්න කවුරුත් අකැමති ඔවුන්ට වට පිටාවෙන් එල්ලවෙන චෝදනා වලින් මිදෙන්න බැරි කමට...නරක ගැහැණියක්ය කියල සමාජයෙන් එල්ලවෙන චෝදනාවෙන් ඇඟ බේරගන්න ඔනි නිසා. නරක ගැහැණිය, හොඳ ගැහැණිය කියල මනින මිණුම් දඬු සමාජ ක්‍රමයේම නිර්මාණ මිස ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙ ලියවිල නහැ නෙ. ඒකෙ ලියවෙලා තියෙන්නෙ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සියලු මානව හිමිකම් ගැණුන්ටත් පිරිමින්ටත් සමානව හිමියි කියලා. ඒත් භුක්ති විඳින කල්හී තමයි, ගැහැණු අඩු වරප්‍රසාද ලැබුණු කොට්ටසක් විදිහට පෙනී යන්නෙ. මේවා ඉතින් මම කාට කියන්නද?
මොකද ඒ පාර සම්ප්‍රදායිකා මේ පැත්තට කිට්ටු වෙන්නෙ? 
"මලිති, ඔය අනවශ්‍ය වැල්වටාරම් වලින් ඔලුව අවුල්කර ගන්න එපා. නන්දි දැන් ගල් විහාරෙ යන්න පිළියමක් යෙදුව නෙ. පියල් නරක ළමයෙක් නෙවෙයි. ඒ විශ්වාසය උඩ නෙ ඔයාව මේ ගමන යවන්නෙ.අනික ප්‍රේමවතීගෙ බලාපොරොත්තුත් කඩ කරන්න බැරි නිසා නන්දි ගත්තු තීරණය හරි.ඔය දඩබ්බරී ගහන පද වලට නටන්නෙ නැතුව, මම කියන දේ අහල කලබල නොවී  වැඩ කරන්න."  
පියල් එක්ක යද්දි මට දැනුණෙ අපෙ මල්ලිත් එක්ක ගමනක් යනව වගෙ. මල්ලි විතරම ඇණයක් නොවුණත් උවමනාවට වඩා මාව පරිස්සම් කරන්න හදනවටත් මම කැමති නැහැ. කොහොම වුනත් පරාක්‍රම සමූද්‍රය දකින් දකින ගානෙ මගෙ හිත  පුරාවට දෙගොඩ තලන සතුටට නම් පවුරු බඳින්න බැහැ. ඒ තරමටම සුන්දරයි, ඒ දර්ශනය. මට හිතෙන්නෙ ගහක් යට වාඩිවෙල සමූද්‍රය දිහා ගොඩාක් වෙලා බලා ගෙන ඉන්න තියෙනව නම් හොඳයි කියල.
මට ආස දේවල් කොහොමද කරන්නෙ, වෙනත් කෙනෙකුගෙ ලෝකයක ඔහුට ඔනි ආකාරයට ජීවත් වෙන කොට. මේ දෙගිඩියාව නම් හිතේ තියාගන්න හොන්ද දෙයක් නෙවෙයි. දිය කාවො පේලි පේලි එක එක රටා අහසෙ අඳිමින් ගිහින් එක පාරටම දියට පාත් වෙනව, ගොදුරකට. සේරු, කොක්කු අහසෙ යන්නෙත් පේලි පේලි. දෙදෙනෙක් අතර දුර හරියට මැනල කියල දීල වගෙ, එක සමානයි. 
"ඊයේ රෑ සිද්ධිය ඒ තරම් ගනන් ගන්න එපා, මලිති. නන්දි අයියා නරක කෙනෙක් නෙවෙයි. ටිකක් කල් යන කොට ඕවා මග හැරිලා යයි"  
පියල් නිශ්ශ්බ්දව යන අපි අතරෙ නිහඬ තාවය බිඳිනවා. 
"ගල්විහාරෙට තව ගොඩක් දුරද?"
මාතෘකාව වෙනස් කරන්න උත්සාහ කළේ ප්‍රේමවතී ඉස්සරහ කිසිම දෙයක් විවේචනය නොවිය යුතුයි කියන මතයේ මම තරයේ එල්බ ගෙන සිටි නිසා.

17 ක් අදහස් දක්වලා.

Saturday, October 17, 2009

ලඳුන්ගෙ ඉරි තලන සිත් වලින් ගලන ලේ, කඳුළු

Saturday, October 17, 2009
අපි සාදයට යන කොට සෑහෙන පිරිසක් එතැන එකතු වෙලා හිටියා. ඔක්කොමලගෙ ඇස් ඊතල වගෙ එල්ල වෙලා තිබුණෙ, බැංකු කළමණාකාරවරයගෙ අලුත් මනමාලි දිහාවට. මම කොණ්ඩෙ ගොතාගෙන යන්න හැදුවත් නන්දි කිව්වා, කොණ්ඩයක් බැඳ ගන්න කියල. බෙල්ල පිටිපස්සෙන් එල්ල ගත්ත කොණ්ඩ ගුලිය මට කලු ගලක් වෙලා බෙල්ල ඇදුම් කනවා. ඒ මදිවට කොණ්ඩ කටුවකුත් විටින් විට ඇනෙනව බෙල්ලෙ. 
                            මළ වාතයක්...! අපහසුකම්, ඇනිලි, රිදිලි වහ ගෙන මම හැමෝටම ආචාර කරමින් හිනා පොට්ටු විකසිත වෙන්න ඉඩ ඇරියෙ තැනට සුදුසු එකම රඟපෑම එයම විතරක් නිසා. රජයේ සේවකයන්ගෙ සමාජ ශාලාවත් දේදුණු වර්ණ බැලුම් බෝල පොකුරු එක්ක ක්‍රේප් කොල තැනින් තැන අලවගෙන අපි වගෙම කල එළි වෙලා. සමහර තැන්වල එකේක වර්ණවල, වර්ග වල මල්, පොකුරු පොකුරු ගැහිලා මේස, කනප්පු උඩට වෙලා ඇස් දල්වගෙන ඉන්නවා, විදුලි බුබුලු එළියට ඔමරි කර කර.
                  අපි ශාලාවෙ මැද්දකට විතර එන කොට අත්පොලසන් හඬක් අපිව පිළි ගත්ත. පුංචි සුරංගනාවියක් වහෙ හුරුබුහුටි දැරියක් ඇවිත් මගෙ අතට මල් පොකුරක් දෙද්දි, තවත් පුංච් පැටියෙක් ඇවිත් නන්දිට මල් මාලයක් දමන්න දෙපා ඇඟිලි තුඩු වලින් ඉස්සෙනවා. නන්දි පහළට නැවිලා පැටියව දෑතට වඩා ගත්තා. මට නාට්‍යයක මුහුරත් උත්සවයක් මතක් වුණා. අඳුන්නා දීම් ඊට පස්සෙ, කෙළවරක් නැතුව.
                 කාන්තා පාර්ශවය සේරම මගෙ මුහුණ ඉඹිනව....ඉකේයියා....!තව ටිකකින් කෙළ ගඳේ බැරිවෙයි ද මන්දා? අතට අත දීලා දකුණු අත රිදෙනවත් එක්ක. සමහරු තදින්ම අත මිරිකනව. සමහරු අත් දෙකින්ම අල්ලලා සුබ පතනවා. සිරිත් විරිත් සහිත පිළිගැනීම් වලට පස්සෙ කට්ටිය තැන් තැන්වල අසුන් වලට බර වෙනවා. ඊට පස්සෙ බීම සංග්‍රහය ආරම්භ වෙන්නෙ, සිහින් සංගීත රාවයක් තනියට කැන්දගෙන. ඉස්සෙල්ලම බීම කරත්තෙ තල්ලු වෙලා ඇවිත් නතර වුණේ, අපේ ළඟ.
   "මිසිස් නුගලියද්ද මොනවද බොන්නෙ?" 
                   එහෙම අහපු එක්කෙනාව නන්දි හඳුන්වලා දුන්නෙ උප දිසාපති කියලා. නන්දි මගේ දිහාව බැලුවා.
 "සොෆ්ට් ඩ්‍රින්ක් එකක් හොඳයි"
           මම කිව්වෙ නන්දිට. එතකොටම උප දිසාපතිගෙ බිරිඳ කියල හිතෙන, හැඩට ඇඳ ගත්තු කාන්තාවක් පාවෙනවා, රූප රාමුවට.
    "දැන් ඔයත් අපේ හවුස් වයිෆ්ස්ලගෙ ක්ලබ් එකට බැඳෙන්න ඕනි. සොෆ්ට් ඩ්‍රින්ක්ස් බොන්නෙ ඉස්කෝලෙ යන කාලෙ....අද බොමු බියර් එකක්"
                      එයාගෙ බුරියෙන් පහළට ඇඳල හිටපු සාරියෙන් නිරාවරණය වුණු උදර ප්‍රදේශයේ ඇඳුණු ඉරි සමූහය ජ්‍යාමිතියේ සරල, සමාන්තර රේඛා එක්කම ප්‍රමේයයයන් කිහිපයක් මතක් කර දෙමින් ජුගුප්සාවක් වගෙ හැඟීමක් මගෙ හිතට ගෙනාවා. මම ඇස් දෙක ඉවතට උලුප්පල ගත්තෙ, ඒ දර්ශනය අනෙක් අයට නොපෙනෙන විදිහට එයාගෙ සාරි පොටෙන් වහන්න පුලුවන් නම් කොච්චර හොඳද කියලා හිතමින්. මට හිතෙන දේවල් වැරදිද මම දන්නෙ නැහැ. ඇය බීර ජෝගුවකට බීර වක් කරනවා; බෝතලෙයි,  ජෝගුවයි ඇල කරල අමුතු තාලයකට. 
                         අලුත් සමාජයේ ඇවතුම් පැවතුම් තවම මම අඳුනා ගන්න වෙහෙසෙනව... මනසින්, නුවණින් විමසමින්. පුරවපු බීර බඳුන පිළිගන්වන්නෙ මට. මම කවදාවත් බීල නැති දෙයක් මොකට බොන්න පටන් ගන්නවද
       "ගන්න, ගන්න....බියර් බීවට වෙරි වෙන්නෙ නැහැ"
             ඒ නන්දි. සුවච, කීකරු භාර්යාව මත්පැන් ප්‍රතික්ෂේප කිරීම නිසා දණ්ඩ නීති සංග්‍රහයේ කී වෙනි වගන්තියට අනුව ඇයව චූදිතයෙක් කළ හැකිද? ඔන්න සම්ප්‍රදායිකාටත් තරු පෙනුණු තැන. 
        "ෆො යූ, ස්කොෂ් ඔන් රොක්ස් ඈස් යූසුවල්?" ඇය නන්දිගෙන් අහල හිනා වෙනවා. නන්දි සැර බීම බොන කෙනෙක් කියල මම දැන ගෙන හිටියෙ නැහැ. ඒවද දන්නෙ නැහැ අර මට කියන්න ගොඩක් දේවල් තියෙනව කිව්වෙ. වැඩිය බොන එකක් නැතිවෙයි කියල සම්ප්‍රදායිකා මගෙ හිත අස්වසන්න හදනවා. 
                 මම බීර බඳුන දෑතින්ම අල්ල ගත්තෙ බිම ඉහිරවෙයි කියල. කහ පාට දියර මත සුදු පෙණ තට්ටුව බුබුලු දමනව, මගෙ හිත වගෙම. ඇය අයිස් කැට කිහිපයක් දමපු බීම වීදුරුව නන්දිගෙ අතට දෙන කොට, "තෑන්ක්ස්, සුජී" කියල නන්දි හරිම ලෙන්ගතු කමින් කීවා. ගොඩක් කල් ඉඳලම මේ ගොල්ලො හිතවත් ඇති.
                  ඊට පස්සෙ අපට සුබ පතල ටෝස්ට් එකක්. මම නන්දි දිහා බලා ගෙන එයා කරන කරන දේ කළා. 
       "නන්දිටයි, අලුත් මනමාලිටයි යුග දිවිය සාර්ථක වෙන්න අපි සව් දිය පුරමු"
        ඒකට වෙනම ෂැම්පේන් වීදුරුත් අපෙ අත් වලට දුන්නා. ඔක්කොමල වීදුරු ඉහළට ඔසවලා, "චියර්ස්" කියල අපෙ දිහාවෙ බලලා, හිනා වෙලා බීම බඳුන් තොල ගෑවා. මමත් නන්දිව අනුගමනය කළේ එයාගෙ සමාජ ගර්වය රැක දිය යුතු නිසා.
              තොල් දෙකට බීම බඳුන ළං කළාට මම තොල් තෙමෙන්න වත් ඇරියෙ නැහැ, ඒ මත් දියරෙන්. මට හිතුණෙ මොකටද මම පස් වෙනි සිල් පදය කඩන්නෙ කියලා. වීදුරු ගැටෙන හඬ, සිප වැළඳ ගැනීම්, අල්ලාප සල්ලාප, මද සිනා..කොක් හඬලන සිනා....සාද කතා බහ.....මෙකී නොකී  දේවල් සමග කට්ටිය මද පමනත් ඉක්මවලා මත් වෙන සීමාවට ඇවිත් හිටියා සමහරු. මට දැනුනෙ නන්දිත් මද පමණ ඉක්මවූ බවක්.
                එයා නොදැණුවත්වම මගෙන් ඉවතට ඇදිලා ගියෙ වෙනදට පුරුදු යහළු යෙහෙළි වළල්ලට එකතු වෙන්න. මටත් ඕනි වෙල තිබුණ ටිකක් තනිවෙල, මම අළුතින් එකතු වෙන්න යන සමාජය ගැන ටිකක් විමසල බලලා හදාරන්න. නන්දිට අවශ්‍යය විදිහට හැඩ ගැහෙන්න මට එය පිටුවහලක් වෙයි කියල මගෙ හිත මට කිව්ව. 
             බොහෝ විට තම තමන්ගෙ ගෙවල් දොරවල්වලින් බැහැර වෙල මෙහෙ නිලනිවාස වල ඉඳගෙන, කාෂ්ටකයත් එක්ක හෙට්ටු වෙන කොට මේ වගෙ විනෝද වීම් හිත්වල විඩාව දුරු කරනවා ඇති...මට මේ සමාජ ක්‍රමය හා ඇවතුම් පැවතුම් අළුත් අත් දැකීම් වුණාට නන්දි වගෙ අය දැන් මේ ක්‍රමයට හුරු වෙන්න විකල්ප විදියට හොයා ගෙන ඇත්තෙ මෙබඳු සාද සාමීචි වෙන්න ඇති. කාර්යාල වල ගෙවන ඒකාකාරී ජීවිත පොඩ්ඩක් පැත්තකින් තියල, සැහල්ලුව විතරක් හිතෙ පුරවගෙන විනෝද වීම මල් පැන් පොදකින් මත් වීම පංචානන්තරය පාප කරමයක් නෙවෙයි නේද කියල කවුද කියනව හිත ඇතුලේ. 
          සන්ගීත රාවය ඉස්මතු වෙද්දි. බොහො දෙනෙකුට උන්නු ආසන වල ඉන්න බැරිව වගෙ පැද්දී පැද්දී රඟ මඬලට පිවිසෙනවා. නන්දිත් කට්ටිය සමග රංගනයට එකතු වෙන කොට මගෙ ඇස් අදහ ගන්න බැරිව ගියා මටම. මම අළුත් මනමාලි නිසා වෙන්නැති කවුරුවත් මට ඒ අයට එකතු වෙන්න කියල පෙරැත්ත කළේ නැත්තෙ. හැමෝම ස්වේච්ඡාවෙන් මයි නැටුමට ඇදිල ගියෙ. විවිධාකාර රැඟුම් විලාශයන් දිහා බලන් ඉන්න අතරෙ එක එක අය ඇවිත් වචනයක් දෙකක් කතා කරල යනවා. කිසිම විශේෂත්වයක් මට දැණුනෙ නැහැ.
      "මිසිස් නුගලියද්ද, ඔයා කැමති නැද්ද ඩාන්ස් කරන්න?"
      "අකැමැත්තක් නැහැ...ම්...ම්...මට මතක නැහැ...ඔයාගෙ නම..සොරි" 
  කීදෙනෙක්ව නම් මතකෙ තියා ගන්නද? නන්දි සේරමලව අඳුන්නල දුන්නා, ඒත් කවුරුවත්ම මගෙ හිතට අමුත්තක් ඇති කළෙ නැහැ. එක නමක් වත් මතක හිටියෙත් නැහැ.
    "මගෙ නම පියල්. මිසිස් නුගලියද්ද ළඟදිද කැම්පස් එකෙන් අවුට් වුණෙ?"
    "පියල්, මට මලිති කියන්න. මම මලිති කුමාරිහමි"  
                මිසිස් නුගලියද්ද..මිස් උඩලියද්ද...මොකටද කාගෙවත් වාසගමක් හැම තිස්සෙම ගැහැණුන්ගෙ නමේ අග්ගිස්සෙන් එල්ලන්නෙ. මට හිතෙන්නෙ වක්‍රාකාරව ගැහැණුන්ව භුක්තියට සවි කරල දෙනව වගෙ පවතින සමාජ සම්මතයන් මගින්. විවාහයට ඉස්සර පියාගෙ නම අගට එල්ලල, උප්පැන්න සහතිකෙන් නෙ පටන් ගන්නෙත්...ඒ සහතිකේට පස්සෙ දෙන ඊළඟ සහතිකේ විවාහ සහතිකේ. දෙවෙනි සහතිකේදි පියාගෙ වාසගම අයින්කරලා විවාහක පුරුෂයාගෙ නම එල්ලනවා. තමන්ට කියල නමක් තියා ගන්නවත් අයිතිවාසිකමක් නැහැ ගැහැණුන්ට. 
              පූර්ණ මනුෂ්‍යත්වය තියෙනව කිව්වට, දෙවෙනි පෙළ පුර වැසි භාවය නෙවෙයිද ඔය ඉස්මතු කෙරෙන්නෙ. අනේ මන්දා? එහෙම එල්ල නොගත්තට ගැහැණුන්ට තමන්ගෙ නමෙන් විතරක් බැබලෙන්න බැරිද? අද වෙලා තියෙන්නෙ; අහවලාගෙ දුව, අහවලාගෙ බිරිඳ, අහවලාගෙ සහෝදරිය කියලා. මේ දේවල් මේ යුගයෙදි වත් වෙනස් වෙන්න ඕනි. මට බැරිද මලිති කුමාරිහාමි විදිහට ජීවත්වෙන්න, මිසිස් නුගලියද්ද වගේ පෙනී සිටින්නෙ නැතුව. වෙන වාසගමකින් හෝ කීර්ති නාමයකින් අලෝකය ලබා ගන්නෙ මොකටද, අපි පරපුටු වංශයෙද?      


                             අපේ අනන්‍යතාවය, ස්වීයත්වය අපිටම නිර්මාණය කරගන්න පුළුවන් කියලා ආත්ම විශ්වාසයක් සහ ආත්ම ශක්තියක් අප තුළම වගා දිගා කර ගත යුතුයි කියල මට හිතෙන එක දෝෂ සහිතයි කියල මට නම් හිතෙන්නෙ නැහැ. මෙහිදී මම මතු කරන්නේ පුරුෂ විරෝධයක් කියල වරදවා තේරුම් ගන්න නම් එපා. මොකද ජීව විද්‍යාත්මක වෙනස් කම් වලට අනුව ගැහැණු පිරිමි සමාන වෙන්නෙ නැහැ, ඔලුවෙන් හිට ගෙන කීවත්. වෙනස පිළිගත යුතුමයි, හැබැයි අවශ්‍ය සමාජ ගරුත්වය ඉතුරු කර ගෙන. 
                           මට මෙහෙම ලියන කොට මතක් වෙනව, මගෙ මේ අදහස් අහපු මගෙ ආදරනීයම මිත්‍රයෙක් කියපු කතාවක්. එයා කියපු කතාව හරිම ඇත්තක්. ඒ කතාව කියන්න වෙන්නෙ නහැ වගෙ, පියල්ට මා ගැන දයාව හිතිලා. 
      "මලිති, මොකුත්ම බිව්වෙ නැහැ නේද? ඉන්න, මම සොෆ්ට් ඩ්‍රින්ක් එකක් ගෙනෙන්නම්"    
                  පියල් ඉවතට ඇදුණෙ මට තිබුණු උගුර කට වේලිල්ල තේරුම අරගෙන වගෙ. නන්දිට නොපෙනෙන්න, ෂැම්පේන් වගෙම බිර දියරත් අසල තිබුණු මල් බඳුනකට පෙව්වා. කැප කිරීම්, පරිත්‍යාගයන් කරන්න පුළුවන්, යහපත් සහකරුවෙක් වෙනුවෙන්. ඒත් ප්‍රතිපත්ති බිඳ දමලා කැප කිරීමක් කරන්න තරම් තවම කල් මෝරලා නැහැ කියල හිත කියනව නෙ. හිත කිව්වට මගෙ යෙහෙළි, සම්ප්‍රදායිකාට මගෙ හිත අවනත වෙලා. පියල් ගෙනාපු පලතුරු යුෂ මට අමෘතයක් වගෙ. බඩගින්නත් දැන් රතු ඉරට නගිනවා. බයිට්ස් තිබ්බට මට කන්න හිතුනෙ නැහැ, මත්පැන් බොන අය මැදට පැනලා.
                  නන්දිට මාව අමතක වෙලා, පුරුදු මිතුරු මිතුරියන් අතරට වැටුණම. හිතේ කහටක් ඇතිවෙන්න නොදී මගෙ හිත අස්වසා ගන්න මලිතිට ඕනි වෙලා. මගෙ බඩ ගින්නෙ රතු ඉර පනින කොට නන්දිගෙත් සුරා මීටරයෙ රතු ඉර පනිනවා මට දැක ගන්න පුළුවන්. එයාට මාව හදිසියෙම මතක් වෙලා. ඒත් මදෑ නේද? එයා නටනවද, වැනෙනවද කියලා මට තේරුම් කර ගන්න බැරි වුණේ මම මීට කලින් එයා නටනවා වත් බීමතින් වැනෙනවා වත් දැකලා නොතිබුණු නිසා වෙන්නැති. 
       " ඔයාට බඩගිනිද මලිති?" 
         ඔහු කෙලින් ඉන්න උත්සාහයක යෙදෙනවා. පියල් ඔහුව මගෙ ලඟින් ඉන්දවන්න උත්සාහ කරනවා. උත්සාහවන්තයන් ජය ගන්නව කියල දෙන්නම හිතනවා ඇති.
       "හා...මේ අපේ දුම්කොලේ ඉන්නෙ. පියල් මල්ලි, මගේ අලුත් මනමාලි මලිතිට සලකන්න හොඳේ" 
    මොකද එයාට දුම්කොළේ කියන්නෙ?
      "පියල් වැඩ කරන්නෙ ටොබෑකො කම්පැනි එකේ"
                 නන්දි මගෙ හිත කියවගෙන.
      "මිස්ට නන්දිමිත්‍ර, දැන් මිසිසුත් එක්කම කෑම කමු නේද? මම බෙදාගෙන එන්නම්."
      " මගෙ නෝනා පොඩ්ඩට දෙන්නකො....මම පස්සෙ අපේ ගැන්සියත් එක්ක කන්නම්..." නන්දි වීදුරුව හිස් වෙන්න දෙන්නෙ නැහැ. ඔහු පියල්ට මාව බාර දීලා ගැන්සියට සෙට් වෙන්න යනවා. මට මතක්වුණෙ කොහොමද දැන් එයා වැව් බන්ඩ් එක දිගේ වාහනය පදවගෙන යන්නෙ කියලා.
        "මලිති, බය වෙන්න එපා. මම කාරෙක අරන් යන්නම්. වෙනදටත් මිස්ට නන්දිමිත්‍රට වැඩි වුණාම මම තමයි ගෙදර එක්ක යන්නෙ."
       ඔන්න මට මගෙ අර සමීප මිත්‍රයාගෙ කතාව මතක් වෙනව...මම එයා ගැන කලින් සඳහන් කරලම නැහැ. මතකනෙ මම කිව්ව අර මම රාජ්‍ය නොවන ස්ංවිදානයක පරිවර්තන එහෙම කරල කැම්පස් ඉන්න කාලෙ පාට් ටයිම් රස්සවක් කළා කියලා. අන්න ඒකාලෙ තමයි ඒ මිත්‍රයාව මුණ ගැහුනෙ...ඔහුගෙ න්‍යායන්, දැනුම තුළ ගැබ් වුණ සත්‍යතාවයන් තේරුම් ගන්න හෝ පෝෂණය වෙන්න තරම් මගෙ මනස මෝරල තිබුණෙ නැහැ, ඒ දවස් වල. ඒ කතාව අමතක වෙන්න දෙන්න හොඳ නැහැ.
                ඒක මට මතක් වුණෙ ගැහැණු පිරිමින්ගෙන් පතන, ඒ වගෙම සමාජය වුණත් ගැහැණුන්ට පිරිමින්ගෙන් ලැබිය යුතු යයි කියන ආරක්ෂාව මෙහෙම කනමදයො කොහොමද ගැහැණුන්ට දෙන්නෙ කියන එක. සමාවෙන්න, ඒ වචනෙ ඉබේටම එලියට පැන්නා. අලුත ගෙනා මනමාලියක් කිව යුතු වචනයක් නෙවෙයි ඒක කියල ඔබලා කියාවි. අලුත බැඳපු මනමාලයෙකුට එයාගෙ යුතුකම් අමතක වෙන කොට අලුත ගෙනා මනමාලිගෙ හිත සිදුරු, දැදුරු වෙලා එහෙම වචන එළියට පනින එක නවත්වන්න කාටද පුළුවන්.
                   ආරක්ෂාව ගිළිහෙන කොට සිතක් අසරණ වෙන් එක තේරුම්ගන්න කාට හරි හැකියාවක් තියෙනවා නම් ලොකු දෙයක්. ඉස්සරෝම ඉස්සර, ඒ කියන්නෙ  ඈත අතීතයේ ඉඩ කඩම් දේපල අයිති කර ගන්න තණ්හාවෙන් පිරිමි යුද්ධයට යනවා. බඩ දරු අම්මලාව යුද පෙරමුණට සටන් කරන්න ගෙන යන්න බැරි නිසයි, අනෙක් දරු පරම්පරව බලාගන්න ඕනි නිසයි ගැහැණු නවාතැන් වල, ගෙවල්වල නවත්නවා. එඬේර යුගය පරිණාමය වෙන්නෙ ඒ විදිහට. ඉඩ කඩම් දේපළ ජය අර ගෙන ඒ විජයග්‍රණයන් පිරිමින්ගෙ බලය තහවුරු කරනවා. බලය ආධිපත්‍යයක් බවට පරිවර්තනය වෙද්දි ඒක පුරුෂාධිපත්‍යය වෙන්නෙ ගැහැණුන්ගෙ ආරක්ෂාව සැපයීමේ වගකීමත් ඔවුන්ටම පවරමින්. එසේ බැරෑරුම් ලෙස පැවරුණු යුතුකම්, වගකීම් ආරක්ෂක නිලධාරීන් විසින් පැහැර හරින කොට ..........
               අද වගේ....නන්දි වගේ....ලඳුන්ගෙ ඉරි තලන සිත් වලින් ගලන ලේ, කඳුළු පිසලන්නෙ කවුද? නන්දිව වත්තම් කරගෙන ඇවිත් ඇඳේ පත බාවන්න පියල් උදව් කළේ මගෙම සහෝදරයෙක් වගෙ.
                    ප්‍රේමවතී කම්මුලේ අත ගහ ගෙන හූල්ලනව, අප්පොට වෙලා තියෙන සන්ගදිය දැකල. පියල්ට මුව නොසෑහෙන්න ස්තුති කරන ප්‍රේමවතී ඔහුට බුදු බවත් ප්‍රාර්ථනා කරනවා. 
            "ප්‍රේමවතී, දෙහි ගෙඩි දෙකක් මිරිකලා ගේනවද? දෙහිගෙඩියක් කපලත් ගෙනෙන්න, ඔලුවෙයි යටි පතුල් වලයි ගෑවම හොඳයි." 
             ප්‍රේමවතී මුළුතැන් ගෙට ඉගිල්ලෙන්නෙ විදුලි වේගයෙන්. නන්දි කෙඳිරි ගාමින් මොනවද කියන්න උත්සාහ කරනව. 
"සෝමෙ...මට සමාවෙන්න..." 
              කවුද සෝමෙ? ප්‍රේමවතී දෙහිත් අර ගෙන එනකොටත් නන්දි සිහිවිකලයෙන් කියවනවා. 
     "සෝමේ....සෝමේ..."
     "හත් දෙයියනේ....! මේ මොනවද මේ නොදරුවා ඉස්සරහ කියවන්නෙ."
               ප්‍රේමවතී විස්සෝප වෙන්නෙ මං ගැන. මම ඇහුවෙ නැහැ 'සෝමෙ' කවුද කියලා. අර කියන්න තියෙනවා කියපු ගොඩක් දේවල් වලට සම්බන්ධ කෙනෙක් වෙන්නැති. හිතට කලබල වෙන්න දුන්නෙ නැහැ, මම. කවුරු මොනවා කිව්වත් නන්දි මගෙ විවාහක පුරුෂයා. මගෙ පවිත්‍ර භාවය හමුවෙ එයාගෙ ඇස් වලට උනපු කඳුළුවල උණුසුම මගෙ උරහිස් වලට දැණුනා. පිරුවට රෙදි කඩක රුධිර සලකුණු දැකීම කඳුළු උනන්න කාරණයක් වේවි කියල මට හිතුණෙ නැහැ. 
                ඒ කඳුළු වල සැඟවුණු දේවල් ටිකෙන් ටික හෙළිදරව් වෙයි. අසනි වැසි, වේරම්භ වාත සහ සැඩ කුණාටු හමුවේ ජීවිත යාත්‍රාව පැද ගෙන යා යුතුයි... 
      "මේ ජීවන ගංගා දාරයේ...."
              ගීතයක් ඇවිත් මගෙ තනියට, නන්දිගෙ හිසේ දෙහි අතුල්ලනවා. නන්දි විටින් විට එයාගෙ ජීවිතයෙන් ගිලිහී ගිය සෝමෙකුගෙන් සමාව ඉල්ලනවා. ප්‍රේමවතී ඇස්වලයි, මුහුණෙයි ලොකු කතාවක් ලියා ගෙන මට කියවන්න ඇරියුම් කරනවා....!
                  මම නන්දිව නිදිකරවන්න මගෙ ඇඟිලි තුඩු වලට ඉඩ දුන්නම, නළල පුරා හෙමිහිට ඒ සිනිදු පහස විහිදිලා යන්න වුණා.

27 ක් අදහස් දක්වලා.