Tuesday, November 8, 2016

බ්ලොග්කරණයට යළි පිවිසුම

Tuesday, November 8, 2016
නෝක්කඩු ගොඩයි
එනමුත් සෙනෙහසින් තමයි
නොලිව්වට යමක්
හැමතින් චෝදනා ලැබෙයි

නොරට සිටින කොට
තනිවම කාලෙ ගෙවන විට
ඉඩක් තිබු නමුත්
දැන් නම් විවේකය අඩුයි

ලෙඩින් වැටීමත්
සුරතින් අකුරු කෙටීමත්
අපහසු නිසා තව තවත්
ලිවිල්ල පමා කළා මැයි

යළිත් වතාවක්
නොයෙකුත් කතා වියාගෙන
එන්නයි හිතේ අදිටනත්
ඉඩ දෙමු කාලයට ඉතින්

ජීවිතය ඇඟිලි අතරින් ගිළිහෙන්න ගොස් ආයෙමත් කොහෙදෝ එල්ලිලා, ගැට ගහ ගත්තාද කියල හිතෙන වෙලාවල් අනන්තයි. වාට්ටුව, සේලයින් බෝතල්, ශල්‍යාගාරය, මුව වැසුම් දමා ගත්තු දොස්තරල, හෙදියන් සහ වෙනත් අය පෙනි පෙනීම නිර්වින්දන ඖෂධ සිරුර පුරා ක්‍රියාත්මක වෙද්දි හිතත් හිරිවැටිල නිර්වින්දනය වෙලා ගියා මට හොඳට මතකයි. බයක් නම් දැනුනෙම නැහැ. නවීන විද්‍යාව කෙරෙහි, තාක්ෂණය කෙරෙහි, ඒ වගේම වෛද්‍යවරුන් කෙරෙහි තිබුණු විශ්වාසය නිසා සැත්කමට මුහුණ දෙන ශක්තිය තත්පරෙන් තත්පරය මෝදු වුණා. ඒවිශ්වාසය බොහෝ දුරට අසනීප සුව කරන්න වඩාත් හොඳ ප්‍රතිජීවකයක් කියල මට හිතෙනවා. 
"කොහොමද ඔය ලෙඩේ හොයා ගත්තෙ? මම මේ රෝගය පිළිබඳ විශේෂ්ඥ වෛද්‍යවරයෙක්. මට වත් හොයා ගන්න බැහැ නෙ." විමතිය පළ කරමින් ඔහු මගෙ දිහා බැලුවෙ විශ්මයාර්ථය ලියා ගත් දෑස්වලින්.
එකම පාසැලේ අකුරු කරපෞ අය හැටියටත්, එකම ගමේ අය හැටියටත් පොඩි හැඳුනුම් කමක් වගා දිගා කරගත්තු නිසා නොදන්නා කෙනෙකු කෙරෙහි පවතින දුරස්ඨ භාවය හිතට දැනුණෙ නැති තරම්.
"ලෙඩේ හොයා ගත්තු හැටි කියන්නම්. හැබැයි, හිනාවෙන්න එපා." ඒ තරමට අරුමැසි සොයා ගැන්ම වෛද්‍යවරයාට පවසන්න මා වචන එකතු කළා.
" අපේ අම්මා හීනෙන් ඇවිත් පෙන්නුවා. අම්මා අත් දෙකම එකතු කරල මගෙ පපුවෙ මෙතනට දික් කරල වචනයෙන් නෙවෙයි, ඇස් දෙකෙන් පරෙස්සම් වෙන්න වගෙ දෙයක් කිව්වා. මම හිනාවෙල අම්මට කිව්වා,
" මගෙ හාර්ට් එක තියෙන්නෙ වම් පැත්තෙනෙ. ඒක ඉදිමෙල තිබුණට මේ පැත්තෙ මොකද්ද කියල? මගෙ හදවතත් තියෙන්න ඕනි ප්‍රමාණයට වඩා ටිකක් විශාල වෙලා, ඒ කියන්නෙ එන්ලාර්ජ් වෙලා. ඒක වෛද්‍යවරුන් දැනගත්තෙ පපුවෙ එක්ස් රේ ඡායාරූපයක් ගත්තම. 

ඉන්දියාවෙ අය නම් එහෙම වුනොත් ඉතා සතුටින්, 
" බොහොත් බඩා දිල් හේ මෙරෙ පාස්" කියල කියාවි. අපේ එහෙම යෙදුමක් තියෙනවද කියල මට නම් සිහියට නගා ගන්න බැහැ. කිව්වට තේරෙන්නෙත් නැහැ නෙ. ඒ නිසා මම හිතන්නෙ, ඔලුව ඉදිමෙන්නේ නැතුව හදවත ඉදිමුණු එක ගැන මා සතුටු විය යුතුමයි කියල. ඔන්න කතා ඇතුලෙ කතා කියන්න ගිහින් පීලි පැන්නා නේද? පස්සෙ මම දොස්තර මහත්තයගෙ අත අර ගෙන අම්මා පෙන්නපු තැනට අත තියවලා මගේ කියමන ඔප්පු කරන උත්සාහයක යෙදෙන්නට වුණා. වෛද්‍ය වාර්තා වල තියෙනව, කාර්සිනොජන් සෛල තිබෙන බව. ඔව්! රිපොර්ට්ස් දෙකකම තියෙන ලය ප්‍රදේශයෙ, අම්ම පෙන්නපු තැන 'මැලිග්නන්සි' එකක් තියෙන බව. දන්ත චිකිත්සිකාවක් වෙන්න පුහුණුව ලබන කාලේ, අපිට කායික විද්‍යාව හදාරන්න ලැබුණා. පැතොලො කියන විෂයත් ඉගෙන ගත්තා. එබඳු හැදෑරීම් වලදි කාසිනෝජන් සෛල, මැලිග්නන්සි වගෙ වචන මට මතකයි. වෛද්‍ය වාර්තා කියවලා මම මගේ දුවණිට කිව්වා, 'මෙ අහවල් ලෙඩේ තමයි. අපෙ ගමේ දොස්තර මහතාම චැනල් කරමු කියලා. හොඳ වෙලාවට මගේ දුවනිත් ඒ දවස් වල ලංකාවට ඇවිත් හිටියෙ. දුවත්, එයාගෙ මහත්තයත් කැමති වුණේ නැහැ මම කියන දේ පිළිගන්නත්, මට ඒ රෝගය තියෙනව කියල පිළිගන්නත්. කැමති නැති වුණත් අපිට ලැබෙන දේවල් පිළිගන්න වෙනවනෙ. අපිට ආණ්ඩු මට්ටු කරන්න බැරි දේවල් කොයි තරම්ද? ඒ දෙන්නාට මෙය සත්‍යයක් කියල පෙන්වන්න මට ගූගල් යන්න සිද්ධ වුණා මගෙ දුරකතනයෙන්. එතකොට නම් දෙන්නම පිළිගත්තා අම්මා කියන දේ හරි කියලා. එහෙම තමයි, අපේ ගමේ දොස්තර මහත්තයව චැනල් කරල ඔය සැත්කම දක්වා සිද්ධී දාමය ක්‍රියාත්මක වුණේ. දකුණු පැත්තෙ ශල්‍ය කර්මය සිදුවුණු නිසා දකුණු අතෙන් වැඩ කරන එක අසීරු කාරණයක් වුණා. බ්ලොග් ලිවීම ඇතුලු සියලුම ලිවීම් සෑහෙන කාලයකට අත් හිටුවන්න සිදුවුණා.

අපේ රටේ ජනතාව, එහෙමත් නැත්නම් මගෙ යහළු යෙහෙළියො කෙළවරක් නැතුව මාව බලන්න ආව. කොළ කැඳ හදාගෙන, කෑම හදාගෙන, පලතුරු අරගෙන මාව බලන්න ආව. රෝහලට වගෙම ගෙදරටත් ආව. ඒ අයට අනේක වාරයක් ස්තුතියි. 

තවත් කාරණයක් කියන්න අමතක වුණා. මාව බලපු විශේෂඥ වෛද්‍යවරය සැත්කම කරන්න කියල පැවරුවෙ වෙනත් ශල්‍ය වෛද්‍යවරයෙකුට. ඔහු මුල්වරට මාව බලන්න ඇවිත් කිව්වා, "ඔයාගෙ නංගි කෙනෙක් මගෙ බැච් මේට් කෙනෙක්. එයාගේ හස්බන්ඩ් මගෙ රූම් මේට්. ඔයාව බලා ගන්න කියල මට අණ කළා. බය වෙන්න එපා." කියල මගෙ හිත සැනසුවා. ඒ නංගිගෙ නම ජයාදරී. එයා ඉන්නෙත් මම ඉන්න නිවාස සංකීර්ණයෙම තමයි.

නිවාස සංකීර්ණයක ඉන්න එකත් මොන තරම් වාසනාවක්ද කියල මට හිතුණා. දුවත්, දුවගෙ පවුලෙ උදවියත් ආපහු ඔවුන්ගෙ නිවාඩුව ඉවරවෙලා ගියාට පස්සෙ, මගෙ නැන්දම්ම දෙන්නෙක් මාව බලාගන්න ආවා, වරින් වර. ඒ වගෙම නිවාස සංකීර්ණයෙ අය මට උදේ, දවල්, හවස කෑම හදල එව්වා. හරිම කාරුණික උදවිය. මූණු පොතේ මුණ ගැහිල ගොඩ නගා ගත්තු යාළු මිත්‍ර කම් ප්‍රබල වෙලා දීපානි නංගිත්, අපේ නිවාස සංකීර්ණයට බැඳපු ප්‍රේමය අවසන් වුණේ, නිවාස සංකීර්ණයෙ මගෙ අසල් වැසියෙක් වීමෙන්. මූණු පොත නරකයි කියල පිටු දකින අයට එයින් බොහෝ යහපත් දේවල්ද සිද්ධ වෙන බව මතක් කර දිය යුතුයි. මූණු පොතේ ආනිශංස හා ආදීනව ගැන දවසක් කතා කරමු.

දැන් අසනීප තත්ත්වය අඩු නිසා බ්ලොග්කරණයට එක් වෙන්න හිතුවට කමක් නැහැ නේද? 

මගේ අනෙකුත් වැඩත් බ්ලොග්කරණයට අකුල් හෙළනවා. ඒ මම ආසාවෙන් කරන පුහුණු කිරීම් හා සමීක්ෂණ කටයුතු. සමාජ ක්‍රියාකාරිණියක් හැටියට වැඩ කරන කොට ලබන ආත්ම තෘප්තිය කියල නිම කරන්න බැහැ. ඒවා නිහඬව, සිත තෘප්තිමත් කරන්නම කරන වැඩ. කාන්තාවන් වගෙම තරුණ පරපුර දැනුවත් වෙලා, යහපත් ප්‍රතිඵල දකින කොට සමාජ මෙහෙවරක සැබෑ ස්වරූපය මේ නේද කියල සතුටු සුසුම් හෙළන වාර අනන්තයි.




7 ක් අදහස් දක්වලා.:

Buru Babe said...

great. welcome back akkandi. waiting eagerly ur writings

Tharurasi තරුරසී said...

අක්කණ්ඩි ආයෙම බ්ලොග් එක ලියන එක නම් අප්‍රමාණ සතුටක්...

Anonymous said...

නිරෝගි සුවය අහිමිව ගොස් තිබු බව අසන්නට ලැබීම අපට මහත් වු ශෝකයක් ගෙන ආවත් නැවත ප්‍රකෘතිමත් වන බැව් දැනගැනීම සතුටක්.
ඒවගෙම තෙරුවණ් ගුණ බෙලෙන් ඉක්මන් සුව ලැබේවා!!!

රසිකොලොජිස්ට් - Rasikologist said...

අසනීපෙන් සිටි බව දන්නේ දැනුයි.

දැන් සුව බව ඇසීමත් යළිත් බ්ලොග් ලියන්න යන බව දැන ගැනීමත් සතුටක්.

Aruna Perera said...

හැකි විගසින් රෝගි තත්වයන්ගෙන් මිදේවි යැයි සිතමින් බ්ලොගය ලිවීම ගැන සතුටු වෙමි.

කොච්චි මිරිස් said...

නිරෝගී සුවය ලැබේවා. බ්ලොග් ලියන්න ආපහු පැමිණීම ගැන සතුටුයි.

Anith kona said...

අදයි දුටුවේ. මට මතක් වුනේ අපේ දූ අක්ක ඇඳ උඩ ඉද්දී... ඇඟට පනින්නම හැදූ හැටි. අක්කත් එයාව වඩා ගන්න බැරිව දුකින් සිටි හැටි. අක්කාගේ ආත්ම ධයිර්‍යයට බොහෝ ඉහළයි !

Post a Comment