Thursday, October 1, 2009

සුළඟට ගසා ගෙන ගිය බෝ පත් සහ මනුස්ස කම

Thursday, October 1, 2009
 


පන්සලට යන්න මම සුදු ඔසරියක් ඇඳ ගත්තා. දැන් ඉස්සර වගෙ කන්නාඩිය ඉස්සරහ හුරතල් වෙන්නයි, මුකුළු කරන්නයි බැහැ. මම ඉන්නෙ වෙන කෙනෙකුගෙ කාමරයක නෙ. ඉක්මණට ඇඳ පැලඳ ගෙන කන්නාඩිය ලඟින් ඉවත් වෙනවා. එයා මම ඇඳුම් අඳින කොට කාමරෙන් එලියට යනවා. ඒ අර අප්පච්චි කිව්ව හැදිච්ච කම වෙන්නැති. එත කොට මට නං හිතෙන්නෙ මම පිට කෙනෙක් වගේ. එයාගෙ බිරිඳ නෙවෙයිද මම? එක අතකට ඒකත් හොඳයි. මමත් ඉතින් ලැජ්ජයි නෙ.
නන්දි ජාතික ඇඳුමට හරිම හැඩයි. මට දුකත් හිතුණා, එයා ගැන. මට එයාව තේරුම් ගන්න ටිකක් කල් යාවි. මම කොහෙදෝ කියවල තියනව ජීවිත කාලයක් එකම වහල යට හිටියත් තව කෙනෙකුව තේරුම් ගන්න බැහැ කියල. මම නන්දිගෙ හිත කියවන්න කොහොමද පටන් ගන්නෙ කියල මම හිතුවෙ අපි මධුසමය ගත කරන්න යනකොට.  
ඒත් ඒක නිරර්ථක වෑයමක් කියල මට හිතුණෙ කිසිම නිරීක්ෂණයක් නොකර එහෙම කරන එක අසාධාරණයි කියලා. ඒ හින්දා මම නිරීක්ෂණ කාලය දීර්ඝ කරන්න හිතුවා. ඊට පස්සෙ තමයි නිගමනයකට එන්න ඕනි.
නන්දිලගෙ ගෙදරට කන්ද උඩ පන්සලේ චෛත්‍යය පෙනෙනව පුංචි කොත් කැරැල්ලත් එක්ක. නන්දිලගෙ ගෙදර කිව්වෙ මට ඒක තවම අපේ ගෙදර කියල කියන්න තරම් කිට්ටුවන්ත නැති නිසා. මම අමුත්තෙක්, ආගන්තුකයෙක් වගෙ ඉන්න නිසයි, ඒගොල්ලොත් ඒ විදිහටම සලකන නිසයි, මට අපේ කියන ගතිය හිතට ආවෙ නැහැ තවම.
අපි සේරම දානෙ කළමනාත් අරගෙන යන්න පිටත් වුණා. ප්‍රේමවතිත් කුරුණි පෙට්ටියකට බෙදපු දානෙ හිස මත තියාගෙන බුද්ධාලම්බන ප්‍රීතිය මූණ පුරා විහිදුවාගෙන අපේ පස්සෙන්ම එනවා. කුරුණි පෙට්ටියට හිනා වෙන්න බැහැ, සුදු පිරුවටයකින් වහල නිසා. හිනා වුණත් අපට පෙනෙන්නෙ නැහැ නෙ.
ප්‍රේමවතීගෙ ලා නිල් මල් විසිරුවපු සුදු චීත්තෙ හුලඟට අකීකරු වෙලා දඟලනව. එක අතකින් වත් සීරු මාරු කරගන්නත් බැහැ, එක අතක් දානෙ පෙට්ටිය පරෙස්සම් කරනවා. අනික් අතේ පපඩම් දමපු මල්ල. මට ඒ පපඩම් මල්ල ඉල්ල ගන්න හිතුණත්, මම හිතන්නෙ නැහැ ඒකට නන්දිලගෙ පවුලෙ අය කැමති වේය කියල. කාලෙක ඉඳල තියෙන සිරිත් විරිත් මට වෙනස් කරන්න අමාරුයි, මුල් ඇදලා තියෙන්නෙ බොහොම ගැඹුරට.
අපේ ගෙදරට වඩා මෙහෙ පන්ති පරතරය වැඩියි. ප්‍රේමවතී ඇතුළු අනෙක් ගෙදර වැඩ වලට අත් උදව් කරන, එළවලු වතුවල, තේ වත්තෙ වැඩ කරන්න එන අයට කන්න බොන්න දෙන පිඟන් කෝප්ප අහුරල තියෙන්න වෙනම පිඟන් රාක්කයක. මට නම් තේරෙන්නෙ නැහැ, අපි කන බොන පිඟන් කෝප්පවල ඒ ගොල්ලො කෑවම වරදක් වෙන්නෙ කොහොමද කියලා. මැදල, හෝදල තිබ්බම ඉවර නෙ.
ප්‍රේමවතීලටත් ඒකෙ වෙනසක් පෙනෙන්නෙ නැහැ. දැනෙන්නෙත් නැහැ. පරම්පරාවලින් ඔලුවලට දමලද කොහෙද, 'උඹලා ඒ අප්පොලගෙ සදාකාලික බැල මෙහෙවර කරන අය' කියල. ඉටි ගෙඩිය.
මට ප්‍රේමවතී ගැන අමුතු ලෙන්ගතුකමක් දැනුණෙ, දෙවෙනි මගුලෙන් පස්සෙ මගෙ දිග කොන්ඩෙ අවුල් කඩා ගන්න බැරුව ඉන්න කොට එයා ඇවිත් මට රිදවන්නෙ නැතුව ඒ වැඩේ කරපු විදිහට. මම පිටිපස්සෙ මිදුලෙ පුංචි පුටුවක ඉන්දවල ගෙදර හින්දපු තෙල් ගාලා කොණ්ඩෙ පීරල ගැට කැඩුව. මට සනීපෙට නින්දත් ගියා. ඒ අතරෙ එයා මගෙන් ප්‍රශ්නත් ඇහුව. සැවැන්දරයි, උළුහාළුයි, අරූද කොළයි දමලා ගෙදර වත්තෙ මෝරපු රන් තැඹිලි වලින් ප්‍රේමවතීම තමයි ඒ තෙල් හින්දල තිබුණෙත්.
ඔය වගෙ පුංචි කාරණා හින්දා මට ප්‍රේමවතී ගැන අමුතු කරුණාවක් හිත පුරාම විසිරිලා ගියා. ඒකයි මට හිතුණෙ එයා ඉන්න තැනට ගිහින් පපඩම් මල්ල වත් අර ගෙන පොඩි පහේ උදව්වක් කරන්න. ඒත් ඒව වැඩි වැඩ කියල අක්කයි අම්මයි දොස් කියන්න ගත්තොත්...පණ්ඩිතකම් කරන්න යන්නෙ මොකටද?
මගෙ අතේ තියෙන මල් වට්ටියෙ සුවඳ අපේ ගමේ පන්සලට මාව කැන්දන් යනවා. ඉද්ද මලුයි, සමන් පිච්ච මලුයි එක්ක දහස් පෙතියා මල් රවුමට රවුමට පේලි විදිහට අහුරපු මල් වට්ටියට මම ඇස් දෙක යැව්වෙ, වීර කම් කරන්න එහෙ මෙහෙ දුවන දෑස ඒකෙන් නවත්තගන්න.
පන්සල ඈතින් පෙනුනට විනාඩි දහයක් විතර පයින් යන්න ඕනි. අඩි පාර දිගේ ගිහින් පඩි පෙළක් නැගල ඊට පස්සෙ ගල්තලාවක් පහු කරල ආයෙත් පුංචි පිය ගැට පෙළක්.  
දෙවැට දිගේ දොළත් එක්ක සමාන්තරව තියන අඩි පාරෙ ටික දුරක් යන කොට මගෙ කකුලක ඉදි කටු අනිනව වගෙ දැනුණා. මල් වට්ටිය එක අතකට අර ගෙන ඔසරිය ඉහළට කරලා මම කකුල දිහා බලුවා. මට ඉබේට කෑ ගැහුණා. කූඩැල්ලො ගොඩක් එල්ලිලා වගෙ මං දැක්කෙ. නන්දි පස්ස බැලුවා. එයාගෙ අතේ පිරිකර ටික. අක්කයි, අම්මයි අමුතු බැලුම් , අමුතු හැඟුම් ඇස්වලයි, මුහුණු වලයි සටහන් කර ගෙන අපහාසෙට මගෙ දිහා බලනව
. අනේ! අපේ ගමේ නං කූඩැල්ලො නැහැ....නන්දි පිරිකර ටික අම්ම අතට දීල බිමට නැමිල මගෙ කකුල අල්ලල කූඩැල්ලො අයින් කරන කල් මම මූණ බෙරි කර ගෙන හිටියා.
"ඔය මදුරුතලා කොළයක් කඩල උන්ව අයින් කරන්න"
එයා ගණනක් නැතුව කියනවා. ඔය මාව රැක බලා ගන්න හැටිද? මේ යකා නං ගොබිලෙක්ම තමයි, දෙයියනේ!
ප්‍රේමවති දුවගෙන එනවා. එයාගෙ පපුව පත්තුවෙල මට තියෙන සෙනෙහෙ කන්දරාවෙන්. අතේ තිබුණ දානෙ පෙට්ටිය අත් දෙක වන වනා යන ළමාතැනිට දුන්නෙ කිසිම බයක් හැකක් නැතුව. පපඩම් මල්ල වැඩියා, අක්කන්ඩිගෙ අතට.
" අනේ..සුදු මැණිකෙට පුරුදු නෑ නේ මේ යක්කුන්ව. ඉන්න, මම අයින් කරන්ට"    
ඒක නං ඇත්තම තමයි. මේ නං ‍යක්කුම තමයි. කූඩැල්ලො නෙවෙයි. නන්දි ඇතුළුව ඒ පවුලෙ උදවියයි, යක්කු. මනුස්සකම, ශ්‍රද්ධාව කියන්නෙ පන්සලට ගිහින් දානේ දෙන එක විතරක්ද? මල්, පහන් පූජා කරල බුදුන් වඳින එක විතරක්ද? නාමික, සෝබන බෞද්ධයො...මට නං හිතෙන්නෙ මේ ගොල්ලො කාඩ්බෝඩ් බෞද්ධයො කියලා.
ප්‍රතිපත්ති නැති, ආමිස පූජා විතරක් පුරන, කරන ජනප්‍රිය බුද්ධාගම් කාරයො. මේ ගොල්ලො වගෙ අය තමයි කියන්නෙ, බුදුහාමුදුරුවොත් සිංහල බෞද්ධ කියලා. උන් වහන්සෙගෙ ජාතකෙත් වෙනස් කරන්න හදනවා. එතකොට ඉන්දියානු ව්‍යාප්තවාදය අමතක වෙනවනෙ කට්ටියකට. මිහිඳු හාමුදුරුවො, සංඝමිත්තා මෙහෙණින් වහන්සෙ ආවෙත් ඉන්දියානු ව්‍යාප්තවාදය හේතු කොට ගෙනද? හැම දේම තමන්ගෙ වාසියට හරවගන්න දේශපාලුවො වගෙ.
බොරු ව්‍යාජ, ජාති මාමකත්වය....ජාත්‍යාලෙ නම් රෙද්ද පල්ලෙන් බේරෙනවා. ඒ වුණාට පවුලට කැන්දන් ආපු අලුත් දෝණියැන්දව කූඩැල්ලො කන කොට හිනා වෙනවා. ඔන්න අපේ අප්පච්චිලගෙ හැදිච්ච, නිවිච්ච දරුවගෙ පැටිකිරිය. තව හෙළි දරව් වෙන්නෙ නැතැයි කාගෙ කාගෙත් පැටිකිරියවල්. මානව භක්තිය උගන්වන්න මුන්ව ටියුෂන් පංති යවන්න වෙනව. නැත්නම් එන්. ජී.ඕ. එකකට කියවල වැඩ මුළුවක් කරවන්න වෙනව.
පංසල් යන්න කියල හිත හීලෑ කරගෙන, සාම්ප්‍රදායික, සිංහල, බෞද්ධ කුල කුමරියක් වගෙ ගමේ පංසලට ඉස්සෙල්ලම යන්න ආපු දවසෙ මට සමාජ විශ්ලේෂණත් කරන්න වුණා.
අනේ..! මට සමා වෙන්න බුදු පියාණනේ...! 
'කායෙන වාචා චිත්තේන..'
මගෙ හිත සමාව අයැදිනවා පසඟ පිහිටුවා වඳිමින්, සුදු වැලි අතුරපු බෝ මළුවෙ. 
ලේ ගලන මහපට ඇඟිලි කරුව අස්සට හුලංතලා කොළ අහුරක් හපල තියලා අත් බෙහෙතක් කළා, ප්‍රේමවතී. ඔන්න මනුස්සකම...! ගැමි කමත් එක්ක තවමත් නොසේදී තියෙන උතුම් මනුස්සකමට මම සිය දහස් වාරයක් හිස නැමුවා. මට ප්‍රේමවතීව බදාගෙන ඉඹින්න හිතුණා.
හැමෝටම කතා කරන්න අමතක වෙලා, මේ අහඹු සිද්ධිය හින්දා. වෙද හාමිනේගෙ වෙද කම ඉවර වෙලා දොළට බැහැලා අත් දෙකත් ධෝවනය කර ගෙනම ඇවිත් දානෙ පෙට්ටියයි, පපඩම් මල්ලයි අරගෙන මගෙ ලඟින්ම පියවර මනින්න ගත්තා. කකුල් අල්ලපු අත් වලින් පූජනීය දානේ පෙට්ටිය වඩම්මන්න නාකයි නෙ. ප්‍රේමවති මගෙ ළඟින්ම හිටියෙ හරියට ආරක්ෂාවට බ්‍රේක් යොදනව වගෙ.
ළමාතැනීවත්, අර කසාද බඳින්න අමතක වෙල ගෙදර ඉන්න අක්කණ්ඩිවත්, නන්දිවිසාල වත්....ඔන්න බලන්න, ඉබේටම....නන්දි මිත්‍රව මට නන්දිවිසාල වුණ හැටි. කට බොරු කිව්වත් දිව ඉඩ දෙන්නෙ නැහැ, බොරු...මුසාවාද කියන්න. ඒකට මට නම් දොස් කියන්න එපා. දෝෂාරෝපන සපුරා තහනම්.
පංසල පේන තෙක්මානයෙ, චෛත්‍යය විරාජමානව අහසට නැගිලා සුදෝ සුදට හිනා යායක් අස්වැද්දුවත්....අනේද කියන්නෙ? බෝමළුවෙ බෝධීන්නාන්සෙගෙ එක කොළයක් වත් නැහැ නෙ.....දසත විහිදුණු අතු පතර විතරයි. පිහිල්ලෙගෙදර නුගලියද්ද වලව්වෙ ඇත්තන්ගෙ හිත් වගෙ. කරුණාව, දයාව, සෙනෙහස, මෛත්‍රිය, උපේක්ෂාව, මුදිතාව වැනි සේරම යහ ගුණ වියැලිල බිමට වැටිලා. ආසාවට ඇහිඳ ගන්න මළුවට වැටිලත් නැහැ, එකම එකබෝ පතක් වත්. 
උඩු සුළඟට ගහ ගෙන ගිහින් අනන්තය දක්වාම. මට හිතෙන්නෙ මකර කටට යනකල් ගහ ගෙන යන්න ඇති. ළඟක පාතක තිබුණොත් ආපහු එන්න පුළුවන් නෙ.
ලොකු හාමුදුරුවො හාන්සි පුටුවෙ දිගා වෙලා පෙර මග බලාන ඉන්නව වළව්වෙ හාමුලා, අප්පොල, කුමාරිහාමිලා දානෙ ගේනකල්. 
"පොඩි තැන, මේ කට්ටියව දන් ගෙට එක්ක ගියා නං?" 
නන්දි පිරිකර ටික ලොකු උන්නාන්සෙ හිටිය බුරුත කවිච්චියෙ පැත්තකින් තියල වැඳ නමස්කාර කරනවා. මම බවලත් උදවිය එක්ක, පොඩි හාමුදුරුවන්ගෙ පස්සෙන් දන් ගෙට ඇදුනා. ප්‍රේමවතී දඩිබිඩි ගාල වැඩ. ඇබිත්තයො දෙන්නෙකුත් ඇවිත් පොඩි හාමුදුරුවන්ට උදව් කරනවා. පොඩි හාමුදුරුවො තවම උපසම්පදා වෙලා නැතුව ඇති.
මමත් මොනව හරි කරන්න උදව් වෙන්නම් කියල හිතන කොටම, නන්දිලගෙ අම්ම මට කතා කළා.  
"ප්‍රේමවතී ඒව කරන්නෙ නැතෑ...මලිති එන්න හාමුදුරුවන්ට කතා කරන්න."
'එසේය, මහ රැජිනිය' කියල මං හිතෙන් කියා ගෙන ඒ දෙන්නගෙ පස්සෙන් ඇදුණා. ඒ ගොල්ලොත් එක්කම ගිහින් නායක හාමුදුරුවන්ට දණ ගහල වැන්දා.
" නන්දිමිත්‍ර මහත්තයට හම්බ වෙලා තියෙන්නෙ ශ්‍රියා කාන්තාව වගෙ පින් පාට මැනිකෙ කෙනෙක්....හොඳා, හොඳා...අපේ ගමට හඳක් පායලා වගේ" 
නැන්දම්මගෙයි, නෑනන්ඩි ගෙයි මුහුණු වල නම් හීන් බෝවිටියා මලක් වත් පිපුණෙ නෑ. නන්දිගෙ මූණෙ නම් ලාවට රතු පාට හෙන්දිරික්ක මලක් පිපෙනව මම දැක්ක. ලාවට පිපිලා හෙමිහෙමින් රතු පාට වුණා. 
ඔන්න මගෙ කම්මුල් වලටත් ඒ රතු පාට හෙන්දිරික්ක මල් පැන ගෙන එනවා. දැන් මම තවරපු සුදු පියරුත් රෝස පාට වේවි. ලැජ්ජාවෙත් බැහැ. නන්දිගෙ මුහුණෙ එක මලයි..මගෙ කම්මුල් වලට රතු පාට හෙන්දිරික්කා මල් යායක්ම. කම්මුල් වල නවතින්නෙ නැතුව කන් පෙති වලටත් දුවනව. 
" මේ නෝනා රස්සාවක් කරනවලු නේද? විද්‍යා ගුරුවරියක්ලු නේ?"
" එහෙමයි, ස්වාමීන් වහන්ස"  
මගෙන් අහපු ප්‍රශ්නෙට උත්තර බඳින්නෙ නන්දි.
" මම ඉන්න තැනටම මාරුවක් හදා ගන්න ඉන්නෙ. මන්ත්‍රී තුමා කිව්ව කරල දෙන්නම් කියලා. දෙන්න දෙපොලෙ ඉඳල බැහැ නෙ."
නන්දි මහත්තයා එහෙම නම් මාව ළඟට ගන්නයි හදන්නෙ. එතකොට ළමා තැනීල දෙන්න නැහැ නේ...එතකොට බැරියෑ මුර කාවල් නැති....අපේම අපේම අපේ ලොවක තනි වෙන්න....
හිත ඇතුලෙ අරවින්ද කුසුම් යායක සුවඳ පිරෙනවා. මගෙ හිතේ තවමත් හීන ඉතුරු වෙලා තියෙනවා, නන්දිගෙන් උදුරගන්න පුළුවන්ය කියල හිතෙන සෙනෙහසක් වෙනුවෙන්.
දානෙ පිළි ගන්වන්න ගියහම තව හාමුදුරුවරුන් හතර නමක්ම වැඩල හිටියා, නායක හාමුදුරුවන්ටයි, පොඩි හාමුදුරුවන්ටයි අමතරව. පින් අනුමෝදනාවෙදි වළව්වෙ කට්ටියගෙ පුරාජේරුව තමයි, හාමුදුරුවො දේශනා කළේ බණ වලටත් වැඩියෙන්. නන්දිලාගෙ අප්පච්චිට පින් දෙන ගමන් එයා ගැනත් වර්ණනාවක් කළා.
අනේ! මට දකින්න බැරි වුණා නෙ ඒ ගොල්ලන්ගෙ අප්පච්චිව. එයා හිටියා නම් මට ආදරේ වෙයි. කමක් නැහැ, මට ප්‍රේමවතී ඉන්නෙ. ඒ මදෑ.
පන්සලේ පිය ගැට බැහැල එන ගමන් මට නැන්දම්ම කිව්වෙ, " මලිති මේ ගමේ හිටිය නම් දහම් පාසැලේ උගන්වන්න තිබුණ, ලොකු අක්ක තමයි ලොකු ටීචර්." කියල. 
ලොකු ටීචරුත් එතකොටම ගොළු මන්තරේ බින්දා.
" පන්සලට එනව නම් මීට පස්සෙ කකුල් වල සබන් ගාගෙන එන්ට. එතකොට කූඩැල්ලො එල්ලෙන්නෙ නැහැ."
"මේ සබන් කතන්දරේ මට කියන්න තිබුණ නේ කලින්. මම දන්නෙ කොහොමද, ඔය ක්‍රම සහ විධි."
හිත කඩා ගෙන පැන්නට හඬ කඩා ගෙන පැන්නෙ නැහැ, පිටතට. මොකද්ද හැබෑටම මගෙ ස්වායත්ත භාවයට හැංගෙන්න හිතුණෙ....?

11 ක් අදහස් දක්වලා.:

Il mondo di una povera pazza said...

මම හිතන්නේ මම මුලින්ම සමාව ඉල්ලගන්න ඔනේ. මේ තරම් වටින බ්ලොග් එකක් වෙනුවෙන් වචනයක් වත් නොලීව එකට..
කොහෙද කම්මැලි කමට යුනිකොඩ් ට්‍රාන්ස්ලේට් කරන්න මම මුකුත් නොලීවෙ ඔන්න. මේ වගෙ තැනක සින්ග්ලිස් ලියල බොර කරන එක හොද මදි හින්දා..
ඒත් ගමත් එක්ක හැදුන අපේ ජීවිත වලට රාම් ආපසු ගමනක් අපිව ගෙනියනවා වගේ..ඒක හරිම සුන්දරයි. මේ වෙද්දි මම අපේ නායක හාමුදුරුවො, ගමේ පන්සල, අපෙ ගෙදර ඉදන් පන්සලට යන අඩි පාරෙ මතක වලයි ඉන්නේ...ආහ් ඇයි ඒ පාරෙ කූඩෙල්ලො...
මම හිතන්නෙ ගමක් එක්ක හැදුන අපිට වගේම නගරේ හැදුන ඔයාලත් ගමට එක්කන් යනව පුලිනතලාව... මම හැමදාම උදේට ඇවිත් ඒක අලුත් වෙලාද බලන්නේ ඒක හින්දා වෙන්න ඇති....

ඉස්සරහටත් මේ වගේම ලියයි කියල බලාගෙන ඉන්නවා ඔන්න මම....

nidhahasa said...

ගොඩ දවසක්න තිස්සෙ ප්‍රතිචාරයක් දක්වන්න හිතා ගෙන හිටියත් නොයෙක් හේතු නිසා බැරි වුනා. මුලින්ම ඒකට සමාව අයදින්න ඕනේ.

කාරණා 2 ක් තියෙනවා කියන්න

1. මට දැන් පැටලිලා තියෙන්නෙ මේ ඇත්ත කතාවක් ද , එහෙමත් නැත්තම් ගොතපු කතාවක් ද කියල. මොනව වුනත් රසවත් භාවය නම් උපරිමයි. මං මේ දවස් වල කියවන ප්‍රියතම බ්ලොග් එක තමයි මේක.

2. මේක පොඩි අතුරු කතන්දරයක්. කියල දාන්නම ඕන කියල හිතුනා. ළඟදි දවසක මම ගියා හවස් වරුවක පුංචි බොරැල්ලෙ විජේසූරිය පොත් සාප්පුවට. පොත් තෝරන අතරෙ විජේසූරිය මහත්තයගෙ බිරින්දෑ ඉඳල මාත් එක්ක කතාවට වැටුනා. අපි සාහිත්‍ය, පොත පත ගැන ගොඩක් දේවල් කතා කර කර හිටියා. ඒ අතරෙ මම කිව්වා දැනට ලංකාවේ ලේඛකයන්ගෙ නිර්මාණ වලට වඩා ලේඛිකාවන්ගේ නිර්මාණ තමයි මම වැඩියෙන්ම ආසාවෙන්ම රස විඳින්නෙ කියල. (ඔය අස්සෙ සුනේත්‍රා ගැනත් කතා වුනා :P) මගේ කතාවට එතුමිය දුන්නා අපූරු උත්තරයක්.

"අපේ ලේඛිකාවන්ගෙ නිර්මාණ හරිම අව්‍යාජ්‍යයි, අවංකයි. ඒ වගේ නෙවේයි ලේඛකයන්ගෙ නිර්මාණ. ඒ අයගෙ හිත් වල තියෙන කුහක කම් එයාලගෙ නිර්මාණ හරහා එළි දකිනව"

ඉතින් ඔය කතාව එක්ක මට මතක් වුනා ඔයාගෙ බ්ලොග් එක. මොකද මම මේ තරම් මේ බ්ලොග් එකට ආස කරන්නෙ ඔයා ලියන විදිහෙ තියෙන අව්‍යාජ භාවය හින්දා තමයි.

තව ලියන්න. කියවන්න ආසාවෙන් ඉන්නවා.

මනෝ( TMG) said...

Thanks for uploading this to brunch as u promised :) i withdraw from a big meeting by pretending an important phone calle (hiiiii tikiri mole) and came near to laptp to read it :) 15 minist out from the meeting and 2 agnda items gone :) no problem :):)

රංග ප්‍රභාත් ජයසිංහ said...

අක්කන්ඩියෙ නුඹෙ නිර්මාණ නුඹ වාගේ හරි හැඩ කාරයි,
දහස් පෙතිය මලක් පිපුන සේ නුඹ හරි සිරියාවයි,
නුඹට වගෙම නුඹෙ නිර්මාණ වලටත් එකසේ මම හරි ආසයි,
අක්කණ්ඩියෙ නුඹට "තිසරණ සරණ"! පතනව මේ මල්ලියා එය ඒකාන්තයි.

මිගාර said...

අපූරුයි. කතාව ඉවරද, (එහෙම නම් හිතන්න දෙයක් ඉතුරු කරලා තියෙනවා), එහෙම නැත්නම් තව දුරට යනවද කියල හිතා ගන්න බැරුව ඉන්නේ. කොහොම උණත් මේ වෑයම‍ට තුති.

@ nidhahasa
"ඒ අයගෙ හිත් වල තියෙන කුහක කම් එයාලගෙ නිර්මාණ හරහා එළි දකිනව"

ඒක අපි හොදටම දැක්කා බෝදිනී ගේ කතා වලට කල හරිය දැක්කම. මට දුක ඒ අයම සිල් ගත්තා වාගේ ඇවිත් කොමෙන්ට්ස් දමන එක ගැන

අක්කණ්ඩි said...

ලේබල් අතරෙ මම දැම්මනේ, මේක කෙටි නව කතාවක් කියලා. ඉතින් දැන් කොටස් වශයෙන් පළවන නව කතාවක් හැටියට මේ කතාව සයිබර් අවකාශයට එකතු කරන්නයි, මම හිතුවෙ.
තවම කතාව ඉවර නැහැ...
ප්‍රතිචාර දක් වන හැම දෙනාටම ස්තුතියි. ඒව මට ශක්තිය, ධෛර්යය සපයනවා.
කණගාටුවෙන් වුණත් මට අපේ නංගිල මල්ලිලාට කියන්න දෙයක් තියෙනව. අපි කලා කාරයො, ලේඛකයො, කවි කිවිඳියො හැටියට අනුන්ට ඇනුම පද කියන, ගර්හා කරන, කොටින්ම් කපන, රිද්ද්න ගති සිරිත් අකා මකා දමන්න බැරිද ඔය ගොල්ලන්ගෙ සිත් වලින්. හැමෝටම නෙවෙයි..මම කියන්නෙ. සමහර බ්ලොග් කියවන කොට, ඒවට ලියල තියෙන ප්‍රතිචාර කියවන කොට මට දැනෙන්නෙ..ඉරිසියාව, කුහකකම වර්ධනය වෙලා කියල. පිටතින් පිරුවට දමාගෙන හිටියට ඇතුලෙ දුර්ගුණ විනිවිද පෙනෙනවා.
සයිබරය එකම වහලක් නම් අපි එහි ඉන්න එකම පවුලක් නම් හැමොගෙම අදහස් ගරු කරමින්, අගය කරමින් ඉස්සරහට යමු.

එක එක අයට තියෙන හැකියාවන් විවිධයි. ඒ වගෙම එක එක මට්ටම් වලින් තියෙන්නෙ. ඒවා වගා දිගා කරගන්න් සහයෝගය දෙමු, අලුතින් පීදෙන දළු කොළ බිමට කපා හෙලා දමන්නෙ නැතුව.
එතකොටයි, ඔය ගොල්ලො හැමෝම අහසෙ තරු වගෙ ලස්සණට දිදුලන්නෙ.
අපි සේරම ආදරෙන් ඉඳිමු.

LazyOwl said...

නන්දිවිසාල! හී, හී. මටත් නන්දියා ගෑන හිතුනෙ ඕකම තමා.

අපේ පිරිමි කට්ටියගෙ බ්ලොග් කෙරුවාව ගෑන කියන්න තියෙන්නෙ, කොතරම් අන්තගාමී ලෙස පෙනුනත්, මේ අන්ත දෙකේම කට්ටිය ඉන්න එක හොඳ දෙයක් විදිහටයි මම නං දකින්නෙ. එතකොටයි අපට, මධ්‍යම ප්‍රතිපදාවෙන් හරි වෑරදි තෝරා බේරා ගන්න පුලුවන් වෙන්නෙ.

ධනික | Dhanika said...

හරි ලස්සනයි අක්කෙ කතාව ලියලා තියෙන විදිය... දිගටම ලියන්න.. ආසාවෙන් බලාගෙන ඉන්නවා ඉතුරු ටිකත් කියවන්න...

Kusal Perera said...

මෙම වියමනෙහි මම වෙනසක් දිකිමි. අපේ ගම මාර්ටින් වික්රමසිංහයන් විසින් අති සුන්දරත්වයට (romanticised) නගා තියෙන නිසා සාමාන්‍යයෙන් කතා නොවන ගමේ විත්ති ටිකක් මේකෙන් හෙළි කෙරෙනවා. ගමේ ඇති කුහකත්වය - ඉරිසියාව - වං‍සෙ කබල් ගෑම - ඒ කියන්නේ හිස් මහන්තත්ත්වය - වගේ දේවල් අපි අපේ සිංහල-බොදු හැදියාව ඇතුලේ ගමේ සාමාන්‍ය සංස්කෘතියට ඇතුලු කර දකි‍න්නට කැමැත්තක් නැත. නමුත් එය මෙහි සාමාන්‍ය මනුෂ්‍ය පවැත්මෙහි තවත් පැතිකඩක් ලෙස ප්රේමවතී ගේ අහිංසක මනුස්සකම සමග පන්සල් ගමනට ම එකතු කිරීම විශේෂයක් යැයි සිතමි.
එය අනවශ්‍ය ලෙස උලුප්පා නොතිබීමත් වැදගති. තව ලිවීම තව කතා කිරීමට උත්තේජකයක් වනු ඇතැයි සිතමි.

Prabath said...

මේ කතාව එන්න එන්නම රසවත් වෙනවා. අක්කණ්ඩි ඔබට සුභ පැතුම්...

sereneworld said...

දිගටම ලියන්න අක්කණ්ඩි වෙලාව ලැබුනු වහාම කියවන්න බැරි උන කොටස් සේරම එක හුස්මට ඕං කියෙව්වා. මිගාර වගේම ඔයා කීව එකටත් මම එකඟයි. නිර්මාණශීලීත්වය එක්ක කෝන්තර ඇතිකරගන්න නරකයි.කෙනෙක්ගේ ඒ හැකියාවට ගරු කරන්න ඕනේ. ඔයා කියන කතාව හරි අක්කණ්ඩි

Post a Comment