Sunday, February 6, 2011

මිලිටරි පුහුණුව

Sunday, February 6, 2011
                   
 

                                කලකට පස්සෙ වෙලකට බැස්සා වගෙයි මට හිතෙන්නෙ බ්ලොග් අඩවියට ගොඩ වුණහම. මාස ගණනාවක් සිංහල අකුරු අහේනියකින් පෙළුණා. මට දැනුණෙ විටමින් ඌණතාවයකට ගොදුරු වෙල හිටියා වගෙ. දකුණු සුඩානයෙ මන්ද පෝෂණයෙන් පෙළෙන උදවිය වගෙ ලියන කාර්යයෙන් මන්ද පෝෂණය හැදිල මටත්. ඒ තරමට පස්සට ගිහින් වගෙ මගෙ ලියන හැකියාව. ලියන්නෙත් නැතුව, බ්ලොග් කියවන්නෙත් නැතුව හාමත් වෙලා හොඳටෝම. ඉඳහිට වතුර පොදක් ලැබුණෙ ටැග් කර එවන කවි වලින්.
  උතුරු සුඩානයෙ සති දෙකක් ගත කරන කොට වෙන මිෂනයන්ගෙ වගෙම පුරුදු පුහුණු සාමාන්‍ය බව
ක් දැනුණා මිසක වෙනසක් දැනුණෙ නැහැ. කිසි දෙයකින් අඩුවක් තිබුනෙ නැහැ, වියදම නම් වෙන රට වලට වඩා අධික වුණත්.
    මගෙ කල්‍යාණ මිතුරියක් වන දර්ශනා එහෙට ගිහින් වසර පහක් පිරෙන කොට තම 
මට එහෙට යන්න අවස්ථාව ලැබුණෙ. සුඩානයෙ අගනුවර කාර්ටුම් නුවර ඇය සිටි නිසා නවාතැන් ප්‍රශ්නයක් මට මතු වුණෙ නැහැ.ඇය නොහිටියානම් මට වෙන්නෙ අපේ කණ්ඩායමේ අනෙක් කාන්තා පක්ෂය එක්ක නේවාසිකාගාරයෙ නත වෙන්නයි. කොහොමින් හරි අපි දෙන්නා කාලෙකට පස්සෙ මුණ ගැහුණ නිසා දෙන්නත් එක්ක එක එක කෑම ජාති අලුත් ආකාරයට හදමින්, චිත්‍රපටි බලමින්, අතීත කතා එනම් පුරාණෝක්ති ඔස්සේ සැරිසරමින් කාලය ගත කරද්දී ඒ දවස් දහය පියඹා ගියෙ හරිම වේගයකින්.
   ඊට පස්සෙ අපිට යන්න තිබුනෙ දකුණු සුඩානයේ අගනුවර වන ජුබා වලට. එහෙ තව දවස් ද
යක පුහුණුවක්....ආයතනයේ ගුවන් යානයෙන් ජුබා වලට ගොඩ බැස්සම මට දැනුණෙ දෙව්ලොවින් නිරයට ආව වගෙ. උතුරෙ අසිරියත්, දකුණෙ නොදියුණු කමත් අදගන්න බැරි තරම්. එකම රටක මේ තරම් වෙනසක්?
   දකුණෙ සමහර ප්‍රදේශ වල තවමත් එඬේර යුගය කිව්වොත් නිවැරදියි. ඒ කතා පස්සෙ කියන්නම්කො. මුලින්ම මට කියන්න හිතුණෙ ජුබා වල ආරක්ෂක මිලිටරි පුහුණු වීම් වලදි ලබපු අත්දැකීමක්, මම විතරක් නෙවෙයි....මගෙත් එක්ක වෙන රටවලින් පැමිණි අය සමගයි, මේ අපූරු අත්
දැකීම ලබා ගන්න හැකි වුණෙ.
මේ රටේ ජමතාවට ජනමතවිචාරනය පිළිබඳව ප්‍රජා අධ්‍යාපනය ලබා දීම වගෙම මැතිවරණ කටයුතු සඳහා චන්ද පොලවල් වල වැඩ කරන දේශීය නිලධාරීන් පුහුණු කිරීමේ කාර්ය තම
යි, අපට පැවරී තිබුණෙ.

            අපේ කණ්ඩායමේ දහ අට දෙනෙක් හිටිය, ලෝකෙ විවිධ රට වලින්. වැඩියෙන්ම හිටියෙ උගන්ඩාවෙ අය. අසල් වැසි රට නිසාත් ඔවුන්ට බාශාව කත කරන්න පිළිවන් වීමත් එයට හේතු සාධක වෙන්න ඇති කියල මට හිතුණා.

                  විවිධාකාර පුහුණුවීම් අතරෙදි අපට වෙඩි නොවදින කබායක් සහ හෙල්මට් එකකුත් දුන්න; වාහනයේ යන අතර විශේෂයෙන් ඇඟ ලාගෙන යා යුතුමයි කියල. ඒ නිල් පාට වෙඩි නොවදින කබාය විතරක් කිලෝ 22 ක් බරයි.

          අර මිලිට පුහුණුවට එන දවසෙ ඒ කබාය ඇඳගෙන හිස් වැස්ම දාගෙන පැමිණිය යුතු බවත් කිව්
. උදේ තිබුණෙ න්‍යායික පංති. හවස තමයි, ප්‍රායෝගික පුහුණු .
     ප්‍රායෝගික පුහුණුවෙදි අර කිලෝ විස්සෙ වෙඩි නොවඩින කබාය ඇඳගෙන ඉන්නෙ කොහොමද කියලා මම කලින් දවසෙ රෑ බොහෝ වෙලාවක් කල්පනා කළා. මම 'සම්‍යක් ප්‍රයෝග' පාවිච්චි කරන්න ගජ හපනෙක්. ඉතින් මෙ උගුලෙන් ගැලවෙන 'සම්‍යක් ප්‍රයෝගය' ඔන්න මගෙ ඔලුවට ආව. ඔය කබාය ඇතුලෙ පපුව, බඩවැල් සහ පිට ආවරණය වෙන විදිහට අඟල් තුන් කලක් විතර ඝණකමින් යුතු වර්ග අඩියක විතර කිලො විස්සක් බර පිඟන් ගඩොල් දෙකක් වගෙ කෑලි දෙකක් තියෙනව. මම කාටත් නොපෙනෙන්න
ගල් තහඩු දෙක ඉවත් කළා. පුහුණුවක් නිසා ඇත්තටම වෙඩි තැබීම් සිද්වෙන්නෙ නැහැ නෙ. ඒක මම කළෙ පන්ති කාමරය ඇතුලෙදිමයි. කෑම විවේකයට අනෙක් අය එළියට යන කල් ඉඳලයි එහෙම කළෙ. ඔන්න හැමෝම සූදානම් වෙනව කෑමෙන් පස්සෙ ඇවිත්. බංගලා දේශයෙ ඉහළ තනතුරක සිටින හමුදා නිලධාරියෙකුත් කෙන්යාවෙ ඉහළ හමුදා නිලධාරිනියකුත් තමයි ප්‍රධාන පුහුණු කරුවන්. කාර්ටුම් නුවරදි සමහර අයට මේ පුහුණුව ලැබුණාත් කාල වේලාව ඳ කම නිසා අපිට එහෙදි එම පුහුණුව ලැබුණෙ නැහ. ඒත් මම දැක්ක එම පුහුණුවට ගිය අය මොනතරම් දුෂ්කරතාවයන්ට මුහුණ දුන්නද කියන එක. " දිස් ඉස් රියලි ටෆ්" කියලයි ඔවුන් කිව්වෙ. මේ පුහුණුවෙන් මිදෙන්න මොනතරම් උප්පර වැට්ටි දැම්මත් හරි ගියෙ නැහැ.
   ඇෆ්ගනිස්තානයෙ වැඩ කරන කාලෙ නැවතිල හිටිය ගෙස්ට් හවුස් එකෙ තරප්පු පේලියෙන් වැටිල වම් අත කැඩිල වෙච්ච ඇබැද්දිය නිසා මේ පුහුණුවෙන් තවත් අලකල්ංචියක පැටලේවිද කියලත් හිතුණා. කැඩිච්ච අත ගැන කල් ඇතුව පුහුණු කරුවන්ට කියල තියන එක හොඳයි කියල මම දහවල් ආහාරයෙන් පස්සෙ පංතිය පටන් ගන්න පෙර ඒ බව දැනුම් දුන්නා. මේ දෙන්නට සහය වෙන්න තවත් පුහුණුකරු
වෙක් ආවා. ඔහු උගන්ඩාවෙ ත්‍රස්තවාදී කණ්ඩායමේ නයකයෙක්ව හිටි කෙනෙක්. මගෙ අම්මේ..එයව දැක්කම ඇඟේ ලේ වතුර වෙන තරමට මරුමූස් පාටයි. කට කැපිල, ඇද වෙලා, එක කම්මුලකින් කෑල්ලක් ඇත්තෙම නැහැ. නළලෙත් ලොකු කැපුම පහරක් වගෙ. බෝම්බයකට අහුවෙච්ච කතාවක් තමයි ඔහු කිව්වෙ.
    ඔහු තමයි අපේ ප්‍රායෝගික පුහුණුව විස්තර කළේ. අපේ සංවිධානයෙන් බෙහෙත් ද්‍රව්‍ය අරගෙන ගම් දෙකක් එහායින් තියෙන වසංගතයක් පැතිරී යන ගමකට යාමයි, අපේ ඉලක්කය. ගම් දෙක පහු කරද්දී එ ගම්වල ඉන්න ගෝත්‍රික ජන කොටස් අපේ වාහන දෙක නවත්වල අපිට අවහිර, කරදර කළ හැකි බවත්, ඉන් මිදී අරමුණ සපල කරගන්නේ කෙසේද කියලත්, ජීවිතය රැකගන්නෙ කොහොමද කියන එකත් තමයි අපි ඔප්පු කර පෙන්විය යුත්තෙ.
        පිරිමි තුන් දෙනෙක් සහ කාන්තවක් එක වාහනෙකට වැටෙන පරිදි කණ්ඩායම් දෙක බෙදුවයි කියමුකො. කලින් කණ්ඩායම පිටත් වුණා.
පැය  අපේ වාරය. මගෙ නම් ඇත්තටම හ
ර් ස්ඵන්දනය වැ වුණා. ඔය අතරෙ මට හීන් සතුටකුත් දනුණා, ලංකාවෙ මම විතරයි, අර කිලො විස්සෙ බර නැතුව කබාය විතරක් ඇඳගෙන සැහල්ලුවෙන් හිටියෙ. ගුරුන්ටත් හොය ගන්න බැරි වුණා. කට්ටිය යන්න ඉස්සර කබා, තොප්පි දමා ගෙන පින්තූර එහෙමත් ගත්ත, මමත් ඇතුළුව. මොකද ප්‍රායෝගික වැඩසටහනට කමරා අර ගෙන යන්න අවසර නැති නිසා.
  ඔන්න අපේ වාරය. ප්‍රථමාධාර පෙට්ටි, ව
තුර, කෑම ආදී මෙකී නොකී සියලු දේවල් පරීක්ෂා කරල මූලස්ථානයට දැනුම් දීම කෙරුණා. ඩිග්...ඩිග්...ඩිග්..මගෙ පපුව. අනෙක් අයටත් එහෙමඩ කිඅයල පපුවට කණ තියල බලන්නයැ? මුහුණු වලින් එක්සයිට්මන්ට් එක පෙනුණා.මම ඉන්න රථයෙ ඇමෙරිකාවෙ කෙනෙකුයි, උගන්ඩාවෙ කෙනෙකුයි, රුමේනියාවෙ කෙනෙකුයි, මමයි. මම ඉකමනට පිටි පස්සට පැන ගත්තෙ, පිටිපස්සෙ දොරක් නැති නිස එක පාරටම එලියට ඇදලා ගන්න බැහැ නේද කියල හිතුන නිසා. අපි එකිනෙක මුහුනෙන් මුහුණ බලමින් ගමන පිටත් වුණ. අපට පාවිච්චි කරන්න කිව්වෙ වී.එච්.එෆ්. රේඩියෝවෙ 4 වැනි චැනලය. අපිට කලින් ගිය කණ්ඩායමට පාවිච්චි කරන්න කිව්වෙ 5 වැනි චැනලය. මම මගෙ අතේ තිබුණු රේඩියොවෙ චැනලය 5ට මාරු කළේ අපිට කලින් ගිය කට්ටියරට මොකද්ද වෙන්නෙ කියල දැනගන්න. "ඇම්බුෂ්", "කිඩ්නැපිං" යන වචන ඇහෙද්දි මම අනෙක් අයට කිව්ව, " මේ වගෙ දේවලට සූදානම් වෙමු" කියලා. පුහුණු කරුවන් දෙන්න අපට කිව්ව, එතැනදි ඔවුන් සතුරු කණ්ඩායම් විදිහටයි රඟ පාන්නෙ කියලා. අහිතක් හිතන්නත් එප කියලා.
     ඔන්න අපි ගමනෙ පැය කාලක් විතර යන කොට දුරින් පෙනෙනව, මීටර් 3ක් විතර දිග රිටි තියාගෙන පස් හය දෙනෙක් පාර හරස් කර ගෙන ඉන්නවා. ඔවුන් සේරම මහම මහ මරු මූස් පටටමයි පෙනුණෙ. අපි මූලස්ථනයට දන්ය්ම දුන්නා. ග්‍රවුන්ඩ් සිටුවෂන් එකට අනුව වැඩ කරන්න කියල උපදෙස් ලැබුණා. ඔවුන් කෑගහනවා. ඉංග්‍රීසියෙනුයි, ගොත්‍රික හාෂා වලිනුයි.
රිය පැදවූ අපෙ මිතුරන් දෙන්නා අත් ඔසවගෙන පැත්තකට අර ගෙන ගියා. ඊට පස්සෙ අපි.
 " බහිනව කාරෙකෙන් එලියට"
අපි අත් උස්සගෙන බැස්සා. "යමල්ලා පේලියට" මුංගෙ මූණු වල හිනා කලඳක් නැහැ. අපේ අනික් කණ්ඩායමෙ උගන්ඩාවෙ නගිට හිනාව පිපිරෙන්න යන්වා. එතකොටම අර සතුරු කණ්ඩායමේ කාන්තව ඇගේ ඇඟට කඩා පැන්නා. " මොකද විරිත්තන්නෙ. සෙල්ලමක් කියල හිතුවද? උඹලට අද යන්න දෙන්නෙ නැහැ. මල කඳන් ටික තමයි වාහනේ දමල යවන්නෙ, මහ ඇත්තො ලඟට"
  අත් උස්සගෙන ඉන්න අපිව එහාට මෙහාට අවිද්දවල පස්සෙ වැලි ගොඩේ දණ ගස්සුවා. වෙනදට අඳින කුර්තා කමීසය වෙනුවට ටී ෂර්ට් එකක් 
ගොරෝසු ඩෙනිමක් ඇඳල සූදානමෙන් ගිය එක හොඳට හිටියා. උෂ්නත්වය සෙල්සියෂ් 44 විතර. අර ගිනියම් අව්වෙ අත් උස්සගෙන දන ගහගෙන තව කොච්චර වෙල ඉන්නද? මගෙ කැඩිච්ච ව්ම් අත පුපුරු ගහමින් වේදනාව උහුලන්න බැරි තරමට වැඩි වෙනවා. ඇස් අග්ගිහට එක් වෙච්ච කඳුළු තවත් එහෙම ඉන්න බැරුව කම්මුල් වලට පනිනවා. කටහා කරන්න කියල දාපු කෙනා නෙගොෂියේට් කරන්නැතුව ගල් ගිලල වගෙ බලා ඉන්නව. ඔනි බතලවත්තකින් යන්න කියල මම කතා කළා, අර බවලතාට. 

       " ඔයත් අම්ම කෙනෙක්, මමත් අම්ම කෙනෙක්. ඇයි අපිට වද දෙන්නෙ? අපි අර වසංගතය පැතිරී යන ගමට බෙහෙත් අර ගෙන යන ගමන්. අපිට කරුණාකරල යන්න දෙන්න." 
       ඇය මගෙ ඇස්වල කඳුළු දැක්කෙ එත කොට. ඇයට මම මගෙ අත් පෙන්නල ඉඟි කළා, එය කැක්කුම බවත් සැනෙකින්.
  "උඹ නැගිටපන් ගෑණියෙ,  අත් දෙක පහලට" ඇය මට අණ කළා. 

" අනික් අය හෙල්ලෙන්නෙ නැහැ. හිටපල්ල ඔහොමම. හෙල්ලුනොත් උඹලගෙ නායකයව මරනව, දෙකක් නහැ."

            මට දැනුණ සැහල්ලුව වචනවලින් කියන්න බැරි තරම්. මම ඇයට ස්තූතිය පළ කළා,  බ
යාදු ආකාරයට.අයෙත් මම කරුණු පැහැදිලි කරන්න පටන් ගත්ත. අනික් කණ්ඩායමේ හිටි ඉන්දියන් සහෝදරයා කියනවා කතා කරන්න එපා  කියලා. ඒ තරමට ඔහු බය වෙලා. මම දිගටම කතා කලා. 
                  " ඔය ගොල්ලන්ගෙ ගමට කෑම සහ ආධාර අර ගෙන ලොකු වාහන දෙකක් මග එනව අපි දැක්කා. ඒ වාහන ඉක්මනටම ඒවි. අපිට කරුණාකරල යන්න අරින්න" කියල. 
ඔය උඹලගෙ බයිල අහල අපිට හොඳට පුරුදුයි. මගෙ දරුව පෙරේද මැරුණා, මැලේරියාවෙන්. මොනවද උඹල කලේ? උඹලට පුල්ලුවන්ද මගෙ දරුවව මට ගෙනත් දෙන්ඩ? ඔය බෙහෙත් අපිට දීපල්ල."
" ඔහේගෙ දරුව ගැන අපිට කණගාටුයි, එ වගෙම තවත් දරුවො සිය ගනනක් මැරෙනවට අම්ම කෙනෙක් හැටියට ඔයා කැමතිඩ? ඒ දරුවන්ව අපිට බේරගන්න පුලුවන් මේ බෙහෙත් අර ගෙන ගියොත්. ඒ හමෝම මේ රටේ දරුවො..මේ රටේ අනාගතය. කරුණාකරල ප්‍රශ්නෙ තේරුම් ගන්න උත්සාහ ගන්න"
මගෙ වචන වැඩ කළා.
" මේ අම්මගෙ කීමට ගරු කරල උඹලට අපි යන්න දෙනව. දුවපියව් වාහනේට!"
වැස්සක් වැහැල පෑව්ව වගෙ. ඔන්න ඉතින් කරදරය ගැන මූලස්ථානයට දැනුම් දීල අයෙත් යන්න පටන් ගත්තා.
ලැබුණු අත් දැකීම ගැන කතා කරමින් හිනාවෙමින් විනාඩි දහ්යක් වත් යන්න ලැබුණෙ නැහ. ඔන්න අවි ආයුධ ගත්තු, කලු වෙස් මුහුණු දමාගත්තු ත්‍රස්ත්වාදී කණ්ඩායමක් ඉදිරියෙන්. මුන් ටික අරුන්ට වඩා ගොඩක් දරුණු පාටයි. මම හිතුවා අපෙ පුහුණු කරුවන් දෙන්නා එතැන ඇති කියල මගෙ ගැලවිල්ලට. ඒ දෙන්න පෙනෙන්න නැහැ. අර මම මුලින් සඳහන් කළ, උගන්ඩාවෙ ත්‍රස්ත්වාදී නායකයා නම් එතන හිටියා.
" බැහැපල්ල වාහනවලින්" අහස ගුගුරනව වගෙ.
වාහනවලින් පැන ගත්ත අපි. අනික් කන්ඩායමෙ නන්ගිව කැලේට ඇඩ්ගගෙන ගිය, කලු රෙදි කඩකින් ඇස් බැඳල. හැමෝගෙම ඇස් කලු රෙදි වලින් බැඳ දමනව. අර නායකය මගෙ ලන්ගට එනව. " මගෙ මේ අතේ අමාරුවක් තියෙනව. මම ඒ බව ලොක්කට කිව්ව. මාව නම් බිමට තල්ලු කරන්න එප" මම ඔහුට කිව්ව.
" මොකක් කිව්වෙ. උඹව අපි අරන් යනව. නැගපන් අර වාහනේට. උඹව තමයි අපි පැහැරගෙන යන්නෙ ප්‍රාන ඇපයට" ඔහු මාව තල්ලු කර ගෙන ගිහින් වාහනේකට දමල දොර වහුවා. හැබැයි මගෙ ඇස් දෙක ආවරනය කළේ නැහැ. මෙන්නෙ බොලේ ඒ වාහනේ ඇතුලෙ කලින් අපිට තරවටු කල, නායිකාව සහ නායකයා.
ඔවුන් මට බැගැපත් වෙනවා." අනේ, මඩම්, අපිට සමාවෙන්න. ඔයාට සැර කරද්දි අපිට දුක හිතුණ. මම ඔයගෙ ඇස් වල කඳුළු දැක්කම තම්යි නැගිටින්න කිව්වෙ."
" ආ..ඒකට කමක් නැහැ.ඔය දෙන්නම ලස්සනට රඟ පෑවා. අපිට
දැනුණෙ ඇත්තටම වගෙ. සුබ පැතුම්!"
" අපි සුඩාන් පොලිසියෙ වැඩ කරන්නෙ. මැඩම්ල අපේ රටට ඩ කරන්න ආපු එකට ස්තුතියි. මැඩම් ඉන්දියාවෙන්ද"
"නැහැ, මම ලංකාවෙ...." ඔය විදිහට ආගිය කතා ඊට පස්සෙ එහාට මෙහාට මාරුවෙද්දී මම ඉදිරි කණ්ණාඩියෙන් බලා හිටියා මොනවද වෙන්නෙ කියලා. හැමෝවම  බිම පෙරලලා පරීක්ෂා කරනවා. මුදල් පසුම්බි, රත්තරන් බඩු ගලවගන්නව. හැමොගෙම ඇස් බැඳලා. සර්පයො ඉන්නව කියල කියපු කැලෑව නේද මේ? මාව වාහනෙට දැම්ම එක හොඳට ගියා. අර විදිහට බිමට තල්ලු කළා නම් මගෙ අනික් අතත් කැඩෙන්න තිබුණා. පුහුණු ලොක්ක ත්‍රස්තවාදී ලොක්කට කියන්න ඇති කියල මට හිතුනෙ එතකොටයි.
              ඒ පුහුණුව ඉවරවෙල, හැමොම අතට අත දීල ආචාර සමාචර කර ගෙන ඉවත් වෙන කොටම ප්‍රධාන පුහුණු කරුවන් දෙන්න පැමිණියා, අපේ කාමරේම ඉන්න ඩයනාවත් එක්කර ගෙන. කාමරේ යතුර මගෙ ලඟ තිබුණු නිසා කියල මම හිතුවා.
කාරණේ එක තමයි. ඒත් ඩයනට වෙනස් අත් කීමක්. ඇයව මුනින් පෙරලලලා ඇස් බැඳල, අත් පිටුපස්සට බැඬ්ල ඉන්න වෙලාවෙ, ඇගේ දිග සාය අස්සෙන් සර්පයෙක් රින්ගල බෙල්ල ලඟින් මතුවෙල. ත්‍රස්තවාදියෙකුට රඟපු සුඩාන් පොලිස් නිලධාරිය සර්පයව දැකල බෙල්ලෙන් අල්ලල ඈතට වීසි කරල. ඩයනගෙ ඇස් බැඳල තිබුණු නිසා ඇය මේ මොකුත්ම දන්නෙ නැහැ. දැකපු අය පුහුණු කරුවන්ට කියපු නිසා ඔවුන් ඇයව වහාම රෝහලට කැඳවාගෙන ගිහින්.ඇය අහල තියෙනව මක් නිසාද ඇයව රෝහලට ගෙනියන්නෙ කියලා. නියමිත එන්නත් ලබාගන්න  මා සමග ගිය බවත් ඇය කියා තිබෙනවා. දොස්තර ලඟට යනකල්ම ඔවුන් ඇයට කිසිවක් කියල නැහැ. ගියහම තමා දොස්තරට කියල තියෙන්නෙ සර්ප දෂ්ට කිරීම් තියෙනවද කියල පරීක්ෂා කරල බලන්න කියලා. එත කොට ඩයනට තරු පෙනිලා. ඇගෙ වාසනාවට එහෙම මොකුත්  හොයා ගන්න බරි වුණා.
   එහෙත් පුහුණුව අවසානෙ ඇගයීමෙදි මම ලිව්ව, මෙබඳු පුහුණුවීම් වලදි ඩයනට වූ සිදුවීම වගෙ දෙයකින් ඇත්තටම සර්පයන් දෂ්ට කිරීමකට ගොදුරු විය හැකි බව. එයට් අපේ පුහුණු කරු කිව්වෙ මොකද දන්නවද?
        " එකනෙ අපි කිව්වෙ හැමෝටම සුදුසු ඇඳුම් ඇඳගෙන එන්න කියල. ජීන්ස් ඇඳගෙන ආවනම් සර්පයන්ට රින්ගන්න බැහැ නෙ."

කවුද හරි? පුහුණු කරු ද? මම ද? 



11 ක් අදහස් දක්වලා.:

LishWish said...

කාලෙකට පස්සේ ලියලා..., හොඳා හොඳා.., මොකද්ද අර අත කැඩුනු කතාව මම දන්නේ නෑනේ. මොකක් උනත් ගොඩ බැහැපු ගමන් ලබලා තියෙන අත්දැකීම නම් මරේ මරු.., ත්‍රාසය භීතිය සමඟ කුතුහලය..! ෆිල්ම් එකක වගේ..!!!
අනේ ආයිත් නම් යන්න එපා.., මේ ලස්සනට ලිය ලියා ඉඳපු වැලි තලාව දාලා හරිය..?
ජය!!

Indranatha Thenuwara said...

ඔබේ හැකියාවන් ගැන අලුතින් වචනයක්වත් කියන්න උවමනා නැති බව ඔබ දන්නවා මා තරමට ම..!! එක හුස්මට මුලු බ්ලොග් එක ම කියවන්න හිතුනත් වැඩ කන්දරාවන් ඒකට බාධා කරනව. ඒ නිසා මේක සුරක්ෂිත ව තබා ගත්තා ආයෙත් බලන්න. ඒත් එක්කම මගේ හාර පන්දහසක් වන මිතුරන් අතරේ මේක බෙදා හැරියා ඔබට ගෞරවයක් ලෙස..!!

පිටස්තරයා said...

පුහුණුකරු හරි..

කාලෙකට පස්සෙ ලියපු එක හොඳයි. නියම අත්දැකීම් ටිකක්.

Observer said...

අද තමය් ඉස්සෙල්ලම පුලින තලාවට ආවෙ, කියවල රස වින්දා. පරණ කතාත් කියවන්න සිතාගත්ත."කතන්දර" හරහාය් පුලින තලාවට ගොඩ බැස්සෙ.

Kathandara said...

පුලිනතලාව මුලින් ලිව්වේ ලව් කතා -

http://kathandara.blogspot.com/2009/08/blog-post_23.html

දැන් නං ලොමු දැහැ ගැන්වෙන ඇක්ෂන් ඇඩ්වෙන්චර්.

මැණික් said...

ඇත්ත කතාවක් නේද? හිතාගන්නත් අමාරුයි. සුබපැතුම්!!!. ඒත් ආයෙ එහෙ යන්න එපා කියන්න නම් මට බැහැ. හේතුව ඔයාගෙ කතාව කියවගෙන යනකොට අසනීප වෙලා දුක් විඳින ළමයි මගේ ඇස් ඉදිරියේ හිනා වුන නිසා.
මැණික්(සුළඟ)

අනුරාධ said...

ඇග සීතල වෙලා යන කතාවක්නෙ.......

ජේ.ඩී said...

මාරම අද්දැකීමක්................. ලස්සනට ලියලා තියෙනවා :)

අක්කණ්ඩි said...

කාලෙකට පස්සෙ ආවෙ, දැන් සිංහල අකුරු තියෙන නිසා. ඉතින් ඉඩ ලැබෙන විට බ්ලොග් අඩවියට ගොඩ වෙන්නම්.
ඔබ හමෝගෙම අදහස් දැක්වීම් වලට ස්තුතියි, බොහොමත්ම. සිත දිරි ගන්වන ඔසු පැන් වගෙ.

Chandi said...

අද මේ ටිකත් කියෙව්වා. හරිම කටුක අත්දැකීමක් අපි අතරෙ බෙදා ගත්තාට මුලින්ම ස්තූතියි. මගේත් තියෙනවා සමහර අත්දැකීම් අප්‍රිකාණු රටක ජීවත් වෙච්ච නිසාවෙන්. ඒ නිසා බොහොම ආසාවෙන් මේ ටික කියෙව්වා. අපි හිතුවට ඒ අය ඉතාම දුෂ්ඨ යි කියල සමහර අප්‍රිකානුවන් හරිම සංවේදී හදවත් තියෙන අය කියල මම අත්දැකීමෙන් දන්නවා. හොද වැඩකට අත ගහල තියෙන නිසා ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදයත් සියලු දෙවි රැකවරනත් ලැබී හැම අතින්ම ඔබව රකීවි.

Sumudu Fernando (සුදු මුවා) said...

අද තමා මුලින්ම පුලින තලාවට ගොඩ වැදුනේ, කියවන්න ගොඩාක් දේ තියෙනවා, ඒ වගේම ලියන විදියත් ගොඩක් හොදයි. ඔන්න අද ඉඳලා මමත් පුලින තලාවේ කරක් ගහනව.

ඇවිත් යන්න එන්න : www.thunsitha.tk

Post a Comment