Thursday, July 1, 2010

එක ගෙයි කෑම

Thursday, July 1, 2010

      අපෙ අප්පච්චිට දැන් අවුරුදු අසූ හතක් වෙනවා. මේ දැන් වෙන දේවල් අමතක වුණත් අතීතය යස අගේට මතකයි. අප්පච්චි ඉන්නෙ මහ ගෙදර...දැන් ඒ ගෙදර ඉන්නෙ අපේ පුංචි මල්ලියි, එයාගෙ බිරිඳයි, දුවලා දෙන්නයි. මේ මල්ලි තමයි මගෙ ජීවිතේට සමීපතම මල්ලි. එයාගෙ බිරින්දෑ අපරාදෙ කියන්න බැහැ, අප්පච්චිව ආදරයෙන් බලා ගන්නවා. රසට කෑම හදලා දෙනවා. මම නොරට සේවය කළ නිසා අපෙන් සිදුවෙන්න අවශ්‍ය සියළුම දේවල් ඉටු වෙන්නෙ අපෙ නෑනන්ඩි අතින්. ඇත්තටම අපි එයාට ණය ගැතියි. කොහෙ හිටියත් ලංකාවට ආව ගමන්ම මම අප්පච්චි බලන්න යන එකයි ඉස්සෙල්ලම කරන්නෙ. ඉතින් ඔන්න ඔහොම ආපු වෙලාවට මම ගමේ ගිහින් අප්පච්චිත් එක්ක සති දෙක තුනක් ගත කරනව.
    එහෙ සීතල නිසා නිතර නාන්න අප්පච්චි ටිකක් අකැමැතියි. උණු වතුරෙන් තමයි නාවන්නෙ. ඔන්න මම ඉතින් නිය පොතු කපල, රැවුළ කපල අර ගමේ විදිහට කුණු උලලා නෑව්වා.
             නාවල ඉවර වුණහම උණට උණු තේ කෝප්පයකුත් හදල දුන්න. අප්පච්චි තේ බිබී ඉන්නව මාත් එක්ක පරණ කතා කිය කියා. ඔන්න එතකොටම අපේ බාලම නංගි එතැනින් යන්න ආව. එයාගෙ ගෙදර තියෙන්නෙ අපේ මහගෙදරට උඩැහින් තියෙන වත්තෙ. අප්පච්චි එයාව දැකල කියනවා," පුතේ, මේ අක්ක කියනව මාව නවන්න ඕනි කියල. ඔයත් ඇවිත් එයාට උදව් වුණානම් හොඳයි නේද" කියලා.
   නංගිට තෙරුණා, පුළුන් කුල්ලක් වගෙ කොණ්ඩෙ සුදුවට දිලිහෙන කොට මේ නාලා ඉවර වෙලා තමයි කියලා.
" ඇයි, දැන් අක්කා අප්පච්චිව නෑව්වෙ. ඔය අලුත් සරමක් එහෙමත් ඇඳන් ඉන්නෙ."
" ආ....ඔව් නෙ. මට අමතක වුණා"
   එහෙම වෙලාවට අපිට අපෙ අප්පච්චි ගැන පුදුම දුකක් දැනෙනවා. මොන තරම් සැර වැර කළත්, නීති දැම්මත් අපි අද මේ විදිහට ඉන්නෙ අම්මත් අප්පච්චිත් කළ කැප කිරීම් නිසා නේද කියලා.

    අප්පච්චිගෙ අප්පච්චි, ඒ කියන්නෙ අපේ කිරි අත්තා අත්තම්මව ගෙනැත් තියෙන්නෙ එයා වැඩිවිය පැමිණෙන්නත් ඉස්සර ලු. අත්තම්ම හරිම හැඩයි, අපිට තේරෙන කාලෙදිත්. පොකුටු කොණ්ඩෙ. හිනාවෙන කොට වළ ගැහෙන කම්මුල්...ලස්සන නාස් පොඩ්ඩ...ඉතින් අත්තම්මගෙ තනියට කිරි අත්තගෙ මල්ලිව තමයි ළඟ තියලා යන්නෙ. වැඩිවිය පැමිණිල නැති නිසා එයාව බලා ගන්න තවත් පරිවාර කාන්තාවකුත් ගෙනැත් තියෙනවා. එතකොට අපෙ කිරි අත්ත හල්දුම්මුල්ලෙ තානායම භාරව හිටි රාළහාමි. වට පිටාවෙ තේ වතුවල සුද්දො සති අන්තෙට එකතු වෙන්නෙ මේ තානයමේදිලු. කිරි අත්තා ගෝලයො දමල ඉස්ටු බිස්ටු කෑම හදලා ආගන්තුක සත්කාර කරනවලු.
අත්තම්ම වැඩිවිය පැමිණිලත සෑහෙන කාලයක් අර පරිවාර කාන්තාව ඉඳල තියෙනවා. ඒ අත්තම්මගෙ නම් බණ්ඩාර මැණිකෙ. අපෙ අත්තම්මගෙ නම සුදු මැණිකෙ. ඉතින් සුදු මැණිකෙව කැන්දන් එන්න යොදා ගෙන තිබුණු දවසෙ  කිරි අත්තට බලාපොරොත්තු නොවිච්චි දෙයක් සිද්ධ වුණාලු. අර දැනුත් අපි කියන්නෙ 'නොවැළක්විය හැකි හේතුවක්' කියලා. 

                           එංගලන්තයෙන් සුද්දො වගයක් තේ වතු බලන්න එන නිසා තානායම දමලා යන්න විදිහක් නැතුව ගියා. ඉතින් කිරි අත්ත මොකද කළේ...පොඩි කිරි අත්තට කිව්වලු, "උඹ ගිහින් එක්ක වරෙන්, අර ඇත්තිව. මාමණ්ඩිට කියහන් අද සුදු මහත්තැන්ල කීප පොළක් එන නිසා මට රාජ කාරි මග ඇරල එන්ට බැහැය කියලා"
                ඉතින් පොඩි කිරි අත්තත් පේරවැල්ලට ගෙහුන් සුදු මැණිකෙව කැටුව ඇවිත් තියෙනවා. පිට කවරුවත් නෙවෙයි නෙ. ඒ කිරි අත්තලගෙ ඇවැස්ස නෑනලු.
  ඉතින් සුදු මැණිකෙ වැඩි විය පැමිණුණහම ගෙයි මුල්ලක තියලා ආව තේව කම් කොළේ බණ්ඩර මැනික නැන්ද කියලයි අප්පච්චි කියන්නෙ.
   මේ දීගෙ අර පුරාණෙ වෙච්ච එක ගෙයි කෑමක් නේද කියල මම ඇහුවම අප්පච්චි ඒක එහෙමමයි කියන්න ටිකක් අදි මදි කරනවා. මම පුංචි කාලෙත් ඇහුව අප්පච්චිගෙන්," ඇයි, එහෙනම් පොඩි කිරි අත්තා අත්තම්ම කෙනෙක් ගෙනාවෙ නැත්තෙ?" කියලා.
  අප්පච්චි මට ඔරවල, " පැහිච්ච ආච්චි වෙන්නෙ නැතුව යනව යන්න මෙතනින් " කියලා මාව එලව ගත්තා. මට ඉතින් කුතුහලය. මේ ළඟදිත් මම ලොකු අප්පච්චිගෙ දුව මුණ ගැහිල ඔය ගැන කතා කළා. එයත් මගෙ කීමට එකඟයි. අප්පච්චිලගෙ පවුලෙ නැන්දි තම
යි වැඩිමලා. ඊටපස්සෙ ලොකු අප්පච්චිල තුන් දෙනයි. අප්පච්චි තමයි බඩ පිස්සා. බඩ පිස්ස කියන්නෙ මොකද කියල දන්නවදු ? බාලම දරුවා ආයෙ ලමයින් පිළිනොසිඳෙන විදිහට බඩ පිහ දාගෙන එන නිසා තමයි 'බඩ පිස්ස' හෝ 'බඩ පිස්සි' කියන්නෙ.
             අප්පච්චිට ආදරේට කියල තියෙන්නෙ 'හින්නි' කියල. පස්සෙ අපෙ නෑදෑයො, අප්පච්චිට 'හින්නි අයියා', හින්නි මල්ලි','හින්නි බාප්ප', 'හින්නි මාමා', 'හින්නි උන්cලෙ' කියල තමයි කතා කලෙ.
   'එක ගෙයි කෑම' කෙරෙන්නෙ දේපොළ අහක යනවටලු. කොහොම වෙතත් ලොකු කිරි අත්තයි, පොඩි කිරි අත්තයි, අත්තමයි විරසක වෙල හිටි එක දවසක් වත් මට මතක නැහැ. තුන් දෙනාම හරිම ආදරෙන්, සාමයෙන්, සමගියෙන් ජීවත් වෙච්ච බව නම් අපිට හොඳට මතකයි.
   කිරි අත්තලගෙ ගෙදර ඉස්සරහම කාමරේ හිටියෙ පොඩි කිරි අත්තා. ඒ පැත්තෙම ඊලඟ කාමරේ හිටියෙ ලොකු කිරි අත්තා. ඒ ගෙදර වම් පැත්තෙ. අත්තම්මගෙ කාමරේ තිබුණෙ දකුණු පැත්තෙ. අත්තම්මගෙ කාමරේට එහායින් ගබඩා කාමරෙත්, ඊටත් එහායින් උයන ගෙයත් තිබුණා. උයන ගෙයි දුම්මැස්සෙ ගිරා අඹ ඉදෙන්න දමල තියෙනවා. දෙල් අටු කොස්, අටු කොස්, ලුණු දෙහි වගෙම පිළිකන්නෙ වැලි අස්සෙ කොස් ඇට තියෙනවා ඕනිම වෙලාවක. අපි එහෙ ගිහින් ඉන්න හරිම ආසයි නිවාඩු කාලෙට. අත්තම්ම උයන කොස් මාලුවෙ සුවඳ දැනුත් දැනෙනවා වගෙ. අත්තම්මලා ශාකාහාරි උදවියද කියල වෙලාවකට මට හිතෙනවා. කොස්, දෙල්, වෙලෙන් නෙලා ගෙන එන පලා, කොස් ඇට, කෙහෙල් මුව, තිබ්බටු, එල බටු, මයියොක්ක දලු වගෙ දේවල් තමයි ඒ අය ආහාරයට ගත්තෙ. ඒ ම වල තිබුණෙ පුදුම රහක්. රසායනික පොහොර නැහැ. රත් වෙච්ච තෙලට මිරිස් කෑලි කඩල දමල, අබ, සුදු ලූණු දමල තෙම්පරාදු කරද්දි මිදුලෙ අඹ ඇට පණින අපෙ කටට කෙළ උනන්නෙ ආහාර රුචිය වඩවමින්. අත්තම්මා උයන අල කොළ ඇඹුලත් කවදාවත් අමතක වෙන්නෙ නැහැ.
   කෑම ගැන කියන්න ගිහ්න් වෙනත් කතා අමතක වුණානෙ.
අර එක ගෙයි දීග කාපු කතාව මම අම්මගෙනුත් ඇහුවා, අම්මත් "ඔයා ඔන්න ඕවා හොයන්නතුව ඉන්න, පණ්ඩිතකමට. අනික ඕව ඉතින් පරණ සිරිත් නෙ" කීවා.
"ඒකම තමයි අම්මෙ මට දැනගන්න ඕනි. මට කවියක් ලියන්න හිතෙනවා ඒ ගැන." අපෙ අම්මට ඒකට හො
ටම හිනා.
" කවියක් නෙවෙයි..ලියන්නකො නව කතාවක්. ඕවා අහුණොත් අප්පච්චිගෙන් හොඳට ගුටි කන්න වෙයි. පන්තියෙ වැඩක් බලා ගත්තනම් ඊට වඩා නරකද, ලොක්කියෙ"
   මම පොඩි ලොකු අප්පච්චිගෙ පුතගෙන්, ලොකු ලොකු අප්පච්චිගෙ
දුවගෙන් මේවා අහන එක නතර කළේ නැහැ. අත්තම්ම දෙන්නටම බත් බෙදල දෙනාටම කතා කරන කන්න එන්ට කියලා. මගෙ දඟකාර, ඒ වගෙම කුතුහලයෙන් පිරුණු හිත මේ කතන්දරය සහසුද්දෙන් දැන ගන්න අටුවා ටීක හොයනවා.
                    නැන්දගෙත්, අපෙ අප්පච්චිගෙත් අප්පච්චි ලොකු කිරි
අත්තගෙ කියල මට හිතුණා. අනික් තුන්දෙනාම පොඩි කිරි අත්තගෙ වෙන්න ඇති. අනේ! මගෙ තේ උඩිච්චි හිතට එන කල්පනා. ඒ කාලෙමයි මට ඕවා හිතුණෙ. මට පුළුවන්ද දත්ත රැස් කර ගෙන හිත කරන සමීක්ෂණ නවත් වන්න. මගෙ හිත කොහොමත් මුරණ්ඩුයි නෙ. සමීක්ෂණයක් අවසන් නිගමනයක් තියෙන්න එපැයි. ඉතින් මගෙ නිගමන මගෙ හිතටම සීමා කර ගෙන ප්‍රසිද්දියට පත නොකර මේ දක්වාම හිටියා. එහෙම සිරිතක් ඉස්සර තිබුණ නම් ඒක එහෙමයි කියල පිළිගන්න, අපි මොකටද ඔච්ච්ර ලැජ්ජ වෙන්නෙ? බොරු මාන්නෙ. කිසිම අවුලක් කාටවත් වුණෙ නැහැ නෙ.
                  දැන්නම් අප්පච්චිගෙන් ඇහුවොත් අප්පච්චි ටක්කෙටම සහසුද්දෙන් ඇත්ත කියල දෙයි. ඊලඟ සැරේට මම ගමේ ගියාම ඔය සිද්ධිය අහ ගෙන එන්න ඕනි. ඒකම විතරක් නෙවෙයි..තව අතීත කතා ගොන්නකුත් අහගන්න පුළුවන් වෙයි.
         

10 ක් අදහස් දක්වලා.:

පිස්සා පලාමල්ල said...

ඒව ඉස්සර ගම් වල තිබුන සිරිත්... ලැජ්ජ වෙන්න හේතු නෙමෙයි...

අර කෑම ගැන කියපු ටිකට නම් මට සීයලගෙ ගෙදර මතක් උනා.. කටට කෙලත් ඉනුවා...

කතන්දරකාරයා said...

ටිකක් දුක හිතුණා. එක හේතුවක් තාත්තාව මතක් වීම. වැටුණයින් පස්සේ තාත්තාටත් මතක අමතකයි.

අනෙක අත්තම්ම ගේ පැත්ත සිහිවෙලා. අක්කණ්ඩිත් ඒ ගැණ වචනයක්වත් ලියල නෑ නේද?

කිරි අත්තාත් පොඩි කිරි ආත්තාත් දෙන්නාම බාලාපරාධයක් නේද කරලා තියෙන්නේ. ඒ අවුරුදු දහතුනේ කෙල්ල ගැන හිතන්න! වයසින් දෙගුණයක් වැඩි කෙනෙක් එක්ක, මස්සිනා වුනත්, .... බුදු අම්මෝ...!!!

Buratheno said...

අපට ඒක එහෙමම කියන්න බෑ නේද කකා..?? දැං කාලෙ 13 කියන්නෙ ළමා වයස වුනාට ඒ කාලෙ 13-14 කියන්නෙ සාමාන්‍යයෙන් ගෑණුළමයෙක් දීගයන වයස..

L15H4N said...

ලියලා තියෙන්නේ කාලෙකට පස්සේ උනාට කතාවේ රසවත් බව නම් පොඩ්ඩක් වත් අපෝවෙලා නැහැ නේද අක්කණ්ඩී..!! හරිම වටිනවා..!

Hasitha said...

ශ්‍රී ලංකාවේ ඉස්සර තිබ්බා මේ වගේ සිරිත් විරිත් ගැන ආයි පාරක් මතක අළුත් කරගන්න පුලුවන් වුණා මේක කියවලා. බොහොම ස්තුතියි අක්කේ අපිත් එක්ක මේ අත්දැකීම බෙදාගන්නවාට

änthräX said...

අක්කන්ඩියේ/මීමැස්සියේ.... ලියන්නෙ නැත්තෙ මොකෝ???

Mark said...

කොහේ යනවද මන්දා, එකක් ලියනවා... පස්සෙ අවුරුද්දකට වත් හොයා ගන්න නෑ.. මොනවා හරි ලියන්නකෝ..

අක්කණ්ඩි said...

අද තමයි, එක ගෙයි කෑම කතාවට දමපු අදහස් කියෙව්වෙ. අදහස් පළ කළ හැමෝටම පින්.
අවුරුදු 13/14 ගෙනිච්චට අත්තම්මට කිසිම ලිංගික අතවරයක් කරල නැහැ. වැඩිවිය පැමිණිලත් සෑහෙන කාලයක් යන කල් කිසිම ශාරීරික සම්බන්ධයක් තිබිලා නැහැ. එහෙම බාල අපරාධ කිරීමක් සිද්ධ වෙලා නැහැ කියල මට සහ සුද්දෙන් විශ්වාස මට අත්තම්ම ඔය ගැන කියල තිබුණු නිසා. ඒ කාලෙ උඩරට තිබුණු සිරිතක් ඒක.

මධු සමය ගත කළේ කොයි වයසෙද කියල නම් අහගන්න බැරි වුණා.

මන්දාකිණි said...

දුක හිතුනා අක්කන්ඩි අපේ අප්පච්චි මතක් වෙලා..මට මතකයි ජයසේන ජයකොඩිගේ බැද්දගෙදර නව කතාවෙත් එක ගෙයි කෑම ගැන කියවෙනවා...

මකුළු පැංචි said...

නියාම කතාව අක්කණ්ඩී....ඕක ගැන ඔය හැටි කියන අදි මදි කරන්ට ඇත්තෙ අද කාලේත් එකගෙයි කන මගුලක් ඕනෙයි කියලා කිව්වොත් වැඩේ දෙපිටින් යන හන්දා වෙන්න ඇති.. :D

Post a Comment