Saturday, October 17, 2009

ලඳුන්ගෙ ඉරි තලන සිත් වලින් ගලන ලේ, කඳුළු

Saturday, October 17, 2009
අපි සාදයට යන කොට සෑහෙන පිරිසක් එතැන එකතු වෙලා හිටියා. ඔක්කොමලගෙ ඇස් ඊතල වගෙ එල්ල වෙලා තිබුණෙ, බැංකු කළමණාකාරවරයගෙ අලුත් මනමාලි දිහාවට. මම කොණ්ඩෙ ගොතාගෙන යන්න හැදුවත් නන්දි කිව්වා, කොණ්ඩයක් බැඳ ගන්න කියල. බෙල්ල පිටිපස්සෙන් එල්ල ගත්ත කොණ්ඩ ගුලිය මට කලු ගලක් වෙලා බෙල්ල ඇදුම් කනවා. ඒ මදිවට කොණ්ඩ කටුවකුත් විටින් විට ඇනෙනව බෙල්ලෙ. 
                            මළ වාතයක්...! අපහසුකම්, ඇනිලි, රිදිලි වහ ගෙන මම හැමෝටම ආචාර කරමින් හිනා පොට්ටු විකසිත වෙන්න ඉඩ ඇරියෙ තැනට සුදුසු එකම රඟපෑම එයම විතරක් නිසා. රජයේ සේවකයන්ගෙ සමාජ ශාලාවත් දේදුණු වර්ණ බැලුම් බෝල පොකුරු එක්ක ක්‍රේප් කොල තැනින් තැන අලවගෙන අපි වගෙම කල එළි වෙලා. සමහර තැන්වල එකේක වර්ණවල, වර්ග වල මල්, පොකුරු පොකුරු ගැහිලා මේස, කනප්පු උඩට වෙලා ඇස් දල්වගෙන ඉන්නවා, විදුලි බුබුලු එළියට ඔමරි කර කර.
                  අපි ශාලාවෙ මැද්දකට විතර එන කොට අත්පොලසන් හඬක් අපිව පිළි ගත්ත. පුංචි සුරංගනාවියක් වහෙ හුරුබුහුටි දැරියක් ඇවිත් මගෙ අතට මල් පොකුරක් දෙද්දි, තවත් පුංච් පැටියෙක් ඇවිත් නන්දිට මල් මාලයක් දමන්න දෙපා ඇඟිලි තුඩු වලින් ඉස්සෙනවා. නන්දි පහළට නැවිලා පැටියව දෑතට වඩා ගත්තා. මට නාට්‍යයක මුහුරත් උත්සවයක් මතක් වුණා. අඳුන්නා දීම් ඊට පස්සෙ, කෙළවරක් නැතුව.
                 කාන්තා පාර්ශවය සේරම මගෙ මුහුණ ඉඹිනව....ඉකේයියා....!තව ටිකකින් කෙළ ගඳේ බැරිවෙයි ද මන්දා? අතට අත දීලා දකුණු අත රිදෙනවත් එක්ක. සමහරු තදින්ම අත මිරිකනව. සමහරු අත් දෙකින්ම අල්ලලා සුබ පතනවා. සිරිත් විරිත් සහිත පිළිගැනීම් වලට පස්සෙ කට්ටිය තැන් තැන්වල අසුන් වලට බර වෙනවා. ඊට පස්සෙ බීම සංග්‍රහය ආරම්භ වෙන්නෙ, සිහින් සංගීත රාවයක් තනියට කැන්දගෙන. ඉස්සෙල්ලම බීම කරත්තෙ තල්ලු වෙලා ඇවිත් නතර වුණේ, අපේ ළඟ.
   "මිසිස් නුගලියද්ද මොනවද බොන්නෙ?" 
                   එහෙම අහපු එක්කෙනාව නන්දි හඳුන්වලා දුන්නෙ උප දිසාපති කියලා. නන්දි මගේ දිහාව බැලුවා.
 "සොෆ්ට් ඩ්‍රින්ක් එකක් හොඳයි"
           මම කිව්වෙ නන්දිට. එතකොටම උප දිසාපතිගෙ බිරිඳ කියල හිතෙන, හැඩට ඇඳ ගත්තු කාන්තාවක් පාවෙනවා, රූප රාමුවට.
    "දැන් ඔයත් අපේ හවුස් වයිෆ්ස්ලගෙ ක්ලබ් එකට බැඳෙන්න ඕනි. සොෆ්ට් ඩ්‍රින්ක්ස් බොන්නෙ ඉස්කෝලෙ යන කාලෙ....අද බොමු බියර් එකක්"
                      එයාගෙ බුරියෙන් පහළට ඇඳල හිටපු සාරියෙන් නිරාවරණය වුණු උදර ප්‍රදේශයේ ඇඳුණු ඉරි සමූහය ජ්‍යාමිතියේ සරල, සමාන්තර රේඛා එක්කම ප්‍රමේයයයන් කිහිපයක් මතක් කර දෙමින් ජුගුප්සාවක් වගෙ හැඟීමක් මගෙ හිතට ගෙනාවා. මම ඇස් දෙක ඉවතට උලුප්පල ගත්තෙ, ඒ දර්ශනය අනෙක් අයට නොපෙනෙන විදිහට එයාගෙ සාරි පොටෙන් වහන්න පුලුවන් නම් කොච්චර හොඳද කියලා හිතමින්. මට හිතෙන දේවල් වැරදිද මම දන්නෙ නැහැ. ඇය බීර ජෝගුවකට බීර වක් කරනවා; බෝතලෙයි,  ජෝගුවයි ඇල කරල අමුතු තාලයකට. 
                         අලුත් සමාජයේ ඇවතුම් පැවතුම් තවම මම අඳුනා ගන්න වෙහෙසෙනව... මනසින්, නුවණින් විමසමින්. පුරවපු බීර බඳුන පිළිගන්වන්නෙ මට. මම කවදාවත් බීල නැති දෙයක් මොකට බොන්න පටන් ගන්නවද
       "ගන්න, ගන්න....බියර් බීවට වෙරි වෙන්නෙ නැහැ"
             ඒ නන්දි. සුවච, කීකරු භාර්යාව මත්පැන් ප්‍රතික්ෂේප කිරීම නිසා දණ්ඩ නීති සංග්‍රහයේ කී වෙනි වගන්තියට අනුව ඇයව චූදිතයෙක් කළ හැකිද? ඔන්න සම්ප්‍රදායිකාටත් තරු පෙනුණු තැන. 
        "ෆො යූ, ස්කොෂ් ඔන් රොක්ස් ඈස් යූසුවල්?" ඇය නන්දිගෙන් අහල හිනා වෙනවා. නන්දි සැර බීම බොන කෙනෙක් කියල මම දැන ගෙන හිටියෙ නැහැ. ඒවද දන්නෙ නැහැ අර මට කියන්න ගොඩක් දේවල් තියෙනව කිව්වෙ. වැඩිය බොන එකක් නැතිවෙයි කියල සම්ප්‍රදායිකා මගෙ හිත අස්වසන්න හදනවා. 
                 මම බීර බඳුන දෑතින්ම අල්ල ගත්තෙ බිම ඉහිරවෙයි කියල. කහ පාට දියර මත සුදු පෙණ තට්ටුව බුබුලු දමනව, මගෙ හිත වගෙම. ඇය අයිස් කැට කිහිපයක් දමපු බීම වීදුරුව නන්දිගෙ අතට දෙන කොට, "තෑන්ක්ස්, සුජී" කියල නන්දි හරිම ලෙන්ගතු කමින් කීවා. ගොඩක් කල් ඉඳලම මේ ගොල්ලො හිතවත් ඇති.
                  ඊට පස්සෙ අපට සුබ පතල ටෝස්ට් එකක්. මම නන්දි දිහා බලා ගෙන එයා කරන කරන දේ කළා. 
       "නන්දිටයි, අලුත් මනමාලිටයි යුග දිවිය සාර්ථක වෙන්න අපි සව් දිය පුරමු"
        ඒකට වෙනම ෂැම්පේන් වීදුරුත් අපෙ අත් වලට දුන්නා. ඔක්කොමල වීදුරු ඉහළට ඔසවලා, "චියර්ස්" කියල අපෙ දිහාවෙ බලලා, හිනා වෙලා බීම බඳුන් තොල ගෑවා. මමත් නන්දිව අනුගමනය කළේ එයාගෙ සමාජ ගර්වය රැක දිය යුතු නිසා.
              තොල් දෙකට බීම බඳුන ළං කළාට මම තොල් තෙමෙන්න වත් ඇරියෙ නැහැ, ඒ මත් දියරෙන්. මට හිතුණෙ මොකටද මම පස් වෙනි සිල් පදය කඩන්නෙ කියලා. වීදුරු ගැටෙන හඬ, සිප වැළඳ ගැනීම්, අල්ලාප සල්ලාප, මද සිනා..කොක් හඬලන සිනා....සාද කතා බහ.....මෙකී නොකී  දේවල් සමග කට්ටිය මද පමනත් ඉක්මවලා මත් වෙන සීමාවට ඇවිත් හිටියා සමහරු. මට දැනුනෙ නන්දිත් මද පමණ ඉක්මවූ බවක්.
                එයා නොදැණුවත්වම මගෙන් ඉවතට ඇදිලා ගියෙ වෙනදට පුරුදු යහළු යෙහෙළි වළල්ලට එකතු වෙන්න. මටත් ඕනි වෙල තිබුණ ටිකක් තනිවෙල, මම අළුතින් එකතු වෙන්න යන සමාජය ගැන ටිකක් විමසල බලලා හදාරන්න. නන්දිට අවශ්‍යය විදිහට හැඩ ගැහෙන්න මට එය පිටුවහලක් වෙයි කියල මගෙ හිත මට කිව්ව. 
             බොහෝ විට තම තමන්ගෙ ගෙවල් දොරවල්වලින් බැහැර වෙල මෙහෙ නිලනිවාස වල ඉඳගෙන, කාෂ්ටකයත් එක්ක හෙට්ටු වෙන කොට මේ වගෙ විනෝද වීම් හිත්වල විඩාව දුරු කරනවා ඇති...මට මේ සමාජ ක්‍රමය හා ඇවතුම් පැවතුම් අළුත් අත් දැකීම් වුණාට නන්දි වගෙ අය දැන් මේ ක්‍රමයට හුරු වෙන්න විකල්ප විදියට හොයා ගෙන ඇත්තෙ මෙබඳු සාද සාමීචි වෙන්න ඇති. කාර්යාල වල ගෙවන ඒකාකාරී ජීවිත පොඩ්ඩක් පැත්තකින් තියල, සැහල්ලුව විතරක් හිතෙ පුරවගෙන විනෝද වීම මල් පැන් පොදකින් මත් වීම පංචානන්තරය පාප කරමයක් නෙවෙයි නේද කියල කවුද කියනව හිත ඇතුලේ. 
          සන්ගීත රාවය ඉස්මතු වෙද්දි. බොහො දෙනෙකුට උන්නු ආසන වල ඉන්න බැරිව වගෙ පැද්දී පැද්දී රඟ මඬලට පිවිසෙනවා. නන්දිත් කට්ටිය සමග රංගනයට එකතු වෙන කොට මගෙ ඇස් අදහ ගන්න බැරිව ගියා මටම. මම අළුත් මනමාලි නිසා වෙන්නැති කවුරුවත් මට ඒ අයට එකතු වෙන්න කියල පෙරැත්ත කළේ නැත්තෙ. හැමෝම ස්වේච්ඡාවෙන් මයි නැටුමට ඇදිල ගියෙ. විවිධාකාර රැඟුම් විලාශයන් දිහා බලන් ඉන්න අතරෙ එක එක අය ඇවිත් වචනයක් දෙකක් කතා කරල යනවා. කිසිම විශේෂත්වයක් මට දැණුනෙ නැහැ.
      "මිසිස් නුගලියද්ද, ඔයා කැමති නැද්ද ඩාන්ස් කරන්න?"
      "අකැමැත්තක් නැහැ...ම්...ම්...මට මතක නැහැ...ඔයාගෙ නම..සොරි" 
  කීදෙනෙක්ව නම් මතකෙ තියා ගන්නද? නන්දි සේරමලව අඳුන්නල දුන්නා, ඒත් කවුරුවත්ම මගෙ හිතට අමුත්තක් ඇති කළෙ නැහැ. එක නමක් වත් මතක හිටියෙත් නැහැ.
    "මගෙ නම පියල්. මිසිස් නුගලියද්ද ළඟදිද කැම්පස් එකෙන් අවුට් වුණෙ?"
    "පියල්, මට මලිති කියන්න. මම මලිති කුමාරිහමි"  
                මිසිස් නුගලියද්ද..මිස් උඩලියද්ද...මොකටද කාගෙවත් වාසගමක් හැම තිස්සෙම ගැහැණුන්ගෙ නමේ අග්ගිස්සෙන් එල්ලන්නෙ. මට හිතෙන්නෙ වක්‍රාකාරව ගැහැණුන්ව භුක්තියට සවි කරල දෙනව වගෙ පවතින සමාජ සම්මතයන් මගින්. විවාහයට ඉස්සර පියාගෙ නම අගට එල්ලල, උප්පැන්න සහතිකෙන් නෙ පටන් ගන්නෙත්...ඒ සහතිකේට පස්සෙ දෙන ඊළඟ සහතිකේ විවාහ සහතිකේ. දෙවෙනි සහතිකේදි පියාගෙ වාසගම අයින්කරලා විවාහක පුරුෂයාගෙ නම එල්ලනවා. තමන්ට කියල නමක් තියා ගන්නවත් අයිතිවාසිකමක් නැහැ ගැහැණුන්ට. 
              පූර්ණ මනුෂ්‍යත්වය තියෙනව කිව්වට, දෙවෙනි පෙළ පුර වැසි භාවය නෙවෙයිද ඔය ඉස්මතු කෙරෙන්නෙ. අනේ මන්දා? එහෙම එල්ල නොගත්තට ගැහැණුන්ට තමන්ගෙ නමෙන් විතරක් බැබලෙන්න බැරිද? අද වෙලා තියෙන්නෙ; අහවලාගෙ දුව, අහවලාගෙ බිරිඳ, අහවලාගෙ සහෝදරිය කියලා. මේ දේවල් මේ යුගයෙදි වත් වෙනස් වෙන්න ඕනි. මට බැරිද මලිති කුමාරිහාමි විදිහට ජීවත්වෙන්න, මිසිස් නුගලියද්ද වගේ පෙනී සිටින්නෙ නැතුව. වෙන වාසගමකින් හෝ කීර්ති නාමයකින් අලෝකය ලබා ගන්නෙ මොකටද, අපි පරපුටු වංශයෙද?      


                             අපේ අනන්‍යතාවය, ස්වීයත්වය අපිටම නිර්මාණය කරගන්න පුළුවන් කියලා ආත්ම විශ්වාසයක් සහ ආත්ම ශක්තියක් අප තුළම වගා දිගා කර ගත යුතුයි කියල මට හිතෙන එක දෝෂ සහිතයි කියල මට නම් හිතෙන්නෙ නැහැ. මෙහිදී මම මතු කරන්නේ පුරුෂ විරෝධයක් කියල වරදවා තේරුම් ගන්න නම් එපා. මොකද ජීව විද්‍යාත්මක වෙනස් කම් වලට අනුව ගැහැණු පිරිමි සමාන වෙන්නෙ නැහැ, ඔලුවෙන් හිට ගෙන කීවත්. වෙනස පිළිගත යුතුමයි, හැබැයි අවශ්‍ය සමාජ ගරුත්වය ඉතුරු කර ගෙන. 
                           මට මෙහෙම ලියන කොට මතක් වෙනව, මගෙ මේ අදහස් අහපු මගෙ ආදරනීයම මිත්‍රයෙක් කියපු කතාවක්. එයා කියපු කතාව හරිම ඇත්තක්. ඒ කතාව කියන්න වෙන්නෙ නහැ වගෙ, පියල්ට මා ගැන දයාව හිතිලා. 
      "මලිති, මොකුත්ම බිව්වෙ නැහැ නේද? ඉන්න, මම සොෆ්ට් ඩ්‍රින්ක් එකක් ගෙනෙන්නම්"    
                  පියල් ඉවතට ඇදුණෙ මට තිබුණු උගුර කට වේලිල්ල තේරුම අරගෙන වගෙ. නන්දිට නොපෙනෙන්න, ෂැම්පේන් වගෙම බිර දියරත් අසල තිබුණු මල් බඳුනකට පෙව්වා. කැප කිරීම්, පරිත්‍යාගයන් කරන්න පුළුවන්, යහපත් සහකරුවෙක් වෙනුවෙන්. ඒත් ප්‍රතිපත්ති බිඳ දමලා කැප කිරීමක් කරන්න තරම් තවම කල් මෝරලා නැහැ කියල හිත කියනව නෙ. හිත කිව්වට මගෙ යෙහෙළි, සම්ප්‍රදායිකාට මගෙ හිත අවනත වෙලා. පියල් ගෙනාපු පලතුරු යුෂ මට අමෘතයක් වගෙ. බඩගින්නත් දැන් රතු ඉරට නගිනවා. බයිට්ස් තිබ්බට මට කන්න හිතුනෙ නැහැ, මත්පැන් බොන අය මැදට පැනලා.
                  නන්දිට මාව අමතක වෙලා, පුරුදු මිතුරු මිතුරියන් අතරට වැටුණම. හිතේ කහටක් ඇතිවෙන්න නොදී මගෙ හිත අස්වසා ගන්න මලිතිට ඕනි වෙලා. මගෙ බඩ ගින්නෙ රතු ඉර පනින කොට නන්දිගෙත් සුරා මීටරයෙ රතු ඉර පනිනවා මට දැක ගන්න පුළුවන්. එයාට මාව හදිසියෙම මතක් වෙලා. ඒත් මදෑ නේද? එයා නටනවද, වැනෙනවද කියලා මට තේරුම් කර ගන්න බැරි වුණේ මම මීට කලින් එයා නටනවා වත් බීමතින් වැනෙනවා වත් දැකලා නොතිබුණු නිසා වෙන්නැති. 
       " ඔයාට බඩගිනිද මලිති?" 
         ඔහු කෙලින් ඉන්න උත්සාහයක යෙදෙනවා. පියල් ඔහුව මගෙ ලඟින් ඉන්දවන්න උත්සාහ කරනවා. උත්සාහවන්තයන් ජය ගන්නව කියල දෙන්නම හිතනවා ඇති.
       "හා...මේ අපේ දුම්කොලේ ඉන්නෙ. පියල් මල්ලි, මගේ අලුත් මනමාලි මලිතිට සලකන්න හොඳේ" 
    මොකද එයාට දුම්කොළේ කියන්නෙ?
      "පියල් වැඩ කරන්නෙ ටොබෑකො කම්පැනි එකේ"
                 නන්දි මගෙ හිත කියවගෙන.
      "මිස්ට නන්දිමිත්‍ර, දැන් මිසිසුත් එක්කම කෑම කමු නේද? මම බෙදාගෙන එන්නම්."
      " මගෙ නෝනා පොඩ්ඩට දෙන්නකො....මම පස්සෙ අපේ ගැන්සියත් එක්ක කන්නම්..." නන්දි වීදුරුව හිස් වෙන්න දෙන්නෙ නැහැ. ඔහු පියල්ට මාව බාර දීලා ගැන්සියට සෙට් වෙන්න යනවා. මට මතක්වුණෙ කොහොමද දැන් එයා වැව් බන්ඩ් එක දිගේ වාහනය පදවගෙන යන්නෙ කියලා.
        "මලිති, බය වෙන්න එපා. මම කාරෙක අරන් යන්නම්. වෙනදටත් මිස්ට නන්දිමිත්‍රට වැඩි වුණාම මම තමයි ගෙදර එක්ක යන්නෙ."
       ඔන්න මට මගෙ අර සමීප මිත්‍රයාගෙ කතාව මතක් වෙනව...මම එයා ගැන කලින් සඳහන් කරලම නැහැ. මතකනෙ මම කිව්ව අර මම රාජ්‍ය නොවන ස්ංවිදානයක පරිවර්තන එහෙම කරල කැම්පස් ඉන්න කාලෙ පාට් ටයිම් රස්සවක් කළා කියලා. අන්න ඒකාලෙ තමයි ඒ මිත්‍රයාව මුණ ගැහුනෙ...ඔහුගෙ න්‍යායන්, දැනුම තුළ ගැබ් වුණ සත්‍යතාවයන් තේරුම් ගන්න හෝ පෝෂණය වෙන්න තරම් මගෙ මනස මෝරල තිබුණෙ නැහැ, ඒ දවස් වල. ඒ කතාව අමතක වෙන්න දෙන්න හොඳ නැහැ.
                ඒක මට මතක් වුණෙ ගැහැණු පිරිමින්ගෙන් පතන, ඒ වගෙම සමාජය වුණත් ගැහැණුන්ට පිරිමින්ගෙන් ලැබිය යුතු යයි කියන ආරක්ෂාව මෙහෙම කනමදයො කොහොමද ගැහැණුන්ට දෙන්නෙ කියන එක. සමාවෙන්න, ඒ වචනෙ ඉබේටම එලියට පැන්නා. අලුත ගෙනා මනමාලියක් කිව යුතු වචනයක් නෙවෙයි ඒක කියල ඔබලා කියාවි. අලුත බැඳපු මනමාලයෙකුට එයාගෙ යුතුකම් අමතක වෙන කොට අලුත ගෙනා මනමාලිගෙ හිත සිදුරු, දැදුරු වෙලා එහෙම වචන එළියට පනින එක නවත්වන්න කාටද පුළුවන්.
                   ආරක්ෂාව ගිළිහෙන කොට සිතක් අසරණ වෙන් එක තේරුම්ගන්න කාට හරි හැකියාවක් තියෙනවා නම් ලොකු දෙයක්. ඉස්සරෝම ඉස්සර, ඒ කියන්නෙ  ඈත අතීතයේ ඉඩ කඩම් දේපල අයිති කර ගන්න තණ්හාවෙන් පිරිමි යුද්ධයට යනවා. බඩ දරු අම්මලාව යුද පෙරමුණට සටන් කරන්න ගෙන යන්න බැරි නිසයි, අනෙක් දරු පරම්පරව බලාගන්න ඕනි නිසයි ගැහැණු නවාතැන් වල, ගෙවල්වල නවත්නවා. එඬේර යුගය පරිණාමය වෙන්නෙ ඒ විදිහට. ඉඩ කඩම් දේපළ ජය අර ගෙන ඒ විජයග්‍රණයන් පිරිමින්ගෙ බලය තහවුරු කරනවා. බලය ආධිපත්‍යයක් බවට පරිවර්තනය වෙද්දි ඒක පුරුෂාධිපත්‍යය වෙන්නෙ ගැහැණුන්ගෙ ආරක්ෂාව සැපයීමේ වගකීමත් ඔවුන්ටම පවරමින්. එසේ බැරෑරුම් ලෙස පැවරුණු යුතුකම්, වගකීම් ආරක්ෂක නිලධාරීන් විසින් පැහැර හරින කොට ..........
               අද වගේ....නන්දි වගේ....ලඳුන්ගෙ ඉරි තලන සිත් වලින් ගලන ලේ, කඳුළු පිසලන්නෙ කවුද? නන්දිව වත්තම් කරගෙන ඇවිත් ඇඳේ පත බාවන්න පියල් උදව් කළේ මගෙම සහෝදරයෙක් වගෙ.
                    ප්‍රේමවතී කම්මුලේ අත ගහ ගෙන හූල්ලනව, අප්පොට වෙලා තියෙන සන්ගදිය දැකල. පියල්ට මුව නොසෑහෙන්න ස්තුති කරන ප්‍රේමවතී ඔහුට බුදු බවත් ප්‍රාර්ථනා කරනවා. 
            "ප්‍රේමවතී, දෙහි ගෙඩි දෙකක් මිරිකලා ගේනවද? දෙහිගෙඩියක් කපලත් ගෙනෙන්න, ඔලුවෙයි යටි පතුල් වලයි ගෑවම හොඳයි." 
             ප්‍රේමවතී මුළුතැන් ගෙට ඉගිල්ලෙන්නෙ විදුලි වේගයෙන්. නන්දි කෙඳිරි ගාමින් මොනවද කියන්න උත්සාහ කරනව. 
"සෝමෙ...මට සමාවෙන්න..." 
              කවුද සෝමෙ? ප්‍රේමවතී දෙහිත් අර ගෙන එනකොටත් නන්දි සිහිවිකලයෙන් කියවනවා. 
     "සෝමේ....සෝමේ..."
     "හත් දෙයියනේ....! මේ මොනවද මේ නොදරුවා ඉස්සරහ කියවන්නෙ."
               ප්‍රේමවතී විස්සෝප වෙන්නෙ මං ගැන. මම ඇහුවෙ නැහැ 'සෝමෙ' කවුද කියලා. අර කියන්න තියෙනවා කියපු ගොඩක් දේවල් වලට සම්බන්ධ කෙනෙක් වෙන්නැති. හිතට කලබල වෙන්න දුන්නෙ නැහැ, මම. කවුරු මොනවා කිව්වත් නන්දි මගෙ විවාහක පුරුෂයා. මගෙ පවිත්‍ර භාවය හමුවෙ එයාගෙ ඇස් වලට උනපු කඳුළුවල උණුසුම මගෙ උරහිස් වලට දැණුනා. පිරුවට රෙදි කඩක රුධිර සලකුණු දැකීම කඳුළු උනන්න කාරණයක් වේවි කියල මට හිතුණෙ නැහැ. 
                ඒ කඳුළු වල සැඟවුණු දේවල් ටිකෙන් ටික හෙළිදරව් වෙයි. අසනි වැසි, වේරම්භ වාත සහ සැඩ කුණාටු හමුවේ ජීවිත යාත්‍රාව පැද ගෙන යා යුතුයි... 
      "මේ ජීවන ගංගා දාරයේ...."
              ගීතයක් ඇවිත් මගෙ තනියට, නන්දිගෙ හිසේ දෙහි අතුල්ලනවා. නන්දි විටින් විට එයාගෙ ජීවිතයෙන් ගිලිහී ගිය සෝමෙකුගෙන් සමාව ඉල්ලනවා. ප්‍රේමවතී ඇස්වලයි, මුහුණෙයි ලොකු කතාවක් ලියා ගෙන මට කියවන්න ඇරියුම් කරනවා....!
                  මම නන්දිව නිදිකරවන්න මගෙ ඇඟිලි තුඩු වලට ඉඩ දුන්නම, නළල පුරා හෙමිහිට ඒ සිනිදු පහස විහිදිලා යන්න වුණා.

27 ක් අදහස් දක්වලා.

Monday, October 12, 2009

අලුත ගෙනා මනමාලිට හාල් පතක් ගරාලා..

Monday, October 12, 2009

පරාක්‍රම සමූද්‍රය දිහා දෑස රඳවගෙන වරු ගණනක් වුණත් නිසොල්මනේ ඉන්න පුළුවන් කියල මට හිතෙනව. තැඹිලි පාට වේගෙන මුකුළු කරන ඉරට; මුවා වෙන්න බැහැ වගෙ..... අවරෝහණය වෙන්නෙ ඉබි ගමනින්. කම්මැලි නොවී ඉක්මණට ගියොත් හොඳයි, අටවක හඳ පළුව වැව් දියට වැටිල දිය කෙලියේ යෙදෙන හැටි ඇබින්දක් හරි බලන්න පුළුවන් වෙයි එත කොට මටයි, නන්දිටයි එකට ළං වෙලා වැව් ඉවුරෙ ඉඳගෙන.
ප්‍රේමවතීගෙ විඩාපත් ගත ගෙදර නැවතුණා, වැව් ඉවුර ඉස්මත්තෙ සැරිසරන්න කම්මැලි වෙලා වගෙ. කෝඩුවෙන් ගල් විහාරෙ වඳින්න යන්න උතුරා හැලෙන භක්තිය හිතේ පුරෝගෙන ආවත් ගමන් තෙහෙට්ටුව, පින් පිරිච්ච හිත ගෙදර නතර කර ගෙන. එහෙමත් නැතුව අලුත් ජෝඩුවට විතරක් අලුත් ආදර ලෝකයෙ හුරතල් වෙන්න ඉඩ කඩ අවසර දෙන්න හිතුණද දන්නෙත් නැහැ, ප්‍රේමවතීගෙ ශ්‍රද්ධාවන්ත හිතට. හැබෑ ශ්‍රද්ධාව පිරිච්ච හිත් ඇතුලෙ කුහක, කුඩු කේඩු, කුරිරුකම් කියන කුණු රොඩු වලට ඉඩක් නැහැ. ඔක්කොම 'කු' යන්නෙන් පටන් ගන්න වචන, කුණු වගේම. ඒවා ඔක්කොම සිත් මිදුලෙන් ඇමදලා ඇමදලා ඈතට ඈතට වීසි කරලා.
නන්දිගෙ නිල නිවාසයෙ ඉඳල වැව් බැම්මට එන දුර මගෙ පියවර වලට දුරක් වුණේ නැහැ. චිත්‍රපටියක නං අත් වැල් අල්ලගෙන, ගහක් වටේ නටල, මලක් සිප ගන්න සමීප රූපයක් දමල පෙම් ගීයක් ගයන දර්ශනයක් වෙන්න තිබුණා, වැව අද්දරට එන ගමන. 
තැඹිලි පාට, දම් පාට සේරම සුදු පාට වළාකුළුත් එක්ක මිශ්‍ර කරලා බටහිර අහසෙ ලස්සණ චිත්‍රයක් නිර්මාණය කරන්න කවුදෝ උත්සාහ කරන්නෙ අපට උචිත රොමැන්තික පරිසරයක් මවා දෙන්නද? ආකාසෙ හෙවනැල්ල වැව් දිය මතට වැටිලා දේදුනු වර්ණ චිත්‍රයෙ ප්‍රතිබිම්බයක් වැව් දියේ සසල වෙනවා. දකුණු පැත්තෙ කොණේ තානායමේ සෙවනැල්ලත් අර චිත්‍රයේම කොටසක් වෙලා. අහසෙ ඇඳුණු චිත්‍රයේ ඒ කොටස ඒ කියන්නෙ තානායම දකින්න නැහැ. 
වැවට වැටුණු චිත්‍රයට ආලෝකයක් ගෙනෙන ඒ වගෙම දෑස පුරා අඳුන් තවරන කොළ පාට ආකාසෙත් තිබුණ නම් මොන තරම් චමත්කාර ජනක වේවිද? කොළ පාට සායම් පණිට්ටුවක් අර ගෙන අහස පුරා විසිරුවන්න හිතෙනව, මට. චිත්‍රය අඳින කෙනා එතකොට ඒ කොළ පාටත් අර ගෙන සමබරව වර්ණ සංයෝජනය කරල, චිත්‍රය විස්කම් නිමැවුමක් කරාවි එත කොට.
දිය රැළි වල චලනය වෙන්නෙ, කිරළා වන්නම් තාලයට රඟ දෙනවා වගේ. මගෙ හිතත් දිය රැළි ඕවිල්ලක නැගිල පැද්දෙනවා නොදරුවෙක් වගේ. පුළුන් රොදක සැහැල්ලුවක් .....! මම පුළුන් රොද අත්ලට අරගෙන ඇඟිලි තුඩු වලින් අහසට අල්ලලා දෙතොල් උල් කරල 'පුහ්' ගාල පිම්බෙ, මට කොයි තරමක් උඩට සැහැල්ලුවෙන් ඉගිල්ලෙන්න පුළුවන්ද බලන්න.  
"භාවනා කරනවද"
නන්දි මගෙ ලඟ ඉන්න එකත් අමතක වෙලා මට. හිසෙන් නළලට වැටිලා, නළලෙන් වැටෙන්න තැනක් නැතුව එහෙ මෙහෙ දඟ කරන කියඹු රැළි, නන්දිගෙ ඇඟිලි තුඩුවල පහසට වශී වෙලා, ටිකක් ලැජ්ජාවෙන් වගේ ඇඹරෙනවා.... අනේ ද කියන්නෙ...මට වත් නැති ලැජ්ජාවක් ඒගොල්ලන්ට.
"පරිසරයෙ සුන්දරත්වයෙන් මත් වෙලාද"
"ඔව්..ටිකක් විතර මත් වෙලා, මුහුද දිහා බලා ඉන්නයි, වැව් දිහා බලා ඉන්නයි මම හරිම ආසයි"
මගෙ වචන පින්න රැඳුණු සුළඟත් එක්ක පැරකුම් සමුදුරු දිය රැළි වලට එකතු වෙනව.  
"ඇයි, මගෙ දිහාවෙ බලා ඉන්න ආස නැද්ද?"
"මොකද නැත්තෙ? මම ඔයාගෙ දිහාව බලා ඉන්නවා රෑට ඔයාට නින්ද ගියාම. ඔයාට පෙනෙන්නෙ නැහැ නෙ, එතකොට" 
මම කියන්න හදන වචන රෑන ආදරණීය ස්වරයත් එක්කම තොල් අග්ගිස්සෙ හිනාවක් වෙලා නතර වෙන්නෙ ඇයි කියල මට නම් හිතා ගන්න බැහැ. 
"මට ඔයාට කියන්න ගොඩක් දේවල් හියෙනවා.කොතනින් පටන් ගන්නද කියල මට හිතා ගන්න බැහැ."
නන්දි මගෙ ඇඟිලි තුඩුවල මුදු මොළොක් බව විඳ ගන්න හදනවා එයාගෙ දෑතට මැදිකර ගෙන. මගෙ හිත ඇතුළෙන් කවුදෝ එබිකම් කරල මාව අවුල් කරන්න හදන්නෙ ඇයි මේ සුන්දර හෝරාවෙ?
'මොනවද එයාට කියන්න තියෙන ගොඩක් දේවල්..පරණ පෙම්වතියන් ගැනද? ඔයාට මොකටද ඒවා?' 
එක එක දූවිලි, කොළ රොඩු ඇවිත් හිත් මලුව කෙළසනවට මම කැමති නැහැ. බෝ කොළයක් දෙකක් වැටුණටකමක්නැති වුණත් වත්තක කොළ ඔක්කොම හැලුනොත් අමදින්න දුෂ්කර වෙයි, සිත් මළුව. අතීතය කියන්නෙ අතීතයට. ඒවා නොදැන ගෙන ඉන්න තරමට හොඳයි. නැත්නම් අනවශ්‍ය සැකය පෘතග්ජන හිතේ මොන මොන තොවිල් නටාවිද දන්නෙ නැහැ. මගෙනුත් ඇහුවොත් මටත් කියන්න වෙයිද, ඉන්ද්‍රයියා ගැනයි...තරිඳු ගැනයි එතකොට? අනවශ්‍ය ප්‍රශ්න ඇතිවෙන එක විතරයි, කියන්න තරම් මහ සුවිශේෂ දේවල් වුණෙත් නැතිකොට මොනව කියන්නද?
කියන්න ඕනි කිව්වට නන්දි විශේෂ කිසිම දෙයක් කීවෙ නැහැ. මාරුවීම හදාගෙන පුලතිසි පුරවරට මාව ගෙන්න ගන්නෙ කොහොමද කියල සැලසුම් කළා මිස. 
ඉර ගල වැවට වැටිල හැංගිලාම ගියා, අපෙනුත් සමු අරගෙන. සඳ කොමළි මද හිනා වපුර වපුරා ගොම්මන් අහසටත් වැව් දියටත් රිදී වියමන් එළනව, කිසිම ලෝභ කමක් නැතුව. වැව් කණ්ඩියෙ එහා මෙහා යන අය අපි ගැන හොයන්නෙ බලන්නෙ නැතුවම තම තමන්ගෙ අරමුණු කරා එළැඹෙන්නෙ, ඕප දූප හොයන්න වෙලාවක් නැති නිසා වෙන්න ඇති.
"හෙට මම, ටිකක් කලින් එන්නම්. අපි ගල් විහාරෙ බලන්න යමු, ප්‍රේමවතිත් ආවෙ ඒකටම නෙ. ප්‍රේමවතී දැනට මත් ඔයාට ආදරෙ වෙලා නේද?"
එයාගෙන් මට ප්‍රශ්නයක් අහන්න ඕනි වුණත් ඇහුවෙ නැහැ, හිතටයි කටටයි දෙකටම කම්මැලි හිතිලා. කියන දෙයක් එයාටම කියන්න ඉඩ හරින්න හිතුණා.
නන්දියි, මමයි ටිකෙන් ටික සමීප වෙන ගතියක් මට දැණුනා. නුගලියද්ද වලව්වෙ උෂ්ණෙ වැව් පවනැල්ලට සීතල වෙලා යනවද කොහෙද? 
"ඔයා කැම්පස් ගියෙ නැත්තෙ ඇයි?"
මට නොකියම මලිති ප්‍රශ්න අහන්න පටන් අර ගෙන.
" බයෝ සයන්ස් කරල දොස්තරෙක් වෙන්න තමයි, මමත් හිටියෙ. ඒත් බැංකුව හොඳයි කියල මට හිතුණා. දොස්තරලා, ඉන්ජිනේරුවො වුණත් ලෝන්ස් ගන්න අපි ළඟට එන්න ඕනි නෙ." "ඔයා හිතන්නෙ අමුතු විදිහකට නෙ"
දැන් නම් හුඟක් වචන උගුරෙ, තොල්වල හිර වෙන්න නොදී කටින් එලියට විසි කරන්න මට පුළුවන්. අපි අතර තිබුණු දුර දැන් කෙටි වීගෙන යනව, දවසින් දවස.
නන්දි, නන්දි කියල කතාවෙ ලිව්වට මම එයාට තවම නන්දි කියල කතා කරල නැහැ. මට එහෙම කතා කරන්න බැහැ වගෙ මට හිතෙන්නෙ, එයා මට වඩා අවුරුදු දහයක් විතර වැඩිමහලු නිසා වෙන්න ඇති. ප්‍රේමවතී නම් කියන්නෙ නන්දි අප්පො කියල. නන්දි අයියා කියල කියන්නත් හිතෙනව මට.
"මලිති, හෙට රෑට පාටි එකකුත් තියෙනව පබ්ලික් සර්විස් ක්ලබ් එකේ...හතට විතර ගියාම 
ඇති. අපි දෙන්නටයි, පාටිය."
මම එච්චර පාටි වලට ආසා නැතිවුණත් මේ ඉල්ලීම නම් බැහැර කර ලිය යුතු නැහැ. කොහොමත් දැන් මම මිසිස් නුගලියද්ද හැටියට ජිවත් වෙන්න පටන් ගන්න වෙනවා.
" පාටි එක හෙට නම් අපි අනිද්දට ගල් විහාරෙ යමු නේද? එහෙ ගිහින් ඇවිත් නැත්නම් මහන්සි පිට ආයෙත් යන්නෙ කොහොමද රෑට?" 
බිය සැක නැතුව යෝජනා ඉදිරිපත් කරන්නත් සිත සවිමත් වෙලා. දැන් කතා කරන්නෙ විවාහක පතිනියක්, මලිති කියන දැරිවි නෙවෙයි. මිසිස් නුගලියද්ද කියන වැඩිහිටි කාන්තාව. 
" ඒකත් ඇත්ත තමයි.....ඔයාටත් යමක් කමක් තෙරෙනව නේ..පුංචි වුණාට."
මම කොහොමද පුංචි වෙන්නෙ? අවුරුදු විසි දෙකක් කියන්නෙ වැඩිහිටි බවට පත් වෙන වයසක්. මෙන්න වැඩක්. පුංචි ලමයෙක් නං මම කසාද බඳිනවද?
"මම ආසයි වැවේ නාන්න...දවසක නාන්න යමුද?"
" බ්‍රහස්පතින්දා නිවාඩුවක් එනවා, අපි එදාට දුඹුටුලුගල යමු. එහෙ සී.ඕ. මගෙ යාලුවෙක්. එයා පරාක්‍රම සමූද්‍රය කොළනියෙ වැඩ කරන්නෙ. හෙට පාටියෙදි අපි කතා කර ගනිමුකො." සාදයට යන්න මම ඔසරියක් අඳින්නම ඕනිනෙ?
'අලුත ගෙනා මනමාලිට හාල්පතක් ගරාලා...උස් කොල්ලෝ පේලියයි..මිටි කොල්ලෝ පේලියයි..උස් දර මිටි පේලියයි..මිටි දර මිටි පේලියයි....' 
පුංචි කාලෙ අපි අතුරු මිතුරු දඹදිව තුරු රාජ කපුරු සෙට්ටියා කියන කොට මමත් කවදා හරි අලුත ගෙනා මනමාලියකගෙ ගෙ චරිතයට පිවිසෙයි කියල නිකමට වත් හිතුණෙ නැහැ. ඒ වගෙම උස් මිටි කියල වෙනස් කොට දක්වල තියෙන්නෙ පංති විසමතාවන්ද කියල ඉස්සර නොහිතුණත් දැන් නම් හිතෙන්නෙ, ඒ කාලෙ සමාජ සංස්ථාවෙ තිබුණු ඇති නැති කම්, දුප්පත් පොහොසත් කම්, කුල පරම්පරාවල වෙනස් කම් ඒවයින් අරමුණු කළාද කියලා. අපි එදා සිතූ පැතූ ආකාරයත් අද හිතන පතන ආකාරයෙත් යම් යම් වෙනස් කම් තියෙනව. ඒ වගෙම ජිවිතෙත් අපි හිතන පතන දේවල් ඒ ආකාරයෙන්ම ඉටු වෙනව නම් අපි ඉන්නෙ මනුස්ස ලෝකෙක නෙවෙයි, දිව්‍ය ලෝකෙක. 
ඒ වගෙම කුල පරම්පරා ගැටුමක් නැත්නම් ප්‍රේමවතීලගෙ ජීවිත මෙදාටත් මුළුතැන් ගෙයි පිඟන් රාක්කෙ යටම තට්ටුවෙ අඩුක් කරන්නෙ නැහැ නෙ, නුගලියද්ද වළව්වෙ කුලවත් උදවිය. "පරම්පරා ගාණෙ ඉතින් උඹලා කඹුරපල්ලා" කියල අපේ අත්තම්ම ඉස්සර කියපු කතා වල සැඟවෙලා තිබුණු ඇත්ත, මට ටිකෙන් ටික දැන් තේරුම් යනවා.
ප්‍රේමවතීලාට නොදැනෙන, දැනුණත් බඩ ගෝස්තරේ රැක ගත යුතු නිසා නොදැනුණා වගෙ ඉන්න මේ අඩුක්කු, ඇසුරුම් වල සුල මුල අපේ පරම්පරාවලින් ඔබ්බට නොයනවා නම් හොඳයි කියලා මට හිතෙනවා.
"මලිති, පරාක්‍රම සමූද්‍රයේ නාන හැටි ගැන සිහින මවනවද?"
"නැහැ, මට ප්‍රේමවතී ගැන මතක්වුණා"
"නින්ද ගිහින් ඇති...මහන්සියට."
ඒත් අපි ගෙදරට එන කොට ප්‍රේමවතී රෑ කෑමත් හදල ඉවර වෙලා ගේට්ටුව ලඟ බලා ගෙන ඉන්නවා. ලූල් මාළු මිරිසට හදල නන්දි කන්න ආස නිසා. ඒ වෙනකල් මම නම් ලූල් මාළු කාල තිබුණෙත් නැහැ.
"ප්‍රේමවතී....අනිද්දට මහත්තයට නිවාඩුලු. අපිට එදාට ගල්විහාරෙ වඳින්න යන්න පුළුවන්, තව ඉස්සර තිබුණු රජ මාළිගාවල්, චෛත්‍යය, කෝවිල්, කුට්ටම් පොකුණ වගෙ ඒවත් බලන්න යන්න පුළුවන් වෙයි."
" කෝවිල් තිබුණද ඉස්සරත්, සුදු මැණිකෙ?"
" ඉස්සර අපේ රජ්ජුරුවන්ට බිසෝ වරුන් ගෙනාවෙ ඉන්දුයාවෙන්ලු නෙ...ඉතින් බිසවට එයාගෙ හින්දු ආගම අදහගන්න නිදහස දීල තියෙනව, අපේ ධර්මිෂ්ඨ රජ වරු. ඒ නිසා තමයි, බෞද්ධ වෙහෙර විහාර ළඟින්ම හින්දු කෝවිලකුත් හදල තියෙන්නෙ"
" ඒ කියන්නෙ රජ කාලෙ හදපුවා තවමත් තියෙනවා?" 
ප්‍රේමවතී විස්මයට පත් වෙලා, රැලි වැටිච්ච නළලට ඇස් දෙක ගෙනියනවා. සයිමන් මිදුලෙ කර්තකොලොම්බු අඹ ගස් යට බංකුවෙ ඇන තියා ගෙන මොනවදෝ කියන්න කට හදනවා.  
"ප්‍රේමවතී අක්කා එන්ඩකො, මෙහෙ නවතින්ඩ...උදේ හවා යන්ඩ බැරියෑ ඔව්වා බලන්ඩ." 
ප්‍රේමවතීට නෑදෑයෙක් මුණ ගැහිච්ච එකත් හොඳයි කියල මට හිතුණා. ඉස්සර ආත්මවල අක්කා මලෝ වෙලා ඉන්නත් ඇති සමහර විට.
අඹ ගස් අතරෙන් පෙරෙන සඳ වතුර රන්, රිදී සලු පාලියක් නටනවා, වැව පැත්තෙන් එන සීතල සුළඟත් එක්ක එකතු වෙලා. 
"මලිති..., එන්න, මට බඩගිනියි." 
මගෙ දෙපා මටත් නොදැනි දුවනවා, අර හඬ ආපු දිහාවට. සුවච, කීකරුබිරිඳක් වෙලා නේද මලිති කුමරිහාමි? සම්ප්‍රදායිකා මගෙ අතක් අල්ලගෙන මාව ඉක්මන් කරවනවා. දඩබ්බරී අඹ ගහක බෙදිලා ගිය ගස් දෙබලක වාඩි වෙලා ඔච්චම් කරමින් ඇහැක් වහල ඉඟි කරනවා..... ආපහු හැරුණු හිස ගේ පැත්තට හැරෙව්වෙ ආයෙමත් සම්ප්‍රදායිකා.
"යමු, යමු...අදවත් බත් කටක් කවා ගන්න පුළුවන් වෙයි, සුදු මැණිකෙට"
හිනා මල් බිමට වැටෙන්න නොදී මම විදුලි පහන දිහාව බැලුවා.

15 ක් අදහස් දක්වලා.

Sunday, October 4, 2009

පාරමිතා ඉටු වීම

Sunday, October 4, 2009
ප්‍රේමවතී ඇවිත් නන්දිට පොළොන්නරු ගෙනියන්න කියලා දොදොල් හැඳි ගානව. නන්දිගෙ නිවාඩු ඉවර නිසා එය ආපහු යන්න සූදානම් වෙනවා. මට තව සතියක්ම ඉස්කෝලෙ නිවාඩු. මට හිතෙනවා, මාව ගිහින් අපේ ගෙදර නවත් වන්න කියලා කාරුණික ඉල්ලීමක් කරන්න, නන්දිගෙන්. හිත තවමත් කුලෑටියි, සබකෝලයි. නාට්‍යය වල රඟ පානකොට, කථික තරඟ වල කතා කරන කොට වේදිකාවෙදි නොදැනුණ සබකෝළයක් මගෙ හිතට දැනෙන්නෙ ඇයි?
අනාරක්ෂිත බව, ආගන්තුක බව....කොහොමත් අළුත ගෙනා මනමාලිලාගෙ ලැජ්ජාව වෙන්නැති. නන්දි කාමරේට එන කොට මම හිටියෙ එයාගෙ හෝදපු රෙදි නමමින්. මට නොදැනුවත්ව එයාගෙ කමිසයක් මගෙ නැහැ පුඩු අතරට ගියා. සබන් කුඩු සුවඳ අභිබවා ගෙන එයා ගෙ සුවඳ ඉස්මතු වෙනවා. දැන් මම එයාගෙ සුවඳ අඳුනනවා. ඒත් තවම මගෙ සුවඳ එයා හඳුන ගත්තද මන්දා?
"මලිති, පොළොන්නරු ගිහින් තියෙනවද?" නන්දිගෙ කතාව, වෙනදට වැඩිය දයාබරයි. කැම්පස් ඉන්න කොට බැච් ට්‍රිප් ගියා, මට මතකයි පොළොන්නරු. උදේ ගිහින් හවස ආව මිසක් වැඩි වෙලාවක් මම ආසා කරන පරාක්‍රම සමුද්‍ර වැව් බැම්මෙ ඉන්න බැරිවුණා. මගෙ හිත එතැන නතර වුණා වගෙ. ඒ තරමටම ලස්සණයි.
"කැම්පස් ඉන්දෙද්දි එක දවසක් උදේ ගිහින් හවස ආවා. වැඩිය ඇවිද්දෙ නැහැ"
" මම ඉරිදට යන්න ඉන්නෙ. නිවාඩුත් ඉවරයි නෙ. ඔයාට නිවාඩු නිසා ගිහින් එමු."
" වෙන කවුද යන්නෙ?"
" වෙන කවුද යන්න ඕනි, මම විතරක් මදිද?"
මෙයා විහිළු කරන්නත් දන්නව එහෙනම්. මම නවමින් හිටිය කොට්ට උරයෙන් දසන් පෙන්වන හිනාව වහ ගත්තා, සිනා නොමසෙන් දසන් දක්වා මතක් වෙලත් නෙවේ හැබැයි. ඔහු ඇවිත් මගෙ ළඟින්ම ඉඳ ගත්තෙ මගේ ඇඟේ ගෑවෙමින්. වෙනදට දවාලක කවදාවත් එයා මගෙ ලඟින් මේ තරම් කිට්ටුවෙන් ඉඳ ගෙන නැහැ.
"අම්මල වත් ආවොත්"
මට කියවුණේ ඉබේටම.
"ඉතින් මොකද? අම්මල කැවිලි හදනවා. මෙ පැත්තෙ එන්නෙ නැහැ. මම අම්මටත් කිව්ව ඔයාව එක්ක යනව කියලා. එහෙනම් රෙදි ලැහැස්ති කර ගන්නකො"
ඔහු මට ආදරයෙන් කතා කරපු මුල්ම වතාව. එක ඇහැක් අගට පෙරළුණු කඳුලක් ආපහු ඇහේ කෙවෙනිය ඇතුලට යැව්ව මම, රීවයින් කළා වගෙ. ඒක සතුටු කඳුළක් වුණත් පිරිමි සතුටු කඳුලු අඳුනන්නෙ නැහැ කියල මම අහල තියෙනව. කඳුළු දැක්කොත් නන්දිත් හිතයි, මම හැම එකටම අඬනව කියලා. පස්වනක් ප්‍රීතිය කියන්නෙ මේකට වෙන්නැති කියල මට හිතුණ, නන්දි මගෙ නළල ඉම්බම. 
මට අදහගන්නත් අමාරුයි, එයාගෙ වෙනස් වීම. මගෙ පාරමිතා ඉටු වීගෙන එනවා. ප්‍රාර්ථනාවන් හිත් පඳුරෙ මල් ඵල දරන්න සූදානම් වෙනව, වසන්තයට ඇස් අරින්න ඉන්න සිඟිති මල් පොහොට්ටු වගෙ. ඒ වුණාට මට තවම කෝලයි දඟ කාර කමට, එයා මාව තුරුළු කර ගන්න ඉස්සරින් එයාගෙ පපුවට තුරුළු වෙලා හුරතල් වෙන්න. හිතට හිතෙන දඟ වැඩ ලැජ්ජාවෙ වේවැලෙන් මට්ටු කරන්නෙ මගෙ හිතද සම්ප්‍රදායිකාද මන්දා.
දහම් පාසැලේදී කියල දුන්න හිරි ඔතප් ගැන මට මතක් වෙන්නෙ මොකද? මේ වෙලාවට මගෙ සහයට අවශ්‍ය දඩබ්බරී...මේ ගෙදරට ආවට පස්සෙ දඩබ්බරී මාත් එක්ක අමනාප වෙලා වගෙ. නිකමට වත් එන්නෙ නැහැ, දුක සැප බලල යන්න. මම එයාව අපේ ගෙදර නවත්තලා ආවෙත් නැහැ කියලත් මට හොඳටම මතකයි.
පොළොන්නරු යන්න පිටත් වුණේ අපි උදේ පාන්දර පහට විතර. උදෙන්ම ගියහම ඇඟට මහන්සි නැහැ කියල නන්දි කිව්වා.
"කඩ වලින් එහෙම කඩ චෝරු කන්නෙ නැහැ. සේරම කන බොන දේවල් දමලයි තියෙන්නෙ"
ලොකු ටීචර්ට වඳින කොට එයා තරවටු කරනව. 
" ෂහ්! මටත් යන්න තිබුණ්නෙ, කඨින පින්කම තිබුණෙ නැත්නම්." 
නැන්දම්මට නං ටිකක් හිතට හරි මදි වගෙ. අපි දෙන්න හා හපුරා කියලා තනියෙම යන ගමන.
" ඔක්කොම ආයෙමත් යමුකො ලබන පොසොන් වලට." 
" පොසොන් වලට? කොල්ලයි, බල්ලයි සෙරම යනව එත කොට. වැදගත් විදිහට වන්දනාවක් වත් කර ගන්න පුළුවනෑ එත කොට. සෙනග නැති නිස්කාන්සු දවසක යන්න තමයි මගෙ නං හිත"
එයා කැමති නැහැ වගෙ සාමාන්‍යය මිනිස්සු එක්ක මුහු වෙන්න. හරිම වැඩක් තමයි වෙන්නෙ, මේ වගෙ අයට නම්. මෛත්‍රී බුදුහාමුදුරුවන්ගෙන් එකම සද්ධර්ම මන්ඩලයක බණ අහල නිවන් දකින්නෙ කොහොමද, අවශේෂ අය එක්ක? එතැනදිත් කියාවි, මේ කොල්ලොයි, බල්ලොයි එක්කල අපිට එකට නිවන් දකින්න පුළුවන්ද කියලා මහන්තත්ත කමට. මේ ගොල්ලන්ව නිවන් දක්කන්න අට විසි බුදු වරු වැඩියත් බැරිවෙයි, මට නං හිතෙන හැටියට.  


මෙන්න බොලේ...අපි කාර් එකට නගින කොටම ප්‍රේමවතීත් ඇවිත් නගිනව පස්සෙන්. ඔක්කොමල මට 'සප්‍රයිස්' දෙන්න හිතලද කොහෙද? මටත් හරිම සතුටුයි.
" පුතා බැංකුවට ගියාම මලිතිට දවාලට ඉන්න වෙන්නෙ තනියෙම නෙ. ඒ හින්දා අපි ප්‍රේමවතිට යන්න කිව්වා."
" කොච්චර හොඳද?" මගෙ හිත එහෙම කියද්දි මම හිනාවෙලා අනුමැතිය ප්‍රකාශ කළා...සතුටින්. ප්‍රේමවතීටත් සතුර උහුලගන්න බැරුව කිචි කිචි හිනාවක් කැකිරි පලනව. මම සතුට හංග ගත්තා, වැඩිය ප්‍රදර්ශනය කිරීම අනිටු ප්‍රතිඵල ගෙන දිය හැකි බැවින්.
ප්‍රේමවතී නං සාධුකාරයකුත් දුන්නෙ, වන්දනාවෙ යනව කියල හිතට දැණුන නිසා වෙන්නැති. පව්! මොන තරම් අහිංසක හිතක්ද එයාට තියෙන්නෙ? අනුන්ට යහපතක් කරන්න මයි හැම විටම හිතන්නෙ. මමත් හිතෙන් ගාථාවක් කිව්වා. මම ඒ ගාථාව කියන්න පුරුදුවෙලා. පුරුද්දට කියවෙනවා. 
' සබ්බේ බුද්ධා බලප්පත්තා
පච්චේකානන්චයං බලං 
අරහන්තානංච තේජෙන 
රක්ඛං බන්දාමි සබ්බසෝ'
සියලු බුදු වරයන්ගේ බලයෙනුත්, සියලු පසේ බුදු වරයන්ගේ බලයෙනුත්, සියලු රහතන් වහන්සේලාගෙ බලයෙනුත් ආරක්ෂව ලබේවා කියන එක තමයි ඒ ගාථාවෙ ඡායානුවාදය.
" මොනවද කල්පනා කරන්නේ"
" මුකුත් නැහ..." 
මේ බණ කතා එයාට කියන්න පුළුවන්ද?
" ඔයාට කම්මැලිද?"
" ම්ම්ම් නැහැ, ඔයා ඉන්නෙ මගෙ ලඟ " මගෙ තොල් වලින් එලියට පනින්නෙ නැති වචන ගිලා බහිනව හිත පතුලට. කොච්චර නම් ඒ වගෙ වචන ලැජ්ජාව විසින් මෙහෙම ඔබල යට කරල තියෙනවද?
"ඉන්න මම ඔයාට සින්දුවක් දාන්නම්" කබී හෝල් එකෙන් ගත්තු කැසට් එකක් ඔහු යන්ත්‍රයට එබුවා...
"දන්නව නම් ඒ සින්දුව ඔයත් කියන්න"
' නිම් හිම් සෙව්වා මා සසරෙ
හමු වී යුගයෙන් බැඳි යුගයේ 
ළං වී වෙන්වී වරි වරේ 
ඔබ හා මා රන් හුයකිනි බැඳුණේ'
මට හිතෙනව මගේ ජීවිත පොතේ අලුත් පරිච්චේදයක් දැන් ලියැවෙන්න යනව කියලා. කර්තෘ වෙන්නෙ නන්දි මිත්‍ර නුගලියද්ද. මට සෝදු පත් කියවන්න දේවිද දන්නෙ නැහැ. ඊට වඩා හොඳයි, මට සංස්කරණය කරන්න දෙනව නම්. සංස්කරණය කරන ගමන් සෝදුපතුත් කියවන්න පුළුවන්. තවම තීරණය කරන්න බැහැ, ඒ නව කතාව ශෝකාන්තයක් වේවිද, සුඛාන්තයක් වේවිද කියලා. මට අනා වැකි කියන්න පුළුවන් කමක් නැහැ නෙ.  
 අනික මොකටද මම සෘණාත්මක විදිහට හිතන්නෙ...අලුත් බලාපොරොත්තු හෙමිහිට පීදෙන්න ඉඩ ඇරියා.....ලතාවකට...රිද්මයකට...'නිම් හිම්සෙව්වා ' ගියත් මුමුණන අතරේ. නන්දි එයාගෙ වම් අතින් මගෙ දකුණු අත අර ගෙන එයාගෙ කලව උඩ සැතපෙව්ව. මගෙ ඇඟ කිළිපොළා ගියා. මගෙ ඇස් ඉබෙටම ගියෙ කන්නාඩියට, ප්‍රේමවතී දිහාවට.  එයා අවට පරිසරයෙන් මත් වෙලා රිය කවුළුවෙන් එහා දුවන පින්තූරයෙ ඇස් අලවගෙන ඉන්නවා.

19 ක් අදහස් දක්වලා.