Thursday, December 29, 2011

තරුණකම මනින නිර්ණායකය කුමක්ද?

Thursday, December 29, 2011
             2011 ඉවර වෙන්න තියෙන්නෙ තව එකම එක දවසයි. ආපහු හැරිල බලන විට හිතට සියුම් සතුටක් දැනෙනව. මම පිම්බෙන්නෙ නැතුව අනික් අයව නගා සිටුවන්න කරන ලද කැපවීම් හිත පුරා මල් කැකුළු පුබුදුවනවා. ඒ සුවඳ ජීව්තය සුවඳවත් කරාවි කියල මගෙ හිත කියනවා.


               ළඟදි දවසක මට හිතවත්ම නගාලා, මලයණ්ඩිලා සමග එක් වුණු දවසක එක මලයණ්ඩියෙකුගෙ විස්තරක් පත්තරේක තිබුණා. ඔහු ඒ ගැන පුරාජේරු කිව්වෙ නැහැ, හරිම නිහතමානී විදිහකට සිනහ වුණා. ඔහුගෙ පිරිපුන්කම මා එහිදී දැක්කා...පැහැදිලිවම. අවට සිටි අය කිව්වා 'අක්කණ්ඩි' ගැනත් මේ පිටුවෙ දැම්මොත් කොහොම හිටීද කියලා. මා ඔවුන්ට දශක දෙකක් විතර වැඩිමහලු නිසාවෙනුයි, එහෙම කියවුණෙ. මට එහිදී හිතට නැගුණු දෙයක් තමයි, අපේ රටේ තරුණ කම මනින්නෙ වයසෙන් හෝ අවුරුදු ගණන් වලින් කියලා. ඒක නිවැරදි නිර්ණායකයක්ද කියල හිත මගෙන් ප්‍රශ්න කරනවා. 


                          අර්ධ ශතකයක් ගැහුවත් තවමත් තාරුණ්‍යනොඉක්මවූ අයුරින් යහපත් සේවාවන්හි සහ සත් කාර්යයන්හි   කාර්යක්ෂම නියැලෙන අය අප වටා ඕනෑ තරම් ඉන්නවා. අපි දකිනවා ඔවුන්ව. අපට දැනෙනවා ඔවුන් කරනා ඵලදායී කටයුතු. තරුණ වයසේ ඉන්න සමහර දුවල, පුත්තු තුළ එවන් කාර්යක්ෂමතවක් දකින්න නැහැ. රැකියාවක් නැත්නම් දවසෙන් වැඩි හරියක් නිදියන්වා. පුංචි දෙයක් කළත් ඔවුන්ට මහන්සියි. ඒ වගෙම රැකියාවට ගියගමන්ම විහාල වැටුපක් බලාපොරොත්තු වෙනවා.
ළඟකදි එක් තරණ පුතෙක්,( වයස අවුරුදු විසිපහයි, ඔහුට )මට කිව්ව ඔහු සම්මුඛ පරීක්ෂණයකට ගිය බව රැකියාවකට. ඒ සමගින්ම කියා හිටියෙ "ඒක මට හරි යන එකක් නැහැ. අනික් අයට කියල තියනවා, පස්සෙ දන්වන්නම් කියල. ඒත් මට එහෙම කිව්වෙ නැහැ" කියලා. එවිට මම ඔහුගෙන් ඇහුවා "ඔය සම්මුක පරීක්ෂණයට ගිය ගමන්ම එම මණ්ඩලයට 'සුබ උදෑසනක්' කියල කිව්වද. වාඩිවෙන්නකීවම 'ස්තුතියි' කියල වාඩිවුණාද? කියලා.
ඔහු ගත් කටටම මගෙන් ඇහුවෙ "එහෙම කියන්නෙ මොකටද?
" මම හිටියනම් එම මණ්ඩලයෙ මමත් ඔයාව ගන්නෙ නැහැ "
මා ඔහුට මගෙ අදහස කිව්ව.
මේ සිරිත් විරිත් ඉතා සුළුවට පෙණුනත් ඒවා වැදගත් බව මම ඔහුට පෙන්වා දුන්නා.
සම්මුඛ පරීක්ෂණයකදි ආචාර ශීලි බව බොහොම වැදගත් බව ඔහු දැන සිටියෙ නැහැ. අඳින ඇඳුම, කතා බහ, ප්‍රිය මනාප බව වගෙ දේවලුත්  වැදගත්  බව මා ඔහුට පෙන්වා දුන්නා. කොතෙක් දුරට වියපත් අපගෙ අදහස් ඔහු පිළිගනීවිද මන්දා?
                   මෙහිදී මට තවත් සත්‍යය කතාවක සිහිපත් වෙනවා. එක තරුණයෙක් ඉතා දක්ෂ ලෙස   සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දීල ඔහුව එ සඳහා තෝරාගත් බව මණ්ඩලය ඔහුට පවසල අතට අත දීල සුබ පතල යන්න අවසර දුන්න. ඔහු මණ්ඩලයට ස්තුති කරල එම කාමරයෙන් පිටවී යන අවස්ථාවෙ මණ්ඩලය නැවත ඔහුව කැඳෙව්ව.
" කණගාටුයි. ඔබ මේ තනතුරට සුදුසු නැහැ කියල අපට තේරුම් ගියා"
" ඒ මොකද සර්"
" ඔයා බෙල්ට් එක ඔක්කොම ලූප්ස් වලට හරියට දමල නැහැ. එකක් මග හැරිලා. අපේ ආයතනයට එහෙම අපිළිවෙලට
වැඩ කරන නිලධාරීන් ගත්තම අපේ නිෂ්පාදන ඵලදායකත්වය ගැන විශ්වාසය තියන්න අමාරුයි. බොහොම කණගාටුයි"



            වසර අවසන් වෙන්න දවසක් තියෙද්දි මා මේ සටහන තියන්නෙ අපේ තරුණ පරපුර කෙරෙහි අපරිමිත සෙනෙහසින් සහ දයාවෙන්. ඒ ඔවුන් අපේ අනාගතය නිසා.

             උදාවන 2012 වසර ඔබ සැමට සාමය, සතුට, සෞභාග්‍යය ගෙනෙන වසරක්ම වේවා!

6 ක් අදහස් දක්වලා.