Saturday, July 23, 2011

දොළ පිදේනියක් . . . !

Saturday, July 23, 2011
     අම්මලත් එක්ක නටබුන් බලන්න යද්දිත්, ගෙදරදි කාලය ගත කරද්දිත් නන්දි වෙන කවදාවත් නොපෙන්වන සෙනෙහසක් මට පෙන්නුවා. අම්මලටත් හිතට සතුටු ඇති, දෝණියැන්දට ආදරණීය ස්වාමි පුරුෂයෙක් ලැබිලා කියලා. කිසිම දවසක මත්පැන් කටේ නොතියපු කෙනෙකු වගෙ ඔහු අප්පච්චිට සැර බීම බෝතලයක් එයාලගෙ ක්ලබ් එකෙන් ගෙනැත් කන්තෝරු කාමරේ මේසෙ උඩින් තියලා, ඒ ලඟින්ම ප්‍රේමවතීට කියවල බැදපු වැව් මාලුයි, මයියොක්කා තම්බපුවයි පූජා භාණ්ඩ අඩුක් කරන තාලෙට ඇසුරුම් කළා. අප්පච්චිට දොළ පිදේනියක් . . . ! මට කරන වෙනස් කම් වලින් ගැලවෙන්ට. පව් සෝදා හරින්ට.
   කවදා හරි ඇත්ත ඉස්මතු වෙයි, රබර් බෝලෙ වගෙ ඇත්
යටට ඔබන්න පුළුවන් වේවිද සදාකාලිකවම. හැබැයි එතකොට මට මොනව වෙල තියේවි ද දන්නෙ නැහැ. මේ දවස් දෙක තුනේම නන්දි ක්ලබ් ගියෙත් නැහැ. මධු විත තොල ගෑවෙත් නැහැ. නියම බොදුණුවෙක්. මේ සිල් හැම දාම ගන්න පුළුවන් නම් මමත් වාසනාවන්ත බිරියක්. දඩබ්බරී සැර කරන්නෙ මට විතරයි, අම්මයි, අප්පච්චියි  ළඟ එයත් මුකවාඩම් බැඳ ගන්නවා.
  අප්පච්චිල යන්න හදන කොට නන්දි මෙතෙක් කල් වසන් කළ දෙයක් සියල්ලන් ඉදිරියේ නිරාවරණය කළා.
" නිවඩු පටන් ගනිද්දි මෙ
යාගෙ මාරුවත් මේ ළඟට හදල තියෙන්නෙ, අප්පච්චි. පොළොන්නරුවටම හදා ගන්න බැරි වුණා. හිඟුරක්ගොඩට තමයි හදා ගන්න පුලුවන් වුණෙ."
  " ඉතින් එතකොට දෙන්න දෙපොළෙ නේ" අම්මා අදහස් ප්‍රකාශ කළේ මුලින්ම.

" අපෝ! පැය භාගයක් වත් නැහැ නෙ මෙහෙ ඉඳල එහෙට. මෙයාට එහෙ නවතින්න පුළුවන් ප්‍රේමවතිත් එක්ක. මගෙ යාළුවෙක් ගෙයකුත් හොයල දෙන්නම් කිව්වා, ඉස්කෝලෙ ළඟින්ම."
" එතකොට පුතා මෙහෙ ඉන්නවද?"
ඒ අප්පච්චි.
" ඔව්, මගෙ නිල නිවාසෙ තියෙනව නෙ. අනික දැන් ඉන්න තත්ත්වෙ අනුව බස් වල යන්නත් බැහැ නෙ. ටික කලක් යන කොට මාරුවීමක් හදාගන්න පුළුවන් වේවි,මෙහාට"
" ඔය දෙන්නගෙ කැමැත්තක්"
අප්පච්චි වාද කළෙත් නැහැ. මා වෙනුවෙන් නීතිඥයෙකු වුණෙත් නැහැ. දෙන්නගෙ කැමැත්තක් දැන් කොහෙද? සේරම සිද්ධ වෙන්නෙ තනි කැමැත්තට. ස්වාමි  පුරුෂයාගෙ මනාපෙට. ඔය මාරුවීම ගැන මට නිකමට වත් කීවයැ, මේ වෙන කල්ම.
" ලබන සති අන්තයෙ අපි ගෙදර ගිහින් මෙයාගෙ බඩු මුට්ටු අරන් එන්නයි හිතන් ඉන්නෙ. එහෙත් ඇවිත් යන්න එන්නම් කො. මෙයාට අවශ්‍ය දේවල් එහෙත් තව ඇතිනේ.."

         සුවච කීකරු පතිනියකගෙ භූමිකාව තුළ සිරවෙමින් මම අප්පච්චිටත් අම්මටත් වැන්දෙ ඇස් වල තෙරපෙන කඳුළු හිර කර ගන්න බැරුව. ඇයි මෙහෙම ගැහැන
ණු යටහත් පත්ව පිරිමින්ගෙ අණසකට, ආධිපත්‍යයට යටත් වෙල ජීවත් වෙන්න ඕනි? ඒකද සාමකාමී පවුල් ජීවිතය විදිහට සම්මානයට පාත්‍ර වෙන්නෙ? ඒවාට එරෙහිව කතා කරන ගැහැණු අසංවර, අශීලාචාර උදවියද?
  විශ්ව විද්‍යාලයේ උන් සටන් කාමී මලිති සිල්ගත් උවැසියක සේ ඉන්නේ දෙගුරුන්ගේ ගෞරවය, කුල ගර්වය රකිනු පිණිසද? ඇය ජීවත් විය යුත්තේ තව කෙනෙකුගේ සහ ඔහුගේ පවුලේ අනෙකුත් අයගේ අභිමතයන්ට අනුකූලවද?
  ප්‍රශ්න මෙපමණකින් කෙළවර වන්නේ නැහැ. සියල්ල ලියන්නට ගිය හොත් ප්‍රශ්න වලින්ම පිරුණු ලියවිල්ලක් ඉතුරු වේවි. එනිසාම සිතට එන ප්‍රශ්න කන්දරාව හමුවේ බැම්මක් ඉදි කරන්නට සම්ප්‍රදායිකා තැත් කරනවා.
  දරුවා වෙනුවෙන් සියල්ල ඉවසා සිටියයුතු වගත් සම්ප්‍රදායිකා මට මතක් කර දුන්නා. දැන් මලිති නැහැ, මිසිස් නුගලියද්ද. යුවතියක් විදිහට නෙවේ මැතිනියක් විදිහට කටයුතු කරන්න වෙයි. මළ විකාර! තවම මගෙ වයස කීයද? මැතිනියක් නෙවෙයි, මහත්මියක් වත් වෙන්න මට ඕනි නැහැ. මම මලිතිම,
මලිතිම විරයි.
 'ඒ වුණාට ඔයා අම්ම කෙනෙක් වෙන්නයි, යන්නෙ.' ඒ පාර දඩබ්බරිත් මට ඔලොක්කු කරනවා.
  දුර ඈත තිතක් වෙලා නොපෙනී යන අප්පච්චිලා රැගත් වාහනයෙන් ඇස් ඉවතට ගත්තට පස්සෙ බලන බලන හැම තැනකම කලු තිත් පෙනෙනවා. ඔලුව කැරකෙන ගතියට මම ළඟින්ම උන්නු ප්‍රේමතීගෙ ගතට හේත්තු වුණෙ, මට මගෙ ශරීරය වාරු නැතුව යනව වගෙ දණුනු නිසා.
    

3 ක් අදහස් දක්වලා.:

deeps said...

මේ මොකක්ද මේ කතාව අක්කණ්ඩි?

Chandi said...

අක්කේ, මේ කතාවෙ ඉතිරි ටික කියවන්න ආසාවෙන් බලා හිටිය කලක්! අනේ ඉක්මනින් ලියන්න. මෙහෙම හිතේ හිරකරගෙන ඉන්නෙ නැතිව ලියන්න. හරිම සංවේදී දැන් නම් කතාව. ඔයාට ජයම පතනවා.

'සුළඟ' said...

අක්කණ්ඩි,

මේක මම බොහොම කෑදරව කියවන කතාවක්... කාලයක් 'පුලිනතලාව' යාවත් කාලීන උනේ නෑනෙ..
දැන් ආයෙත් කියවනව...
ඔන්න නවත්වන්න නම් එපා

Post a Comment