Saturday, April 17, 2010

කැලේ නීතිය

Saturday, April 17, 2010
      මිනිය ගොඩට ගත්තේ පණ පිටින් වැළලූ වළෙන්ය. පණ පිටින් වැළලූයේ  පවුලේ කුල ගර්වය කෙළෙසූ නිසාය. කරක් පස් යට කළ පසු ගල් ගසන්නට යැයි මුල්ලා කී විට වටේ රැස්වී සිටි හැමෝම ඔහුට අවනත වූහ. ගැහැණු බුර්කා වලින් මුළු සිරුරම වසා ගෙන ඇස් දෙකට ඉදිරියෙන් වූ සිහින් දැලෙන් එල්ලය ගෙන ගල්  එල්ල කළහ. අල්ලා දෙවියන් සිටියා නම් කිසිවෙකුටත් ඇයට ගල් ගසන්නට ඉඩ නොදෙනු ඇත.
  'නුඹලාගෙන් පව් නොකළ කෙනෙක් වෙත් නම් පළමුවන ගල ගසා පල්ල" කියන්නට යේසුස් වහන්සේ ආවේ ද නැත. කැලේ නීතිය රජ වූ රටක, නීති රීති ක්‍රියාත්මක නොවන රටක, සාධාරණයක්,යුක්තියක් පසිඳලන්නට කවරෙක් නම් ඉදිරියට එනු ඇත්ද?
   ගල් ගසා මරණු ලැබූ මිණිය නව යොවුන් යුවතියක ගේය. කළ වරද භද්‍ර යව්වනයේම හුන් තවත් මානවකයෙකුට ප්‍රේම කිරීමය. රට ඇෆ්ගනිස්තානයයි. ගම, එම රටේ උතුරේ පිහිටි නූගතුන් පිරුණු නියම් ගමක්ය.
    මරා දැමුණු යුවතියගේ නම අසීසාය. උරංගා ඇගේ ඥාති සොයුරිය පණ පිටින් මෙසේ ම්ලේච්ඡව මරා දමණු බලා සිටිය නොහැකි නිසාම දෙපා වලට ඉක්මන් ගමන් යන්නට අවසර දුන්නේ නැත. එහෙත් සිය නෑනන්ඩිය යලිත් නො එන ලෙසින් ඉක්මන් ගමනක් ගොස් හමාරය.
   අසීසාගෙ මුහුණ බැලිය නොහැකි තරමට ගල්පහර වලින් විරූප වී ඇත. ලේ නොගලන්නේ කොතනින්ද කියා සිතා ගන්නට බැරිය.ඒ තරමටම මුහුණ තුවාල වී ඇත. තවත් ඒ සිත් පෙලන දර්ශනය බලා සිටිය නොහැකිව උරන්ගා බුර්කාව දෑතින් ඔසවා ගෙන දුර්ජන මුහුණු නොපෙනෙන තෙක් මානයක වූ සිය මැටි ගෙදර දක්වාම එක පිම්මේ දුවන්නට විය. ඒ හිතට ඇති පදම් හඬා වැළ පෙන්නටය. 
     " අපේ ආගමේ විදිහට අවසාන කටයුතු කරන්න අවශ්‍ය නැහැ. මේ කෙල්ල අපට කළ අවමානයට මීට වඩා වෙන දඬුවමක් නැහැ. සර්ව බලධාරී දෙවියන් වහන්සේ දන්න මේ හැතිරි කරපු පාප කර්මය මොකද්ද කියලා. තුහ්! තුහ්!" කියා කෙල ගසමින් උජාරු කම් කියන ගමේ මුල්ලාගේ බහට මුළු ගමම අවනතය. කීකරුය. නලංගුය. උරන්ගාට ඉවසිය නොහැක්කේ එයයි.
  මියගිය අසීසාගේ..නැත...මරා දමනු ලැබූ අසීසාගේ මව බුර්කාව තුළට වී මුල්ලාගේ වදන් අනුමත කළේ අසීසාගෙ පියාගෙ අනෙක් බිරියන් තුන් දෙනාද සමගින්ය. බිරියන් තුන් හතර දෙනෙකුට දරුවන් විසි තිස් දෙනෙකු සිටිනා මෙවන් පවුලකට දරුවෙකුගෙ මරණය සයුරෙන් දිය දෝතක් අහක ගියාක් මෙනි. සිත් වේදනා වන්නට කිසිදු කාරණයක් නැත.
  කුරාණයේ මුල්පිටුව වත් කියවන්නට නොදත් අමන මරි මෝඩ මුල්ලා ආගම කියවන්නේ කට පාඩමෙන්ය. ගැහැනු ළමයින්ට ඉස්කෝල තහනම්, අකුරු කරන්නට තහනම් පෙදෙසක ගැහැනු ළමයින්ට ප්‍රේමකරන්නට ඉඩ හසර දෙනු ඇතිද? උරන්ගා මේ සියල්ල හිතමින් මේවා වෙනස් කරන්නට  අල්ලා දෙවියන් නැවත උපදින්නේ නැත්තේ ඇයිද යැයි සිය දහස් වර සිතා ඇත. මුල්ලා ගිය මාසයේ සිය හතරවෙනි බිරිඳ ලෙස අවුරුදු දොළහක ගැටිස්සියක්ව කැන්දාගෙන ආවේ, ඇයගේ පියාට මුදල් හදල් සමග බැටලුවන් රංචුවක් හිලව් කරමිනි.
      අසීසා, සිය පියාගෙ පළමු බිරියගේ වැඩිමහල් දියනිය වී ඉපිද සිටියාය. කුඩා කල පියාගේ එකම හුරතලිය ඇය වුවද බිරියන් සමගම දරුවන් වැඩි වෙන විට දරු හුරතල් බැලීමක් කොයිම වෙලාවක සිදු වුණේ නැති තරම්ය. අසීසා බැටළු රංචු දක්ක ගෙන කොල්ලන් හා එක තලයට, හරි හරියට  කඳු මුදුන් වලට ඇදෙදී දොසක් කියන්නට කවුරුත් අවේ නැත. එහෙත් ඇය හඬ නගා සිනා සෙන විට, සෙල්ලමෙන් පැරදුණු කොල්ලන්ට හූ කියන විට නම් නැන්දලා සහ පුංචි අම්මලා තරවටු කළා උරන්ගාට මතකය.
   අසීසාට සහ උරන්ගාට පාසැල් යාම තහනම් විය. මල්ලිලා පමණක් කිලෝ මීටරයක් පමණ දුරින් වූ පාසැලට යති. ඔවුන්ගෙ පොත්වල පින්තූර බලන්නට හෝ ඉඩ ලැබෙන්නේ ඔවුන් ගෙදර නැති වෙලාවට පමණක්ය. 
  "උඹලා කෙල්ලො. උඹලට ඔය පොත් අල්ලන්න වත් හොඳ නැහැ. පව්. ගෑණු ජාතිය, ජරා ජාතිය. ගලේ ගහ පිය..මරා දමපිය"
  පොත් බලන්නට ගන්න උත්සාහයන් නතර වෙන්නේ ඒ ආකාරයෙනි. උරන්ගා, අසිසා මෙන් සියලු ගැහැණු දරුවන් මේ කෙණෙහිලි වලට ගොදුරු වුවත් විරෝධතා නගන්නට හෝ පිකට් කරන්නට සංවිධාන එහේ නැත. එසේ කළොත් මරණය නියතය.
         පවුලේ පිරිමි දරුවන් ගැහැණු දරුවන්ව එසේ පාච්චල් කරද්දී වැඩිහිටියන්ද ඔවුන්ට උඩ ගෙඩි දෙමින් පවතින සම්ප්‍රදායන් සහ ආකල්පයන් අනුමත කළහ. 
   අසීසාට මෙන්ම උරන්ගාටද මේ කිසිවක් අභිබවා යා නොහැක. ඒ සඳහා දැනුමක්ද නැත. තාත්තාත්, අම්මලාත් පුතුන්ගේ පැත්තේය. ඔවුන් විදි දුක්, කම් කටොලු, අතවර දැරියන්ද විඳිය යුතු යයි ඔවුහූ අදහති. වැල යන අතට මැස්ස ගහනවා මිසක ඒ තමන්ගේ උපන් කරුමය සහ උරුමය යයි සිතනවා මිසක ඉන් එහාට සිතන්නට ඔවුන්ට ඥාන ශක්තියක් නැත. අම්මලා සිතන්නේ ගැහැණුන් ඉන්නේ ගෙදර දොරෙහි වැඩ කරන්නට, දරුවන් වදන්නට සහ හදන්නට පමණක් බවයි. ඒ වගේම පිරිමින්ගෙ ගුටි බැට වලට ලක් වීම, ඔවුන්ට දාස මෙහෙවර කිරීම තමන් ලබා උපන් දෙයක් බවත් ඔවුහූ පිළිගත්හ. මේවාට විරුද්ධව කතා කිරීම දෙවියන්ට එරෙහි වන තරමේ පාපයක් ලෙසද ඔවුන්ට කියා දී තිබිණි. 
    පිරිමින්ගේ කිසිදු තීන්දුවකට එරෙහි වීමට ගැහැණුන්ට නොහැකිය. අසීසාත්, උරන්ගාත් වයසින් මෝරද්දී මේවා ගැන රහසේ කතා කළද ඉන් එහාට කිසිවක් කරන්නට හැකියාවක් ඔවුන් තුළ වූයේ නැත.
   වැඩිවිය පැමිණීමත් සමගම අසීසා සහ උරන්ගාට බැටුළුවන්ව ගෙනයාම සපුරා තහනම් වූයේ සම්ප්‍රදායන් අනුවය. බැටළුවන් උලා කද්දී කොලු කෙල්ලන් සෙල්ලමේ යෙදෙති. දැන් ඒ සියල්ල යව්වනය විසින් උදුරා ඉවත වීසි කර ඇත. ළමා විය නොඉක්මුණා නම් හොඳ යයි සිතෙන්නේ එවිටය.
    අසීසාට තමන් සමග එක රෑනෙ කෙළි දළෙහි යෙදුණු කොලු කෙල්ලන්ව මතක් වෙයි. එළු, බැටළු, ගවයන් නිදැල්ලේ තන උලා කද්දී වසන්ත කාල සුන්දර කළ කෙලි සෙල්ලම් සිත කොනිත්තද්දී උරන්ගවත් ඇදගෙන  කඳු වළල්ලට දුවන්නට සිතෙන සිත අසීසා රෙදි කැබැල්ලක ඔතා වහළට විසි කරයි. එය නැවත තමන් ළඟට නො එනවා නම් හොඳය.
    අසීසාගෙ පියාගෙ තුන්වෙනි බිරිඳට කුළුඳුල් පුතා ලැබුණ විට අසීසාට මහත් සතුටක් දැනිනි. ඒ දවස් හයකින් එලැඹෙන නම්තැබීමේ උත්සවයට සතුටු විය හැකි නිසාය. ඒ උත්සවයට සහභාගි විය හැක්කේ කාන්තා පක්ෂයට පමණක් වුවද එදාට නටන්නත්, ගයන්නත් ලැබෙන අවස්ථාවෙන් තරුනියන් උපරිම ප්‍රයෝජන ගනිති. ඉනුත් සින්දුවක් කියා, චුට්ටක් නටා අහින්සක සතුටක් ලබනව මිස ඉන් ඔබ්බට යෑමක් කිසි විටෙකත් සැබැ නොවන සිහින පමනකි.  . . . .
(ඉතිරි කොටස මග...)

11 ක් අදහස් දක්වලා.

කව්ගර්ල්ස්

              කිරි සිහින සඳ වතුරක කිමිදෙමින් ඉන්න කාලයක් ආයෙමත් ඇවිත්. ඒත් අපි පුංචි කාලෙ හිතුවට වඩා දන් හැදෙන පුංචි දරුවන්ගෙ සිතුවිලි වෙනස්. මම පුංචි දඟකාරියො දෙන්නෙක් එක්ක රූපවාහිනිය බලමින් හිටියා. 'කාටූන් කව් බෝයි' රූප පටයක් ඒ. 
ටිකක් වේලා බලමින් හිටි එක පැටික්කියෙක් කියනවා,
"ඇයි,මේ කතාවල කව් බෝයිස්ල විතරක් ඉන්නෙ. කව්ගර්ල්ස් ලා ඒ රටවල නැද්ද" කියලා. දීපල්ලකො උත්තර. 
"ඒක නේන්නම්, අපි ලංකාවෙ මාමලා නැන්දලාට කියල ඒ වගෙ එකක් හදවමු" 
කොහොම වෙතත් කෙල්ල ස්ත්‍රීවාදිනියක් වෙයි කියල මට හිතුණා.
  මේ දවස් වල මේ දෙන්නට කතන්දර කියල දීල ඉවරයක් නැහැ. අමල් බිසෝ, නිදිකුමාරි, බෝන්චි වැල සහ යෝධයා, හිම කුමාරි, කොහොල්ලෑ බබා විතරක් නෙවෙයි....අන්දරේගෙ, මහ දැනමුත්තගෙ කතාත් කියල ඉවර කළා.
  " මගෙ කතන්දර ඔක්කොම ඉවරයි නෙ දැන්" කියල මම කිව්වම මොකද දන්නවද ඒ දෙන්න කියන්නෙ?

"ඔයා ලියන්නෙ එහෙනං අර කතා පොත් එහෙම, ලැප් ටොප් එකෙත් ලියන්නෙ. ඒ වගෙ හිතල හිතල හදල කියන්න කො, අත්තම්මෙ."
  ඉතින් ඊයෙ ඉඳල ළමා කතා නිබන්ධනය වෙනවා, දිගට හරහට. ළමා කවි සහ කතා..වැඩේ නරකම නැහැ නේද?

2 ක් අදහස් දක්වලා.

Tuesday, April 13, 2010

අවරෝහණය

Tuesday, April 13, 2010
                                                    ගන්නවද පළවෙනි ප්‍රශ්නෙ කියල අහල ප්‍රශ්නාර්ථයක් තියල ගියා ගියාමයි, එන්න බැරිවුණා....මාස දෙකක් විතරම මේ පැත්තෙ. ඉතින් සමා අවසර! ලබන්නාවූ සිංහල, හින්දු නව වසරත් එක්කම හර්දයංගමව සුභ ප්‍රාර්ථනා කරමින් බුලත් අතකුත් අරන් ආවොත් කවුරුත් මාව පිටමං කරන එකක් නැතිවේවි කියල මට හිතෙනවා.

"සුදු මැණිකේ....සුදු මැණිකෙ.."

ඔන්න නන්දිගෙ හඬ...හතර අතේ දෝංකාර දෙනවා. යක්බෙරයක් වගෙ කියල දඩබ්බරී කියනව, නොරිස්සුමෙන්. නැහැ...ඒ නන්දිගෙ හඬම නෙවේ...හිතේ හොල්මන් කරන හඬක්.

පුලින තලාවෙන් දුර කට වෙලා, පුලින තලාවෙ සැරි සරන සමීපස්ථයන්ගෙන් දූරිභූත වෙලා මලිති හිටියෙ කොහෙද ඇත්තටම?

දැඩි සත්කාර ඒකකයේ වැසුණු දොර පලු දෙකට මැද්දෙන් මලිතිගෙ දෑස රිංගනව, ලෙඩාගෙ සුව තතු පෙන්වන මොනිටරය මතට. රුධිර පීඩනය...40/60 හර්ද ස්පන්දනය 30...සැටුරේෂන්....65...

මලිති ඇවිත් පුටුවකට බර දුන්නා. පුටුවෙ ඇලෙන්නෙ නැහැ මලිතිගෙ හිත, විනාඩි දෙකක් වත්. ආපහු නැගිට නැගිට ගිහින් බලන්නෙ මොනිටරයේ පෙන්වන අංක වැඩි වෙලාද කියලා. මලිතිට අවශ්‍ය දේ වෙනුවට සිද්ධ වෙන්නෙ ඒ අංක අවරෝහණය පැත්තට වැටෙන එකයි. පුතා ඇවිත් ආපහු ගියෙ නන්දිව ගොඩ ගන්න මලිතිට පුළුවන්ය යන විශ්වාසය පුතාගෙ හිතේ තදින්ම සනිටුහන් කර ගෙන. නන්දිට මොකුත් වුනොත් පුතාගෙ හිත කඩන් වැටේවි. දුව පැයෙන් පැයට දුර කථන ඇමතුම් දෙන්නෙ මලිති ලඟ ජීවකයෙකුගෙ බලයක් ඇතියි කියලා.

නන්දිගෙ කොළඹ අවට ඉන්න නංගිල දෙන්න ඇවිත් ඉන්නව, තම තමන්ගෙ සහකාරයොත් එක්ක. කොළපාට කබා දා ගෙන, සුදු සපත්තු දමාගෙන ඔවුන් දැඩි සත්කාර ඒකකයෙ දොර පලු දෙකෙන් ඇතුලට ගියේ විශේෂඥ වෛද්‍යවරුන් වගේ. එලියට ආවෙත් ඒ විදිහටම බැරෑරුම් ඇස් වලින් සහ නළලට ගත්තු රැලි වලින් සෘණ ආවේග දහරා නිකුත් කරමින්. මලිතිට ඒ මුහුණුවල සෘණ සංඥා අසාත්මිකයි වගෙ. ඔවුන්ට ප්‍රතිචාර සංඥා නිකුත් නොකර මලිති, ඥාති වෛද්‍ය පුත්‍රයාට දුර කතන ඇමතුමක් දුන්නා.

"මම එනවා නැන්දෙ"

එහා කොණෙන් ඇහුණා, මලිතිට. දුර කතනය විසන්ධි කළ මලිති දොර පළු දෙක ළඟට ඇදෙන දෙපය වලංගු කරගන්න උත්සාහ කළේ නැහැ.

දොර පළු දෙබෑ වෙලා මහාචාර්ය වරයා ප්‍රාදුර්භූත වුණා. ඔහුගෙ මුහුණෙත් සිඳෙන,බිඳෙන ප්‍රාර්ථනා කොහොඹ කන්කාරියක් නටනවා. මලිතිට ඕනි වුණෙ නැහැ කාගෙ වත් කම්මුල් වල, නළල් තලවල ඇඳෙන, මැකෙන වන්නම්, නාඩගම් හෝ කන්කාරි හෝ බලන්න. සෙත් පිරිත් සජ්ජායනාවක් වගෙ ඇය නන්දිට සුව වේවා! කියල එක හිතින් හිතා ගෙන 'සබ්බේ බුද්ධා බලප්පත්තා..' ගාථාවත්,ගයත්‍රි මන්ත්‍රයත් මාරුවෙන් මාරුවට හිතෙන් තාලයට ගායනා කළා.

විදුලි සෝපානයෙ දොර විවුර්ත වෙද්දි දොස්තර පුතා ඉන් මතු වෙලා මහාචාර්ය වරයට එකතු වුණා. දෙදෙනාම මලිතිට ළං වුණා.

" මිසිස් නුගලියද්ද, අපි කරන්න පුලුවන් හැම දෙයක් ම කළා. දරුවන්ව ඉක්මනට ගෙන්වන්න. අද දවස එලි කර ගන්න වත් පුලුවන් වේවිද දන්නෙ නැහැ. අපට හරියට කණගාටුයි.සමාවෙන්න!" මහාචාර්ය වරයා මෙ ටික මලිතිගෙ කණට කෙඳිරුවෙ ඉංග්‍රීසියෙන්, රහසක් වගෙ. ඒ වුණාට නන්දිගෙ නංගිලාගෙ මහත්තුරුන්ගෙ කණ් ඇන්ටෙනා දමල වගෙ ඒ පැත්තට නැවිල, රහසෙන් ඇහුණු වචන එක එක සම්බන්ධ කරල තේරුමක් හොයන්න උත්සාහ කරනවා.

"නැන්දෙ,මම මල්ලිට කියන්නම් නංගිවත් එක්ක ගෙන අදම එන්න කියල. නැන්දා අනික් වැඩ බලා ගන්න."

" මට තේරුම් ගන්න පුළුවන්. ලයිෆ් ඉස් ලයික් දැට්" මලිති පුරුදු පුහුණු කරපු උපේක්ෂාව අත් හදා බැලුවා.

මලිතිට හිතුණෙම නන්දිට මොකුත්ම වෙන්නෙ නැහැ කියලා. හිත සනසගන්න නෙවෙයි...ටක්කෙටම එහෙම හිතෙන නිසයි මලිති ආයෙමත් දැඩි සත්කාර ඒකකයෙ දොරපලු දෙක අතර දාරයට ඇස් හේත්තු කළා. ඔක්කොම ඉලක්කම් බින්දුවට බැහැලා. නන්දිගෙ වටේටම ඉන්න අය එලෝමෙලෝ නැතුව මහන්සි වෙනව පණ ගන්න. කෘතිම ස්වසනය දෙනව. හර්ද සම්භාහන ක්‍රියාවලියක යෙදෙනවා. යන්ත්‍ර සූත්‍ර ගොඩක් සද්ද දමමින් ක්‍රියාත්මක වෙනවා. ආයෙමත් හර්ද ස්ඵන්දනය ටික ටික වැඩිවෙනවා. රුධිර පීඩනයත් වැඩිවෙනවා. අනේ!..ස්වාමී...මට පිහිට වෙන්න, ස්වාමි! මලිති ට ඉබේටම කියවෙනව. ස්වාමී කීවෙ සත්‍ය සායි බාබාට.

නන්දි ඉන්න කාමරයෙන් පිටත බලා හිටිය සේරමගෙ බලාපොරොත්තු සිඳ බිඳ දමල මහාචාර්ය වරයත්, දොස්තර පුතාත් යන්න ගියා. හෙද සහෝදරියක් එලියට ඇවිත් කිව්ව, "දැන් ඉතින් ඔය ගොල්ලොත් ගියාට කමක් නැහැ, හදිස්සියක් වුනොත් අපි කෝල් කරන්නම්" කියලා.

මලිතිට එතැනින් හෙල්ලෙන්න හිතක් නැහැ.

නන්දිගෙ එක නංගියෙකුගෙ මහත්තයෙක් මලිතිට කිට්ටු වෙනවා.

" මලිතිගෙ ගෙදර සාලෙ පෙට්ටිය තියල පුටු කීයක් විතර දමන්න පුලුවන්ද? " මලිතිට ලැබුණු පළවනි ප්‍රශ්නෙ. මලිති නිශ්ශබ්දව ඇස් කර කවල මස්සිනා දිහාවට ඊතලයක් එල්ල කළා. හැඟීම්, දැනීම් විරහිත ඊතලයක්.

ප්‍රශ්න ඉවර නැහැ වගෙ.ගන්නවද දෙවෙනි ප්‍රශ්නය? ගත්තත් නැතත් ප්‍රශ්න ඇසීම සිදු කෙරෙන වග මලිතිට හොඳටම පැහදිලියි.

" අහල පහල හොඳ ගෙවල් තියෙනවද, මළ ගෙදරට එන නෑදෑයින්ට කෑම දෙන්නයි, නවතින්නයි?" මලිතිගෙ පිළිතුර නිශ්ශබ්දතාවයක් විතරයි.

" ආ... ආ ... , එතකොට ටෙන්ට් ගහන්න ඉඩ කඩ තියෙනවද?"

තුන්වෙනි ප්‍රශ්නෙ?

හිත ඇතුලෙ මේ ප්‍රශ්න සියල්ලටම පිළිතුරු පෙළ ගැසුණත් ඉවසීම මගින් උත්තර දීම ප්‍රමාද කරනු ලැබුවා.

" මොකද කතා නොකර ඉන්නෙ? මළ ගෙඩර ගැන කවුද තීන්දු ගන්නෙ? වියදම් සේරම අපි බෙදා ගනිමු. ආ...මට අමතක වුණා. මලිතිලගෙ ගෙවල් ළඟ විදුලි ආදාහනාගාරයක් තියෙනවද? "

මලිතිට ඊට වඩා කට පියාගෙන සිටිය නොහැකි විය.

වක්කඩ කඩා ගෙන ගලන හැඟීම් අවුරා ලන්නට කවුරුත් ඉදිරිපත් වූයේ නැත.

"ඔයාට ඕනි නම් දැන්ම ගිහින් මගෙ ගෙදර දිග පළල බලා ගෙන එන්න දැන්මම ගිහින්. අනික මට අවසාන කටයුතු වලට නෙවේ, මෙයාව සනීප කරගන්න හොස්පිට්ල් බිල් ගෙවන්න පුළුවන් නම් මට සල්ලි දෙන්න. නන්දි මැරෙන්නෙ නැහැ, මම නන්දිව ජීවත් කරවනව. නන්දි ගැන තීන්දු ගන්නෙ මමයි, මගෙ දරුවො දෙන්නයි. ඔය ගොල්ලො මෙච්චර කල් හිටියා වගෙම දුරින් ඉන්නව නම් හොඳයි. මම ඉස්සර හිටි මලිති නෙවෙයි. දැන් ඉන්නෙ ඉස්සරට වඩා ශක්තිමත් ගැහැනියෙක්. මම දරුවො තනියෙම හදා ගෙන ඒ අයගෙ සේරම කටයුතු තනියෙම කළා වගෙ මේ ටිකත් කරන්නම්."

කළින් සිටි ළඳ බොළඳ, හුරතල් මලිති ගෙන් මෙවැනි වාග් ප්‍රහාරයක් කිසි සේත් අපේක්ෂා නොකළ මස්සිනා පසු බැස සටනින් ඉවත් වන ලකුණු පල කරද්දි අනෙක් මස්සිනා මලිතිගෙ සිත සනසන කොන්ත්‍රාත්තුව බාර ගෙන දෙබස් කියවන්නට විය.

                           ආවේගකාරී සිතුවිලි සමහන් කර ගන්නට මෙන් මලිති පුතාටත්, දියණියටත් දුර කථන ඇමතුම් දෙන්නට සිතුවේ අවස්ථාවාදී නෑදෑයන්ගෙන් මදකට මිදෙන අරමුණත් පෙරදැරි කරගෙන. සමුදුරු හතකින් එහායින් සිටියත් ඔවුන්ගෙ වදන් ඇසෙන විට ඇයට දැණුනු පාලු, හුදෙකලාව මොහොතකට සිතෙන් ඈතට ඈතට ඉගිලී යනවා දැණිනි.

5 ක් අදහස් දක්වලා.
ගන්නවද පළවෙනි ප්‍රශ්නෙ කියල අහල ප්‍රශ්නාර්ථයක් තියල ගියා ගියාමයි, එන්න බැරිවුණා....මාස දෙකක් විතරම මේ පැත්තෙ. ඉතින් සමා අවසර! ලබන්නාවූ සිංහල, හින්දු නව වසරත් එක්කම හර්දයංගමව සුභ ප්‍රාර්ථනා කරමින් බුලත් අතකුත් අරන් ආවොත් කවුරුත් මාව පිටමං කරන එකක් නැතිවේවි කියල මට හිතෙනවා.

"සුදු මැණිකේ....සුදු මැණිකෙ.."

ඔන්න නන්දිගෙ හඬ...හතර අතේ දෝංකාර දෙනවා. යක්බෙරයක් වගෙ කියල දඩබ්බරී කියනව, නොරිස්සුමෙන්. නැහැ...ඒ නන්දිගෙ හඬම නෙවේ...හිතේ හොල්මන් කරන හඬක්.

පුලින තලාවෙන් දුර කට වෙලා, පුලින තලාවෙ සැරි සරන සමීපස්ථයන්ගෙන් දූරිභූත වෙලා මලිති හිටියෙ කොහෙද ඇත්තටම?

දැඩි සත්කාර ඒකකයේ වැසුණු දොර පලු දෙකට මැද්දෙන් මලිතිගෙ දෑස රිංගනව, ලෙඩාගෙ සුව තතු පෙන්වන මොනිටරය මතට. රුධිර පීඩනය...40/60 හර්ද ස්පන්දනය 30...සැටුරේෂන්....65...

මලිති ඇවිත් පුටුවකට බර දුන්නා. පුටුවෙ ඇලෙන්නෙ නැහැ මලිතිගෙ හිත, විනාඩි දෙකක් වත්. ආපහු නැගිට නැගිට ගිහින් බලන්නෙ මොනිටරයේ පෙන්වන අංක වැඩි වෙලාද කියලා. මලිතිට අවශ්‍ය දේ වෙනුවට සිද්ධ වෙන්නෙ ඒ අංක අවරෝහණය පැත්තට වැටෙන එකයි. පුතා ඇවිත් ආපහු ගියෙ නන්දිව ගොඩ ගන්න මලිතිට පුළුවන්ය යන විශ්වාසය පුතාගෙ හිතේ තදින්ම සනිටුහන් කර ගෙන. නන්දිට මොකුත් වුනොත් පුතගෙ හිත කඩන් වැටේවි. දුව පැයෙන් පැයට දුර කථන ඇමතුම් දෙන්නෙ මලිති ලඟ ජීව්කයෙකුගෙ බලයක් ඇතියි කියලා.

නන්දිගෙ කොළඹ අවට ඉන්න නංගිල දෙන්න ඇවිත් ඉන්නව, තම තමන්ගෙ සහකාරයොත් එක්ක. කොළපාට කබා දා ගෙන, සුදු සපත්තු දමාගෙන ඔවුන් දැඩි සත්කාර ඒකකයෙ දොර පලු දෙකෙන් ඇතුලට ගියේ විශේෂඥ වෛද්‍යවරුන් වගේ. එලියට ආවෙත් ඒ විදිහටම බැරෑරුම් ඇස් වලින් සහ නළලට ගත්තු රැලි වලින් සෘණ ආවේග දහරා නිකුත් කරමින්. මලිතිට ඒ මුහුණුවල සෘණ සංඥා අසාත්මිකයි වගෙ. ඔවුන්ට ප්‍රතිචාර සංඥා නිකුත් නොකර මලිති, ඥාති වෛද්‍ය පුත්‍රයාට දුර කතන ඇමතුමක් දුන්නා.

"මම එනවා නැන්දෙ"

එහ කොණෙන් ඇහුණා, මලිතිට. දුර කතනය විසන්ධි කළ මලිති දොර පළු දෙක ළඟට ඇදෙන දෙපය වලංගු කරගන්න උත්සාහ කළේ නැහැ.

දොර පළු දෙබෑ වෙලා මහාචාර්ය වරයා ප්‍රාදුර්භූත වුණා. ඔහුගෙ මුහුණෙත් සිඳෙන,බිඳෙන ප්‍රාර්ථනා කොහොඹ කන්කාරියක් නටනවා. මලිතිට ඕනි වුණෙ නැහැ කාගෙ වත් කම්මුල් වල, නළල් තලවල ඇඳෙන, මැකෙන වන්නම්, නාඩගම් හෝ කන්කාරි හෝ බලන්න. සෙත් පිරිත් සජ්ජායනාවක් වගෙ ඇය නන්දිට සුව වේවා! කියල එක හිතින් හිතා ගෙන 'සබ්බේ බුද්ධා බලප්පත්තා..' ගාථාවත්,ගයත්‍රි මන්ත්‍රයත් මාරුවෙන් මාරුවට හිතෙන් තාලයට ගායනා කළා.

විදුලි සෝපානයෙ දොර විවුර්ත වෙද්දි දොස්තර පුතා ඉන් මතු වෙලා මහාචාර්ය වරයට එකතු වුණා. දෙදෙනාම මලිතිට ළං වුණා.

" මිසිස් නුගලියද්ද, අපි කරන්න පුලුවන් හැම දෙයක් ම කළා. දරුවන්ව ඉක්මනට ගෙන්වන්න. අද දවස එලි කර ගන්න වත් පුලුවන් වේවිද දන්නෙ නැහැ. අපට හරියට කණගාටුයි.සමාවෙන්න!" මහාචාර්ය වරයා මෙ ටික මලිතිගෙ කණට කෙඳිරුවෙ ඉංග්‍රීසියෙන්, රහසක් වගෙ. ඒ වුණාට නන්දිගෙ නංගිලාගෙ මහත්තුරුන්ගෙ කණ් ඇන්ටෙනා දමල වගෙ ඒ පැත්තට නැවිල, රහසෙන් ඇහුණු වචන එක එක සම්බන්ධ කරල තේරුමක් හොයන්න උත්සාහ කරනවා.

"නැන්දෙ,මම මල්ලිට කියන්නම් නංගිවත් එක්ක ගෙන අදම එන්න කියල. නැන්දා අනික් වැඩ බලා ගන්න."

" මට තේරුම් ගන්න පුළුවන්. ලයිෆ් ඉස් ලයික් දැට්" මලිති පුරුදු පුහුණු කරපු උපේක්ෂාව අත් හදා බැලුවා.

                 මලිතිට හිතුණෙම නන්දිට මොකුත්ම වෙන්නෙ නැහැ කියලා. හිත සනසගන්න නෙවෙයි...ටක්කෙටම එහෙම හිතෙන නිසයි මලිති ආයෙමත් දැඩි සත්කාර ඒකකයෙ දොරපලු දෙක අතර දාරයට ඇස් හේත්තු කළා. ඔක්කොම ඉලක්කම් බින්දුවට බැහැලා. නන්දිගෙ වටේටම ඉන්න අය එලෝමෙලෝ නැතුව මහන්සි වෙනව පණ ගන්න. කෘතිම ස්වසනය දෙනව. හර්ද සම්භාහන ක්‍රියාවලියක යෙදෙනවා. යන්ත්‍ර සූත්‍ර ගොඩක් සද්ද දමමින් ක්‍රියාත්මක වෙනවා. ආයෙමත් හර්ද ස්ඵන්දනය ටික ටික වැඩිවෙනවා. රුධිර පීඩනයත් වැඩිවෙනවා. අනේ!..ස්වාමී...මට පිහිට වෙන්න, ස්වාමි! මලිති ට ඉබේටම කියවෙනව. ස්වාමී කීවෙ සත්‍ය සායි බාබාට.

නන්දි ඉන්න කාමරයෙන් පිටත බලා හිටිය සේරමගෙ බලාපොරොත්තු සිඳ බිඳ දමල මහාචාර්ය වරයත්, දොස්තර පුතාත් යන්න ගියා. හෙද සහෝදරියක් එලියට ඇවිත් කිව්ව, "දැන් ඉතින් ඔය ගොල්ලොත් ගියාට කමක් නැහැ, හදිස්සියක් වුනොත් අපි කෝල් කරන්නම්" කියලා.

මලිතිට එතැනින් හෙල්ලෙන්න හිතක් නැහැ.

නන්දිගෙ එක නංගියෙකුගෙ මහත්තයෙක් මලිතිට කිට්ටු වෙනවා.

" මලිතිගෙ ගෙදර සාලෙ පෙට්ටිය තියල පුටු කීයක් විතර දමන්න පුලුවන්ද? " මලිතිට ලැබුණු පළවනි ප්‍රශ්නෙ. මලිති නිශ්ශබ්දව ඇස් කර කවල මස්සිනා දිහාවට ඊතලයක් එල්ල කළා. හැඟීම්, දැනීම් විරහිත ඊතලයක්.

ප්‍රශ්න ඉවර නැහැ වගෙ.ගන්නවද දෙවෙනි ප්‍රශ්නය? ගත්තත් නැතත් ප්‍රශ්න ඇසීම සිදු කෙරෙන වග මලිතිට හොඳටම පැහදිලියි.

" අහල පහල හොඳ ගෙවල් තියෙනවද, මළ ගෙදරට එන නෑදෑයින්ට කෑම දෙන්නයි, නවතින්නයි?" මලිතිගෙ පිළිතුර නිශ්ශබ්දතාවයක් විතරයි.

" ආ... ආ ... , එතකොට ටෙන්ට් ගහන්න ඉඩ කඩ තියෙනවද?"

තුන්වෙනි ප්‍රශ්නෙ?

හිත ඇතුලෙ මේ ප්‍රශ්න සියල්ලටම පිළිතුරු පෙළ ගැසුණත් ඉවසීම මගින් උත්තර දීම ප්‍රමාද කරනු ලැබුවා.

" මොකද කතා නොකර ඉන්නෙ? මළ ගෙඩර ගැන කවුද තීන්දු ගන්නෙ? වියදම් සේරම අපි බෙදා ගනිමු. ආ...මට අමතක වුණා. මලිතිලගෙ ගෙවල් ළඟ විදුලි ආදාහනාගාරයක් තියෙනවද? "

මලිතිට ඊට වඩා කට පියාගෙන සිටිය නොහැකි විය.

වක්කඩ කඩා ගෙන ගලන හැඟීම් අවුරා ලන්නට කවුරුත් ඉදිරිපත් වූයේ නැත.

"ඔයාට ඕනි නම් දැන්ම ගිහින් මගෙ ගෙදර දිග පළල බලා ගෙන එන්න දැන්මම ගිහින්. අනික මට අවසාන කටයුතු වලට නෙවේ, මෙයාව සනීප කරගන්න හොස්පිට්ල් බිල් ගෙවන්න පුළුවන් නම් මට සල්ලි දෙන්න. නන්දි මැරෙන්නෙ නැහැ, මම නන්දිව ජීවත් කරවනව. නන්දි ගැන තීන්දු ගන්නෙ මමයි, මගෙ දරුවො දෙන්නයි. ඔය ගොල්ලො මෙච්චර කල් හිටියා වගෙම දුරින් ඉන්නව නම් හොඳයි. මම ඉස්සර හිටි මලිති නෙවෙයි. දැන් ඉන්නෙ ඉස්සරට වඩා ශක්තිමත් ගැහැනියෙක්. මම දරුවො තනියෙම හදා ගෙන ඒ අයගෙ සේරම කටයුතු තනියෙම කළා වගෙ මේ ටිකත් කරන්නම්."

කළින් සිටි ළඳ බොළඳ, හුරතල් මලිති ගෙන් මෙවැනි වාග් ප්‍රහාරයක් කිසි සේත් අපේක්ෂා නොකළ මස්සිනා පසු බැස සටනින් ඉවත් වන ලකුණු පල

කරද්දි අනෙක් මස්සිනා මලිතිගෙ සිත සනසන කොන්ත්‍රාත්තුව බාර ගෙන දෙබස් කියවන්නට විය.

ආවේගකාරී සිතුවිලි සමහන් කර ගන්නට මෙන් මලිති පුතාටත්, දියණියටත් දුර කථන ඇමතුම් දෙන්නට සිතුවේ අවස්ථාවාදී නෑදෑයන්ගෙන් මදකට මිදෙන අරමුණත් පෙරදැරි කරගෙන. සමුදුරු හතකින් එහායින් සිටියත් ඔවුන්ගෙ වදන් ඇසෙන විට ඇයට දැණුනු පාලු, හුදෙකලාව මොහොතකට සිතෙන් ඈතට ඈතට ඉගිලී යනවා දැණිනි.

1 ක් අදහස් දක්වලා.