Wednesday, June 30, 2010

නූල කැඩුණු සරුංගලය

Wednesday, June 30, 2010

                           පොතට  එකතු කරන්න හිටි පරිච්ඡේද එකින් එක ලොප් කරන්න වෙද්දි හිතට හීන් දුකක් එනවා. දුක එක වරට සේරම එකතු කරල අහසට හරි මුහුදට හරි විසි කරන්න මට ඕනි. අතීතයෙ දුක් කන්දරාවල් නම් විසි කළා...හිමාලයටත් එහායින් හිම කඳු අතරට. ඒවා දැන් ඝනීභවනය වෙලා, හිම පදාස අතරෙම මිය ගිහින් ඇති.
           මම කොහොමද ඒ සිතුවිලි හරි චෛතසික හරි 'දුක' කියල නිර්වචනය කරන්නෙ?  එහෙම කරන එකත් වැරදියි. පරාජය, දුක, වෙන්වීම්, සිත් තැලීම් ..මේව සේරම දුක ඉපදෙන්න කාරණා...


                                 'පියේහි විප්ප යෝගො දුක්ඛො, අප්පියෙහි සම්ප යෝගො දුක්ඛො, යං කිච්ඡං න ලභති තම්පි දුකඛං...සංකිත්තේන පංච උපාදානක්ඛන්දෝ දුක්කො.........සියල්ලම දුකයි..අනිත්‍යයයි...
     පුහුදුන් සිත් වල පහළ වන කෙළෙස් ඔයාකාර වුණත් අපිට ඒවයින් ගැලවීමක් නැහැ. අපි ආයෙත් තවත් උපාදාන වලින් ඇලීම්,බැඳීම් ඇති කර ගන්නවා. ආදරය, ප්‍රේමය, ලෙන්ගතු කම වගෙ විවිධාකාර නම් වලින් අපේ හැඟීම් අපිම නිර්වචනය කර ගෙන කූඩු, වෘත්ත, චතුරස්‍ර එහෙමත් නැත්නම් ත්‍රිකෝණ හරි සමාන්තරාස්‍ර හරි නිර්මාණය කර ගෙන අලුත් යමක් සොයන්න උත්සාහ කරනව. 

                        හරියට වෙසක් උත්සවය කාලෙට අටපට්ටම් හදාගෙන පාට පාට කොල අලවලා බුද්ධාලම්භන ප්‍රීතිය ඇතිකර ගෙන සිත් පහන් කර ගන්න බැතිමත්තු වගෙ. සමහර අටපට්ටම් එක දවසයි, ගිනි ගන්නව. සමහර ඒව වෙසක් ඉවරවෙන්නත් ඉස්සර අලු වෙල යනව. තවත් සමහර ඒව පොසොන් වෙන කලුත් තියෙනවා. ඒකෙනුත් අනිත්‍යම නේද දිස්වෙන්නෙ කියලා සමහරු කියාවි. කොහොම වුණත් අපි ඒ සත්‍යතාවය දැන දැනත් කූඩු හදන එක නවත් වන්නෙ නැහැනෙ. 
                        අපේ හිත වලට පිවිසෙන ආදරයනුත් ඒ වගෙමයි. පාට පාට කොල වලින් අලවගෙන, ඇතුලෙන් ඉටි පහනක් හෝ විදුලි බුබුලක් හෝ සවි කරලා එලිය කර ගෙන අපි බලාන ඉන්නවා. ස්වභාවික විපත් විතරක්ම නෙවෙයි...සතුරු උපද්‍රව වුණත් අකල් වැහි කුණාටු වගෙ ඇවිත් අපෙ කූඩු කඩල විනාශ කරල යනවා.
   මොන තරම් මුර කාවල්, රැකවරණ යෙදුවත් ඒව රැක ගන්නව බොරු.රැකගන්න උදවියත් ඇති අනන්තවත්. පණ ඇරල ආදරය කළාට බොරුව, වංචාව, රැවටීම වගෙ දේවල් තේරුණහම එතැන ආදරයක් හෝ ලෙංගතුකමක් හොය ගන්න බැරුව හිත අයාලෙ යනවා. නවතින්න තැනක් නැහැ. අනන්තවූ අවකාශය සිසාරා නූල කැඩුණු සරුංගලයක් වගෙම එහෙ මෙහෙ දුවනව. එහෙමත් නැත්නම් වළා රොදක් වගෙ එක එක හැඩ ගනිමින් එක එක රිද්මයට හිස් අවකාශයෙ සැරිසරනවා.
  ඔබෙ හිතත් එහෙමද? මගෙ හිත නම් ඒ වගෙම තමයි.
බොරු පුරසාරම් කියල මම සුවිශේෂී පුද්ගලයෙක් විදිහට ලෝකෙට පෙන්වන්නෙ ඇයි? මම හරිම සාමාන්‍ය, සරල කෙනෙක්. සතර බ්‍රහ්ම විහරණ පුරුදු පුහුණු කරන කෙනෙක් හින්දද මන්දා, වෛරයක්, ඉරිසියාවක් හිතට පිවිසෙන්නෙම නැහැ. ඒක බොහොම දෙනෙකුට තේරුම් ගන්න බැරිවීම මට ගැටළුවක් නොවුණත් අනෙක් අයට ගැටලුවක්. බෙදා වෙන් කර ගන්න, තණ්හාවෙන් බදාගෙනම ඉන්න වගෙ ඇතිවෙන චිත්ත ස්වභාවයන් මට දැනෙන්නෙ මම අතික්‍රමණය කරල කියලා. එහෙම වුණහම මධ්යම ප්‍රතිපදාව පුහුණු කරන්න, උපේක්ෂාවෙන් සියල්ල දෙස බලන්න මනස හැඩ ගැහෙනව. මේව ගෙදර උදවිය එක්ක කියන්න ගියොත් මාව මානසික රෝහලේ කුටියක පදිංචි කාරියක කරවාවිද දන්නෙත් නැහැ.
 ජීවිතය, සත්‍යය හොයා ගෙන යන බොහොම දෙනෙකුට
 ලැබෙන්නෙ ජීවිතය වත් සත්‍ය වත් නෙවෙයි. අවමාන, අපහාස, නින්දා . . .
   කාලෙකට පස්සෙ බ්ලොග් අවකාශයට ආවෙත් හිත සුවපත් කර ගන්න සිතුවිලි විමෝචනය කිරීම එක් ප්‍රතිකාරයක් කියලම වැටහුණු නිසා. කියන්න, බෙදා හදා ගන්න කතාන්දර, අත්දැකීම් ඇසු දුටු දේවල් අනන්තයි. සේරෝම එක්
කාසු කර ගෙන පොදි ගහ ගෙන පෙට්ටගමක අහුරාගත්ත. ටිකෙන් ටික,බිඳෙන් බිඳ රන්තැටියක තියල පිළි ගන්වන්න ආපහු. කිරියි, පැණියි වගෙ. මම එහෙම හිතුවට සමහර විට ඒව තිත්ත කරවිල වේවිද දන්නෙත් නැහැ. කරවිල වලත් ඒ වුණාට රත්තරන් තියෙනව නෙ. අපෙ අම්ම එහෙම කියල තියෙනව මට.
   අම්මා කියපු බොහෝ කතා වල, උපහැරණ වල සත්‍යය ල
මා කාලයෙ මට නොවැටහුණත් ඒවයෙ හරවත් බව තේරුම් ගියෙ මමත් අම්මා කෙනෙක් වුණහම.යමක් පැහැදිලි කරන්න ජන කතාවක් හරි උපහැරණයක් හරි යොදා ගැනීම අම්මගෙ සිරිත. මතකය පහුරු ගාල ගොඩ ගන්න හිතෙනව මට...ඒ කතා අනෙක් අයත් එක්ක බෙදා ගන්න.
    ඒ වගෙම දැන් වයස්ගතව ඉන්න අප්පච්චි, කියන කතා මම මේ සැරේ සටහන් කර ගෙනත් ආවා. අහ ගෙන ඉන්න හරිම ආසාවක් හිතුණ, මට. ප්‍රේම කතා නොවුණට, රොමැන්තික නොවුණට ඒවායෙ අපූර්වත්වයක් තියෙනවා. අප්පච්චි ඉස්සරත් මට එයාගෙ පුංචි කාලෙ කතා බොහොමයක් කියල තියෙනවා. මටම ඒව කිව්වෙ මම ඒව ලියාවි කියල අපෙ අප්පච්චිට හිතෙන්න ඇති. මොකද අපෙ පවුලෙ ලියන පිස්සුව පුංචි කාලෙම තිබුණෙ මට නිසා.
   අවුස්සපු නිසා ඔයාලගෙ හිත්, මම එක කතාවක් අද කියන්නම්. ඒව කතාම නෙවෙයි. සිද්ධි. අප්පච්චිට එතකොට වයස අවුරුදු දහයක් විතර ඇතිලු. ඉරිදා දවසක දහම් පාසැල් ගිහින් එන කොට, ටිකක් දුරින් නෑදෑවෙන මාම කෙනෙක් මුණ ගැහුණලු. ඒ මාමා අප්පච්චිව දැකල, " හා...රාළේ, දහම් පසැල් ගියාද" කියල ඇහුවලු. අප්පච්චිට හොඳටම කේන්ති ගියාලු. ඒ කියන්නෙ දැන් බාසාවෙන් කියනව නම් මල පැන්නලු. "ඔව්" කියා ගෙන මූණත් පුළුටු කර ගෙන ගෙදර ගියාලු.         

ඉතින් අපෙ අත්තම්ම අප්පච්චි ගෙට ගොඩ වෙනකොටම තේරුම් ගත්තලු හින්නි පුතාට මොකක් හරි මගඩියක් වෙල කියල.
" මොකෝ, අද මූණ කෙහෙල් මලක් වගෙ දික් කර ගෙන? මගදි ඇබද්දියක් වත් වුණාද?" කියල අපෙ අත්තම්ම විපරම් කරල තියෙනව. ඒ ඉතින් අපෙ අප්පච්චිගෙ අම්ම නෙව.
" අර හේනෙ ගෙද
මාම මට 'රාලෙ' කිව්ව. රාලෙ කියන්නෙ මම නාකි වෙලා ද?"
" අනෙ, මයෙ පුතේ, රාලෙ..කියන්නෙ, ගරු ගාම්භීර කමට නෙව?  හෑල්ලු කරන්න එහෙම නෙවෙයි. මයෙ පුතා සන්තොස වෙන්න එපාද රාලෙ කිව්වට. උන්දෑ හමොටම එහෙම රාලෙ කියන්නෙ නහැ මයෙ පුතෙ."
ඉතින් අප්පච්චිගෙ හිතෙ නෝක්කඩුව ගිහින් කල එළි වුණෙ එත
කොටලු.

   අපෙ අප්පච්චි දෙවන ලෝක සන්ග්‍රාමය කාලෙ පිටරට ගිහින් තියෙනව, බ්‍රිතාන්‍යය හමුදාවට සේවය කරන්න. ඒ කාලෙ කතා පස්සෙ කියන්නම්. රට ඉන්දන් ආපු අලුත, අපේ ගෙදරට යන පඩි පෙළ නගිද්දි ඉන්ද්‍රයියලගෙ සීයව මුණ ගැහිල තියෙනව. එතකොට ඉන්ද්‍රයියා හරි මම හරි ඉපදිලත් නැහැ.
   සුද්දො එක්ක ඉදල ආපු නිසා, අප්පච්චි ඒ සීයට
කතා කරල තියෙනව මෙහෙම.
" හා..අන්කල්...කොහොමද?"
එක පාරටම ඒ සීයා කියල තියෙනව," මොකක්..බොල, අන්කල්....? බාප්පා කියාපිය. කලිසං ඇඳ ගත්තම මුන්ට නෑකමුත් මතක නැහැ" කියල.
   ඉතින් අදට මෙතෙකින් නිමි. නැවත හමු වෙමු.
 
  

6 ක් අදහස් දක්වලා.:

Shadow/හේමලයා said...

හිතේ තියෙන දේවල් එලියට දැමොත් පිස්සන් කොටුවට යවයිද දන්නෙත් නෑ කියාපු එක නම් සහතික ඇත්ත......වෙසක් කූඩුවක් එල්ලුවේ නැති පලියට අපි මිත්‍යා දෘශ්ඨිකයෝද....මිනිස්සුනම් එහෙමයි මම දිහා බලන්නේ.....ආශයන් අඩුකොරාපු බවක් දැක්කොත්....නුඹ පරාජිතයෙක් වෙන්නද හදන්නේ කියලා තම අහන්නේ...නැත්නම් කලකිරිලාද කියලාද තමයි අහන්නේ...:D

Chanaka Aruna Munasinghe said...

ආ අක්කණ්ඩියා , කාලෙකට පස්සෙ.
කිරිපැණි කන්න අපි බලාගෙන ඉන්නවා.
ඉක්මනට ලියන්න. ඩෙසට් එකට ඉඳල හිටල කරවිල වුණත් කමක් නෑ. නොරට ඉන්න අපට සිංහලෙන් යමක් කියවන්න ලැබෙනවනම් ඒ ඇති

isimbuwa said...

හ්.............ම් ආසයි අක්කණ්ඩිලගෙ අප්පච්චිගෙ කතන්දර අහන්න.

Hasitha said...

අප්පච්චිට බ්ලොග් ලියන්න පුලුවන් කමක් තිබ්බා නම් නියම කතා ටිකක් අහගන්න තිබුණා. ඒක ඉතින් අප්පච්චිට කරන්න බැරි නිසා ඒ වැඩේ ඔයාට තමයි කරන්න තියෙන්නේ අක්කේ..... :)

Mark said...

අම්මෝ කාලෙකත පස්සෙ ඔයාගෙ කථාවක් කියවල අන්ථිමෙදි හොදට හිනාත් වුනා.. කොහොමද අක්කන්ඩි ජීවිතේ?

NoBody said...

Glad you are back. Waiting for more posts.

Post a Comment