නන්දිට අසනීප වී සිටිය කාලය ඇතුළත අතුරු කතන්දර කිහිපයකුත් එකතු වුණා, විවිධ අවස්ථා වලදි කියල මට මලිති කිව්ව. මුලින්ම කියන්නම්, මලිතිට ඉතාමත් ලෙන්ගතු පුතෙක් හම්බ වෙච්ච් කතන්දරය.
අංශ බාගය කියල (ගම්වල වහරින් කියනව නම්)කියන ලෙඩෙන් තමයි, නන්දි ඔත්පල වුණෙ. එලොව ගිහින් මෙලොව ආපු නන්දි, දැඩි සත්කාර ඒකකයෙන් වාට්ටුවට ගෙනැත් එක එක වෙනත් ප්‍රතිකාර ක්‍රම වලට යොමු කරන්න වෛද්‍ය උපදෙස් ලැබුණා.
භෞත චිකිත්සාව තමයි, මුලින්ම කරන්න පටන් ගත්තෙ. එහෙදි කෙරුණු ප්‍රතිකාර නම් එතරම් සාර්ථක වූයේ නැහැ. එහෙන් ටිකට් කැපුවට පස්සෙ පෞද්ගලික හෙද නිවහනක නතර කළා. මිත්‍රයෙකුගෙ මාර්ගයෙන් භෞත චිකිත්සක මහත්මයෙක් නන්දිට ව්‍යායාම කිරීම සඳහා එන්න එකඟ වුණා. මේ අවුරුද්දෙ තමයි ඔහු පුහුනුව නිම කරල තියෙන්නෙ. නන්දිව බලපු මුල්ම දවසෙ ඔහු ඒ තරම් ධනාත්මක ප්‍රතිචාර නන්දි පිළිබඳව දැක් වූයේ නැහැ. ඒ අනුව මලිතිට හිතුණෙ නන්දිට ජීවිතය තියෙන තුරාවට ආයෙමත් ඇවිදින්න බැරි වේවි කියලයි.
දවස් දෙක තුනක් ගියහම මලිති ඇහුව, "පුතේ, ලෙඩාට අවිදින්න පුළුවන් "කියල.
" මම ලෙඩාගෙ වෛද්‍ය ඉතිහාසය කියවල තව දවස් දෙකකින් හරියටම කියන්නම් මිස්" කියල ඔහු කීවෙ ටිකක් අඩමානෙට.
කොහොම නමුත් මලිති බලාපොරොත්තු අත් හැර ගත්තෙ නැහැ. ඔහු නැති හැම වෙලාවටත් ඇය නියමිත අභ්‍යාස කෙරෙව්වා. ඉතාමත් නුරුස්නා ස්වභාවයෙන්, මලිතිට දොස් කියමින් නන්දි ඒව කලේ ඇගේ කටේ බලෙට.
ඔහුට කතා කරන්නත් හරියකට පුළුවන් කමක් තිබුණෙ නැහැ. හඬ අභ්‍යාස කළ යුතු බවට වෛද්‍ය උපදෙස් ලබුණා. නාට්‍යකරණය හදාරන කොට වොයිස් ට්‍රේනින්ග් කළා නේද කියල මලිතිට හිතුණා. අනෙක් වාට්ටුවෙ ලෙඩාට හඬ පුහුණු කරනව මලිති බලාගෙන හිටියා. කිසිම වෙනසක් නැහැ. මූලික අභ්‍යාස ටික ඔක්කොම එතැන. මලිති හිතුවා, තව කෙනෙකුට රුපියල් තුන්දහස් පන්සීයක් ගෙවන්නෙ මොකටද? මම ඒ ටික කරන්නම් කියලා.
ලෙඩාගෙ ආව තේව කරන්න හිටි තැනැතත් පුදුම වෙල බලාඉන්නවා. මලිති ඔහුගෙ උදව්වෙ නන්දිව වාඩි කරවල හඬ අභ්‍යාස කරන්න පටන් ගත්තා. මුලින්ම ස්වර...ආ...ආ...ඇ...ඇ....ඉ....ඉ.....ඊ....ඊ.....උ.....උ.....
ලෙඩා බලා ගන්න ඉන්න කෙනා හිනා වෙනවා. ඔහුට මෙය පෙනුනෙ විකාරයක් හැටියට. මලිති ඔහුගෙ හිනාව තඹේකට ගණන් ගත්තෙ නැහැ. උදේ, දහවල්, හවස සෑහෙන වෙලාවක් හඬ අභ්‍යාස කෙරෙව්වා. මේ සඳහා නන්දිගෙ පූර්ණ සහයෝගය නොලැබෙන කොට මලිති සම්‍යක් ප්‍රයෝගයක් උපයෝගී කරගත්තා.
" හොඳට එක්සසයිස් කළොත් තෑග්ගක් දෙනවා" කියල ඇය කිව්ව.
පහුවදා පාන්දරත් මලිති හඬ අභ්‍යාස කෙරෙව්වා. නන්දිගෙ ගොත ගතිය සම්පූර්ණයෙන්ම නැතිවෙල ගිහින්. මලිතිට හරිම පුදුමයි. ඒ වගෙම සතුටුයි. නන්දිගෙ හඬ හරිම පැහැදිලියි. හරිම සාමාන්‍ය විදිහට කතා කරන්න ගත්ත.
මහාචාර්ය තුමා පැමිණියා.
" කොහොමද මිස්ට නුගලියද්ද?"
" මට ගොඩක් හොඳයි, ඩොක්ටර්." නන්දිගෙ පැහැදිලි වචන උච්චාරණයට එතුමාට පුදුමයි. ඔහු මලිති දිහාවෙ බැලුව.
" වොයිස් ට්‍රේනින්ග් කරාද?"
" ඔව්, කළා සර්"
" බොහොම හොඳයි"
ලෙඩා ලඟ ඉන්න පුද්ගලයගෙ මුහුණෙ බයාදු කමක් ඇඳිල පරාජිත රේඛා ඒ මත්තෙ සටහන් වෙනව කම්මැලි කමට. මලිති දන්නවා, බොහොම පිරිමි ගැහැණුන් කිසි දෙයකට දක්ෂයි කියල පිළිගන්න කැමති නැති වග.
ඒකටත් වෙනම කෙනෙක් ගෙනැල්ල ගෙවල කර ගත්ත කියල දොස්තර මහත්තයා හිතන්න ඇති. කවුරු මොනව හිතුණත් වැඩේ හරියට කෙරුන නම් එච්චර නෙ වැදගත්. මලිති තමන්ටම කියා ගත්තා.
ඒ කිව්වෙ හඬ අභ්‍යාස ගැන. ඊළඟට කායික අභ්‍යාස. ඉතින් මතක නෙ නවත්තපු තැන. දවස් තුනකින් ආයෙමත් අර භෞත චිකිත්සක මහත්තයා ආවා. මලිති චිකන් එසන්ස් පොව පොවා නන්දිව ශක්තිමත් කරනවා, අභ්‍යාස හරියට කෙරෙන්න ශක්තිය අවශ්‍ය නිසා.
එදා නම් එයගෙ මුහුණ හොඳයි.
" මම එන්නෙ නැති දවස් වලත් අභ්‍යාස කළාද?"
" ඔව්, මම කරවනව" මලිති කිව්ව.
"ඒක තමයි, දැන් හන්දි වල තද ගතිය අඩු වෙල. මහන්සි වුණොත් තව මාස දෙකකින් අවිදින්න පුලුවන් වේවි"
නන්දිගෙ මුහුණෙත් හීනියට හිනාවක් ඇඳිලා. ඔය අතරෙ දැන් ගෙදර එක්කර ගෙන යන තැනට කටයුතු සිද්ධ වුණා. ඒ කතාව තවත් සැරයක කියන්නම්.
දැන් ඉතින් දවසක් ඇර දවසක් භෞත චිකත්සක මහත්තය මලිතිගෙ ගෙදර එනවා. අභ්‍යාසත් කෙරෙනවා. නන්දි දවසින් දවස ගුණ අතට හැරෙනවා.
එක දවසක් ඒ මහත්තයා එස්.එම්.එස්. එකක් එව්ව, කතා කරන්න නම් බැහැ, උගුරෙ අමාරුවක් හැදිලා. අමාරුවෙන් නමුත් එනවය කියල.
ඔන්න ව්‍යායාම මහත්තයා ආවා. කටහඬ උගුරෙන් පිට වෙන්නෙම නැහ. හොඳටම හෙම්බිරිස්සාව. ඒ ගොල්ලො ව්‍යායාම කරන අතරෙ මලිති මුළුතැන් ගෙට ගිහින් පස්පංගුව මුට්ටියක් ලිපේ තිබ්බා. අද ඔහු මලිති එක්කත් කතා කරන්නෙ ගොලු බාසාවෙන්. ලෙඩාගෙ වැඩ ඉවර වුණහම මලිති පස් පංගුවකෝප්පයක් පුරවල, සීනිත් දමල ව්‍යායාම මහත්තයට ගෙනැල්ල දුන්නා. පීරිසි කුට්ටම දැකපු ගමන්ම නම් මහත්තයගෙ මුහුණ එච්චර හරි නැහැ.හොන්ඩටම මහන්සිත් වෙලා නෙ. කහට කෝප්පයක් වගෙ පෙනෙන්න ඇති. ඒත් බොන කොට රිදී රේඛා ඇස් වලින් විහිදුණා, මලිති දැක්ක.
කතා කරන්නත් බැරි නිසා මලිතිට දෑත් එක් කරලා ඔහු යන්න ගියා.
ටික වෙලාවකින් ඔන්න මලිතිට එස්.එම්.එස් එකක් ආවා. ඒ අර ව්‍යායාම මහත්තයා ගෙන්.
" මෙහෙම ලියනවට සමා වෙන්න. මගෙ හිතට යලි යලිත් එන දෙයක් තමඉ ඔබ මට පස් පංගුව හදල දුන්නු එක. මගෙ දෙමව්පියො ඉන්නෙ ගොඩාරියක් ඈත. මම නිවාඩුවකට ගෙදර ගියහම තමයි ඔවුන්ගෙ ආදරය, කරුණාව ලැබෙන්නෙ. මෙහෙ බෝඩිමේදි හැම දේම කර ගන්නෙ මම තනියෙම. මම මෙහෙම කියන එක හරිද මන්දා. ඒත් පස් පංගුව තම්බල කළ පොඩිම පොඩි ක්‍රියාවෙන් ඔබ මට අම්ම කෙනෙක් වුණා. මට එසේ පුතෙකුට වගෙ සැලකීම ගැන ගොඩක් පින්."
මලිතිගෙ දරුවො ඉන්නෙත් සැතපුම් දහස් ගණනක් දුර. ඇයගෙ ඇස් අග්ගිහ තෙත් වෙද්දි, බොඳ වී යන දෑසින් ඇය ඔහුට කෙටි පණිවිඩයක් ලිව්ව.
" පුතා හිතා ගන්න මම පුතාගෙ කොළඹ අම්ම කියලා. මටත් මගෙ දරුවො සිහි පත් වෙනවා, පුතා දකින කොට. පුතාට බුදු සරණයි."
ඔන්න මලිතිට තවත් පුතෙක් ලැබුණු හැටි.
Tuesday, April 20, 2010
Subscribe to:
Post Comments (Atom)
1 ක් අදහස් දක්වලා.:
මොන පරහක් තිබුණත් නන්දිට සුවපත් උන එක ගැන නම් අපරිමාණ සංතෝසයි..! මව්වත්කමේ නාමයෙන් මේ වගේ සත් කාරයක් සැදැහැ සිති කරන්න පුලුවන් වෙන්නෙත් අම්මා කෙනෙක් ට ම පමණයි..!!!
Post a Comment