Saturday, October 17, 2009

ලඳුන්ගෙ ඉරි තලන සිත් වලින් ගලන ලේ, කඳුළු

Saturday, October 17, 2009
අපි සාදයට යන කොට සෑහෙන පිරිසක් එතැන එකතු වෙලා හිටියා. ඔක්කොමලගෙ ඇස් ඊතල වගෙ එල්ල වෙලා තිබුණෙ, බැංකු කළමණාකාරවරයගෙ අලුත් මනමාලි දිහාවට. මම කොණ්ඩෙ ගොතාගෙන යන්න හැදුවත් නන්දි කිව්වා, කොණ්ඩයක් බැඳ ගන්න කියල. බෙල්ල පිටිපස්සෙන් එල්ල ගත්ත කොණ්ඩ ගුලිය මට කලු ගලක් වෙලා බෙල්ල ඇදුම් කනවා. ඒ මදිවට කොණ්ඩ කටුවකුත් විටින් විට ඇනෙනව බෙල්ලෙ. 
                            මළ වාතයක්...! අපහසුකම්, ඇනිලි, රිදිලි වහ ගෙන මම හැමෝටම ආචාර කරමින් හිනා පොට්ටු විකසිත වෙන්න ඉඩ ඇරියෙ තැනට සුදුසු එකම රඟපෑම එයම විතරක් නිසා. රජයේ සේවකයන්ගෙ සමාජ ශාලාවත් දේදුණු වර්ණ බැලුම් බෝල පොකුරු එක්ක ක්‍රේප් කොල තැනින් තැන අලවගෙන අපි වගෙම කල එළි වෙලා. සමහර තැන්වල එකේක වර්ණවල, වර්ග වල මල්, පොකුරු පොකුරු ගැහිලා මේස, කනප්පු උඩට වෙලා ඇස් දල්වගෙන ඉන්නවා, විදුලි බුබුලු එළියට ඔමරි කර කර.
                  අපි ශාලාවෙ මැද්දකට විතර එන කොට අත්පොලසන් හඬක් අපිව පිළි ගත්ත. පුංචි සුරංගනාවියක් වහෙ හුරුබුහුටි දැරියක් ඇවිත් මගෙ අතට මල් පොකුරක් දෙද්දි, තවත් පුංච් පැටියෙක් ඇවිත් නන්දිට මල් මාලයක් දමන්න දෙපා ඇඟිලි තුඩු වලින් ඉස්සෙනවා. නන්දි පහළට නැවිලා පැටියව දෑතට වඩා ගත්තා. මට නාට්‍යයක මුහුරත් උත්සවයක් මතක් වුණා. අඳුන්නා දීම් ඊට පස්සෙ, කෙළවරක් නැතුව.
                 කාන්තා පාර්ශවය සේරම මගෙ මුහුණ ඉඹිනව....ඉකේයියා....!තව ටිකකින් කෙළ ගඳේ බැරිවෙයි ද මන්දා? අතට අත දීලා දකුණු අත රිදෙනවත් එක්ක. සමහරු තදින්ම අත මිරිකනව. සමහරු අත් දෙකින්ම අල්ලලා සුබ පතනවා. සිරිත් විරිත් සහිත පිළිගැනීම් වලට පස්සෙ කට්ටිය තැන් තැන්වල අසුන් වලට බර වෙනවා. ඊට පස්සෙ බීම සංග්‍රහය ආරම්භ වෙන්නෙ, සිහින් සංගීත රාවයක් තනියට කැන්දගෙන. ඉස්සෙල්ලම බීම කරත්තෙ තල්ලු වෙලා ඇවිත් නතර වුණේ, අපේ ළඟ.
   "මිසිස් නුගලියද්ද මොනවද බොන්නෙ?" 
                   එහෙම අහපු එක්කෙනාව නන්දි හඳුන්වලා දුන්නෙ උප දිසාපති කියලා. නන්දි මගේ දිහාව බැලුවා.
 "සොෆ්ට් ඩ්‍රින්ක් එකක් හොඳයි"
           මම කිව්වෙ නන්දිට. එතකොටම උප දිසාපතිගෙ බිරිඳ කියල හිතෙන, හැඩට ඇඳ ගත්තු කාන්තාවක් පාවෙනවා, රූප රාමුවට.
    "දැන් ඔයත් අපේ හවුස් වයිෆ්ස්ලගෙ ක්ලබ් එකට බැඳෙන්න ඕනි. සොෆ්ට් ඩ්‍රින්ක්ස් බොන්නෙ ඉස්කෝලෙ යන කාලෙ....අද බොමු බියර් එකක්"
                      එයාගෙ බුරියෙන් පහළට ඇඳල හිටපු සාරියෙන් නිරාවරණය වුණු උදර ප්‍රදේශයේ ඇඳුණු ඉරි සමූහය ජ්‍යාමිතියේ සරල, සමාන්තර රේඛා එක්කම ප්‍රමේයයයන් කිහිපයක් මතක් කර දෙමින් ජුගුප්සාවක් වගෙ හැඟීමක් මගෙ හිතට ගෙනාවා. මම ඇස් දෙක ඉවතට උලුප්පල ගත්තෙ, ඒ දර්ශනය අනෙක් අයට නොපෙනෙන විදිහට එයාගෙ සාරි පොටෙන් වහන්න පුලුවන් නම් කොච්චර හොඳද කියලා හිතමින්. මට හිතෙන දේවල් වැරදිද මම දන්නෙ නැහැ. ඇය බීර ජෝගුවකට බීර වක් කරනවා; බෝතලෙයි,  ජෝගුවයි ඇල කරල අමුතු තාලයකට. 
                         අලුත් සමාජයේ ඇවතුම් පැවතුම් තවම මම අඳුනා ගන්න වෙහෙසෙනව... මනසින්, නුවණින් විමසමින්. පුරවපු බීර බඳුන පිළිගන්වන්නෙ මට. මම කවදාවත් බීල නැති දෙයක් මොකට බොන්න පටන් ගන්නවද
       "ගන්න, ගන්න....බියර් බීවට වෙරි වෙන්නෙ නැහැ"
             ඒ නන්දි. සුවච, කීකරු භාර්යාව මත්පැන් ප්‍රතික්ෂේප කිරීම නිසා දණ්ඩ නීති සංග්‍රහයේ කී වෙනි වගන්තියට අනුව ඇයව චූදිතයෙක් කළ හැකිද? ඔන්න සම්ප්‍රදායිකාටත් තරු පෙනුණු තැන. 
        "ෆො යූ, ස්කොෂ් ඔන් රොක්ස් ඈස් යූසුවල්?" ඇය නන්දිගෙන් අහල හිනා වෙනවා. නන්දි සැර බීම බොන කෙනෙක් කියල මම දැන ගෙන හිටියෙ නැහැ. ඒවද දන්නෙ නැහැ අර මට කියන්න ගොඩක් දේවල් තියෙනව කිව්වෙ. වැඩිය බොන එකක් නැතිවෙයි කියල සම්ප්‍රදායිකා මගෙ හිත අස්වසන්න හදනවා. 
                 මම බීර බඳුන දෑතින්ම අල්ල ගත්තෙ බිම ඉහිරවෙයි කියල. කහ පාට දියර මත සුදු පෙණ තට්ටුව බුබුලු දමනව, මගෙ හිත වගෙම. ඇය අයිස් කැට කිහිපයක් දමපු බීම වීදුරුව නන්දිගෙ අතට දෙන කොට, "තෑන්ක්ස්, සුජී" කියල නන්දි හරිම ලෙන්ගතු කමින් කීවා. ගොඩක් කල් ඉඳලම මේ ගොල්ලො හිතවත් ඇති.
                  ඊට පස්සෙ අපට සුබ පතල ටෝස්ට් එකක්. මම නන්දි දිහා බලා ගෙන එයා කරන කරන දේ කළා. 
       "නන්දිටයි, අලුත් මනමාලිටයි යුග දිවිය සාර්ථක වෙන්න අපි සව් දිය පුරමු"
        ඒකට වෙනම ෂැම්පේන් වීදුරුත් අපෙ අත් වලට දුන්නා. ඔක්කොමල වීදුරු ඉහළට ඔසවලා, "චියර්ස්" කියල අපෙ දිහාවෙ බලලා, හිනා වෙලා බීම බඳුන් තොල ගෑවා. මමත් නන්දිව අනුගමනය කළේ එයාගෙ සමාජ ගර්වය රැක දිය යුතු නිසා.
              තොල් දෙකට බීම බඳුන ළං කළාට මම තොල් තෙමෙන්න වත් ඇරියෙ නැහැ, ඒ මත් දියරෙන්. මට හිතුණෙ මොකටද මම පස් වෙනි සිල් පදය කඩන්නෙ කියලා. වීදුරු ගැටෙන හඬ, සිප වැළඳ ගැනීම්, අල්ලාප සල්ලාප, මද සිනා..කොක් හඬලන සිනා....සාද කතා බහ.....මෙකී නොකී  දේවල් සමග කට්ටිය මද පමනත් ඉක්මවලා මත් වෙන සීමාවට ඇවිත් හිටියා සමහරු. මට දැනුනෙ නන්දිත් මද පමණ ඉක්මවූ බවක්.
                එයා නොදැණුවත්වම මගෙන් ඉවතට ඇදිලා ගියෙ වෙනදට පුරුදු යහළු යෙහෙළි වළල්ලට එකතු වෙන්න. මටත් ඕනි වෙල තිබුණ ටිකක් තනිවෙල, මම අළුතින් එකතු වෙන්න යන සමාජය ගැන ටිකක් විමසල බලලා හදාරන්න. නන්දිට අවශ්‍යය විදිහට හැඩ ගැහෙන්න මට එය පිටුවහලක් වෙයි කියල මගෙ හිත මට කිව්ව. 
             බොහෝ විට තම තමන්ගෙ ගෙවල් දොරවල්වලින් බැහැර වෙල මෙහෙ නිලනිවාස වල ඉඳගෙන, කාෂ්ටකයත් එක්ක හෙට්ටු වෙන කොට මේ වගෙ විනෝද වීම් හිත්වල විඩාව දුරු කරනවා ඇති...මට මේ සමාජ ක්‍රමය හා ඇවතුම් පැවතුම් අළුත් අත් දැකීම් වුණාට නන්දි වගෙ අය දැන් මේ ක්‍රමයට හුරු වෙන්න විකල්ප විදියට හොයා ගෙන ඇත්තෙ මෙබඳු සාද සාමීචි වෙන්න ඇති. කාර්යාල වල ගෙවන ඒකාකාරී ජීවිත පොඩ්ඩක් පැත්තකින් තියල, සැහල්ලුව විතරක් හිතෙ පුරවගෙන විනෝද වීම මල් පැන් පොදකින් මත් වීම පංචානන්තරය පාප කරමයක් නෙවෙයි නේද කියල කවුද කියනව හිත ඇතුලේ. 
          සන්ගීත රාවය ඉස්මතු වෙද්දි. බොහො දෙනෙකුට උන්නු ආසන වල ඉන්න බැරිව වගෙ පැද්දී පැද්දී රඟ මඬලට පිවිසෙනවා. නන්දිත් කට්ටිය සමග රංගනයට එකතු වෙන කොට මගෙ ඇස් අදහ ගන්න බැරිව ගියා මටම. මම අළුත් මනමාලි නිසා වෙන්නැති කවුරුවත් මට ඒ අයට එකතු වෙන්න කියල පෙරැත්ත කළේ නැත්තෙ. හැමෝම ස්වේච්ඡාවෙන් මයි නැටුමට ඇදිල ගියෙ. විවිධාකාර රැඟුම් විලාශයන් දිහා බලන් ඉන්න අතරෙ එක එක අය ඇවිත් වචනයක් දෙකක් කතා කරල යනවා. කිසිම විශේෂත්වයක් මට දැණුනෙ නැහැ.
      "මිසිස් නුගලියද්ද, ඔයා කැමති නැද්ද ඩාන්ස් කරන්න?"
      "අකැමැත්තක් නැහැ...ම්...ම්...මට මතක නැහැ...ඔයාගෙ නම..සොරි" 
  කීදෙනෙක්ව නම් මතකෙ තියා ගන්නද? නන්දි සේරමලව අඳුන්නල දුන්නා, ඒත් කවුරුවත්ම මගෙ හිතට අමුත්තක් ඇති කළෙ නැහැ. එක නමක් වත් මතක හිටියෙත් නැහැ.
    "මගෙ නම පියල්. මිසිස් නුගලියද්ද ළඟදිද කැම්පස් එකෙන් අවුට් වුණෙ?"
    "පියල්, මට මලිති කියන්න. මම මලිති කුමාරිහමි"  
                මිසිස් නුගලියද්ද..මිස් උඩලියද්ද...මොකටද කාගෙවත් වාසගමක් හැම තිස්සෙම ගැහැණුන්ගෙ නමේ අග්ගිස්සෙන් එල්ලන්නෙ. මට හිතෙන්නෙ වක්‍රාකාරව ගැහැණුන්ව භුක්තියට සවි කරල දෙනව වගෙ පවතින සමාජ සම්මතයන් මගින්. විවාහයට ඉස්සර පියාගෙ නම අගට එල්ලල, උප්පැන්න සහතිකෙන් නෙ පටන් ගන්නෙත්...ඒ සහතිකේට පස්සෙ දෙන ඊළඟ සහතිකේ විවාහ සහතිකේ. දෙවෙනි සහතිකේදි පියාගෙ වාසගම අයින්කරලා විවාහක පුරුෂයාගෙ නම එල්ලනවා. තමන්ට කියල නමක් තියා ගන්නවත් අයිතිවාසිකමක් නැහැ ගැහැණුන්ට. 
              පූර්ණ මනුෂ්‍යත්වය තියෙනව කිව්වට, දෙවෙනි පෙළ පුර වැසි භාවය නෙවෙයිද ඔය ඉස්මතු කෙරෙන්නෙ. අනේ මන්දා? එහෙම එල්ල නොගත්තට ගැහැණුන්ට තමන්ගෙ නමෙන් විතරක් බැබලෙන්න බැරිද? අද වෙලා තියෙන්නෙ; අහවලාගෙ දුව, අහවලාගෙ බිරිඳ, අහවලාගෙ සහෝදරිය කියලා. මේ දේවල් මේ යුගයෙදි වත් වෙනස් වෙන්න ඕනි. මට බැරිද මලිති කුමාරිහාමි විදිහට ජීවත්වෙන්න, මිසිස් නුගලියද්ද වගේ පෙනී සිටින්නෙ නැතුව. වෙන වාසගමකින් හෝ කීර්ති නාමයකින් අලෝකය ලබා ගන්නෙ මොකටද, අපි පරපුටු වංශයෙද?      


                             අපේ අනන්‍යතාවය, ස්වීයත්වය අපිටම නිර්මාණය කරගන්න පුළුවන් කියලා ආත්ම විශ්වාසයක් සහ ආත්ම ශක්තියක් අප තුළම වගා දිගා කර ගත යුතුයි කියල මට හිතෙන එක දෝෂ සහිතයි කියල මට නම් හිතෙන්නෙ නැහැ. මෙහිදී මම මතු කරන්නේ පුරුෂ විරෝධයක් කියල වරදවා තේරුම් ගන්න නම් එපා. මොකද ජීව විද්‍යාත්මක වෙනස් කම් වලට අනුව ගැහැණු පිරිමි සමාන වෙන්නෙ නැහැ, ඔලුවෙන් හිට ගෙන කීවත්. වෙනස පිළිගත යුතුමයි, හැබැයි අවශ්‍ය සමාජ ගරුත්වය ඉතුරු කර ගෙන. 
                           මට මෙහෙම ලියන කොට මතක් වෙනව, මගෙ මේ අදහස් අහපු මගෙ ආදරනීයම මිත්‍රයෙක් කියපු කතාවක්. එයා කියපු කතාව හරිම ඇත්තක්. ඒ කතාව කියන්න වෙන්නෙ නහැ වගෙ, පියල්ට මා ගැන දයාව හිතිලා. 
      "මලිති, මොකුත්ම බිව්වෙ නැහැ නේද? ඉන්න, මම සොෆ්ට් ඩ්‍රින්ක් එකක් ගෙනෙන්නම්"    
                  පියල් ඉවතට ඇදුණෙ මට තිබුණු උගුර කට වේලිල්ල තේරුම අරගෙන වගෙ. නන්දිට නොපෙනෙන්න, ෂැම්පේන් වගෙම බිර දියරත් අසල තිබුණු මල් බඳුනකට පෙව්වා. කැප කිරීම්, පරිත්‍යාගයන් කරන්න පුළුවන්, යහපත් සහකරුවෙක් වෙනුවෙන්. ඒත් ප්‍රතිපත්ති බිඳ දමලා කැප කිරීමක් කරන්න තරම් තවම කල් මෝරලා නැහැ කියල හිත කියනව නෙ. හිත කිව්වට මගෙ යෙහෙළි, සම්ප්‍රදායිකාට මගෙ හිත අවනත වෙලා. පියල් ගෙනාපු පලතුරු යුෂ මට අමෘතයක් වගෙ. බඩගින්නත් දැන් රතු ඉරට නගිනවා. බයිට්ස් තිබ්බට මට කන්න හිතුනෙ නැහැ, මත්පැන් බොන අය මැදට පැනලා.
                  නන්දිට මාව අමතක වෙලා, පුරුදු මිතුරු මිතුරියන් අතරට වැටුණම. හිතේ කහටක් ඇතිවෙන්න නොදී මගෙ හිත අස්වසා ගන්න මලිතිට ඕනි වෙලා. මගෙ බඩ ගින්නෙ රතු ඉර පනින කොට නන්දිගෙත් සුරා මීටරයෙ රතු ඉර පනිනවා මට දැක ගන්න පුළුවන්. එයාට මාව හදිසියෙම මතක් වෙලා. ඒත් මදෑ නේද? එයා නටනවද, වැනෙනවද කියලා මට තේරුම් කර ගන්න බැරි වුණේ මම මීට කලින් එයා නටනවා වත් බීමතින් වැනෙනවා වත් දැකලා නොතිබුණු නිසා වෙන්නැති. 
       " ඔයාට බඩගිනිද මලිති?" 
         ඔහු කෙලින් ඉන්න උත්සාහයක යෙදෙනවා. පියල් ඔහුව මගෙ ලඟින් ඉන්දවන්න උත්සාහ කරනවා. උත්සාහවන්තයන් ජය ගන්නව කියල දෙන්නම හිතනවා ඇති.
       "හා...මේ අපේ දුම්කොලේ ඉන්නෙ. පියල් මල්ලි, මගේ අලුත් මනමාලි මලිතිට සලකන්න හොඳේ" 
    මොකද එයාට දුම්කොළේ කියන්නෙ?
      "පියල් වැඩ කරන්නෙ ටොබෑකො කම්පැනි එකේ"
                 නන්දි මගෙ හිත කියවගෙන.
      "මිස්ට නන්දිමිත්‍ර, දැන් මිසිසුත් එක්කම කෑම කමු නේද? මම බෙදාගෙන එන්නම්."
      " මගෙ නෝනා පොඩ්ඩට දෙන්නකො....මම පස්සෙ අපේ ගැන්සියත් එක්ක කන්නම්..." නන්දි වීදුරුව හිස් වෙන්න දෙන්නෙ නැහැ. ඔහු පියල්ට මාව බාර දීලා ගැන්සියට සෙට් වෙන්න යනවා. මට මතක්වුණෙ කොහොමද දැන් එයා වැව් බන්ඩ් එක දිගේ වාහනය පදවගෙන යන්නෙ කියලා.
        "මලිති, බය වෙන්න එපා. මම කාරෙක අරන් යන්නම්. වෙනදටත් මිස්ට නන්දිමිත්‍රට වැඩි වුණාම මම තමයි ගෙදර එක්ක යන්නෙ."
       ඔන්න මට මගෙ අර සමීප මිත්‍රයාගෙ කතාව මතක් වෙනව...මම එයා ගැන කලින් සඳහන් කරලම නැහැ. මතකනෙ මම කිව්ව අර මම රාජ්‍ය නොවන ස්ංවිදානයක පරිවර්තන එහෙම කරල කැම්පස් ඉන්න කාලෙ පාට් ටයිම් රස්සවක් කළා කියලා. අන්න ඒකාලෙ තමයි ඒ මිත්‍රයාව මුණ ගැහුනෙ...ඔහුගෙ න්‍යායන්, දැනුම තුළ ගැබ් වුණ සත්‍යතාවයන් තේරුම් ගන්න හෝ පෝෂණය වෙන්න තරම් මගෙ මනස මෝරල තිබුණෙ නැහැ, ඒ දවස් වල. ඒ කතාව අමතක වෙන්න දෙන්න හොඳ නැහැ.
                ඒක මට මතක් වුණෙ ගැහැණු පිරිමින්ගෙන් පතන, ඒ වගෙම සමාජය වුණත් ගැහැණුන්ට පිරිමින්ගෙන් ලැබිය යුතු යයි කියන ආරක්ෂාව මෙහෙම කනමදයො කොහොමද ගැහැණුන්ට දෙන්නෙ කියන එක. සමාවෙන්න, ඒ වචනෙ ඉබේටම එලියට පැන්නා. අලුත ගෙනා මනමාලියක් කිව යුතු වචනයක් නෙවෙයි ඒක කියල ඔබලා කියාවි. අලුත බැඳපු මනමාලයෙකුට එයාගෙ යුතුකම් අමතක වෙන කොට අලුත ගෙනා මනමාලිගෙ හිත සිදුරු, දැදුරු වෙලා එහෙම වචන එළියට පනින එක නවත්වන්න කාටද පුළුවන්.
                   ආරක්ෂාව ගිළිහෙන කොට සිතක් අසරණ වෙන් එක තේරුම්ගන්න කාට හරි හැකියාවක් තියෙනවා නම් ලොකු දෙයක්. ඉස්සරෝම ඉස්සර, ඒ කියන්නෙ  ඈත අතීතයේ ඉඩ කඩම් දේපල අයිති කර ගන්න තණ්හාවෙන් පිරිමි යුද්ධයට යනවා. බඩ දරු අම්මලාව යුද පෙරමුණට සටන් කරන්න ගෙන යන්න බැරි නිසයි, අනෙක් දරු පරම්පරව බලාගන්න ඕනි නිසයි ගැහැණු නවාතැන් වල, ගෙවල්වල නවත්නවා. එඬේර යුගය පරිණාමය වෙන්නෙ ඒ විදිහට. ඉඩ කඩම් දේපළ ජය අර ගෙන ඒ විජයග්‍රණයන් පිරිමින්ගෙ බලය තහවුරු කරනවා. බලය ආධිපත්‍යයක් බවට පරිවර්තනය වෙද්දි ඒක පුරුෂාධිපත්‍යය වෙන්නෙ ගැහැණුන්ගෙ ආරක්ෂාව සැපයීමේ වගකීමත් ඔවුන්ටම පවරමින්. එසේ බැරෑරුම් ලෙස පැවරුණු යුතුකම්, වගකීම් ආරක්ෂක නිලධාරීන් විසින් පැහැර හරින කොට ..........
               අද වගේ....නන්දි වගේ....ලඳුන්ගෙ ඉරි තලන සිත් වලින් ගලන ලේ, කඳුළු පිසලන්නෙ කවුද? නන්දිව වත්තම් කරගෙන ඇවිත් ඇඳේ පත බාවන්න පියල් උදව් කළේ මගෙම සහෝදරයෙක් වගෙ.
                    ප්‍රේමවතී කම්මුලේ අත ගහ ගෙන හූල්ලනව, අප්පොට වෙලා තියෙන සන්ගදිය දැකල. පියල්ට මුව නොසෑහෙන්න ස්තුති කරන ප්‍රේමවතී ඔහුට බුදු බවත් ප්‍රාර්ථනා කරනවා. 
            "ප්‍රේමවතී, දෙහි ගෙඩි දෙකක් මිරිකලා ගේනවද? දෙහිගෙඩියක් කපලත් ගෙනෙන්න, ඔලුවෙයි යටි පතුල් වලයි ගෑවම හොඳයි." 
             ප්‍රේමවතී මුළුතැන් ගෙට ඉගිල්ලෙන්නෙ විදුලි වේගයෙන්. නන්දි කෙඳිරි ගාමින් මොනවද කියන්න උත්සාහ කරනව. 
"සෝමෙ...මට සමාවෙන්න..." 
              කවුද සෝමෙ? ප්‍රේමවතී දෙහිත් අර ගෙන එනකොටත් නන්දි සිහිවිකලයෙන් කියවනවා. 
     "සෝමේ....සෝමේ..."
     "හත් දෙයියනේ....! මේ මොනවද මේ නොදරුවා ඉස්සරහ කියවන්නෙ."
               ප්‍රේමවතී විස්සෝප වෙන්නෙ මං ගැන. මම ඇහුවෙ නැහැ 'සෝමෙ' කවුද කියලා. අර කියන්න තියෙනවා කියපු ගොඩක් දේවල් වලට සම්බන්ධ කෙනෙක් වෙන්නැති. හිතට කලබල වෙන්න දුන්නෙ නැහැ, මම. කවුරු මොනවා කිව්වත් නන්දි මගෙ විවාහක පුරුෂයා. මගෙ පවිත්‍ර භාවය හමුවෙ එයාගෙ ඇස් වලට උනපු කඳුළුවල උණුසුම මගෙ උරහිස් වලට දැණුනා. පිරුවට රෙදි කඩක රුධිර සලකුණු දැකීම කඳුළු උනන්න කාරණයක් වේවි කියල මට හිතුණෙ නැහැ. 
                ඒ කඳුළු වල සැඟවුණු දේවල් ටිකෙන් ටික හෙළිදරව් වෙයි. අසනි වැසි, වේරම්භ වාත සහ සැඩ කුණාටු හමුවේ ජීවිත යාත්‍රාව පැද ගෙන යා යුතුයි... 
      "මේ ජීවන ගංගා දාරයේ...."
              ගීතයක් ඇවිත් මගෙ තනියට, නන්දිගෙ හිසේ දෙහි අතුල්ලනවා. නන්දි විටින් විට එයාගෙ ජීවිතයෙන් ගිලිහී ගිය සෝමෙකුගෙන් සමාව ඉල්ලනවා. ප්‍රේමවතී ඇස්වලයි, මුහුණෙයි ලොකු කතාවක් ලියා ගෙන මට කියවන්න ඇරියුම් කරනවා....!
                  මම නන්දිව නිදිකරවන්න මගෙ ඇඟිලි තුඩු වලට ඉඩ දුන්නම, නළල පුරා හෙමිහිට ඒ සිනිදු පහස විහිදිලා යන්න වුණා.

27 ක් අදහස් දක්වලා.:

Prabath said...

Super...!

චමි.දේ.වා. said...

කතාව දැන්නම් ටිකක් දුක්බර වේගන එනවා වගේ....( ඒත් ඔයා වර්තමානයේ සතුටිනේ නේද අක්කණ්ඩි....)

Thejan said...

අප්පේ... කාලෙකට පස්සේ එක හුස්මට කෙටි කතාවක් කියවගෙන ගියා. මගේ (සමහරවිට වල් ) හිත බලාපොරොත්තු වුණු අවසානය නොවුණත් කතාව මගේ හිතේ කම්පනයක් ඇති කළා. ජීවිතය පුරාම පවතින හිස් කම අපිට එය මතක් කර දෙන්නේ ඉද හිටලා.

Hey remove that word verification. it makes me mad.

ස්තුතියි
තේජාන් රත්නායක

ඩෝසන් said...

[1] ඒකට වෙනම ෂැම්පේන් වීදුරුත් අපෙ අත් වලට දුන්නා. ඔක්කොමල වීදුරු ඉහළට ඔසවලා, "චියර්ස්" කියල අපෙ දිහාවෙ බලලා, හිනා වෙලා බීම බඳුන් තොල ගෑවා. මමත් නන්දිව අනුගමනය කළේ එයාගෙ සමාජ ගර්වය රැක දිය යුතු නිසා.

[2] මට හිතුණෙ මොකටද මම පස් වෙනි සිල් පදය කඩන්නෙ කියලා.

[3] නන්දිට අවශ්‍යය විදිහට හැඩ ගැහෙන්න මට එය පිටුවහලක් වෙයි කියල මගෙ හිත මට කිව්ව.

[4] නන්දිත් කට්ටිය සමග රංගනයට එකතු වෙන කොට මගෙ ඇස් අදහ ගන්න බැරිව ගියා මටම

[5] කැප කිරීම්, පරිත්‍යාගයන් කරන්න පුළුවන්, යහපත් සහකරුවෙක් වෙනුවෙන්. ඒත් ප්‍රතිපත්ති බිඳ දමලා කැප කිරීමක් කරන්න තරම් තවම කල් මෝරලා නැහැ කියල හිත කියනව නෙ.

[6]ඒක මට මතක් වුණෙ ගැහැණු පිරිමින්ගෙන් පතන, ඒ වගෙම සමාජය වුණත් ගැහැණුන්ට පිරිමින්ගෙන් ලැබිය යුතු යයි කියන ආරක්ෂාව මෙහෙම කනමදයො කොහොමද ගැහැණුන්ට දෙන්නෙ කියන එක

[7]අපේ අනන්‍යතාවය, ස්වීයත්වය අපිටම නිර්මාණය කරගන්න පුළුවන් කියලා ආත්ම විශ්වාසයක් සහ ආත්ම ශක්තියක් අප තුළම වගා දිගා කර ගත යුතුයි කියල මට හිතෙන එක දෝෂ සහිතයි කියල මට නම් හිතෙන්නෙ නැහැ. මෙහිදී මම මතු කරන්නේ පුරුෂ විරෝධයක් කියල වරදවා තේරුම් ගන්න නම් එපා.

කතාවේ මතුපිට හැඩ ගස්වන කේන්ද්‍රය වරින් වර පැත්ත මාරු කරනවා. ඒක අහම්බයක් ද?

නිකමට අහන්නේ...

මනෝ( TMG) said...

the most exciting part of this blog is to read the comments for each episode...... the genuine first impression of the readers :) and sometimes comments getting longer than the story :))) hiiii

said...

මන් මේක දැන් පටන්ගත්තේ
මේ ටිකනම් එළ
ඒත් බොන එක ඔය කියන තරම්ම අවුල් නැහැ

LazyOwl said...

@ඩෝසන්
අක්කංඩි වෙනුවෙන් තප්පුලෑම පිලිබදව සමාවෙන්න.
ඒත් ඈ,සම්ප්‍රදායිකා සහ දඩබ්බරී ලෙස පිලිඹිඹුු කරන්න හදන්නේ, ඒ ප්‍රතිවිරුද්ධතාවයම නොවේද?

malee_msg said...

අළුත ගෙනා බොහෝ මනාලියන්ගේ දුක්බර ජිවිතකථා වල පලවෙනි පරිච්ඡේදය? අපූරුයි

ඉන්දරේ said...

මට නං දැනගන්න ඕනෙ
1. මේක ඔයාගෙ සැබෑ අත්දැකීමක්ද?
2. මෙතරම් කලකිරුණු ස්වභාවයෙන් කතා කරලත් ඔයා තවමත් මේ දීගෙ කනවද?
කියන එකයි....

සුසිත රවින්ද සෙනරත් | Susitha Ravinda Senarath said...

මොනවා කියන්නද මන්දා....
නාගරික ජීවිතය කියන්නෙ මේකද?

LazyOwl said...

Let’s be honest here, shall we: just like others, I’m also dying to know whether this is a true story or is this story of the writer? But, for the sake of her privacy, I’m not asking that question, unless she shows some signs that she is willing to share that information with us.
This could be the story of yours or mine, or the story of any poor soul trapped in a miserable relationship due to the social pressure. Sometimes, it is better to leave things unsaid, giving the options to the readers to assume what they want.

මිගාර said...

අපේ තියෙන ප්‍රශ්නෙ තමා බඩජාරී විදියට බොන එක සහ ඊට මාර සෝෂල් වටිනාකමක් දීම.

මම විශ්ව විද්‍යාල කාලයේදී ටොප් ක්ලාස් බේබද්දෙක් (හේතු බොහෝ තිබුණා. හිතේ තියෙන කතා බීජ පුපුරලා ආ දාට ඒ කතාව කියන්නම්). නමුත් අපි අඩි ගහන තැනම කවදාවත් අරක්කු බොන්නැති එවුනුත් හිටියා. සමහර උන් සැන්ඩි මරුවෝ. සමහර උන් බයිට් මරුවෝ. නමුත් ඒ සියලු දෙය පසු කර ආ පසු ඒ ගැන දැනෙන්නේ නිස්සාරත්වය පිළබද හැගීමක් පමණයි. මේ නිස්සාරත්වය නිරුවත් කර පෙන්වා, තවත් බොහෝ දෙනාගේ අක්මාවන් රැක දේවි යයි සිතනවා. අරක්කු වලට විරුද්ධ ළුීමට වඩා එයට අනුබල දෙන සමාජ ව්‍යුහය ගැන ඇස් ඇරවීම ඔබ විසින් මනාව ‍සිදු කොට ති‍බෙනවා.

LazyOwl said...

@මිගාර
ඈත්ත කියන්නත්, බිම ඉද ගන්නත් බය නොවී කියනවා නම්, "හරියට හරි". මතක් වෙන්නෙ කපුගේ මහත්තයාගෙ "විදුලි මිණි පහන්" ගීතය.

Ishara said...

නියමය් අක්කණ්ඩි..... සමාජගත වෙන්න කියල බොන මිනිස්සුන්ට තමුන්ගේ පෞරුශත්වය ගැන තියෙන්නෙ හරිම බයාදු අදහසක්.... තමුන් හරිය් කියල හිතන දෙය කරන්න පෞරුශත්වයක් තිබීම ගැන මෙන්න මගේ ආචාරය.... :)

මේකෙ තිබුන කතා ටික එක හුස්මට මම කියෙව්වෙ......එල ම කිරි ...දිගටම ලියන්න...රටින් පිට වෙලා ඉන්න අපිට මේවා මසුරන්.....

Kusal Perera said...

Can I butt in for a brief comment? There are a few things that's been unnecessarily interposed into comments that does not help to dissect the story, which is not yet over. There is no point in knowing whether the author is bringing in personal experience(s) or not, unless the author says its the "biography" that is being written, which is not the issue here.
Two, no one seems to question the narrative style, how it helps the plot to develop and how the plot in turn evolves, in providing an understanding of characters and lastly what literary tools the author is using to dissect the characters open.
It would be extremely useful for all, including the author to face such a review and a discussion to develop the story.
PS. සම්ප්රදායිකා කියන මනඃකල්පිත චරිතය කතුවරිය යොදා ගන්නේ ප්රධාන චරිතයට පිටුවහලක් වශයෙන් වූවත් ඒ පිටුවහල ඇත්තටම යොදා ගත්තා නම් ප්රධාන චරිතයේ මානසික ප්රතිවිරුද්ධයක් කතාව පුරා ගෙනි යන්න, මට හිතෙනවා ඒක මතුවට වාසියක් වෙයි කියලා. එහෙම කියන්න හේතුව තමයි දැනට ඒ ප්රධාන චරිතයේ මානසික ගැටුම එයාගෙම දෙබස් වලින් ම කියවීමේ දී සීමා තිබීම. අනෙක දැනට කතාව ගෙනියන ආකාරයට ප්රධාන චරියේ ඇත්ත ගැටුම ගොඩ නැ‍ගෙන්නේ තව ඉදිරියට කියලා හිතෙනවා. ඒ වන විට සම්ප්රදායිකා චරිතයක් විදියට තව ශක්තිමත් කළහොත් තම වට පිටාව, මනුෂ්‍ය සබදතා අතර ප්රධාන චරිතයේ අභ්‍යන්තර මානසික ගැටුම වඩා සියුම්ව කතාවට ගැට ගහන්න හැකි වෙයි කියලා සිතෙනවා.

LishWish said...

"දැක පාට පාට ලෝකය
සිත පාව පාව ඔහේ ගිය
විසිරී වැටුණා විසිරී වැටුණා..!"

අක්කණ්ඩී මලිතිට නම් එහෙම වෙන්න දෙන්න එපා....!

හරීම ලස්සනයි අක්කණ්ඩී දිගටම ලියන්න. සුභම සුභ පැතුම්..!

මනෝ( TMG) said...

Again to say it is very interesting to read the comments.

@Lazyowl and Kusal - Thanks for your understanding and the wisdom. In many creative writings every writer more or less add the flavor of his /her personal experience to it . By doing so , it will not become his /her personal story at all, unless it is declared as a biography .

Guys this is just a fiction, depicting how much social pressure a a woman has to undergo to make certain decisions which does not ultimately make her happy. More or less this is the story of every woman in a patriarchal society including me .

@ Ishara and Migara
I am not advocating for alcoholism of either men or women. But it is a choice that an individual adult can make. While having that choice, the individual has to be responsible for his/her own behavior as well. drunkenness is not permitting you to insult the others.
But my experience is most of our men don't know the limits of drinking. Also
I am working with some of the foreign colleagues who do lot of drinking but doing their work very well and always respect their female colleagues at parties. they organize much of their business plan meetings while having beer in the evening , and i had to sit with them in such meetings till late night often but no harm happened . Most of these evening meetings are very productive. But i have not seen this much of discipline from my Sri Lankan male colleagues.

අක්කණ්ඩි said...

මුලින්ම හැම ප්‍රතිචාරයකටම මම ස්තුතිවන්ත වෙනවා. මෙය විවාදයකට තුඩු දෙන්නෙත්, මෙමගින් සමාජ විශ්ලේෂණයන් කරා එලඹෙන්නෙත් මෙම කතාව තුළ පවතින කිසියම් සජීවී ගුණයක් නිසා බව මම අදහනවා.
මා විසින් පිළිතුරු සැපයිය යුතු දේවලට මා වෙනුවෙන් උත්තර බැඳ ඇති අයවලුන්ට බෙහෙවින්ම කෘතඥතාවය පළ කරන්න කැමතියි.
ප්‍රබන්ධයන් කරන කල්හී, ගොඩ නගන චරිත වලට ප්‍රබන්ධකයාගේ ගති ගුණ, ආකල්ප, මති මතාන්තර අඩු වැඩි වශයෙන් මුහු වීම නිරායාසයෙන් සිදුවන්නක්.
තීරණ, තීන්දු වලට එළඹෙන්නට තව බොහෝ කල් ඇත. මෙය ඔබට නීරස කෂායක් ලෙස පිළිගන්වන්නට මට සිත් නොදේ. හමුවන්නම්, සෙනෙහසින් යලිත්..තවත් කතාවක් දෝත දරාගෙන තවත් දවසක....මා, ඔබලාගේම අක්කණ්ඩී

-බිன்ku- said...

අගනා ලිපියක් එක්ක නිරුවත් සමාජ තත්වයක් පෙන්වා දීමක් නෙව තියෙන්නේ! :)

lillibeth said...
This comment has been removed by the author.
Mark said...

Thank you so much, I just read this at the computer lab in the uni, I was so busy these days, couldn't read ur story, I wish you luck Akkandi, hope you are doing ok, take care..,

අක්කණ්ඩි said...

@ Mark-Thnx, Mark...I am fine now. Fully recovered.

අක්කණ්ඩි said...

@ lillibeth, why did you remove the comment? That's not fair, dear.

LazyOwl said...

ඈයි නන්දේ නුඹ ලන්දේ වැනෙන්නේ
මම මෙතනේ, අම්බලමේ තෑවෙන්නේ
කතා නෑතිව, සති ගානක් ගෙවෙන්නේ
අක්කංඩිවත් කෑන්දාගෙන වරෙන්නේ

Mark said...

Akkandi, where are you?? Why silent these days? u ok?? Please say something :(

අක්කණ්ඩි said...

සිත වටා සිටි ලබැඳි
සොයුරු සොයුරියන් මගෙ
ත්‍රස්ත චිතකයන් මත දැවුණ පසු
අතැර යන්නට කීය
මරණයේ කාල වර්ණිත දේශය අපට

සුළු කලක් ගත වුණා බිඳුණු සිත
පිළිසකර කෙරෙන්නට
දෙනෙත් තවමත් තෙතයි
සුසුම් තවමත් උණුයි
ඒ නමුත් ඉදිරියට යා යුතුයි

සමාවක් ඉල්ලන්න සිත කියයි
පැතුම් සුන් කෙරුවාට
ගොඩ වැදුන විට පුලින තලාවට

අවකාශ ඇති පරිදි
විසුරුවන්නම් කතා
මල් පියලි යලි යලිත්
රුව සුවඳ විඳ ගන්න
දයාබර ඔබලාට....

Ruwan said...

එක හුස්මට කතා ටික ඔක්කොම කියවගෙන ගියා. ඇත්තටම මේ අක්කන්ඩිගේ කතාවද ලියන්නෙ. මොනවා උනත් හිතන්න ගොඩක් දෙවල් ඉතුරු වෙලා, මලිති ගැන දුකයි. කතාවේ ඉතුරු ටික ලියනකන් බලගෙන ඉන්නෙ...

Post a Comment