Tuesday, December 15, 2009

'රාහුලං ජාතං'

Tuesday, December 15, 2009





                               ගල් විහාරයෙ තියෙන දැවැන්ත බුදු පිළිම දෙක ඇහැ ගැටෙද්දි මට බොඳ වෙන ඇස් තෙත මාත්තු කර ගන්න හිතුණෙ නැහැ. ඒ කඳුලු බුද්ධාලම්භන ප්‍රීතිය නිසාද, කලා කෘතියෙ පවතින අසීමිත විස්කම් නිමාව නිසාද කියල මටම නිර්වචනය කර ගන්න බැරුව ගියා. කවුදෝ මගෙ දෙසවනට සමීප වෙලා ගීයක් මුමුණනවා මට ඇහුණා.


'ඇසේ මතුවන කඳුලු බිඳු ගෙන

ඔබේ සිරිපා දොවන්නම්

හදේ නැලැවෙන කැලෑ මල් ගෙන

ඔබේ සිරිපා පුදන්නම්'



                                  ප්‍රේමවතීගෙ මුහුණ පුරාවට මල් යායක්ම පිපිලා. කඩාගෙන ආපු ඇහැලමල් වල එලිය ප්‍රේමවතීගෙ මුහුණෙ භක්තිය මතු කරල පෙන්වනවා. මට හිතුණෙ ප්‍රේමවතීව එක්ක එන්න බැරි වුණොත් ඒක මහා පාපයක් කියලා. ප්‍රේමවතීත් මමත් දෙන්නම පෙර කරපු කුසල කර්මයන් ඉතුරුවෙල තිබිල ඒවයෙ ආනිශංස ලැබුණ කියලා. ඒ කුසල කර්මයන්ට අද කරන කුසල කර්මයනුත් එකතු වේවි. අද ගල් විහාරය වඳින්න අපව එක්ක ගෙන ආව පින පියල්ටත් අනුමෝදන් වේවි. මට හිතෙනව පියල් මට හොඳ මිතුරෙක් වේවි කියල. නන්දිගෙ ගති ලක්ෂණ, ඇවතුම් පැවතුම් ව්ලට වඩා පියල්ගෙ හැසිරීම් රටාවන් හරිම ප්‍රසන්නයි. ඒත් එයාට තවම ගැලපෙන සහකාරියක් මුණ ගැහිල නැහැ.


                    මල් පහන් පූජා කරල බුදුන් වැඳල මම පිළිම අභිමුව තියෙන ගල්තලාවෙ වාඩි වුණෙ හිත පුරාවට විහිදිලා යන නිරාමිස සුව නිසොලමන්ව, නිස්කලංකව හිතට ඇති වෙනකල්ම විඳ ගන්න අදිටනින් යුතුව.

බමර ගුමු ගුමුවක් වගෙ ආයෙමත් ගී ස්වර මගෙ කන් පෙති වල ඇතිල්ලෙනවා.


'කෙළෙස් මල පිරි නුවර අත හැර

බවුන් වඩනට වනේ වැඩි ඔබ

සොයා ආවෙමි මෙලෝ තලයේ
අනෙක් පිහිටක් නොමැති වූ කල'



                හිතේ හයිය බිඳී විසිරිලා 'දඩස්' ගාල බිමට ඇද වැටෙන කොට බුද්ධ දර්ශනය, බුදු දහම මොන තරම් වටිනා මහෞෂධයක්ව අපේ සිත් පිරි මදිනවද? මේ ගී පද මුමුණන්නෙ මගෙ හිතෙන්ම මතු වුණ කෙනෙක් කියල මට හිතෙනවා. දඩබ්බරීට එකතු වෙච්ච සම්ප්‍රදායිකා දෑස පියාගෙන ගීයට සවන් දෙනවා.


'ඉහළ නිල්වන් අහස විනිවිද

නැගෙන ඔබගේ යෝධ බුදු බඳ

මගෙ ගත සිත මෝහනය කර

මගේ කුදු බව පසක් කොට ඇත'

            මේ යෝධ ශෛලමය පිළිම වහන්සේලා අභිමුව මා කොතරම් ක්ෂුද්‍ර ජීවියෙක්ද? එය පසක් වීමට මට මෙතැනටම එන්න සිදුවීමත් වාසනාවක්. මට නොදැනුවත්වම ගීයේ අනුවාදනයට අනුව 'ම්ම්ම්ම්' ආකාරයෙන් පාලු අහසට එකතු වෙන්ව.


"මලිති, මටත් ඔය සිංදුව මතක් වුණා දැන්. ඔය ගීතය ලියල තියෙන්නෙ අවුකන බුදු පිළිමය නිමිත්තක් කරගෙනලු."


"ඔව්, මම ඒක අහලා තිබුණා, පියල්. ඔයා මට පොත් ගෙනාවද?"


"ආ...ඔව්, අමතක වුණෙ නැහැ. බහින කොට දෙන්නම්. ඔය කැමතිද මන්දා මම කියවන පොත් වලට?"


"මට කියන්න බලන්න ඒවයෙ නම්"


"හර්මන් හෙස ගෙ සිද්ධාර්ථ, මහාචාර්ය සරච්චන්ද්‍රගෙ මළ ගිය ඇත්තොයි, මළවුන්ගේ අවුරුදු දායි"


"මම සිද්ධාර්ථ ගැන අහල තිබුණ ...ඒත් කියවලා තිබුණෙ නැහැ. ඩොක්ටර් සරච්චන්ද්‍රගෙ පොත් වලට මම කොහොමත් ආසයි.."


" නන්දිත් කියවයි නෙ..නේද? ඔයා කියවලා එයාටත් දෙන්න."


" මම ඇසුරු කළ මේ ටිකට නම් එයා ඩේලි නිව්ස් පත්තරේ ඇරෙන්න මොකුත්ම කියවනව මම දැකල නැහැ."



                මම අනවශ්‍ය යමක් කිව්වද කියල මට හිතුණා. නන්දිගෙ අඩු පාඩුවක් මම පිට කෙනෙක් එක්ක කිව්ව එක වරදක්ද? ගෙයි ගිනි පිටතට දෙන්න එපා කියල විශාකාවට දුන්නු අවවාද අපිත් පිළිපදින්න ඕනිද අද දවසෙ...? පියල්ගෙ කුකුසට උත්තරේ නෙ මම දුන්නෙ. ඒක ගිනි පිටතට දීමක් වෙන්නෙ නැහැ කියල දඩබ්බරී කියනවා.


කතාව වෙනස් පැත්තකට යොමු කරන්න හිත උත්සුක වෙනවා.


" මේ පිළිම දිහා දවසක් වුණත් බලා ඉන්න පුළුවනි නේද, පියල්?..ගොඩක් දෙවල් ලියැවිලා තියෙනවා වගෙ මේ මුහුණු වල."


" ඔව්, අනුරාධපුරේ සමාධි පිළිමෙ දිහාවෙත් මෙහෙම අනිමිස ලෝචනයෙන් බලා ඉන්න පුළුවන්. මට හිතෙන්නෙ..මේ ගල් වඩුවො මොන තරම් දක්ෂද කියලා. රාජ්‍ය සම්මාන, උපහාර වලින් පිදුම් ලැබුවෙ නැතත් දැන් වගෙ මූර්ති කලාව ඉගෙන ගන්න සෞන්දර්ය විශ්ව විද්‍යාල තිබිලයැ"


" ම්...ප්‍රේමවතීත් ඔය එන්නෙ...බලන්නකො මූණෙ තියෙන සිරියාව? "


පියල් මේදවස් ටිකට අපට හුඟක්ම සමීප වුණු එක ගැන මටත් පුදුම හිතෙනවා. ඉහත ආත්මයක මගෙම සහෝදරයෙක් වෙලා ඉන්න ඇති සමහර විට. හුඟක් අය වැඩිය ඇසුරු කළේ නැතත් බොහොම කල් ඉඳල දන්න අඳුනන අය වගෙ සමහර විට දැක්කම. පියල් ගැන මට දැනෙන්නෙත් ඒ වගෙ.මගෙම සහෝදරයෙක් වගෙ. නැහැ...ඊටත් වඩා කිට්ටු, ලෙන්ගතු කමක්. නන්දිත් අපිව එවන්න ඇත්තෙ පියල් එක්ක එයා හොඳ කෙනෙක් නිසා වෙන්න ඇති.


"හිතේ හැටියට වැඳ ගත්තා සුදු මැණිකෙ...ඊයේ රෑ වගෙ ආයෙ කරදර නොවේවා කියල මම සුදු මැනිකෙ ගැන හිතල බුදු හාමුදුරුවන්ගෙන් ඉල්ලුවා.මහත්තයත් වැඳ පුදා ගත්තද?"


" හපෝ..ඔව්..ප්‍රේමවතී, මම සති දෙකකට වරක් වත් මෙහෙ එනව, හිතට ලොකු සහනයක් දැනෙනවා මේ බුද්ධ රූප දිහාවෙ බලා ගෙන ඉන්න කොට. මම මලිතිට නොකිව්වට ගොඩක් කවි ලියන්න පුළුවන් මට මේ පරිසරයෙ හිටියම. මේ බුදු පිළිම කවි වලට උල්පත් වගෙ"


"මම දන්නෙ නැහැ නෙ ඔයා කවි ලියන විත්තිය. මටත් දෙනවද බලන්න?"


"ඒව කවිද කියල මට හිතා ගන්න බැහැ..ඒ වුණාට මම ඔහෙ ලියනව...සමහර විට හොඳම කවිය හෙට වත් ලියවෙන්නෙ නැතෑ."


"ඔන්න සුදු මැණිකෙගෙම ජාතියෙ මහත්තයෙක්. සුදු මැණිකෙත් හරියට කවි ලියනව මහත්තයෝ"


ප්‍රේමවතී පොරොන්දම් බලන්න හදනව වගෙ. දීග තල ගිය ගැහැණුන්ගෙ පොරොන්දම් බලලා වැඩක් තියෙනවයැ? සමාන අසමාන කම්, ගැලපුම් නොගැලපුම් බලන්න අප්පච්චිලාට ඒ තරම් ඕනෑ කමක් තිබුණයැ? 'නොගැලපෙන රෝද' පොත මට මතක් වෙන්නෙ ඇයි දැන්? මමත් නන්දිත් නොගැලපෙන රෝද වේවිද මතු කලෙකදි?


බුදුන් වැඳල නිවුණු සිත ආයෙමත් කලබල වෙන්න දෙන්න නරකයි. පියල්ට මගෙ හිත කියවගන්න පුළුවන් වෙලාද?


" අපි තුන් දෙනාම පිරිත් කියමුද?"


                       මම අප්පච්චිත් එක්ක හුඟ දවසට බුදුන් වැඳල ඉවර වෙල තුන් සූත්‍රය කියනවා මතක් වෙනවා. අපෙ අප්පච්චිට හාමුදුරුවන්ට වගෙම ලස්සණට පිරිත් කියන්න පුළුවන්. මම ඒ හඬ අනුව පිරිත් සජ්ජායනා කරන්න ඉගෙන ගත්තෙ පුංචි කාලෙ ඉඳලමයි. පියල්ටත් ඒ වගෙ කියන්න පුළුවන්ද?


                 පිය කිසි කතාවක් නැතිව දොහොත් මුදුන් තියාගෙන නමස්කාරය කියන ඉරියව්ව මගෙ හිත තවත් නිවනවා. මමත් ප්‍රේමවතීත් දොහොත් මුදුන් තියාගෙන ඔහුව අනුගමනය කළේ වෙනත් වචන තොල් වලට එන්න නොදී. මම දෑස පියා ගත්තා.


මුළු ලෝකෙන්ම වෙන් වෙලා ආරණ්‍ය සේනාසනයක තනි වුණා වගෙ හැඟීමක් දැනෙනවා, මට. ඔහු පාලි වචන අපූරුවට උච්චාරණය කරනවා. ඔහු වාඩි වෙල හිටියෙ මට වඩා සෑහෙන දුරකින්. ප්‍රේමවතී හිටියෙ අපි දෙන්නටම පහළින්. එය එක පේලියට ඉඳගන්න එන්නෙ නැහැ, කවදාවත්.


පිරිත් කියන අතරෙ මගෙ හිත එහෙ මෙහෙ දුව ඇවිදිනවා. ඒත් පිරිත් වරදින්නෙ නැහැ, ඇබින්දක්වත්. ටික වෙලාවකින් මගෙ ලඟ කවුදෝ ඉඳගත්ත වගෙ මට දැණුනා. කවුරු එන්නද මගෙ ලඟ ඉඳ ගන්න? මට ඉබේටම ඇහැ ඇරුණා.


නන්දි තොල් පටට දබරැඟිල්ල තියල නිශ්ශබ්ද වෙන්න කියල මට සන් කළා. මමත් කතා නොකරම පිරිත් කිව්වා, නොනවත්වාම. ඔහු වැඳ ගත්තෙත් නැහැ. පිරිත් කියන්න එකතු වුණෙත් නැහැ. පිරිත් ඉවර කරල ඇස් ඇරිය පියලුත්, ප්‍රෙමවතීත් නන්දිව දැකල ඇරපු ඇස් නළලටම යැව්වෙ තුෂ්නිම්භූත භාවයෙ හිනිපෙත්තටම ගිය නිසා වෙන්නැති.


නන්දිව තේරුම් ගන්නෙ කොහොමද කියල මට තව තවත් හිතන්න ඕනි වුණා. මේ ගමන එවීමත් පරීක්ෂාවක්ද?


" මම හිතුවා ඇවිත් ඕගොල්ලො එක්ක දවල්ට කෑම කෑවොත් හොඳයි කියල. තවම කෑවෙ නැහැ නේ?"



" අපිට කෑම ගැන මතක් වුණෙත් නැහැ. නන්දි ආපු එක හොඳයි. "පියල් නන්දි ලඟට කිට්ටු වුණා.


ගස් හෙවනක් යට වන්දනාවෙ ආපු නඩයක් වගෙ බත් මුල් ලිහා ගෙන කන කොට ගෙදර ඉඳන් කන කෑම වේලකට වඩා අමුතු රසයක් දැනෙනවා.


මුල, මැද, අග ගලපගන්න බැරි කතාවක් වගෙ මට නන්දි ගැන හිතෙන්නෙ. ජිවිතය හිතන තරමටම නරක් වෙන එකකුත් නැහැ. මේ වගෙ මිනිස්සු තේරුම් ගන්න පර චිත්ත විජානන ඥාණය අවශ්‍යයයි කියල හිත කියනවා. ප්‍රේමවතී හිතනව ඇති, එයා බුදුන් වැඳල කරපු ප්‍රාර්ථනාව දිට්ඨ ධම්ම වේදනීය කර්මයක් වෙලා ආනිශංස ලබා දුන්නා කියලා.


මට නං හිතුණෙ 'රාහුලං ජාතං' වගෙ හැඟීමක්. මොක්ද හිතේ තිබුණු සැහල්ලුව එසැණින්ම අතුරුදහන් වුණු නිසා.




























6 ක් අදහස් දක්වලා.:

Prabath Chaminda said...

යන්තම් ඇති...කතාව ආයිත් ඇරඹුනා..

දුකා said...

m m m ohoma yanko akkandi . .

Narada said...

කාලෙකින් පසු...ආයිත් පුලින තලාවේ සක්මන් කරනවා අපි...ඔබත් එක්ක...

LishWish said...

හ්ම්ම්ම්..., "රාහුල ජාතං" හිතේ තිබුණු ඉස්පාසුව හොරුගත්ත ම එක හඳුන්වන්න අතීත බොදු පරිසරයක හැදුනු කලාකාරයා මොනතරං නිර්මාණශීලී ව බුද්ධ ඉතිහාසයේ එක පුරානෝක්තියකට උපමා කරලා තියෙනවද? හරිම අගෙයි අක්කණ්ඩී.., කාලෙකට පස්සේ මේ සුසිනිඳු පුලින්තලාවේ, මලිති, නන්දි, පියල්, පේමවතී එක්ක අපේ හිත් රස්තියාදු ගහන්න අරගෙන ආයිත් වරක්.

කවිද අකමැති ඒ වගේ තමංගේ හිතත් එක්ක තනිවෙලා ගල්විහාරේ වගේ තැනක අලසසුවය විඳ ගන්න. මලිති, පියල්, පේමවතී මේ තුන්දෙනා එක්ක අපිවත් ඔබ එක පෙලට තියල පිරිත් කියද්දී.., අපේ හිත ඇතුලෙන් දෑත් එකතු කරන්නේ ඉබේට ම.

කඳු said...

pothak wee pipewa me sonduru liyamana...!

Mark said...

හැමදාම වගේ අදත්, ස්තුතියි අක්කන්ඩී.. මමත් මේ කතාව ඇතුලේ ජීවත් වෙනවා වගේ.. තවත් කොටසක් සමග ඉක්මනින් එන්න.. එතෙක් ඔබට ජය.. ලබන්නා වූ නව අවුරුද්ද, සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියා ප්‍රාර්තනා කරනවා..

Post a Comment