Wednesday, November 25, 2009

ගැහැණිය මනින මිණුම් දඬු

Wednesday, November 25, 2009
නින්දත් නොනින්දත් අතර සිත එහාට මෙහාට පෙරලුණා, ඇඳ පුරහම. නන්දිට වගක් තිබුණෙ නැහැ, ඒ ඇඳේ වෙන කෙනෙකුත් ඉන්නවා නේද කියල. නින්ද නොයන හිත ඇඳේ ඉහ ඉද්දරින් හාන්සි වෙනවා, කිසිම හඬක් නොනැගෙන විදිහට. එක සිද්දියක් මුළු ජීවිතයම තීන්දු කරන පෙර මග ලකුණු විදියට අරගෙන අනාගත වංශ දේශනාවක් ලියන්න තරම් කලබල විය යුතු නැහැ කියල සම්ප්‍රදායිකා ඇවිත් තැලිලා නිල් වුණු සිතේ වේදනා නාශක ආලේපනයක් තවරනවා. 
"ෂික්..." ඔලුව ගස්සමින් නන්දිව තල්ලු කරලා කකුල් දෙකම ඇඳ උඩට අර ගෙන බද්ධ පර්යංකයෙන් වාඩිවෙන දඩබ්බරි මගෙ දිහාවට දබරැඟිල්ල උලුක් කර ගෙන.
"ඔය පටන් ගත්ත විතරයි...හොඳ හොඳ සෙල්ලම් එලි වෙන ජාමෙට කියල අහල ඇති නෙ...දැන් ඉතින් බැඳ ගත්තු බෙරේ ගහනවද...එහෙමත් නැත්නම් නටපු තොවිලෙකුත් නැහැ, බෙරේ පලුවකුත් නැහැ කියන්න කලින් නන්දිවිසාල ගෙන් සමුගන්නවද කියල හිතුවොත් හොඳයි...සුදු මැණිකෙ"
එයා දේශනාව ඉවර කරන්න ඉස්සර මම ප්‍රේමවතී නිදා ගෙන උන්නු කාමරයට ගියා. ප්‍රේමවතී එතකොටත් මුළුතැන් ගෙයි වැඩ.
"සුදු මැණිකෙට කිරි කෝපි එකක් හදන්නද? මම කලින්ම උයන්න හිතුව." 
ප්‍රේමවතී දන්නව මම තේ බොන්න අකැමැති වග. ඒකයි කෝපි හදන්න අහන්නෙ. නැගිට්ට ගමන් සීතල වතුර වීදුරුවක් බිව්වම මගෙ මුළු සිරුරෙම නාඩි, ශිරා විතරක් නෙවෙයි, ඌර්ණ නාලිකා කේශ නාලිකා දිගේත් ඒ වතුරෙ සීතල ගලා ගෙන ගිහින් පුදුම නිවීමක් ඇති කරනවා. ඒත් ඊයේ රෑ ගිනියම් වුණු සිතේ ගිනියම නිවන්න එක වතුර වීදුරුවක් ඇති වේද කියන එක මටම ප්‍රශ්නයක්. මැටි ගුරුලේත්තුවෙන් උස වීදුරුවකට මම වතුර හලා ගත්තෙ අද දවස ගිනියම් නොවේවා කියල හිතා ගනිමින්. ගුරුලේත්තුවෙ වතුරෙන් එන සිහිල්, නැවුම් රසය හරිම පිරියයි. ඊයෙ රෑ සිදුවීම් ගැන මට ප්‍රේමවතීගෙන් හාරා අවුස්සන්න හිතෙන්නෙ නැහැ. නිකමට හෝ ඇහුවොත් ප්‍රේමවතීගෙ හිත් වක්කඩ කැඩෙන බව මට හොඳටම විශ්වාසයි.
තුවාල සනීප කරගන්න ඖෂධයක් ගල්වන්න කියනව මිසක දොඩම්කටු ඇන ගෙන පාරවා ගන්නෙ මොකටද? දොඩම් කටුවකින් හරි දෙහි කටුවකින් හරි ඇනල විෂ, සැරව එලියට විදල හරින්න තරම්ම තුවාලෙ පැසවල නැහැ තවම. එහෙම සැරව පිරුනහම වේදනාව වැඩියි නෙ. දැනට තියෙන වේදනාව ඉවසා දරාගන්න පුලුවන් තරම් චිත්ත ශක්තියක් මට තවමත් තියෙනව. නැගෙනහිර අහසෙ ලා හිරු ටිකෙන් ටික පිපෙන්න පෙර හුරුවක යෙදෙනව වගෙ. වළාකුළු රංචුවක් හිරු පිළිගන්න වගෙ, සිත් ගන්නා සුළු වර්ණ වලින් සළු පිළි පළඳින්නෙ තරඟෙට වගෙ. 
කොට බිත්තියට මම ගොඩ වුණෙ මටත් නොදැනිම. මිදුලෙ සියඹලා අතු අතරින් යාන්තමට උදාගිරට වඩින හිරු භාවනා කරනව වගෙ. මටත් හිරුත් එක්කම දැහැන් ගත වෙන්න හිතෙනවා. ඒත් හිතට සන්සුන් වෙන්න බැහැ වගෙ. හැමතැනම දුවනව, කිසිම එකලාසයක් නැතුව. නන්දි ඉන්න කාමරේට දුවන හිත ආයෙම අපේ ගෙදර දුවනවා. අප්පච්චිගෙ කන්තෝරුවට වත් මම කෝල් එකක් දුන්නෙ නැහැ. එහෙම අවස්ථාවක් ලැබුණෙත් නැහැ නෙ. හෙට තැපැල් කන්තොරුවට ගිහින් වත් කතා කරන්න ඕනි. ගෙදරට දුවන හිත ආපස්සට ඇදල ගන්න අමාරුයි. එහෙටම වෙලා නතර වෙන්න හදනවා. ඒ වුණත් අතීතාවලෝකන වල යෙදෙන්න හිතට පිරියක් ඇත්තෙම නැහැ, අනාගතය ගැන පවතින අවිනිශ්චිත කළුවක් හතර වටේ කැරකෙනවා.ඒ කළුව ඈතකට පා කරල යවන්න මහා සුළි සුළඟක් හරි සැඩ කුණාඅටුවක් හරි එනව නම් හොඳයි කියල හිත කියනවා.
" ආපු සැඩ කුණාටුව මදිද, ඊයේ රෑ?" දඩබ්බරිට නං හොඳටම කේන්ති ඇවිත්.  
"කඳුළු වලට ප්‍රශ්න විසඳන්න බැහැ, ඉවසිල්ලෙන් වැඩ කරන්න, ළමයො"
සම්ප්‍රදායිකා මගෙ හිස පිරිමදිනව .... දයාබර ඇඟිලිතුඩු වලින්. ව්‍යසනයක් එන්න කලින් මොකට දුක්වෙනවද? ව්‍යසනය වුණහම දුක් වෙන එක වෙනම කාරණයක්. මොකුත් වෙන්න ඉස්සර ඒ ගැන හිත හිතා දුක් කඳුලු එක්ක අත් වැල් බැඳ ගත්තම, ව්‍යසනය වුණහම දුක දරාගන්න වෙනවා දෙවරක්ම. දෙවරක්ම ඒ උදෙසා දුක් වෙන එක නම් මෝඩ කමක්. ඊට වඩා හොඳයි, සිද්ධිය වුණහම විතරක් දුක් වෙන එක. අනේ මන්දා? නොමිලේ උපදෙස් දෙන්න නම් හැට හුට හමාරක් කට්ටිය එනවා. ඒ වුණත් විඳවන්න ගියහම තනිකර මම විතරක් නේද සියලු දේවල් දරා ගන්න වෙන්නෙ. කොහොම වුණත් ජීවිතේ අඬා ගත්තු ගමන් ඉන්නෙ මොකටද?
දහම් පාසැලේ ඉගෙන ගත්තු දේවල් ජීවිතයට ආදේශ කර ගන්නට 'කාලො අයං ථෙ' කියල හිත කියනව. අෂ්ඨ ලෝක ධර්මය ජිවිතයට හැම දාකටම පොදු වශයෙන් බලපානවා. අපි මවන, මවපු හීන වල තියෙන්නෙ සුන්දර පැත්තක් විතරයි. හිනාවෙන් පිරුණු, සුන්දර ප්‍රාර්ථනා! ඉන්ද්‍රචාපයන් වගෙම වර්ණවත්, චන්ද්‍ර රශ්මිය වගෙම මුදු සිසිලසක් වෑස්සෙන ඒ සිහින වල අඳුරු වළා පටල නැහැ, පුලුන් රොදක් තරම් වත්.
මොකුත්ම සිදු නොවුණු විදිහට මම තේ එක ගිහින් දුන්නා, නන්දිට. 
"අද වැඩ ගොඩක් තියනව, මලිති. දවල්ට කන්න වත් මට එන්න පුළුවන් වෙයිද මන්දා"
" ප්‍රේමවතී උදෙන්ම ඉව්වා. මම ඔයාට බත් එකක් බැඳලා දෙන්නම්" 
"ඒක හොඳයි...හා...එහෙනම් ඕගොල්ලො උදේට ගල් විහාරෙ යන්න."  
අපි කොහොමද ගල් විහාරෙ යන්නෙ, එයාට වැඩ ගොඩක් තියෙනව නම්...? දැන් කිව්ව දවල්ට කන්න වත් එන්න බැරි තරමට වැඩ ගොඩ වෙලා කියලා. මේව ඔක්කොම මම මගෙ හිතෙන් විතරක් අහන ප්‍රශ්න. ඒවා හිතට එන එන පලියට එලියට දැම්මොත් අකරතැබ්බ මිසක සුගතියක් නැති වේවි. 
"අද පියල්ට ඒ පැත්තෙ වැඩ වගයක් තියෙනව කිව්ව. එයා හරිම හොඳ මල්ලියෙක්. පියල් ඔයලව එක්ක යාවි. දහයට විතර ලෑස්ති වෙලා ඉන්නකො" 
නන්දිත් කතා කළේ මොකුත්ම සිදු නොවුණු ආකාරයෙන්. ඒ ක්‍රමයත් නරකම නැහැ. දුක හෝ වේදනාව ඇතුළටම වෙලා එහිම යලි යලිත් ගිලි ගිලී විඳවනවට වඩා හොඳයි, මෙහෙම වෙන එක. නන්දිට වුණත් වැටහෙන්න ඇති ඒ සිද්ධිය මට නරකට බල පාන්න ඇති කියලා. ආදරයක් කෙසේ වෙතත් කරුණාව, දයාව වත් මා කෙරේ එයාගෙ හිත තුළ පහළ වෙනව නම් ඒකත් ප්‍රාතිහාර්යයක් කියල මට හිතෙනව. නන්දි කාර්යාලයට යන්න පිටත් වෙන කල්ම එයට අවශ්‍ය දේවල් මම සපයා දුන්නෙ, සාම්ප්‍රදායික බිරිඳකගෙ භූමිකාවට අවතීර්ණ වෙමින්. ඒක මම අපහාසයෙන් කියනවා නෙවෙයි. මිනිස්සුන්ව වෙනස් කරන්න ආදරයට පුලුවන් කියලා මම අදහන නිසා. සම්ප්‍රදායිකා කියන්නෙ,කොහොම හරි උත්සාහ කරලා, එයාට ආදරේ උගන්වන්න කියල. විද්‍යා විෂයයන් උගන්වනව වගෙ ඒක මට පහසු කාරණයක් වේවිද කියල මට හිතා ගන්න බැරි වුණත් උත්සාහ කරලා බලනවා. විද්‍යා විෂයන් වල ප්‍රායෝගික වැඩ කොටසින් තමයි, න්‍යායන් ඔප්පු කරල පෙන්වන්නෙ. ඉතින් මේ ආදර විෂය හා අනුබද්ධිත ප්‍රායෝගික වැඩ කරන්නෙ කොහොමද මම කිසිම පෙරහුරුවක් නැතුව? අනේ! ඒකට මට කියවන්න පොත් ටිකක් වත් තියෙනව නම් මොන තරම් අගෙයිද? කාගෙන් හරි අහගන්න වත් පුලුවන් නම්?
" ගිහින් එන්නම්, මලිති. කැමරාව මගෙ මගෙ බ්‍රීෆ් කේස් එකේ ඇති.ඒක ඔයා අරන් යන්න..මම දන්නව ඔය පින්තූර ගන්න ආස නේ?"
ඔහු කාරයට ගොඩ වුණෙ එහෙම කියා ගෙන. " තුන් සරණයි" මගෙ තොල් අතරින් ඒ වචන එලියට පැන්නෙ ආදරය කරන්න ඉගෙන ගන්න ශිෂ්‍යාවක ගෙන් වගෙ. මම හිතුව අද වත් මගෙ නළල ඉඹල වැඩට යාවි කියල. ඒවා ඉතින් සිහිනම විතරක් වන සාක්ෂාත් නොවෙන අපේක්ෂාවන්. 
ප්‍රේමවතීට ගල් විහාරෙ යන ආරංචිය කිව්වම, ඉහේ මල් එකක් දෙකක් නෙවෙයි, උයනක්ම පිපුණා වගෙ රූප සොබාව.  ප්‍රේමවතීගෙ හිනාව ඉවුරු තලා ගෙන ඉහින් කණින් වෑහෙනවා. අපෙ මල්ලි හිටියා නං කියයි,"ප්‍රේමවතීගෙ කට කනේ" කියල.  
"සුදු අප්පො එනව කිව්වද සුදු මැණිකෙ?" 
"එයාට වැඩ කියන්නෙ හෙල්ලෙන්න බැරි තරමට. අර ඊයෙ ආපු මහත්තයා එනවලු අපිව එක්ක යන්න."  
" එහෙම පිට මිනිස්සුත් එක්ක යන එක හොඳ යැ සුදු මැණිකෙ?" 
"මහත්තයා නරක දෙයක් මට කරන්න කියන එකක් නැහැ ප්‍රේමවතී, අපිටත් බත් මුල් තුනක් බැඳ ගන්නකො. වතුරත් උණු කරල නිවපුවා තියෙනව නේද?අර අපි එද්දි ගෙනාපු බෝතල් වලට දා ගන්න. ඔයා ඒ ටික කරන කල් මම ගෙවල් අස් කරන්නම්."  
ප්‍රේමවතීට කියල සේරම වැඩ කර ගන්නෙ මොකටද? ඉඳල හිටල කවියක් දෙකක් ලියන එක ඇරුණම මේ දවස් වල නියමිත වූ වෙන වැඩක් ඇත්තෙම නැහැ මට.
කාමරයට ගිය මම ඇඳ පාමුල වළල්ලක් වගෙ දමල තිබුණු නන්දිගෙ සරමත් එක්ක අනික් කිළුටු රෙදි කිළුටු කූඩයට දමල ඇඳට අලුත් රෙදි දැම්මෙ ඊයෙ රෑ සිදුවීම් වල කිලුට්ට.....මත්පැන් ගඳ...යනාදී වූ සේරම දේවල් හිතේ රිදුණු, පළුදු වුණු තැන් වලින් පුපුරු ගහපු ලේ පැල්ලම් එක්කම සෝදා පවිත්‍ර කළ යුතුයි කියල හිතුණ නිසා.
'පිරුවටයක්ව තිබුණු සිත
පැල්ලම් ගැහෙයි,
රළු පරලු දුක් වේදනා තැවුල් සමගින්
අපුල්ලන්නට දිය හැකිද
පිටස්තර කෙනෙකුට .....?  
මවිසින්ම වෙල්ලාවට දමනු මිස'  
පියල්ගෙ කාරයෙ නළා හඬ මාව පියවි ලෝකයට ඇදල දැම්මා. කලින්ම ඇවිදින් වගෙ. මම ප්‍රේමවතීට කිව්ව ගිහින් බලන්න කියල.මම හිටියෙ රාත්‍රී ඇඳුම පිටින්. හවුස් කෝට් එකක් ඇඳන් හිටියත් මට හිතුණෙ නැහැ, පිට පිරිමියෙක් ඉස්සරහට එහෙම යන්න.
" සුදු මැණිකෙ, අර මහත්තය අහනව තව පැය භාගයකින් ලෑස්ති වෙන්න පුලුවන්ද කියල.....ගිහින් පැට්‍රෝල් ගහගෙන එන්නම්ලු" 
" පුළුවනි කියන්න....උදෙන්ම ගියාම අව්ව සැරත් නැහැ නෙ."
විනාඩියට දෙකට පුරුදු විදිහට නා ගත්තු මම ලා පාට ඔසරියක්ම ඇඳ ගත්තෙ නන්දි මම වෙන සැහැල්ලු ඇඳුම් අඳිනවටත්....කොට ගවුමක් හරි ස්කර්ට් එකක් හරි ඇඳන් යන්න තියෙන්ව නම් පහසු වුනත් දැන් මම භාර්යාවකගෙ භූමිකාවම රඟ දැක්විය යුතු නිසා මා තුළ වෙසෙන මගෙන් මට සමු ගත යුතු වෙනව. යුග ජීවිතය කියන්නෙ පරිත්‍යාග වලින් විතරක්ම සැදුම් ලද්දක්ද, බිරියන්ට? කාගෙන් මේ ප්‍රශ්නෙ ඇහුවත් ලැබෙන පිළිතුර 'ඔව්' වේවි. පවතින ක්‍රමයට විරුද්ධව උත්තර දෙන්න කවුරුත් අකැමති ඔවුන්ට වට පිටාවෙන් එල්ලවෙන චෝදනා වලින් මිදෙන්න බැරි කමට...නරක ගැහැණියක්ය කියල සමාජයෙන් එල්ලවෙන චෝදනාවෙන් ඇඟ බේරගන්න ඔනි නිසා. නරක ගැහැණිය, හොඳ ගැහැණිය කියල මනින මිණුම් දඬු සමාජ ක්‍රමයේම නිර්මාණ මිස ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙ ලියවිල නහැ නෙ. ඒකෙ ලියවෙලා තියෙන්නෙ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සියලු මානව හිමිකම් ගැණුන්ටත් පිරිමින්ටත් සමානව හිමියි කියලා. ඒත් භුක්ති විඳින කල්හී තමයි, ගැහැණු අඩු වරප්‍රසාද ලැබුණු කොට්ටසක් විදිහට පෙනී යන්නෙ. මේවා ඉතින් මම කාට කියන්නද?
මොකද ඒ පාර සම්ප්‍රදායිකා මේ පැත්තට කිට්ටු වෙන්නෙ? 
"මලිති, ඔය අනවශ්‍ය වැල්වටාරම් වලින් ඔලුව අවුල්කර ගන්න එපා. නන්දි දැන් ගල් විහාරෙ යන්න පිළියමක් යෙදුව නෙ. පියල් නරක ළමයෙක් නෙවෙයි. ඒ විශ්වාසය උඩ නෙ ඔයාව මේ ගමන යවන්නෙ.අනික ප්‍රේමවතීගෙ බලාපොරොත්තුත් කඩ කරන්න බැරි නිසා නන්දි ගත්තු තීරණය හරි.ඔය දඩබ්බරී ගහන පද වලට නටන්නෙ නැතුව, මම කියන දේ අහල කලබල නොවී  වැඩ කරන්න."  
පියල් එක්ක යද්දි මට දැනුණෙ අපෙ මල්ලිත් එක්ක ගමනක් යනව වගෙ. මල්ලි විතරම ඇණයක් නොවුණත් උවමනාවට වඩා මාව පරිස්සම් කරන්න හදනවටත් මම කැමති නැහැ. කොහොම වුනත් පරාක්‍රම සමූද්‍රය දකින් දකින ගානෙ මගෙ හිත  පුරාවට දෙගොඩ තලන සතුටට නම් පවුරු බඳින්න බැහැ. ඒ තරමටම සුන්දරයි, ඒ දර්ශනය. මට හිතෙන්නෙ ගහක් යට වාඩිවෙල සමූද්‍රය දිහා ගොඩාක් වෙලා බලා ගෙන ඉන්න තියෙනව නම් හොඳයි කියල.
මට ආස දේවල් කොහොමද කරන්නෙ, වෙනත් කෙනෙකුගෙ ලෝකයක ඔහුට ඔනි ආකාරයට ජීවත් වෙන කොට. මේ දෙගිඩියාව නම් හිතේ තියාගන්න හොන්ද දෙයක් නෙවෙයි. දිය කාවො පේලි පේලි එක එක රටා අහසෙ අඳිමින් ගිහින් එක පාරටම දියට පාත් වෙනව, ගොදුරකට. සේරු, කොක්කු අහසෙ යන්නෙත් පේලි පේලි. දෙදෙනෙක් අතර දුර හරියට මැනල කියල දීල වගෙ, එක සමානයි. 
"ඊයේ රෑ සිද්ධිය ඒ තරම් ගනන් ගන්න එපා, මලිති. නන්දි අයියා නරක කෙනෙක් නෙවෙයි. ටිකක් කල් යන කොට ඕවා මග හැරිලා යයි"  
පියල් නිශ්ශ්බ්දව යන අපි අතරෙ නිහඬ තාවය බිඳිනවා. 
"ගල්විහාරෙට තව ගොඩක් දුරද?"
මාතෘකාව වෙනස් කරන්න උත්සාහ කළේ ප්‍රේමවතී ඉස්සරහ කිසිම දෙයක් විවේචනය නොවිය යුතුයි කියන මතයේ මම තරයේ එල්බ ගෙන සිටි නිසා.

17 ක් අදහස් දක්වලා.:

mier said...

තවත් සුන්දර පියවරක්. ඔයාට බොහොම ස්තුතියි. දැන් සති ගනක් තිස්සෙ මම දවසට දෙපාරක්වත් චෙක් කලා ඔයා මේකෙ දාල ඇති කියල.තවත් ලස්සනට ලියන්න මගෙන් සුභ පැතුම්.

Prabath said...

අම්මෝ අක්කන්ඩි ආයෙත් ඇවිත්... නියමයි.. පියල් ගැන මටනම් දැන් සැකයි.

Charith Weerakkody said...

කාලෙකට පස්සෙ බ්ලොග් එක මතක් වෙලා තියෙන්නෙ...

පුලුවන් නම් Word Verification අයින් කරන්න.

LishWish said...

සහළෝලෙට උණ තිබුණත් අක්කන්ඩිගේ පුලුණතලාව නොබල ඉන්න හිත දෙන්නේ නැති හැටි.., පිය විප්පයෝග මානසික බාධක මැද්දේ මේ තරම් දෙයක් ලියන්න අක්කණ්ඩි ඔය මොනතරං දහිරිය වන්ත වෙන්න ඕනි ද?

Ruwan said...

අක්කන්ඩිගේ කතා ඔක්කොම මම ආසාවෙන් බැලුවා. එත් පොඩි නොගැලපීමක් තියෙනව මලිති ගැන කියල තියෙන එවා ගැන. ටිකක් බලන්න

මම පශ්චාත් උපාධියත් සමත් වුණාම මම කිව්ව අප්පච්චිට,අප්පච්චිගෙ කීකරු පුත්‍රයාට වඩා දඩබ්බරී නම් වූ අකීකරු දියනිය ගොඩක් ඉගෙන ගත්තා කියල...

ඔන්න මම එක දිගට අවුරුදු දෙකක් විතර ලංකාවට එන්න බැරිවෙල ඉඳලා දැන් ඔන්න සම්ප්‍රාප්ත වෙන්නයි යන්නෙ..

මම කොහොමද පුංචි වෙන්නෙ? අවුරුදු විසි දෙකක් කියන්නෙ වැඩිහිටි බවට පත් වෙන වයසක්. මෙන්න වැඩක්. පුංචි ලමයෙක් නං මම කසාද බඳිනවද?...

කොහොමද අප්පේ ලංකාවේ ලමයෙක් පශ්චාත් උපාධ්යත් අරන්, අවුරුදු 2ක් රටත් ඉඳලා, අවුරුදු විසි දෙකකින් කසාද බඳින්නෙ.

malee_msg said...

මේක ඇතුලේ කථා කරනවා නම් කථා කරන්න කොයි තරම් අතුරු මාතෘකා තියනවාද?

ඒත් සාම්ප්‍රධායික ගැහැණියක් වගේ මමත් හොදයි විතරක් කියලා කට පියා ගන්නවා..

ලියන්න අක්කේ..

Ruwan said...

@ Malee..

ඔයාගේ සම්ප්‍රදායිකා 90% දඩබ්බරී 10% වගේ නේද? :)

Mark said...

අම්මෝ ඇති යාන්තම්, අක්කන්ඩිට මේ පැත්තේ එන්න මතක් වෙලා. එක හුස්මට කියවගෙන ගියා. බොහොම ස්තුතියි අක්කන්ඩි. ඔය හොදින් ඇති කියල හිතනවා. බුදු සරණයි!

taboosubjects said...

Sorry, I have not been following this blog regularly. I have a question. Is this a true story or a novel? I was thinking it the first. Please correct me if I am wrong.

Anyway, it is a great story and I like the presentation style.

- Taboo

එදිරි said...

කාෙලකට පස්ෙස...WORD VRIFICATION අයින් කලානම් තමයි ෙහාද

කපිලගේ පෑනෙන් ලියවෙන දකින දේ.. said...

මාර අදහස් ටික මම නම් අළුත් කෙනෙක් හොඳද....

malee_msg said...

@Ruwan - හික් හික්.. ඒක ඉතිං ඉන්න තැන අවස්ථාව අනූව වෙනස් වෙනවා සහෝ... සම්ප්‍රධායිකා පැත්ත පලාතක නොයින අවස්ථා ඔය කවුරුවත් නැතිව මං විතරක් ඉන්න වෙලාවල් ඇතුලු තව ගොඩ ගොඩක් අය ඉන්න වෙලාවල් එනවා. ඒක ඉතිං විස්තර ඇතුව කියන්න පුළුවන් දෙයක් නෙවෙයි.
මම අක්කණ්ඩි ගේ කථාවේ නිහඩව හිටියේ කථා කරන්න ගියොත් ඒවා කතා කරලා ඉවර කරන්න බැරි නිසයි..ඒ වගේම සමහර විට ඔය දේවල් කථා කරලා ඇති පලක් ප්‍රයෝජනයකුත් නෑ.

ගෝමස් said...

ගැහැණුන්ට සාම්ප්‍රදායික වෙන්න වෙලා තියෙන්නේ පිරිමි හින්දා. මගුල් සංස්කෘතියක් තියෙනවනෙ අපිට උඩ දාගෙන දඟලන්න. මරු මරු. මලිතිත් මම හිතන්නෙ ඔය ප්‍රවාහයට අහුවුන තවත් එක් ගැහැණියක් ඔය වගේ අය තව කොච්චර ඇත්ද ඇයි මේ පීඩා දරාගෙන ඉන්නෙ.මට අවුල තියෙන්නෙ ඔතන.

අක්කණ්ඩි said...

malithi mulinma me prawahayanta ahu wela inne samaja apawaayanta bayen. balnnako pase eyaa saampradiyikaa haa gatena akaraya, nuwanin manasin morana wita....

Mark said...

ane akkandi, aluthin kotasak ikmanata liyannakoo..

Raj Anthony said...

සමාජ සිදුවීම් තුලින්, තවත් එක් අප්‍රසන්න සිදුවීමක් අපූරුවට ලියා ඇත.

Anonymous said...

When read this I feel like reading Sunethra Rajakaruna's novel. keep writing. Best regards. Sanath

Post a Comment