Sunday, October 4, 2009

පාරමිතා ඉටු වීම

Sunday, October 4, 2009
ප්‍රේමවතී ඇවිත් නන්දිට පොළොන්නරු ගෙනියන්න කියලා දොදොල් හැඳි ගානව. නන්දිගෙ නිවාඩු ඉවර නිසා එය ආපහු යන්න සූදානම් වෙනවා. මට තව සතියක්ම ඉස්කෝලෙ නිවාඩු. මට හිතෙනවා, මාව ගිහින් අපේ ගෙදර නවත් වන්න කියලා කාරුණික ඉල්ලීමක් කරන්න, නන්දිගෙන්. හිත තවමත් කුලෑටියි, සබකෝලයි. නාට්‍යය වල රඟ පානකොට, කථික තරඟ වල කතා කරන කොට වේදිකාවෙදි නොදැනුණ සබකෝළයක් මගෙ හිතට දැනෙන්නෙ ඇයි?
අනාරක්ෂිත බව, ආගන්තුක බව....කොහොමත් අළුත ගෙනා මනමාලිලාගෙ ලැජ්ජාව වෙන්නැති. නන්දි කාමරේට එන කොට මම හිටියෙ එයාගෙ හෝදපු රෙදි නමමින්. මට නොදැනුවත්ව එයාගෙ කමිසයක් මගෙ නැහැ පුඩු අතරට ගියා. සබන් කුඩු සුවඳ අභිබවා ගෙන එයා ගෙ සුවඳ ඉස්මතු වෙනවා. දැන් මම එයාගෙ සුවඳ අඳුනනවා. ඒත් තවම මගෙ සුවඳ එයා හඳුන ගත්තද මන්දා?
"මලිති, පොළොන්නරු ගිහින් තියෙනවද?" නන්දිගෙ කතාව, වෙනදට වැඩිය දයාබරයි. කැම්පස් ඉන්න කොට බැච් ට්‍රිප් ගියා, මට මතකයි පොළොන්නරු. උදේ ගිහින් හවස ආව මිසක් වැඩි වෙලාවක් මම ආසා කරන පරාක්‍රම සමුද්‍ර වැව් බැම්මෙ ඉන්න බැරිවුණා. මගෙ හිත එතැන නතර වුණා වගෙ. ඒ තරමටම ලස්සණයි.
"කැම්පස් ඉන්දෙද්දි එක දවසක් උදේ ගිහින් හවස ආවා. වැඩිය ඇවිද්දෙ නැහැ"
" මම ඉරිදට යන්න ඉන්නෙ. නිවාඩුත් ඉවරයි නෙ. ඔයාට නිවාඩු නිසා ගිහින් එමු."
" වෙන කවුද යන්නෙ?"
" වෙන කවුද යන්න ඕනි, මම විතරක් මදිද?"
මෙයා විහිළු කරන්නත් දන්නව එහෙනම්. මම නවමින් හිටිය කොට්ට උරයෙන් දසන් පෙන්වන හිනාව වහ ගත්තා, සිනා නොමසෙන් දසන් දක්වා මතක් වෙලත් නෙවේ හැබැයි. ඔහු ඇවිත් මගෙ ළඟින්ම ඉඳ ගත්තෙ මගේ ඇඟේ ගෑවෙමින්. වෙනදට දවාලක කවදාවත් එයා මගෙ ලඟින් මේ තරම් කිට්ටුවෙන් ඉඳ ගෙන නැහැ.
"අම්මල වත් ආවොත්"
මට කියවුණේ ඉබේටම.
"ඉතින් මොකද? අම්මල කැවිලි හදනවා. මෙ පැත්තෙ එන්නෙ නැහැ. මම අම්මටත් කිව්ව ඔයාව එක්ක යනව කියලා. එහෙනම් රෙදි ලැහැස්ති කර ගන්නකො"
ඔහු මට ආදරයෙන් කතා කරපු මුල්ම වතාව. එක ඇහැක් අගට පෙරළුණු කඳුලක් ආපහු ඇහේ කෙවෙනිය ඇතුලට යැව්ව මම, රීවයින් කළා වගෙ. ඒක සතුටු කඳුළක් වුණත් පිරිමි සතුටු කඳුලු අඳුනන්නෙ නැහැ කියල මම අහල තියෙනව. කඳුළු දැක්කොත් නන්දිත් හිතයි, මම හැම එකටම අඬනව කියලා. පස්වනක් ප්‍රීතිය කියන්නෙ මේකට වෙන්නැති කියල මට හිතුණ, නන්දි මගෙ නළල ඉම්බම. 
මට අදහගන්නත් අමාරුයි, එයාගෙ වෙනස් වීම. මගෙ පාරමිතා ඉටු වීගෙන එනවා. ප්‍රාර්ථනාවන් හිත් පඳුරෙ මල් ඵල දරන්න සූදානම් වෙනව, වසන්තයට ඇස් අරින්න ඉන්න සිඟිති මල් පොහොට්ටු වගෙ. ඒ වුණාට මට තවම කෝලයි දඟ කාර කමට, එයා මාව තුරුළු කර ගන්න ඉස්සරින් එයාගෙ පපුවට තුරුළු වෙලා හුරතල් වෙන්න. හිතට හිතෙන දඟ වැඩ ලැජ්ජාවෙ වේවැලෙන් මට්ටු කරන්නෙ මගෙ හිතද සම්ප්‍රදායිකාද මන්දා.
දහම් පාසැලේදී කියල දුන්න හිරි ඔතප් ගැන මට මතක් වෙන්නෙ මොකද? මේ වෙලාවට මගෙ සහයට අවශ්‍ය දඩබ්බරී...මේ ගෙදරට ආවට පස්සෙ දඩබ්බරී මාත් එක්ක අමනාප වෙලා වගෙ. නිකමට වත් එන්නෙ නැහැ, දුක සැප බලල යන්න. මම එයාව අපේ ගෙදර නවත්තලා ආවෙත් නැහැ කියලත් මට හොඳටම මතකයි.
පොළොන්නරු යන්න පිටත් වුණේ අපි උදේ පාන්දර පහට විතර. උදෙන්ම ගියහම ඇඟට මහන්සි නැහැ කියල නන්දි කිව්වා.
"කඩ වලින් එහෙම කඩ චෝරු කන්නෙ නැහැ. සේරම කන බොන දේවල් දමලයි තියෙන්නෙ"
ලොකු ටීචර්ට වඳින කොට එයා තරවටු කරනව. 
" ෂහ්! මටත් යන්න තිබුණ්නෙ, කඨින පින්කම තිබුණෙ නැත්නම්." 
නැන්දම්මට නං ටිකක් හිතට හරි මදි වගෙ. අපි දෙන්න හා හපුරා කියලා තනියෙම යන ගමන.
" ඔක්කොම ආයෙමත් යමුකො ලබන පොසොන් වලට." 
" පොසොන් වලට? කොල්ලයි, බල්ලයි සෙරම යනව එත කොට. වැදගත් විදිහට වන්දනාවක් වත් කර ගන්න පුළුවනෑ එත කොට. සෙනග නැති නිස්කාන්සු දවසක යන්න තමයි මගෙ නං හිත"
එයා කැමති නැහැ වගෙ සාමාන්‍යය මිනිස්සු එක්ක මුහු වෙන්න. හරිම වැඩක් තමයි වෙන්නෙ, මේ වගෙ අයට නම්. මෛත්‍රී බුදුහාමුදුරුවන්ගෙන් එකම සද්ධර්ම මන්ඩලයක බණ අහල නිවන් දකින්නෙ කොහොමද, අවශේෂ අය එක්ක? එතැනදිත් කියාවි, මේ කොල්ලොයි, බල්ලොයි එක්කල අපිට එකට නිවන් දකින්න පුළුවන්ද කියලා මහන්තත්ත කමට. මේ ගොල්ලන්ව නිවන් දක්කන්න අට විසි බුදු වරු වැඩියත් බැරිවෙයි, මට නං හිතෙන හැටියට.  


මෙන්න බොලේ...අපි කාර් එකට නගින කොටම ප්‍රේමවතීත් ඇවිත් නගිනව පස්සෙන්. ඔක්කොමල මට 'සප්‍රයිස්' දෙන්න හිතලද කොහෙද? මටත් හරිම සතුටුයි.
" පුතා බැංකුවට ගියාම මලිතිට දවාලට ඉන්න වෙන්නෙ තනියෙම නෙ. ඒ හින්දා අපි ප්‍රේමවතිට යන්න කිව්වා."
" කොච්චර හොඳද?" මගෙ හිත එහෙම කියද්දි මම හිනාවෙලා අනුමැතිය ප්‍රකාශ කළා...සතුටින්. ප්‍රේමවතීටත් සතුර උහුලගන්න බැරුව කිචි කිචි හිනාවක් කැකිරි පලනව. මම සතුට හංග ගත්තා, වැඩිය ප්‍රදර්ශනය කිරීම අනිටු ප්‍රතිඵල ගෙන දිය හැකි බැවින්.
ප්‍රේමවතී නං සාධුකාරයකුත් දුන්නෙ, වන්දනාවෙ යනව කියල හිතට දැණුන නිසා වෙන්නැති. පව්! මොන තරම් අහිංසක හිතක්ද එයාට තියෙන්නෙ? අනුන්ට යහපතක් කරන්න මයි හැම විටම හිතන්නෙ. මමත් හිතෙන් ගාථාවක් කිව්වා. මම ඒ ගාථාව කියන්න පුරුදුවෙලා. පුරුද්දට කියවෙනවා. 
' සබ්බේ බුද්ධා බලප්පත්තා
පච්චේකානන්චයං බලං 
අරහන්තානංච තේජෙන 
රක්ඛං බන්දාමි සබ්බසෝ'
සියලු බුදු වරයන්ගේ බලයෙනුත්, සියලු පසේ බුදු වරයන්ගේ බලයෙනුත්, සියලු රහතන් වහන්සේලාගෙ බලයෙනුත් ආරක්ෂව ලබේවා කියන එක තමයි ඒ ගාථාවෙ ඡායානුවාදය.
" මොනවද කල්පනා කරන්නේ"
" මුකුත් නැහ..." 
මේ බණ කතා එයාට කියන්න පුළුවන්ද?
" ඔයාට කම්මැලිද?"
" ම්ම්ම් නැහැ, ඔයා ඉන්නෙ මගෙ ලඟ " මගෙ තොල් වලින් එලියට පනින්නෙ නැති වචන ගිලා බහිනව හිත පතුලට. කොච්චර නම් ඒ වගෙ වචන ලැජ්ජාව විසින් මෙහෙම ඔබල යට කරල තියෙනවද?
"ඉන්න මම ඔයාට සින්දුවක් දාන්නම්" කබී හෝල් එකෙන් ගත්තු කැසට් එකක් ඔහු යන්ත්‍රයට එබුවා...
"දන්නව නම් ඒ සින්දුව ඔයත් කියන්න"
' නිම් හිම් සෙව්වා මා සසරෙ
හමු වී යුගයෙන් බැඳි යුගයේ 
ළං වී වෙන්වී වරි වරේ 
ඔබ හා මා රන් හුයකිනි බැඳුණේ'
මට හිතෙනව මගේ ජීවිත පොතේ අලුත් පරිච්චේදයක් දැන් ලියැවෙන්න යනව කියලා. කර්තෘ වෙන්නෙ නන්දි මිත්‍ර නුගලියද්ද. මට සෝදු පත් කියවන්න දේවිද දන්නෙ නැහැ. ඊට වඩා හොඳයි, මට සංස්කරණය කරන්න දෙනව නම්. සංස්කරණය කරන ගමන් සෝදුපතුත් කියවන්න පුළුවන්. තවම තීරණය කරන්න බැහැ, ඒ නව කතාව ශෝකාන්තයක් වේවිද, සුඛාන්තයක් වේවිද කියලා. මට අනා වැකි කියන්න පුළුවන් කමක් නැහැ නෙ.  
 අනික මොකටද මම සෘණාත්මක විදිහට හිතන්නෙ...අලුත් බලාපොරොත්තු හෙමිහිට පීදෙන්න ඉඩ ඇරියා.....ලතාවකට...රිද්මයකට...'නිම් හිම්සෙව්වා ' ගියත් මුමුණන අතරේ. නන්දි එයාගෙ වම් අතින් මගෙ දකුණු අත අර ගෙන එයාගෙ කලව උඩ සැතපෙව්ව. මගෙ ඇඟ කිළිපොළා ගියා. මගෙ ඇස් ඉබෙටම ගියෙ කන්නාඩියට, ප්‍රේමවතී දිහාවට.  එයා අවට පරිසරයෙන් මත් වෙලා රිය කවුළුවෙන් එහා දුවන පින්තූරයෙ ඇස් අලවගෙන ඉන්නවා.

19 ක් අදහස් දක්වලා.:

LishWish said...

අනේ අප්පේ සුඛාන්තයක් මිස දුඛාන්තයක් කරන්න එපා අක්කණ්ඩී..., මලිතිගේ ජීවිතේ ගලායන විදියට මම ආසයි.., ඊටත් වඩා මේ කතාවට මම ආසයි.

මනෝ( TMG) said...

thanks for uploading this today . otherwise i might not able to read it till day after tomorrow .

seems something interesting to be happend . may be too early to predict . nice writing style as usual. i always enjoy the arguments of Dadabbari vs Saampradayikaa :)

NIBM (ku) 9.1 said...

අක්කන්ඩි...,
ඇයි අනේ ඔයා අපිව අඬවන්නේ මෙහෙම? එක දවසකට ඒ සතුටට, අනිත් දවසට දුකට.......

කතාව නම් අති විෂිශ්ටයි..

Prabhath said...

This is really GREAT.

දුකා said...

ela kiri . .. akkandi . . .! ela kiri . ..

LazyOwl said...

කිරි අප්පට බල්ලො බුරපි,අක්කංඩියේ.ඔයා කතා මෑසිමක්නෙ. අපොයි මගේ assignment ලිවිල්ලට තමා කෙල වෙන්නෙ. කමක්නෑ, රෑ වෙලා ලියලා, උදේට කලාස් එකේ නිදි කිරුවත් සෑපයි.

LazyOwl said...

ඔය ඉදලා හිටලා ඈට මෑස්සෙකුට වලිග පාර දුන්නට, බලන් ගියහාම, නන්දියා හොද එකා නොවෑ.

Mark said...

akkandi, athi wishoshtayi.. ithuru tikath ikmanata balaporoththu wenawa :D

Prabath said...

මෙයා නන්දිමිත්ර් යෝධයවත් හදල ගනී වගේ....

LazyOwl said...

ඊයෙත් බෑලුවා, ම්හූ....
අදත් බෑලුවා, ම්හූ....
පොළොන්නරුව ඔච්චරම දුරද?

මනෝ( TMG) said...
This comment has been removed by the author.
Mark said...

akkandi, thawama polonnaruwe yanawada? hayyoo, ko ithuru tika? :-?

LazyOwl said...
This comment has been removed by the author.
LazyOwl said...
This comment has been removed by the author.
LazyOwl said...

අක්කංඩියේ නුඹ කොතෑනද, අද දවසේ
පොලොන්නරු ගිහිං, පාලුව රජයයි නිවසේ
එක පත අනා එකටම කෑ පෙර දවසේ
මං අමතකද, නුඹ රජ වූ මේ දවසේ

ඉරට සෑපක්දෝ නියඟය දලුලෑම
සදට සෑපක්දෝ ගනදුර පීදීම
නුඹට සෑපක්දෝ අප තනිකර යෑම
එපා වෙලා දෑන් තව බ්ලොග් කියවීම

Mark said...

Akkandi, are u ok? :(

අක්කණ්ඩි said...

I am very sorry dear all. I am not well and I hope I will be ok after 2/3 days. Till then please excuse me....Kathawen 3/4 k iwarai. heta amaruwen hari liyannam.

LazyOwl said...

No, no. Do not force yourself to do so. Take your rest, first. Get well soon, then we will see the story.

අක්කණ්ඩි said...

ඉරට දුකයි ඉර ගිරවුන් ඉගිලීම
සඳට දුකයි සඳ සාවුන් පැන යෑම
සිතට දුකයි නුඹලාගෙන් වෙන්වීම
ගතට සවිය ගෙන ආවෙමි මම බෝම

ලෙඩ දුක් පිරිපතට බැහැ කියනු බැරි වුණා
අක්කන්ඩිටද ඒ ධර්මයම පොදු වුණා
මල්ලිල, නංගිලා දැක ගන්න පා සිනා
ලෙඩ ඇඳටත් හොරෙන් කතාවක් ලිය වුණා

Post a Comment