Monday, October 12, 2009

අලුත ගෙනා මනමාලිට හාල් පතක් ගරාලා..

Monday, October 12, 2009

පරාක්‍රම සමූද්‍රය දිහා දෑස රඳවගෙන වරු ගණනක් වුණත් නිසොල්මනේ ඉන්න පුළුවන් කියල මට හිතෙනව. තැඹිලි පාට වේගෙන මුකුළු කරන ඉරට; මුවා වෙන්න බැහැ වගෙ..... අවරෝහණය වෙන්නෙ ඉබි ගමනින්. කම්මැලි නොවී ඉක්මණට ගියොත් හොඳයි, අටවක හඳ පළුව වැව් දියට වැටිල දිය කෙලියේ යෙදෙන හැටි ඇබින්දක් හරි බලන්න පුළුවන් වෙයි එත කොට මටයි, නන්දිටයි එකට ළං වෙලා වැව් ඉවුරෙ ඉඳගෙන.
ප්‍රේමවතීගෙ විඩාපත් ගත ගෙදර නැවතුණා, වැව් ඉවුර ඉස්මත්තෙ සැරිසරන්න කම්මැලි වෙලා වගෙ. කෝඩුවෙන් ගල් විහාරෙ වඳින්න යන්න උතුරා හැලෙන භක්තිය හිතේ පුරෝගෙන ආවත් ගමන් තෙහෙට්ටුව, පින් පිරිච්ච හිත ගෙදර නතර කර ගෙන. එහෙමත් නැතුව අලුත් ජෝඩුවට විතරක් අලුත් ආදර ලෝකයෙ හුරතල් වෙන්න ඉඩ කඩ අවසර දෙන්න හිතුණද දන්නෙත් නැහැ, ප්‍රේමවතීගෙ ශ්‍රද්ධාවන්ත හිතට. හැබෑ ශ්‍රද්ධාව පිරිච්ච හිත් ඇතුලෙ කුහක, කුඩු කේඩු, කුරිරුකම් කියන කුණු රොඩු වලට ඉඩක් නැහැ. ඔක්කොම 'කු' යන්නෙන් පටන් ගන්න වචන, කුණු වගේම. ඒවා ඔක්කොම සිත් මිදුලෙන් ඇමදලා ඇමදලා ඈතට ඈතට වීසි කරලා.
නන්දිගෙ නිල නිවාසයෙ ඉඳල වැව් බැම්මට එන දුර මගෙ පියවර වලට දුරක් වුණේ නැහැ. චිත්‍රපටියක නං අත් වැල් අල්ලගෙන, ගහක් වටේ නටල, මලක් සිප ගන්න සමීප රූපයක් දමල පෙම් ගීයක් ගයන දර්ශනයක් වෙන්න තිබුණා, වැව අද්දරට එන ගමන. 
තැඹිලි පාට, දම් පාට සේරම සුදු පාට වළාකුළුත් එක්ක මිශ්‍ර කරලා බටහිර අහසෙ ලස්සණ චිත්‍රයක් නිර්මාණය කරන්න කවුදෝ උත්සාහ කරන්නෙ අපට උචිත රොමැන්තික පරිසරයක් මවා දෙන්නද? ආකාසෙ හෙවනැල්ල වැව් දිය මතට වැටිලා දේදුනු වර්ණ චිත්‍රයෙ ප්‍රතිබිම්බයක් වැව් දියේ සසල වෙනවා. දකුණු පැත්තෙ කොණේ තානායමේ සෙවනැල්ලත් අර චිත්‍රයේම කොටසක් වෙලා. අහසෙ ඇඳුණු චිත්‍රයේ ඒ කොටස ඒ කියන්නෙ තානායම දකින්න නැහැ. 
වැවට වැටුණු චිත්‍රයට ආලෝකයක් ගෙනෙන ඒ වගෙම දෑස පුරා අඳුන් තවරන කොළ පාට ආකාසෙත් තිබුණ නම් මොන තරම් චමත්කාර ජනක වේවිද? කොළ පාට සායම් පණිට්ටුවක් අර ගෙන අහස පුරා විසිරුවන්න හිතෙනව, මට. චිත්‍රය අඳින කෙනා එතකොට ඒ කොළ පාටත් අර ගෙන සමබරව වර්ණ සංයෝජනය කරල, චිත්‍රය විස්කම් නිමැවුමක් කරාවි එත කොට.
දිය රැළි වල චලනය වෙන්නෙ, කිරළා වන්නම් තාලයට රඟ දෙනවා වගේ. මගෙ හිතත් දිය රැළි ඕවිල්ලක නැගිල පැද්දෙනවා නොදරුවෙක් වගේ. පුළුන් රොදක සැහැල්ලුවක් .....! මම පුළුන් රොද අත්ලට අරගෙන ඇඟිලි තුඩු වලින් අහසට අල්ලලා දෙතොල් උල් කරල 'පුහ්' ගාල පිම්බෙ, මට කොයි තරමක් උඩට සැහැල්ලුවෙන් ඉගිල්ලෙන්න පුළුවන්ද බලන්න.  
"භාවනා කරනවද"
නන්දි මගෙ ලඟ ඉන්න එකත් අමතක වෙලා මට. හිසෙන් නළලට වැටිලා, නළලෙන් වැටෙන්න තැනක් නැතුව එහෙ මෙහෙ දඟ කරන කියඹු රැළි, නන්දිගෙ ඇඟිලි තුඩුවල පහසට වශී වෙලා, ටිකක් ලැජ්ජාවෙන් වගේ ඇඹරෙනවා.... අනේ ද කියන්නෙ...මට වත් නැති ලැජ්ජාවක් ඒගොල්ලන්ට.
"පරිසරයෙ සුන්දරත්වයෙන් මත් වෙලාද"
"ඔව්..ටිකක් විතර මත් වෙලා, මුහුද දිහා බලා ඉන්නයි, වැව් දිහා බලා ඉන්නයි මම හරිම ආසයි"
මගෙ වචන පින්න රැඳුණු සුළඟත් එක්ක පැරකුම් සමුදුරු දිය රැළි වලට එකතු වෙනව.  
"ඇයි, මගෙ දිහාවෙ බලා ඉන්න ආස නැද්ද?"
"මොකද නැත්තෙ? මම ඔයාගෙ දිහාව බලා ඉන්නවා රෑට ඔයාට නින්ද ගියාම. ඔයාට පෙනෙන්නෙ නැහැ නෙ, එතකොට" 
මම කියන්න හදන වචන රෑන ආදරණීය ස්වරයත් එක්කම තොල් අග්ගිස්සෙ හිනාවක් වෙලා නතර වෙන්නෙ ඇයි කියල මට නම් හිතා ගන්න බැහැ. 
"මට ඔයාට කියන්න ගොඩක් දේවල් හියෙනවා.කොතනින් පටන් ගන්නද කියල මට හිතා ගන්න බැහැ."
නන්දි මගෙ ඇඟිලි තුඩුවල මුදු මොළොක් බව විඳ ගන්න හදනවා එයාගෙ දෑතට මැදිකර ගෙන. මගෙ හිත ඇතුළෙන් කවුදෝ එබිකම් කරල මාව අවුල් කරන්න හදන්නෙ ඇයි මේ සුන්දර හෝරාවෙ?
'මොනවද එයාට කියන්න තියෙන ගොඩක් දේවල්..පරණ පෙම්වතියන් ගැනද? ඔයාට මොකටද ඒවා?' 
එක එක දූවිලි, කොළ රොඩු ඇවිත් හිත් මලුව කෙළසනවට මම කැමති නැහැ. බෝ කොළයක් දෙකක් වැටුණටකමක්නැති වුණත් වත්තක කොළ ඔක්කොම හැලුනොත් අමදින්න දුෂ්කර වෙයි, සිත් මළුව. අතීතය කියන්නෙ අතීතයට. ඒවා නොදැන ගෙන ඉන්න තරමට හොඳයි. නැත්නම් අනවශ්‍ය සැකය පෘතග්ජන හිතේ මොන මොන තොවිල් නටාවිද දන්නෙ නැහැ. මගෙනුත් ඇහුවොත් මටත් කියන්න වෙයිද, ඉන්ද්‍රයියා ගැනයි...තරිඳු ගැනයි එතකොට? අනවශ්‍ය ප්‍රශ්න ඇතිවෙන එක විතරයි, කියන්න තරම් මහ සුවිශේෂ දේවල් වුණෙත් නැතිකොට මොනව කියන්නද?
කියන්න ඕනි කිව්වට නන්දි විශේෂ කිසිම දෙයක් කීවෙ නැහැ. මාරුවීම හදාගෙන පුලතිසි පුරවරට මාව ගෙන්න ගන්නෙ කොහොමද කියල සැලසුම් කළා මිස. 
ඉර ගල වැවට වැටිල හැංගිලාම ගියා, අපෙනුත් සමු අරගෙන. සඳ කොමළි මද හිනා වපුර වපුරා ගොම්මන් අහසටත් වැව් දියටත් රිදී වියමන් එළනව, කිසිම ලෝභ කමක් නැතුව. වැව් කණ්ඩියෙ එහා මෙහා යන අය අපි ගැන හොයන්නෙ බලන්නෙ නැතුවම තම තමන්ගෙ අරමුණු කරා එළැඹෙන්නෙ, ඕප දූප හොයන්න වෙලාවක් නැති නිසා වෙන්න ඇති.
"හෙට මම, ටිකක් කලින් එන්නම්. අපි ගල් විහාරෙ බලන්න යමු, ප්‍රේමවතිත් ආවෙ ඒකටම නෙ. ප්‍රේමවතී දැනට මත් ඔයාට ආදරෙ වෙලා නේද?"
එයාගෙන් මට ප්‍රශ්නයක් අහන්න ඕනි වුණත් ඇහුවෙ නැහැ, හිතටයි කටටයි දෙකටම කම්මැලි හිතිලා. කියන දෙයක් එයාටම කියන්න ඉඩ හරින්න හිතුණා.
නන්දියි, මමයි ටිකෙන් ටික සමීප වෙන ගතියක් මට දැණුනා. නුගලියද්ද වලව්වෙ උෂ්ණෙ වැව් පවනැල්ලට සීතල වෙලා යනවද කොහෙද? 
"ඔයා කැම්පස් ගියෙ නැත්තෙ ඇයි?"
මට නොකියම මලිති ප්‍රශ්න අහන්න පටන් අර ගෙන.
" බයෝ සයන්ස් කරල දොස්තරෙක් වෙන්න තමයි, මමත් හිටියෙ. ඒත් බැංකුව හොඳයි කියල මට හිතුණා. දොස්තරලා, ඉන්ජිනේරුවො වුණත් ලෝන්ස් ගන්න අපි ළඟට එන්න ඕනි නෙ." "ඔයා හිතන්නෙ අමුතු විදිහකට නෙ"
දැන් නම් හුඟක් වචන උගුරෙ, තොල්වල හිර වෙන්න නොදී කටින් එලියට විසි කරන්න මට පුළුවන්. අපි අතර තිබුණු දුර දැන් කෙටි වීගෙන යනව, දවසින් දවස.
නන්දි, නන්දි කියල කතාවෙ ලිව්වට මම එයාට තවම නන්දි කියල කතා කරල නැහැ. මට එහෙම කතා කරන්න බැහැ වගෙ මට හිතෙන්නෙ, එයා මට වඩා අවුරුදු දහයක් විතර වැඩිමහලු නිසා වෙන්න ඇති. ප්‍රේමවතී නම් කියන්නෙ නන්දි අප්පො කියල. නන්දි අයියා කියල කියන්නත් හිතෙනව මට.
"මලිති, හෙට රෑට පාටි එකකුත් තියෙනව පබ්ලික් සර්විස් ක්ලබ් එකේ...හතට විතර ගියාම 
ඇති. අපි දෙන්නටයි, පාටිය."
මම එච්චර පාටි වලට ආසා නැතිවුණත් මේ ඉල්ලීම නම් බැහැර කර ලිය යුතු නැහැ. කොහොමත් දැන් මම මිසිස් නුගලියද්ද හැටියට ජිවත් වෙන්න පටන් ගන්න වෙනවා.
" පාටි එක හෙට නම් අපි අනිද්දට ගල් විහාරෙ යමු නේද? එහෙ ගිහින් ඇවිත් නැත්නම් මහන්සි පිට ආයෙත් යන්නෙ කොහොමද රෑට?" 
බිය සැක නැතුව යෝජනා ඉදිරිපත් කරන්නත් සිත සවිමත් වෙලා. දැන් කතා කරන්නෙ විවාහක පතිනියක්, මලිති කියන දැරිවි නෙවෙයි. මිසිස් නුගලියද්ද කියන වැඩිහිටි කාන්තාව. 
" ඒකත් ඇත්ත තමයි.....ඔයාටත් යමක් කමක් තෙරෙනව නේ..පුංචි වුණාට."
මම කොහොමද පුංචි වෙන්නෙ? අවුරුදු විසි දෙකක් කියන්නෙ වැඩිහිටි බවට පත් වෙන වයසක්. මෙන්න වැඩක්. පුංචි ලමයෙක් නං මම කසාද බඳිනවද?
"මම ආසයි වැවේ නාන්න...දවසක නාන්න යමුද?"
" බ්‍රහස්පතින්දා නිවාඩුවක් එනවා, අපි එදාට දුඹුටුලුගල යමු. එහෙ සී.ඕ. මගෙ යාලුවෙක්. එයා පරාක්‍රම සමූද්‍රය කොළනියෙ වැඩ කරන්නෙ. හෙට පාටියෙදි අපි කතා කර ගනිමුකො." සාදයට යන්න මම ඔසරියක් අඳින්නම ඕනිනෙ?
'අලුත ගෙනා මනමාලිට හාල්පතක් ගරාලා...උස් කොල්ලෝ පේලියයි..මිටි කොල්ලෝ පේලියයි..උස් දර මිටි පේලියයි..මිටි දර මිටි පේලියයි....' 
පුංචි කාලෙ අපි අතුරු මිතුරු දඹදිව තුරු රාජ කපුරු සෙට්ටියා කියන කොට මමත් කවදා හරි අලුත ගෙනා මනමාලියකගෙ ගෙ චරිතයට පිවිසෙයි කියල නිකමට වත් හිතුණෙ නැහැ. ඒ වගෙම උස් මිටි කියල වෙනස් කොට දක්වල තියෙන්නෙ පංති විසමතාවන්ද කියල ඉස්සර නොහිතුණත් දැන් නම් හිතෙන්නෙ, ඒ කාලෙ සමාජ සංස්ථාවෙ තිබුණු ඇති නැති කම්, දුප්පත් පොහොසත් කම්, කුල පරම්පරාවල වෙනස් කම් ඒවයින් අරමුණු කළාද කියලා. අපි එදා සිතූ පැතූ ආකාරයත් අද හිතන පතන ආකාරයෙත් යම් යම් වෙනස් කම් තියෙනව. ඒ වගෙම ජිවිතෙත් අපි හිතන පතන දේවල් ඒ ආකාරයෙන්ම ඉටු වෙනව නම් අපි ඉන්නෙ මනුස්ස ලෝකෙක නෙවෙයි, දිව්‍ය ලෝකෙක. 
ඒ වගෙම කුල පරම්පරා ගැටුමක් නැත්නම් ප්‍රේමවතීලගෙ ජීවිත මෙදාටත් මුළුතැන් ගෙයි පිඟන් රාක්කෙ යටම තට්ටුවෙ අඩුක් කරන්නෙ නැහැ නෙ, නුගලියද්ද වළව්වෙ කුලවත් උදවිය. "පරම්පරා ගාණෙ ඉතින් උඹලා කඹුරපල්ලා" කියල අපේ අත්තම්ම ඉස්සර කියපු කතා වල සැඟවෙලා තිබුණු ඇත්ත, මට ටිකෙන් ටික දැන් තේරුම් යනවා.
ප්‍රේමවතීලාට නොදැනෙන, දැනුණත් බඩ ගෝස්තරේ රැක ගත යුතු නිසා නොදැනුණා වගෙ ඉන්න මේ අඩුක්කු, ඇසුරුම් වල සුල මුල අපේ පරම්පරාවලින් ඔබ්බට නොයනවා නම් හොඳයි කියලා මට හිතෙනවා.
"මලිති, පරාක්‍රම සමූද්‍රයේ නාන හැටි ගැන සිහින මවනවද?"
"නැහැ, මට ප්‍රේමවතී ගැන මතක්වුණා"
"නින්ද ගිහින් ඇති...මහන්සියට."
ඒත් අපි ගෙදරට එන කොට ප්‍රේමවතී රෑ කෑමත් හදල ඉවර වෙලා ගේට්ටුව ලඟ බලා ගෙන ඉන්නවා. ලූල් මාළු මිරිසට හදල නන්දි කන්න ආස නිසා. ඒ වෙනකල් මම නම් ලූල් මාළු කාල තිබුණෙත් නැහැ.
"ප්‍රේමවතී....අනිද්දට මහත්තයට නිවාඩුලු. අපිට එදාට ගල්විහාරෙ වඳින්න යන්න පුළුවන්, තව ඉස්සර තිබුණු රජ මාළිගාවල්, චෛත්‍යය, කෝවිල්, කුට්ටම් පොකුණ වගෙ ඒවත් බලන්න යන්න පුළුවන් වෙයි."
" කෝවිල් තිබුණද ඉස්සරත්, සුදු මැණිකෙ?"
" ඉස්සර අපේ රජ්ජුරුවන්ට බිසෝ වරුන් ගෙනාවෙ ඉන්දුයාවෙන්ලු නෙ...ඉතින් බිසවට එයාගෙ හින්දු ආගම අදහගන්න නිදහස දීල තියෙනව, අපේ ධර්මිෂ්ඨ රජ වරු. ඒ නිසා තමයි, බෞද්ධ වෙහෙර විහාර ළඟින්ම හින්දු කෝවිලකුත් හදල තියෙන්නෙ"
" ඒ කියන්නෙ රජ කාලෙ හදපුවා තවමත් තියෙනවා?" 
ප්‍රේමවතී විස්මයට පත් වෙලා, රැලි වැටිච්ච නළලට ඇස් දෙක ගෙනියනවා. සයිමන් මිදුලෙ කර්තකොලොම්බු අඹ ගස් යට බංකුවෙ ඇන තියා ගෙන මොනවදෝ කියන්න කට හදනවා.  
"ප්‍රේමවතී අක්කා එන්ඩකො, මෙහෙ නවතින්ඩ...උදේ හවා යන්ඩ බැරියෑ ඔව්වා බලන්ඩ." 
ප්‍රේමවතීට නෑදෑයෙක් මුණ ගැහිච්ච එකත් හොඳයි කියල මට හිතුණා. ඉස්සර ආත්මවල අක්කා මලෝ වෙලා ඉන්නත් ඇති සමහර විට.
අඹ ගස් අතරෙන් පෙරෙන සඳ වතුර රන්, රිදී සලු පාලියක් නටනවා, වැව පැත්තෙන් එන සීතල සුළඟත් එක්ක එකතු වෙලා. 
"මලිති..., එන්න, මට බඩගිනියි." 
මගෙ දෙපා මටත් නොදැනි දුවනවා, අර හඬ ආපු දිහාවට. සුවච, කීකරුබිරිඳක් වෙලා නේද මලිති කුමරිහාමි? සම්ප්‍රදායිකා මගෙ අතක් අල්ලගෙන මාව ඉක්මන් කරවනවා. දඩබ්බරී අඹ ගහක බෙදිලා ගිය ගස් දෙබලක වාඩි වෙලා ඔච්චම් කරමින් ඇහැක් වහල ඉඟි කරනවා..... ආපහු හැරුණු හිස ගේ පැත්තට හැරෙව්වෙ ආයෙමත් සම්ප්‍රදායිකා.
"යමු, යමු...අදවත් බත් කටක් කවා ගන්න පුළුවන් වෙයි, සුදු මැණිකෙට"
හිනා මල් බිමට වැටෙන්න නොදී මම විදුලි පහන දිහාව බැලුවා.

15 ක් අදහස් දක්වලා.:

අක්කණ්ඩි said...

ඉරට දුකයි ඉර ගිරවුන් ඉගිලීම
සඳට දුකයි සඳ සාවුන් පැන යෑම
සිතට දුකයි නුඹලාගෙන් වෙන්වීම
ගතට සවිය ගෙන ආවෙමි මම බෝම

ලෙඩ දුක් පිරිපතට බැහැ කියනු බැරි වුණා
අක්කන්ඩිටද ඒ ධර්මයම පොදු වුණා
මල්ලිල, නංගිලා දැක ගන්න පා සිනා
ලෙඩ ඇඳටත් හොරෙන් කතාවක් ලිය වුණා

දුකා said...

අනේ අක්කන්ඩි සමාවෙන්න දුක සැප අහල කෝල් එකක් වත් දෙන්න බැරි උනාට . . . ඒත් බැලුවා ඇයි මේ කතාවේ ඉතුරු ටික තාම ප්‍රමාද කියලත් . . . සතුටුයි ඉක්මනට සනීප වෙලා ආ එක ගැන . . ..

රන්දීර වීරකෝන් said...

කෝ අක්කන්ඩි එක්ක කතා ක‍රන්න මටත් ආසයි කියන්නකෝ විදිහක්....

LazyOwl said...

I have being thinking; why I like your stories so much.Is it, because of your easy writing style? or the way you describe the beauty of the nature? Or could it be "මිරිසට හදපු ලූල් මාළ". I don't know; for the life of me, I couldn't figure out why?

Welcome back, Akkandi.

අක්කණ්ඩි said...

Still I am not well, guys. But I did not want to disappoint you all. Today also @ home. If my severe headache subsides I will try to write another a story. It depends.

@ Randeeera....if I give my phone # may be it will cost a lot for you all to talk as I am out of Sri Lanka. May be you can text, 0093778235407
@ LazyOwl- What ever the reason, if you feel like reading this stuff, that's what I appreciate. All your comments encourage me.Thnx.
@ Duka- malli...samawa illanna oni naha. api ithn ekama pawulu kattiya ne. matath dukai,oyath ekka punchi chat paarakata wath set wenna bari wunu ekata.

How ever, all your comments will help me for a speedy recovery. Thanks and love to all.

nidhahasa said...

ලිපියෙ උපමා උපමේය හරිම අපූරුයි. ගොඩ කාලෙකට පස්සෙ කියවන අපූරුතම සාහිතය රසයක් තියෙන ලිපි මාලාවක්. මටහිතෙනවා එක දෙයක්. ඒ තමයි ඔයාගේ නිර්මාණ මීට වඩා තැනකට යා යුතුයි කියන එක. මොකද මේ නිර්මාණශීලීත්වය බ්ලොග් අවකාශය ඇතුලෙ විතරක් හිරවෙලා තියෙන එක හරිම අසාධාරණයි.

එවැනි කටයුත්තක් සඳහා ආසාව ඇති වේවා කියල ප්‍රාර්ථනා කරනවා.

sereneworld said...

ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා අක්කණ්ඩිට.. මේ කොටසට ගොඩක් ස්තූතියි. ලියන ලියන අකුරක් ගානෙ ස්තූතියි, වෙලාවක් නැති නිසා නොලීව්වට මගේ හිතේ ඉන්න කතන්දරකාරිත් සැරෙන් සැරේට ඇහැරෙනවා මේවා කියවද්දි - (නන්දු)

LishWish said...

අනේ සමාවෙන්න අක්කන්ඩී මේ තරම් නොසැළකිලිමත් වෙනවට මම. සමාවෙන්න දහස් වරක්.. සැප දුක නොසෙව්වා ට. මම හදිසියේ දැක්කේ මේ ඔබ අසනීප වග. දැන් කොහොමද? සුවෙන් ඉන්නවද?
මගේ වරදට සමාව දෙන්න කියන අතරම, ඔබට ආයු, නිරෝග, සැප, බල, ප්‍රඥා වැඩේවායි පතන්නේ හදවතින්..
සුවෙන් ඉන්න. බුදු සරණයි..!

කතන්දර කාරයා said...

Lamaine,

Akkandi poth pala kala kenek.

KK

Dam said...

මාර ලස්සනයි කතාව නම් .මරේ මරු.
ඔයගේ අත්දෑකීමක් ද මෙ කෙටි කතාව.

මම ඉස්සර වෑඩිය කියවන්න ආසා කෙනෙක් නෙමේ.එ උනත් බ්ලොග් ටික නම් වරද්දන් නෑතුව කියවනවා.

ජය ශ්‍රි

Mark said...

Thanx akkandi kathawa liwata, eth oya ikmanata saneepa wenna, oyata ikman suwaya pathanawa. budu saranayi

අක්කණ්ඩි said...

ඉක්මන් සුව පැතු හැමට නොමඳ පින්
වයිරස් උනකුත් ඇවිදින් ප්‍රේමෙන්
ගහෙන් වැටුණු මට ගොනෙකුත් ඇන්නයි
නමුදු කතාවක් වෙනවා වියමන්

malee_msg said...

අක්කණ්ඩිය මම මේකේ වැඩිය කමෙන්ට් කරලම නැති තරම.. ඔයා ලියන්න ගනිද්දිම වගේ මගේ නෙට් එකට අපල කාලයක් ආ‍වානේ.. දැන් බලද්දි ඔයා ගොඩක් ලියලා.. මමත් ගොඩක් කියෙව්වා.. තව ටිකක් ඉතිරිත් තියනවා.. කොහොම උනත් අක්කණ්ඩි ලියන විදියට මම හරිම කැමතියි.. මොකද කම්මැලි නැහැ නේ පොඩ්ඩක්වත්... සුභපැතුම්

මනෝ( TMG) said...

හ්ම්ම් ..මට කතා බඩගින්නෙ මාසයක් දෙකක් හාමතේ ඉන්නවෙයි . කොහොම ඉවසන්නද මන්දා . උදේට නිදිමතේ ඇස් පිහ පිහ අක්කණ්ඩිගෙ උණු උණුවෙන් අප්ලෝඩ් කල කතාවක් කියවල ලයිව් කමෙන්ට් එකක් දෙන්න විදියක් නැතිවෙයි කාලෙකට.

ඒ රාජකාරිය වෙන අය බාරගත්තොත් හොඳා:)))

මිගාර said...

අසනීපයි කියල දැක්කෙ දැන්නෙ!

ඉක්මනට සනීබ වෙන්න. (අසනීප වලදී මට එහෙම පතලා පුරුදු නැහැ, මොකද මම ඉන්නේ වෙනස් කෙළවරක නිසා)

කතාව දිගටම ලියන්න.

Post a Comment