Sunday, February 7, 2010

හර්ද සාක්ෂිය

Sunday, February 7, 2010
                    සෝමාවතිය වැඳ පුදා ගෙන ගෙදර පැමිණීමෙන් පස්සෙ අපි තව ටිකක් ළං වුණාද ඈත් වුණාද කියල කියන්න මට නිච්චියක් නැහැ. ව්‍යාකූල බව තවත් ටිකක් වැඩි වූ බව නම් බොරුවක් නෙවෙයි.



                     ආපහු ගෙදර යන්න කරුණු කාරණා යෙදුණු නිසාවෙන් හිත ඇතුලෙ පැටලෙන නූල් බෝලය පැටලෙන්නම ඇරලා හිතේ එකතු වෙන අමුතු අදහස් අමතක කරන්න උත්සාහ කළා. ජීවිතය, වරෙක පැටලෙන වරෙක දිග හැරී වීසි කළ දිහාවකට ඇදී යන නූල් පන්දුවක් වගෙ කියල මගෙ හිත නිර්වචන දෙන්න උත්සාහ කරනව. ජීවිතයට කී දෙනෙක් කී ආකාරයට නිර්වචන දීලා ඇත්ද? ජීවිතය කෙළවර වන තෙක්ම විවිධ ආකාර නිර්වචන දෙන්න විවිධ චින්තකයින්, දාර්ශනිකයින් වගෙම මොකුත්ම නොදන්නා අපිත් දඟලන දැඟලිල්ලක්?


                  එහෙම වත් කරල කඩා වැටෙන සිත් නගා සිටුවන්න උත්සාහ කරන එකත් නිරර්ථක වෑයමක් වෙන එකක් නැහැ. සිත් වලට බිමටම වැටෙන්න දෙන්න හොඳ නැහැ, කොයිම වෙලාවක වත්. පෘතග්ජන සිත් අර බුදු දහමෙ කියනව වගෙ 'දූරං ගමං ඒක චරං' නෙ. එහෙම වෙලා නවතිනවා නං වරදක් නැහැ. ඊටත් වඩා දරුණු තීන්දු ගන්න අවස්ථා වලුත් තියෙනව නෙ.


                      පොලොන්නරුවෙන් ගත්තු මී කිරි, දඩමස් ආදී වූ මෙකී නොකී සියල්ල පොදි බැඳ ගෙන සෙනසුරාදා පාන්දරින්ම අපි පිටත් වුණා, නන්දිලාගෙ මහ ගෙවල් බලා. අම්මලා මග බලා ගෙන හිටියා අපිව පිළි ගන්න.


                     ප්‍රේමවතී කාර් එකෙන් බහින කොටම සෝමාවතිය වැඳපු එක ගැන කියාගෙන පින් අනුමෝදන් කරමිනුයි බැස්සෙ. එහෙම කියා ගෙන එයා කුස්සියෙ දොරෙන් ගෙට ඇතුළු වුණෙ ඉස්සරහ දොර ඒ අයට තහංචි නිසාද මන්දා.


"මලිතිත් පොළොන්නරු ගියෙ කෝඩුවෙන්ද?"


නන්දිගෙ අම්ම ඇහුවෙ මොන දෙයක් කියන්නද මන්දා.


"නැහැ,මම වාසිටි එකෙ ඉන්දෙද්දි බැච් ට්‍රිප් එක ගියෙ පොළොන්නරුව, අනුරාධපුරේ"


" ඔව්, ඉතින් ඔය විශ්ව විද්‍යාල ළමයි අධ්‍යාපන චාරිකා යනව නෙ..."


" අම්මෙ,අර පිටිපස්සෙ තියෙන බඩු ටික ගන්න කියන්න කාට හරි. මී කිරි වගයක් එහෙම ඇති.


                 මම උයන ගෙට ගිහින් ගුරුලේත්තුවෙන් සීතල වතුර වීදුරුවක් හළා ගෙන එක හුස්මට බී ගෙන බී ගෙන ගියා. වී කොටන ගෙයි ගමේ බවලත් උදවිය දෙන්නෙක් දෙ මෝලෙ වී කොටනවා.


" සුදු මැණිකෙට පුළුවන්ද දෙමෝලෙ කොටන්න?"


             එක නැන්දා කෙනෙක් අහද්දි අනික් නැන්දා මා දිය යුතු උත්තරේ මෝල් ගස් පහරත් එක්කම වංගෙඩියට අත හැරියා.






        " සුදු මැණිකෙල ගෙවල් වලත් නැතෑ අපි වගෙ උදවිය වී කොටන්න එහෙම. මෝල් ගහක් අල්ලල වත් නැතුව ඇති මෙලහකට."


          මම පිළිතුරු දුන්නෙ හිනාවකින් විතරයි. පහුවදාට ගෙදර යන්නත් සූදානම් වෙන්න තියෙන නිසා මම උයන ගෙයින් කාමරේට ආවෙ,


" හෙට යන්න ඇඳුම් අස් කර ගන්න යනව, නැන්දෙ"


කියල ඔවුන්ගෙන් සමු ගනිමින්.


නන්දිගෙ අම්ම එතකොටත් එතැන. ඇය මගෙ පස්සෙන්ම කාමරේට ආවෙ පුළුටු කර ගත්තු මුහුණින්.


"මලිති, ඔය ගෑණුන්ට නැන්දා කියල නෑකම් කියන්න යන්න එපා. උන්ගෙ නම් කිව්වම ඇති. අනික උන් එක්ක වැඩි කතා බහ, ආස්සරේ අවශ්‍ය නැහැ. ගාණට හිටියම ඇති"


     ඔන්න ඉතින් දැන් දහසක් නීති රීති පනවන අග විනිසුරුවරිය ගෙ අණ සක පවතින අඩවිය තුළ ප්‍රවේසමෙන් හැසිරිය යුතු බව මට සම්ප්‍රදායිකා මතක් කර දෙනව. අද විතරයි නෙ. හෙට අපේ ගෙදර මම කිරිල්ලි වගෙ. නිදහසේ ඉගිලෙන්න හැකි වේවි. තටු බඳින්න කවුරුත් නැහැ. තටු අල්ලං ඉන්නත් කවුරුත්ම නැහැ. අම්මයි, අප්පච්චියි මග බලා ගෙන ඇති, මම එන කල්. ගෙදර හැමෝම මග බලාගෙන ඇති. ලොකු මල්ලිට රන්ඩු වෙන්න කවුරුත් ඇත්තෙත් නැහැ නෙ. රන්ඩු වුණත්, මොනව කළත් තමන්ගෙ ගෙදර තියෙන නිදහස වෙන කොහෙදිවත් ලැබෙන්නෙ නැහැ මයි.


                   දවල් කෑම කන අතරෙදි නන්දිගෙ අම්ම ගෙ ප්‍රශ්නෙ මගෙ මාරුව පොළොන්නරුවට හදා ගන්නවද කියල. මේ දවස් ටිකේම මේ අය අපේ මාරුවීම් මණ්ඩලය කැඳවල සාකච්චා පවත්වන්න ඇති. ඉස්සරින් කිව්වෙ මගෙ මාරුව මෙහෙට හදා ගන්නව කියලා. දැන් පොළොන්නරුවට යවන්න හදනව. දැන් මගෙ ජීවිතයෙ තීන්දු තීරණ සේරම ගන්නෙ නන්දිගෙ අම්මට ඕනෑ කරන විදිහට වෙන්න ඕනි.             

අනේ! මෙහෙමත් ජීවිත?


       මම අහල තිබුණෙ, ගැහැණියක් ළමා වියේදි පියාටත්, විවාහ වුණහම පුරුෂයාටත්, මහළු වෙනකොට පුතාටත් කියන පිරිමි ත්‍රීත්වයට යටත් විය යුතු බවයි. ඒත් දැන් එයට අමතරව නැන්දම්මලාටත් යටත්ව, සිතින්...ගතින් දෙකින්ම වහලියකව ජීවත් විය යුතුයි කියල ඒක වෙනස් කරන්න වෙනවා.


          "අම්මෙ, මම මන්ත්‍රී තුමාට කතා කළා. මෙයාට නං කියන්න බැරි වුණා. ලබන මාසෙ පළවෙනිදා ඉඳලා මලිතිට, පොළොන්නරුවෙ රාජකීය විද්‍යාලෙට මාරුවක් ලැබෙයි"


     අනේ! සාධු!සාධු! මෙහෙට වඩා එහෙ හොඳයි. දඩබ්බරී නළලටම දොහොත් මුදුන් තියලා සාධුකාර දුන්න. හිතට අප්‍රමාණ සැනසීමක්.


"මම හිතුවෙ මෙහෙට මාරුව හදව ගනීවි කියල."


            නැන්දම්මට හිතට අමාරුයි වගෙ. නන්දි හිතන තරම්ම නරකත් නැහැ වගෙ. පරාක්‍රම සමූද්‍රය, ගල් විහාරෙ, දුඹුටුලුගල ... ඒ වගෙම රජ කාලෙ නටබුන්..මගෙ හිතට නව ජීවනයක් දුන්න කියල සම්ප්‍රදායික කියනවා. ඒ හින්දම එයාගෙත් හිස පුරහම ඔන්න සතුටු සිනා මල් යායක්ම පිපිල..සුවඳේ බැරුවා.


              නන්දිගෙ අම්මගෙ නම් මුහුණ පුරහම විහිදිල පැතිරෙන්නෙ අප්‍රසන්න අභිනයන්. නන්දි ඒ දිහාවෙ නොබලම බත් ගුලි හදනව. අක්ක නන්දිට කොල්ලු වෑණ්ජනය බෙදන්නෙ නන්දි ආස කරනම කෑමක් නිසා.






         "හෙට සුදු මැනිකෙල ගෙදර ගෙනියන්න හදාපු වැලි තලප වල අයින් කෑලි තියෙනව අතුරු පසට".


             අක්කා ගබඩා කාමරේ ඉඳන් කියන්නෙ ඒවටත් ටිකක් බඩේ ඉඩ තියා ගන්න කියල වගෙ. නන්දි එතකොටම අත සෝද ගත්තා.


"ඔයත් වැලි තලප කන්න ආසයි නේද?"






                        නන්දි මගේ ආසාවල් ගැනත් ඔය ආකාරයෙන් වත් හිතනව නම් හොඳයි. හැම වෙලාවකම එහෙම වෙන්නෙ නැති එකයි වැරැද්ද? මම මොකට හිතට හදිස්සි තීරණ ගන්න දෙනවද? ඉවසලා ඉන්න පුරුදු වෙන්න ඕනි. විවාහය කියන්නෙ ගනුදෙනුවක් වගෙ නේද? ඒ වගෙම බැංකු ගිණුමක් වගෙත් කියලත් මට වෙලාවකට හිතෙනව.හර, බැර.. 'ගිවින්ග් අන්ඩ් ටකින්ග් ' කියලා ඉංග්‍රීසියෙනුත් කියන්නෙ.


                    හුඟ දෙනෙක් ඔය කිරියි,පැනියි වගෙ ඉන්න පෙන්නන්නෙ ලොකෙ පරකාසෙට විතරයි.මම දන්නකට්ටියක්,ඒ කියන්නෙ කුටුම්බයක් තියෙනව. දෙන්න ජීවත් වෙන්නෙ දෙපොලක. ඒත් දෙන්න සාමකාමී පවුල් ජීවිතයක් ගත කරනව කියල ලෝකෙට පෙන්වනවා. මගුල් ගෙවල්වලට,මළ ගෙවල් වලට කොහෙදි හරි තැනකදි මගදි මුණ ගැහිල එකට යනව. මහත්තය, බිරිඳව ආපහු ඇය ඉන්න ගෙදර අසලින් බස්සලා එයගෙ මහ ගෙදරට යනව. හුඟ දෙනෙක් හිතන්නෙ ඒ දෙන්න හරිම සමගියෙන් ඉන්නව කියලා. මහත්තයා ප්‍රසිද්ධ කලා කාරයෙක්. එයාගෙ නිර්මාණ වලත් තියෙන්නෙ සොඳුරු නිවහනක අසිරිය ගැන. ඒත් ඇත්ත එය නෙවෙයි. මම හිතන්නෙ දෙන්න දෙපොලෙ ඉන්න නිසා වෙන්න ඇති සාමය රැඳිල, ඒ වගෙම රැකිලා තියෙන්නෙ. අර රඟ පෑම නම් හරිම අපූරුයි. මගුල් ගෙදර එක මේසයකට වෙලා කුරුල්ලයි, කිරිල්ලියි වගෙ කිචි, බිචි ගාමින් පෙම් පිළිසඳරේ...


             මට නං ඔය දෙබිඩි පිළිවෙත් අරහං. හර්ද සාක්ෂිය කියල දෙයක් ඒ ගොල්ලන්ට තියෙනවද මන්දා?


          අපිට මතු මත්තෙ මොනව වේවිද කියල අපි නොදන්නව වුණත් මේ දේවල් දැන කිය ගෙන හිටියම ඒකත් ජීවිත සකස් කර ගන්න පිටුවහලක් වේවි කියල වෙලාවකට හිතෙනව.







6 ක් අදහස් දක්වලා.:

nidhahasa said...

කාලෙකට පස්සෙ අක්කණ්ඩි ලියල. හැබැයි වෙනද තරම්ම රසවත් නෑ මට අද නම්. මොකද කලබලේට ලියවුන හින්දා වෙන්න ඇති. වෙනදට හරි අපූරුවට බාසාව පාවිච්චි කරන ගතිය අද නෑ. කොහ වුනත් ආයෙ ලියපු එක ගැන ගොඩක් සතුටුයි.

සියලු කරදර ඉක්මනට ඉවර වේවා!!!!!

Il mondo di una povera pazza said...

මටත් නිදහස කියන දේමයි හිතුනේ. අක්කන්ඩිගේ භාශාව වෙනස් වෙලා. කතාවත් මග හැරිල වගේ. සමහරවිට කාලයක් ගිය නිසාමද මන්දා. ඒත් ආපහු ඔයාගෙ කතා කියවන්න බලන් ඉන්නවා.

isimbuwa said...

අක්කන්ඩි ලියන විදියට මම ආසයි.

Mark said...

monawa wunath akkandi, eka husamata kiyawagena giya, mata nam adu paduwak danune naha, akkandige loketa kaalekin ekathu wunu nisa wenna athi samahara wita.. budu saranayi..,

ආගන්තුකයා said...

මලා මෙයා පොලොන්නරුවට එනවද.. ඊළඟට මොනාවෙයිද..

yalu said...

අැත්තටම අක්ෙක්, ෙම්ක කියවන්න හිතෙන් අමුත විදියක් නිසා. ඒ්ත් ඔයාෙග් කථාවලටත් සමප්‍රදායිකා ෙහාෙරන්ම රිංගල කියල හිෙතන්ෙන් නැද්ද ඔයාට. ඔයාට ඔන කුතහලයක් අැතිකරන්නද අර ෙමගා නාට්‍ය ව ෙග්. ඒ්කනම' අසාධාරණයි. ඔයා ෙවනස්නම', ෙවනස්කමම ඔයාෙග් අනන්‍යතාවය ෙවනවනම' ෙහාදයි කියලයි මම හිතන්ෙන්.

Post a Comment