Monday, February 8, 2010

ගෙයි ගින්න පිට නොදී ......

Monday, February 8, 2010
                   සල් ගහේ මල් අලවල, උඩ ඉඳල පහලටම. කොළපාට පේන්නෙ නැති තරමටම මල්. අපි පුංචි කාලෙ දහම් පාසැල් ගියාම මල් ආසන වල තියෙන සල් මල් අර ගෙන පෙති දිගෑරල, ඇතුලෙ තියෙන පුංචි වෙහෙරට 'සාදු' කියනව.වෙහෙරෙ වැඩ ඉන්නෙ බුදුහාමුදුරුවො...වටේ රේණු මහා සංඝයා වහන්සේලා, මම එහෙම අනික් අයට කියල දෙන්නෙ මගේ හිතේ පිළිසිඳෙන සිතුවිලි.



                සල් ගහ තියෙන්නෙ අපේ ගෙදරට නගින පඩි පෙළේ දකුණු පැත්තෙ. අත පොවන තැනකින් තිබුණු සල් මලක් කඩන්න දඩබ්බරීගෙ දඟකාර සිතුවිල්ල ආන්ඩු මට්ටු කරන්න සම්ප්‍රදායිකාට බැරි වුණා. නන්දිත් කෙවිටි පාරක් එල්ල කළා, ඇස් වලින්. "අපි නම් බය වෙයි...ඕවට. අද මම ඉන්නෙ අපේ ගෙදර.නැද්ද හොඳයි?" මම ඇහුවෙ මගෙන්ම.


                                   අම්මා කිරි වීදුරුවක් අරන් එනව,අලුත් බෑණව පිළිගන්න. ඒකට සමන් පිච්ච මලුත් දමල. අම්මගෙ හිනාව මල්වලටත් වඩා පිවිතුරුයි, පිරිසිදුයි, සුන්දරයි. හිනා මල් තිබුණම හොන්දටම ඇති අම්මෙ. වෙනද්ට මම මේ ගෙදර ලොකු කෙලී වුණත්, අද අළුත් මනමාලි. අප්පට සිරි ගජ! බලන්න මයෙ හිත කොයි තරම් සැහැල්ලු වෙලාද කියල. සරණාගතයෙක් නැවත තමන්ගෙම ගෙයි පොඩ්ඩෙ පදිංචි කරවලා වගෙ සතුටක් වක්කඩ කඩා ගෙන සුදු පෙන පිඩුත් එක්ක දෝරෙ ගලනවා. වක්කඩ අහුරන්න නන්දිමිත්‍ර සුදු අප්පොට බැරි වෙයි අද නම්.


                                       මට වත්ත උඩහට දුවගෙන ගිහින් පේර ගහට නැගල පැහිච්ච ගෙඩි දෙක තුනක් කඩන් එන්න හිතෙනවා. ඒ මොකුත් කරන්නෙ කොහොමද? එහෙම කළොත් මේ ගොල්ලො කියයි මමහරි නොසන්ඩාල කෙල්ලෙක් කියල. කෙල්ලෙක් නෙවෙයි නෙ දැන්. මං දැන් ගැහැණියෙක්. සල් ගහ ගෙදරින් මම ගියෙ කෙල්ලෙක් හැටියට.


'දැරිය ගැහැණියක වී


වීද පරිණීතාවක්?


පිරුණු තැන් නොපෙනේය


රිදුම් කෑ තැන්ම මිස


ඒ නමුත් විශාකාවන්


සදිසි දියණියන්


ගෙයි ගින්න පිට නොදී


තනිව ඉන් දැවිය යුතු'






                                  ඒකයි..ලෝක ධර්මතාවය. සම්ප්‍රදායික පණ්ඩිතකම්කියවන්න පටන් අර ගෙන. ගෙයි ගින්න පිටතට නොදී ඉන්නවය කියන්නෙ,අම්මට වත් මට මේවා කියල හිත සැහැල්ලු කර ගන්න බරිද? මට හිතෙන්නෙ කසාද බඳින කොට අර ඇඟිලි ගැට ගහන රන් කෙන්දෙන් හිතත් එක්ක නිදහසත් ගැට ගහනව කියල. ඒක තමයි එයින් සංකේතවත් කරන්නෙ. අහවල් එකකටද ගැට ගහපු ඇඟිලි වලට රන් කෙණ්ඩියෙන් වතුර හලන්නෙ? සමා වෙන්න, මට වැරදුණා. පැන්....පැන්...පැන් වත් කරන්නෙ!


                                    අපේ කිට්ටුම නෑදෑයොත් ඇවිත් අළුත් ජෝඩුව බලන්න. මල්ලිල, නංගිලත් ඔය ඉන්නෙ, අමුතු සතෙක් දැකල බය වෙලා වගෙ මගෙ දිහාව බලා ගෙන. ඔසරි ඇඳල,කොණ්ඩෙ බැඳල ශාන්ත දාන්ත තීන්ත කූඩුව වගෙ ඉන්න හින්දා වෙන්නැති.තේ මේස,කෑම මේස සේරම ඉවර වෙලා ඇවිත් හිටිය නෑදෑයො සේරමත් ගියහමහිත ඉගිල්ලුණා, සැහැල්ලුවෙන්. කෑමෙන් පස්සෙ පත්තරේ බල බලා හිටි සුදු අප්පො නිදා ගන්න ගියා. මිටින් හළ කිරිල්ලියො දැකල තියෙනව නේද? මලිතිත් කිරිල්ලියෙක් වෙල. මලිති කියන්නෙත් ඉතින් කිරිල්ලියෙකුටම තමයි වුණත් ඒක තේරුම් ගන්නෙ කීයෙන් කී දෙනාද?


                         ගවුම් කොටයකට රිංගුව මම උඩහ වත්තට ගියෙ ඇඹුල් පේර කන්න. මොකෝ දඩබ්බරී හිනා වෙන්නෙ ඇඹුල් පේර කියන කොට? අනේ...එහෙම මොකුත් නැහැ තවම. මම ඉස්සරත් ආසනෙ ඇඹුල් පේර වලට.


                                   ක්ලබ් පාටි, ලොකු ලොකු ගෙවල් වල සවාරි ගැහිලි වලට වඩා මෙහෙම ඉන්න එක කොතරම් අපූරුද? කොතරම් අපූරුද? වත්තට අල්ලපු ගෙදර නැන්දා හිනාමල් වට්ටියක්ම පුරව ගෙන.


                 "සුදු මැණිකෙ, ගම ආවැයි? මහන්සි නැතෙයි"?
                                ඒ නැන්දට අපි කියන්නෙ ගාල්ලෙ නැන්ද කියල. එයාව ගමට ගෙනාවෙ ගාල්ලෙන්. මම එයාගෙ දෙවෙනි මගුල් දවසෙ පිළිගැනීමට ජය මංගල කිව්වා. එයා දිගට දිගේ වේල් එකක් ඔටුන්නකුත් එක්ක පැළඳ ගෙනයි ගමට ආවෙ. ඔටුන්නෙ ඉටි මල් ගහල තිබුණ. එවෙලෙ නම්මට හිතුණෙ වත් නැහැ මමත් මනමාලියෙක් වෙලා වෙන ගමකට කැන්දන් යාවි කියල.


                        ගාල්ලෙ නැන්ද ගෙට ගිහින් මට ඉදීච්ච ලොකු පේර දෝතක්ම ගෙනැත් දුන්න. එතකොටමමල්ලිකැවිලි පිඟානක් ගෙනැත් නැන්දට දුන්න. ගෙනාපු කැවිලි අසල් වසීන්ට බෙදීම් අනම් වූ චාරිත්‍රය....බක් මහේ අවුරුද්ද්ට කැවිලි පිඟන් අර යන්න අපි පොර කනවා. ඉන්ද්‍ර අයියගෙ නැන්දගෙ ගෙදර යන්න අපි හරි කැමතියි. ඒ අපිට පංච ගහන්න සල්ලි දෙන නිසා.


               ඉන්ද්‍රයියා දන් කොහෙ ඇතිද? පේර ගහ යට ගල් පොත්තෙ වාඩි වුණු මට හිතුණ අර ටයිම් මැෂින් එකට නැගල ආයෙමත් පාසැල් අවදියට යන්න ඇත්නම් කියල. නැන්දම්මල නැහැ...නෑනල නැහැ.


               අපිට නිදාගන්න සූදානම් කරල තිබුණෙ මගෙම කාමරේ. මගෙ කාමරේ තනියෙම ඉන්න දන් බැහැ. නින්ද යන කල්ම සින්දු අහනවා...ගණන් හඩන්නෙ,පාඩම් කරන්නෙ සේරම සින්දු අහන ගමන්. සංගීතයක් නෑහෙන කොට හිත් පුරාව්ට පලුවක්, තනියක් පුස් බඬිනවා. දිලීර..ෆන්ගස්...සින්දු අහන කොට ඒව නිකම්ම දිය වෙල යනව...පුදුම හාස්කමක්. අද එහෙම සින්දු අහන්න බැරි වෙයි. දන් ඉතින් අලුත් සින්දුවක් පටන් ගෙන නෙ.


                  නන්දිට බොන්න වතුර වීදුරුවක් අරන් යන මට මතක් වෙන්නෙ හින්දි චිත්‍රපට වල කිරි වීදුරුවක් අරන් යන මනමාලියන්. කිරි වීදුරුවක් පිළිගන්වන්නෙ ශක්තිය වැඩි වෙන්නලු. එතකොට ගැහැණියට ශක්තිය ඇතිවෙන්න, පෝෂණය රැකෙන්න කිරි බොන්න අවශ්‍යය නැද්ද? ඉන්දියාව බ්‍රාහ්මණ සමාජයක්ව පැවතුණු නිසා කොහොමත් ස්ත්‍රීන් අඩු ලංසුවෙන් නෙ මණින්නෙ...ලංකාව ඒ අතින් ටිකක් හරි සාධාරණයි. මගෙ ඔලුවටත් නො එන දෙයක් නැහැ.


                    අප්පච්චිගෙ කාමරෙන් ඇහෙන පිරිත් සද්දෙට කන් දීගෙන ඉන්නකොටම මට ඇහැ පිය වෙන්න ඇති.






      "එපා..එපා..මලිති, මාව දාලා යන්න එපා"






            අඩ නින්දේ හිටිය මට ඇහැරුනේ, නන්දිගෙ ලතෝනියට. කරුවලේම ගිහින් විදුලි පහනෙ යතුර එබුවෙ,රොබො කෙනෙක් වගෙ. නන්දි අඬනව. හූල්ලනවා.කෙඳිරි ගානවා.


"නන්දි,බය වුණාද? නරක හීනයක්වත් දැක්කද?"


          ඔහු මගෙ අතින් අල්ල ගෙන ඒත් ඇස් වහ ගෙනම, බිය පත් මුහුණ පොරෝනයෙන් ආවරණය කර ගන්න උත්සාහ කරනවා. නළල පුරහම දහදිය...මුහුණ පුරහමත් දහදිය...මොකට මෙච්චර බය වෙනවද, පිරිමියෙකුත් වෙලා.






   " නන්දි...ඇස් අරින්න" දහදිය පිහින්න මම නළලට තිබ්බ අත පිච්චෙන්න තරමට නළල ගිනියම් වෙලා.  අම්මලා කියනව වගෙ සහලෝල උණ.






    "ඔයා මාව දාල යන්නෙ නැහැ නේද,කවදාවත්"? නන්දිගෙ බියපත් දෑසට පිරුණ කඳුලු මගෙන් ප්‍රශ්නයක් අහනවා.


   "මම මොකටද ඔයාව දාල යන්නෙ?"


   "මම දැක්ක ඔය මාව දික්කසාද කරන්ව"


   "බැඳල මාසයක් යන්නත් ඉස්සර දික්කසාද ගැන හිතෙන්නෙ ඇයි ඔයාට? ඉන්න මම ඕඩිකොලොං ටිකක් ඉල්ලන් එන්නම් අම්මගෙන්."


       "එපා ඔයා යන්න. අම්මට කතා කරන්න."


        සද්ධන්ත පුරුෂයො මෙහෙමත් වැටෙනවද? අපෝ! තොත්ත බබෙක් නෙ මම බැඳගෙන තියෙන්නෙ.


   "කේන්දර ගැලපෙන්නෙ නැති අය බැඳල හොඳට ඉන්නව නේද?"


          "වෙන්න ඇති..මම නම්ං දන්නෙ නැහැ. ඉතින් අපේ කේන්දර වල එහෙම ප්‍රශ්නෙකුත් නැහැ නෙ, නන්දි? මොකටද ඔයා බය වෙන්නෙ?"


   "ඒ වුණාට මට බයයි, වගෙ."
           මහා පුරුෂයෙක් මෙන්න බිමටම වැටිලා. මෙයාම තමයි මගෙ කේන්දරෙත් අර ගෙන ගියෙ පොරොන්දම් බලන්න. නැකැත් හැදුවෙත් ඒ ගොල්ලො. අපේ ගෙදර අයගෙන් නම් කේන්දර වලට සැලකුම් ලැබුණෙම නැති තරම්. මොකද? අපේ අම්මයි, අප්පච්චිගෙත් ප්‍රේම විවාහයක් නිසා.


"ඔයා මොනවටද බය වෙන්නෙ, ඔයාට උණ වැඩි වෙල උණ විකාරෙන් දොඩවනවද කොහෙද?"


අම්ම සද්දෙ ඇහිලා ආවෙ, ඇස් පොඩිකරමින්.


"සුදු මැණිකෙ?"


"අම්මෙ, මෙයාට හොඳටම උණ. ඕඩිකොලොං ටිකක් දමමුද?"


             හීනෙන් බය වෙච්ච කතාව, කේන්දර කතාව පිටතට දෙන්න හොඳ නැති ගිනි. මම හිත ඇතුලෙම නිවල දැම්මා. මහා පුරුෂයා මගෙ දෑතම දැඩිව ඔහුගෙ දෑතින් අර ගෙන කන්නලව්වකට සැරසෙනවා වගෙ. උණ සැරකමට බය වෙලාද කොහෙද? මටත් උණ වැඩි වුණහම බිත්ති හතරම උඩ ඉඳල පහළට මගෙ ඇඟට කඩාගෙන වැටෙනවා පෙනෙනවා. දැනෙනවා.


              තුනී පාන්කඩයකට ඕඩිකොලොං පොඟවල නන්දිගෙ ගිනියම් නළල සිසිල්කරන්න මම උත්සාහ කළා.ඒත් එයගෙ ගිනියම් වුණු සිතුවිලි සිසිල් කරන්න කොලෝං ගන්ගාවක්ම හරවන්න වේවිද? ප්‍රශ්නය බාර ගත යුත්තේ ඔබලායි.

ගන්නවද පළවෙනි ප්‍රශ්නය?



10 ක් අදහස් දක්වලා.:

සු෴ said...

නන්දි කේන්දරේ හොරට හදල ද ? එහෙනම් කොලොන් ග‍ෙඟෙන් පලක් නෑ.. ආදර පොකුණෙ ගිල්ලනවා මිසක් :D

nidhahasa said...

ඔන්න ටිකක් පරණ රිද්මයට එනවා. නියමයි. මම ඔයාගෙ පරණ රිද්මයට එන්න කින්නෙ එක දෙයක් නිසා. පුද්ගලිකව ඔයාගෙ සටහන් ටික තමයි මට නම් බ්ලොග් අතර තියෙන රසවත්ම සාහිත්‍ය රසයෙන් යුතු සටහන් ටික. ඒ වගේ අපූරු විදිහට බාසාව හසුරුවන කෙනෙකුට ඔයා ළඟට ඉන්නෙ ටැබූ විතරයි.

isimbuwa said...

අක්කන්ඩි ඔයා ලස්සනට ලියනව. හරිම කලාත්මකයි. එත් සමහර තැන් වල වචන එහෙට මෙහෙට වෙලා නිසා රසයට පුන්චි පහේ බාදාවකුත් එකතු වෙනව. තරහ නැතුව ටිකක් ඒ ගැනත් හිතල බලන්න.

ආගන්තුකයා said...

එල....

malee_msg said...

ඉක්මනින්ම තවත් කොටසක් ලියලා.. ‍නියමයි..!

අනේ මේ වර්ඩ් වරිෆිකේෂන් අයින් කරන්න බැරිද අක්කේ?

yalu said...

ඔයාෙග් කථා කලාෙව' තියන ජීවී රිද්මය, නවමු අාර ඔයාෙගම සම'ප්‍රදායිකාට ෙවනස් කරන්න ෙදන්න ඒපා.

- නිල් අහස - said...

නියම වෙනසක් තියෙනවා, ඔයා ලියන රටාවේ. මම ආසයි ඒ වෙනසට. මම ඔයාගෙ අඩවියට වගේම,Blog World එකටම අළුත් කෙනෙක්.මටත් පුලුවන් දැන් " පුලින තලාවට " ඇවිත් විඩා නිවාගෙන යන්න.

Wish said...

හරිම සුන්දරයි...... එක දිගටම කියවගෙන යන්න පුළුවන්... සුභපැතුම්.....

Muthu Paba said...

Eka husmata kiyawagena yanna asa hithenawa, me liyala thiyena rataawata..

මනුසත් said...

ඔබේ අලුත් යමක් නොදකින නෙත බොහෝ කනගාටුවෙන් පසුවන බව කිව යුතුද?

Post a Comment