Tuesday, April 13, 2010

Tuesday, April 13, 2010
ගන්නවද පළවෙනි ප්‍රශ්නෙ කියල අහල ප්‍රශ්නාර්ථයක් තියල ගියා ගියාමයි, එන්න බැරිවුණා....මාස දෙකක් විතරම මේ පැත්තෙ. ඉතින් සමා අවසර! ලබන්නාවූ සිංහල, හින්දු නව වසරත් එක්කම හර්දයංගමව සුභ ප්‍රාර්ථනා කරමින් බුලත් අතකුත් අරන් ආවොත් කවුරුත් මාව පිටමං කරන එකක් නැතිවේවි කියල මට හිතෙනවා.



"සුදු මැණිකේ....සුදු මැණිකෙ.."


ඔන්න නන්දිගෙ හඬ...හතර අතේ දෝංකාර දෙනවා. යක්බෙරයක් වගෙ කියල දඩබ්බරී කියනව, නොරිස්සුමෙන්. නැහැ...ඒ නන්දිගෙ හඬම නෙවේ...හිතේ හොල්මන් කරන හඬක්.


පුලින තලාවෙන් දුර කට වෙලා, පුලින තලාවෙ සැරි සරන සමීපස්ථයන්ගෙන් දූරිභූත වෙලා මලිති හිටියෙ කොහෙද ඇත්තටම?


දැඩි සත්කාර ඒකකයේ වැසුණු දොර පලු දෙකට මැද්දෙන් මලිතිගෙ දෑස රිංගනව, ලෙඩාගෙ සුව තතු පෙන්වන මොනිටරය මතට. රුධිර පීඩනය...40/60 හර්ද ස්පන්දනය 30...සැටුරේෂන්....65...


මලිති ඇවිත් පුටුවකට බර දුන්නා. පුටුවෙ ඇලෙන්නෙ නැහැ මලිතිගෙ හිත, විනාඩි දෙකක් වත්. ආපහු නැගිට නැගිට ගිහින් බලන්නෙ මොනිටරයේ පෙන්වන අංක වැඩි වෙලාද කියලා. මලිතිට අවශ්‍ය දේ වෙනුවට සිද්ධ වෙන්නෙ ඒ අංක අවරෝහණය පැත්තට වැටෙන එකයි. පුතා ඇවිත් ආපහු ගියෙ නන්දිව ගොඩ ගන්න මලිතිට පුළුවන්ය යන විශ්වාසය පුතාගෙ හිතේ තදින්ම සනිටුහන් කර ගෙන. නන්දිට මොකුත් වුනොත් පුතගෙ හිත කඩන් වැටේවි. දුව පැයෙන් පැයට දුර කථන ඇමතුම් දෙන්නෙ මලිති ලඟ ජීව්කයෙකුගෙ බලයක් ඇතියි කියලා.


නන්දිගෙ කොළඹ අවට ඉන්න නංගිල දෙන්න ඇවිත් ඉන්නව, තම තමන්ගෙ සහකාරයොත් එක්ක. කොළපාට කබා දා ගෙන, සුදු සපත්තු දමාගෙන ඔවුන් දැඩි සත්කාර ඒකකයෙ දොර පලු දෙකෙන් ඇතුලට ගියේ විශේෂඥ වෛද්‍යවරුන් වගේ. එලියට ආවෙත් ඒ විදිහටම බැරෑරුම් ඇස් වලින් සහ නළලට ගත්තු රැලි වලින් සෘණ ආවේග දහරා නිකුත් කරමින්. මලිතිට ඒ මුහුණුවල සෘණ සංඥා අසාත්මිකයි වගෙ. ඔවුන්ට ප්‍රතිචාර සංඥා නිකුත් නොකර මලිති, ඥාති වෛද්‍ය පුත්‍රයාට දුර කතන ඇමතුමක් දුන්නා.


"මම එනවා නැන්දෙ"


එහ කොණෙන් ඇහුණා, මලිතිට. දුර කතනය විසන්ධි කළ මලිති දොර පළු දෙක ළඟට ඇදෙන දෙපය වලංගු කරගන්න උත්සාහ කළේ නැහැ.


දොර පළු දෙබෑ වෙලා මහාචාර්ය වරයා ප්‍රාදුර්භූත වුණා. ඔහුගෙ මුහුණෙත් සිඳෙන,බිඳෙන ප්‍රාර්ථනා කොහොඹ කන්කාරියක් නටනවා. මලිතිට ඕනි වුණෙ නැහැ කාගෙ වත් කම්මුල් වල, නළල් තලවල ඇඳෙන, මැකෙන වන්නම්, නාඩගම් හෝ කන්කාරි හෝ බලන්න. සෙත් පිරිත් සජ්ජායනාවක් වගෙ ඇය නන්දිට සුව වේවා! කියල එක හිතින් හිතා ගෙන 'සබ්බේ බුද්ධා බලප්පත්තා..' ගාථාවත්,ගයත්‍රි මන්ත්‍රයත් මාරුවෙන් මාරුවට හිතෙන් තාලයට ගායනා කළා.


විදුලි සෝපානයෙ දොර විවුර්ත වෙද්දි දොස්තර පුතා ඉන් මතු වෙලා මහාචාර්ය වරයට එකතු වුණා. දෙදෙනාම මලිතිට ළං වුණා.


" මිසිස් නුගලියද්ද, අපි කරන්න පුලුවන් හැම දෙයක් ම කළා. දරුවන්ව ඉක්මනට ගෙන්වන්න. අද දවස එලි කර ගන්න වත් පුලුවන් වේවිද දන්නෙ නැහැ. අපට හරියට කණගාටුයි.සමාවෙන්න!" මහාචාර්ය වරයා මෙ ටික මලිතිගෙ කණට කෙඳිරුවෙ ඉංග්‍රීසියෙන්, රහසක් වගෙ. ඒ වුණාට නන්දිගෙ නංගිලාගෙ මහත්තුරුන්ගෙ කණ් ඇන්ටෙනා දමල වගෙ ඒ පැත්තට නැවිල, රහසෙන් ඇහුණු වචන එක එක සම්බන්ධ කරල තේරුමක් හොයන්න උත්සාහ කරනවා.


"නැන්දෙ,මම මල්ලිට කියන්නම් නංගිවත් එක්ක ගෙන අදම එන්න කියල. නැන්දා අනික් වැඩ බලා ගන්න."


" මට තේරුම් ගන්න පුළුවන්. ලයිෆ් ඉස් ලයික් දැට්" මලිති පුරුදු පුහුණු කරපු උපේක්ෂාව අත් හදා බැලුවා.




                 මලිතිට හිතුණෙම නන්දිට මොකුත්ම වෙන්නෙ නැහැ කියලා. හිත සනසගන්න නෙවෙයි...ටක්කෙටම එහෙම හිතෙන නිසයි මලිති ආයෙමත් දැඩි සත්කාර ඒකකයෙ දොරපලු දෙක අතර දාරයට ඇස් හේත්තු කළා. ඔක්කොම ඉලක්කම් බින්දුවට බැහැලා. නන්දිගෙ වටේටම ඉන්න අය එලෝමෙලෝ නැතුව මහන්සි වෙනව පණ ගන්න. කෘතිම ස්වසනය දෙනව. හර්ද සම්භාහන ක්‍රියාවලියක යෙදෙනවා. යන්ත්‍ර සූත්‍ර ගොඩක් සද්ද දමමින් ක්‍රියාත්මක වෙනවා. ආයෙමත් හර්ද ස්ඵන්දනය ටික ටික වැඩිවෙනවා. රුධිර පීඩනයත් වැඩිවෙනවා. අනේ!..ස්වාමී...මට පිහිට වෙන්න, ස්වාමි! මලිති ට ඉබේටම කියවෙනව. ස්වාමී කීවෙ සත්‍ය සායි බාබාට.


නන්දි ඉන්න කාමරයෙන් පිටත බලා හිටිය සේරමගෙ බලාපොරොත්තු සිඳ බිඳ දමල මහාචාර්ය වරයත්, දොස්තර පුතාත් යන්න ගියා. හෙද සහෝදරියක් එලියට ඇවිත් කිව්ව, "දැන් ඉතින් ඔය ගොල්ලොත් ගියාට කමක් නැහැ, හදිස්සියක් වුනොත් අපි කෝල් කරන්නම්" කියලා.


මලිතිට එතැනින් හෙල්ලෙන්න හිතක් නැහැ.


නන්දිගෙ එක නංගියෙකුගෙ මහත්තයෙක් මලිතිට කිට්ටු වෙනවා.


" මලිතිගෙ ගෙදර සාලෙ පෙට්ටිය තියල පුටු කීයක් විතර දමන්න පුලුවන්ද? " මලිතිට ලැබුණු පළවනි ප්‍රශ්නෙ. මලිති නිශ්ශබ්දව ඇස් කර කවල මස්සිනා දිහාවට ඊතලයක් එල්ල කළා. හැඟීම්, දැනීම් විරහිත ඊතලයක්.


ප්‍රශ්න ඉවර නැහැ වගෙ.ගන්නවද දෙවෙනි ප්‍රශ්නය? ගත්තත් නැතත් ප්‍රශ්න ඇසීම සිදු කෙරෙන වග මලිතිට හොඳටම පැහදිලියි.


" අහල පහල හොඳ ගෙවල් තියෙනවද, මළ ගෙදරට එන නෑදෑයින්ට කෑම දෙන්නයි, නවතින්නයි?" මලිතිගෙ පිළිතුර නිශ්ශබ්දතාවයක් විතරයි.


" ආ... ආ ... , එතකොට ටෙන්ට් ගහන්න ඉඩ කඩ තියෙනවද?"


තුන්වෙනි ප්‍රශ්නෙ?


හිත ඇතුලෙ මේ ප්‍රශ්න සියල්ලටම පිළිතුරු පෙළ ගැසුණත් ඉවසීම මගින් උත්තර දීම ප්‍රමාද කරනු ලැබුවා.


" මොකද කතා නොකර ඉන්නෙ? මළ ගෙඩර ගැන කවුද තීන්දු ගන්නෙ? වියදම් සේරම අපි බෙදා ගනිමු. ආ...මට අමතක වුණා. මලිතිලගෙ ගෙවල් ළඟ විදුලි ආදාහනාගාරයක් තියෙනවද? "


මලිතිට ඊට වඩා කට පියාගෙන සිටිය නොහැකි විය.


වක්කඩ කඩා ගෙන ගලන හැඟීම් අවුරා ලන්නට කවුරුත් ඉදිරිපත් වූයේ නැත.


"ඔයාට ඕනි නම් දැන්ම ගිහින් මගෙ ගෙදර දිග පළල බලා ගෙන එන්න දැන්මම ගිහින්. අනික මට අවසාන කටයුතු වලට නෙවේ, මෙයාව සනීප කරගන්න හොස්පිට්ල් බිල් ගෙවන්න පුළුවන් නම් මට සල්ලි දෙන්න. නන්දි මැරෙන්නෙ නැහැ, මම නන්දිව ජීවත් කරවනව. නන්දි ගැන තීන්දු ගන්නෙ මමයි, මගෙ දරුවො දෙන්නයි. ඔය ගොල්ලො මෙච්චර කල් හිටියා වගෙම දුරින් ඉන්නව නම් හොඳයි. මම ඉස්සර හිටි මලිති නෙවෙයි. දැන් ඉන්නෙ ඉස්සරට වඩා ශක්තිමත් ගැහැනියෙක්. මම දරුවො තනියෙම හදා ගෙන ඒ අයගෙ සේරම කටයුතු තනියෙම කළා වගෙ මේ ටිකත් කරන්නම්."


කළින් සිටි ළඳ බොළඳ, හුරතල් මලිති ගෙන් මෙවැනි වාග් ප්‍රහාරයක් කිසි සේත් අපේක්ෂා නොකළ මස්සිනා පසු බැස සටනින් ඉවත් වන ලකුණු පල


කරද්දි අනෙක් මස්සිනා මලිතිගෙ සිත සනසන කොන්ත්‍රාත්තුව බාර ගෙන දෙබස් කියවන්නට විය.


ආවේගකාරී සිතුවිලි සමහන් කර ගන්නට මෙන් මලිති පුතාටත්, දියණියටත් දුර කථන ඇමතුම් දෙන්නට සිතුවේ අවස්ථාවාදී නෑදෑයන්ගෙන් මදකට මිදෙන අරමුණත් පෙරදැරි කරගෙන. සමුදුරු හතකින් එහායින් සිටියත් ඔවුන්ගෙ වදන් ඇසෙන විට ඇයට දැණුනු පාලු, හුදෙකලාව මොහොතකට සිතෙන් ඈතට ඈතට ඉගිලී යනවා දැණිනි.

1 ක් අදහස් දක්වලා.:

BEAUTIFUL SRI LANKA said...

ඈයි නන්දිට මොකද උනේ එකපාරටම. හරිම දුකයි

Post a Comment