Tuesday, March 15, 2011

අදහගන්න අමාරු වෙනස

Tuesday, March 15, 2011
        
      පොත කියවල ඉවරවුණු තැනට පරණ රීලෝඩ් කාර්ඩ් එකක් තිබ්බ, බුක් මාර්ක් එකක් විදිහට. දිගටම කියවගෙන යන්න කියලා මගෙ හිත මට බල කරන නමුත්, මට හිතුණා මගෙ අදහස් ටිකක් මේකට සම්මාදම් කළොත් අවුලක් වෙන එකක් නැහැ කියලා. 
 මොකද ? පොත මුද්‍රණය කරන කාර්ය භාරයත් මටම පැවරිල තිබෙන නිසා. එනිසා සුජී වන මම, නොහොත් මලිතිගෙ කිට්ටුම යෙහෙළියක් වන මටත්  තියෙනවා අයිතියක් ඔබලාට වගෙම; මේ පොත පොත් සාප්පු වල පිළුණු නොවී උණු උණුවෙම අලෙවි වෙන, අලෙවි කරන ක්‍රම වේදයන් ගැන හිතන්න කියල මගෙ හිට මට බල කරනවා. පසු විපරමකට වඩා පෙර විපරමක් වඩාත් කාලෝචිතයි කියල මගේ නොමේරූ සිත මට කියනවා. එනිසයි මම හිතුවෙ මගෙ අදහස් ඔබලා සමග බෙදා හදා ගෙන මලිතිගෙ නිර්මාණය වඩාත් අර්තවත් නිර්මාණයක් කරන්න. ඔබලාත් මේ සද් කටයුත්තට දායක කාරක වෙනවා නම් මම කැමතියි. මලිතිත් කැමති වෙයි.
        මලිතිගෙ පොතේ නමට නම් මගෙ එච්චර ප්‍රිය තාවයක් නැහැ. ඔබ මොනවද හිතන්නෙ? මලිතිගෙ කතාවෙ අතර මැද්දට පැන්නට කමක් නැහැ, මයෙ හිතේ. ඔබත්, මමත් අපි සේරම මලිතිගෙ පාඨකයො නිසා අඩු පාඩු පිළිබඳව මෙහෙම පොඩි පහේ සංවාදයක් ඇති වීම හොඳයි.
    පොතට නමක් හිතලා කමෙන්ට්ස් වලට දමන්න පුළුවන් නම් අගෙයි. පැවිදි වුණාට කමක් නැහැ, තව තව ලියන්න කියල මම මලිතිට කිව්වට එයා ඒක පිළි ගන්නෙ පවක් හැටියට. අතීතයේ භික්ෂූන් වහන්සේල මොන තරම් සාහිත්‍ය නිර්මාණ කළාද?
  "'කව් සිළුමි
', 'කාව්‍ය ශේකරය' වගෙ නිර්මාණ කළෙත් පැවිදි ස්වාමීන්වහන්සේලා නේ?"
  මම එහෙම කියන කොට මලිති හෙවත් අපේ තෙරණිය කිව්වෙ වෙනත් කතාවක්.
" මම තවම මේ ජීවිතයට අළුත් කෙනෙක්, සුජී. ටිකක් පහු වුණහම ගිහි වගෙම පැවිදි ජීවිතයෙත් අත් දැකීම් එකට ගොනු කරල ලියන්න පුළුවන් වේවි සමහර විට. මට ධර්මය ඉගෙන ගන්න ඕනි, සුජී. පස්සෙ ඒ ඉගෙන ගත්තු ධරම කරුණුත් අළලලා හරවත් නිර්මාණ කරන්න බැරියැ"

   "ඔයා මහණ වුණේ හිත කල කිරිලද? එහෙම නැති නම් ජීවිතය එපා වෙලාද? මට අදහගන්න බැරි වුණා, කැළණි පංසලේදි ඔයාව දැක්කම?"

   "ඔය ප්‍රශ්නෙම තමයි, සුජී හැමෝටම තියෙන්නෙ. කලකිරීමක් නැහැ, ජීවිතය ගැන මට. බුදු දහමට අනුව සසරින් මිදෙන්න නම් තවත් ගිහි ගෙයි ඉඳල වැඩක් නැහැ කියල මට හිතුණා. මට දාල යන්න බැරි කිසිවක් නැහැ, දැන්. හැම දෙයක්ම තාවකාලිකයි. ආපෝ, තේජෝ, වායො, පඨවී වලින් හැදිල තියෙන මේ හැම දෙයක්ම නිසරු, අනිත්‍යය දේවල්. ජරාවට පත් වෙනවා. ලෙඩ වෙනවා. වැහැරෙනව. ඒ සත්‍යය තේරුම් ගන්න බැහැ හුඟ දෙනෙකුට."

"සත්‍ය තේරුම් ගන්න හැම දෙනෙක්ම මහණ වෙන්න ඕනිද? සියලු දෙනාම එහෙම හිතුවොත් ලෝකය දියුණු වෙන එකක් නැහැ. ඉස්සරහට යන එකක් නැහැ."

  "භෞතිකව දියුණු වීමම විතරක් ලෝක විනාශයටත් හේතු වෙයි කියල මට හිතෙනවා, සුජී. බලන්න, ඊයෙ පෙරෙදා ජපානයට සිදුවෙච්ච දැවැන්ත භූමි කම්පාව සහ සුනාමිය. හැම අතින්ම දියුණු රටක් නේද, ඒ? වළක්වන්න පුළුවන් වුණාද මහා විද්‍යඥයන්ට ඒ විනාශය. අවම කරන්න පුළුවන් වුණත් නවත්තන්න පුළුවන්ද කාටවත්?"
"ඒක ඇත්ත . . . ඒක ඒ මිනිස්සුන්ගෙ කර්මය වෙන්නැති.."
"එහෙමත් වෙන්න පුළුවන්. උතු නියාම, කම්ම නියාම, ධම්ම නියාම කියල ධර්මයෙ ඉගැන්වෙන්නෙ ඒකම තමයි. සෘතු නියාම කියන්නෙ එක ක සෘතු වලට අනුව වෙන දේවල් . . . .මිනිස්සු ස්වභාව ධර්මයට එරෙහි වෙල කටයුතු කරන කොට එහෙම වෙනවා, සුජී. අපි පරිසරයට, ස්වභාව ධර්මයට එරෙහි වෙන කොට සොබා දහමත් අපිට එරෙහි වෙනවා. එරෙහි වෙන්නෙ ටික දෙනයි. ඒත් විනාශය එන්නෙ මහා පරිමාණිකව."
"ඒ තර්කය නම් මට පිළිගන්න බැහැ. ජපානය කොයිතරම් ඉස්සරහට ගිය රටක්ද? ධනවත්ම රටක්."
" ඔයා ධනවත්කම මනින්නෙ කොහොමද? යස ඉසුරු, මිළ මුදලින්. මම එහෙම නෙවෙයි."
" සමා වෙන්න මට. මම ඔයත් එක්ක තර්ක කරන්න හිතුවෙ නැහැ"
" කමක් නැහැ, සුජී. ඒකෙ වරදක් නැහැ. ඔයා නිතර මෙහෙ එන්න. අපිට පුළුවන් මේවා කතා කරන්න."

                   යුගයෙන් යුගය, වයසෙන් වයසට මිනිසුන්ගෙ අදහස් මති මතාන්තර වෙනස් වෙන්නෙ පුදුම විදිහට. මගේ සිත තුළ නම් එබඳු මහ වෙනසක් නොවුණට මලිති තුළ සිදුවී තිබෙන වෙනස නම් අදහගන්නත් අමාරුයි.


5 ක් අදහස් දක්වලා.:

Chandi said...

අද තමයි මට මේ පුලිනතලාවට ගොඩ වෙන්න ලැබුනේ. මේ සොයුරිය පුෂ්පා රම්ළනී රත්නායකම ද? කියල දන්නෙ නැහැ. ඈව නම් මට හමුවෙලා තියෙනවා බොහෝ කාලයකට පෙරදී. කොහොම උනත් ඉතාම ආසාවෙන් මේ සටහන් ටිකක් කියෙව්වා. අපිට සසර ගමෙනෙදි හමුවෙන විවිධාකර අත්දැකීම් මේ වගේ අකුරු කරන්න ලැබෙන්නේ හරිම ටික දෙනෙකුටයි. ඇත්ත, ජීවිතයේ යම් දවසක ධර්මය ගැන ගැඹුරට හදාරන්න හදාරන්න අපිට එහි නිස්සාර බව දකින්න පුලුවනි කියල මටත් හිතෙනවා. ඔබට ජයම පතනවා සෙනෙහසින් සොයුරියේ.

අක්කණ්ඩි said...

ඔව්, චන්දි, මම ඇයම තමයි. ඔබගේ අදහස් දැක්වීමත් බොහොමත්ම ස්තුතියි. අපි හමුවෙමු, දැන් අන්තර්ජාලයේදී.

Chandi said...

අක්කේ, ඉතාම සතුටුයි මට ආයේ ඔයාව හමුවීම ගැන. ඔයාට මතකද? හල්දුම්මුලේ ඉන්න දිනවල වල්හපුතැන්න මහාවිද්‍යාලයේ උගන්නපු ලෙස්ලි සර් හා ලලිතා ටීචර්. ඒ මගේ පුංචි. මම O/L කරලා නිවාඩුවට එහේ ආව. අපි ඔයගේ මල්ලි එක්ක ඹබර කන්ද දිය ඇල්ල බලන්නත් ගියා. මගේ අම්මල හිටියෙ සැම්බියාවේ. අපිව බලාගත්තේ මේ පුංචියි බාප්පයි තමයි. අනේ, මට හරිම සතුටක් අද දැනුනා. ඔයාගේ බුදුවෙන්නට හිතා නොවේ පොත තාම මම ආදරෙන් ආරක්ෂා කරනවා. වර්ණා අක්කත් මට නිතර හමුවෙනවා. මට විස්තර දැන ගන්න ආසයි. ඔයා මට mail කරන්න ඉවර ඇති වෙලාවක.

අක්කණ්ඩි said...

හිතාදර චන්දි, මට ලෙස්ලිවත්, ලලිතාවත් හොඳට මතකයි. හල්දුම්මුල්ලේ ගත කළ යුගයත් මට අමතක වෙන්නෙ නැහැ. ලෝකෙ කොයි තරම් ඈතක හිටියත් මේ වගෙ දේ වලින් මතකයන් අලුත් වීමත්, දුරස් වූ හිතවතුන් හමුවීමත් හරිම සුන්දරයි.
සයිබර් අවකාශයේ අප හමු වීමත් නොසිතු දෙයක්, එ නමුත් සතුටු විය හැකි දෙයක්. මේවා සියල්ල යහපත් ලෝකයක් සඳහා සුබ වාදීව මෙවලම් හැටියට භාවිත කරනව නම් මොන තරම් අගෙයිද නේද?
මම සුඩාන් වල ඉඳල ආවා, ඩුබායි වලට. ලඟදීම ලංකාවට යනවා. මගෙ ඊ මේල් එක මෙන්න.
pramlani88@gmail.com

Nadun Dissanayake said...

මට නම් ඔබලා කවුරුවත් මතක නැතය. මම අදමය මේකට ආවේ.
ඔහේගේ බ්ලොග් එක හොඳය. මම ටිකක් ආසාවෙන් කියෙව්වෝය.

Post a Comment