Sunday, April 10, 2011

පිට ගෙදරකට ආපු අමුත්තෙක්

Sunday, April 10, 2011
                  නින්දත් නොනින්දත් අතර සිහින නැති, සිතුවිලි සහිත ලෝකයක සිත ගත දෙකම පාවෙද්දි ගේට්ටුව අරින හඬ මාව හිටෙව්වා, ජනෙල් කවුළුව ළඟ. දෙබෑවෙන ගේට්ටු පලු දෙක මැද්දෙන් කොළපාට ජීප් රථය හෙමිහිට සම්ප්‍රාප්ත වෙනවා, මිදුලට.
   තිරිංග තද වෙනවා. දොරවල් ඇරෙනවා. අප්පච්චි ඉස්සරහ දොරෙනුත්, අම්මා පිටි පස්සෙ දොරකිනුත් පොළොන්නරු භූමියට පාද තබනවා. මට තවම නිදිකලං ගාතෙද? දුවන්න හිතුණට දුවන්න බයයි, පය ලිස්සලා වැටෙයි කියලා. විශාකාවක් වෙන්න නෙවෙයි, දරුවට තියෙන සෙනෙහසට.
  ජනෙල්ලෙ එල්ලිල උන්නු මලිතිගෙ සිරුර පාවෙනවා, පුළුන් රොදක් වගෙ සැහැල්ලුවෙන් අම්මා, අප්පච්චි බලන්න. ඉස්සර නම් දුවල ගිහින් වැඳල කරේ එල්ලිලා හුරතල් වෙනවා. හුරතල් නොදන්න කට්ටිය ගෘහ මූලික වෙල ඉන්නකොට හුරතල් හිත පර වෙලා හැංගිලා කොහෙදෝ නොපෙනෙන ඉසව්ව්වක. උණු උණු කියන්න බැරි තරම්, ඒත් ඇල්, ඇල් කියන තරම් ඈතක. ඔහෙ තිබුණාවෙ ඕනි තැනක.
  "සුදු මැණිකෙ, අන්න අම්මල ඇවිදින්" ප්‍රේමවතී තව පොඩ්ඩෙ
න් මගෙ ඇඟේ හැප්පෙනවා. පුදුම කලබලයක්, ගෙනාපු බඩු වාහනයෙන් ගෙට ගන්නවා.
  අම්මගෙ කකුල් දෙක ලඟ මාත් එක්කම හිතත් වැඳ වැටෙනවා.
"කෙට්ටුත් වෙලා පුතේ, ඔයා. කන්නෙ නැද්ද?" අම්මට හැම දාම මම කෙට්ටුයි.
"හා, ඇති, ඇති ඔය වැන්දා." මාව නැගිටුවන අප්පච්චි ඉස්සර වගෙම පපුවට හේත්තු කර ගෙන, නළල ඉඹිනවා.
  නන්දිට වඳින්න මතක් වුණෙ දැන්.
"ගෙට යමු, ගෙට යමු....අව්වත් සැරයි නෙ." නන්දි ඉස්සර වෙනවා.
" අම්මල උදේට කාලද?" මගේ හිතත් ප්‍රශ්නයක් අහන්න ඇවිත්.
"නෑ පුතේ, ඔයාලත් එක්කෙම තේ බොන්න හිතුවා අපි. මගදි තේ එකක් විතරක් නම් බිව්වා."
" අනේ, ප්‍රේමවතී ඉක්මණට තේ ලෑස්ති කරන්න?" මගෙ හිතට වාවන්න බැරුව කියවනවා.
"කිරි බත් එක්ක මාළු ඇඹුල් තියල් ඇති, කට්ට සම්බලයකුත් ඇති. එහෙමම මේසෙට තියන්න." අම්මා ප්‍රේමවතීට කියන්නෙ හරිම කරුණාවෙන්.
   අපි සේරම මේසෙට වාඩිවෙද්
දි මම අප්පච්චිගෙයි අම්මාගෙයි මැදින් වාඩි වෙන්න වග බලා ගත්තා. දෙන්නගෙම අතින් කිරි බත් කවාගන්න මගෙ හිතේ තවත් දොළදුකක්.
අප්පච්චිට, අම්මට කියවන්න පුළුවන් මගෙ හිත නන්දි නම් කවදාවත්ම කියවන්න ඉගෙන ගන්න එකක් නැති වෙයි. ඕනි කමකුත් නැතිවෙයි කියවන්න. ඩේලි නිව්ස් පත්තරෙන් එහාට එයාට වෙන කියවීම් අපුලයි. අමිහිරියි. අජූවයි.
   මගේ කවි සිත අවදි නොවෙන්නම නින්දට වැටිලා. මොන ඝෝෂකයෙකුට වත් බැරි වේවි, ඒ කවි සිත අවදි කරලන්න.
"සුදු මැණිකෙ, තව බෙදා ගන්න. ලොකු නෝනා කොච්චර දුර ඉඳලද හදා ගෙන ආවෙ?"
  ප්‍රේමවතීගෙ පෙරැත්තයත් එක්කම අම්මා මට බෙදනවා. අප්පච්චි මාළුත් එක්ක අනල මට කවනවා.
"මට බැංකුවට යන්න තියෙනව, හදිස්සි වැඩකට. අප්පච්චිල ඉන්නකො. මම ඉක්මණට එන්නම්"

  නන්දි නැගිට්ටෙ අපේ සමාගම රුස්සන්නෙ නැතුවද කියල දෙයියො තමයි දන්නෙ.
  " හරි පුතා, රාජ කාරිය දේව කාරිය කියල තියෙනව් නේ. මමත් තව ටිකකින් කච්චේරිය පෙත්තට යනව. පුළුවන් වුණොත් මම බැංකුවටත් ගොඩ වෙන්නම්"
අප්පච්චි තවත් කිරි බත් කුරුල්ලෙක් මගෙ කටට එබුවා.

  'එයා ගිය එක හොඳයි' දඩබ්බරීත් මැදට පනිනවා. ඒක ඇත්ත. අපට නිදහසේ ඉන්න පුළුවන්, ටික වෙලවකට හරි අපේ ගෙදර වගෙ. නන්දි ඉන්න කොට මට හිතෙන්නෙම මම පිට ගෙදරකට ආපු අමුත්තෙක් වගෙ.

5 ක් අදහස් දක්වලා.:

Nadun Dissanayake said...

හ්ම්...

Kathandara said...

ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
ලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම
බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙම
නව අවුරුද්ද ජයවේවා පතමි මම

දාහක් හමාරක් තව ලිපි ලියවේවා
කියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවා
සැමටම එයින් හද තුල තුටු ඇතිවේවා
සිංහල වියුණු අවකාශය බැබලේවා!

-කතන්දරකාරයා

Kathandara said...

Please remove word verfication

Chandi said...

අක්කේ, නන්දිවගේ අය නිසා විදවන සුදුමැණිකෙලා මේ සමාජයේ හරියට ඉන්නවා. ගැහැණියකගෙ සිතුවිලි තේරුම්ගන්න පුලුවන් කෙනෙක් හරිම අඩුයි. හරිම සංවේදියි ඔයාගෙ කතාව. දරුවෙකුට තියෙන දෙමාපිය බැඳීම අපූරුවට කියවෙනවා.

Anithkona said...

අක්කේ මේ කතාව තව ලියවෙනකම් බලාන ඉන්නවා. අපේ ජීවිතවලටත් මේ වගේ නන්දිලා නිසා අසරණ වුනු ගැහැණු අය මුණ ගැහෙනවා. ඒ හැමෝම අන්ත අසරණ වෙලා ආයේ ජීවිතේ පටන් ගන්න බැරි තරම් තත්වයට පත්වෙලා ජීවත් වෙන්නේ. මේ කතාවෙ පරිච්ජේද කිහිපයක් නැවත කියෙව්වා.

Post a Comment