Wednesday, March 28, 2012

අප්පච්චි කිව් කතා

Wednesday, March 28, 2012


                  ඩුබායි ආවම හැමදාම ටිකක් කල් ගත වෙනවා, සිංහල අකුරු හොයා ගන්න. අද නම් දුකාට කතා කරල ප්‍රශ්නෙ කිව්වම ලංකාවෙදි වගෙම හොයන්න කිව්ව. මමත් හෙව්වා. සොයන්නට හම්බ වෙනව නෙ. ඉතින් ලංකාවෙදි වගෙ නෙවෙයි, මෙහෙදි මට ගෙදර වැඩ මොකුත්ම කරන්න නැහැ. ගමන් බිමන් වුණත් ඇත්තෙම නැති තරම්. සිකුරාදට තමයි, දරුවන්ට නිවාඩු. දරු මුණුබුරන් සේරටම. ඉතින් ආයෙමත් මට හිතුණා, බ්ලොග් අඩවිය පැත්තෙ ගොඩ වෙලා යහළු මිතුරු කම් වගෙම යහළු මිතුරු දම් අළුත් කර ගන්න.
              කවි කතා, කතන්දර සේරෝම කොහේදෝ ඈතකට ගිහින් හැංගිලා වගෙ. ආගන්තුක පිරිසකට කතා කරනවා වගෙ ඒ අයට බුලත් හුරුල්ලක් දීල ආයෙමත් ඥාති සම්බන්ධතාවන් අළුත් වැඩියා කර ගන්න වේවි, මයෙ හිතේ. අවුරුදුත් ළඟ නිසා අකැමති වෙන එකක්   නැති වෙයි.

                 මම අප්පච්චි ගැනත් අප්පච්චි මට කියන අතීත කතා ගැනත් කලින් ලියල තියෙනවා. අන්තිම වතාවට මම අප්පච්චි දකින්න ගියෙ   මම තායිලන්තෙට යන්න ඉස්සරින්...දවස් තුනකට ඉස්සරින් හරියටම. අප්පච්චිට වයස   අවුරුදු  88 ක් . මම එනවා කියන ආරන්චියට ලොකු මල්ලිලාගෙ ගෙදර ආලින්දයේ වේවැල් පුටුවක වාඩි වෙලා මග බලාන හිටියා. මම කොළඹ ඉඳල එනවා කිව්වොත් දවල්ට කෑම නොකා බලා ගෙන ඉන්නවා. එදත් එහෙමයි, බෙල්ල දික් කරමින් පාර දිහා වටම තමයි ඇස් දෙක. මාව දැක්කම මූණේ හිනා මල් වට්ටියක් පිපෙනවා. වෙන අයටත් එහෙම වෙන්නැති, මම දන්නෙ මං ගැන විතරයි නෙ.
                     අප්පච්චි ආස කරන කෑම බීම උස්සගෙන යන කොට  , "මොකට ඒව මේව   ගෙනෙනවද, බලලා යන්න ආවා නම් ඇතිනෙ" කියනව.  ඇඳේ වාඩිවෙල, එහෙම නැත්නම්   මම    පුටු ඇන්දෙ වාඩිවෙලා අපි කතා කරමින් ඉන්නව. ඒත්  මෙදා සැරේ අප්පච්චිට පරණ කතා ඒ තරම්ම මතක නැහැ වගෙ. මතක් කළේම ඉස්සර කරපු පින්කම්. දන් දුන්නු හැටි, අසූ හාරදාහෙ පහන් පින්කමක් මුතියංගනය රජමහවිහාරයේ සංවිධානය කරපු හැටි....තවත් ලස්සන කතාවක් කිව්වා. ඒක හොඳයි හැමෝටම දැන ගන්න, අප්පච්චිගෙ ස්ථානෝචිත ප්‍රඥාව ගැන හිතා ගන්න.
                මේ කතන්දරෙත් අහගෙන දවස් තුනකින් ආපහු කොළඹ එන්න කියල මම අප්පච්චිට දණ ගහලා වඳිද්දි මට අමුතු වෙනසක්     දැණුනා.  මගෙ ඔලුව අත ගාද්දි වෙනද  විදිහටම, "තුණුරුවන්ගෙ සරණයි, සියලු දෙවියන්ගෙ පිහිටයි!" කියල කියද්දි මම නැගිටලා අප්පච්චිගෙ නළලයි, කම්මුල් දෙකයි ඉඹලා පොඩි දරුවෙක්ව වගෙ මගෙ පපුවට තුරුළු කර ගත්තා. එතකොට මට මහ දරා ගන්න බැරි වෙනස් කමක්   දැණුනා. ඒක නිර්වචනය කර ගන්න හෝ පැහැදිලි කර ගන්න මට අවශ්‍ය වුණෙ නැහැ ඒ වෙලාවෙ. ඒ ශෝකී හැඟීම බුදු වදනක් සිහිපත් කරලා තුනී කර ගන්න උත්සාහ කළා.
             ආයෙමත් මම යන කොට අප්පච්චි හිටියෙ සදහටම දෙනෙත් පියාගෙන. මට දරා ගන්න බැරිවුණා ඒ නිහඬතාවය. මුහුණ පුරා පිරුණු හිනාව වෙනුවට  අප්‍රාණික දෙතොල් මත්තෙ හීන් හිනා රේඛාවක් යාන්තමට සටහන් වෙලා. ඒ හිනා රේඛාව අස්සෙන් මට අප්පච්චි කිව් කතා මතක් වෙනවා. අප්පච්චිට ගරු කිරීමක් හැටියට තවත් කතාවක් සටහන් කරන්න අවසරයි, පුලිනතලාවෙ.

                      ඒ කාලෙ අපෙ අප්පච්චි තමයි, බදුල්ලෙ කතරගම දේවාලෙ බස්නායක නිළමෙ හැටියට හිටියෙ. අගෝස්තු මාසෙට නුවර පෙරහැරත් එක්ක සමාන්තරවම බදුල්ලෙත් ඉතාමත් විචිත්‍ර විදිහට ඇසල පෙරහැර කෙරෙනවා. අලි ඇතුන් වගෙම, උඩරට, පහත රට, සබරගමු වගෙ නැටුම් විතරක් නෙවෙයි සමහර කලායතන වලිනුත් නැටුම් කණ්ඩායම් මේ සඳහා යොදා ගැණුනා. මේ පෙරහැරට බදුල්ල මුතියංගන රජ මහා විහාරයේ පෙරහැරත් අතරමගදි එකතුවෙල එකටමයි වීදී සංචාරය කරන්නෙ. බදුල්ල දිස්ත්‍රික්කය අවට ගම් පළාත් වලින් වැල නොකැඩී සෙනග එනවා පෙරහැර බලන්න.

                    මේ වගෙ පෙරහැර කරන එක් අවස්ථාවක පොඩි වරදවා වටහා ගැනීමක් නිසා පෙරහැර වර්ජනය කරන්නට එක් කණ්ඩායමක් සංවිධානය වෙලා පවුල් පිටින් පෙරහැර වීදි  සංචාරය කරන එක තැනක පාර පුරා වාඩි වෙලා ඉඳලා.
                  මල් වෙඩිල්ල පත්තු කරලා දැන් පෙරහැර පිටත් වෙලත් ඉවරයි. අප්පච්චිත් දැන් තුප්පොට්ටියත් ඇඳ ගෙන පරිවාර නිළමෙල දෙන්නෙකුත් එක්ක සධාතුක කරඬුව වඩම්මන ඇතා අසලින්ම වීදි සංචාරය කරනවා, උදාරම් ලීලාවෙන්.
               එතකොටම අපේ පොඩි අයියා අප්පච්චි ළඟට ඇවිත් අර ආරංචිය අප්පච්චිට සැල කර හිටියා. පොඩි අයියගෙ මුහුණ නම් බයෙන් කලු ගැහිලා. අප්පච්චි ඇබින්දක් වත් කලබල වුණේ නැහැ. බොහොම උපේක්ෂාවෙන් මොහොතක් කල්පනා කළා.
"පොඩි පුතා, කාටවත්ම මේ ප්‍රශ්නෙ කියන්න අවශ්‍ය නැහැ. ඔය මිනිස්සුත් වෙනදට පෙරහැර බලනවනෙ. මේක අපේ සංස්කෘතික අංගයක් නෙ. අපි පෙරහැර පිළිවෙල වෙනස් කරමු. පුතා ගිහින් ඉස්සරහින්ම අලියෙක් යවන්න. ඊට පස්සෙ කස   කාරයන්ව යවන්න. අලියෙක් එන කොට කවුරුත් පාරෙන් අයින් නොවී ඉන්නැහැ නෙ. ඒ හරියට යන කොට ඔය වෙනස් කම කර ගන්න අපිට කල්    තියෙනවා. කලු බණ්ඩත් එක්ක කණ්ඩුලව අරන් යන්ඩකො"
පොඩි අයියා මොනතරම් දක්ෂ සංවිඪායකයෙකු වුවත් අප්පච්චිට පහළ වුණු ඒ නුවණ නම් ඔහුට පහළ වූයේ නැත. ඒ බව අදත් පොඩි අයියා පවසන්නේ අප්පච්චි ගැන ඉතා ආඩම්බරයෙනි.

              පෙර්හැරේ ඉදිරියෙන්ම අලියකු එනු දුටු සටන්කාමී පිරිස අර පොත පතේ එන ආකරයටම හිස් ලූ ලූ අත පලා යන්නට ඇති. හැබැයි කාටවත්ම කිසිම කරදරයක් හෝ පුන්චි ලේ සෙලවීමක් වුණේ නැති බවත් අප්පච්චි මට කිව්වේ, "ලොකු කරදරයක් වෙන්න හිටි එකක් නවත්ත ගත්ත . . . ඒ වගෙම ඒ කණ්ඩායම පෙරහැරත් බලලා දේවාලයට ඇවිත් මගෙන් සමාවත් ඉල්ලුවා, වැරදි වටහාගැනීමක් කියල.."  කියමින්.


21 ක් අදහස් දක්වලා.:

දුකා said...

අක්කා . . . මේ අපූරු බ්ලොග් එක මේ තරම් කාලයක් අප්ඩේට් නොකරපු එක පාඨකයන්ට කරපු ලොකු අසාධාරණයක් . . .

සන්තෝසයි ආයෙම ලියන්න ගත්තු එකට . . .

මිනිස්සුන්ගේ හදවත්වලට දැනෙන්න තාත්විකව යමක් ලියන්න හැකියාව ඇති අය කීප දෙනා අතුරින් අක්කන්ඩීත් ඉන්නේ ඉදිරියෙන් . .

ඒ නිසා අකර්මන්‍ය නොවී දිගටම ලියන්න අපි වෙනුවෙන් . . .

Sabith said...

පුලින තලාවට ආපු පලවෙනි පාර!මෙච්චර කලක් මග ඇරිලා තිබිලා තියෙන්නේ!

Akkandi said...

@ දුකා, දිරි ගැන්වීම ගැන ස්තුතියි, දුකා මල්ලි. මේ ගැම්මෙන්ම ලියන්නම් දැන්. බලමු, උත්සාහ කරලා.

Akkandi said...

@ සබිත්..ස්තුතියි, මල්ලි. ඔක්කොම කියවල අදහස් දක්වන්න කො.

ඊ මේල් කවිකාරි හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව. said...

මොනව කියන්නද මංදා............

Ruwani said...

Sinhala akuru liyanna danne naha. Akke, oyage lipiya mage as dekata kadulak genawa. Mage Thatthage mathakayan sihiyata awa. Mage thattha nathi wune api puchi kale, thattha nathi wei kiyala api katawath hitha gannawath bari dawasaka.
Harima hageem barai...

duliponline said...

ආහ් . . . මෙන්න අක්කන්ඩි ආපහු ලියන්න පටං අරං

Buratino said...

වැල්කම් බැක් අක්කණ්ඩියේ.. පහුගිය දවස්සොලටත් හරියන්ට එක්ක දැන් එහෙනං දිගටම ලියමු නේද.. :)

Podi Kumarihami said...

සංතෝසයි ආපහු ආව එක ගැන. මේ පැත්තේ කලින් ඇවිත් තියනවා හිටපු ගමන් නැතුව ගිය හන්දා ඒ ඒම නතර උනා. දැන් ඉතින් ආයම එන්නම්. :)

අකීකරු හිත said...

පළවෙනි පාරට මේ පැත්තට ආවේ... දැන් ඉතින් දිගටම එනවා හොදේ

Unknown said...

කාලෙකට පස්සෙ ඇවිත්.සංතෝසයි. කමෙන්ට් නොදැම්මට මං මේ බ්ලොග් එක කියවන්න ගත්තෙ බ්ලොග් ලියන්න කලින් ඉදලාමයි... :)))

නිශ් said...

ආයෙ ලියන එක ගැන නම්
සන්තෝසයි........
කාලයක් තිස්සෙ ආසාවෙන් කියවපු බ්ලොග් එකක්නේ

Akkandi said...

@ Ruwani....
සිංහල අකුරු ගන්න මේ ලින්ක් එකට යන්න. උඩ කොටුවෙ ඉංග්‍රීසියෙන් ටයිප් කළහම යට කොටුවෙ සිංහලෙන් වැටෙනවා. මග පෙන්වන උපකාරකයකුත් එහිම තියෙනවා. ලියන්න, ඔබට ජය වේවා! ඒ වගෙම අදහස් දැක්වූවාට ගොඩක් ස්තුතියි.

http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

Akkandi said...

අදහස් දැක්ව ූ හැමෝටම ගොඩක් ස්තුතියි. ඔබේ අදහස් . . . . මගේ ශක්තිය!

Buru Babe said...

wow.. akkandi is back.... hip hip hurrraaaayyyyy

ඊයෙද කොහෙද බ්ලොග් ගැන කතා කතා කරන ගමන් පරණ හොඳට ලියපු අය නොලියන එක ගැන අපි කතා වුනා. දැන් බ්ලොග් අස්සේ පොර ටෝක් වල් පල් විතරමයි. කොටින්ම අක්කන්ඩිලා වගේ අය මේ තරම් ලියන්න පුලුවන් වෙලත් නොලියා ඉන්න එක ගැන ලොකු තරහක් මට තියෙන්නේ.
අක්කණ්ඩි ලියන්න ගත්ත එක හරිම සතුටක් මට මේ අප්පච්චිගේ කතාව කෙසේ වුනත්. සමා වෙන්න ඕන පහු වෙලයි ඒ මළගම ගැන දැන ගත්තේ.

Dinesh said...

අදයි මමත් මේ පැත්තේ ආවේ.. දුකා අයියා මුහුණු පොතේ දාපු ලින්ක් එකකින්...

සුදු මුවා said...

අද තමා මුලින්ම පුලින තලාවට ගොඩ වැදුනේ, කියවන්න ගොඩාක් දේ තියෙනවා, ඒ වගේම ලියන විදියත් ගොඩක් හොදයි. ඔන්න අද ඉඳලා මමත් පුලින තලාවේ කරක් ගහනව.

ඇවිත් යන්න එන්න : www.thunsitha.tk

කතන්දර Kathandara said...

අප්පච්චිට නිවන් සුව පතමි!

මාත් එක දවසක් ගෙදර ගිහින් දෙමව්පියන්ගෙන් සමුගෙන එන කොට මහා වෙනසක් දැණුනා. මාත් හිතුවේ අනිවාර්ය අවසානය ආයේ ගෙදර යන්න උදාවේවිදෝ කියලායි.

අන්තිමේදී බැලින්නං මායි තව පොඩ්ඩෙන් යන්න ගියේ.

Akkandi said...

මගෙ බ්ලොග් එකේ ලින්ක් එක ප්‍රසිද්ධ කළාට දුකා මල්ලිට ගොඩක් පින් පෙත් පුදමි. අදහස් දැක්වූ දයාබර සිය්ලු දෙනාටමත් නොනිම් තුති! ඔයගොල්ලන්ගෙ ආදරය, මාව දිරිගන්වනවා, තව තවත් ලියන්න. ඔබ සැමට නිදුක්, නිරෝගී සුව!

Anonymous said...

මම මේ කතාව කියවනකොට මාව අතීතයට එක්කරගෙන ගියා මට ලොකු මතකයක් නැති උනත් අක්කා මට යන්තම් මතකයි ඔයාලත් එක්ක පෙරහැර බලන්න යන හැටි

samadhi said...

අප්පච්චිලා කවදත් හපන්නු...
එහෙව් අයගේ දරුවො වෙන්න අපිත් පින් කරල්ල ඇති..

Post a Comment