Wednesday, March 28, 2012

ඈ දෙසා...බලනූය දයා ඇසිනා!

Wednesday, March 28, 2012
විවිධ රටවල විවිධ රැකියාවන්හි නියුතුව සිටි මට ඇෆ්ගනිස්තානයේ ගත කළ කාල වකවානු කිසි සේත් සිතින් බැහැර නොවෙයි. ගැහැණුන් හට බොහෝ සමාජ තලයන්හි පිරිමින් සේම අයිතිවාසිකම් භුක්ති විඳීමේ අවස්ථාවන් හිමිව නොතිබුණත් එහි බහුතරයක් පිරිමි ගැහැණුන්ට ආදරය කරන, ගරු කරන අය ද වෙති. මූලධර්ම වාදීන් හා අන්තවාදීන් මේ ගණයට වැටෙන්නේ නැත.

නැගෙනහිර ටිමෝරයේ පිරිමින් ඊට ඉඳුරාම වෙනස්ය. කඩ පිල්වල හෝ බෝක්කු මත වාඩි වී බීඩි, සිගරට් බොමින් දාම් අදිමින්, කුකුළන් පොර කොටවමින්, ඕපාදූප කියවමින් සිටිනවා මිස ගෙදරට තඹ දොයිතුවක් උපයන්නේ නැත. එසේ කරනවා නම් කරන්නේ ඉතා සුළු පිරිසක් පමණි. ගැහැණු කඳු, ලඳු පීරා ගොස් අල වර්ග හාර ගෙන, පලා කඩා ගෙන එති. ඒ පවුලේ දවසේ වේල පිරිමහන්නටය. අත දරුවන් රෙදි කඩක රඳවා බඩ බැඳගෙන, සොයන අල පලා දමන වේවැල් කූඩය හිස මත බැඳගෙන ඇය කඬු නගින ආකාරය සිත සසල කරවයි. ගෙදර දොර සියලු වැඩ කරන ඇයට පිරිමියාගෙන් ලැබෙන්නේ ඇනුම් බැනුම් හෝ ගුටි බැට පමණි.

 මා නෙතින් දුටු දේවල් ලියන්නට සිතුණේ බොහෝ රටවල මේ වෙනස්කම් පැහැදිලිව දැකිය හැකි නිසාත් තවමත් ජාත්‍යන්තර කාන්තා දිනය සැමරූ මාර්තු මාසය අවසන් නොවුණු නිසාත්ය. මක් නිසාද යත් මාර්තු 8 වැනිදාට පමණක් ස්ත්‍රීන් ගැන,
ඔවුන්  ගේඅයිතිවාසිකම් ගැන, ඔවුන්ට එරෙහි ප්‍රචන්ඩත්වය ගැන කතා කිරීම නොසෑහෙන නිසාය. 

මවක්, දියණියක්, බිරිඳක්, සහෝදරියක් පමණක් නොව මිත්තණියක් වූ විට පවා ඇයගෙන් පවුල හා සමාජය, රට වෙනුවෙන් සිදුවන සේවාව අතිමහත්ය. පවුලේ ආර්ථිකය වෙනුවෙන් ඇය කරන සේවාවන් බොහෝ දෙනෙකුගේ ඇගයීමට ලක් නොවෙයි. දරුවන්ගේ අනාගතය සාර්ථකව ගොඩ නැංවීමට ඇයගෙන් සිදුවන දායකත්වය ගිනස් පොතට යන්නේ නැත.

හැම නිවසකම කුකුළා අතින් ගෙන පාන්දර අවදිවන්නී ඇයයි. එවිට ඇය වෙලාවට සීනුව නාද කරන ඔරලෝසුවක් වැන්නීය. සැමියාට උණුසුම් තේ බඳුනක් දී ඔහුව අවදි කරන්නේ ඈ හෙයිනි. ළමයින්ට පාසැල් යෑම සඳ
හා අවදි කරන්නේ ඈ හෙයිනි. ඉන්පසු පාතරාසය එනම් උදේ ආහාරයත්, දවල් ආහරයත් පිළියෙල කරන කෝකිවරිය ඇය වන්නීය. ගෙදර දොර පිරිසිදු කරන ගෘහ සේවිකාවද ඇය වන්නීය. දරුවන්ව පාසැලට කැටුවයන, එමෙන් ආපසු නිවසට කැඳවා ගෙන එන, සමහරවිට මේ දෙකම කරමින් රැකියාවටද යන්නට ඇයට සිදු වෙයි. එසේම තවත් මව් වරු මේ සියල්ල කරන අතර තුර පවුලේ රියැදුරු  ලෙසද කටයුතු කරයි. කඩ පිළට, වෙළඳ පොළට ගොස් ගෙදරට අවශ්‍ය එළවළු, හාල් තුනපහ යනාදී වූ අඩුම කුඩුම ගෙන එන්නේ ද ඇයයි. දරුවන් හෝ සැමියා ලෙඩ වූ විට සාත්තු සේවිකාවද ඇයයි. දොස්තරත් ඇයයි.
දරුවන්ගේ මුල්ම ගුරුවරිය මෙන්ම පාසැල් වැඩ වලට උදව් දෙමින් පාඩම් කියා දෙන ගුරුතුමිය ද ඇයයි. දරුවන්ගේ ආරක්ෂක නිලධාරිණියද ඇයයි. එසේම පවුලේ ප්‍රශ්න වලදීත්, දරුවන්ගේ ආරවුල් වලදීත් විසඳුම් සොයා දෙමින් උපදේශනයන් සපයන උපදේශිකාව හා නීති වේදිනියද ද ඇයයි.
මේ සියලු කාර්යයන් හමාර කොට විඩාපත් වුවත් සැමියාගේ කායික අවශ්‍යතාවන්ද සිනහමුසු මුහුණින් ඇය ඉටු කළ යුතු වෙයි.
මේ සියලු දේ යුතුකම් හා වගකීම් බවත්, ඒවා නොපිරිහෙළා
 ඉටු කළ යුතු බවත් සමහරු පවසති.


කෙසේ හෝ ඇයට ලෙඩ නිවාඩු නැත. පාරිතෝශික දීමනා හෝ බෝනස් ලැබෙන්නේද නැත. අර්ථ සාධක අරමුදල්, එනම් ඊ.ටී.එෆ්., ඊ.පී.එෆ්. නැත. කිසිම දාක උසස් වීම් හෝ ඇගයීමක් පවා කෙරෙන්නේද නැත.
එහෙත් ඇය ඉහත සඳහන් කිසිවක් ඉල්ලා උද්ඝෝෂණය කර මින් වීදි බසින්නේ නැත. පිකට් බෝඩ් අල්ලා ගෙන ගෙවල් ඉදිරිපිට වර්ජනය කරන්නේ නැත. ආහාර පාන පිළියෙල නොකර සටන් පාඨ  කියන්නේද නැත. 


එවන් මවකට, බිරිඳකට, සොහොයුරියකට, මිත්තනියකට, දියණියකට සැහසිකමක්, අතවරයක්, හිංසනයක්, අපචාරයක් ඔබට කළ හැකිද?
මේ සියලු ස්ත්‍රී වර්ගයාගේ කතාවයි. ගමින් ගමට, රටෙන් රටට, ආගමෙන් ආගමට, ජාතියෙන් ජාතියට සුළු සුළු වෙනස් කම් තිබුණත් පොදු සාධකයන් හැම ගැහැණියකටම ඉහත අයුරින් නොවෙනස්ව පවතී.

මට මහචාර්ය සරච්චන්ද්‍රයන්ගේ 'මනමේ' නාඩගමෙහි අවසන් ගී පද මතකයට එයි.


"මා දෙසා.....මා දෙසා...බලනූය දයා ඇසිනා ...."

ගැහැණිය දෙස දයාවෙන් යුතුව, කරුණාවෙන් යුතුව, ආදරයෙන් යුතුව බලන්න. ඇය ලිංගික භාණ්ඩයක් ලෙස පමණක් නොදකින්න. ඇයට ගරු කරන්න. ඇයගේ අමිල සේවාවන්ට වටිනාකමක් දෙන්න.
කුරුල්ලෙකුට තනි තටුවකින් පියාඹන්නට නොහැකිය. සමාජය කුරුල්ලෙකු නම් එක් තටුවක් ගැහැණියයි. අනෙක් තටුව පිරිමියායි. යහපත් මානව සමාජයක් සඳහා අත් තටු දෙක ශක්තිමත්ව, නීරෝගීව තිබිය යුතුය.

8 ක් අදහස් දක්වලා.:

Praveena Palipana said...

කාන්තාවන්ගේ අගය ගැන කියැවෙන ලස්සන ලිපියක්.

මේක කියවනකොට නම් හිතෙන්නේ කාන්තාවක් උනාට කමක් නෑ බිරිඳක් වෙන එක නම් එච්චර සුබ නැහැ කියලා. :D

චේජනා said...

පුලිනතලාව ගැන මතක් කළා විතරයි ඒක ආයෙම ලියන්න අරගෙන...
සන්තෝසයි...

Il mondo di una povera pazza said...

කොටින්ම මේක අපේ රටෙත් වෙනවා නේද අක්කේ?
මම දැක්ක බහුතරයක් ගෙවල් වල ගැහැණිය තමයි වැඩියම බර අදින්නේ. පිරිමි රස්සාවට යනවා විතරයි. නිසියාකර ඇගයීමක් ගැහැණියට වෙනවා කියලා හිතන්න අමාරුයි. බොහොම කණගාටුදායක සිදුවීමක් ඒක.

Shadow/හේමලයා said...

interesting article...

Roshan Herath said...

කාන්තා අයිතිවාසිකම් ගැන කතා කරත් කිරිදරුවෙක් වඩාගත්තු මවකට පෝලිමේ ඉන්න නොදී ඉක්මනින් අවශ්‍යතාව ඉටුකරලා දීලා පිටත් කරලා යවන්න අපි ගන්න උත්සාහයේදි අපිට කාන්තාවන් කීදෙනෙකුෙග රැවුම් ගෙරවුම් නොරිස්සුම් වචන අහන්න වෙලා තියෙනවාද. අපි ඒ වගේ වෙලාවට නොරිස්සුම පලකරපු කෙනාගෙන් අහන්නෙ එක දෙයයි.
" මිස් කවදා හරි දරුවෙක් වඩාෙගන තියෙනවා ද? "
සැර වැඩි වුනත් කරන්න දෙයක් නෑ.

Dinesh said...

හිතට දැනෙන විදිහට ලියලා තියෙනවා අක්කේ..

Sumudu Fernando (සුදු මුවා) said...

මගේ අම්මා මම කෙල්ලෙක් එක්ක මුලින්ම (මොකද ඊට පස්සෙත් යාලු වුනානේ) යාලු වෙලා කියන එක දැනුන වෙලාවේ කියපු දෙයක් තමයි ' තමාගේ අම්මට ආදරේ නැති මිනිහ , කවදාවත් එයාගේ ගෑනිට ආදරේ නෑ' අම්මා ඒ වෙලාවේ එහෙම කියන්න ඇත්තේ මම අපේ පවුලේ ළමයින්ගෙන් කියන දේ අහන්නේ නැති නහර කාරයෙක් වුන නිසා වෙන්න ඇති.
එත් අද එදාට වඩා මම වයසට ගිහින් , අම්මා එදා කිව්ව් වචන වල එදාට වඩා වැඩි තේරුමක් හිතට දෙනෙනවා.

එත් කියන්න ඕන දෙයක් තියෙනවා, අද කාන්තාවන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරන ගොඩක් ලොකු නෝනලා එක කරන්නේ විලාසිතාවකට , එහෙම නැත්නම් එගොල්ලගේ සොසයිටි එකේ පොරක් වෙන්න. ඒ නිසාම කාන්තා අයිතිවාසිකම් / හැගීම් / ඉල්ලීම් සමාජ ගත වෙන්නේ එක්තරා පැලැන්තියකට විතරයි .

වර්ණා said...

ලස්සනයි :)

Post a Comment