Saturday, March 31, 2012

ඉර තරහා වෙලා!

Saturday, March 31, 2012
                 බොහෝම ඉස්සර කාලෙක එක රටක් තිබුණා, එහෙට හැම වෙලාවෙම වහිනවා . . වහිනවා . . . ඉවරයක් නැතුව වහිනවා . දවස පුරාම අහස හිල් වෙලා වගෙ තොරතෝංචියක් නැතුව වහිනවා එක දිගටම. දවස තිස්සේම වහිනවා.රෑ දවල් කියල වෙනසක් නැතුව වහිනවා. එහෙමත් වැස්සක්! දවස ගානෙම වහිනවා. දවස් ගණන්, මාස ගණන්, අවුරුදු ගණන් එක දිගට වහිනවා. වැස්සට මහන්සි නැද්ද මන්දා? මේ වහින රටේ හිටියා එක පිරිමි ළමයෙක්. එයාගෙ නම් සුරංග. වයස අවුරුදු අටක් විතර ඇති. සුරංග එයාගෙ අම්මයි, තාත්තයි එක්ක පුංචි කැලෑ රොදක් අද්දර තිබුණු ගේ පොඩ්ඩක තමයි ජීවත් වෙලා හිටියෙ. එයාගෙ තාත්තා ගොවියෙක්. අම්මා ගෙවිලියක්. ඒත්  මේ නොකඩවා වහින වැස්ස නිසා ගොව්තැන් කටයුතු වුණත් හරියකට කෙරෙන්නෙ නැහැ. සුරංගට මතක ඇති කාලෙක ඉඳලා වස්සාන සෘතුව මිසක් වෙන කිසිම සෘතුවක් දැකලා නැහැ. එයාගෙ ජීවිතේ අද වෙනකල්ම වැස්ස විතරයි. ඒත් සුරංග වසන්තය ගැන, ගිම්හානය ගැන ගොඩක් කතන්දර තාත්ත ගෙනුත් වෙන අය ගෙනුත් අහලා තිබුණා. 

    දවසක් තාත්තා කතාවක් කියද්දි, " ඉස්සර අහසෙ රත්තරන් පාටට ඉර පායල තිබුණා" කියලා කිව්වා සුරංගට හොඳට මතකයි. ඒ දවස් වල ඒ ප්‍රශ්න කරන්න නොහිතුණත් තාත්තාගෙන් ඉර ගැන අහන්න ඕනි කියල ඔහුට හිතුණා.   තාත්තා හිටියෙ පිහියක් මුවහත් කරමින්.
 " තාත්තා  දවසක් කතාවක් කියද්දි ඉර ගැන කිව්ව මතකද? මොකද්ද තාත්තෙ ඉර කියන්නෙ?"

තාත්තා සුරංගගෙ ප්‍රශ්නයට උත්තර දෙනවා.

 "මගෙ පුතා ඉපදෙන්න බොහොම කාලෙකට ඉස්සර ඉර කියල දෙයක් තිබුණා. හරිම විශාල රවුම් කහ පාට ගිනි බෝලයක්. උදේ පාන්දර අර නැගෙනහිර පැත්තෙ කන්දෙන් මතුවෙලා දවල්  වෙනකොට අහස මුදුනටම ගිහින් අපිට උණුසුම, ගස් වැල් වලට ශක්තිය දීල හවසට අර බස්නාහිර පැත්තෙ කඳු මුදුනින් බැහැල යනවා. ඒ විතරක් නෙවේ, එයාගෙ රත්තරන්  පාට ලස්සන මූණේ හැම තිස්සෙම පැතිරිච්ච ප්‍රියමනාප හිනාවකුත් තිබුණා."
" ඉතින් කොහෙද දැන් ඒ ඉර හැංගිලා තියෙන්නෙ?"
 එතකොට සුරං  ගෙ තාත්තා අතේ තිබුණු පිහිය බිමින් තියලා, අත් දෙක කකුල් දෙක වටේ ඔතාගෙන දණිස් දෙක උඩ එයාගෙ නිකට රඳවලා දිග සුසුමක් හෙළුවා. 
 " කොහේ ගියාද දන්නෙ නැහැ, මයෙ පුතේ. එක දවසක දවාලක කළු වළකුළු ගොඩාක් ඇවිත් ඉර වටේට කැරකිලා කැරකිලා එයාව රෙද්දකින් ඔතා ගන්නව වගෙ ඔතා ගත්තා. අපි බලාගෙන හිටියා මොකද වෙන්නෙ කියලා. ඊට පස්සෙ විදුලි කොටන්න පටන් ගත්තා. ඒ එක්කම මහා හුළඟක් හැමුවා. පොල් ගස් බිමටම නැමුණා, හුළඟට බයෙන් වගෙ. ඊට පස්සෙ ගෙරවිල්ලත් එක්කම පොද වැස්සක්. පොද වැස්ස මහ වැස්සක් වුණා. අපි බලං හිටිය දැන් නවතියි, දැන් නවතියි කියලා. නැවතුණේම නැහැ. ඉතින් අපි හිතුවා, හෙට නවතියි කියලා ඒත් නැවතුණේම නැහැ. ඉතින් එදායින් පස්සෙ අපි ඉර දැක්කෙම නැහැ, පුතේ. මොකක් වුණාද කියල හිතා ගන්න බැහැ."

       සුරංගට කොහොමට වත් හිතා ගන්න බැහැ, ලස්සන කහපාට රවුම් ඉර කොයි වගේද කියලා. එක රාත්‍රියක මෙයාගෙ හිතට කිසිම සහනයක් නැහැ වගෙ. නින්ද යන්නෙත් නැහැ. තාත්ත කිව්වා ඉරට ප්‍රියමනාප හිනාවක් තිබුණා කියලා. 
 ' ඒත් මම දැකලා නැහැ, මේ මිනිස්සු කවදාවත් හිනා වෙනවා. ඒ අය හැම තිස්සෙම ඉන්නෙ දුකෙන් වගෙ. හිනා වෙන්න දන්නෙ නැහැ වගෙ. හරි...හරි...මට දැන් තේරෙනවා. මේ ගොල්ලො දුකෙන් ඉන්නෙ ඉර නැති දුකට වෙන්නැති. අර අහසෙ එහාට මෙහාට යන කහපාට   හිනා වෙලාම ඉන්න එක්කෙනා නැතුව මේ අයට සාංකාව ඇති. පාලු ඇති. මේකට මොකක් හරි කරල එයාව ආපහු එක්කන් එන්න ඕනි. මේ මිනිස්සුන්ගෙ මූණුවල ආයෙමත් හිනා මල් පිපෙන්න ඉඩ දෙන්න ඕනි. මේ අයව සතුටු කරන්න ඕනි.'

ඉතින් පහුවදා පුංචි සුරංග කාටත් හොරෙන් අර තාත්ත කිව්ව ඉර නගින ගලට ගියා, වැස්සෙම. මොරගෙඩි වගෙ වහින වැහි ගෙඩි ඇඟේ වදිද්දි චුට්ටක් රිදුණත් එයා ඒව ගණන් ගත්තෙ නැතුව කන්ද නගින්න ගත්තා. ගමේ මිනිස්සු වගයක් දැක්කා, කන්ද නගින සුරංගව. දැකල එයාගෙ තාත්තට මේ පණිවිඩය දෙන්න මහා හයියෙන් දිව්වා. ඒත් ඔහු කන්ද නගින එක නතර කළේ නැහැ. තාත්තා එයාගෙ යාලුවොත් එක්ක කන්ද පාමුල ඉඳල කෑ ගහනවා. 

" පුතා, කොහෙ   ඔය යන්නේ?"

ඒ   තාත්තා ගෙ කටහඬ. 

" මම යනවා වලාකුළු වලට කතා කරන්න"
 
කන්ද නැගීම නතර නොකරම ඔහු උත්තර දෙනවා.
 " මට ඒ ගොල්ලන්ගෙන් අහන්න ඕනි අර හැම තිස්සෙම හිනාවෙන ලස්සන කහපාට එක්කෙනාව නිදහස් කරන්න පුළුවන්ද" කියලා. 
මේක ඇහුණ ගමන් සුරංගගෙ තාත්තට එයගෙ කකුල් දෙක නවත්ත ගන්න බැරිවුණා. තාත්තත් සුරංගගෙ පස්සෙන්ම දුවන්න ගත්තා. එතැනට රැස් වෙච්ච ගමේ අනෙක් උදවියත් තාත්තවයි, පුතාවයි අනුගමනය කරමින් කන්ද නගින්න ගත්තා. ඔවුන් හිතුවෙ මේ කොලු පැටියා පිස්සු හැදිලා දුවනවා කියලා. ඉතින් ඔවුන්ට ඕනි වුණෙ සුරංග වැටෙන්න යන කරදරෙන් ඔහුව ගලවගන්න. 
     හැමෝටම කලින් කඳු මුදුනට නැග්ග සුරංග වළාකුළුවලට කතා කරන්න ගත්තා.
 " අනේ, වළාකුළු, මං කියන දේ ඇහෙනවද? ඇයි ඔය ගොල්ලො අර ලස්සන කහ පාට එක්කෙනාව වහගෙන ඉන්නෙ? අනේ අපිට අනුකම්පා කරන්න, කරුණාකරලා. බලන්න, අපි කොච්චර දුක් විඳිනවද? ඔය ගොල්ලො කරන ඔය වැඩේ නිසා. අපි ගැන චුට්ටක් කරුණාවෙන් හිතන්නකෝ.අපට ඉර ආපහු දෙන්නකෝ.." 

        වැස්ස තවත් වේගයෙන් වහින්න වුණා, තරහෙන් ගොරවමින්. ගිගිරුම් සද්දෙට බයේ මිනිසුන් එකෙනෙකව බදා ගත්තා. ඒත් සුරංග හෙල වුණේ වත්, බය වුණේ වත්  නැහැ. දිගින් දිගටම වළකුළු වලට නොයෙක් දේවල් කියමින් කන්නලව් කළා. 
 
"එහෙම කළේ ඇයි කියලා හරි අපිට කියන්න බැරිද අඩුම තරමින්"
සුරංග බෙරිහන් දුන්න.

" මොකද හැබෑටම මේ අපිට වද දෙන්නේ?"
එතකොට එක පාරටම කවුදෝ වළාකුළු අස්සෙන් උත්තර දුන්නා. 
 " අපි කවුරුවත් ඉරව හංගගෙන නැහැ. හැංගිලා ඉන්නෙ එයාගෙ ඕනෑ කමටයි."
සුරංගට තේරුණා, සද්දෙ එන්නෙ වළාකුළු වලින් කියලා.
 " ඉර තරහවෙල ඔය ගොල්ලොත් එක්ක?" ආයෙමත්  හඬ.
සුරංගත් අත ඇරියෙ නැහැ.
"මොකද්ද හේතුව තරහ වෙන්න?"
 ඒ ප්‍රශ්නෙට උත්තර ආවෙ වෙනත් දිහාවකින්. ඒ වෙන කවුරුවත් නෙවේ. අර ලස්සන කහපාට එක්කෙනා. 
 " මම තරහ වෙන්න හේතුවද? ඔව්, මම ඒක කියන්නම්. ඔය ගොල්ලො කවදාවත්ම මට ස්තුති ක නැහැ. අඩුම තරමින් මා දිහා බලලා හිනා වුණේ වත් නහැ. මම ලස්සනට හිරු රැස් විහිදුවන කොට ඔය ගොල්ලො වළකුළු වලින් වැස්ස ඉල්ලනවා. ඒත් කවදාවත් කවුරුවත් ' ලස්සනට ඉර පායන දවසක් ඉල්ලන්නෙ නැහ. ඉතින් මට හිතුනා පාඩමක් උගන්වන්න ඔය ගොල්ලන්ට."

  මේ කතාව අහපු සුරංගගෙ ගමේ මිනිස්සු දණින් වැටිලා ඉරෙනුත්, වළකුළු වලිනුත්  ඉල්ල සිටියා. 
" අපි දැන් පාඩමක් ඉගෙන ගත්තා. අනේ! ඉරු කුමරුනි, අපි ආයෙ කවදාවත් ඔය වැරැද්ද ආයෙමත් කරන්නෙ නැහ. අපට සමා වෙලා මේ වැස්ස නවත් වන්න."
 ඉරට මිනිස්සු කියපු දේ ඇහුණා, කන් දෙක පුරාම. ඒත් වැඩියම කලපනා කළේ ඒ වගෙම හිත සසල කළෙ සුරංගගෙ කැපවීම සහ අධිෂ්ඨානය ගැන. ඒ වගෙම අනික් මිනිසුන් කෙරෙහි තිබුණු ආදරය, මානව දයාව ගැන. මඩ ගොහොරුව තිබුණු කඳ මුදුනට අනෙක් ජනතාව ගැන හිතල මහන්සි නොබල නැග්ග ආකාරය ගැන. 

ඉර කටහඬ අවදි කළා.
" හොඳයි, දැන් හැමෝම තම තමන්ගෙ ගෙවල් වලට යන්න. මම ඉක්මනටම පායන්නම්"

  ගමේ උදවිය සුරංගගෙ නිර්භීතකම හා කැපවීම පිළිබඳව ප්‍රසංශා කරමින් ස්තුති කරමින් ගෙවල් වලට ගිහින් බලාපොරොත්තු සහගතව නිදා ගත්තා. පහුවදා පාන්දර අවදි වුණු අය දැක්ක, අහස පැහැදිලි බව. වළාකුළු  අඩු බව. වැස්ස ටිකෙන් ටික අඩු වෙන ගතියකුත් පෙණුනා. හවස් වෙන කොට තිබුණෙ ප්ද වැස්සක් විතරයි. කළු වළාකුළු  පෙනෙන්න නැහැ. ලස්සන කිරි කැටි වළාකුළු  විතරක් අහස පුරා සෙල්ලම් කරමින් හිටිටා. තැනින් තැන අහසෙ නිල් පාටකුත් හිනාවුණා. ටික වෙලාවකින් සුදු වළාකුළු අත වනාගෙන නොපෙනී ගිහින් මුළු අහසම නිල් පාටින් බබලන්නට වුණා. එතකොට කහ පාට ලස්සන වටකුරු යමක් නැගෙනහිර කඳු මුදුනින් හිනා වෙන්න පටන් ගත්තා. 
 
 "අන්න ඉර පායනවා" හැමෝම සතුටින් ඉපිලෙමින් අත් පොලසන් දෙන්න ගත්තා. 

  සුරංග අහස දිහා බලලා උහුලගන්න බැරි සතුටින් උඩ පනින්න ගත්ත.
 " ආ..එහෙනම් මේ  තමයි ලෝකෙටම ලස්සන වස්සන කහපාට, රවුම්ම රවුම් මම අහපු කතන්දර වල ඉන්න ඉර. "   
  ඉර අහසේ හෙමිහිට සක්මන් කරන්න ගත්තා, හැමොටම සතුටත්, උනුසුමත් ලබා දෙමින්. මිනිස්සුත් අහස ද්හා බලමින් කෘතඥ තාවයෙන් යුතුව ඉරට ස්තුති  කරමින් ලස්සනට හිනා වුණා. සුරංගගෙ  සතුට වක්කඩ කැඩුව වගෙ පිටාර ගලනවා. ඉරත් හිනා වෙනවා. මිනිස්සුත් හිනාවෙනවා. ඔක්කොමල ගී ගයමින් නටන්න ගත්තා. එදයින් පස්සෙ ආයෙ කවදාවත්ම ඉර තරහ වුණේ නැහැ.

 

5 ක් අදහස් දක්වලා.:

Praveena Palipana said...

ලස්සන ලමා කතාවක් සිහියට එනවා මේක කියවනකොට...:D

ඕනයා said...

මගෙ කෙල්ලට කියල දෙන්න කතන්දර එකතු කරනව . . . ස්තුතියි අක්කන්ඩි . . මම මේ කතාවත් ඒ එකතුවට දාගත්ත

Dinesh said...

හරිම අපූරුයි අක්කේ මේ කතාවනම්.. සුරංගනා කතාවක් කියවනවා වගේ ආසාවෙන් කියෙවුවේ..

සාතන් said...

ලස්සන කතාවක්... පුංචි කාලෙට ගියා වගේ... හැබැයි මේක ළමා කතාවක්ම නෙමෙයි නේද? :)

නිසුපා said...

හ්ම්.....ළමා කතාවක් වගේ වුනත් මේ තියෙන්නෙ ඇත්ත නෙ.

අපි පායනකොට ඉරට බනිනවා.වහිනකොටත් බනිනවා.

Post a Comment