Sunday, April 1, 2012

ඇෆ්ගනිස්තානයේදී ඇසූ කතාවක්

Sunday, April 1, 2012



එක් යෝගී යතිවරයෙකු වරක් කාන්තාරයක භාවනානුයෝගීව හිටියා. මේ අතර එවකට එම රටේ සිටි පාලකයා පිරිසක් සමග අසුන් පිටින් එම ස්ථානය පසු කරන්නට වුණා. සිත දැඩිව භාවනාවේම නිමග්නව සිටි නිසා අවට සිදු වන්නේ කුමක් දැයි යතිවරයාට දැණුනේ නැහැ. එනිසා පාලකයා හෝ ඔවුන්ගේ පරිවාර අයවළුන් අපේක්ෂා කරන හිස නැවීම්, නැගිටීම් හෝ ආචාර කිරීම් කිසිවක් ම සිදු වුණේ නැහැ. මේ නිසා පාලකයා බලවත් ලෙස කෝපයට පත් වුණා. 

"මේ යෝගියො නම් කිසිම චාරිත්‍ර වාරිත්‍රයක් දන්න අය නෙවෙයි. තිරිසන්නු වගේ. තමන්ගෙ රටේ රජතුමා යන කොට ආචාර සමාචාර කරන්න තරම් වත් මුං නිහතමානී නැහැ."

රජතුමාගේ කිට්ටුවන්තම ඇමතිතුමාටත් යතිවරයාගේ නොහික්මුණු කම ගැන වස කේන්තියි. ඔහු යතිවරයා ළඟට කිට්ටු කළා.

"මේ යන්නෙ අපේ රටේ මහ රජතුමා. නැගිටල වැඳලා ආචාර කරනව හොඳයි. නැත්නම් හිස ගසා දමාවි.මොකද තමුසෙ ඔය තරම් අහංකාර?"

ඇමතිගෙ මේඝ ගර්ජනාවට යතිවරයා දෙනෙත් ඇරලා බැලුවා.
කලබල නොවී සන්සුන්ව මෙහෙම කිව්ව.

 "රජ මැතිවරුන්ට ගරු සරු කරන්නෙ තාන්න මාන්න හරි වෙන මොනව හරි බලාපොරොත්තුවෙන්. මට එහෙම කිසි දෙයක් අවශ්‍ය නැහැ. රජතුමාට කියන්න, පාලකයන් ඉන්නෙ පාලිතයන් ආරක්ෂා කරන්න බව. ඒ වගෙම පාලිතයො කියන්නෙ හැම දේකටම එහෙයි! කිව යුතු පිරිසක් නොවෙන බව. රජතුමාට මහා ධනස්කන්ධයක් තිබුණත් ඔහු දුප්පත් රට වැසියන්ගේ මුර භටයා බව අමතක කරන්න එපා කියන්න. බැටළුවො ඉන්නෙ බැටළු පල්ලගෙ ආරක්ෂාවට නෙවෙයි. බැටළුවන්ව ආරක්ෂා කළ යුත්තෙ බැටළු පල්ලා විසින්මයි. හොඳට ඇස් ඇර බලනවා. එක්කෙනෙක් සිය පවුලත් එක්ක නිදහසේ, සැහැල්ලුවෙන්, යහතින් වැජඹෙද්දි තව කී ලක්ෂයක් ජීවත් වෙන්න මොන තරම් දුෂ්කර විදිහට අරගල කරනවද කියලා. තව ටික කලක් යනකොට බලනව, ඔය රජතුමා වටේට ඉන්න උගත්, මොළ කාරයො කී දෙනෙක් මොන වගෙ මෝඩ, නිෂ්ඵල යෝජනා ගෙනෙයිද කියලා. අසාධාරණය දිගින් දිගටම රජ කෙරුවොත් පාලකයො කවුද, පාලිතයො කවුද කියල අඳුන ගන්න බැරිවෙයි. ඔය ලඟම තියෙන මිනී වළවල් හාරල බලපල්ලා. උඹලට කියන්න පුළුවන්ද, ඔය ඇට කටු රජ කෙනෙකුගෙද? ඇමතියෙකුගෙද? මන්ත්‍රී කෙනෙකුගෙද?
එහෙමත් නැත්නම් දුප්පත් රට වැසියෙකුගෙද කියල."

  පාලකයා යතිවරයාගෙ වචනවලින් හෙල්ලිලා ගියා. වටේ ඉන්න අය නිසා බොහෝවිට තමන්ට සත්‍යය අමතක වෙන බව ඔහු දැන ගෙන හිටියා. ඒ නිසාම යතිවරයගෙ නිර්භීත ප්‍රකාශය හිස මුදුණින් පිළිගෙන ඇහුව, ඔහුට කිසියම් දෙයක් අවශ්‍ය කරනවද කියල.

ඔහු හිස වනා කිසියම් දෙයක් අවශ්‍ය බව කියා සිටියා. ඇමතිවරුන්ට සංතෝෂයි, යතිවරයාටත් යමක් අවශ්‍ය බව දන ගත්තම.
" ඔව්, මට අවශ්‍ය එකම දෙය.." ඔහු රජතුමා දෙස බලා කියන්නට වුණා.
"මීට පස්සෙ මට මේ වගෙ කරදර කරන්න එපා, මම භාවනා කරන කොට"
 ඇමතිවරුන්ගේ මූණු ඇඹුල් වුණා.
රජතුමා යතිවරයාට බැගෑපත් වුණා.

"අනේ! ස්වාමීනි, මට එක අවවාදයක් දෙන්න"

"ඔව්, මතක තබා ගන්න. දැන් ඔබේ අතේ තියෙන, ඔබට හිමි ධනය සහ බලය තව ටික කලකින් ඔබට අහිමි වෙනවා. තව කෙනෙකුගෙ පරවේණියක් බවට පත් වෙනවා."



10 ක් අදහස් දක්වලා.:

Dinesh said...

ගොඩක් වැදගත් අවවාදයක්.. අද කාලෙට උනත් හොදට ගැලපෙනවා..

Sumudu Fernando (සුදු මුවා) said...

මේ ඇෆ්ගන් කතාවක් නේ, මොකද අපේ රටේ යතිවරු ඔහොම දෙයක් කියනවා අඩුයි, කිව්වත් පාලකයෝ විතරක් නෙවෙයි පාලිතයොත් ගණන් ගන්නවා අඩුයි.
'රජතුමාට කියන්න, පාලකයන් ඉන්නෙ පාලිතයන් ආරක්ෂා කරන්න බව. ඒ වගෙම පාලිතයො කියන්නෙ හැම දේකටම එහෙයි! කිව යුතු පිරිසක් නොවෙන බව. '

කතන්දර Kathandara said...

පරණ රජවරු!

රූ.... said...

දැන් කාලෙ රජවරු ඔහොම නිහතමානි නැති නිසා හොඳයි..නැත්නම් මේ රටට වෙන දේ හිතාගන්නත් බෑ..

ඕනයා said...

රජතුමා : එහෙම නේද අපේ හාමුදුරුවනේ ?
අපේ හාමුදුරුවො : එහෙයි එහෙයි

Sammani said...

//"අනේ! ස්වාමීනි, මට එක අවවාදයක් දෙන්න" //

දැන් එහෙම නම් ඔහොම කියයිද !

සාතන් said...

ඕනය අයිය තමයි ගැලපෙනම කමෙන්ටුව දාල තියෙන්නෙ... තව මොනා කියන්නද ඉතිං...

අක්කණ්ඩි said...

අදහස් පළ කළ හැමෝටම ගොඩක් ස්තුතියි. දැන් කාලෙ රජවරුන්ටත් ඉගෙන ගන්න දේවල් නම් මේ කතාවෙ තියෙනවා. රජවරුන්ට විතර යැ. ඇමති වරුත් ගොල්ලන්ගෙ බිරින්දෑවරුත් සර්, මැඩම් කිව්වෙ නැති කොට කම්පිත වී රජ උදහසට පත් කරනව නේද, පාලිතයන්ව?

ඕනයා said...

@අක්කන්ඩි,
ඔවු මේ ලගදි තමන්ට මැඩම් කිවුවෙ නෑ කියල ප්‍රා.ලේකම් තුමියෙක් මාරුකරල යවල තිබ්බ

Dilip Saparamadu said...

ඉතා වටිනවා ...සුබ පැතුම් අක්කට .......

Post a Comment