Monday, April 16, 2012

සින්දු හා බණ

Monday, April 16, 2012
අද ලියන කතාව එතරම් වැදගත් නැහැ කියල හිතෙයි, සමහරෙකුට. ඒ වුණත් මට ඒක දැනුණු දෙයක් නිසා සටහන් කරන්න හිතුණා, මගෙ බ්ලොග් අඩ්වියෙ.

ඔහු අපේ කිට්ටුවර ඥාතියෙක්. ඔහුට පාකින්සන් රෝගය වැළඳි ඇවිදින්න කරන්න බැරුවයි හිටියෙ. බොහොම අමාරුවෙන් ඔහු ඇවිද්දෙ. එක කකුලක් තියල අනෙක් කකුල ඉදිරියට ගන්න අමතක වෙනවා. එතකොට ළඟ ඉන්න කෙනෙක් ඔහුගෙ කකුලට තට්ටු කරලා මතක් කරල දෙන්න ඕනි එය ඉස්සරහට තබන්න කියලා. වෙලාවකට අතීතයෙ දේවල් අගේට මතක් වෙනවා. එම වෙලාවෙම සිදුවෙන දේවල් අමතකයි. දරුවො, නෑදෑයන් පමණක් නෙවෙයි, බිරිඳව පවා අමතක වෙනවා. මේ මෑත කාලයෙදි ඔය වගෙයි තත්වය. දැනට අවුරුදු දෙකකට පමණ පෙරදි සිදුවූ දෙයක් තමයි මගෙ කතාවට තේමා වෙන්නෙ.

දවසක් මේ ඥාතියාගෙ ගෙදර කට්ටිය දුර බැහැර තියෙන ආරණ්‍යයකට දානයක් දෙන්න යන්න තිබෙන නිසා මගෙන් අහුවා, ඔහුව බලා ගන්න එන්න පුළුවන්ද කියලා. ඔහුව බලා කියා ගන්න උපස්ථායකයෙකු හිටිය නමුත් වෙලාවට කෑම ටික දෙන්න සහ උපස්ථායකයාටත් විවේක දිය යුතු නිසා. මම මුළු හිතින්ම එයට එකඟ වුණා.

මම ගිහින් පැය භාගයකට පසුව තමයි, ගෙදර කට්ටිය ගමන පිතත් වුණෙ. ඒ වනවිටත් ලෙඩාව ආලින්දයට ගෙනැත් රූපවහිනිය ඉදිරිපිට වාඩිකරවල තිබුණා. ධර්ම දේශනයක් විකාශනය වෙමින් තිබුණා.  ඒත් ඔහුගෙ ඇස් හෝ සිත ඒ දෙසට යොමුව තිබුණෙ නැහැ. ඔහු මා සමග කතා කරන්නට උත්සාහ ගත්තා.

"දුව දැන් කොහෙද ඉන්නෙ? අද මේ අය කොහෙද ඔය ගියෙ?"

මම ඒ ප්‍රශ්න වලට උත්තර දෙමින් අතීතය ගැන කතා කළා.
" මාමා ඉස්සර හින්දි චිත්‍රපට හරියට බලනව නේද? ඒක නේද පුතාල දෙන්නටයි, දුවටයි නළු නිළියන්ගෙ නම් දැම්මෙ? ලොකු අයියා දිලිප්, පොඩි අයියා මනෝජ් ...නංගි නිම්මි ...."
" ඔව්, දුවේ...මං ගාව තවමත් ඒ සින්දු රෙකොර්ඩ්
තියෙනව. දැන් තියෙන සී ඩී වගෙ නෙවෙයි, ඒවා ලොකු තැටි. දුවට ඕනිනම් මම ඒවා දෙන්නම්. මේ කට්ටිය ඒව අහන්නෙ නැහැ නෙ."

" මාමා තවමත් ආසද හින්දි සින්දු අහන්න?"
" නැතුව, නැතුව... ඒත් දැන් ඉතින් කොහොම අහන්නද? මෙඔ ගොල්ලො හැම තිස්සෙම බණ නේ දානෙ. පැය විසිහතරෙම බණ අහන්න පුළුවන්ද දුවෙ?"

මාමා එසේ කියන අතරෙදි මම රිමෝට්ය අරගෙන බණ චැනලය හින්දි චැනලයකට මාරු කළා. ඒ වෙලාවෙ මොකද්දෝ වෙලවකට තිබුණෙ පැරැණි චිත්‍රපට ගී.

නිම්මි හා දිලිප් කුමාර රඟන 'මධුමතී' චිත්‍රපටයෙ ගීයක්. ඔහුගෙ  මුහුණ පුරා මල් පිපෙනව වගෙ සතුට පිපෙනවා මම දැක්කා. හිතේ ගතේ තිබුණු ආලි මෑලි දුබල ගතිය වෙනුවට ප්‍රබෝධ ගතියක් ඇතිවුණා. ගීයෙ තාලයට පුටු ඇන්දට අතින් තට්ටු කරමින් ඔහු ඔලුවද තාලයට සොලවන්න වුණා.

" මාමේ, තේ එකක් ගේන්නද?"
" ඔව් දුවේ, කන්න මොනව හරිත් ගෙනෙන්න. හුඟ කාලෙකින් ලස්සන සින්දුවක් අහනවා. දුවට පිං සිද්ධවෙනවා මේ කළ උදව්වට"

" හොඳයි, මාමෙ ....දානෙට හදපු අළුවා වගයක් තියෙනවා. ඒවත් එක්ක මම තේ හදන් එන්නං"

අළුවා කෑලි දෙකක්ම කා තේ කෝප්පය බීව ඔහු එම වැඩ සටහන් ඉතා හොඳින් රස වින්දා.

" දුවේ, නිවාඩු තියෙන වෙලාවට නිතර මෙහෙ එන්න. මම ලෙඩෙක් වුණාට තවම සසර කල කිරිලා නැහැ. සින්දු අහන්න ආසයි. සතුටෙන් ඉන්න ආසයි. හුඟ දෙනෙකුට ඒක තේරුම් ගන්න බැහැ නෙ"

"එක එක අය හිතන්නෙ එක එක විදිහට නෙ, මාමෙ. මම අනෙක් අයටත් කියන්නන් කො, මාම අද ආසාවෙන්  සින්දු  ඇහුවා කියා"

" අපෝ, අපෝ, කියන්න එපා. වයසට ගියහම සින්දු අහන එක පවක් කියල තමයි, ඒ අය හිතන්නෙ. දුව ආපු දාකට සින්දු අහමු"

දැන් මේ මාමණ්ඩිය අසාධ්‍ය තත්වයකයි ඉන්නෙ. වයසත් අසූව පැනැලා. මා ළඟදිත් ඔහුව බලන්නට ගිය නමුත් ඔහුට දැන් මා කවුදැයි හඳුනා ගත නොහැකි තරමට සිහිය දුර්වල වෙලා.

කෙසේ වෙතත් ඔහුට නිරෝගි සුව හා දීර්ඝායු පතමින් මේ සටහන අවසන් කරන්නම්.


.



8 ක් අදහස් දක්වලා.:

Buratheno said...

ඕක ඉතිං අපේ අයගෙ හැටියක්මනෙ, එයාලා හිතන්නෙ තරුණකාලෙ විතරයි විනෝදෙන් ඉන්න ඕන වයසට ගියාම බණදහමට යොමුවෙන්න ඕන කියලා.. ඒ වුනාට එයාලට අමතකයි තරුණ කාලෙදිම බණදහමට යොමුවීමෙත් වයසට ගියාමත් විනෝද වීමෙත් වැරැද්දක් නෑ කියන එක.. :)

කතන්දර Kathandara said...

නාකි වුනාම බණ අහන්න සෙට් වෙන එක තරම් මෝඩ වැඩක් තියෙනවද? මගේ නං අදහසක් නෑ කවදාවත් දැන් නැති අළුත් උපාසක කං ගන්න පස්සේ.

Dinesh said...

වයසට ගියා කියලා බණ අහන ඕනමයි කියලා නියමයක් නෑනේ.. අනික ඔබ කියපු විදිගට ඒ සීයා සතුටු උනේ තමන් ආස කරපු සිංදු අහලා..

රූ.... said...

සමහර වෙලාවට වයසක උදවිය ගැන අනිත් අය හිතන විදිහ හරි පුදුමයි..
ස්තුතියි හිතන්න දෙයක් තියන කතාවක් බෙදාගත්තට..

Anonymous said...

Attamai, Punchi kiyala hithuwata kathawa ratak watinawa. Honda change ekak jeewithaya gana.

Ruwani said...

Attamai, Punchi kiyala hithuwata kathawa ratak watinawa. Honda change ekak jeewithaya gana.

වර්ණා said...

හරිම වටිනවා :)

Hasitha said...

හැමදේම සම සමව :)

Post a Comment